ශී‍්‍ර ලංකා ආන්ඩුව මරන දන්ඩනයට මුහුන දී සිටින සවුදි අරාබියේ ගෘහ සේවිකා රසීනා නෆීක්ගේ ජීවිතය අනතුරේ දමයි

By Wilani Peiris, 2 August 2011

තවමත් වයස අවුරුදු 23ක් වන ශී‍්‍ර ලාංකික ගෘහ සේවිකා රසීනා නෆීක් සවුදි අරාබියේ ඩාවඩමි මහාධිකරනයේ නියෝගයකට අනුව මරන දන්ඩනයට නියම ව සිටියි. ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව ඇය නිදහස් කර ගැනීමට "සියල්ල කල” බව පවසන නමුත් එහි උත්සුකතාව ඇය මරනයෙන් බේරා ගැනීම නොව සවුදි අරාබි රජාන්ඩුව සමග සබඳතා රැක ගනිමින් විදෙස්ගත සේවකයන්ගෙන් රටට ලැබෙන විදේශ විනිමය ආරක්ෂා කර ගැනීම ය.

නෆීක්ට මරන දන්ඩනය නියම කරන ලද්දේ නිරපරාදේ ය. අවුරුදු 17 තරම් ලාබාල වියේ දී සවුදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස සේවයට ගිය ඇයට ලදරුවෙකු රැක බලා ගැනීමට නියම විය. ඇය කිරි පොවමින් සිටිය දී කිරි හිරවී ලදරුවා මිය ගිය අතර ලදරුවාගේ දෙමව්පියෝ ඇය ලදරුවා මරා දැමුවේ යයි උසාවියේ දී කියා සිටියහ. එම චෝදනාවට 2007 පෙබරවාරියේ දී ඇයට මරන දන්ඩනය නියම කෙරුනි.

ඇය වධබන්ධනයට ලක් කොට ඇගේ අත්සන ලබා ගත් අරාබි භාෂාවෙන් ලියූ පාපොච්චාරනයක් පොලීසිය උසාවියට ඉදිරිපත් කලේය. ඇය එම භාෂාව නොදන්නා නමුත් නීතිඥයකු ද නිසි භාෂා පරිවර්තකයකු ද නැති තතු යටතේ එයට මහාධිකරනයේ දී අභියෝග කිරීමට ඇය අපොහොසත් වූවාය.

ආරම්භයේ පටන්ම ශී‍්‍ර ලංකා ආන්ඩුව ඇයගේ නඩුව නොතකා හැරියේ ය. මානව හිමිකම් සංවිධාන පවසන පරිදි සවුදි අරාබියේ ලංකා තානාපති කාර්යාලය ඇයට නීතිඥවරයෙකුගේ සහය හෝ ලබා දී නැත. මහාධිකරන නියෝගයට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරනු පිනිස සවුදි ශ්‍රේෂ්ඨාධිකරනයට යාම සඳහා අවශ්‍ය ඇප මුදල ඇය වෙනුවෙන් තැන්පත් කිරීම පවා ලංකාවේ ආන්ඩුව ප‍්‍රතික්ෂේප කලේ ය.

මානව හිමිකම් සංවිධාන කිහිපයක ආධාරයෙන් ඇය ශ්‍රේෂ්ඨාධිකරනයට නඩුව ගෙන ගියමුත් එහිදී ද පලමු නඩු තීන්දුව ස්ථිර කෙරුනි. එහි දී ඇය නීතිඥයකුගේ ද නිසි භාෂා පරිවර්තකයකුගේ ද සහාය ඇතිව කලින් පොලීසිය මහාධිකරනයට ඉදිරිපත් කල පාපොච්චාරනය ප‍්‍රතික්ෂේප කරමින් එය තමන් වධබන්ධනයට ලක්කොට ලබා ගත් එකක් බව සඳහන් කලාය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරනය ඒ සියල්ල නොතකා හැරියේය. ඇය දැන් මරන දන්ඩනයට නියමිතව සවුදි සිර අඩස්සියේ පසුවන්නීය.

ඇගේ පවුල නැගෙනහිර පලාතේ මුත්තූර්හි ඉතා දුගී පවුලක්වූ හෙයින් ඇය විදෙස් රැකියා සඳහා අවශ්‍ය අවම වයස පිරීමටත් පෙර රැකියාවකට විදේශ ගත වීමට තීන්දු කලා ය. ඇය රැකියාවට යැවූ ඒජන්සිය ඇයගේ වයස වෙනස් කර ගමන් බලපත‍්‍රය සකසා, ඇයව ගෘහ සේවයට විදේශ ගත කලේය.

