කොටස් වෙලඳපොල සන්ත‍්‍රාසය යුරෝ අර්බුදය ගැඹුරු කරයි

Stock market panic deepens euro crisis

By Peter Schwarz, 16 August 2011

පසුගිය දෙසතියේ කොටස් වෙලඳපොල සන්ත‍්‍රාසය 2008 ලෝක මූල්‍ය පද්ධතිය බිඳවැටීමේ අද්දරට ඇද දැමීමට තුඩුදුන් ගැටලු කිසිවක් විසඳී නොමැති බව පැහැදිලිව පෙන්නුම් කරයි. ඒ වෙනුවට පසුගිය තෙවසර තුල ගෝලීය ආර්ථික අර්බුදය ගැඹුරුවී ඇතුවා පමනි.

සති අන්ත සුදෙට්ෂේ සේටුං පත‍්‍රයේ කතුවැකියක් තුල මෙම තත්වය දෙවන ලෝක යුද්ධය කුලුගැන්වූ 1931 මහා අවපාතය සමග සමාන කරයි. 1929 වෝල් වීදියේ බිඳ වැටීමෙන් වසර දෙකකට පසුව බොහෝ ආර්ථික විශේෂඥයෝ නරකම තත්වය පහව ගොස් ඇතැයි යන ශුභවාදී බලාපොරොත්තු පල කලහ.

"කුමන මිත්‍යාවක් ද? යමෙකුට දෙවන ලෝක ආර්ථික අර්බුදය ලෙස සැලකිය හැකි අද දවසේ අර්බුදය පිලිබඳව කනස්සල්ල ඇතිකරවන කුමන සමානකම් පවත්නේ ද?” එය සඳහන් කරයි. මේ අතර "දශක අටකට පෙරාතුව පැහැදිලිවී තිබෙන ආකාරයට බැංකු බිඳවැටීමෙන්- රාජ්‍ය බංකොලොත් වීමෙන්- අහිතකර නය වර්ගීකරනයෙන් හෝ නරකම තත්වය ලෙස යුරෝ කලාපය බිඳ වැටීමෙන් අවුලුවනු ලබන අර්බුදයේ රැලි ගනනාවක් පසු පසින් ඇදී එනු ඇත”.

තෙවසරකට පෙර ලේමන් බ‍්‍රදර්ස් බැංකුව බිඳ වැටීමෙන් ඉක්බිත්තෙහි දේශපාලඥයින් කියා සිටියේ තමන් 1931 පාඩම් ඉගෙනගෙන තිබෙන අතර, ලෝක ආර්ථිකය අවධමනකාරී ප‍්‍රතිපත්තියක් තුලින් බිඳ දැමීමේ වැරැද්ද යලිත් නොකරනු ඇති බවයි. බැංකු ඇපදීම් උත්තේජන පැකේජ හා අවම පොලී අනුපාත උපයෝගී කරගෙන තම වගකීම් විරහිත හා සාපරාධී සමපේක්ෂන තුලින් අර්බුදය ඇවිලවූ බැංකු වලට රාජ්‍ය භාන්ඩාගාර වලින් බිලියන ගනනින් ඔවුහු මුදල් පොම්ප කලහ.

දැන් අර්බුදයේ හදවතෙහිම ඇත්තේ රාජ්‍ය අයවැය පිලිබඳ ප‍්‍රශ්නයයි. බැංකු වලට උදව් කිරීම නිසා රාජ්‍ය නය තියුනු ලෙස ඉහල ගියේය. නිදසුනක් ලෙස අයර්ලන්ත ආන්ඩුවේ නය සිව් ගුනයකින් ද ස්පාඤ්ඤයේ දෙගුනයකින් ද ඇමරිකාවේ තුනෙන් එකකින් ද ජර්මනියේ පහෙන් එකකින් ද වැඩිවී ඇත. බැංකු මස් රාත්තලම ඉල්ලති. ප‍්‍රථමයෙන් මහජන අරමුදල් යොදවා බැංකු ගලවාගනු ලැබිනි. දැන් බැංකු කුරිරු වියදම් කප්පාදු වැඩසටහන් මගින් අයවැය හිඟ පහතට ගෙනආ යුතු බව කියා සිටිති.

