ලිබියාව, අධිරාජ්‍යවාදය සහ "වාම” බුද්ධිමතුන්ගේ දනගැසීම:

මහාචාර්ය ජුවාන් කෝල්ගේ උදාහරනය

Libya, imperialism and the prostration of the “left” intellectuals:The case of Professor Juan Cole

1 April 2011

එක්සත් ජනපද-නැටෝ හමුදාවන් ලිබියාව ආක‍්‍රමනය කිරීමේ වඩාත් සිත්කාවදින ලක්ෂනයක් නම් මෙම "තෝරා ගත් යුද්ධය” වාම-ලිබරල් පක්ෂවලින් සහ ඔවුන්ගේ සුවිශේෂ ආධාරක පදනමේ කොටසක් වූ පොහොසත් මධ්‍යම පන්තික ස්ථරය තුලින් එයට ලැබුනු සහයෝගය යි. අධිරාජ්‍යවාදී යුද්ධයට කෙරෙන යුක්ති ප‍්‍රතිපාදනයන් අතුරෙන් වඩාත් වංචනික වූ එකක් වන "මානව අයිතිවාසිකම්” කොඩිය කරගසා ගෙන සිටින වාම ලිබරල්ලු මෙම යුද්ධයට තමන්ගේ ම යුද්ධයක් ලෙස කර ගසා ගෙන සිටිති. හරියට ම අධිරාජ්‍යවාදය විසින් තම කොල්ලකාරී උවමනාකම් වසන් කර ගැනීම සඳහා "මානව අයිතිවාසිකම්” රැකීම හේතුව ලෙස දක්වා ගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය කඩතුරාවක් කර ගෙන ඉතිහාසයේ කරන ලද ප‍්‍රථම යුද්ධය මෙය වූවාක් මෙනි!

ලිබියාවට එක්සත් ජනපද-නැටෝ බෝම්බ හෙලීම පිලිබඳ ව කෙරෙන වාම ලිබරල් යුක්ති ප‍්‍රතිපාදන කර්නල් ගඩාෆිට එරෙහිව "සද්ගුනවත්” කෝපයෙන් පිරී ඉතිරී ඇති නමුත් ගඩාෆිගේ පාලනය පෙරලා දැමීමට ක‍්‍රියාත්මකව සිටින ලිබියාවේ සහ ජාත්‍යන්තර බලවේගයන් ද ඒවායේ අවශ්‍යතාවයන් ද විශ්ලේෂනය කිරීම වසයෙන් නම් කිසිවක් ඉදිරිපත් කර නැත. අධිරාජ්‍ය යුද්ධයේ ක්ෂමාලාපකයින් තර්ක කරන්නේ අවසිහියේ රෝගයෙන් පෙලෙනවුන්ගේ සමාජයක සාමාජික රොත්තක් මෙනි. ඉතිහාසයක් තිබිලා ම නැත. අතීතයේ සිදු වූ කිසිවක් මතක නැත. අධිරාජ්‍යවාදී යටත් විජිත වාදයේ සාපරාධී ජනසංහාරවල වාර්තාව අමතක කර දමනු ලැබ ඇත. 1911 සිට 1940 දක්වා ලිබියාව යටත් කර ගෙන සිටි ඉතාලි යටත් විජිතවාදය ඒ රටේ ජනගහනයෙන් අඩක් වනසා දැමූ බව මොවුහු සඳහන් නො කරති. උතුරු අප‍්‍රිකාවේ අන්තිමට සිදු වූ අධිරාජ්‍යවාදී ආක‍්‍රමනය නම් බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රන්ස යුද හමුදා 1956 ඔක්තෝබර්, නොවැම්බර් මාසවල දී ඊජිප්තුව ආක‍්‍රමනය කිරීම බව ද මොවුහු අමතක කරති. ඊස්රායලය ද හවුල් ව කරන ලද එම ආක‍්‍රමනයේ ඉලක්කය වූයේ තවත් අරාබි කර්නල් කෙනෙකු වූ ගමාල් අබ්දල් නසර්ගේ පාලනය පෙරලා දමා ඔහු විසින් ජනසතු කරනු ලැබ තිබූ සූවස් ඇලෙහි පාලනය යලිත් අල්ලා ගැනීම බව ද මොවුන්ට අමතක වී තිබේ. බි‍්‍රතාන්‍ය පුවත් පත් විසින් "පිස්සු බල්ලෙක්” යයි නම් කරන ලද නසාර් ඝාතනය කිරීමට බි‍්‍රතාන්‍ය අගමැති ඇන්තනි ඊඩන් කුමන්ත‍්‍රනය කලේ ය. ඉංග‍්‍රීසි-ප‍්‍රන්ස ආක‍්‍රමන සැලැස්ම අසාර්ථක වූයේ මෙම ප‍්‍රදේශය සඳහා තමන්ගේ ම වෙන ම සැලසුම් අතැති ව සිටි ඇමරිකා එක්සත් ජනපදය යුරෝපීය අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ පැරනි යටත් විජිත මත බලය යලිත් තහවුරු කර ගැනීමට දැරූ උත්සාහයට එකඟ නො වු නිසා ය. ප‍්‍රන්ස, බි‍්‍රතාන්‍ය, ඊස්රායල් හමුදාවන්ට ඊජිප්තුවෙන් අයින්වීමට බල කල ජනාධිපති අයිසන් හවර් ඔවුන්ට ලජ්ජා සහගත ලෙස පසුබැස යාමට සිදු කලේ ය.

