2011 වසරේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය

The crisis of revolutionary leadership in 2011

30 March 2011

මෙම වසරේ ප‍්‍රථම මාස තුන සුවිශේෂී සිද්ධීන් දාමයක් අත් දුටුවේය. ඒවා නම්: දිර්ඝ කාලයක් අනසක පතුරා ගෙන සිටි ආඥාදායක පාලන තන්ත‍්‍රයන් දෙකක් පෙරලා දැමූ හා අනෙකුත් රටවලට ද පැතිරී ගිය මැදපෙරදිග සහ උතුරු අප‍්‍රිකාවේ විප්ලවවාදී නැගිටීම්, එක්සත් ජනපදයේ සැලකිය යුතු කාලයක් මැඩ පවත්වා තිබූ කම්කරු පන්තික අරගලවල යලි පිපිරී ඒම සලකුනු කල විස්කොන්සින්හි මහජන විරෝධතාවන්, සහ නව අධිරාජ්‍යවාදී යුද්ධයක් දිගේලි කිරීම යනාදියයි. එයට අතිරේකව, තවමත් ආර්ථික හා සමාජයීය වසයෙන් ඇති වූ විනාශය හරිහැටි කිව නොහැකි, - හුදු ලාභ උත්පාදනය කිරීමේ අරමුනින් ම අප‍්‍රවේශම් සහගත ලෙස න්‍යෂ්ටික බලාගාර පරිහනය කිරීමෙන්- සමස්ථ ලෝකය ම පාරිසරික විනාශයක් දිහාවට තල්ලු කරනු ලැබූ, සුනාමියකින් අනතුරුව ජපානයේ ඇතිව තිබෙන න්‍යෂ්ටික අර්බුදය ද වේ.

එකකින් පසුව තවෙකක් ක්ෂනිකව වැඩී ආ සිදුවීම්වලින් යුත් ප‍්‍රවාහය විප්ලවවාදී කාල පරිච්ඡේදයක ලක්ෂනයයි. පන්ති රේඛාවන් ඔස්සේ සීග‍්‍රයෙන් වැඩෙමින් පවතින භූගෝලීය පරිමාවකින් සමාජ ධ‍්‍රැවාන්තගත වීමක් සිදුවෙමින් තිබේ. 2008 වසරේ ආරම්භව පුපුරා ගිය මූල්‍යමය අර්බුදයෙන් වසර දෙක හමාරකින් අනතුරුව මහා සංගත හා බැංකු කම්කරු පන්තිය මත ඔවුන්ගේ යුද්ධය උත්සන්න කරමින් සිටී. එපමනක් නොව, මෙම වසරේ පලමු මාස කීපයේ දී ජනතා විරෝධයේ සැලකිය යුතු වර්ධනයක් දැනටමත් ඉස්මත්තට පමුනුවා ඇත.

කම්කරු පන්තියේ සමාරම්භක අරගල සෑම රටක දී ම දැවැන්ත හා සංකීර්න දේශපාලනික අභියෝගයන්ට මුහුන දෙන බව පැහැදිලි කර ඇත. මෙම අභියෝගයන් විප්ලවවාදී නායකත්වයේ ප‍්‍රශ්නය මත කේන්ද්‍රගතව ඇත.

මහජනතාවගේ අවශ්‍යතාවන් මත ජාතික ආර්ථිකයන් ප‍්‍රතිව්‍යුහගත කිරීමට සහ ධනය යලි-බෙදා හැරීම තබා, ප‍්‍රජාතන්තී‍්‍රයකරනයේ මොනයම්ම හෝ සැලකිය යුතු තත්වයක්වත් සහතික කරගැනීමට මැදපෙරදිග හා උතුරු අප‍්‍රිකාවේ තරුනයින්ගේ හා කම්කරුවන්ගේ වීරෝදාර අරගලවලට මේ දක්වාමත් නොහැකි වී තිබේ. ටියුනීසියාවේ හා ඊජිප්තුවේ මහජන අරගල සහ වැඩ වර්ජන විසින් එක්සත්-ජනපද පිටුබලය ලැබූ ආඥාදායකයන් පෙරලා දැමූව ද ඔවුන් එම පාලන බලයේ කොඳුනාරටිය වූ පාලන තන්ත‍්‍ර ඉතිරිකර තිබේ.