ආන්ඩු මූල්‍ය වෙලඳපොලවල නිර්දේශ වලට හිස නමමින් වසර අසූවකට පෙර සිය පූර්වගාමීන් සේම එයට ප‍්‍රතිචාර දක්වති. ඔවුහු තවදුරටත් මහා අවපාතයේ පාඩම් ගැන කතා නොකරති. ඒ වෙනුවට ජනගහනයේ පුලුල් කොටස්වල ජීවනෝපායන් කාබාසීනියා කරමින් තව තවත් කප්පාදු පියවර මගින් ආර්ථිකය අවපාතයක් තුලට තල්ලු කරති.

මෑත දිනවල කොටස් වෙලඳපොලවල සන්ත‍්‍රාසය දැකගත යුත්තේ මෙවන් සන්දර්භයක් තුලය. එයට කොකා ගැස්සුවේ එස්ඇන්ඩ්පී වර්ගීකරන ආයතනය එක්සත් ජනපදයේ නය වර්ගීකරනය පහත හෙලීමත් යුරෝපයේ රාජ්‍ය නය අර්බුදය ගැඹුරු වීමත් මගිනි.

එස්ඇන්ඩ්පී එක්සත් ජනපද ආන්ඩුවේ බැඳුම්කර අනුපාතය පහත හෙලුවේ, ඔබාමා පාලනය හා කොන්ග‍්‍රසය අතර ඇතිකරගත් එකඟත්වය පරිදි සමාජ වියදම් කැපීම නොසෑහෙන බවට මූල්‍ය වෙලඳපොලවල් තීරනය කර ඇති බැවින්ය. යුරෝපයේදී ස්පාඤ්ඤ- ඉතාලි- හා ප‍්‍රන්ස ආන්ඩුවල බැඳුම්කර සමපේක්ෂකයින්ගේ අවධානයට ලක්වූයේ පරියන්තයේ ඇති ගී‍්‍රසිය- අයර්ලන්තය හා පෘතුගාලය වැනි රටවල ව්‍යසනකාරී කප්පාදු වැඩසටහන් පිලිබඳව මූල්‍ය වෙලඳපොලවල් සෑහීමකට පත් නොවුන නිසාය.

මූල්‍ය වෙලඳපොලවල හැසිරීම ඇඟවුම් කරන්නේ හුදෙක් යුරෝ කලාපයෙහි පරියන්තයේ ඇති කුඩා රටවල පමනක් නොව මුලුමහත් යුරෝපයේම මෑත දශකවල අත්කරගෙන තිබෙන අවසානයට ඉතිරිව ඇති සමාජ සහන පවා උපුටා දමන තෙක් ආයෝජකයින් සෑහීමට පත් නොවන බවයි

දේශපාලන ප‍්‍රභූව පනිවිඩය වටහාගත් අතර වහාම ක‍්‍රියාත්මක විය ඉතාලි ආන්ඩුව මෑතකදී යුරෝ බිලියන 79ක වියදම් කප්පාදුවක් ක‍්‍රියාත්මක කලේවී නමුත් පසුගිය සතියේ අමතර බිලියන 45ක වියදම් කප්පාදු පැකේජයක් ඉදිරිපත් කලේය ජර්මානු චාන්සලර් හා ප‍්‍රන්ස ජනාධිපති මූල්‍ය වෙලඳපොලවලට සහතික වීමේ සංඥාවක් නිකුත් කිරීම පිනිස අද දිනය තුල විශේෂ හමුවක් පැවැත්වීමට එකඟත්වය පලකොට ඇත.

