විකිලීක්ස් ලේඛන ශී‍්‍රලංකාවේ යුද අපරාධවලට එක්සත් ජනපදයේ පිටුබලය හෙලිදරව් කරයි

WikiLeaks document exposes US complicity in Sri Lankan war crimes

By K.Ratnayaka,4 december 2010

මෙම සතිය තුල විකිලීක්ස් විසින් ප‍්‍රකාශයට පත්කල, කොලඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් යවන ලද එක් කේබල් පනිවිඩයකින්, ජනාධිපති රාජපක්ෂ හා ඔහුගේ තන්ත‍්‍රය බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව දියත්කල යුද්ධයේ අවසන් අදියරෙහි සිදුකල යුද අපරාධ පිලිබඳව ඔබාමා පරිපාලනය හොඳින් දැනසිටි බව පෙන්නුම් කරයි.

2006 ජූලි මාසයේ රාජපක්ෂ විසින් යලි ඇරඹූ යුද්ධය, 2009 මැයි මාසයේදී එල්ටීටීඊ යේ පරාජයෙන් කුලු ගැන්වින. අවසන් මාසවල දී මිලිටරිය, දහස් ගනනක් දෙමල සිවිල් වැසියන් මරුමුවට පත්කරමින් එල්ටීටීඊය අත ඉතිරිව තිබූ කුඩා බිම් කොටස්වලට බෝම්බ හා වෙඩි ප‍්‍රහාර එල්ල කලේය. රාජපක්ෂ, මිලිටරිය හෝ තම ආන්ඩුව විසින් යුද අපරාධ සිදුකල බව එක දිගටම ප‍්‍රතික්ෂේප කරමින් කුමන හෝ ස්වාධීන පරීක්ෂනයකට විරුද්ධ විය.

විකිලීක්ස් විසින් ප‍්‍රසිද්ධ කල කේබල් පනිවිඩය, මෙරට එක්සත් ජනපද තානාපතිනී පැට්රිකා ඒ. බියුටනිස් විසින් යවන ලද්දේ මෙම වසරේ ජනාධිපතිවරනයට යන්තම් සතියකට පෙර, ජනවාරි 15දා ය. හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා පරාජය කරමින් රාජපක්ෂ මැතිවරනය දිනා ගත්තේය.

”වගකීම (යුද අපරාධ) පිලිබඳ” ආන්ඩුවේ ”මඳ අවධානය පුදුමයක් නොවේ” යයි සඳහන් කරමින් බියුටනිස් ප‍්‍රකාශ කලේ, ප‍්‍රශ්නය, ”චෝදනා නැගෙන බොහෝ අපරාධ පිලිබඳ වගකීම, ජනාධිපති රාජපක්ෂ හා ඔහුගේ සොහොයුරන් සහ විරුද්ධ පාක්ෂික අපේක්ෂක ජෙනරාල් ෆොන්සේකා ද ඇතුලු රටේ ජ්‍යෙෂ්ට සිවිල් හා මිලිටරි නායකත්වය සමඟ බැඳී තිබීමේ කාරනය නිසා සංකීර්න වී” තිබෙන බවය.

එල්ටීටීඊ පරාජයෙන් පසුව ”මානව හිමිකම් උල්ලංඝනය කිරීම” පිලිබඳව පරීක්ෂනයක් සඳහා කැඳවුම් කල නමුත් වොෂින්ටනය, රාජපක්ෂ සහෝදරයන් හා ෆොන්සේකා ප‍්‍රධාන අපරාධකරුවන් ලෙස කිසිවිටෙකත් නම්කලේ නැත. යුද අපරාධ සඳහා රටේ ඉහලම සිවිල් සහ මිලිටරි නායකයන් වගකිවයුතුය යන්න එක්සත් ජනපදය මුල සිටම දැන සිටි බව බියුටනිස්ගේ කේබල් පනිවුඩයෙන් සනාථ කෙරේ. හමුදා ප‍්‍රධානියා ලෙස ෆොන්සේකා අවසන් ප‍්‍රහාර සැලසුම් කර ක‍්‍රියාත්මක කිරීම සඳහා වගකිවයුතුය. ආරක්ෂක අමාත්‍යාංශය බාර ප‍්‍රධාන නිලධාරියාවූ ජනාධිපතිගේ සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් විය.