ලිබියාවට එල්ල කරන ලද බටහිර ප‍්‍රහාරය මානව අයිතිවාසිකම් සඳහා අරගලයට අත් වූ ජයග‍්‍රහනයක් යයි හුවා දක්වන අයට ඇමරිකා එක්සත් ජනපදය විසින් තමන්ගේ මූලෝපායික දේශපාලන සහ ආර්ථික අවශ්‍යතාවයන්ට ඒ හෝ මේ ආකාරයෙන් හරස් ව සිටි රටවල් කඩාකප්පල් කිරීමේ ද ඒවාට පහර දීමේ ද ලා එක්සත් ජනපදය ඉටු කලා වූ මුර්ග භූමිකාව පිලිබඳ ව කිසිදු මතකයක් ඇති බවක් පෙනෙන්නට නැත. අමතක කරනු ලැබ ඇත්තේ අතීතය (වියට්නාමය, නිකරගුවාවේ කන්ට‍්‍රාස්වරුන්ගේ ම්ලෙච්ඡ යුද්ධය, ඇන්ගෝලාවේ සහ මොසැම්බික්හි සිවිල් යුද්ධ ඇවිලවීම, කොංගෝවේ ලුමුම්බා බලයෙන් පහකොට මරා දැමීම, දකුනු අප‍්‍රිකාවේ වර්නභේදවාදයට දුන් සහාය, ඉරාකය ආක‍්‍රමනය කිරීම) පමනක් නොව වර්තමානය ද මුලුමනින් ම නොතකා හරිනු ලැබ ඇත. යුද්ධයට පක්ෂ "වම” ගඩාෆි තමාගේ ජනයාට වෙඩි තැබීම උඩ ඔහු ඉවත් කිරීම ඇමරිකා එක්සත් ජනපදයට භාර දෙන්නේ හරියට ම ඇමරිකාවට අයත් ප‍්‍රිඩේටර් (නියමුවන් නැති) යානා ඇෆ්ගනිස්ථානය සහ පකිස්තානය මත දිනපතා මිසයිල වර්ෂා වස්සමින් දිනපතා මිනිසුන් මරන තතු තුල ය.

වාම ලිබරල් බුද්ධිමතුන් යුද්ධයට දක්වන්නා වූ ප‍්‍රතික‍්‍රියාවේ එක් වැදගත් උදාහරනයක් නම් මිචිගන් සරසවියේ මහාචාර්ය ජුවන් කෝල් බොහෝ දෙනා කියවන ඔහුගේ "ඉන්ෆෝම්ඩ් කමෙන්ට්” (http://www.juancole.com) නම් බ්ලොග් අඩවියේ ද පසුව ද නේෂන් පුවත් පතේ ද මාර්තු 27 දා පල කල ප‍්‍රකාශය යි. "වාමාංශයට විවෘත ලිපියක්” යන නමින් යුතු එම ලිපිය තුල මැදපෙරදිග පිලිබඳ සුප‍්‍රසිද්ධ ඉතිහාසඥයකු වූ මහාචාර්ය ජුවාන් කෝල්, ලිබියාවට එල්ල කරන ලද ප‍්‍රහාරයට මහ හඬින් සහාය දෙමින් මෙසේ කී ය: "චුයින්ගම් හපන ගමන් ම ඇවිදින්නට උගත යුතු යයි මම වාමාංශයට කියා සිටිමි.” මෙසේ උපහාසයෙන් පටන් ගන්නා ඔහු ඊලඟට කරන්නේ වාමාංශය සිය සම්ප‍්‍රදායික යුද විරෝධී මූලධර්ම අවස්ථාවට අනුව හැඩගස්වා ගැනීමට උගත යුතු ය යනුවෙනි: "එක්සත් ජනපදය විසින් දියත් කරනු ලබන යුද්ධ කෙරේ වාමාංශය තම ආකල්ප පිලිබඳ තීන්දු කල යුත්තේ, ඒවා එකින් එක වෙන් වෙන් ව සලකා බලමිනි.” ඔහු කියන්නේ, එසේ කිරීමෙන් අප හදවතක් නැත්තවුන් බවට පත් කරන්නේ නම් සෑම විදේශ ආක‍්‍රමනයක් ම, සෑම ගබ්සාවක් ම පරම තහන්චියක් බවට පත් කරන ආකාරයට පරම තහංචියක් බවට පත් කල යුතු නැත. (අනම්‍ය පූර්ව ආස්ථානයක් නිතරම හදවතක් නැති තත්වයට පත් කරනු ලබයි.) කෝල් මෙසේ ද කිය යි: "අන් සියලු සාරධර්මයන් ඉව බව නැති ව මැඩලීමට අධිරාජ්‍ය විරෝධයට ඉඩ දීම පැහැදිලි ව ම විකාර ආස්ථානයන්ට දොර හැරීමකි”.

