ශී‍්‍ර ලංකාව: ෆොන්සේකා සිරගත කිරීමට විරෝධය දැක්වීමේ පෙරමුනක් ගොඩනගයි

Sri Lanka: Opposition front formed to protest Fonseka’s jailing

By K. Ratnayake, 15 October 2010

හිටපු හමුදාපති හා විරුද්ධ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා වරදකරු කොට සිරගත කිරීමට එරෙහිව විරුද්ධ පක්ෂ කොලඹදී විරෝධතා මාලාවක් පැවැත්වූහ.

ජනතා විමුක්ති පෙරමුන විසින් සංවිධානය කල අලුත්ම විරෝධතාවය 11 වන සඳුදා පැවැත්විනි. බොහොමයක් ජවිපෙ ආධාරකරුවන් වන, 5,000 පමන දෙනා හයිඩ් පිටියේ සිට ෆොන්සේකා සිරගතකොට ඇති වැලිකඩ බන්ධනාගාරය වෙත පා ගමනින් පැමිනියහ. එක්සත් ජාතික පක්ෂය හා හිටපු රැඩිකලුන් වන නව සමසමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) ද ඊට සහභාගි විය.

ෆොන්සේකා නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ඉදිරිපත් කිරීමට නියමිත පෙත්සමක් අත්සන් තැබීම සඳහා නසසප හා එසපය, ජවිපෙ හා එජාපය සමඟ එකතුවූහ. සතියකට පෙර නසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න හා එසප නායක සිරිතුංග ජයසූරිය, කොටුව දුම්රියපල ඉදිරිපිටදී එජාපය පැවැත්වූ විරෝධතාවට එක්විය. විරෝධතා මතුවී ආවේ, රාජපක්ෂ ආන්ඩුවේ ආඥාදායක පාලන ක‍්‍රමෝපායන් පිලිබඳව වැඩකරන ජනතාව අතර වැඩෙන කනස්සල්ල කෙරෙහි පලවන ප‍්‍රතිචාරයක් ලෙසය. කෙසේ වෙතත්, ජවිපෙ "ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරයත්,” එජාපයේ "ආඥාදායක උමතුවට එරෙහි ජනතා ව්‍යාපාරයත්” යන දෙකම, සැලසුම්කොට ඇත්තේ, ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් සඳහා වන ඕනෑම අව්‍යාජ අරගලයක් සීමාකර ඊට වැට බැඳීමටයි.

ෆොන්සේකා සිරගත කිරීම කෙරෙහි වූ යොමුව, එම "ව්‍යාපාරය" ආරම්භයේ පටන්ම අන්තර්ගත කරගත් දක්ෂිනාංශික වර්ගවාදී ස්වරූපය සහතික කලේය. හමුදා ප‍්‍රධානියා ලෙස ෆොන්සේකා, රටේ දිග් ගැස්සුනු සිවිල් යුද්ධය ජනාධිපති රාජපක්ෂ විසින් 2006 වසරේදී යලි ආරම්භ කල තැන් පටන්, බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි රුදුරු මිලිටරි ප‍්‍රහාරය මෙහෙයවීය.

2009 වසරේ මැයි මාසයේදී එල්ටීටීඊ පරාජයෙන් පසුව රාජපක්ෂ සමග විරසකවූ ෆොන්සේකා තනතුරෙන් ඉල්ලා අස්වී ජනවාරි ජනාධිපතිවරනයේදී එජාප, ජවිපෙ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය. රාජපක්ෂ මැතිවරනයෙන් ජයග‍්‍රහනය කල ද ෆොන්සේකා සලකනු ලබන්නේ දේශපාලන තර්ජනයක් ලෙසය. ෆොන්සේකා කුමන්ත‍්‍රනයක් සැලසුම් කරමින් සිටියේය යන අභූත චෝදනා මධ්‍යයේ, මිලිටරිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අප‍්‍රකට හමුදා අධිකරනයක නඩු විභාගයකින් ගොතන ලද චෝදනා යටතේ වරදකරු කරන ලදී. ඔහු අපකීර්තිමත් ලෙස හමුදාවෙන් පහ කොට, තෙවසරකට බන්ධනාගාර ගත කල අතර පාර්ලිමේන්තු අසුනෙන් නෙරපන ලදී.

