ඊස්රායල විරෝධතා සහ අරාබි යුදෙව් කම්කරුවන්ගේ එකමුතුව

The Israeli protests and the unity of Arab and Jewish workers

30 July 2011

නරක අතට හැරෙන ආර්ථික දුෂ්කරතාවන්ට එරෙහිව අඛන්ඩව වර්ධනය වන ඊස්රායල් කම්කරු තරුන විරෝධතා ව්‍යාපාරය වූ කලී මැද පෙරදිග පුරා ද ජාත්‍යන්තරව ද කම්කරු පන්තියට ඉමහත් දේශපාලන අර්ථභාරයක් ගැබ් කර ගත් වර්ධනයකි.

තරුනයන් ඊස්රායලයේ විවිධ පෙදෙස්වල "කූඩාරම් නගර” ඉදි කිරීමත් සමග ඉසිලිය නොහැකි නිවාස මිල ගනන්වලට එරෙහිව දෙසතියකට කලින් විරෝධතා පුපුරා ගියේ ය. ආරම්භයේ දී ව්‍යාපාරයට තිබුනේ බොහෝකොට ම මධ්‍යම පන්තික සංයුතියකි. උද්ඝෝෂනවල කේන්ද්‍රය වශයෙන් පැවතුනේ ටෙල් අවිව්හි ග‍්‍රෑන්ඩ් රොත්ස්චයිල්ඩ් බූල්වාර්ඩ් ය. එහෙත් දැන් වඩාත් පුලූල් ශිෂ්‍ය සහ තරුන කොටස් ඊට සම්බන්ධ වෙමින් සිටියි. ජනමත විමසීම්වලින් පෙන්වා දෙන්නේ ජනගහනයෙන් සියයට 90ක් පමන විරෝධතාවලට සහාය දෙන බව යි.

කම්කරු පන්තියේ කොටස් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ආන්ඩුව සමග අරගලයට පිවිසෙමින් සිටී. පලාත් පාලන ආයතන කම්කරුවෝ රජයේ කාර්යාල වසා දමමින් සහ කසල එකතු කිරීම නතර කරමින් අගෝස්තු 01දා ශිෂ්‍ය විරෝධතාකරුවන්ට සහාය දක්වන වැඩ වැරීමකට එලඹීමට නියමිත ය. 20,000කට වැඩි තරුන කම්කරුවන් ඊට සහාය පලකරන උද්ඝෝෂනයකට අන්තර්ජාලය තුලින් එකඟත්වය පල කර ඇත. වෘත්තිකයන් අතර පවතින පුලුල් අතෘප්තිය පිලිබිඹු කරමින් වෛද්‍යවරු සති ගනනක් තිස්සේ වැඩ වර්ජනයක නිතරව සිටිති.

හිස්ටාඩ‍්‍රට් වෘත්තීය සමිති සම්මේලනය- කම්කරුවන්ගේ වැටුප් පහත හෙලීමට එරෙහි නොවන සිය ජාත්‍යන්තර සගයන් සේ ම -පැහැදිලිව ම දැඩි පීඩනයකට ලක්ව සිටින අතර වැඩවර්ජන ව්‍යාපාරය අත්අඬංඟුවට ගැනීමටත් එහි හිස ගසාදැමීමටත් අගමැති නෙතන්යාහු අසමත් වන්නේ නම් ඒ කටයුත්ත සඳහා තමන්ට වැඩ වර්ජන කැඳවීමට සිදු විය හැකි බවට ඔහු වෙත අනතුරු අඟවා ඇත.

මෙම වර්ධනයෝ ධනේශ්වර මාධ්‍යය ද මධ්‍යම පන්තික "වම” ද අරාබි ලෝකය පුරා ඇති විවිධ ජාතිකවාදී සහ ඉස්ලාම්වාදී සංවිධාන ද නොතකා හරින හෝ ප‍්‍රතික්ෂේප කරන මූලික කරුනක් අවධාරනය කරති: එනම්, ඊස්රායලයෙහි කම්කරු පන්තියක් ඇති බවයි. එමෙන් ම, එහි අවශ්‍යතා ඊස්රායල පාලක පන්තියේ සහ සියොන්වාදයේ සකල නිල ආයතනවල අවශ්‍යතා සමග පෙර නොවූ විරූ අයුරින් එලිපිට ගැටෙමින් පවතී.

