ප‍්‍රන්ස වැඩ වර්ජන රැල්ල: පන්ති අරගලයේ නව අවධියක්

The French strike wave: A new stage in the class struggle

19 October 2010

විශ‍්‍රාම කප්පාදුවට එරෙහිව ප‍්‍රන්සය තුල දියත් කොට ඇති වැඩ වර්ජන සහ මහජන පෙලපාලි, - ධනේශ්වරය විසින් රැකියා හා ජීවන තත්වයන් මත එල්ල කරන නිරනුකම්පික ප‍්‍රහාරයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය මහජන විරෝධතාවලට එලැඹීමේ - පන්ති අරගලයේ නවතම හා වැඩි දියුනු ප‍්‍රකාශනය යි.

මෙම සිදුවීම්, කම්කරු පන්තිය ක්ෂය වී ගිය බලයක් හා පන්ති අරගලය අතීතයට අයත් කෞතුක වස්තුවක් ය යන සියලු ප‍්‍රකාශ වලට එල්ල කරන දරුනු ප‍්‍රහාරයකි. යලි වතාවක් කම්කරු පන්තියේ යෝධ සමාජ බලය ප‍්‍රකාශනයක් අත්කර ගැනීමට පටන් ගෙන තිබේ. නූතන සමාජයේ මූලික බෙදීම වන ධනේශ්වරය සහ කම්කරු පන්තිය අතර භේදය, ලෝක ධනවාදයේ ඓතිහාසික බිඳ වැටීමේ කොන්දේසි යටතේ, කරලියට එමින් තිබේ.

සියලු ගනන් බැලීම්වලට අනුව, විශ‍්‍රාම යන වයස ඉහල දැමීමේ නීතියට එරෙහි වර්ජන පැතිර යමින් තිබේ. සතිය ඇරඹෙන විට තෙල් පිරිපහදු කම්කරුවන් වැඩ වැරීමේ ප‍්‍රතිඵලයක් ලෙස රට පුරා තෙල් සපයන ස්ථාන තෙල් නොමැතිව සිඳී ගියේ ය. රටෙහි ප‍්‍රධාන මහාමාර්ගවල ගමනා ගමනය ඇන හිටුවමින් ට‍්‍රක්රථ රියදුරෝ වර්ජනයට එක් වී ඇත. ශිෂ්‍ය විරෝධතා නිසා සිය ගනනක් උසස් පාඨශාලා වසා දමනු ලැබ තිබේ. ගෙවී ගිය සතිය පුරා මිලියන 3කට අධික ජනයා වීදිවලට කැඳවූ අරගලයේ දවස් අනුව යමින් විරෝධතා සැලසුම් කරනු ලැබේ.

වැඩ වර්ජන කි‍්‍රයා පැතිර යාම වූ කලී, පිරිපහදු අවහිර කල තෙල් කම්කරු සටන කඩාකප්පල් කිරීමට කැරලි මර්දන පොලීසිය යොදාගැනීම ඇතුලු සාකෝසි ආන්ඩුවේ මර්දන පියවරවලට එරෙහි කම්කරු පන්තියේ ප‍්‍රතිචාරය යි. සිය අරගලය පුලුල් කිරීමට හා තම සමාජ බලය භාවිතයට ගැනීමට කම්කරුවන් ගන්නා ආයාසය, මහජන මැදිහත්වීම දිය කිරීමට මාවත් සොයමින් සිටින වෘත්තීය සමිති සමග අන් කවරදාටත් වඩා විවෘත ගැටුමකට තුඩුදී තිබේ.

වැඩ වර්ජන ප‍්‍රන්ස ජනගහනයේ පුලුල් සහයෝගය ලබයි. මත විමසීම් පෙන්නුම් කරන පරිදි සියයට 70ක් පමන වැඩවර්ජනවලට පක්ෂපාතී ය. අවුරුදු 18-24 අතර තරුනයන් අතර එය සියයට 84ක් තරම් ඉහල ය. මෙයට විපරීතව සාකෝසිගේ ජනපි‍්‍රයත්වය පවතින්නේ වාර්තාගත අවම මට්ටමක ය.

