ජුලියන් අසන්ගේ නිදහස් කරනු! විකිලීක්ස් වෙබ් අඩවියට අත නොතබනු!

Free Julian Assange! Hands off WikiLeaks!

8 December 2010

එක්සත් ජනපද ආන්ඩුව විසින් මෙහෙයවූ දේශපාලන මර්දනයකට නිමිත්තක් සඳහා මිස වෙනත් කිසිදු අදාලත්වයක් නොමැති චෝදනා මත විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසන්ගේ අඟහරුවාදා (07) දා බි‍්‍රතාන්‍යයේදී සිරගත කරන ලදී.

පලමු පියවරේදී මෙම විකාර සහගත අධිකරන පරිපාටියේ අරමුන වන්නේ, එක්සත් ජනපද නිලධාරීන් විසින් කරන ලද කුමන්ත‍්‍රන හා අපරාධ වලට සම්බන්ධ රහසිගත කේබල් පනිවිඩ හෙලිදරව් කිරීමට දඬුවම් පැමිනවීමයි.

දෙවෙනුව, අසන්ගේ ලන්ඩන්හි වොන්ඩ්ස්වර්ත් බන්ධනාගාරය තුල රැඳවීම මඟින් එක්සත් ජනපද හා බි‍්‍රතාන්‍ය බලධාරීන් අපේක්ෂා කරන්නේ, විකිලීක්ස් නිහඬ කිරීම පමනක් නොව ආන්ඩු රහස් හා මුසාවාද බක්කියේ මූඩිය ඇරීමට ඉදිරිපත්වන ඕනෑම අයෙක් ත‍්‍රස්ත කිරීමයි.

නිහීන නීතිමය බොරු ගෙතීමේ අවසාන අරමුන වන්නේ, ඔත්තුකරුවෙකු හෝ ත‍්‍රස්තවාදී අපරාධකරුවෙකු වශයෙන් වුවත් දඬුකඳේ ගැසීම සඳහා අසන්ගේ එක්සත් ජනපදයට පැටවීම බව ඕනෑවටත් වඩා පැහැදිලිය.

ප‍්‍රමුඛ ඇමරිකානු දේශපාලඥයින් හා මාධ්‍යකරුවන් විසින් අසන්ගේ ”සතුරු සටන්කරුවෙකු” හෝ ”ත‍්‍රස්තවාදියෙකු” ලෙස හංවඩු ගසා ”නැතිකර දැමීම” හෝ ”ඝාතනය කිරීම” සඳහා පෙර නොවූ විරූ ආකාරයෙන් තුච්ඡ ලෙස ප‍්‍රසිද්ධියේ හඬගෑම පෙන්නුම් කරන්නේ, එක්සත් ජනපදය තුල ඔහුට සාධාරන විනිශ්චයක් ලබාගත නොහැකිවීම පමනක් නොව ඔහුගේ පැවැත්මම අවදානම් සහගත බවයි.

අසන්ගේ හා විකිලීක්ස් වෙබ් අඩවියට එරෙහි ව්‍යාපාරය මෙහෙයවන්නේ, ඇමරිකානු ජනතාවට හොරා ගෙනයන ලද මැතිවරන සොරාගැනීමේ සිට මර්දනකාරී නීතිවිරෝධී යුද්ධ, වධ බන්ධන මෙන්ම ජාත්‍යන්තර ත‍්‍රස්තයේ අනෙක් සියලු වර්ගයේ ක‍්‍රියාවන් දක්වා වන දශක ගනනාවක සාපරාධී කටයුතු පිලිබඳව වගකිවයුතු ආන්ඩු හා පාලන සංස්ථාපිතයන්හි නියෝජිතයන් විසිනි.

හීලැවූ ද නොබැරෑරුම්වූ ද මාධ්‍ය විසින් හේතු සාධක ලෙස වාර්තාකරන ලද ”ජනඝාතක අවි” හා කිසිසේත්ම නොපැවතියාවූ ත‍්‍රස්තවාදී සම්බන්ධකම් පිලිබඳ ගල්පැලෙන බොරු ඇදබාමින් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිත බිලිගත් ඉරාක යුද්ධය තුලට ඇදදමන ලද රටකි මෙය.