මූල්‍ය සාකච්ඡාවල ප‍්‍රධාන මාතෘකාව වනු ඇත්තේ සියලු යුරෝ රටවලට ඒකාබද්ධ නය පත‍්‍රිකා නිකුත් කිරීමට ඉඩ සැලසෙන පරිදි පොදු යුරෝපීය බැඳුම්කර හඳුන්වා දීමය ඊනියා යුරෝ බැඳුම්කර මඟින් ග‍්‍රීසිය වැනි රටවලට ජර්මනියේ පොලියට සමාන අනුපාතයකින් සිය නය අරමුදල් සපයාගැනීමට ඉඩ සැලසෙනු ඇත ග‍්‍රීසියට කලින් තිබුනාට වඩා බොහෝ අඩු පොලී අනුපාතයක් නියම වනු ඇති අතර ජර්මනියේ නය වෙනුවෙන් වඩා ඉහල පොලී අනුපාතයක් නියම වනු ඇත.

මේතාක් දුරට ජර්මනිය එවන් යුරෝ බැඳුම්කරයන් පිලිගැනීම තරයේ ප‍්‍රතික්ෂේප කර තිබෙන්නේ එබැවිනි අන් කිසිදු රටකට වඩා ජර්මන් ආර්ථිකය යුරෝවෙන් වාසි සලසාගත් නමුත් බර්ලිනය "පරිවර්තන සංඟමයක’’ කුමන ආකෘතියක් හෝ ප‍්‍රතික්ෂේප කරයි එනම් යුරෝ කලාපයේ ධනවත් රටවලින් දුප්පත් රටවල් වෙත අරමුදල් මාරු කිරීමේ වැඩපිලිවෙලකි.

එහෙත් මෑත දිනවල ජර්මනිය මත යෙදෙන පීඩනය සැලකිය යුතු තරම් දැඩිවී තිබේ පසුගිය සති අන්තයේදී ඉතාලි මුදල් ඇමති ගියුලියෝ ට්‍රිමොන්ටි පොදු බැඳුම්කර ඇතිකිරීම සඳහා හදිසි ඉල්ලීමක් කලේය. යුරෝ කන්ඩායම් නායක ජීන් ක්ලවුඩේ ජුන්කර් හා යුරොපීය සංඟමයේ මූල්‍ය කටයුතු පිලිබඳ කොමසාරිස් ඔල්ලි රේන් ද යුරෝ බැඳුම්කර සඳහා කැඳවුම්කර තිබේ එහෙත් ජර්මනිය එවන් යෝජනාවකට නිල වශයෙන් විරුද්ධත්වය පල කරයි 15දා චාන්සලර් මර්කෙල්ගේ ප‍්‍රකාශකයෙකු සාකෝසි සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවලදී යුරෝ බැඳුම්කර මාතෘකාවක් බවටවත් පත් නොවන බව කියා සිටියේය.

කෙසේ වෙතත් වෙල්ට ඇම් සොන්ටැග් සති අන්තයේදී ආන්ඩුවේ සාමාජිකයින් ගනනාවක් උපුටා දක්වමින් ප‍්‍රකාශ කලේ යුරෝව බේරාගැනීමට ඇති එකම මාවත එය නම් පොදු යුරෝපීය බැඳුම්කර පිලිගැනීමට බර්ලිනය දැන් සූදානම්ව සිටින බවයි. පූර්වයෙන් තෝරාගෙන තිබුනු ක‍්‍රමය එනම් මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුනපා සිටින රටවලට උදව් කිරීම පිනිස බහු බිලියන ඇපදීමේ වැඩසටහන් දැන් ඒවායේ සීමාවට පැමින තිබේ.

කෙසේ වුව ද බර්ලිනයට එවන් පියවරක් ප‍්‍රසිද්ධියේ නිවේදනය කිරීමේ අවශ්‍යතාවක් නැත ඉහත පුවත්පත විස්තර කල පරිදි දිගු ක‍්‍රියාවලියකදී "අනෙකුත් යුරෝ කොටස්කරුවන් වෙතින් සහන ලබාගැනීම’’ පිනිස සාකච්ඡාවන්ට එකඟත්වය පලවී තිබේ සාරය වශයෙන් ගත් කල්හි බෙහෙවින් නයගැතිව සිටින රටවල් තම ආර්ථික හා මූල්‍ය ස්වෛරීත්වය අතහැර දමා මූල්‍ය වෙලඳපොලවල නිර්දේශ වලට කොන්දේසි විරහිතව යටත්විය යුතුය.

