චීනය මත පීඩනය දැඩි කිරීම සඳහා එක්සත් ජනපදය කොරියන් ගැටුම ගසාකයි

US exploits Korean clash to step up pressure on China

By John Chan, 25 November 2010

උතුරු දකුනු කොරියාව අතර 23දා ඇතිවූ කාලතුවක්කු ෂෙල් වෙඩි ප‍්‍රහාරවලින් උත්සන්න කෙරුනු කොරියානු අර්ධද්වීපයේ ආතතීන්, ආසියානු පැසිෆික් කලාපයේ ආධිපත්‍යය වෙනුවෙන් වොෂින්ටනයේ නැඟීඑන ප‍්‍රතිවාදියා වන චීනය මත වඩ වඩාත් පීඩනය යෙදීම සඳහා ගසාකෑමට ඔබාමා පාලනාධිකාරය පියවර ගනිමින් සිටියි.

යොන්පියොන් දිවයිනේ ඉදිකිරීම් කම්කරුවන් දෙදෙනෙකුගේ මල සිරුරු සොයා ගැනීමත් සමඟ දකුනු කොරියානු පාර්ශවයේ මරන සංඛ්‍යාව අද වන විට හතර දක්වා වැඩි විය. උතුරු කොරියාව එල්ල කල කාලතුවක්කු ප‍්‍රහාරවලින් දකුනේ සෙබලුන් දෙදෙනෙක් ද මිය ගියේය. දකුනු කොරියානු මිලිටරිය ”ප‍්‍රති ප‍්‍රහාර” ලෙස ෂෙල් වෙඩි 80ක් එල්ල කල බව වාර්තාවීමෙන් පසුව උතුරට සිදුවූ හානිය මෙතෙක් අනාවරනය වී නැත. තවත් මිලිටරි ගැටුම් හා ප‍්‍රධාන බලවතුන් මෙයට පැටලීමේ හැකියාව පිලිබඳ භීතිය මධ්‍යයේ 24දා ආසියානු හා ජාත්‍යන්තර කොටස් වෙලඳපලවල් ලුහුටා ගියේය.

ආතතීන් සමනය කිරීමට ක‍්‍රියාකරනවා වෙනුවට ඔබාමා බලාධිකාරය, 24දා තීරනය කලේ න්‍යෂ්ටික බලයෙන් ක‍්‍රියාකරන, ගුවන්යානා පිරිවරාගත් යූඑස්එස් ජෝර්ජ් වොෂින්ටන් හා තවත් යුද නැව් පහක් කහ මුහුද වෙත යැවීමටය. ඒවා දකුනු කොරියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාස වලට සහභාගී වනු ඇත. 24දා නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කලේ, අභ්‍යාසවලට එක්සත් ජනපදයේ සහභාගිත්වය සැලසුම් කර තිබුනේ පසුගිය ජූලි මාසයේ වුවත් ”දෙරටේ ජනාධිපතිවරු නිශ්චිත කාලය (නොවැම්බර් 28-දෙසැම්බර් 01) තීරනය කලේ උතුරු කොරියානු කාලතුවක්කු ප‍්‍රහාරයට ප‍්‍රතිචාර වශයෙනි.” යනුවෙනි.

ජාතික ආරක්ෂාවට තර්ජයක් බව පවසමින් ජූලි මාසයේදී චීනය, එරට හා කොරියාව අතර වැටී තිබෙන කහ මුහුදට යූඑස්එස් ජෝර්ජ් වොෂින්ටන් නෞකාව ඇතුල් කිරීමට දැඩි විරුද්ධත්වය පලකර තිබුනි. මේ පිලිබඳ බීජිනයේ ඉහලම සංවේදිතාව පලකරමින් චීනය, මෙම කලාපය තුල තමන්ගේම ප‍්‍රධාන මිලිටරි අභ්‍යාස පවත්වන්නට යෙදුනි. එක්සත් ජනපදය හා දකුනු කොරියාව අතර එම යෝජිත නාවික අභ්‍යාසය ජපාන මුහුද වෙත මාරුකෙරුනු නමුත් ඔබාමා පරිපාලනය, නැවත නැවතත් කියා සිටියේ තමන් අවසානයේදී ගුවන්යානා ප‍්‍රවාහන නෞකාව කහ මුහුදට ඇතුල් කරන බවයි. කොරියාවන් දෙක අතර උග‍්‍ර ආතතීන් හටගෙන තිබෙන තත්වය හමුවේ මෙම ප‍්‍රහාරක නෞකා සමූහය යෙදවීම පිලිබඳ කාල නියමය විශේෂයෙන්ම ප‍්‍රකෝපකාරීය.

