ඔබාමා සංචාරය ඉන්දුනීසියාව සමග මූලෝපායාත්මක බැඳීම් තර කරයි

Obama trip consolidates strategic ties with Indonesia

By John Roberts, 17 November 2010

නොවැම්බර් 9 සහ 10 දිනවල කෙරුනු එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමාගේ දින එකහමාරක ඉන්දුනීසියානු සංචාරය ආසියාවේ ආධිපත්‍ය සඳහා චීනය සහ එක්සත් ජනපදය අතර වර්ධනය වන මූලෝපායික ප‍්‍රතිරෝධය තුල ගිනිකොනදිග ආසියානු රටේ වැදගත්කම බෙහෙවින් කැපීපෙනුනේය. ඉන්දුනීසියානු සංචාරය ඉන්දියාව, දකුනු කොරියාව සහ ජපාන සංචාරයන් ද ඇතුලත් කර ගත් ආක‍්‍රමනශීලී ප‍්‍රයත්නයක එක් පියවරකි. දෙරට අතර ”විසිඑක්වන සියවසේ හවුල” ගොඩ නැගීම ලෙස ධවල මන්දිර ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විස්තර කෙරුනු ”විස්තීරන හවුල් ගිවිසුමකට” ඔබාමා සහ ඉන්දුනීසියානු ජනාධිපති සුසිලෝ බාම්බැන්ග් යුධොයොනො අත්සන් තැබූහ. මුල් වතාවට ජුනි මාසයේ සාකච්ඡාකල ”ඒකාබද්ධ කොමිසමක්” සැප්තැම්බර් මාසයේ දී රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ඉන්දුනීසියානු විදේශ අමාත්‍යංශය විසින් පිහිටුවන ලදි.

ඔබාමා පරිපාලනය ”විස්තීර්න එකඟතාවයක්” ඇති කර ගැනීමට වසර පුරාම දත කමින් සිටියේ ය. මැයි මාසයේ දී එක්සත් ජනපද වානිජ ලේකම් ගැරී ලොක් ජාකර්තා නගරයට කෙරුනු මුල්ම මට්ටමේ කැබිනට් මට්ටමේ වෙලඳ දූත මෙහෙයට නායකත්වය දුන්නේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන යටිතල පහසුකම් හා නිර්මානාත්මක කර්මාන්ත යන අංශ සම්බන්ධව කටයුතු කිරීමට 2011 වසර සඳහා නව වෙලඳ දූත මෙහෙයන් සැලසුම් කරනු ලබයි. වොෂින්ටනය ශිෂ්‍ය හුවමාරු පස් අවුරුදු වැඩසටහන් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 165 ද එලඹෙන වසර තුන තුල සිදුවන කාල ගුන විපර්යාස ව්‍යාපෘතීන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 136 ද වෙන් කර ඇත.

ජුනි 10 දා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ඉන්දුනීසියාවේ ආරක්ෂක අමාත්‍යංශය විසින් දෙරට මිලිටරි හමුදා අතර සහයෝගය ශක්තිමත් කිරීමේ ආරක්ෂක ව්‍යුහ ගිවිසුමක් අත්සන් කල අතර ප‍්‍රති ත‍්‍රස්තවාදී, සාගර ආරක්ෂාව, සාමසාධනය, ස්වාභාවික විපත් ප‍්‍රතිකි‍්‍රයා සහ මානුෂික ආධාර සඳහා වන නව ව්‍යාපෘතීන් දියත්කලේය.

දෙරට සන්නද්ධ හමුදා අතර සහයෝගීතාවයට පැවැති අවසාන බාධකය ඉවත් කරමින්, ඉන්දුනීසියාවේ කුප‍්‍රකට කොම්පාසස් විශේෂ බලකා ඒකකයන් සම්බන්ධයෙන් පැවති එක්සත් ජනපද තහනම ඉවත් කරමින් සිටින බව එක්සත් ජනපද ආරක්ෂක ලේකම් රොබට් ගේට් ජුලි මාසයේ දී නිවේදනය කලේය. මෙම තහනම කි‍්‍රයාවට දැමුනේ 1999 කොම්පාසස් හමුදා නැගෙනහිර ටිමෝරයේ සිදු කල කෲර අපරාධවලට දැක්වූ ප‍්‍රතිචාරයක් ලෙසය.

