ඔබාමා ගැඹුරු මුහුදේ තෙල් සෑරීම පිලිබඳ තාවකාලික තහනම ඉවත් කරයි

Obama lifts moratorium on deepwater oil drilling

By Hiram Lee, 14 October 2010

ගැඹුරු දියේ හොරයිසන් ව්‍යසනය ආරම්භවී හය මසකට පසුව ඔබාමා පරිපාලනය, තමන් ගැඹුරු මුහුදේ තෙල් සෑරීම මත තාවකාලිකව පනවා තිබූ තහනම ඉවත් කලේය. එය අවසන්වීමට තිබූ නොවැම්බර් 30 දිනට සති හයකට පෙරාතුව තහනම ඉවත් කරගනු ලැබිනි.

”අප ජාවාරම් සඳහා විවෘතය” එසේ පැවසුවේ 12 දින තහනම ඉවත්කල බව නිවේදනය කල අභ්‍යන්තර ලේකම් කෙන් සලසාර්ය. වෝල් වීදිය පනිවිඩය සතුටින් බාරගත් බව අඟවමින් තෙල් හා බලශක්ති සමාගම්වල කොටස් මිල නගින්ට පටන් ගත්තේය. ගැඹුරු දියේ හොරයිසන් තෙල් අටල්ල හිමි ට‍්‍රාන්ස් ඕසියන් සමාගමේ කොටස් අගය සියයට 4.7 න් ඉහල ගියේය. ඩයමන්ඩ් ඕෆ්ෂෝ ලිං කොටස් සියයට 4 ද එන්ස්කෝ පීඑල්සී සියයට 3.4 ද වැඩි විය.

තහනම පනවනු ලැබුවේ පසුගිය මැයි මාසයේදීය. ඒ අපේ‍්‍රල් 20 දින කම්කරුවන් 11 දෙනෙකුට මරු කැඳවමින් හොරයිසන් අටල්ල පුපුරාගොස් ඉතිහාසයේ නරකම තෙල් කාන්දුව පටන්ගැනීමෙන් පසුව ය.

තෙල් කර්මාන්තය තුල ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය වෙනස්කම් ඇතිකිරීමට පෙරාතුව සෑරීමේ කටයුතු පටන් නොගන්නා බව තහනම් නියෝගයේ මතුපිටින් සඳහන් වුවත් එවන් කිසිවක් සිදුවී නැත. මෙසේ වූයේ හොරයිසන් ව්‍යසනය වැලැක්වීමට නියාමන ආයතන අසමත්ව ඇති බව පෙන්වන සාක්ෂි ඕනෑවටත් වඩා තිබියදීත්ය. අලුත්ම හෙලිදරව් කිරීම් අතර, වෝල් ස්ට්‍රීට් ජර්නලයේ වාර්තාව පෙන්නුම් කලේ, 2004 වසරෙන් පසුව මෙක්සිකෝ බොක්ක ආශ‍්‍රිත තෙල් අටලු හදිසි පරීක්ෂාවන්ට ලක්කර නැත. එවන් පරීක්ෂන කල යුතු බවට පවතින නීති එමඟින් උල්ලංඝනය වී තිබේ.

එක්සත් ජනපද කොන්ග‍්‍රසය තුල තෙල් කර්මාන්තයේ නියෝජිතයෝ සෑරීම තහනම් කිරීමේ නියෝගයට එරෙහිව වහාම පෙරට ආහ. තහනම, කර්මාන්තයට අපහාසයක් බවත් ගල්ෆ් මුහුදු තීරයේ රැකියාවන්ට තර්ජනයක් බවත් ඔවුහු කියා සිටියහ. අවුරුදු පතා ඩොලර් බිලියන ගනනින් ලාභ උපයන ප‍්‍රධාන තෙල් සමාගම්, මෙක්සිකෝ ගල්ෆ් කලාපයේ ගැඹුරු මුහුදේ ලාභදායී තෙල් සංචිත සෑරීම වෙත යලි පැනගැනීමට උත්සුක වෙමින් ඒ සඳහා විරැකියාව පිලිබඳ ප‍්‍රශ්නය නරුම ලෙස ගසාකෑවේය. ලුවිසියානාහි මිඩ් කොන්ටිනන්ට් තෙල් හා ගෑස් සමායතනය කියා සිටියේ තහනම නිසා රැකියා 46,000 ක් අහෝසි වන බවයි. යථාර්තය නම් තහනම බලපෑවේ ගල්ෆ් කලාපයේ තෙල් අටලු 32 කට පමනක් වීමයි. වානිජ්‍ය දෙපාර්තමේන්තුවේ මෑත වාර්තාවකට අනුව තහනම රැකියා 2,000 කට බලපා ඇත.