මේවා ද අනෙකුත් අපරාධ ද වසංකරන හෝ යුක්තිසහගත කරන ලද්දේ මහජනතාවට අමූලික බොරු කීම හෝ රාජ්‍ය රහස් පිලිබඳ යාදින්න තුලින්ය. මෙම කර්තව්‍යය මෙතරම්ම අවශ්‍යව ඇත්තේ ද ඒ පිලිබඳව විකිලීක්ස් වෙබ් අඩවියට පහරදෙන්නවුන් ඒසා පරිමානයකින් වෛරී සහගත හා බියපත්ව ඇත්තේ ද එබැවින්ය.

විකිලීක්ස් වෙබ් අඩවිය පසුගිය අපේ‍්‍රල් මාසයේදී ප‍්‍රහාරක හෙලිකොප්ටරයක වෙඩි ප‍්‍රහාරයකින් රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද ඇතුලුව ඉරාක වැසියන් 15 දෙනෙකු මරුමුවට පත්කල බැග්ඩෑඩ්හි ඝාතනය අඬංඟු ”සමූහ ඝාතන” යන වීඩියෝ පටය ප‍්‍රකාශයට පත්කලේය. වීඩියෝ පටය හා තවත් ලේඛන පිටකලේය යන චෝදනාව යටතේ බ‍්‍රැඩ්ලි මැනිං නමැති පලමු පන්තියේ සොල්දාදුවා ඒ එක්කම වාගේ අත්අඩංඟුවට ගනු ලැබින. ඔහු දැනට වර්ජිනියාවේ ක්වොන්ටිකෝ බන්ධනාගාර කුටියක සිරගතකොට ඇත.

ඉන් පසුව පසුගිය ජූලි මාසයේදී පෙන්ටගනය විසින් වසං කරන ලද නිරායුධ විරෝධතාකරුවන් මට්ටම්කර දැමීම හා විශේෂ බලකායන්ගේ ඝාතක කල්ලි විසින් සිදුකල ඝාතන ද ඇතුලු සිවිල් වැසියන් මරාදැමීම වාර්තාගතකල 391,000ක පමනවූ ඇෆ්ගනිස්ථාන යුද පිටියේ තොරතුරු නිකුත් කලේය.

ඉක්බිතිව ඉරාක රැඳවියන්ට එරෙහි වධ බන්ධනයේ බිහිසුනු සිදුවීම් පිලිබඳව එක්සත් ජනපද මිලිටරිය දැක්වූ නොතැකීම මෙන්ම සිවිල් වැසියන්ට එරෙහි තවත් විනාශයන් වාර්තාගත කල ඉරාක යුදපිටියේ තොරතුරු 400,000ක් විකිලීක්ස් විසින් නිකුත්කරනු ලැබින.

මෙම ලේඛන, හමුදා සමඟ ”එක්ව ගමන්ගත්” මාධ්‍ය විසින් පවත්වාගෙන ගිය ස්වයං වාරනයේ ආධාරය ද ඇතිව රාජ්‍ය කටයුතු පිලිබඳ නිත්‍ය තත්වයක් බවට පත්කරගෙන තිබෙන, ආන්ඩුව විසින් ක‍්‍රමානුකූලව යටගසන ලද තොරතුරු මහජනතාව හමුවේ තබන ලදී. බුෂ් පරිපාලනය මෙන්ම ඔබාමා පාලනාධිකාරය ද සිදුකර තිබෙන යුද අපරාධ පිලිබඳ සාක්ෂි සම්භාරයක් මේ මඟින් සපයා තිබේ.

රාජ්‍යතාන්ත‍්‍රික කේබල් පනිවිඩ 250,000න් මේතාක් දුරට විකිලීක්ස් වෙබ් අඩවිය විසින් ප‍්‍රකාශයට පත්කොට තිබෙන්නේ 1,000ට අඩු සංඛ්‍යාවක් වුවත්, පසුගිය මාසයේ ප‍්‍රසිද්ධියට පත්කිරීම ආරම්භවූ එම කේබල් මඟින් දැනටමත්, එක්සත් ජනපදය සනාථකර තිබෙන යේමනයේ සිවිල් වැසියන් 50ක් මරාදමමින් පසුගිය දෙසැම්බරයේ එල්ල කරන ලද මිසයිල් ප‍්‍රහාරය, නීතිවිරෝධී පැහැරගෙන යාම් හා වධදීම්වලට වගකිවයුතු එක්සත් ජනපද නිලධාරීන්ට එරෙහි පරීක්ෂන අත්හිටුවන ලෙසට බලකරමින් ගෙනගිය ව්‍යාපාරය, ඩීඑන්ඒ සාම්පල ද ඇතුලුව එක්සත් ජාතීන්ගේ හා විදේශ ආන්ඩුවල නිලධාරීන්ගේ පුද්ගලික වතගොත රැස්කිරීම සඳහා එක්සත් ජනපද නිලධාරීන්ට උපදෙස් දීම වැනි අපරාධ හා කුමන්ත‍්‍රන පිලිබඳ ඒහා සමාන තොරතුරු නිරාවරනය කර ඇත.

