එක්සත් ජනපද මහ බැංකුව බැඳුම්කර මිලට ගැනීමේ නව වටයක් නිවේදනය කරයි

US Federal Reserve announces new round of bond purchases

By Barry Grey, 4 November 2010

එක්සත් ජනපද ඩොලර් බිලියන සිය ගනනක නෝට්ටු මුද්‍රනය කිරීමටත්, ඒවා සිය ආර්ථිකය තුලට අලුතින් එන්නත් කිරීමටත් කොන්දේසි නිර්මානය කරමින් මහ බැංකුව, බැඳුම්කර මිලට ගැනීමේ නව වටයක් නොවැම්බර් 03 දින නිවේදනය කලේය. මහ බැංකු සභාපති බෙන් බර්නාන්කේ හා අනෙකුත් බැංකු නිලධාරීන් එක දිගට කල ඇඟවීම් වලින් පසුව, එවන් පියවරක් පුලුල් වශයෙන් අපේක්ෂා කල අතර, එය තව දුරටත් එක්සත් ජනපද කොටස් වෙලඳපොලේ හා ලාභයේ ඉහල නැඟීමකට අවශ්‍ය ඉන්ධන සැපයීමක් වුවත් අංක දෙකට ආසන්න විරැකියාව අඩුකිරීමට දායක වනු ඇත්තේ මඳ වශයෙනි.

දකුනු කොරියාවේ සියෝල් නුවර පැවැත්වීමට නියමිත ප‍්‍රමුඛ ආර්ථිකයන්ගේ ජී-20 සමුලුවට සතියකට පෙර දියත්වන ඊනියා ''ප‍්‍රමානාත්මක ලිහිල්කිරීමේ” නව වටය, අනෙකුත් මුදල් වලට සාපේක්ෂව ඩොලරයේ අගය තවදුරටත් බාල කරන අතර, ගෝලීය ආර්ථික ආතතීන් ද වෙලඳ හා මූල්‍ය යුද්ධ පිලිබඳ අවදානම ද උත්සන්න කරනු ඇත.

මහ බැංකුවේ ප‍්‍රතිපත්ති තීරනය කරන ෆෙඩරල් විවෘත වෙලඳපොල කමිටුව, වොෂින්ටනයේ පැවති සිය දෙදින සැසි වාරය අවසානයේ නිකුත්කල ප‍්‍රකාශනයෙන් නිවේදනය කලේ, අද සිට 2011 ජූනි අතර කාලය තුල තමන් බිලියන 600ක එක්සත් ජනපද භාන්ඩාගාර බිල්පත් මිලට ගනු ඇති බවයි. සිය ශේෂ පත‍්‍රයට ඇතුලත්වන උකස් වලින් පිටුබලය ලබන කල් පිරුනු සුරැකුම්, තව තවත් භාන්ඩාගාර බැඳුම්කරයන් මිලට ගැනීම සඳහා යෙදවීමේ අගෝස්තු මාසයෙන් ආරම්භ කල වැඩ සටහන ඉදිරියට ගෙනයන බව එය තවදුරටත් කියා සිටියේය. මහ බැංකුව ගනන් බලන්නේ, එහි ප‍්‍රතිපලය වශයෙන් එක්සත් ජනපද ආන්ඩුවේ නයවලින් අතිරේක ඩොලර් බිලියන 250-300 අතර ප‍්‍රමානයක් තමන් මිලට ගනු ලබන බවයි. ප‍්‍රකාශනය තව දුරටත් සඳහන් කලේ, ආර්ථික වර්ධනය දිගටම මන්දගාමීව පැවතුනහොත්, මහ බැංකුව තම බැඳුම්කර මිලට ගැනීම් තවත් ඉහල නැංවීම පිලිබඳව සලකා බලන බවයි. ''ඉහල විරැකියාව, ආදායමේ මධ්‍යස්ථ වර්ධනය, පහත් කුටුම්භ ධනය හා සීමාසහිත නය සම්පාදනය සමඟ ආර්ථික වර්ධනයේ මන්දගාමී ස්වභාවය අඛන්ඩව පැවතුනහොත්” එක්සත් ජනපදයේ ‘ප‍්‍රකෘතිමත්වීම’ පිලිබඳ චිත‍්‍රය බොඳවනු ඇති බවට එය අනතුරු අඟවයි. ''ප‍්‍රගතිය කෙරෙහි යොමුවන තම අරමුනු බලාපොරොත්තු සුන් කරවන තරම් මන්දගාමී යයි” කමිටුව පැවසුවේය.

