ආන්ඩුව කූට උපක‍්‍රම මගින් කොලඹ නිවැසියන් ඉවත් කිරීම වේගවත් කරයි

By Vilani Peiris , 13 August 2011

මහජන විරෝධය මධ්‍යයේ කොලඹ නිවැසියන් ඉවත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ආන්ඩුව නව උපක‍්‍රම භාවිතා කරමින් සිටියි. උසාවිය ඉදිරියේ බොරු චෝදනා ඉදිරිපත් කිරීම ද ආන්ඩුවට පක්ෂපාත ආගමික නායකයන් මගින් මහජන විරෝධය නොමග යැවීම ද මේ උපක‍්‍රමයන්ගේ කොටසකි.

70,000ක් පැල්පත් වාසී පවුල් ඉවත් කරන්නේ කොලඹ නගරයේ විදේශ ආයෝජකයන් ඇතුලු මහ ව්‍යාපාරිකයන්ගේ මහා වානිජ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ ආන්ඩුවේ සැලසුම මතය. මෙම ප‍්‍රහාරයට ලක්ෂ සංඛ්‍යාත ජනයා ගොදුරු වෙති. සමීක්ෂනයකට අනුව කොලඹ නගරයේ නුසුදුසු නිවාසවල 350,000ක් ජනයා ජීවත්වන බව නාගරික සංවර්ධන අධිකාරියේ (යූඩීඒ) අධ්‍යක්ෂවරයෙකු වන ජේ.එම්.ජේ. ජයසිංහ ගිය සතියේ ජන මාධ්‍යවලට ප‍්‍රකාශ කලේ ය.

කොලඹ වරායේ සිට කොලොන්නාව දක්වා ඉබ්බා වත්ත, තොටලඟ හා දෙමටගොඩ තෙල් නල මත හා ඊට නුදුරින් ගොඩනගා ඇති නිවාස හිමියන් 30දෙනෙකුට එරෙහිව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නඩුවක් පවරා ඇත. ඔවුහු මෙම නිවාසවල දශක හතරක පමන කාලයක් ජීවත්ව සිටිති. මීට ප‍්‍රථම 2009 දුම්රිය දෙපාර්තමේන්තුව පැවරූ නඩුව තීන්දුවකින් තොරව කෙලවර වූ තත්වයේ දී අලුත් නඩුවක් මෙම වසරේ මැයි මාසයේ යලි පැවරුනේ බොරු චෝදනා ඉදිරිපත් කරමිනි.

ජූලි 7 දා නඩුව උසාවියේ විභාගයට ගත් අවස්ථාවේ නිවැසියන්ට එරෙහිව නිවාසයන්හි ලිප ගිනි මෙලවීමේ දී තෙල් නල ගිනිගැනීමේ අන්තරායක් ඇතැයි ද නලවලින් තෙල් හොරකම් කිරීමක් සිදුවෙතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුවේ නීතිඥයා චෝදනා කලේය. මෙම දුගී නිවැසියන් උසාවියට ඉදිරිපත් වී ඇත්තේ නීතිඥයෙකු හෝ නොමැතිව ය. චෝදනාවලට උත්තර බැඳීමට හෝ ඔවුනට හැකියාවක් නොතිබුන තත්වයේදී ම උසාවිය මෙම 30 දෙනා අත්අඩංගුවට ගැනීමට නියෝග කලේය. සෙසු නිවැසියන් පැමින එදින ශරීර ඇප මත නිදහස් කර ගන්නා තුරු ම ඔවුන් සිටියේ පොලිස් අත්අඩංගුවේ ය.

උසාවියේ නඩුව යලිත් කැඳවීමට නියමිතව ඇත්තේ අගෝස්තු 16 දිනට ය. දශක ගනනාවක් මේ ප‍්‍රදේශයේ ජීවත්වූ නිවැසියන් නිසා තෙල් නලවල ගින්නක් ඇතිවී නැත; තෙල් සොරාගැනීමක් ද සිදුවී නැත.