ඊජිප්තුවේ දී, ඔබාමා පාලානාධිකාරිය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුරදේවතාවා ලෙස පසසනු ලැබූ මිලිටරි ආන්ඩුව වැඩ වර්ජන හා විරෝධතා තහනම් කිරීමට වෙර දරමින් සිටී. එය ඊජිප්තු මහජනයාගේ ආර්ථික සහ දේශපාලනික ඉල්ලීම්වලට ප‍්‍රතිචාර දැක්වුවේ එහි පූර්වගාමියාට නොඅඩු ම්ලේච්ඡත්වයකිනි. කම්කරු පන්තියේ විප්ලවවාදී දේශපාලන නායකත්වය නොමැතිකම, යටත් පිරිසෙයින් මේ මොහොතේ දී ඊජිප්තු ධනපති පන්තියට යලි-කාන්ඩගැසීමට අවස්තාව සලසා ඇත. කම්කරුවන්ගේ බලය හා සමාජවාදය සඳහා සටන් කිරීමට ප‍්‍රතික්ෂේප කල සහ කම්කරු පන්තිය පවත්නා ධනපති රාජ්‍යයට යටපත් කිරීමට වැඩ කර තිබෙන නිල විපක්ෂ සංවිධානවලින් පාලක පන්තිය පිටුබලය ලැබුවේ ය.

ඊජිප්තුවේ අරගලවලවලින් උද්යෝගිමත් වූ එක්සත් ජනපදයේ කම්කරුවන්ගේ අරගල ද වෙනස් ආකාරයකින් නායකත්වයේ එම අර්බුදයට ම මුහුන දී සිටී. කම්කරුවන්ගේ සාමූහික කේවල් කිරීමේ අයිතිය අහෝසි කිරීමට හා රාජ්‍ය සේවකයන් හා සමාජ සුභසාධන සේවාවන්ට පහර දීම සඳහා ආන්ඩුකාර ස්කොට් වෝකර්ගේ උත්සාහයට එරෙහිව විස්කොන්සින්හි දී ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ වර්ජනය කලහ. මෙම ප‍්‍රහාරයට විරුද්ධත්වය පෑමට ගත් වෑයම, වෝකර්ට ඉල්ලා අස්වීමට බලකරමින් මහා වැඩ වර්ජනයක් කැඳවීමට කල ඉල්ලීමට එරෙහි වූ දක්ෂිනාංශික වෘත්තීය සමිති විසින් දුර්මුඛ කලේය.

වෝකර් විසින් ඉල්ලා සිටියාට නොඅඩු නිර්දයභාවයකින් සමස්ත රට පුරාම ප‍්‍රාන්තරාජ්‍යයන් සහ මධ්‍යම රජය මගින් කප්පාදු හා පටි තද කරගැනීමේ ක‍්‍රියාවට දමා ඇති ඩිමොක‍්‍රටික් පක්ෂය කෙරෙහි මහජන විරුද්ධත්වය යටපත් කිරීමට නිල වෘත්තීය කමානුකූලව වැඩ කලේය.

යුරෝපයේ දී, යුරෝපානු නය අර්බුදය නොනැවතී ඉදිරියටයාමත් සමග පිම්මේ වැඩිවෙනු ඇති, පසුගිය වසරේ දී ක‍්‍රියාත්මක කලාටත් වඩා ආන්තික ලෙස පටි තද කිරීමේ නව ඉල්ලීම් මාලාවකට කම්කරුවෝ මුහුන දෙති. එක්සත් ජනපදයේදී මෙන්, බැංකුවලට ඇප බැඳීමට ආන්ඩු අත දිගහැර වියදම් කර ඇති අතර ඒවාට ගෙවන ලෙස කම්කරුවන්ට දැන් බලකරමින් සිටිති. පසුගිය වසරේදී වෘත්තීය සමිති දියත් කල එක් දින මහාවැඩ වර්ජනය තවත් ප‍්‍රතිප‍්‍රහාරයක් සැලසුම් කිරීමට පාලක පන්තියට කාලය ලබා දෙමින් කම්කරුවන්ගේ කෝපය සමනය කිරීමට වඩා වැඩි යමක් කලේ නැත.

ලිබියාව තුල යුද්ධය නායකත්වයේ අර්බුදයේ ප‍්‍රතිවිපාක ප‍්‍රදර්ශනය කර තිබේ. ස්වාධීන දේශපාලනික විප්ලවවාදී ප‍්‍රජාතාන්ත‍්‍රික හා ධනවාදී-විරෝධී වැඩපිලිවෙලක් නොමැති ගඩාෆිගේ පාලානාධිකාරියට එරෙහි මහජන විරුද්ධත්වය අධිරාජ්‍යවාදීන් විසින් තම අරමුනු මුදුන් පමුනුවා ගැනීමට ගසාකනු ලැබ ඇත.