එක්සත් ජනපද සහ චීනය යන දෙරට විසින් ම ඉන්දුනීසියාව ගිනිකොන දිග ආසියාවේ මූලෝපායාත්මකව ඉතාමත් වැදගත් රට ලෙස සලකන ලදී. ඉන්දුනීසියානු දූපත් සමූහය චීනයේ විදේශ වෙලඳාම සඳහා තීරනාත්මක වන ,ලෝකයේ අතිශය වැදගත් මුහුදු මාර්ග දෙකක්, එනම් එක පැත්තකින් මලක්කා සමුද්‍ර සන්ධිය සහ අනෙක් පැත්තෙන් සුඩාන් හා ලැම්බ්‍රො‍ක් සමුද්‍ර සන්ධිවලින් වට වූ ප‍්‍රදේශයක පිහිටා ඇත.

මෙම රට දිගු කාලයක් සලකනු ලැබුවේ කලාපය තුල එක්සත් ජනපදය සතු මූලික මධ්‍යස්ථානයක් ලෙස ය. 1998 දක්වා පැවති සුහර්තෝගේ ඒකාධිපති තන්ත‍්‍රය තහවුරු කල 1965 මිලිටරි කුමන්ත‍්‍රනයට එක්සත් ජනපද මධ්‍යම රහස් ඔත්තු සේවය (සීඅයිඒ) දැඩි ලෙස සම්බන්ධ විය.

මිලියනයක් ජනයා සමූල ඝාතනය කිරීමට තුඩුදුන් 1965 මිලිටරි කුමන්ත‍්‍රනයේ අරමුන වූයේ ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය වෘත්තීය සමිති සහ එහි බලපෑම් යටතේ පැවති ගොවි ජන සංවිධාන අහෝසි කර දැමීම ය. චීනය තර්ජනයක් ලෙස දැක ගත් වොෂින්ටනය දෙසට නැඹුරු වූ කොමියුනිස්ට් විරෝධී මිලිටරි නඩයක් විසින් ඉන්දුනීසියාවේ ආරම්භක ජනාධිපති සුකර්නෝ ඉවත් කර බලය ඩැහැ ගන්නා ලදී.

සුහර්තෝ තන්ත‍්‍රයේ සම්පූර්න කාල පරිච්ඡෙදය පුරාම පෙන්ටගනය සහ ඉන්දුනීසියානු මිලිටරිය සමීප සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියේය. යුධොයොනෝ ද එක්සත් ජනපද මිලිටරි පාසල්වල පුහුනු වූ බොහෝ නිලධාරින් අතරින් කෙනෙකි.

නොවැම්බර් 9 දා යුධොයොනො සමග පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවක දී ඉන්දුනීසියාව තුල වොෂින්ටනයේ රාජ්‍යතාන්ති‍්‍රක කටයුතු තීව‍්‍ර කිරීම චීනය හික්මවීමේ එක්සත් ජනපද න්‍යාය පත‍්‍රයක පිටුපසින් එම රට පෙල ගස්වා ගැනීම ය යන්න ඔබාමා ප‍්‍රතික්ෂේප කලේ ය. ”චීනය සමෘධිමත් සහ ආරක්ෂිතව පැවතීම සාධනීයයි අපි සිතමු. එම සන්තතිය පාලනය කිරීමේ වුවමනාවක් අපට නැත” යි ඔහු කීවේ ය.