සැප්තැම්බරයේ පැවැත්වූ එහි පූර්ව රැස්වීමේදී පාවිච්චිකල භාෂාවම යොදාගනිමින්, සියයට එකක් පමන වන වත්මන් උද්ධමන අනුපාතය මහ බැංකුවේ අපේක්ෂිත ඉලක්කය වන සියයට 2ට වඩා පහතින් ඇති බව කියා සිටීම වැදගත්ය. මෙයින් අදහස් කරන්නේ මහ බැංකුව හිතාමතාම, ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලවල තව තවත් ඩොලර් විකුනා දැමීම දිරිමත් කරමින් එක්සත් ජනපද මුදලේ හුවමාරු අනුපාතිකය පහත හෙලීම සඳහා උද්ධමන අනුපාතිකය ඉහල නැංවීමේ උත්සාහයක නිරතවන බවයි.

එක්සත් ජනපදයේ අපනයන ලාභ කිරීම හා ආනයන වටිනාකම් නැංවීමේ බලපැම හමුවේ එරට සමාගම්වලට ජර්මනිය, ජපානය හා චීනය වැනි රටවල සිය තරගකරුවන් සමඟ වෙලඳාමේදී වැඩි වෙලඳ වාසි සැලසෙනු ඇත. මහ බැංකුවේ කෙටි කාලීන පාදක පොලී අනුපාතය, එනම්, අන්තර් බැංකු හදිසි නය ගනුදෙනු සඳහා මහ බැංකුව අයකරන පොලී රේට්ටුව, සියයට 0 සිට 0.25 අතර පවත්වා ගැනීමේ සිය අරමුන ඇඟවුම් කිරීම සඳහා 2008 දෙසැම්බරයේ පටන් පාවිච්චි කරන භාෂාවම කමිටුව ද යලි පුනරුච්ඡාරනය කර තිබේ. ''දිග්ගැස්සුන කාල පරාසයක් සඳහා බැංකුවේ අරමුදල් අනුපාතය සුවිශේෂිත පහල මට්ටම්වල” පවත්වා ගැනිමට කොන්දේසි සැකසී ඇතැයි ප‍්‍රකාශනය කියා සිටියි.

2009 මාර්තු සිට 2010 මාර්තු දක්වා මහ බැංකුව ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩ සටහනක් ක‍්‍රියාත්මක කරමින් උකස් පිටුබලය සහිත සුරැකුම් ඩොලර් ටි‍්‍රලියන 1.4 ක් හා භාන්ඩාගාර බිල්පත් බිලියන 300ක් මිලට ගෙන තිබේ. බිංදුවට ආසන්න පොලී අනුපාතික සහතිතව ලාභ නය ලෙසට මූල්‍ය වෙලඳපොලවලට උතුරාගිය අච්චු ගැසූ ඩොලර් බිලියන සිය ගනන් යොදාගනිමින් එක්සත් ජනපද බැංකුවලට හා මහා ව්‍යාපාරවලට, ආදායම් පහත වැටෙද්දී ද රැකියා හා වියදම් කප්පාදු කරන අතරතුරදී ද දැවැන්ත ලාභ පොදිගසා ගැනීමට හැකිවිය.

ඩොලර් අච්චු ගැසීමේ නව වටය ද එම ප‍්‍රතිපලම ගෙනඑනු ඇත. තමන් ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ නව වටයකට නැඹුරුවී සිටින බව බර්නාන්කේ පලමු වතාවට ඇඟවුම් කල අගෝස්තුවේ පටන්, එක්සත් ජනපද කොටස් වෙලඳපොල සියයට 12 කින් ඉහල නැඟී තිබේ. 03දා එක්සත් ජනපද කොටස් දර්ශක, බැංකුවේ නිවේදනයට පෙරාතුව තිබූ රිනාත්මක තලයේ සිට නව වර්ධනයක් දෙසට මාරුවී ඇත. ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍යය, 2008 සැප්තැම්බරයේ ලේමන් බ‍්‍රදර්ස් බිඳ වැටීමෙන් පසුව වාර්තාවූ ඉහලම මට්ටම අත්කර ගත්තේය.

එම කාලය තුලම ඩොලරය, ජපාන යෙන්, යුරෝ, ස්විස් ෆ‍්‍රෑන්ක්, ඕස්ටේ‍්‍රලියානු ඩොලරය හා අනෙකුත් මුදල් වලට සාපේක්ෂව තියුනු ලෙස පහත වැටී තිබේ. 03දා එක්සත් ජනපද මුදල අනෙකුත් ප‍්‍රධාන සමාන මුදල් හයකට සාපේක්ෂව ගනන් බලන ඩොලර් දර්ශකය, තවත් සියයට 0.5න් පහත ගියේය.