සවුදි අරාබිය ඇතුලු මැද පෙරදිග සේවය කරන වෙනත් රටවලින් පැමිනි ආගමනික කම්කරුවෝ ද නෆීක්ට සමාන තත්වයන්ට මුහුන දී සිටිති. සවුදි අරාබි උසාවියකින් මරන දන්ඩනයට නියම කෙරුනු ඉන්දුනීසියානු ගෘහ සේවිකාවක වූ රුයාටි බින්ටි සපුබි අවම වසයෙන් ඇයගේ රටට හෝ නොදන්වා ජූනි 18 දින හිස ගසා මරා දමන ලදි. තවත් ඉන්දුනීසියානු ගෘහ සේවිකාවක වූ බින්ටි මාවුඩ් ටටාර් ද මරන දන්ඩනයට නියමව සිටි අතර ඉන්දුනීසියානු රජය සවුදි රියාල් මිලියන 2ක වන්දියක් ගෙවීමෙන් ඇය නිදහස් කර ගත්තේය. මෙම දෙදෙනාම තමන් සේවය කල නිවෙස්වල හාම්පුතුන් මරාදැමීමේ චෝදනාවන්ට වරදකරුවන් කෙරී ඇත. කෙසේවෙතත්, තමන්ට එසේ කිරීමට සිදු වූයේ සිය හාම්පුතුන්ගේ අතවර තර්ජනයන් හමුවේ සිය ස්වයං-ආරක්ෂාව සඳහා බව ඔවුහු උසාවිය ඉදිරියේ කියා සිටියහ. එම ප‍්‍රකාශ නොතකා ඔවුන් වරදකරුවන් කොට මරන දන්ඩන නියම කෙරුනි.

ඉන්දුනීසියාවේ තරුනිය මරා දැමීම පිලිබඳව මහින්ද රාජපක්ෂ ආන්ඩුව අවම තරමින් විරෝධය හෝ ප‍්‍රකාශ නොකිරීම මගින් පෙන්නුම් කරනු ලැබුවේ නෆීක්ගේ මරන දඬුවම සම්බන්ධයෙන් අවංක විරුද්ධත්වයක් ආන්ඩුව නොදක්වන බවය. සවුදි අරාබි රජාන්ඩුව සමග මොන යම් හෝ ගැටුමක් ඇති කර ගැනීමට රාජපක්ෂ ආන්ඩුව සූදානම් නැත. කෙසේවෙතත් රට තුල නැගී ඇති විරෝධය හමුවේ ප‍්‍රකාශ කර සිටියේ ලංකා ආන්ඩුව සවුදි ලදරුවාගේ මරනය වෙනුවෙන් වන්දි මුදලක් ගෙවා නෆීක් මුදා ගැනීමට කැමැත්ත සවුදි අරාබි රජයට දැන්වූ බවයි.

ඉන්දුනීසියාවේ සේවිකාවගේ මරනයත් නෆීක්ගේ මරන දන්ඩන තීන්දුවත් පෙන්නුම් කරන්නේ සවුදි අරාබිය වැනි තෙල් සම්පත්වලින් පොහොසත් මැද පෙරදිග රටවල සේවය කරන ආගමනික කම්කරුවන් මූලික නෛතික අයිතිවාසිකම්වලින් පවා තොරව රුදුරු සූරාකෑමකට ගොදුරු කර ඇති අන්දමයි. ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව මෙම කොන්දේසි මුලුමනින්ම පිලිගෙන සිටියි.

ඉන්දුනීසියානු සේවිකාව මරා දැමීමෙන් පසු නෆීක්ගේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකාව තුල යලි අලුත් වූ මහජන විරෝධය ගසා කෑමේ අරමුනින් එක්සත් ජාතික පක්ෂයේ (එජාප) පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති රන්ජන් රාමනායක පදනම නෆීක් මරන දන්ඩනයෙන් නිදහස් කරන ලෙස ඉල්ලා සංවිධානය කල උද්ඝෝෂන ජූනි 28 හා ජූලි 8 දින කොලඹ සවුදි තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්විය.