ඉහත සඳහන් ප‍්‍රකාශය පෙන්නුම් කරන්නේ, වංචනික භාවය නොවේ නම් සැලකිය යුතු ආකාරයෙන් බුද්ධිමය ව්‍යාකූලත්වයකි. ‘අධිරාජ්‍ය විරෝධය’ වනාහි අනෙකුත් සාරධර්මයන් සමග තත්කාර්යවාදී ව හුවමාරු කල හැකි එකක් නො වේ. එය වනාහි, ගෝලීය ධනවාදයේ වෛෂයික ආර්ථික, සාමාජික දේශපාලන ව්‍යුහය පිලිබඳ විශ්ලේෂනයක් මත න්‍යායික ව පදනම් වූ දේශපාලන ආස්ථානයකි. කෝල් මග හරින්නට උත්සාහ කරන්නේ ම ලිබියාවට එරෙහි ප‍්‍රහාරයට යටින් පවත්නා, ධනේශ්වර පාලක ප‍්‍රභූවේ සාරභූත අවශ්‍යතාවයන් නියත වශයෙන්ම එලිදරව් කෙරෙන එවන් විශ්ලේෂනයකි. වෙනත් වචනවලින් කිවහොත් අධිරාජ්‍යවාදය සමග තත්කාර්යවාදී අනුගතවීමක් කෝල් යෝජනා කරයි.

මේ අනුව යුද්ධයට පක්ෂව කෝල් ඉදිරිපත් කරන තර්ක මුලුමනින් ම පවත්නා ලිබියානු පාලන තන්ත‍්‍රය පිලිබඳ හෙලා දැකීමකට සීමා වෙයි. එම තර්කයේ ප‍්‍රධාන යොමුව නම් ගඩාෆි තන්ත‍්‍රය විසින් දැනට ම කරනු ලැබ නැති නම්, එය විසින් ඉදිරියේ දී හෝ කරනු ලැබේ යයි සිතා ගත හැකි අපරාධයන් ය. "මා ලජ්ජා නැති ව හුරේ දමන්නේ විමුක්ති ව්‍යාපාරයට යත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය විසින් අනුමත කරන ලද යුදමය ආක‍්‍රමනය (ගඩාෆිගේ හමුදාව විසින් ) විමුක්ති ව්‍යාපාරය තලා දමනු ලැබීමෙන් බේරා ගැනීම ගැන ය මා සන්තෝෂ වන්නේ. එක්සත් ජාතීන්ගේ යුදමය මැදිහත්වීම නො වේ නම් ගඩාෆි යලිත් තහවුරු වී ගනු ඇත. විමුක්ති ව්‍යාපාරය මකුනෙකු මෙන් තලා දමා රට යලිත් වරක් රහස් පොලීසියේ පාලනයට යටත් කරනු ඇත.” ඔහු නියත ලෙස ප‍්‍රකාශ කරනු ලබයි.

"විමුක්ති ව්‍යාපාරය” කෙසේ සැකසුනේ දැයි මහාචාර්ය කෝල් මොන ම බරපතල විග‍්‍රහයක් හෝ කරන්නේ නැත. අල්කයිඩා ව්‍යාපාරය ලිබියානු විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වී ඇතැයි යන්න "පදනම් විරහිත යයි” ඔහු හෙලා දකියි. උතුරු අප‍්‍රිකාවේ සහ මැදපෙරදිග දැනට කෙරෙමින් පවත්නා යුද ගැටුම් පසෙක තිබියේවා අඩු වශයෙන් ලිබියාවේ මෑත ඉතිහාසය ගැන යමක් දන්නා කෙනෙකු නම් මේ ප‍්‍රශ්නය පිලිබඳ ව මහාචාර්ය කෝල්ගේ නිගමනය පිලිගනු නැත. ඇල්ජීරියාවේ සහ ලිබියාවේ ඉස්ලාමීය මාග්‍රෙබ් තුල කෙරෙන අල් කයිඩා ව්‍යාපාරයේ වැඩකටයුතු මෙම ප‍්‍රදේශයේ දේශපාලනය තුල බරපතල භූමිකාවක් ඉටු කරයි. අල්කයිඩා සංවිධානයේ ශාඛාවක් යයි කියනු ලබන ලිබියන් ඉස්ලාමික් ෆයිටින් ගෲප් (එල්අයිඑෆ්ජි) යන නමින් ක‍්‍රියා කරන සංවිධානය 1990 ගනන්වල දී ගඩාෆි තන්ත‍්‍රයට බරපතල අභියෝගයක් එල්ල කලේ ය. තමන්ගේ සාම්ප‍්‍රදායික අධිරාජ්‍ය විරෝධී වාචාලය අතහැර දමා යුරෝපය සහ එක්සත් ජනපදය සමග සම්මුතියක් ඇති කර ගැනීමට ගඩාෆි පාලනය ගත් තීන්දුවට ප‍්‍රධාන හේතුවක් වූයේ, එම අභියෝගය මගින් ඇති වූ අස්ථායිකාරී බලපෑම යි. වාර්තාවලට අනුව 2007 තරම් මෑතදී ත‍්‍රස්ත ප‍්‍රහාරයකට මුහුන දීම සඳහා ලිබියානු ආන්ඩුව සූදානම් වෙමින් සිටියේ ය.