මේ දක්වා පැවති විරෝධතා, මතුව එමින් තිබෙන ඊස්රායල කම්කරු පන්ති ව්‍යාපාරයක ආරම්භක ප‍්‍රකාශනය පමනකි. සියොන්වාදී රාජ්‍යය තුල වර්ධනය වෙමින් පවතින්නේ වඩා පුලුල් ක‍්‍රියා දාමයකට අයත් නොවෙන් කල හැකි ප‍්‍රවාහයක කොටසකි-මැද පෙරදිග සහ උතුරු අප‍්‍රිකාව පුරා නැග එමින් පවතින මහා සමාජීය ප‍්‍රතිරෝධයක නොවෙන් කල හැකි කොටසකි.

ඊජිප්තුවේ, ටියුනීසියාවේ සහ වෙනත් අරාබි රටවල පැන නැග තිබෙන විප්ලවවාදී අරගලවල ආධිපත්‍යය දරන්නේ ආගමික හෝ ජාතික අනන්‍යතාව නො ව සමාජීය ප‍්‍රශ්න ය-විරැකියාව, දරිද්‍රතාව, අසමානතාව සහ අධ්‍යාපන පහසුකම් ය. මෙම අරගල තුල කම්කරු පන්තිය වඩ වඩාත් පෙරමුනට පැමින ඇත. එක ම අර්බුදයෙන් සහ එක ම සමාජීය ගැටලුවලින් විරෝධතාවන්ට තල්ලුවන ඊස්රායල කම්කරුවන් දැන් නැගී එමින් සිටියි.

මෙය යොමු වන්නේ අරාබි රටවල ද ඊස්රායල කම්කරු පන්තියේ සහ පීඩිත ජනතාවන්ගේ ද දේශපාලන හා සමාජ අරගලයේ නව මාවතක් දෙසට ය; ජාතිකත්වය, වර්ගය හෝ ආගම නො ව සමාජ පන්තිය අක්ෂය කර ගත් නව මාවතක් දෙසට ය.

ඊස්රායලය හැම විට ම පැවතී ඇත්තේ බෙදුනු රටක් ලෙසිනි. එහෙත් පසු ගිය දශක දෙකෙහි අනුපිලිවෙලින් බලයට පත් ලේබර්, ලිකුඩ් සහ කඩිමා ආන්ඩු පුලුල් බලපෑම් සහිත "නිදහස් වෙලඳ පොල” සහ ව්‍යාපාර ගැති ප‍්‍රතිසංස්කරන දියත්කර ඇත. රාජ්‍ය දේපල පෞද්ගලීකරනය, බැංකු සහ සංගත නියාමනය ඉවත් කිරීම සහ විවිධ රැකියා ආරක්ෂන අහෝසි කිරීම මින් කිහිපයකි.

ඊජිප්තුවේ සහ වෙනත් බොහෝ අරාබි රටවල කම්කරුවන් මත පටවා ඇත්තේ ද එම වැඩ සටහන්ම ය. අසල්වැසි රටවල දී මෙන් ඊස්රායලයෙහි ද ප‍්‍රතිඵලය වී තිබෙන්නේ පෙර නුවූ විරූ සමාජීය අසමානතාව යි. සු ප‍්‍රභූ පිරිසක් ඉමහත් පෞද්ගලික ධනයක් ගොඩ ගසා ගනිද්දී කම්කරුවන්ගේ මූර්ත වැටුප පිරිහෙමින් පවතී. ඊස්රායලයේ කොටස් වෙලඳ පොලෙන් අඩක් පමන පාලනය කරන පොහොසත් ම පවුල් 20 පදනම් කර ගත් රටේ නව කතිපයාධිකාරය පිලිබඳ සාකච්ඡාව දැන් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත.