කෙසේ වෙතත් මූලෝපායික දකුනු චීන මුහුදේ ප‍්‍රදේශිත ආරවුල්වලදී එක්සත් ජනපදය මැදිහත් වනු ඇතැයි එම මාධ්‍ය සාකච්ඡාවේදී ම ඔබාමා පැහැදිලි කලේ ය. වියට්නාමය, තායිවානය සහ පිලිප්පයින් දූපත් විසින් කෙරෙන තරගකාරී අයිතිවාසිකම් කියා පෑමට එරෙහිව චීනය ස්පාට්ලි දූපත්වලට ඇති තම උරුමය කියා සිටියි. ආරවුල ”පිටස්තරයන්ගේ” මැදිහත් වීමකින් තොරව විවිධ අයිතිවාසිකම් කියාපාන්නන් සමග ද්වීපාර්ශිකව විසඳා ගත යුතු බව බෙයිජින් තන්ත‍්‍රය අවධාරනය කරයි. එක්සත් ජනපදය සහ ඉන්දුනීසියාව ඇතුලුව ”සියලු දෙනාටම” වෙනත් වචනවලින් කියතොත් චීනයේ නොව එක්සත් ජනපදයේ අවශ්‍යතාවලට අනුව ආරවුල සාමකාමීව විසඳාගැනීමේ උවමනාවක් ඇතැයි ඔබාමා ප‍්‍රකාශ කලේ ය.

අග්නිදිග ආසියානු සංගමයෙහි (ඒඑස්ඊඒඑන්) රැස්වීම්වල දී රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඉදිරිපත් කල ආස්ථානය වන දකුනු චීන මුහුදේ ”නාවික කටයුතු පිලිබඳ නිදහස” ආරක්ෂා කිරීමේ ”ජාතික අවශ්‍යතාවක්” එක්සත් ජනපදයට ඇතැ යි යන්න ඔබාමා පුනරුච්චාරනය කලේ ය. චීනය හිමිකම් කියන ජල තීරුවෙහි සහ චීනයේ ප‍්‍රධාන භූමි භාගය ආසන්නයෙහි බාධාවකින් තොරව කි‍්‍ර‍්‍රයාත්මක වීමට එක්සත් ජනපද යුද නෞකාවන්ට ඇති අයිතිය මින් අදහස් කරයි.

ඉන්දුනීසියානු විශ්ව විද්‍යාලයේ විදේශ සම්බන්ධතා පිලිබඳ විද්වතෙකු වන බන්තාර්තෝ බන්ඩෝරො ජකර්තා ග්ලෝබ් වෙත කෙලින්ම මෙසේ ප‍්‍රකාශ කලේ ය. ”ඉන්දුනීිසියාව තුල ඇමරිකානු අවශ්‍යතාවය වන්නේ කලාපයේ වර්ධනය වන චීන බල පෑම” අවසන් කිරීම නො වේ නම් බලහත්කාරයෙන් වලක්වා ගැනීම ය. ඉන්දුනීසියාව සමග යලි ආරම්භ කෙරුන එක්සත් ජනපදයේ සම්බන්ධතා කොයි අතින් බැලුවත් නැගී එන චීනයට ප‍්‍රතිතුලනයක් ලෙස දැක ගත යුතු නොවේ දැ යි මාධ්‍යවේදියකුගේ ප‍්‍රශ්නයකට යුධොයොනො අසීරුවෙන් ප‍්‍රතිචාර දැක් වූයේ ය. ”ඉන්දුනීසියාවේ අපේක්ෂාව වන්නේ මෙම රාජ්‍යන් දෙක අතර යම් කිසිවක් සිදු වුවහොත් එහි තියුනු බලපෑම හුදෙක් දකුනු ආසියානු කලාපයට පමනක් නොව මුලු ලෝකයටම වන නිසා චීනය සහ එක්සත් ජනපද සහයෝගීතා නොකඩවා ගලා යනු ඇති බව ය යි” ඔහු පිලිතුරු දුන්නේ ය.