නඩුවට මුහුන දී සිටින ශි‍්‍රයානි පෙරේරා ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) කියා සිටියේ, "තෙල් සොරකම් කරන්නේ නම් අපි කෝටිපතියන් වියයුතුයි. මේ වගේ අපායක දුක්විඳින්න එහෙම නම් උවමනාවක් නෑ.” යනුවෙනි. තෙල් නලවලට හා දුම්රිය මාර්ගයට මැදිවී ඇති කුඩා පේලි නිවාසවල මෙම නිවැසියන් ජීවිතය ගෙවන්නේ මහත් අපහසුතාවලට මුහුන දෙමිනි. මෙම නිවාසයන්හි බොහෝ දෙනෙක් නිරත වන්නේ එදිනෙදා කුලී වැඩවලය. ඊට අමතරව ප‍්‍රදේශය තුල පිහිටි කුඩා ෆැක්ටරිවල කම්කරුවෝ ද ජීවත් වෙති.

තවදුරටත් පෙරේරා කියා සිටියේ ආන්ඩුව මගින් සුදුසු නිවසක් කොලඹ නගරය තුලින් සපයන්නේ නම් තමන් මෙම නිවාස වලින් යාමට සූදානම් බවය. එහෙත් ආන්ඩුව සූදානම් වන්නේ දශක ගනනාවක් මෙම නිවාසවල ජීවත්වන දුගී ජනයා මහ පාරට ඇද දැමීමට ය.

කොලඹ වරායට ආසන්නව පිහිටි ධීවර නිවාස ද ඉවත් කිරීමට නියමිතය. මෝදර ධීවර සංගමයේ විජේන්ද්‍ර ලෝසවෙඅට කියා සිටියේ "පසුගිය දිනවල නාගරික සංවර්ධන අධිකාරියෙන් එවන ලද විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මෙම නිවාස ලකුනු කර, එහි පදිංචි අයගේ විස්තර වාර්තා ලබා ගත්තා. මෙම වරාය ආශි‍්‍රතව ධීවර පවුල් 100ක් පමන සිටිනවා. මුහුද ආශි‍්‍රතව පමනයි ධීවරයන්ට තම රැකියා ව කල හැක්කේ. ඔවුන් මෙම ප‍්‍රදේශවලින් ඇද දැමීම පවුල්පිටින් විනාශ කිරීමක්” යනුවෙනි.

A houseකැඩීමට නියමිත මෝදර බ්ලූමැන්ඩල් පාර 821 වත්තේ නිවසක්

ජූලි මස 16 දින මෝදර බ්ලූමැන්ඩල් පාර 821 වත්තේ නිවාස 28ක් ද ඊට නුදුරින් පිහිටි පහසුකම් සහිත නිවාස ද ඇතුලු විශාල ප‍්‍රදේශයක තොරතුරු යූඩීඒ නිලධාරින් විසින් එකතු කර ගන්නා ලදී. නිවාස දිග පලල මැන සටහන් කරගනු ලැබිනි. පවුලේ සිටින ප‍්‍රමානය රැකියා කරන ස්ථාන ආදී තොරතුරු වලට අමතරව ඔවුන් අවිස්සාවේල්ලට එනම්, කොලඹින් පිට පලාතකට යාමට කැමැත්තේ ද යනාදී තොරතුරු ලබාගෙන ඇත. එම තොරතුරු සටහන් කර ගත් නිලධාරින් එම ලියවිල්ලට අත්සන් කරන ලෙස නිවැසියන්ට පැවසූ අතර ඇතැම්හු අත්සන් තැබීම ප‍්‍රතික්ෂේප කලහ.

මෙම නිවැසියෝ වසර 50ත් 60ත් අතර කාලයක් මෙම නිවෙස්වල ජීවත්ව සිටියහ. නය ලබාගෙන ඔවුන්ගේ වියදමෙන් නිවාස ගලින් බැඳ සිමෙන්ති දමා ශක්තිමත්ව ගොඩනගාගෙන ද ඇත. මේ අතර දෙමහල් නිවාස ද දක්නට ඇත. මෙම ඉඩම් 1970 දශකයේ දී යූඩීඒ පවරා ගෙන ඇත. ඔප්පු නැතත් මේ නිවැසියෝ විදුලිය හා ජලබිල්පත් ගෙවති. ඇතැම් නිවාසයන්හි දුරකථන පහසුකම් ඇත.