විරෝධතාවල නිරතව සිටින ඊස්රායල් තරුනයෝ පැහැදිලිව ම ජාත්‍යන්තර වර්ධනයන්ගෙන් මග පෙන්වීම ලබමින් සිටිති. කප්පාදු වැඩසටහන් හා වියදම් කැපීමට එරෙහි යුරෝපා ව්‍යාපාරවලින් ද මැද පෙරදිග සහ උතුරු අප‍්‍රිකාව හරහා පැතිර යන නැගිටීම් වලින් ද ඔවුන්ට අනුප‍්‍රානය සැපයී ඇත-සියොන්වාදී සංස්ථාපිතය මෙම ව්‍යාපාර කලාපීය ඉස්ලාම්වාදී පාලනයට තර්ජනය කරන භයානක කැලඹීම් ලෙස විස්තර කර ඇති තතු තුල, මෙය අර්ථභාරී කරුනක් වේ.

උතුරු අප‍්‍රිකාව සහ මැද පෙරදිග පුරා බොහෝ රටවල් සිසාරා යන නැගිටීම්වල ඉරනම දැන් පවත්නේ අවිනිශ්චිත තත්ත්වයක ය. උදාහරනයක් ලෙස, ඊජිප්තුවේ දී වෛරයට ලක් වුනු ආඥාදායක හොස්නි මුබාරක් බලයෙන් පහව ගිය නමුදු එක්සත් ජනපද ආන්ඩුව සමග සමීපව වැඩ කරන මිලිටරි කල්ලියක පාලනය යටතේ වන ඔහුගේ මර්දනකාරී තන්ත‍්‍රය තව මත් පවතී. එනිසා ප‍්‍රශ්නය මෙසේ මතු කල හැකි ය: ඊජිප්තු කම්කරුවන්ගේ සහ තරුනයන්ගේ ප‍්‍රධාන සතුරා ලෙස තහවුරුවී ඇත්තේ කවුරුන් ද? ඊස්රායල කම්කරු පන්තිය නො ව ඊස්රායල පාලක පන්තියේ සහ අධිරාජ්‍යවාදීන්ගේ සහාය ලබන ඊජිප්තු ධනේශ්වර පන්තිය යි. මොහොමඩ් අල්බරාඩිගේ පටන් මුස්ලිම් සහෝදරත්වය දක්වා පරාසයක විහිදුනු ඊජිප්තු පාලක පන්තියේ නානාවිධ නියෝජිතයන්, පවත්නා ධනවාදී දේපොල සම්බන්ධතාවලට එල්ල වන කවර අභියෝගයකට වුව ද එරෙහි පවුරක් හැටියට සලකා කඩිමුඩියේ මිලිටරිය ආරක්ෂා කිරීමට පෙරට විත් ඇත.

දශක ගනනාවක් තිස්සේ "ජාතික එකමුතුවේ” හෝ "අරාබි එකමුතුවේ” නාමයෙන් අරාබි මැද පෙරදිග කම්කරු පන්ති අරගල ධනේශ්වර පන්තියට දේශපාලනිකව යටත් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස නිර්මානය වී තිබෙන්නේ එකකට පසු එකක් එලඹුනු මහා විනාශයන් ය. මිනීමරු ඊස්රායල් මිලිටරි යාන්ත‍්‍රනයට එරෙහිව බොහෝ ධෛර්ය සම්පන්න අරගල කර ගෙන ගිය මහජන ව්‍යාපාරයක සිට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සහ සියොන්වාදී රාජ්‍යයේ ඒජන්සියක් ලෙස විවෘතව ක‍්‍රියා කරන දක්ෂිනාංශික සංවිධානයක් දක්වා පලස්තීන විමුක්ති සංවිධානය (පීඑල් ඕ) අත් කර ගත් අතිශය අසාමාන්‍ය පරිනාමය වනාහි, ධනේශ්වර ජාතිකවාදය පීඩිත ජාතීන්ට ප‍්‍රගතියක් අත් කර දීමට අසමත් බව ඉතිහාසය තුල දී සනාථ වුනු තියුනු ම අවස්ථාව යි.