මිලියන් ගනනක් නොවේනම් ලක්ෂ ගනනක් වන මිනිසුන් ගොදුරුකරගත් සැබෑ අපරාධ සඳහා වගකිවයුතු වන්නේ, අසන්ගේගේ කටයුතු ”අපරාධ” ලෙස නම්කරමින් ඔහුගේ ලේ ඉල්ලා කෑමොර ගසන අයයි.

රිපබ්ලිකානු දක්ෂිනාංශය පමනක් නොව ”ලිබරල්” ඩිමොක‍්‍රටිකයෝ ද මේ ව්‍යාපාරයට සම්බන්ධවී සිටිති. 1917 ඔත්තු බැලීමේ පනත යටතේ අසන්ගේට නඩු පවරන ලෙස ඉල්ලා 17දා වෝල් ස්ටී‍්‍රට් ජර්නලය පලකල තීරුවකින් කියා සිටි කැලිෆෝනියාවේ ඩිමොක‍්‍රටික් සෙනේට් සභික ඩයනි ෆේන්ස්ටියන් ද මොවුන් අතර වෙයි.

දශලක්ෂපතිනියක් හා පෙන්ටගනයේ ධනවත් කොන්ත‍්‍රාත්කරුවෙකුගේ භාර්යාව වන එක්සත් ජනපදයේ සෙනේට් සභික ෆෙන්ස්ටියන්, ඕස්ටේ‍්‍රලියානු පුරවැසියෙක් වන අසන්ගේ ”ජාතික ආරක්ෂාව” හා ”අපගේ වැදගත් ජාතික අවශ්‍යතා” පිලිබඳව නොසැලකිලිමත් වීම කෙරෙහි උනන්දුවක් දැක්වීම විශේෂයෙන්ම සිත්ගන්නා සුලුය.

”තම කටයුතුවල ආරක්ෂාව වෙනුවෙන් නිසැකවම පලමුවන සංශෝධනය කෙරෙහි විශ්වාසය තබා සිටින, තමා මාධ්‍යවේදියෙකු බව කියා ගන්නා අසන්ගේ,” යනුවෙන් ලියාගෙන යන ඇය, ”එහෙත් ඔහු මාධ්‍යවේදියෙකු නොවේ: පීඩාවට පත්වන්නේ කවුරුන් ද යන්න නොතකා තමන්ගේ ප‍්‍රතිපත්තිවලට අනුකූල නොවන අපගේ ආන්ඩුවට හානි කිරීමේ අරමුන සහිත ඔහු කලහකාරියෙකි.”

කථා කිරීමේ නිදහස සහතික කරන පලමුවන සංශෝධනය මඟින් විකිලීක්ස් වෙබ් අඩවිය ආවරනය කරන්නේය යන ප‍්‍රකාශ බැහැරකරමින් ෆේන්ස්ටියන් මෙසේ ලියයි. ”පලමුවන සංශෝධනය, තදබදයෙන් යුත් ශාලාවක් තුල ‘ගිනිගන්නවෝ’ කියා කෑගැසීමට බලපත‍්‍රයක් නොවනවාක් මෙන්ම, ජාතික ආරක්ෂාවට හානි පැමිනවීම සඳහා බලපත‍්‍රයක් ද නොවේ.”

ලෝක කාර්මික කම්කරුවන්ගේ සංවිධානයෙහි සාමාජිකයන් ඇතුලු දහස් ගනනක් අනෙකුත් කම්කරු පන්ති සටන්කරුවන් ද සමඟ පුරාවෘත්තමය කම්කරු නායක ඉයුජින් වී, ඩොබ්ස් 1918 වසරේදී සිරගත කිරීම සඳහා යොදාගත්, ෆේන්ස්ටියන් විසින් උලුප්පා දක්වන ඔත්තු බැලීමේ පනතට දිගු හා ප‍්‍රතිගාමී ඉතිහාසයක් තිබේ.