මාධ්‍ය වාර්තාවලට අනුව, බොහෝ සාමාන්‍ය දකුනු කොරියානුවෝ මහා පරිමාන යුද්ධයක් ඇතිවීමේ හැකියාව පිලිබඳව බිය පලකරති. සිය පුතා මිලිටරි සේවයේ යෙදී සිටින කිම් මී සූක් නමැති ඔහුගේ පියා කොරියා හෙරල්ඞ් පත‍්‍රයට මෙසේ පවසා තිබුනි. ”අතරමැදි ප‍්‍රවෘත්ති වලට සවන්දුන් මෙහොතේ පටන් මා පසුවන්නේ බියෙන්ය. උතුරු කොරියාවේ කුමන හෝ ආයුධ සන්නද්ධ ක‍්‍රියාවක හෝ ප‍්‍රකෝපකිරීමක සුලු සංඥාවක්, සෙබලාගේ මව කම්පනයට පත්කිරීමට සමත්ය. අද තත්වය වඩාත්ම නරක වන්නේ කවරදාකටත් වඩා එය යුද තත්වයකට පෙරලී ඇති බැවින්ය.”

අලුතෙන් ෂෙල්වෙඩි ප‍්‍රහාර එල්ල වූ ස්ථානය ආසන්නයේ පිහිටි දකුනු කොරියාවේ බටහිර වෙරලබද ඉන්චොන්හි පදිංචිකරුවන්ගේ භීතිය වැඩි කරමින් ආන්ඩුව ඉහලම සුපරීක්ෂාකාරිත්වය ප‍්‍රකාශයට පත්කල අතර වරායන් වසාදමා සිවිල් වැසියන් හා වාහන ගමනා ගමනය සීමා කලේය. සිය ගනන් යොන් පියොන් දිවයින් වාසීහු සරනාගතයන් ලෙස ඉන්චොන් වෙත පැමිනියහ. ජියොන් සෙවුන්ග් වූක් නමැති ස්වදේශිකයා කියා සිටියේ ”මා බියෙන් පසුවන්නේ තත්වය පැතිරගොස් තවත් නරක අතට හැරෙනු ඇතැයි කියාය.”

ජනාධිපති ඔබාමා ඒබීසී ප‍්‍රවාත්ති සේවයට 23දා ප‍්‍රකාශ කලේ, එක්සත් ජනපදය දකුනු කොරියාවට හමුදා සහයෝගය දැක්වීමට තදින්ම බැඳී සිටින බවයි. ඔහු නිශ්චිතවම පැහැදිලි කලේ දෙරට අතර සන්ධානය ”පැසිෆික් කලාපයේ එක්සත් ජනපද ආරක්ෂාවෙහි එක් කොනක්” වන බවයි. එසේම ඔබාමා, ”විසඳීමක් අවශ්‍ය කෙරෙන බරපතල හා සැබෑ තර්ජනයක්” ලෙස උතුරු කොරියාව හංවඩු ගැසීය. මිලිටරි සන්ධානය කෙරෙහි වොෂින්ටනයේ කැපවීම අවධාරනය කිරීම පිනිස පසුගිය රාත‍්‍රීයේ ඔබාමා දකුනු කොරියානු ජනාධිපති ලී මයුන්ග් බක් දුරකථනයෙන් ඇමතීය.