ඊස්රායලයෙහි වත්මන් අර්බුදය සියොන්වාදී ව්‍යාපෘතියේ බංකොලොත් බව ඔප්පු කරන්නේ ඊට අඩු සුවිශද භාවයකින් නො වේ. නාසින් කල සමූල ඝාතනයෙන් පසුව යුදෙව්වන්ගේ ගැලවුම් මගක් යැයි ගෙන හැර පෑ දෙය කිසි දා නොවූ තරම් නග්නව එලිදරව් වෙමින් පවතී-එක් අතකින් එය යුදෙව් මහජනතාවන්ට එරෙහිව ඇටවුනු උගුලකි; අනෙක් අතින්, ඇමරිකානු අධිරාජ්‍යවාදී අනුග‍්‍රාහකයන්ගෙන් නොකඩවා ලැබෙන ආධාර මත ද නොනවතින ආක‍්‍රමනකාරී යුද්ධ මත ද තමන්ගේ ම කම්කරු පන්තිය කිසි කලෙක නොවූ විරූ අයුරින් දරුනු ලෙස සූරා කෑම මත ද රඳා පවතින සීමිත ධනපති ප‍්‍රභූ පිරිසකට ධනවත් වීම සඳහා වන දේශපාලන උපායකි.

යුදෙව් කම්කරු පන්තියේ ප‍්‍රධාන සතුරා කවුරුන් ද? පලස්තීන හෝ අරාබි කම්කරුවන් නො ව, ඊස්රායල් පාලක පන්තිය සහ පාර්ලිමේන්තුවේ සිටින එහි දේශපාලන ඒජන්තයන් ය; විරෝධතා ව්‍යාපාරයේ ගෙල මිරිකීම සඳහා දැන් එහි මුදුනේ තමන්ට තැනක් සොයමින් සිටින වෘත්තීය සමිති ය.

1948 දී ඊස්රායලය පිහිටුවීමට පෙරත් නිශ්චිත වශයෙන් ම එතැන් පටන් ගෙවුනු දශක හය තුලත්, අධිරාජ්‍යවාදී බලවතුන් ද ඊස්රායලයේ සහ අරාබි රාජ්‍යයන්හි පාලක ප‍්‍රභූ පිරිස් ද යුදෙව් සහ අරාබි මහජනතාවන් අතර පැවති ආතතීන් උසි ගන්වා ඇත, ගසා කා ඇත. එහෙත් දැන් ලෝක ධනවාදයේ අර්බුදයෙහි නව අවධියක් වර්ධනය වෙමින් පවතී; ජාත්‍යන්තර පරිමානව පන්ති බලවේගවල තුලනයෙහි බලගතු වෙනසක් සිදු වෙමින් පවතී. විසි වන සියවසේ නොවිසඳුනු ඓතිහාසික ගැටලු විසඳිය හැකි වෛෂයික කොන්දේසි මතුව එමින් තිබේ.

මැද පෙරදිග මහජනතාවන් අතර පවතින මූලික බෙදුම්කඩනය ආගම හෝ වර්ගය නො ව පන්තිය යි. අවශ්‍යව ඇත්තේ, ලාභ ක‍්‍රමය අහෝසි කර දමා ලෝක සමාජවාදී සමූහාන්ඩුවක කොටසක් ලෙස මැද පෙරදිග එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් පිහිටුවීමේ ඉලක්කය ඇතිව කලාපය පුරා කම්කරු පන්තිය ඒකාබද්ධව කරන අරගලයකි. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඉදිරිපත් කරන ඉදිරි දර්ශනය එය යි.

පැටි‍්‍රක් ඕ’කොනර්