බීජිනය සිය මුදල ඩොලරයට සාපේක්ෂව වඩා ඉක්මනින් අධි ප‍්‍රමානය වීමට ඉඩහැරිය යුතුයයි කියා සිටින ඔබාමා පරිපාලනය, එහි ලාභ ඩොලර් ප‍්‍රතිපත්තිය වඩාත් විවෘත ලෙස චීනයට එරෙහිව මෙහෙයවයි.

එක්සත් ජනපද මූල්‍ය ප‍්‍රතිපත්තියේ එක් ප‍්‍රතිපලයක් වන්නේ, ඉහල ප‍්‍රතිලාභ අපේක්ෂා කරන ප‍්‍රාග්ධනය ආකර්ශනය කරගන්නා ඉහල විනිමය අනුපාතික හා වේගවත් ආර්ථික වර්ධනයක් සහිත නැඟීඑන වෙලඳපොලවල් සහිත රටවල් තුලට දහනශීලී මුදල් දෝරේ ගැලීමයි. දකුනු කොරියාව, තායිලන්තය, ඉන්දියාව හා බ‍්‍රසීලය වැනි රටවල් පෙලක්, තම අපනයන ආරක්ෂාකර ගැනීමේ ද අයෝජන බුබුලු හා උද්ධමනය වලක්වාගැමේ ද අරමුනෙන්, ප‍්‍රාග්ධන ගලනය පාලනය කිරීම සඳහා මුදල් වෙලඳපෙලට මැදිහත්වීමට පියවර ගෙන තිබේ.

මහ බැංකු රැස්වීම ආසන්නයේ ඉන්දියාව හා ඕස්ටේ‍්‍රලියාව, නව වටයක එක්සත් ජනපද මුදල් අච්චුගැසීමට මුහුනපෑම පිනිස පූර්ව භංඟ පියවර ගැනීමක් වශයෙන් සිය පොලී අනුපාත ඉහල දැමූහ. ඉන්දියානු මහ බැංකුවේ අධිපති ඩියුවූරි සුබරාවෝ මෙසේ පැවසීය. ''දියුනු රටවල අතිශය ලිහිල් මූල්‍ය ප‍්‍රතිපත්ති, මධ්‍ය කාලීනව ගෝලීය ආර්ථිකයට වාසි දායක විය හැකි වුවත්, කෙටි කාලයේදී එය, නැඟීඑන වෙලඳපොල ආර්ථිකයන් තුලට තව තවත් ප‍්‍රාග්ධනය ගලා ඒම දිරිමත් කරමින් ගෝලීය පාරිභෝගික භාන්ඩ මිල ඉහලට තල්ලු කිරීමේ පීඩනයක් යොදනු ඇත.”

03දා ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රයේ තීරුවක් තුල, යෝධ බැඳුම්කර සමාගමක් වන පැසිෆික් ඉන්වෙස්ට්මන්ට් මැනේජ්මන්ට් හෙවත් ප‍්‍රිම්කෝහි ප‍්‍රධාන විධායක මොහමඩ් එල් ඉරියන්, එක්සත් ජනපදයේ ලාභ ඩොලර් ප‍්‍රතිපත්තියේ ගෝලීය බලපෑම පිලිබඳව අනතුරු ඇඟවීය.

''අවශේෂ ලෝකයට මෙම අතිරේක ද්‍රවශීලතාවය අවශ්‍ය වන්නේ නැත. .. බ‍්‍රසීලය, චීනය වැනි නැඟීඑන ආර්ථිකයන් ගනනාවක් දැනටමත් අධි උනුසුමක ආසන්නයේ සිටියි. යුරෝ කලාපයට හා ජපානයට ඔවුන්ගේ මුදල තවදුරටත් අධිප‍්‍රමානය වීම අහිතකර වීමට පුලුවන.”

''ඊට විපරීත ලෙස, මේ මාසයේදී කොරියාවේ පැවැත්වීමට යන ප‍්‍රධාන ආර්ථිකයන්ගේ ජී-20 සමුලුවට පෙරාතුව, පෙන්වන ආචාරශීලී පුරාජේරු කෙසේ වෙතත්, අදූරදර්ශී හා නුසුදුසු ඇමරිකානු ප‍්‍රතිපත්තිය නිසා හටගෙන තිබෙන ප‍්‍රාග්ධන ගලනයේ අනවශ්‍ය වන විනාශකාරී පීඩනය ලෙස අනෙකුත් රටවල් දැකගන්නා සංසිද්ධියට ඔවුන් මුහුනපානවා ඇත. එහි ප‍්‍රතිපලය වනු ඇත්තේ, නව වටයක මූල්‍ය ආතතීන් හා ප‍්‍රාග්ධන පාලනයේ ද වෙලඳ ආරක්ෂනවාදයේ ද දැඩි අවදානමකි.”