තෝරා බේරාගත් වචන භාවිතය ඉන්දුනීසියානු පාලක පන්තිය මුහුන දෙන පරස්පර විරෝධයන් නිසා අවශ්‍ය කෙරුනකි. ඒවා ආර්ථික වසයෙන් හා මිලිටරිමය ලෙස එක්සත් ජනපදයට සමීපව බැඳී තිබෙන අතර ම ඇත්තට ම අවධානය යොමු කරන්නේ චීනයේ නැගී එන බලපෑම ගැන ය.

ඉන්දුනීසියානු අපනයන සම්බන්ධයෙන් ගත් කල චීනයට සියයට 8 හා සැසඳීමේ දී එක්සත් ජපදයට සියයට 11.3 වශයෙන් 2009 වසර වනවිට එක්සත් ජනපදය චීනයට වඩා ඉදිරියෙන් සිටියේ ය. ඉන්දුනීසියානු අපනයන තොරතුරුවලට අනුව ඉන්දුනීසියාවේ සමස්ත ආනයනයෙන් සියයට 12.9ක් අත් කර ගනිමින් චීනය ජපානයට පසුව දෙවන ස්ථානයේ රැඳී සිටියි. එක්සත් ජනපදය වගුවූයේ යම්තම් සියයට 5ක ට පමනි.

කෙසේ වෙතත් ඉන්දුනීසියාව සහ චීනය අතර වෙලඳ රටාවන් වේගයෙන් වෙනස් වෙමින් පවතී. 2010 මුල් මාස 5 තුල ඉන්දුනීසියාව චීනයට කල අපනයනයන් ඩොලර් බිලියන 7.86 දක්වා සියයට 79කින් වැඩි වෙද්දී චීනයෙන් කල ආනයනයන් ඩොලර් බිලියන 8.11 දක්වා සියයට 85 කින් වර්ධනය වූ බව චීන අධිකාරීහු වාර්තා කලහ. බීජිනය ඉන්දුනීසියාවේ විදුලිය, ගල් අඟුරු සහ ගෑස් තෙල් ව්‍යාපාර සඳහා යහමින් මුදල් යොදවන්නට චීන සමාගම් උනන්දු කරමින් සිටී. දියඹෙහි තෙල් නිෂ්පාදනයේ යෙදෙන ප‍්‍රධාන චීන සමාගම වන සීඑන් ඕ ඕසී හි ආයෝජන 2011 වන විට ඇමෙරිකානු ඩොලර් 5.6 ඉක්මවා ඇතැ යි වාර්තා වේ. 2009 දී චීන සෘජු ආයෝජන සියයට 29 කින් වර්ධනය විය.

ඔබාමාගේ සංචාරය ආසන්නයේ ජාතික මහජන කොන්ග‍්‍රසයේ නායක බංග්ගුවෝගේ ප‍්‍රධානත්වයෙන් යුත් චීන නියෝජිත පිරිස, ඉන්දුනීසියාව තුල එක්සත් ජනපද මූල්‍ය ආයෝජන ප‍්‍රමානය 1ට 20 අනුපාතය අභිබවමින් තවත් ඩොලර් බිලියන 6.6 යටිතල සහ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ලබා දීමට පොරොන්දු වූහ.

ඉන්දුනීසියාවේ දී ඔබාමා කල ප‍්‍රධාන කතාවේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ඉවසීම ”අන්‍යෝන්‍ය බෙදා හදා ගැනීමේ වටිනාකම” ගැන සම්ඵප‍්‍රලාප තෙපලූ අතර තමන් එම රටේ ගත කල ලමා කාලය ගැන සිහිපත් කරමින් එක්සත් ජනපද පිලිවෙත සඳහා අනුකූලත්වය දිනා ගැනීමට ප‍්‍රයත්න දැරී ය. කෙසේ වෙතත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ගැන කථා ලෝකයේ විශාලතම මුස්ලිම් ජාතිය තුල ඇති කලේ අල්ප බලපෑමකි.