ෆොන්සේකා සිරගත කිරීම නිසැකවම විකාරයකි, ඔහු වහාම නිදහස් කල යුතුය. එහෙත් ෆොන්සේකාට කර ඇති සැලකීම, වඩාත් පුලුල් ලෙස පැතිර පවතින ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ක‍්‍රමානුකූලව උල්ලංඝනය කිරීමේ, විශේෂයෙන්ම යුද්ධය අවධියේත් ඉන් පසුවත් දෙමල සුලුතරයට, සැලකීමේ කොටසක් පමනි. රාජපක්ෂ සේම හමුදාපති වශයෙන් ෆොන්සේකා ද දහස් ගනනක් සිවිල් වැසියන් මරා දැමීම මෙන්ම, ආන්ඩු ගැති ඝාතක කල්ලි විසින් සිය ගනනක් "අතුරුදහන් කිරීම” හා මරා දැමීම පිලිබඳව ද වගකිව යුතුය. ෆොන්සේකා ද රාජපක්ෂ හා අනෙකුත් ආන්ඩුවේ හා මිලිටරියට සම්බන්ධ පුද්ගලයන්ට චෝදනා කොට නඩු පැවරිය යුත්තේ මෙම යුද අපරාධ පිලිබඳවය.

කෙසේ වෙතත් එජාපය හා ජවිපෙ, "රන විරුවෙක්” ලෙස ෆොන්සේකා හුවා දක්වති. සිංහල වර්ගවාදී දේශපාලනයේ කර වටක් ගිලී සිටින මෙම පක්ෂ දෙකම, රාජපක්ෂගේ සාපරාධී යුද්ධයටත් ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කිරීමටත් පූර්න පිටුබලය දී තිබේ. ඔවුන්ගේ ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම, "එල්ටීටීඊ සැක කරුවන්” ලෙස නඩු නොමැතිව රඳවා සිටින දහස් ගනනක් දෙමල තරුනයන් වහාම නිදහස් කරන ලෙස හෝ ඔවුන් රඳවා සිටීමට බලපාන කුරිරු නීති කටුගා දමන මෙන් ඉල්ලා සිටීම දක්වා ගමන් නොකරයි.

"ප‍්‍රජාතන්ත‍්‍රවාදී” ව්‍යාපාරයන්ගේ දක්ෂිනාංශික දේශපාලනය, 11 දින පා ගමන අවසන් වීමෙන් පසුව මනාව දැකගත හැකි විය. ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ රැස්ව සිටි අය අමතා මෙසේ පැවසීය. "ජෙනරාල් සරත් ෆොන්සේකා රට වෙනුවෙන් නොමිනිය හැකි සේවයක් හා කැප කිරීම් කර ඇත. බන්ධනාගාරයේ තාප්ප ඔහුගේ ආයාමය රඳවා තැබීමට නොසෑහෙනු ඇත. ආන්ඩුව ජෙනරාල් ෆොන්සේකා නිදහස් නොකල හොත්, සිරගෙදර තාප්ප බිඳ දමනු ඇත. බලධාරීන්ට ඔහු නිදහස් කිරීමට සිදුවනු ඇත.”

මාධ්‍ය තුලින් නිරන්තරයෙන්ම ජවිපෙ "මාක්ස්වාදී පක්ෂයක්” ලෙස හඳුන්වාදෙනු ලබයි. එහෙත්, මාක්ස්වාදය හා සමාජවාදය සමඟ එයට කිසිදු සම්බන්ධයක් ඇත්තේ නැත. මාවෝ වාදය හා සිංහල ස්වෝත්තම වාදය මත පදනම්ව 1960 ගනන්වල ගොඩනගන ලද ජවිපෙ, කලින් පැවති සිය සමාජවාදී දෙඩවිලි අතහැර දමා ඇත. 1980 ගනන් අග භාගයේ එම පක්ෂය ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ප‍්‍රතිගාමී ජාති මාමක ව්‍යාපාරයක් දියත් කල අතර තම කටයුතු වලට විරුද්ධවූ සිය ගනනක් දේශපාලන විරුද්ධවාදීන් හා වෘත්තීය සමිතිකරුවන් මරා දැමීය.