එමෙන් ම, එක්සත් ජනපදය හා එහි යුරෝපීය සගයන් විසින් ගෙන යමින් තිබෙන පිලිකුල් සහගත යටත් විජිත යුද්ධයට සහය පල කිරීම මගින් කම්කරු පන්තියේ අවශ්‍යතාවයන් හා ධනේශ්වරයේ ලිබරල් හා "වාම” නියෝජිතයන්ගේ අවශතාවයන් වෙන් කෙරෙන සමහන් කල නොහැකි සමාජ සහ දේශපාලන අගාධය ජාත්‍යන්තර පරිමාවකින් එලිදරව් කෙරී ඇත. නව-විජිතකරන යුද්ධයන් යුක්ති සහගත කිරීමට යහමින් තෝරා ගනු ලැබූ සටන් පාඨයක් වූ "මානව හිමිකම්”වල නාමයෙන්, ඉහල මධ්‍යම පන්තියේ වඩාත් ධනවත් කොටස්වල අවශ්‍යතාවන් හා දෘෂ්ටීන් නියෝජනය කරන පැරැනි "වාම” ව්‍යාපාර සහ පක්ෂ අධිරාජ්‍යවාදය සමග මොනවට ගැලතීගෙන සිටිති. එපමනක් නොව, මෙම පක්ෂ හා සංවිධාන "මානව හිමිකම්” අධිරාජ්‍යවාදයට ආශිර්වාද කරන අතරේ ඔවුන්ගේ රටවල පාලක පන්තියේ පටි තද කිරීම් පියවරවලට එරෙහි කම්කරු පන්තික අරගලවල වැඩීම අවහිර කිරීමට තමන්ගේ බලයෙන් කල හැකි සෑම දෙයක් ම කරති. මෙය එක්සත් ජනපදයේ දී ඔබාමා පාලානාධිකාරයට සහය දීමේ රූපාකාරය ගෙන ඇත්තේ, වෛරයට පාත‍්‍රවූ ඔහුගේ පූර්වප‍්‍රාප්තිකයාගේ ප‍්‍රතිගාමී පිලිවෙත් ඔබාමා විසින් රට තුලදී මෙන්ම පිටත දී අඛන්ඩව පවත්වා ගනිමින් හා ව්‍යාප්ත කරමින් සිටිත්දී ය.

තවත් විප්ලවවාදී යුගයක මධ්‍යයේදී ලියමින්, 1938 දී ට්‍රොට්ස්කි පැහදිලි කලේ, "සමස්තයක් වසයෙන් ලෝක දේශපාලන තත්වය කම්කරු පන්තියේ නායකත්වය පිලිබඳ ඓතිහාසික අර්බුදයක් මගින් ප‍්‍රධාන වසයෙන්ම සංලක්ෂිත වී තිබෙන” බවයි. කොන්දේසි වෙනස් වී තිබේ, එහෙත් ප‍්‍රමුඛ දේශපාලන කර්තව්‍ය තවමත් ඉතිරිව තිබේ. ධනපති පන්තියට එරෙහි කම්කරු පන්තියේ අරගල මෙහෙය වීමෙහිලා තීරනාත්මක කර්තව්‍ය වන්නේ සෑම රටක ම නව සමාජවාදී නායකත්වයක් ගොඩනැගීමයි.

මෙම කොන්දේසී යටතේ එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය අද දිනයේ සමාජවාදය සඳහා සටන මැයෙන් මෙම මාසයේදී සම්මන්ත‍්‍රන මාලාවක් පවත්වනු ලබයි. මෙම සම්මන්ත‍්‍රන මාලාවේ පලමුවැන්න අපේ‍්‍රල් 9-10 දිනවල මිචිගන්හි ඈන් ආබර්හි දී පැවත්වෙනු ඇත. අනතුරුව අපේ‍්‍රල් 16 ලොස් ඇන්ජලීස්හි දී හා අපේ‍්‍රල් 30 නිව් යෝර්ක් හි දී සම්මේලන පැවැත්වෙනු ඇත. ජනවාරි මාසයේ මෙම සම්මන්ත‍්‍රන නිවේදනය කල තැන් පටන් මෙම වසරේ දිගහැරුන සිද්ධීන් මගින් පෙන්නුම් කර ඇත්තේ, එක්සත් ජනපදය තුල සමාජවාදී නායකත්වයක් ගොඩ නැගීමේ තීරනාත්මක අවධියක් වසයෙන් ඒවායේ ඇති ඓතිහාසික අර්ථභාරයයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, එක්සත් ජනපදයේ එහි සියලුම පාඨකයන්ගෙන් එම රැස්වීම්වලට ලියාපදිංචි වෙන ලෙසත් එම සම්මන්ත‍්‍රනවලින් එකකට සහභාගි වීමට අද ම සැලසුම් සකස් කර ගන්නා ලෙසත් ඉල්ලා සිටී. ඔබට සහභාගි වීමට නොහැකි නම් හෝ එක්සත් ජනපදයෙන් පිටත පදිංචිව සිටී නම් සමාජවාදී සමානත පක්ෂය හා එහි තරුන සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ අමතන්න. එම සංවිධානවලට බැඳීම අද ම තීන්දු කරන්න. ලෝකය විප්ලවවාදී අරගලයේ නව කාල පරිච්ඡේදයකට ඇතුල් වන තත්වයක් තුල සමාජවාදය සඳහා අරගලය දියත් කිරීමට කාලය මෙයයි.

ජෝසප් කිෂෝර්