උද්ඝෝෂනයට සම්බන්ධ වූ රාමනායක කියා සිටියේ නෆීක් සවුදියට යැවූ "ඒජන්සියට දඬුවම් පැමින විය යුතු” බවය. ඔහු නිකුත් කල ඇති නිවේදනයකට අනුව, නෆීක් නිදහස් කරගැනීම පිනිස ඔහු හැරී ඇත්තේ, එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍යය බදු බටහිර බලවතුන් වෙතය. "අප වෙනුවෙන් මැදිහත් වන ලෙස එක්සත් ජනපද, බි‍්‍රතාන්‍ය හා ඉතාලි තානාපති කාර්යාල වෙත ආයාචනා කිරීමට තීන්දු කර ඇති” බව ඔහු පවසයි. සවුදි රජාන්ඩුව මෙම බටහිර අධිරාජ්‍ය තන්ත‍්‍රයන්ගේ සමීප ඒජන්සියක් ලෙස වැඩ කරන අතර විශේෂයෙන් එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ඉරාකය තුල ගෙන යන යුද්ධයේ සහායකයකු ලෙස එය කටයුතු කරයි. මෙම තතු යටතේ සවුදි රජාන්ඩුව විරසක කරගැනීමේ කිසිදු පියවරක් ගැනීමට එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍යය කි‍්‍රයා නොකරනු ඇත.

විදේශීය රැකියා හා සුබසාධන කටයුතු ඇමති ඩිලාන් පෙරේරා මෙම උද්ඝෝෂනයට පසුව වහා කියා සිටියේ "සවුදි රජයට හෝ එහි රජුට එරෙහි උද්ඝෝෂනය නොකල යුතු” බව හා "සවුදි පාලකයන් හා මරනයට පත්වූ ලදරුවාගේ දෙමාපියන්ට නොරිදෙන පරිදි” ඉල්ලීම් ඉදිරිපත් කල යුතු බවය. "සවුදි අරාබියේ නීතියට හා ආන්ඩුවට ලංකාව ගරු කරන” ඔහු තව දුරටත් පැවසීය. පෙරේරා උනන්දු වන්නේ සවුදි රජය සමග පවත්වන සබඳතාව රැක ගැනීම ගැනය.

ඉන්දුනීසියානු ගෘහ සේවිකාව මරන දන්ඩනයට ලක් කිරීමෙන් පසු සවුදි අරාබියේ ආගමනික කම්කරුවන්ගේ සේවා කොන්දේසි වැඩි දියුනු කරන ලෙස ඉන්දුනීසියාව හා පිලිපීනය සවුදි රජයෙන් ඉල්ලා සිටියේය. සවුදි රජය එයට ප‍්‍රතිචාර දැක්වූයේ එම රටවලින් පැමිනෙන කම්කරුවන්ට වීසා නිකුත් නොකිරීමට තීන්දු කිරීමෙනි.

මෙම තතු තුල නෆීක් පිලිබඳ ඉල්ලීම මතු කිරීමකට ද සවුදි රජය එලෙස ප‍්‍රතිචාර දැක්වුව හොත් තමන්ට එරට සිටින ශී‍්‍ර ලාංකික සේවකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය ප‍්‍රවාහය නතර වෙතැයි යන භීතිය රාජපක්ෂ ආන්ඩුවට පවතී. විදේශගත සේවකයන්ගෙන් ලංකාවට ලැබෙන මුදල් ප‍්‍රමානය ලංකාවට විදේශ විනිමය ලැබීමේ දෙවන තැන ගනී. ශී‍්‍ර ලංකා මහ බැංකුව මාර්තු මාසයේ දී කියා සිටියේ 2010 දී මෙම සේවකයන් වාර්තාගත ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 4.11ක් මෙරටට එවූ බවය. එය ඊට ප‍්‍රථම වසරට වඩා සියයට 25ක පමන වැඩිවීමකි.

නෆීක් පමනක් නොව සවුදි අරාබිය තුල ද මැද පෙරදිග ද සේවයේ යෙදෙන සියලු ආගමනික සේවකයෝ තිරිසන් සේවා කොන්දේසිවලට මුහුන දී සිටිති. ලිංගික අතවර, ශාරීරික ප‍්‍රහාර, වැටුප් ගෙවීම පැහැරහැරීම හා විවේකයෙන් තොර සේවය ඉන් සමහරකි. මැද පෙරදිග මෙම පාලක පන්තීන් තම ලාභ පොට්ටනි තර කර ගැනීමට ගෙනයන ම්ලේච්ඡ සූරාකෑමට අභියෝග කිරීමට ශී‍්‍ර ලංකා රජයට හෝ එජාපට අවශ්‍යතාවක් නැත.