ලිබියානු විපක්ෂය තුල අල්කයිඩා ව්‍යාපාරයේ සම්බන්ධතාවය එක්සත් ජනපද-නීත "ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” සම්බන්ධයෙන් වැදගත් ප‍්‍රශ්නයකි. [එක්සත් ජනපදය තමන්ගේ ආක‍්‍රමනයන්ට යුක්ති ප‍්‍රතිපාදනය සඳහා සැප්තැම්බර් 11 න් පසු පාවිච්චි කලේ අල්කයිඩා විරෝධය හෙවත් ත‍්‍රස්තවාදී විරෝධය යි. -පරිවර්තක] විශේෂයෙන් ම එක්සත් ජනපද-නැටෝ ආක‍්‍රමනයට යටින් පවත්නා හේතු කිරාමැන බැලීමේ දී මෙය වැදගත් වෙයි. ගඩාෆිට එරෙහි 1990 ගනන්වල එල්අයිඑෆ්ජී සංවිධානය මෙහෙය වූ අරගලයේ ක‍්‍රියාත්මක වූ කොටස්, එම කැරැල්ල මර්දනය කිරීමෙන් පසුව ලිබියාවෙන් පලා ගොස් ජාත්‍යන්තර ජාලයන් සමග එක් ව ක‍්‍රියා කරන්නට පටන් ගති. ඇෆ්ගනිස්ථානයේ අල්කයිඩා ක්ෂේත‍්‍ර නිලධාරීන්ගෙන් ප‍්‍රසිද්ධ ව ඇති සියලුම දෙනා ලිබියානුවෝ ය. ඒ අතර ලිබියාව තුල ම සටන්කාමී ඉස්ලාමිකවාදීන් බඳවා ගැනීමට සැලකිය යුතු ඉඩකඩක් පවති” ([“Between the ‘Near’ and the ‘Far’ Enemy: Al-Qaeda in the Islamic Maghreb,” ගුයිඩෝ සයින්බර්ග් සහ ඉසබෙල් වෙරෙන්ෆෙල්ස්, මෙඩිටරේනියන් 12:3, 407-413).

මෙම අධ්‍යයනයට අනුව "යුරෝපීය ආරක්ෂක ආයතන සලකන්නේ ඉස්ලාමික් මාග්‍රෙබ් ප‍්‍රදේශය තුල අල්කයිඩාව බටහිර යුරෝපීය රටවලට - විශේෂයෙන් ම මෙම සංවිධානයට සැලකිය යුතු සැපයුම් උපරිව්‍යුහයක් පවත්නා ප‍්‍රන්සය සහ ස්පාඤ්ඤය තුල - බලවත් ම ත‍්‍රස්තවාදී තර්ජනය බවට පත් ව ඇතැ යි කියා ය.” (එම) එසේ නම් එක්සත් ජනපදය සහ නැටෝව මෙම බලවේගයන් සමග එක්ව ක‍්‍රියා කරන්නේ ඇයි?

මහාචාර්ය කෝල් මෙම කරුනු මැනවින් දනිතත් ඒවා නො තකා හැරීමට වඩාත් කැමති වෙයි. කෙසේ වෙතත්, ගඩාෆිට එරෙහි අරගලයේ දී එක්සත් ජනපදය අල්කයිඩාව සමග පවත්වා ගෙන යන සන්ධානය විසින් ගෝලීය "ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” මහා බොරුවක් බව ඔප්පු කර ඇත. ඒ නිසා ම ලිබියාවට එරෙහි ප‍්‍රහාරයේ සැබෑ ගැඹුරු හේතු විග‍්‍රහ කිරීමේ අවශ්‍යතාවය ද දැන් වඩාත් ඉස්මත්තට එයි.