යුද අපරාධ පිලිබඳ ප‍්‍රමුඛත්වය දැරුවේ ජනාධිපති රාජපක්ෂ හා ජෙනරාල් ෆොන්සේකා බවට ඇති තරම් සාක්ෂි තිබේ. පසුගිය වසරේ ජනවාරි හා මැයි මාස අතරතුර සිවිල් වැසියන් 7,000ක් මියගිය බවට එක්සත් ජාතීන්ගේ මන්ඬලය ගනන් බලා ඇත. ඊටත් වැඩි 30,000ත් 75,000ත් අතර සිවිල් මරන හා රෝහල් හා එල්ටීටීඊ ප‍්‍රදේශ අභ්‍යන්තරයේ මධ්‍යස්ථාන මිලිටරිය හිතා මතාම ඉලක්ක කල බව පෙන්නුම් කරන සාක්ෂි ඉන්ටර්නැෂනල් ක‍්‍රයිසිස් ගෘප් විසින් රැස්කර තිබේ.

2009 මැයි මාසයේදී බි‍්‍රතාන්‍යයේ ගාඩියන් හා සන්ඩේ ටයිම්ස් පුවත්පත්, එල්ටීටීඊයේ සාම ලේකම් කාර්යාල ප‍්‍රධානී එස්. පුලිදේවන්, දේශපාලන නායක බී. නඩේසන් හා මිලිටරි නායක රොමේෂ් සුදුකොඩි රැගෙන යටත් වීමට උත්සාහ කරද්දී මරාදැමූ බව වාර්තා කලේය. සන්ඩේ ටයිම්ස් මාධ්‍ය වේදිනී මේරි කොල්වින්, යටත්වීමේ වැඩ කටයුතු එක්සත් ජනපද බි‍්‍රතාන්‍ය හා එක්සත් ජාතීන්ගේ නිලධාරීන් සමඟ සාකච්ඡාකර යොදාගත් බව හෙලිදරව් කලාය.

එලිමහනට පැමින ඇති මෙම කේබල් පනිවිඩය, රාජපක්ෂ යලි ඇරඹූ යුද්ධයට මුලුමනින්ම පිටුබලය දුන් එක්සත් ජනපදය හා එහි සගයන් අනුගමනය කල පිලිවෙතේ දෙපිටකාට්ටුකම මතුකර දක්වයි. 2002 සටන් විරාමය හමුදාව විසින් විවෘතව උල්ලංඝනය කිරීම්, සිවිල් වැසියන් ඉලක්ක කල එහි බෝම්බ ප‍්‍රහාර හා ආන්ඩු ගැති ඝාතක කල්ලිවල මෙහෙයුම් ද ඇතුලූ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් කඩකිරීම් පිලිබඳව ඔවුහු නිහඬව සිටියහ. අවසන් මාසවල දී ඔවුහු, ලේවැගිරීම් අවසන් කිරීමේ එකම මඟ එල්ටීටීඊයේ යටත්වීම බව යලි යලිත් කියා සිටියහ.

යුද්ධයේ අවසන් අදියරේදී හා ඉන් පසුව පමනක් එක්සත් ජනපදය හා අනෙකුත් බලවතුන් රාජපක්ෂ ආන්ඩුවට පීඩනය යෙදීම සඳහා ”මානව අයිතීන්” පිලිබඳ තුරුම්පුව නරුම ලෙස යොදාගත්හ. ”මානව අයිතීන් උල්ලංඝනය” කිරීම පිලිබඳ ඔවුන්ගේ කනස්සල්ල දෙමල සිවිල් වැසියන් මුහුනපෑ ව්‍යසනය සමඟ කිසිදු සම්බන්ධයක් නැත. ඊට පටහැනිව ඔවුන් උත්සුක වූයේ, ආර්ථික හා මූලෝපායික සහන වලට - විශේෂයෙන්ම, දකුනේ හම්බන්තොට ප‍්‍රධාන නව වරායක් - හිලව් වශයෙන්, යුද්ධය සඳහා මුදල් ද අවි ආයුධ ද සපයමින්, චීනය, කොලඹ ආන්ඩුවේ සමීප ආධාරකරුවකු ලෙස ඉස්මතුවී තිබීම පිලිබඳවය.