අවුරුදු 50ක් වයසැති ශී‍්‍ර ලංකාවේ ගෘහ සේවිකාවක වූ ආරියවතී මාස 5ක් පමන සවුදි අරාබියේ දී වද හිංසාවලට ගොදුරුව 2010 අගෝස්තු මාසයේ පෙරලා ශී‍්‍ර ලංකාවට පැමිනියේ ඇයගේ හාම්පුතා කම්බි ඇන 24ක් ඇගේ ශරීරය තුලට ගිල්වා තිබුන තත්වයේ දී ය. මෙරට දී කරන ලද ශල්‍ය කර්මයකින් එම ඇන ඇගේ සිරුරෙන් ඉවත් කෙරුනි. ඒ පිලිබඳව පැන නැගුනු විරෝධය හමුවේ එම සිද්ධිය සවුදි අරාබිය රජය සමග මතු කොට ඒ ගැන සොයා බලන බව ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව සඳහන් කලත් දැන් එම සිද්ධිය යට ගසනු ලැබ ඇත.

මානව හිමිකම් සංවිධානවලට අනුව 2007 අගෝස්තුවේ සිට 2008 අගෝස්තු දක්වා ලෙබනනයේ හැම සතියක ම එක විදේශ ගෘහ සේවකයෙකු මිය ගොස් ඇත. පසුගිය ජූනි 10 දින ආසියානු පුවත් සේවය වාර්තා කලේ ජොර්දානයේ ඇඟලුම් කම්හලක සේවිකාවන් එක දිගට ලිංගික අතවරවලට හා වධදීම්වලට ගොදුරු වෙමින් සිටින බවය. ජුලි 24 දින ලංකාවේ සතිපතා පුවත්පතක් වන ලක්බිම නිව්ස් ඉංගී‍්‍රසි පුවත්පත වාර්තා කලේ ඉරාකයේ දී මාස 18ක් තිස්සේ වැටුප් නොලැබීමට එරෙහිව ශී‍්‍ර ලංකාවේ කම්කරුවන් 40 දෙනෙකු විරෝධතාවක නියැලුන බවය.

ශී‍්‍ර ලංකාවේ මහජනයා තුල මැදපෙරදිග සේවා කොන්දේසි ද නෆීක්ගේ මරන තීන්දුව ද පිලිබඳව විරෝධය වැඩී යද්දී ඊට විසඳුමක් ලෙස ඩිලාන් පෙරේරා අපූරු පිලියමක් යෝජනා කලේ ය. ඔහු පැවසූයේ විදේශ රැකියාවලට යාමේ දැනට ඇති අවුරුදු 21 සිට 50 දක්වා වූ වයස් සීමාවන් අවුරුදු 30 සිට 42 දක්වා වන පරිදි වෙනස් කල යුතු බවයි. එහෙත් වයස් සීමාව වෙනස් කිරීමෙන් සේවා කොන්දේසි ඉහල දමන්නේ කෙසේ දැයි ඔහු පැහැදිලි නොකලේය.

පෙරේරාගේ යෝජනාවේ නියම අර්ථය වන්නේ පුහුනු කම්කරුවන් යොදවා මැදපෙරදිග ධනපතියන්ට හොඳ සේවාවක් ලබා දීමය. ජූලි 8 වන දා අරාබි ප‍්‍රවෘත්ති සේවය සඳහා සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පෙරේරා කියා සිටියේ වයස් සීමාව වෙනස් කිරීම මගින් "අර්ධ පුහුනු, පුහුනු හා නිපුන සේවකයන් ලබා දීමට” ආන්ඩුව කටයුතු කරන බවය. ඔහු මෙම යෝජනාව කලේ නියමිත කාලයට ප‍්‍රථම සේවකයන් පලායාම ගැන මැද පෙරදිග පාලකයන් කරන පැමිනිලිවලට පිලිතුරු ලෙස ය. ශී‍්‍ර ලංකා විදේශ සේවා කාර්යංශයේ ප‍්‍රධාන නිලධාරියෙක් ආන්ඩුවේ ඩේලි නිව්ස් පත‍්‍රයට ප‍්‍රකාශ කලේ. මෙම වසරේ ප‍්‍රථම මාස 3 තුල පමනක් සේවකයින් 61,157ක් විදේශ රැකියා අතහැර පලා ගිය බවය. ඔවුන් එසේ පලා යන්නේ රුදුරු සේවා කොන්දේසි, වධබන්ධන ආදිය දැරිය නොහැකි නිසාය.