11 දින විරෝධතාවයේදී කිසිදු ප‍්‍රමුඛ එජාප නායකයෙක් කථා කලේ නැත. කෙසේ වුවත්, ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතු බව කියා සිටිමින් ජනාධිපති හෙලා දුටු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර, ජවිපෙ නායකත්වයට සහාය පිදීය. (තම වරද පිලිගෙන සමාවක් ඉල්ලිය යුතුය යන සෑම යෝජනාවක්ම ෆොන්සේකා විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.) "මෙම අරගලය ඉදිරියට ගෙන යමින් අපි ෆොන්සේකා නිදහස් කර ගැනීමට සටන් කරන්නෙමු” ජයසේකර පැවසීය.

දක්ෂිනාංශික ධනපති පක්ෂයක් වන එජාපය ද ජවිපෙ මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් උල්ලංඝනය කිරීමෙහි ලා සිය වාර්තාව පිලිබඳව කුප‍්‍රකටය. 1983 දී එජාපය, කොලඹ හා අනෙකුත් නගරවල දෙමල ජනතාවට එරෙහිව පුලුල් ප‍්‍රචන්ඩත්වයක් උසිගන්වමින් සිවිල් යුද්ධය දියත් කලේය. 1980 ගනන් අග ජවිපෙ සමඟ සන්ධානයක් අරමුනු කරගෙන කටයුතු කිරීමෙන් පසුව එජාප ආන්ඩුව, ජවිපෙ ආධාරකරුවන් හා සිංහල ගම්බද තරුනයන් අතර එහි සහයෝගිතා පදනමට එරෙහිව හැරුනේය. ආරක්ෂක හමුදා හා එහි ඝාතක කල්ලි අතින් තරුනයන් 60,000කගේ ජීවිත විනාශ වීයයි ගනන් බලා තිබේ.

Hallනසසප නායක වික‍්‍රමබාහු කරුනාරත්න (රතු කබායක් හැඳ) එජාප නායක රනිල් වික‍්‍රමසිංහ (දකුනේ සිට දෙවැනියා) සමඟ

ජවිපෙ හා එජාප "ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂකයන්” ලෙස වෙස් ගැන්වීමේ ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපය ඉටුකරනු ලබන්නේ හිටපු වම්මුන් වන නසසප හා එසපය යි. 11දා පා ගමනින් පසුව නසසප නායකයා දේශපාලන කයිවාරුවට සම්බන්ධ වෙමින්, ෆොන්සේකා නිදහස් නොකල හොත් තවත් දහස් ගනන් වීදිවලට පැමිනෙනු ඇති බවට රාජපක්ෂට අනතුරු ඇඟවීය. ෆොන්සේකා සමාවක් අයැද නොසිටින බව කියාපෑ ඔහු, "වරදක් නොකල යමෙක් සමාව අයැදින්නේ මන්දැයි?” ප‍්‍රශ්න කලේය.

රාජපක්ෂ ආන්ඩුවේ පුලුල් මානව අයිතීන් උල්ලංඝනය කිරීම් ගැන සඳහන් කරමින් කරුනාරත්න මෙසේ පැවසීය. "අද ජනතාව ඉල්ලන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. ජනතාව ඒකාධිපතිත්වයට විරුද්ධය. උතුරේ හා නැගෙනහිරේ තරුනයන් දහස් ගනනක් හිරේ දමා ඇත. අපි ඔවුන් වෙනුවෙන් ද කටයුතු කරන්නෙමු. අප සියල්ලන් කියන්නේ ෆොන්සේකා නිදහස් කරනු යනුවෙනි. අද අප ඇරඹූ ගමන ෆොන්සේකා නිදහස් කරන තෙක්ම ගෙන යන්නෙමු.”