තෙල් කර්මාන්තයේ ප‍්‍රබල ග‍්‍රාහකයෙකු වන ලුවිසියානාහි ඩිමොක‍්‍රටික් සෙනේට් සභිකාවක් වන මේරි ලැන්ඩි‍්‍රයු තහනමට එරෙහි සටන මෙහෙයවූවාය. ඇය ප‍්‍රකාශ කලේ තමන් තහනම ඉවත් කරන තුරු කලමනාකරන හා අයවැය කාර්යාලයේ ප‍්‍රධානියා ලෙස ඔබාමාගේ නම්කිරීම වලක්වන බවයි. පසුගිය 12දා තහනම අයින් කල බව නිවේදනය කිරීමත් සමඟ ලැන්ඩි‍්‍රයු නිකුත් කල ප‍්‍රකාශයකින් කියා සිටියේ, ”අද දිනයේ තීන්දුව හොඳ ආරම්භයකි. එහෙත් එය සමඟ මෙක්සිකෝ ගල්ෆ් කලාපයේ සමස්ත කර්මාන්තයම යලි වැඩට බැස්සවීමේ ක‍්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් විය යුතුය. මෙහි අර්ථය ගැඹුරු හා නොගැඹුරු ජලයේ සෑරීමේ කටයුතු සඳහා බලපත‍්‍ර නිකුත් කිරීම පරිපාලනය විසින් කඩිනම් කල යුතු බවත්, කර්මාන්තය පිලිපැදිය යුතු රෙගුලාසි හා නීති පිලිබඳව වැඩි නිශ්චිත භාවයක් අවශ්‍ය වන බවත්ය.” තෙල් සමාගම් වලට විශාල සහන සලසන තෙක්ම ලැන්ඩි‍්‍රයු ඔබාමාගේ පත්වීම අවහිර කරනු ඇත.

ඉතාමත් නාමික ප‍්‍රතිසංස්කරන පවා පිලිගැනීමට අකැමති තෙල් කර්මාන්තය, ඔබාමා පරිපාලනයට එරෙහිව තල්ලුවී ඇතත්, ධවල මන්දිරය ප‍්‍රධාන තෙල් සමාගම්වල ලාභ අවශ්‍යතාවන්ගේ කිසිදු විරුද්ධවාදියෙකු නොවේ. ගල්ෆ්හි ව්‍යසනය ආරම්භයේ පටන්ම ධවල මන්දිරය, තෙල් කාන්දුවේ පරිමාව අවම කිරීමටත් වසං කිරීමටත් උත්සාහ කර තිබේ. කාන්දුවූ තෙල් ප‍්‍රමානය පිලිබඳ ගනන් හිලව් යටගැසීමේදී පරිපාලනය, බි‍්‍රටිෂ් පෙට්රෝලියම් සමාගම සමඟ කරට කර සිටි අතර, ව්‍යසනය සඳහා යෝධ සමාගමේ මූල්‍ය වගකීම හැකිතාක් දුරට අඩුකිරීමටත් එය සමඟ එක්ව කටයුතු කලේය.

ඔබාමා පරිපාලනය තෙල් සෑරීමේ විලම්භන නියෝගය ඉවත්කර ඇත්තේ දැන් කර්මාන්තය වඩා සුරක්ෂිත නිසා හෝ තෙල් කාන්දුවට තුඩුදුන් දූෂිත ව්‍යාපාරික හුරු පුරුදු අවසන් කර ඇති නිසා නොවේ. ඊට පටහැනිව ඔබාමා, මධ්‍ය වාර මැතිවරනයට පෙරාතුව තහනම අවලංගු කිරීමට උත්සුක වූයේ ප‍්‍රමුඛ බලශක්ති සමාගම්වලින් එල්ල වියහැකි අභියෝගය පිටුදැකීමේ උත්සාහයක් ලෙසය.

තෙල් කර්මාන්තයට ලැබුනු මෙම අලූත් වරදානය මඟින් සමාගම්වලට, කිසිදු නීත්‍යානුකූල නියාමන ඇසකින් තොරව මෙක්සිකෝ ගල්ෆ්හි සෑරීමේ කටයුතුවල යලිත් නිරතවිය හැකිය. සාපරාධී කටයුතු පිලිබඳව පරීක්ෂන පැවැත්වීමේ ඔබාමා පරිපාලනයෙහි පොරොන්දුව කාලයකට පෙරම අතහැර දමා ඇති තත්වය හමුවේ, ඉතිහාසයේ නරකම තෙල් කාන්දුවට මූලිකව වගකිවයුතු බීපී, ට‍්‍රාන්ස්ඔසියන් හෝ හැලිබර්ටන් වැනි සමාගම්වල කිසිදු විධායකයෙක් වගකීමට හසුකර නැත. මෑත ඉතිහාසයේ නරකම පාරිසරික ව්‍යසනය විසින් කිසිවක් වෙනස්කර නැත. වොෂින්ටනයේ සිය දේශපාලන නියෝජිතයන් හරහා කටයුතු කරන දැවැන්ත තෙල් සමාගම්, තම සේවකයන්ගේ ආරක්ෂාව ද පරිසරය ද ජනගහනයේ බලශක්ති අවශ්‍යතාවන් ද ලාභය සඳහා වන සිය අදූරදර්ශී ගමන වෙනුවෙන් පරදුවට තබා ඇත.