යූඩීඒ මගින් මෙම නිවාසයන්හි තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව නොම්මරයක් සහිත ලේබලයක් නිවාසයන්හි අලවා ගොස් ඇත. නිවස කඩා දැමීමට නියමව ඇති තරුන මවක් ලෝසවෙඅට කියා සිටියේ: "ඔවුන් අපට කිවුවා කොලඹ නගරය සංවර්ධනය කරන්න මෙම නිවාස කඩන බව. අපිට තට්ටු නිවාස දෙනවා කිවුවා. අපි නම් රජය සපයන තට්ටු නිවාසවලට කැමති නැහැ. අපි මේ වත්ත සමගියෙන් පිරිසිදු කරගෙන ජීවත් වෙනවා. මාලිගාවත්ත දෙමටගොඩ රජයේ තට්ටු නිවාස කුනු ගඳ ගහනවා. වැසිකිලි උතුරා ගලනවා.”

A houseකැඩීමට නියමිත හොඳට නඩත්තු කර ඇති නිවාස

තවදුරටත් ඇය පැවසුවේ "මේ ගෙය හැදුවෙ නය අරන්. මට මේ ගේ හදන්න රු. 1,500,000 ක් පමන වැයවුනා. තාමත් නය ගෙවා ඉවර නැහැ. ලමයින්ගෙ ඉස්කෝලෙට, රෝහලට හැමදේටම මෙතන හරිම පහසුයි. මේ නිවාස කඩනවාට අපි විරුද්ධයි”යනුවෙනි.

මෙම නිවාස සමග මෝදර ශුද්ධවූ ජේම්ස් කතෝලික පල්ලිය ද කැඩීමට නියමිතව ඇත. මෙම පල්ලියේ පූජකවරයා පල්ලිය අසල කැඩීමට නියමිතව ඇති නිවාසවල පදිංචි කතෝලික ආගමිකයන් ගෙන්වා රැස්වීමක් සංවිධානය කලේය. එයට විශේෂ ආරාධනා ලැබූනේ නිවාස කැඩීමට කටයුතු කරන ආන්ඩුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා ට හා ජනාධිපති මහින්ද රාජපක්ෂට පක්ෂපාත බවට ප‍්‍රසිද්ධ කතෝලික සභාවේ අගරදගුරු මැල්කම් රංජිත්ට ය. නිවාස කඩා දැමීමට එරෙහි රැස්වීමක් ලෙස පෙන්වූවත් එහි දී අගරදගුරුගේ සහායෙන් ගෙවල් කඩා දැමීම අනුමත කිරීමක් සිදුවී ඇත. දුමින්ද සිල්වා එක එල්ලේ පවසා ඇත්තේ කොලඹ නගරය පිරිසිදු කිරීම සඳහා නිවාස කඩා දමන බවය.

මෙම රැස්වීම පිලිබඳව නිවැසියෙක් මෙසේ ප‍්‍රකාශ කලේ ය. "එම රැස්වීම අවසන් කලේ මෙම පැල්පත් කඩනවා කියලා. නමුත් මෙම ගෙවල් පැල්පත් නෙමෙයි. ඔක්කොම හොඳට ගලින් බැඳ ඇති නිවාස. දුමින්ද සිල්වා කිව්වා බයවෙන්න එපා. කඩන අයට මෙම මාවතේම ගෙවල් දෙන බව. ඒක බොරුවක්. එහෙම නම් මේ ගෙවල් කඩන්න කලින් නිවාස හදන්න ඕනෑ. නිවාස සෑදීමට මෙම මාවතේ වෙනත් තැනක ඉඩක් ඇත්තෙත් නැහැ.”

ඔහු තවදුරටත් මෙසේ ද පැවසීය. "කාදිනල්තුමා කිව්වා මේ මීසමේ ගෙවල් කැඞීම කරන්න එපා කියලා. අපි දන්නවා බිෂොප්තුමා වැඩ කරන්නෙ ආන්ඩුවට ඕන හැටියටයි.”

ගෙවල් කැඩීමට නියමිත නිවැසියන් එසේ ප‍්‍රකාශ කරද්දී එජාප නායක රනිල් වික‍්‍රමසිංහ කොලඹ නිවැසියන් අමතා රැස්වීමකදී කියා සිටියේ නිවැසියන් ද ආගමික නායකයන් ද ඒකාබද්ධ කරමින් නිවාස කැඩීමට එරෙහිව උද්ඝෝෂනය කල යුතු බවය. ඔහු මෙසේ පැවසීය: "දේශපාලන පක්ෂ ජාතික හා ආගම් භේද ඉවත ලා සර්ව ආගමික නායකයින්ද පෙරටු කර ගෙන අප සියල්ලන් එකට ඒකරාශී” වෙමු.