මහාචාර්ය කෝල් ඉවත දැමීමට හදිස්සි වන මතයක් නම් ලිබියාවට එරෙහි එක්සත් ජනපද-නැටෝ ආක‍්‍රමනයට හුදෙක් මානව හිතවාදී චේතනාවන්ට අමතර ව අන් කිසි අරමුනක් තිබිය හැකි ය යන්න යි. එක්සත් ජනපදය සහ නැටෝව ගඩාෆි පෙරලා දැමීමට කුමන්ත‍්‍රනය කරන්නේ "ඔහුගේ ජනයා ඔහුගෙන් ආරක්ෂා කිරීමට නො ව ලිබියාව තුල එක්සත් ජනපද, ප‍්‍රන්ස සහ බි‍්‍රතාන්‍ය ආධිපත්‍යය පිහිටුවා ගැනීම සඳහා ය” යන මතය ඔහුට කිසිසේත් ම ඔරොත්තු දෙන්නේ නැත. "එම තර්කය අතිශයින් ම විකාර සහගත යයි” ඔහු කියා සිටී.

කෝල් කියා සිටින්නේ, ඇමරිකානු සහ යුරෝපීය ගනන් බැලීම්වලට ඛනිජ තෙල්වල මොන ම සම්බන්ධයක් වත් නැතැ යි කියා ය. එපමනක් නො වේ. ඔහු මෙසේ ද නිවේදනය කරයි: "බටහිර සමාගම් විසින් ලිබියාවේ පෙට්‍රෝලියම් බිම් අයිති කර ගැනීමට කිසිදු ඉඩක් ඇත්තේ නැත. ඒවා බොහෝ කලකට පෙර ජනසතු කරනු ලැබ ඇත.” මහාචාර්ය කෝල්ට මේ සහතික ලබා දී ඇත්තේ කවුරුන් විසින් ද? එය නම් මහා පුදුමයකි!

මහාචාර්යවරයා තව දුරටත් මෙසේ කියා ගෙන යයි: "අවසාන වසයෙන් පෙන්වා දිය යුත්තේ, පෙට්‍රෝලියම් වැඩි ප‍්‍රමානයක් වෙලඳ පොලට දැමීමට මහා තෙල් කොම්පැනි සෑම විට ම කැමති වේ යයි නො සිතිය යුතු බව යි. මන්ද යත් එවිට මිල පහත වැටී කොම්පැනිවලට ලාභ අඩුවීමට ඉඩ ඇති හෙයිනි. දැනට ම නිදහස් තෙල් ඉල්ලුමක් පවත්නා ඉහල යන මිල ගනන් නිසා වාර්තාගත ලාභ ලබන ලෝකයක පෙට්‍රෝලියම් මිල පහත දැමීමට, වඩා හොඳ කොන්ත‍්‍රාත්තු ලබා ගැනීම සඳහා ලිබියාව තුල යුද්ධයක් කිරීම තේරුමක් නැති වැඩකි. ලිබියාවේ යුද්ධය තෙල් සඳහා ය යන තර්කය තේරුමක් ඇති ආකාරයට ඉදිරිපත් කෙරෙනු මට නම් දක්නට ලැබී නැත.”

මහාචාර්ය කෝල් මෙහි දී තර්ක කරන්නේ අධිරාජ්‍යවාදී යුදවාදය සහ ජාත්‍යන්තර සංගතයන්ගේ ආර්ථික ආසක්තතා අතර සම්බන්ධයක් ඇතැ යි කියන්නා වූ "ග‍්‍රාම්‍ය මාක්ස්වාදී” විවේචනයන්ට එරෙහි ව පමනක් නො වේ. ඔහු, තමාගේ ම අතීත ලේඛනයන් ප‍්‍රතික්ෂේප කරමින් ඒවාට විරුද්ධ ව ද වාද වදී. 2006 අගෝස්තු 6 දා ඔහුගේ ම බ්ලොග් අඩවියේ "ඊස්රායලය සහ එක්සත් ජනපද පෙන්ටගනය විසින් ලෙබනනයේ මහා පරිමාන විනාශයක් කිරීමට එරෙහි ව” තර්ක කරමින් මැදපෙරදිග තෙල් සහ එක්සත් ජනපද යුද මෙහෙයුම් අතර පවත්නා සම්බන්ධතාවය පිලිබඳව මහාචාර්ය කෝල් ඉතා දූරදර්ශි විශ්ලේෂනයක් ඉදිරිපත් කලේ ය. ලෙබනනයේ සිද්ධීන් ප‍්‍රධාන පෙට්‍රෝලියම් සහ ගෑස් උල්පත් මත ඇමරිකානු ග‍්‍රහනය තද කර ගැනීම සඳහා ක‍්‍රියාත්මක කෙරෙන පලල් දිගුකාලීන මූලෝපායක කොටසක් යයි ඔහු පැහැදිලි කලේ ය. මෙම මූලෝපාය ක‍්‍රියාත්මක කරනු ලබන්නේ හුදෙක් එක්සත් ජනපදයට තෙල් සහ ගෑස් අත්පත් කර ගැනීමට පමනක් නො ව එම සම්පත්වලට තරගකාරී ඇඟිලි ගැසීම් කල්තබා වැලැක්වීමට හා චීනය හා ඉන්දියාව වැනි තවත් තරගකරුවන් තෙල් හා ගෑස් සම්පත්වලට පිවිසීම වැලැක්වීමට එක්සත් ජනපදයට වුවමනා වී තිබෙන බව ද කෝල් පැහැදිලි කලේ ය.