මෙම සන්දර්භය තුල ජර්මන් ආර්ථික ඇමති ෆිලිප් රොස්ලර් යෝජනාකර ඇත්තේ "ස්ථාවරත්වයේ සංඟමයක්’’ ගොඩනැඟීමටය ඒ තුල ඇතිවන දැඩි-සංවේදනශීලී උපමානයක් ස්වයංක‍්‍රීයවම තනි මුදලක විශ්වාසනීයත්වය සහතික කරනු ඇති බව ප‍්‍රකාශවී තිබේ. පලමුව සියලු රටවල් ව්‍යවස්ථාවෙන් නියමකර ඇති තුලනාත්මක අයවැයක් පිලිබඳ ජර්මානු මෝස්තරය පිලිගත යුතු අතර තම ශ‍්‍රම වෙලඳපොල ආතති පරීක්ෂනයකට යොමුකල යුතුය. එවිට යුරෝපීය ‘‘ස්ථාවරත්ව කවුන්සිලය’’ නය පරිශීලනය හා නය පිලිබඳ කොන්දේසි වලට පවතින එකඟතාවය නිරීක්ෂනය කර තීරනයක් ගනු ඇත. එය දේශපාලන බලපෑම් මගින් හෑල්ලුවට පත්කල නොහැකි සුවිශේෂී උපමානයක් සහිතව යුරෝපීය සංඟමයේ "විධායක කමිටුවක්’’ ලෙස කටයුතු කල යුතුය.

වෙලඳපොලවල් දේශපාලන තීන්දුවල විශ්වාසනීයත්වය පිලිබඳ "මූලික අවිශ්වාසයක්’’ ප‍්‍රකාශ කරන්නේය යන කාරනය තිබිය දී ම චාන්සලර් මර්කෙල් සමග එකඟත්වයකට පැමින තිබෙන සිය යෝජනාව රොස්ලර් විසින් යුක්තිසහගත කලේය. වෙලඳපොලවල් රටක ආර්ථික තත්වය දේශපාලන ආයතන වලට වඩා වෛෂයික ආකාරයකින් තක්සේරු කරයි.

වෙනත් වචන වලින් කිවහොත් ජර්මන් ආන්ඩුව කියා සිටින්නේ බොහෝ දුරකට බර්ලිනය විසින් තීරනය කරන ප‍්‍රතිපත්ති අනුව යන- ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍ර පාලනයකින් පිටස්තරව පවතින- යුරෝපීය ආයතනයකට යුරෝ රටවල් තම මූල්‍ය හා ආර්ථික ප‍්‍රතිපත්ති යටත් කල යුතු බවයි. ඊට හිලව් වශයෙන් ඔවුහු යුරෝ බැඳුම්කර මාධ්‍යයෙන් දුබල රටවල සමහර නය වෙනුවෙන් අරමුදල් සැපයීමට කැමැත්ත පල කරති.

කෝටිපති ජෝර්ජ් සොරෝස් ද මෙම ආස්ථානයට සහාය පලකරයි "මේ අනුව යුරෝ බැඳුම්කර ජර්මනිය විසින් පනවනු ලබන පැහැදිලි මූල්‍ය රෙගුලාසිවල පදනම වන්නේ නම් ඒවා ජර්මානු ඡන්දදායකයින්ට පිලිගත හැකි වනු ඇත’’ ඩර් ස්පීගල් වෙත ඔහු එසේ පැවසීය.