තව දුරටත් වික‍්‍රමසිංහ පැවසුවේ "ඊට එරෙහිව නීතිමය පියවර ද උපරිම දේශපාලන පියවර ද ගන්නවා” යනුවෙනි. මේ යෝජනාව පිලිබඳ අදහස් දැක්වූ නිවැසියෙක් මෙසේ පැවසීය: "නීතිය ආන්ඩුව අතේ. හැන්ද ආන්ඩුව අතේ. ඉතින් නඩු දාලා වැඩක් නැහැ. අපට ඔප්පු නැති නිසා උසාවිය තීන්දු කරයි අනවසර නිවාස නිසා අහවල් දිනයේදී පිටවිය යුතුයි කියා. නඩුදාන එක අපට අවාසි දායකයි. එජාප සජිත් පේ‍්‍රමදාස ලබන සතියෙ එන බව ආරංචියි. පලාත්පාලන ඡන්දය අවසන් වුනාම කවුරුවත් නැතිවෙයි.”

එජාපයට ආන්ඩුවට එරෙහි විකල්ප වැඩ පිලිවෙලක් නැත. රාජපක්ෂ ආන්ඩුව නිවාස කඩා දමන්නේ වෙලඳපොල ආර්ථික ප‍්‍රතිපත්ති වල කොටසක් ලෙස ය. ලංකාව තුල වෙලඳ ආර්ථික පිලිවෙත් ආරම්භ කරනු ලැබවේ ද කොලඹ නගරය ආසියාවේ මහා නගරයක් කිරීමේ පිලිවෙත පලමුව ඉදිරිපත් කලේ ද එජාපයයි.

එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර පක්ෂයේ අරමුන වඩා හොඳින් පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කලේ ය. එහි මෙසේ සඳහන් වේ. "කොලඹ පරම්පරාගතව පදිංචිව සිටින සහ කොලඹ නගරයේ තම ජීවිකාව ගෙනගිය ඡන්ද දායකයින් මෙසේ වෙනත් නගර වලට විසුරුවා හැරීම එජාප බල කේන්ද්‍රස්ථානය වන කොලඹ නගරයේ ඡන්ද පදනම විනාශ කිරීමේ කුමන්ත‍්‍රනයක්.”

කොලඹ නගර පාලනය ද ආන්ඩුවේ පාලනය ද එජාපය අතේ තිබුනත් දුගී පැල්පත්වාසීන්ගේ නිවාස ප‍්‍රශ්නය විසඳීමට කිසිදු පියවරක් ගත්තේ නැත. එම පක්ෂය දැන් විරෝධතා නගන්නේ දියවී යන ඡන්ද පදනම රැකගැනීමට ය. ඔක්තෝබර් මස පැවැත්වෙන කොලඹ මහ නගරසභාව ඇතුලු පලාත් පාලන ආයතන වලට තරග කිරීමට බේගල් දොඩවමින් මේ පක්ෂය සූදානම් වෙයි.

රැඩිකල් මවාපෑම් කරන විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන මෙම ප‍්‍රදේශවල ජනයා හමුවීමට පැමින නැත. රැඩිකල් වාම පක්ෂ ලෙස හඳුන්වා ගන්නා වික‍්‍රමබාහු කරුනාරත්න නායකත්වය දෙන නව සමසමාජ පක්ෂය හෝ සිරතුංග ජයසූරිය නායකත්වය දෙන එක්සත් සමාජවාදී පක්ෂය ද මෙම ජනතාව හමුවීමට හෝ පැමින නැත.

2010 වසරේ ආන්ඩුව නිවැසියන් පලවාහැරීමේ සැලසුම විවෘතව ඉදිරිපත් කල තැන් පටන් ඊට එරෙහිව නිවාස අයිතිය රැක ගැනීමේ කි‍්‍රයාමාර්ගයක් ඉදිරිපත් කලේ සමාජවාදී සමානතා පක්ෂය පමනි. සසප ආධාරය ඇතිව පිහිටවනු ලැබූ නිවාස අයිතිය රැක ගැනීමේ කි‍්‍රයාකාරී කමිටුව 2010 නොවැම්බර් 8 දින නිකුත් කල ප‍්‍රකාශයෙන් මෙසේ ඉල්ලා සිටියේ ය.