කෙසේ වෙතත් රාජපක්ෂ ආන්ඩුව සමඟ ෆොන්සේකා ද නඩු නොමැතිව මෙම දෙමල තරුනයන් සිර භාරයේ තබාගැනීම පිලිබඳව වගකිව යුතුය යන කාරනය සඳහන් නොකිරීමට කරුනාරත්න වග බලාගෙන තිබීම වැදගත්ය. එජාප හා ජවිපෙ දෙමල සිරකරුවන් "වෙනුවෙන් කටයුතු කිරීම” පිලිබඳව කැමැත්තක් නොදැක්වීම ගැන ද ඔහු සඳහන් නොකලේය. අවස්ථාවාදී පෙරටු සංවිධාන තුල දැඟලීමේ දිගු ඉතිහාසයකට උරුමකම් කියන කරුනාරත්න, සිය සගයන්ගේ ප‍්‍රතිගාමී දේශපාලනය හෙලිදරව් කෙරෙන කිසිවක් කියනු ද කරනු ද නැත.

Hallඑසප නායක සිරිතුංඟ ජයසූරිය කථාකරමින්

එසප නායක සිරිතුංඟ ජයසූරිය වඩාත් නිශ්චිත විය. ජර්මානු ජනතාව බර්ලින් තාප්පය බිඳ හෙලූ ආකාරයටම මිනිසුන්, බන්ධනාගාරයේ තාප්පය ද බිඳ දමනු ඇති බවට ඝෝෂාවක් දැමීමෙන් පසුව ඔහු මෙසේ ද පැවසීය. "මෙරට තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂාකර ගැනීම සඳහා අප පක්ෂ, පාට හා වාර්ගික වෙනස්කම් ඉවත දමා එක්සත් විය යුතුය.” අවස්ථාවාදය පිලිබඳ ශබ්ද කෝෂයේ "පක්ෂ භේද අමතක කිරීම” යන්නෙහි තේරුම එක දෙයක් පමනි. ඒ, එජාප හා ජවිපෙ පිලිබඳ විවේචන කිසිවක් නැත යන්නයි.

ෆොන්සේකා සිරගත කිරීම කම්කරු පන්තියට කෙරෙන තියුනු අනතුරු ඇඟවීමකි. හිටපු හමුදාපති හා ධනපති ජනාධිපති අපේක්ෂකයා බොරු චෝදනා මත වරදකරු කල හැකිනම්, ආන්ඩුව රැකියාවන්ට, සේවා කොන්දේසි වලට හා ජීවන තත්වයන්ට පහර දෙනවිට එයට විරෝධය පලකරන කම්කරුවන්ට එරෙහිව තව තවත් කුරිරු පියවර ගැනීමට නොපැකිලෙනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම යටතේ රාජපක්ෂ, ලබන මාසයේ අයවැයෙන් නව වටයක කප්පාදු නිවේදනය කිරීමට නියමිතය.

නසසප-එසප ව්‍යාපාරය වෙර දරන්නේ, කම්කරු පන්තියේ කිසිදු ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ඇතිවීම වලක්වා එය එජාප හා ජවිපෙ වැනි ධනපති පක්ෂවලට ගැටගසා තැබීමටයි. කම්කරුවන්ට සිය ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් හා ජීවන තත්වයන් රැකගත හැක්කේ, ධනපති පන්තියේ සියලු කොටස් වලින් මුලුමනින්ම කැඩී වෙන් වෙමින්, ජාත්‍යන්තරව හා දකුනු ආසියාවේ සමාජවාදය සඳහා වන අරගලයේ කොටසක් ලෙස, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා ද සමාජවාදී ප‍්‍රතිපත්ති සඳහා ද සටන් වැදීමෙන් පමනි. සමාජවාදී සමානතා පක්ෂය සිය අරගලය තුල පදනම් වන හා සටන් කරන ක‍්‍රියාමාර්ගය එයයි.