ජර්මනියේ අයවැය කෙරෙහි යුරෝ බැඳුම්කර මගින් පැටවෙනු ඇති අතිරේක බර මතභේදයට තුඩුදී තිබෙන කාරනයකි. වසරකට මුලු වටිනාකම යුරෝ බිලියන 47ක් යන්න අතිශයෝක්තියක් වියහැකි බව අයිඑෆ් ඕ ආයතනයේ නියෝජිතයෙක් පැවසීය. නිශ්චිත කාරනය නම් බර්ලිනය විසින් ග‍්‍රීසිය-පෘතුගාලය හා අනෙකුත් නය බරින් මිරිකී ඇති රටවලට කරන ලද නිර්දේශයන්ට සමානවන ආකරයේ කටුක කප්පාදු සැලැස්මක් ක‍්‍රියාවට නඟමින් ජර්මානු අන්ඩුව අතිරේක වියදම් කම්කරු පන්තිය මතට හෙලනු ඇතැයි යන්නය.

බොහෝ අර්ථ ශාස්ත‍්‍රඥයින් ගනන් බලා ඇත්තේ යුරෝව අසාර්ථකවීමේ ප‍්‍රතිපල අපනයන මත රැඳී සිටින ජර්මානු ආර්ථිකයට වඩාත් වියදම් සහිත වනු ඇති බවයි.

යුරෝපීය ප‍්‍රතිපත්ති අධ්‍යයන මධ්‍යස්ථානයේ ඩැනියෙල් ග්‍රොස් බලාපොරොත්තු වන්නේ මූල්‍ය සංඟමය බිඳී ගියහොත් යුරෝපීය මූල්‍ය හා බැංකු පද්ධතිය පරිපූර්න වශයෙන් කඩාකප්පල් වන බවටය. ජර්මානු ආර්ථිකය සියයට 20-30 අතර ප‍්‍රමානයකින් ඇද වැටෙනු ඇත. 2009දී මූල්‍ය අර්බුදය නිසා එහි සිදුවූ පහත වැටීම සියයට පහක් පමනි.

සාර්ව ආර්ථික පරියේෂන ආයතනයේ ගුස්ටාව් හෝන් හා බර්ලිනයේ හම්බෝල්ට් විශ්වවිද්‍යාලයෙහි මයිකල් බුර්ඩාට අනුව යලි හඳුන්වා දෙන ඩොයිෂ්මාර්ක් මුදලේ වටිනාකම ඩොලරයට හා අනිකුත් යුරෝපීය මුදල් වලට සාපේක්ෂව සියයට 50ක් දක්වා වේගයෙන් ඉහල නඟිනු ඇත. හෝන්ට අනුව මෙය අපනයන ක්ෂේත‍්‍රයට ව්‍යසනයක් වනු ඇත. "මධ්‍යම තරමේ ජර්මානු ව්‍යාපාර එක රැයකින් අතුගෑවී යනු ඇත’’

එසේ ද වුවත් ජර්මානු ආන්ඩු හවුල යුරෝ බැඳුම්කර මත දැඩි සේ බෙදී ඇත බැවේරියානු ක‍්‍රිස්තියානි සමාජ සංඟමය- නිදහස් ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂය- හා සමහර කි‍්‍රස්තියානි ප‍්‍රජාතන්ත‍්‍ර සංඟම් මන්ත‍්‍රීවරු යුරෝපීය ප‍්‍රජා බැඳුම්කරයන්ට තරයේ විරුද්ධත්වය පල කරති බෙහෝ මාධ්‍ය ප‍්‍රකාශ දැන් සලකන්නේ ප‍්‍රශ්නය චාන්සලර් මර්කෙල්ගේ පාර්ලිමේන්තු බහුතරයෙන් වන්දි ගෙවීමට සිදුවිය හැකි දේශපාලන වෙඩිබෙහෙත් හෙප්පුවක් ලෙසය.