වෙලඳ පොල සාමාන්‍ය අන්දමින් ක‍්‍රියා කිරීම විසින් තෙල් සම්පත් අල්ලා ගෙන පාලනය කිරීමේ අවශ්‍යතාවය අහෝසි කෙරෙන්නේ යයි තමා දැන් නගන තර්කයට කෝල් කල් තබා ම මෙසේ පිලිතුරු දුනි: "තෙල්වල හුවමාරුශීලතාවය වත්මන් වාතාවරනය තුල පෙරකල්හි තරම් වැදගත්කමක් නො දරන බව මම පෙන්වා දෙමි. තෙල් (ලිංවලින්) එලියට ගන්නේ මොන වෙලාවට දැයි යන්න තීන්දු කිරීමේ බලය ඇති අයට විශාල ලාභ ගරා ගැනීමට මගපෑදෙන හෙයින් එක්සත් ජනපද තෙල් කොම්පැනි යලිත් වරක් තෙල් බිම් අල්ලා ගැනීමට කැමති වනු ඇත... අප ජීවත් වෙමින් පවතින වත්මන් වාතාවරනය තුල තෙල් බිම්, යුද්ධ කිරීමට තරම් සුදුසු භාන්ඩයක් බවට පත්ව ඇත. (අවධාරනය එකතු කරන ලදි)

ඉරානයට විරුද්ධ ව ඇමරිකානු යුද සූදානමේ ප‍්‍රමුඛ සාධකයක් වන්නේ තෙල් සම්පත් අල්ලා ගැනීම යයි ද කෝල් කී ය: "ඉතා ම නරක තත්වය උද්ගත වුව හොත් වොෂින්ටනය ඉරානයට එරෙහි යුද්ධමය ක‍්‍රියාවකට බැස තෙල් සම්පත් අල්ලා ගැනීමට ද තම ප‍්‍රතිමල්ලයන්ට ඒවාට අත ගසා ගැනීමට ඉඩ නො දීමට ද සූදානම් වනු ඇත.”

ලෙබනනයේ ඇමරිකානු සහාය ලත් ඊස්රායල ආක‍්‍රමනය වඩාත් පලල් භූ යුද්ධෝපායික අරමුනුවලට සම්බන්ධ කල කෝල් එක්සත් ජනපදයේ දිගුකාලීන සැලසුම් පිලිබඳ තීක්ෂන සාරාංශයක් මෙසේ ඉදිරිපත් කලේ ය:

"යුද උකුස්සන් මෙසේ සිතනු ඇත. ලෙබනනය විනාශ කොට හිස්බුල්ලා සංවිධානය නැති කර දමනු! එවිට ඉරානයේ යුද්ධෝපායික ආරක්ෂාව අඩු වී යනු ඇත. ඉරානයේ න්‍යෂ්ටික බලය විනාශ කර දමනු! එවිට එරට අසරන වනු ඇතත ලෙබනනයට කල දේ ඉරානයට ද කිරීමට ඊස්රායලයට ඉඩ සැලසෙනු ඇත. ඉරානයේ පාලනය වෙනස් කිරීමට ද එරට යලිත් ඇමරිකානු බල වැයික්කියක් බවට පත් කර ගැනීමට ද එම රටට ඇතුලු වීමට චීනයට ඉඩ නො තබා එරටේ ටීසීඑෆ් පන්සියයක ස්වාභාවික ගෑස් ඇමරිකානු මහා කොම්පැනිවලට අල්ලා ගැනීමට ද එමගින් ඉඩ සැලසෙනු ඇත. සදාම් හුසේන් පමනක් නො ව කමේනි ද ඉවත් වූ කල්හි මුලුමහත් ගල්ෆ් ප‍්‍රදේශය ම තම පාලනයට නතු කර ගැනීමට එක්සත් ජනපදයට ඉඩ ලැබෙනු ඇත. බලන්න! නව තාක්ෂනික විසඳුමක් ලැබෙන තෙක් ඇමරිකානු තෙල් හිඟය වලක්වා ගැනීමට හැකි වනු ඇත! චීනයට සහ ඉන්දියාවට ගල්ෆ් ප‍්‍රදේශයේ සම්පත් ඔවුන්ගේ වාසියට යොදා ගනු නො හැකි තත්වයක් ඇති වනු ඇත!

"දෙවන ඇමරිකානු ශතවර්ෂය එලඹෙනු ඇත! නව මැදපෙරදිග යනු ඇමරිකාවට නතු මැදපෙරදිග යි.

"මේ සියල්ල ඇරඹෙන්නේ ලෙබනනය විනාශ කිරීමෙන්.