එක්සත් ජනපදයේ දැඩි පිටුබලය සහිතව ලීගේ මහා ජාතික පක්ෂ ආන්ඩුව අනාගත උතුරු කොරියානු ප‍්‍රහාරවලට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් තද පිලිවෙතක් අනුගමනය කරයි. එම පක්ෂය, සීතල යුද්ධය අවධියේ එක්සත් ජනපදය විසින් මුක්කුව දෙන ලද හිටපු දකුනු කොරියානු මිලිටරි ආඥාදායකත්වයේ පක්ෂයයි.

උතුරු කොරියාව අවධාරනය කලේ තම ෂෙල්වෙඩි ප‍්‍රහාර ප‍්‍රති ප‍්‍රහාරයක් පමනක් වූ බවයි. එය, විශාල භට සංඛ්‍යාවක් සම්බන්ධවන කහ මුහුදේ දකුනු කොරියානු ”හෝගුක්” මිලිටරි අභ්‍යාසයේ සේනාංක විසින් උතුරු කොරියාවට අයත් මුහුදු ප‍්‍රදේශයට ෂෙල් වෙඩි එල්ල කල බවට චෝදනා නැඟීය.

කහ මුහුද බෙදා වෙන්කරමින් ඇඳි උතුරු සීමා මායිම් උතුරු කොරියාව කිසි විටෙකත් පිලිගත්තේ නැත. 1953 කොරියානු යුද්ධාවසානයේ එක්සත් ජනපදය ප‍්‍රමුඛ හමුදා විසින් මෙම මායිම් අටවන ලදී. 1999 වසරේදී උතුරු කොරියාව අර්බුදකාරී මුහුදු ප‍්‍රදේශයේ තමාගේම මායිම් ප‍්‍රකාශයට පත්කල අතර එය මාරක ගැටුම් දෙකකට තුඩු දුන්නේය. එක් නාවික අවි ගැටුමකදී අඩුම තරමින් උතුරු කොරියානු නාවිකයන් 17 දෙනෙක් මරුමුවට පත්විය. 2002 වසරේ තවත් අවි ගැටුමකදී දකුනු කොරියානුවන් සිව් දෙනෙක් හා උතුරු කොරියානුවන් 30ක් පමන මිය ගියේය. 2009 නොවැම්බරයේ ඔබාමාගේ ප‍්‍රථම ආසියානු සංචාරය අතරතුර දකුනු කොරියානු නැව්, උතුරේ බෝට්ටුවකට බරපතල හානි සිදුකල අවස්ථාවේ තවත් ගැටුමක් හටගත්තේය.

එම අර්බුදකාරී මුහුදු කලාපයේදීම මෙම වසරේ මාර්තුවේ චියොනාන් යන දකුනු කොරියානු යුද නෞකාව ගිලීයාමේ සිද්ධිය එක්සත් ජනපදය විසින් ඩැහැ ගත්තේය. එහෙත් උතුරු කොරියාව එම සිද්ධියට තමන්ගේ සම්බන්ධයක් නැතැයි කියා සිටියේය. ජූලි මාසයේ පැවැත්වූ එක්සත් ජනපද දකුනු කොරියානු ඒකාබද්ධ නාවික අභ්‍යාසය කහ මුහුදෙන් ඉවතට ගනු ලැබුව ද ජපාන මුහුදේ සිට එය පැවැත්වූයේ උතුරු කොරියාව එල්ල කරගෙනය.

දැන් එක්සත් ජනපද පාලනාධිකාරය චීනයට කෙරෙන බලපෑම් උග‍්‍රකර තිබේ. 23දා රාජ්‍ය දෙපාර්තමේන්තුව, උතුරු කොරියාවට කියන ලෙස චීනයට මෙසේ දැන්වීය. ”ඔවුන් විසින් ගරුකල යුතු ජාත්‍යන්තර නීති සමූහයක් ඇත්තේය.” ඊයේ දිනයේදී රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් මෙසේ පැවසීය. ”චීනය උතුරු කොරියාව කෙරෙහි බලපෑම් කලහැකි තත්වයක සිටින බැවින් චීනය එම බලපෑම් සහගත තත්වය පාවිච්චියට ගනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.”