ප‍්‍රන්සයේ සිද්ධීහු ලෝක පරිමාන වෙති. ඒවා සෑම රටක ම වර්ධනය වන විරෝධතා මනෝගතියක කොටසකි. වසන්තයේ නය අර්බුදයෙන් පසුව මහාද්වීපය පුරා කි‍්‍රයාවට දමන ලද කප්පාදු පියවරවලට එරෙහිව වර්ධනය වෙමින් පවතින නිශ්චිත විරෝධතාවයක් යුරෝපය පුරා පැතිර පවතී. මෙයට ගී‍්‍රසියේ සහ ස්පාඤ්ඤයේ එක්දින වැඩ වර්ජන ද අයත් ය. සති අන්තය පුරා ඉතාලියේ රෝම නගරයේ සිය දහස් ගනනක් කප්පාදුවලට එරෙහිව විරෝධතා පෙලපාලි පැවැත්වූහ.

අරගලය කරා කම්කරු පන්තිය යලි පිවිසීම යුරෝපයට පමනක් සීමා නො වේ. මෝටර් රථ කම්කරුවන්ගේ වැඩ වර්ජන වලින් චීනය සොලවා ඇත; කාම්බෝජයේ සහ බංග්ලාදේශයේ ඇඟලුම් කම්කරුවෝ මහජන විරෝධතාවන්ට සම්බන්ධ වූහ. ඉන්දියාවේ ෆොක්ස්කෝන් කම්කරුවෝ පොලිස් මර්දනය නො තකා වැඩ වර්ජනයේ යෙදී ඇත්තා හ. එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන් අතර මෝටර් රථ සමාගම්, ආන්ඩුව සහ එක්සත් මෝටර් කම්කරු සමිතිය අතර එකඟත්වයෙන් සැලසුම් කරන ලද කෲර වැටුප් කප්පාදුවට එරෙහිව කැකෑරෙන කැරලිකාරීත්වයක් පවතී.

පාලක පන්තිය පසුපසට නො යයි. විහිදී යන වැඩවර්ජනවලට සාකෝසි ආන්ඩුවේ ප‍්‍රතිචාරය වී ඇත්තේ කප්පාදු ඉදිරියට යා යුතු යයි අවධාරනය කිරීමයි. කප්පාදු කි‍්‍රයාවට දැමීමට අසමත් වුවහොත්, ප‍්‍රන්සයේ නය වර්ගීකරනය හා අගැයීම ප‍්‍රශ්නයට ලක් කරන බවට අනතුරු අඟවා ඇති ප‍්‍රන්ස හා යුරෝපීය බැංකු සාකෝසි පිටුපසින් සිටිති. ලෝක පරිමානව ගත්කල මූල්‍ය හා ව්‍යාපාරික ප‍්‍රභූව ධනේශ්වර පද්ධතියේ අර්බුදයෙහි සමස්ත බර කම්කරු පන්තිය මත පැටවීමට අධිෂ්ඨානවත්ව සිටී.

මෙම සිද්ධි පෙන්නුම් කරන්නේ, 2008 සැප්තැම්බර් මාසයේ මූල්‍ය උමතුවෙන් පසුව ලෝක ආර්ථිකය සාමකාමීව යලි ස්ථාවර නො වන බවයි. ලෝක ධනවාදයේ බිඳවැටීම සමාජ කලබැගෑනියේ සහ විප්ලවයේ නව කාලපරිච්ඡේදයක් උදාකොට ඇත.

කම්කරු පන්තිය සහ බැංකු හා මහා ව්‍යාපාර වෙනුවෙන් පෙනී සිටින රාජ්‍යය අතර විවෘත ගැටුම සෑම රටක් තුල ම බලය පිලිබඳ ප‍්‍රශ්නය ඉස්මතු කරයි. සමාජය ධාවනය වන්නේ කාගේ අවශ්‍යතා වෙනුවෙන් ද? නිෂ්පාදන බලවේගවල පුද්ගලික හිමිකාරීත්වයේ පදනම මත ධනපති පන්තියේ පාලනය දිගටම පැවතීමේ අර්ථය වන්නේ ජනගහනය අන් කවරදාටත් වඩා දරිද්‍රතාවේ හෙලීම, ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතීන් විනාශ කිරීම හා පුලුල් සහ වඩාත් කුරිරු මිලිටරි ගිනිජාලා ඇවිලවීම යි.

කම්කරු පන්තිය සඳහා විකල්පය වන්නේ, දේශපාලන බලය සියතට ගෙන, ආර්ථීක හා සමාජ ජීවිතයේ සෑම අංශයක් තුලටම කාවැදීගත්, බැංකු හා සංගතවල ආධිපත්‍යය අවසන් කරමින් සමාජ අවශ්‍යතාවේ පදනම මත ලෝක ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කිරීම යි.