සෙනේට් සභිකාව වාත්තු කරන්නේ, මර්දනයේ එම රැල්ලම පනගැන්වූ අත්තනෝමතික මැර ආත්මය සහිත ඒ වර්ගයේම පොලිස් රාජ්‍ය්‍යකි. වත්මන් පලිගැනීමෙහි ඕවේලියානු තර්කයට අනුව සන්නද්ධ මර්දනයේ හා වධ බන්ධනයේ නිරතවූ ආන්ඩුවක අපරාධ හෙලිදරව් කරන්නා ”කලහකාරියෙකි,” එය අපරාධයකි. ”ජාතික ආරක්ෂාව” යන හුදු යාදින්න මඟින් නිදහස් භාෂනයේ අයිතිය යටපත්කල හැකිය.

මෙය අසන්ගේ හා විකිලීක්ස් වෙබ්අඩවියෙන් අවසන් නොවනු ඇත. රට තුල සමාජ ප‍්‍රතිගාමිත්වයේත් එතෙරදී යුද්ධයේත් ප‍්‍රතිපත්තිය කෙරෙහි මහජන සහයෝගයක් නොමැතිබව දන්නා, ජනතාව ගැන බියෙන් පෙලෙන පාලක පැලැන්තියක් විසින් මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එරෙහිව ඉදිරිපෙල ප‍්‍රහාරයක් සූදානම් කෙරෙමින් තිබේ.

විකිලීක්ස් වෙබ් අඩවියට එරෙහි ප‍්‍රහාරය සඳහා සියලු බියගුලු මාධ්‍ය ද, ආන්ඩුවේ පලමු බියගැන්වීමේ සංඥාව නිකුත්වීමත් සමඟ, එයට මුදල් ආධාර සැපයීම අත්හිටුවමින් අන්තර්ජාල සංවිධානය නිහඬ කිරීම් වස් එක පැහැර ක‍්‍රියාත්මකවූ මාස්ටර් කාඩ්, වීසා හා පේ පෑල් වනි සියලු සමාගම් ද ආධාර හා අනුබලය දී ඇත.

රාජ්‍ය මර්දනයේ මෙම ක‍්‍රියාව ජයගතහොත්, එක්සත් ජනපද ආන්ඩුවේ ප‍්‍රතිපත්තිවලට විරුද්ධත්වය පලකරන අනෙකුත් වෙබ් අඩවි වසා දමමින් සමස්තයක් ලෙසම අන්තර් ජාලයේ නිදහස වලලා දැමීමත්, සීඅයිඒ යන මධ්‍යම රහස් ඔත්තු සේවය, පෙන්ටගනය හා ධවල මන්දිරයේ කටයුතු කෙරෙහි රහස්‍යභාවයේ මුකවාඩම තවත් දැඩි කිරීමක් පවා සිදුවනු ඇත.

මූල්‍ය වංශාධිපති පැලැන්තියට හා එහි දේශපාලන නියෝජිතයින්ට, තොරතුරු නිදහසේ ගලායාමේ ගෙල සිරකිරීම හදිසි අවශ්‍යතාවක් ලෙස දැනෙන්නට පටන්ගෙන තිබේ. සිය ආර්ථික පද්ධතියේ අර්බුදය හා එහි මුලු බර කම්කරු පන්තියේ කරමත පැටවීමේ ඔවුන්ගේ උත්සාහයට එරෙහිව රටතුල මෙන්ම එතෙර ද පන්ති අරගල පැනනැඟීමේ තත්වය නිර්මානය කරනු ඇතැයි යන්න ඔවුහු දැන සිටිති. නිදහස් තොරතුරු හා දේශපාලන ඉදිරිදර්ශනයේ එවන් ව්‍යාපාරයක් වැලැක්වීම අත්‍යවශ්‍ය බව පාලක පැලැන්තිය වටහාගෙන සිටියි.

විකිලීක්ස් වේබ් අඩවිය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර උද්ඝෝෂනයක් දියත් කිරීම සෑම රටකම කම්කරු පන්තියට ජීවිතයත් මරනයත් අතර ප‍්‍රශ්නයක්ව ඇත්තේ මේ නිසාය. ජූලියන් අසන්ගේ හා සෙබල බ‍්‍රැඩ්ලි මෑනිං වහාම නිදහස් කරන ලෙසටත්, විකිලීක්ස් වෙබ් අඩවියට එරෙහි බියවැද්දීම් හා මර්දනය නතර කරන ලෙසටත්, බලකරන මහජන විරෝධතා හා සහයෝගිතා ව්‍යාපාර සංවිධානය කල යුතුය.

බිල් වෑන් ඕකන්

the WSWS | Contact Us | Privacy Statement | Top of page