දශක තුනක් තිස්සේ සුහර්තෝගේ ඒකාධිපති පාලනයට වොෂින්ටනය ලබා දුන් සහයෝගය සඳහන් නොකලත් පලස්තීනයේ ඇෆ්ගනිස්ථානයේ ඉරාකයේ සහ පකිස්ථානයේ කෲර හා නව යටත් විජිතවාදී ඇමරිකානු කි‍්‍රයාවන් පිලිබඳව දශලක්ෂ සංඛ්‍යාත ඉන්දුනීසියානු ජනයා හොදින් දැන සිටිති. ඔබාමා ඉන්දුනීසියා විශ්ව විද්‍යාලයේ 6,000 කට අධික ශිෂ්‍යයන් ඇමතූ අවස්ථාවේ විරෝධතා කරුවන් දුරස්ථ කර තැබීම සඳහා දැඩි ආරක්ෂාවක් යොදවනු ලැබිනි. මෙම දැඩි පරීක්ෂාවකට හසුකෙරුනු පේ‍්‍රක්ෂකයන් අතරින් පවා වේගවත් අත්පොලසන් හඬක් නැගුනේ ඉරාකයෙන් ලක්ෂයක් ඇමරිකානු හමුදා ඉවත් කර ඇතැ යි ඔබාමා ප‍්‍රකාශ කල අවස්ථාවේ පමනි.

ඔබාමා ඉන්දුනීසියාවෙන් කිසිවක් අත්පත් කර ගත්තේ නැතැයි ඇමරිකානු පාලක කවයන් තුල විවේචන මතුවී ඇත. දක්ෂිනාංශික ඇමාරිකානු කර්මාන්ත මන්ඩලයේ මයිකල් අවුස්ලින් නොවැම්බර් 10 දා වෝල්ස්ටී‍්‍රට් ජර්නල් පුවත් පතට මෙසේ ප‍්‍රකාශ කලේ ය. ”ජනාධිපති ඉන්දියාවේ නිදහස් වෙලඳාම ගැන සහ ඉන්දුනීසියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථා කල නමුදු ඔහුගේ කථාව සංයුක්ත පිලිවෙතකින් තොර විය. එමෙන් ම න්‍යායපත‍්‍රය බහු පාර්ශවීය වටපිටාව තුල වෙලඳාම ශක්තිමත් කිරීම හෝ පුනර්ජීවනය විය හැකි ආර්ථිකය ප‍්‍රවර්ධනය කිරීමේ යථාර්ථවාදී ප‍්‍රායෝගික සැලසුමකින් තොර සැරබාලකල එකකි.”

ජනාධිපතිවරයා ”නිදහසේ වැදගත් කම” ගැන දේශනා කිරීම පමනක් නොසෑහෙතැයි සඳහන් කල අවුස්ලින් මෙසේ කියයි. ”කලාපය තුල ඇමරිකානු හමුදාවල වර්ධනය: තව තවත් සබ්මැරීන් අභ්‍යාවකාශ යානා, ගුවන් යානා, මිත‍්‍ර පාක්ෂික පදනමේ රඳවා තැබීමට සහ ඒ සඳහා චීනයට සහ සෙසු ජාතීන්ට ප‍්‍රදේශයේ හැසිරීම නැවත සකස් කර ගැනීමට මගක් සොයා ගැනීමේ දැඩි තීරනයක පැහැදිලි සඥාවක් ඔහු නිකුත් කල යුතු ය.

මෙබඳු සඳහන් කිරීම්වලින් පිලිබිඹු වන්නේ එක්සත් ජනපදයට එහි අතීත ආධිපත්‍යය ආසියානු-පැසිෆික් ප‍්‍රදේශය තුල පවත්වාගෙන යාමේ නියම මාධ්‍යයන් වන්නේ ප‍්‍රකෝපකාරීත්වය සහ තවමත් පවතින එහි දැවැන්ත මිලිටරි ශක්තිය පමනක් බවය.