චීනය පැත්තෙන් උතුරු කොරියාවට බලපෑම් දැමීමේ අර්ථය වන්නේ, දැනටමත් දුගීභාවයේ ගිලී සිටින සිය සගයා වෙත සපයන ආධාර කපාහැරීමයි. පියොන්යෑනය දශක ගනනාවක එක්සත් ජනපද හා එහි සගයන්ගේ සම්බාධකවලින් පීඩාවට පත්ව සිටියි. චීනය උතුරු කොරියාවේ විශාලතම ආධාර සම්පාදකයා හා අයෝජකයා වෙයි. උතුර ලාභ ශ‍්‍රම වේදිකාවක් ලෙස යොදාගැනීම සඳහා චීන සමාගම්වලට ඉඩ සැලසීමට එය ක‍්‍රියාශීලීව දායකවී සිටියි.

එක්සත් ජනපදයේ සමහර මාධ්‍ය ධවල මන්දිරයට කියා සිටින්නේ, උතුරු කොරියාවේ ”ප‍්‍රකෝපකරනයන්” වෙනුවෙන් වගකිවයුතු යයි බීජිනයට චෝදනා කරන ලෙසයි. 23දා වොෂින්ටන් පෝස්ට් කතු වැකියකින් පලවූයේ, ”එක්සත් ජනපදය හා එහි මිතුරන්, කිම් මහතාගේ (උතුරු කොරියානු නායකයා) අන්තරායකාරී හැසිරීම නතරකිරීම සඳහා බීජිනයට වගකීම පැවරිය යුතුය” යනුවෙනි.

බුෂ් පාලනය යටතේ එක්සත් ජාතින්ගේ එක්සත් ජනපද නියෝජිතයා වූ ජොන් බෝල්ටන් යූඑස්ඒ ටුඩේ වෙත පැවසුවේ, ”උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනය එරට පවතිනාතාක් කල් නතර නොවනු ඇත. එය ඔවුන් මිරිකා, මුලුමනින්ම හුදෙකලා කිරීම පිලිබඳ කාරනයකි.” බෝල්ටන් අවධාරනය කලේ, චීනය ”උතුරු කොරියාවේ සිදුවීම් තීරනය කිරීමේ සම්පූර්න හැකියාවෙන් යුත් රටයි” යනුවෙනි.

එක්සත් ජනපදය අධි ප‍්‍රතිචාර දැක්වීමෙන් චීනය සමඟ පුලුල් ගැටුමකට මුල පුරනු ඇතැයි යන කනස්සල්ල, එරට හිටපු ජාතික ආරක්ෂක උපදේශක සිබිග්නිව් බ්‍රෙෂිසින්ස්කි 23දා ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රයට ලියමින් මෙසේ පලකලේය. ”කෙසේ වෙතත් තීරනාත්මක වන, චීනය කෙරෙහි අපගේ ප‍්‍රවිෂ්ටය ප‍්‍රතිවාදී නොවිය යුතුය. දැවැන්ත මහජන විරසකයක් නිර්මානය කිරීම අපගේ හෝ චීනයේ යහපත පිනිස නොවනු ඇත. ඔබාමා මහතා හූ වෙත කරන කැඳවුමක් එකම කනස්සල්ල බෙදාගන්නා නායකයන් දෙදෙනෙකු අතර සංවාදයක් විය යුතුය. එය ඇමරිකාවේ නිර්දේශයක් හෝ අවවාදයක් නොවිය යුතුය.”

ඉදිරි දින කිහිපය තුල ධවල මන්දිරය චීන ජනාධිපති හූ ජින්ටාවෝ අමතනු ඇතැයි අද එය තහවුරු කල අතර, යූඑස්එස් ජෝර්ජ් වොෂින්ටන් නෞකාව කහ මුහුද වෙත යැවීමට ඔබාමා ගත් තීරනය ඇඟවුම් කරන්නේ, චීනය සමඟ ගැටුමකට මුල පුරන මාවතක් ධවල මන්දිරය ගෙන ඇති බවයි.