"ඉදිරියේ තවත් යුද්ධ එනු ඇත! මන්දයත් ලෙබනනයට ගැසීම හරියට මුරකාරයාට ගැසීම වැනි නිසා ය. යමෙක් දේශපාලකයාගේ මුරකාරයාට පහර දී නවතින්නේ නැත. එය ලොකු වැඩේ පටන් ගැනීම පමනි.”

මහාචාර්ය කෝල් තමාගේ ම මෙම විග‍්‍රහය ප‍්‍රතික්ෂේප කර ඇත්තේ කිසිදු හේතු දැක්වීමකින් තොර ව ය. එහෙත්, ඔහු යලි සිහිපත් කරන මතය 2006 දී ලියු දේවල් විසින් කල්තබා ම නිෂ්ප‍්‍රභා කර තිබේ.

කෝල් ඉතිහාසය බැරෑරුම් ව සලකන කෙනෙක් නම් ඔහු අමතක නො කල යුතු දෙයක් ඇත. එය වනාහි කර්නල් ගඩාෆි 1969 දී එක්සත් ජනපදයේ ආධාර ලත් පාලකයකු වූ ඉදිරිස් රජු පහකොට බලය අල්ලා ගත් වහා ම තෙල් මිල සැලකිය යුතු ආකාරයෙන් ඉහල දැමූ බව ය. ගඩාෆිගේ රැඩිකල් ජාතිකවාදී ආන්ඩුව බලයට පත්වීමට පෙර ඇමරිකාව තම ඉත්තා වූ සවුදි ආන්ඩුව ලවා ඔපෙක් සංවිධානයේ තෙල් මිල නියම කිරීම පාලනය කලේ ය. ගඩාෆි ලිබියාවේ පාලනය අල්ලා ගත් තැන් පටන් තෙල් මිල නියම කිරීම ඇමරිකානු පාලනයෙන් මිදී රැඩිකල් ජාතිකවාදීන්ගේ අවශ්‍යතාවය මත සිදුවන්නට පටන් ගති.

බලවේගයන්ගේ මෙම නව සම්බන්ධතාවයේ අනතුර කල්තබා ම වටහා ගත් එක් අයෙක් නම් නික්සන් පාලනාධිකාරයේ ජාතික ආරක්ෂක උපදේශක වූ ද පසු ව ආරක්ෂක ලේකම්වරයා වූ ද සීඅයිඒ සංවිධානයේ හෙන්රි කිසිංගර් ය. ඔහු තම මතක සටහන්වල සඳහන් කල පරිදි "ගඩාෆි බටහිර බලපෑම මුලිනුපුටා දැමීමට සනිටුහන් කර සිටි දිවුරුම් දුන් රැඩිකල්වාදියෙකි. තමා එසේ කිරීමේ දී ලෝක ආර්ථිකය දුබල කලේ ද යන්න ඔහුට වැදගත් වූයේ නැත.” Years of Upheaval (Boston: 1982), පි. 859) කීසිංගර් වහාම ක‍්‍රියාත්මක විය: ඔහු මෙසේ තම මතක සටහන්වල ලියා තැබී ය: "1964 නොවැම්බර් 24 දා රැස්වීමක දී මම 40 කමිටුව රහසිගත ක‍්‍රියා සඳහා යොදා ගත හැකි දැයි විමසුවෙමි” යයි කියා සිටියේ ය. එහෙත් තම මතය ඒ අවස්ථාවේ දී පිලි නො ගැනුන හෙයින් කීසිංගර් කෝපයට පත් විය. ඉන් දශකයකට පමන පසු රීගන් පාලනාධිකාරය බර්ලිනයේ සිදු වූ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් පාවිච්චියට ගනිමින් ගඩාෆි ඉලක්ක කොට ටි‍්‍රපොලි නගරයට මිසයිල ප‍්‍රහාරයක් එල්ල කලේ ය.

කෝල් ගත වූ අවුරුදු 20 ක ඉතිහාසය නිශ්ශබ්ද ව ලිස්සා හරී. ලිබියානු තෙල් යුරෝපය හා ඇමරිකාව කෙරේ දරන්නා වූ මූලෝපායික වැදගත්කම පිලිබඳව භූ-දේශපාලනික ප‍්‍රශ්න සඳහා කැප වූ අනන්ත විද්වත් සඟරාවල පල වී ඇති පෘථුල විග‍්‍රහයන් ඔහු යට ගසයි. "පිස්සු බල්ලා” යයි නම් කරන ලද ගඩාෆි 2004 බ‍්‍රසල්ස්හි දී ද 2005 පැරිසියේ දී ද 2009 රෝමයේ දී ද සාදරයෙන් පිලිගනු ලැබුවේ මන් ද යන්න පමනක් නො ව ගඩාෆිගේ පුත‍්‍ර සයිෆ් එල් ඉස්ලාම් 2009 දී හිලරි ක්ලින්ටන් විසින් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දී පිලිගනු ලැබූ බව ද ඔහු සඳහන් කරන්නේ නැත; එයට හේතු දක්වන්නේ ද නැත.