දේශපාලන බලය පිලිබඳ මෙම ප‍්‍රශ්නය ඈත අනාගතයට අයිති වූවක් නො වේ. පන්ති අරගලයේ නව අවධියෙන් එය ඓන්ද්‍රීයව හා අනිවාර්යයෙන් පැනනංවයි. ප‍්‍රන්ස කම්කරුවන්ගේ ද ඔවුන්ගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන්ගේ ද අවශ්‍යතා වෙනත් කිසිදු මාර්ගයකින් ඉටු කරගනු ලැබිය නො හැක.

ප‍්‍රන්ස කම්කරුවන්ගේ අවශ්‍යතාවලට අනුව අර්බුදය විසඳාලීමට විශාලතම බාධාව වන්නේ දුර්වල සහ තනි වී සිටින සාකෝසි ආන්ඩුව නො වේ. ඒ වෙනුවට එම බාධාව එල්ල වන්නේ, විරුද්ධත්වය ධනේශ්වර පද්ධතියේ රාමුව තුලට හා එහි දේශපාලන නියෝජිතයින්ට සීමා කිරීමට කටයුතු කරන වෘත්තීය සමිති නායකත්වයන්, සමාජවාදී හා කොමියුනිස්ට් පක්ෂවල සිටින එහි සගයන් සහ අනෙකුත් මධ්‍යම පන්තික ''වාම” සංවිධාන ය. බලය සඳහා දේශපාලන අරගලය අවහිර කිරීම මගින් ඔවුහු අරගලය විසිරවීමට සහ කම්කරුවන් අධෛර්යමත් කිරීමට කි‍්‍රයා කරති.

සිය වඩාත් ම මෑත ප‍්‍රකාශන තුල, වැඩ වර්ජන හමුවේ ''ආන්ඩුවට දනගැසීමට බලකෙරී ඇතැ” යි කියාපාන ප‍්‍රන්සයේ නව ධනේශ්වර විරෝධී පක්ෂය වේවා, ජර්මනියේ වාමාංශික පක්ෂය වේවා, ගී‍්‍රසියේ සිරිසා පක්ෂය හෝ එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය වේවා, මේ සියලු ප‍්‍රවනතාවල අරමුන එකම ය: එනම්, කම්කරුවන් තමන් මුහුන දෙන තත්වය අවබෝධ කරගැනීමෙන්, ඔවුන්ගේ ශක්තිය බලමුලුගන්වා ගැනීමෙන් සහ දේශපාලනය බලය සඳහා අරගල කිරීමෙන් වැලැක්වීම ය.

ප‍්‍රන්සයේ අරගලය සාර්ථක වීමට නම් එය, වෘත්තීය සමිතිවල ගල ග‍්‍රහනයෙන් මිදී ස්වාධීන මාවතක් ගතයුතු ය. කම්කරු පන්තියේ සියලු කොටස්වල පුලුල් ම සමගියත්, ආන්ඩුවට සහ පාලක පන්තියට එරෙහිව කාර්මික සහ දේශපාලන ප‍්‍රතිප‍්‍රහාරයක් දියත් කිරීම සඳහාත්, ශිෂ්‍යයන්, තරුනයන්, වෘත්තිකයන් සහ පරිපීඩිත මධ්‍යම පන්තික ස්ථරවල සකී‍්‍රය සහභාගිත්වයට සටන් වැදීමට කම්කරුවෝ අරගලයේ නව ප‍්‍රජාතාන්ති‍්‍රක සංවිධාන - කි‍්‍රයාකාරී කමිටු - ගොඩනගා ගත යුතුය. සාකෝසි ආන්ඩුව බිඳ දමා ඒ වෙනුවට සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් මත පදනම් වන කම්කරුවන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමට කි‍්‍රයාකාරී කමිටුව උද්ඝෝෂනයේ යෙදෙනු ඇත.

කම්කරු පන්තියේ නව නායකත්වයක් ගොඩනැඟීම මුඛ්‍ය කාරනය වන්නේය. ඒ, ඔවුන්ගේ ව්‍යාපාරය පැහැදිලිව කෙටුම්පත් කරන ලද විප්ලවවාදී කි‍්‍රයාමාර්ගයක් සමගින් සන්නද්ධ කිරීම සඳහා ය. වසර 72කට පෙර හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක කි‍්‍රයාමාර්ගයේ දී ලියොන් ට්‍රොට්ස්කි ලියූ දෙය අද දින ද එහි සමස්ත බලය දරා සිටියි: මානව වර්ගයාගේ අර්බුදය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය බවට සිඳී ඇත. මෙම අර්බුදය විසඳීමට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සෑම රටක් තුල ම ගොඩනැගීම අවශ්‍ය කරයි.

ජෝසප් කිෂෝර්