"පහසුකම් සහිත ජීවත්වීමට සුදුසු නිවාස කොලඹ නගරය තුල අපට උවමනාය. අපගේ අරගලයට සහයෝගය දෙන ලෙස සියලුම දුගී නිවැසියන්ගෙන් අපි ඉල්ලා සිටිමු. ඔබේම කි‍්‍රයාකාරී කමිටු ගොඩ නගන්න. මෙම ආයාචනයේ පිටපත් බෙදා හරින්න. නිවාස අයිතිය රැක ගැනීමේ කි‍්‍රයාකාරී කමිටුවට ඔබගේ නියෝජිතයන් එවන්න. එවිට අපගේ උද්ඝෝෂනය වඩා පුලුල් කල හැකිය.

"විදුලිය නල ජලය වැනි සියලු පහසුකම් සහිත ජීවත්වීමට සුදුසු නිවාස ගොඩනැගීම සඳහා රුපියල් බිලියන සිය ගනනක් වෙන් කල යුතුය. වැඩ කරන ජනතාවගේ දැවෙන අනෙකුත් ප‍්‍රශ්න ආමන්ත‍්‍රනය කිරීමට අසමත්ව ඇතිවුන් මෙන්ම ලාබ පද්ධතිය ආරක්ෂා කරන ආන්ඩුව අපට ජීවත්වීමට සුදුසු නිවාස නොසපයනු ඇත. ධනපති ක‍්‍රමය ආරක්ෂා කරන එක්සත් ජාතික පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුන බඳු විරුද්ධ පක්ෂ කෙරෙහි අප තුල විශ්වාසයක් නැත. කම්කරු පන්තියේ කවර හෝ මූලික අයිතියක් ආරක්ෂා කර ගත හැක්කේ සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් සඳහා සටන් කිරීම මගින් පමනි.”

සසප ඒ උද්ඝෝෂනය තුල දී මෙසේ ද අවධාරනය කලේ ය.

"සියලු පහසුකම් සහිත නිවාස සඳහා ඇති අයිතිය වෙනුවෙන් කරන සටන, ලාභ පද්ධතියට එරෙහි අරගලයක් ඉල්ලා සිටින අතර, සමාජවාදී ක‍්‍රියාමාර්ගයක අවශ්‍යතාව මතු කරයි. සියල්ලන්ටම නිවාස පහසුකම් සැලසීම සඳහා රුපියල් සියකෝටි ගනනින් මුදල් වෙන්කල යුතුය. අන් සියල්ලටත් වඩා මේ සඳහා අවශ්‍ය වන්නේ, ධනවතුන් අතලොස්සකගේ ලාභය සඳහා නොව බහුතරයකගේ අවශ්‍යතා ඉටු කල හැකි පරිදි සමාජය යලි සංවිධානය කිරීමේ, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා නාගරික මෙන්ම ගම්බද දුගීන් ද සමඟ එක්ව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමයි. සසප සටන් වදින්නේ එම ක‍්‍රියාමාර්ගය සඳහා ය.”

ආන්ඩුව විසින් ක‍්‍රමානුකූලව උග‍්‍ර කෙරෙන නිවාස වලින් පලවාහැරීමට එරෙහිව ධෛර්යය සම්පන්න දේශපාලන අරගලයක් දියත්විය යුතුය. දැනටමත් පවුල් සිය ගනනක් නගරයේ විවිධ තැන්වලින් ඉවත් කර අවසාන ය. සසප නිවාස ආරක්ෂා කර ගැනීමේ කමිටු කොලඹ පුරා ගොඩනගමින් සමාජවාදී සමානතා පක්ෂය සමග එක්වන්න. ඉදිරියේ එලඹෙන කොලඹ මහ නගරසභා මැතිවරනයට සසප ඉදිරිපත් වෙයි. එහි ප‍්‍රධාන උද්ඝෝෂන තේමාවක් වන්නේ මෙම අරගලය සූදානම් කිරීමයි.