යුද්ධයෙන් ඉක්බිතිව එහි ප‍්‍රතිඵලයක් ලෙස රාජපක්ෂ සිය බලය තහවුරු කරගත් බව පැහැදිලි වීමට පටන් ගැනීමත් සමඟ, ”මානව අයිතීන්” පිලිබඳ එක්සත් ජනපද උත්සුකතාවන්ගේ සැර බාල කෙරුනි. ”ශී‍්‍ර ලංකාව: යුද්ධයෙන් පසුව එක්සත් ජනපද මූලෝපායේ නව ප‍්‍රස්තාරගත කිරීම” යන හිසින් පසුගිය දෙසැම්බරයේ එක්සත් ජනපද සෙනෙට් විදේශ සම්බන්ධතා කමිටුව විසින් නිකුත් කරන ලද ප‍්‍රධාන වාර්තාවක් සමඟ බියුටනිස්ගේ කේබල් පනිවුඩය මනාව පෑහෙයි. කොලඹ සමඟ චීනයේ වර්ධනය වන බැඳීම් එක්සත් ජනපදයේ මූලෝපායික අවශ්‍යතාවන් කෙරෙහි අනතුරුදායක වන බව ඉස්මතුකර දක්වන වාර්තාව, එක්සත් ජනපදයට ”ශ‍්‍රී ලංකාව අහිමිවී යාම” දැරිය නොහැකි බව ප‍්‍රකාශ කරයි. ”මානව අයිතීන්” වැදගත් තැනක් දරන අතරම, ”ශ‍්‍රී ලංකාව කෙරෙහි එක්සත් ජනපද පිලිවෙත තනි න්‍යායපත‍්‍රයකින් පමනක් මෙහෙයවිය නොහැකිය. එය සැබෑ ප‍්‍රතිසංස්කරන ලබාදීමේ ලා සමත් නොවන අතර එය කලාපයේ එක්සත් ජනපද භූ මූලෝපායික අවශ්‍යතාවන්ට නිසි අවධානය ලබා දීමට අපොහොසත් වෙයි.” යනුවෙන් වාර්තාව ප‍්‍රකාශ කලේය.

මෙම දිශානතියට අනුව කොලඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඊයේ කියා සිටියේ, ජනවාරි කේබල් පනිවිඩයෙන් අලුත් කිසිවක් හෙලිදරව් නොකරන බවයි. ”වගවීම සඳහා ශ‍්‍රී ලංකාවේ බැඳීම පිලිබඳ එක්සත් ජනපදයේ ප‍්‍රතිපත්තිය බොහෝ වතාවක් පැහැදිලි කර තිබේ. ඒවා (යුද අපරාධ චෝදනා) පිලිබඳ පරීක්ෂනයක මූලික වගකීම දරන්නේ ස්වෛරී ජාතික ආන්ඩුවයි.” එය කියා සිටියි.

මේතාක් දුරට ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව මුලුමනින්ම නිහඬව සිට ඇත. ”විදේශ ආන්ඩුවක රහස් පනිවිඩ පිලිබඳව ප‍්‍රසිද්ධියේ අදහස් දැක්වීමේ බලාපොරොත්තුවක් නැති” බව පමනක් විදේශ කටයුතු අමාත්‍යාංශය කියා ඇත.

එල්ටීටීඊයේ පරාජයෙන් පසුව දෙමල වරප‍්‍රසාදිත පැලැන්තිය වෙනුවෙන් දේශපාලන සංස්ථාපිතය තුල තැනක් හදාගැනීමේ උපාමාරුවල යෙදී සිටින දෙමල පක්ෂ, ඒ සඳහා සහාය ලබාගැනීමට එක්සත් ජනපද තානාපති කාර්යාලය සමඟ පස්සා දොරින් ගනුදෙනුවක යෙදී සිටින අතර බියුටනිස්ගේ කේබල් පනිවිඩය ඔවුන්ගේ වැඳ වැටීම ද එලිමහනට ගෙන තිබේ. දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ද ඇතුලු මෙම පක්ෂ යුද්ධය අවධියේදී එල්ටීටීඊයේ හොරනෑව ලෙස කටයුතු කලේය.