උතුරු අප‍්‍රිකාවේ භූ-දේශපාලනය පිලිබඳ විශේෂඥයන් වූ මහාචාර්ය ඩෙරෙක් ලූටර්බෙග් සහ මහාචාර් ජියෝජි එංගල්බ්‍රෙක් විසින් මෙය පිලිබඳව එක් පැහැදිලි කිරීමක් 2009 දී කර ඇත. දැන් ලිබියාව පවතින්නේ බටහිර සහ රුසියාවේ ඉන්ධන ආසක්තයන් අන්තර් ඡේදනය වන ලක්ෂ්‍යයේ ය. ඔවුහු 2006 දී කෝල් ඉදිරිපත් කල තර්කය සනාථ කරමින් ලිබියාවේ තෙල් සහ ගෑස් සම්පත්වලට අතගසා ගැනීමට රුසියාව දරන උත්සාහයට ලිබියාව දක්වන ප‍්‍රතිචාරය කුමක් දැයි බටහිර රටවල් බලවත් සේ උත්සුක ව සිටින බව පෙන්නුම් කලහ. (බටහිර සහ රුසියාව මධ්‍යධරනියේ දී නව ප‍්‍රතිමල්ලතාවක් කරා - මෙඩිටරේනියන් පොලිටික්ස් 14, 3, 385, 406).

රාජ්‍යයන්ට දීර්ඝ කාලීන මතකයන් පවතින අතර දිග්ගැස්සුන කාල පරාසයක් තුල මෙහෙයවෙයි. එක්සත් ජනපදය සහ යුරෝපය අවුරුදු 40 ක් තිස්සේ ලෝක තෙල් වෙලඳ පොල මත තම පාලනය පවත්වා ගැනීම සඳහා පැවති ප‍්‍රමුඛ බාධාවක් ඉවත් කර ගැනීමට පසුගිය පෙබරවාරියේ ලිබියාවේ ඇති වූ දේශපාලන කලබැගෑනිය පාවිච්චි කලහ. අසල්වැසි ටියුනීසියාවේ සහ ඊජිප්තුවේ ඇති වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජ පරිවර්තනය සඳහා වූ දේශපාලන නැගිටීම්වල දී එක්සත් ජනපදය සහ යුරෝපය ගඩාෆි පෙරලා දැමීමට පියවර ගත්හ. ගඩාෆි ගත වූ දශකය පුරා ම බටහිර සැනසීමට කෙතරම් පියවර ගෙන තිබුනත් ආර්ථික සම්මුතීන්ට එලඹ තිබුනත් වොෂින්ටනය, ලන්ඩනය සහ පැරීසිය ගඩාෆිගේ රාජ්‍ය පෙරලා දමා ඒ වෙනුවට කෙලින් ම යටත් විජිත පාලනයක් ඇති කිරීමට තීන්දු කලෝය. කාල චක‍්‍රය අවුරුදු 42 න් ආපසු කැරකීමට පියවර ගත්හ. මේ අනුව බෙංගාසි නගරයේ ආරම්භක නැගිටීම්වල ප‍්‍රජාතන්ත‍්‍රවාදී ස්වභාවය කුමක් වුවත් ඒවායේ පාලනය ඉක්මනින් ම අධිරාජ්‍යවාදී ඒජන්තයන් අතට ගනු ලැබිනි. මේ ඒජන්තයෝ ගඩාෆි පාලනය සමග මිලිටරි ගැටුමක් කරා එයින් ඇති වන තත්වයන් ප‍්‍රයෝජනයට ගෙන "මානව අයිතිවාසිකම් රැකීමේ නාමයෙන් එක්සත් ජනපද-නැටෝ ආක‍්‍රමනයකට දොර හැරීමට ඔවුහු ක‍්‍රියා කලෝය. මෙය වනාහි පෙර කල ද අධිරාජ්‍යවාදීන්ට මනා ප‍්‍රතිඵල ලබා දුන් උපක‍්‍රමයකි.

ඉතිහාසය අමතක කොට, ඊයේ තමා ලියූ දේ මකාදමමින්, සමකාලීන භූ මූලෝපායික සහ පන්ති යථාර්ථයන් නො තකමින් මහාචාර්ය කෝල් ලියන කල කෙනෙකුට පෙනී යන්නේ ඔහු තමාගේ පය රුකුල මුලුමනින් ම අහෝසි කර ගෙන ඇති බව යි. පසුව මාර්තු 30 දා තවත් බ්ලොග් අඩවියකට ඔහු මෙසේ පැවසී ය: "නැටෝවට මාව උවමනා නම් මම සූදානමින් සිටිමි....”

සුප‍්‍රකට විද්වතෙකු වූ මහාචාර්ය කෝල්ට සිය ජීවිතය කැප කිරීමට මීට වැඩි වැදගත් දෙයක් නැති වීම කොතරම් ලැජ්ජාවට කරුනක් ද?

ඩේවිඩ් නෝර්ත් විසිනි