හරිත හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂ මතභේදයට මැදිහත් වෙමින්- යුරෝ බැඳුම්කර හඳුන්වාදී එය දැඩි යුරෝපීය මූල්‍ය රෙගුලාසි වලට හා අනෙකුත් කප්පාදු පියවරයන්ට සම්බන්ධ කල යුතු බව දැනට කියා සිටින ජර්මානු ව්‍යාපාරික කවයන් බහුතරයකගේ මතය හඬ නඟා කියා සිටිති.

රූපවාහිනී විකාශනයකදී සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර නායක සිග්මා ගේබ්‍රියෙල් යුරෝ බැඳුම්කර හඳුන්වාදීම වෙනුවෙන් පෙනී සිටියේය. කෙසේ වෙතත් පූර්ව අවශ්‍යතාවක් වන්නේ බැඳුම්කර ගනුදෙනුවලට හවුල්වීමට බලාපොරොත්තු වන රටවල් දැඩි යුරෝපීය පාලනයකට එකඟ වීම හා තමන්ගේම අයවැය හිමිකම් අත්හැර දැමීම යයි ඔහු පැවසීය.

හරිත පක්ෂ නායක සෙම් ඔස්ඩිමර් රෙයිනිස්චි පෝස්ට් වෙත පැවසුවේ යුරෝපීය මුදල් ඇමතිවරයෙක් පත්කිරීම- යුරෝපීය සංඟමය විසින් සාමාජික රාජ්‍යයන්හි අයවැය පාලනය කිරීම හා මූල්‍ය විනය සඳහා කාර්යක්ෂම පියවර හා දිරිගැන්වීම් ලබාදීම යුරෝ බැඳුම්කර සඳහා පූර්වඅවශ්‍යතා ලෙස ඇති බවයි. විශේෂයෙන්ම ඔහු තව තවත් කප්පාදු පියවර වෙනුවෙන් පෙනී සිටියේය. යුරෝව අවශ්‍ය අය "ඒ සඳහා කැමැත්තෙන්ම මිලක් ගෙවිය යුතුය’’ ඔහු පැවසීය.

කොන්සර්වේටිව් වේවා සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර හෝ හරිත වේවා සංස්ථාපිත පක්ෂ ආර්ථික අර්බුදයට පිලිතුරු වශයෙන් දන්නේ කාරනා දෙකක් පමනි. එනම් යුරෝවේ ආරක්ෂාව සඳහා යුරෝපීය මූල්‍ය ඒකාධිපතිත්වයක් හඳුන්වාදීම හෝ ජාතික අවශ්‍යතාවන්ගේ නාමයෙන් යුරෝපය බෝල්කනී කරනයයි දෙකම ගමන් කරන්නේ සමාජ අර්බුදය ගැඹුරු කරමින් හා ජාතික ආතතීන් උත්සන්න කරමින් විනාශය කරාය.

නරක අතට හැරෙන ආර්ථික අර්බුදය දැවැන්ත පන්ති අරගල න්‍යාය පත‍්‍රයට ඇතුල් කරයි. ටියුනීසියාවේ-ග‍්‍රීසියේ-ස්පාඤ්ඤයේ-ඊස්රායලයේ හා තවත් බොහෝ රටවල කම්කරුවන් හා තරුනයින් මූල්‍ය ප‍්‍රාග්ධනයේ නිර්දේශ වලට එරෙහිව යාමට පටන්ගෙන ඇත එහෙත් මෙම අරගල ජයගත හැකි වන්නේ ඒවා ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයකින් මෙහෙයවෙන්නේ නම් පමනි.

සමස්ත යුරෝපයේම කම්කරුවන් ජාතික දේශසීමාවන්ට ඔබ්බෙහි එක්සත් විය යුතු අතර බැංකුවල හා ඔවුන්ගේ ආවතේවකරුවන් වන සංස්ථාපිත දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති වල අනසකට එරෙහිව ඒකාබද්ධ අරගලයක් දියත් කල යුතුය. එහි අරමුන විය යුත්තේ යුරෝපීය එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැඟීමයි. මේ සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ශාඛා යුරෝපය පුරා ගොඩනැඟීම අවශ්‍ය කෙරේ.