”වගවීම වැදගත්වන බවත් ඒ ප‍්‍රශ්නය පිලිබඳව ජාත්‍යන්තර ප‍්‍රජාව දක්වන උනන්දුව අගය කරන බවත්” ටීඑන්ඒ නායක ආර්. සම්බන්ධන් විශ්වාස කරන්නේ යයි බියුටිනස් සඳහන් කර තිබේ. මෙම ”වගවීම” පිලිබඳ කාරනා ”ක්ෂනික උත්සුකතාවක්” දැරුවා වුවත් ඒ වෙනුවට අභ්‍යන්තරව අවතැන්වූ පුද්ගලයන් නිදහස් කරගැනීම, සම්ප‍්‍රදායික දෙමල ප‍්‍රදේශ වලට සිංහල මිනිසුන් සංක‍්‍රමනය වීම පිලිබඳ උත්සුකතා හා ප‍්‍රාදේශීය ආර්ථිකය යලි ගොඩනැඟීම වැනි වර්තමාන පාන් හා බටර් පිලිබඳ ප‍්‍රශ්න මත අවධානය යොමුකරනු වස් එම කාරනා අඩුලංසුවට දැමිය යුතු යයි යෝජනා කිරීමෙහි ලා ටීඑන්ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී පත්මිනී සිතම්පරනාතන් වඩාත් නිශ්චිත වූවාය.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුනේ (ප‍්‍රජාපෙ) නායක මනෝ ගනේෂන්, ෆොන්සේකා ”ජාතික සමඟිය” පිලිබඳ ප‍්‍රශ්න විසඳනු ඇති බව තානාපතිනිය වෙත පවසා තිබුනි. ”වගවීම පිලිබඳව ගනේෂන් අපට පැවසුවේ ප‍්‍රශ්නය වැදගත්වන අතර, එය භේදකාරී වන බැවින් අවධානය දැන් යොමුවිය යුත්තේ රාජපක්ෂලාගේ ග‍්‍රහනයෙන් රට මුදාගැනීමට එක්සත් වීම කෙරෙහි” බවය.

රාජපක්ෂට වඩා අඩු නපුර බව කියා සිටිමින් ටීඑන්ඒ හා ගනේෂන්ගේ පක්ෂය යන දෙකම යුද අපරාධවලට සෘජුවම සම්බන්ධවූ අයෙක් වන ෆොන්සේකාට ජනාධිපතිවරනයේදී සහාය දුන්නේය. යුද්ධයෙන් පසුව රාජපක්ෂ සමඟ විරසකවූ ෆොන්සේකා, ජනාධිපතිවරනයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය. ෆොන්සේකාට සහාය දෙමින් දෙමල පක්ෂ, වර්ගවාදී යුද්ධයට පූර්න සහයෝගය දුන් දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය හා වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුන යන දෙපක්ෂය සමඟ අත්වැල් බැඳගත්තේය.

ටීඑන්ඒ වෙතින් කැඩී ගොස් ජනාධිපතිවරනයට තරඟකල එම්. කේ. සිවාජිලිංගම් වෙනත් මඟකට පිවිසියේය. බියුටනිස්ගේ කේබල් පනිවුඩයට අනුව ඔහු, ”දෙමල ජනතාවගේ දුක් ගැහැට හා මරන සඳහා යුක්තිය පසිඳලීමට ජාත්‍යන්තර පරික්ෂනයක් ඉල්ලමින් වගවීම පිලිබඳව” කථාකලේය. මානව අයිතීන් පිලිබඳව සොයාබලන ලෙස එක්සත් ජනපදයෙන් හා අනෙකුත් බලවතුන්ගෙන් ඉල්ලා සිටින නව සම සමාජ පක්ෂයේ හිටපු රැඩිකලුන් සිවාජිලිංගම්ට සහාය දක්වයි. හෙලිදරව් කල කේබල් පනිවුඩය එම කැඳවුමේ දේශපාලන බංකොලොත්කම තහවුරු කර තිබේ. එක්සත් ජනපදයට හා එහි මිතුරන්ට, රාජපක්ෂ හෝ ෆොන්සේකා වගවීමට බැන්දවීමේ කිසිදු අභිප‍්‍රායක් කිසිදාක තිබුනේ නැත. ඔවුන්ගේ මැදිහත්වීම් නිරතුරුව ම මුලුමනින් ම බැඳී පැවතියේ තම මූලෝපායික, ආර්ථික හා රාජ්‍ය තාන්ත‍්‍රික ගනන් බැලීම් හා ඒවාට නොඅඩු ලෙස, වැඩී යමින් තිබෙන එක්සත් ජනපද චීන එදිරිවාදිකම් සමඟ ය.