‍ශ‍්‍රී ලංකාවේ හිටපු වාමාංශිකයෙක් විශ්වවිද්‍යාල වැටුප් උද්ඝෝෂනය පාවාදීම යුක්තිසහගත කරයි

Sri Lankan ex-left justifies betrayal of university pay campaign

By K. Ratnayake, 10 August 2011

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විවේචන හමුවේ මහාචාර්ය සුමනසිරි ලියනගේ නමැති හිටපු වාමාංශිකයා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (එෆ්යූටීඒ) දිග් ගැසුනු වැටුප් උද්ඝෝෂනය පාවාදීම යුක්තිසහගත කිරීම සඳහා මෑතකදී දක්ෂිනාංශික අයිලන්ඩ් පුවත්පතේ සිය තීරුව යොදා ගත්තේය. තමා "මඩගැසීමේ ව්‍යාපාරයක ගොදුරක්” වී ඇති බව කියන ලියනගේ, ආන්ඩුව සමග සාකච්ඡා පැවැත්වූ එෆ්යූටීඒ කන්ඩායමේ සභාපති ලෙස කටයුතු කලේය.

ජූලි 24දා සිය ලිපියෙන් ලියනගේ තම පාවාදීම් සුජාත කිරීම පිනිස වෘත්තීය සමිති නිලධරයින් යොදාගන්නා ක්ෂමාලාප තොගයක්ම ගෙනහැර දක්වයි. ඒ අනුව ඔහු එෆ්යූටීඒ ඉල්ලා සිටියාට වඩා රුපියල් 17,000න් අඩු නමුත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ මාසික වැටුප රුපියල් 115,000 (එජ ඩොලර් 137ක්) දක්වා රු: 17,000න් වැඩිකර ගැනීම වැනි සාකච්ඡා කන්ඩායම ලද "ජයග‍්‍රහන” හුවාදක්වයි. "වැටුප් ඉල්ලීම පිලිබඳව සලකන කල එය එෆ්යූටීඒ ලද සම්පූර්න ජයග‍්‍රහනයක් නොවන නමුදු එය සම්පූර්න පරාජයක් ලෙස ද යමෙකුට තර්ක කල නොහැකිය.”

මෙම ආස්ථානයේ සිට පවා ලියනගේ ගෙන එන්නේ දෙපිටකාට්ටු තර්කයකි. පූර්වයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ මාසික වේතනය රු: 57,000ක මූලික වැටුපක් හා අතිරේක රු:40,000ක් දීමනාවක් ඇතුලුව රු:97,000න් සමන්විත විය එෆ්යූටීඒ උද්ඝෝෂනයේදී ඉල්ලීම වූයේ මූලික වැටුප රු:135,000 දක්වා වැඩිකල යුතුය යන්නයි. එවිට (මුලු වේතනය රු. 175,000ක් විය යුතු මුත්) එෆ්යූටීඒ අංකගනිතය අනුව මුලු වැටුප ලෙස රු:168,000ක් විය යුතුව තිබුනි.

සමස්ත රාජ්‍ය සේවය සම්බන්ධයෙන්ම සිදුකල පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙහිදී ද කිසිදු වැටුප් වැඩිවීමක් දීම එකහෙලා ප‍්‍රතික්ෂේප කලේය. තෙමසකට ආසන්න කාලයක උද්ඝෝෂන වලින් පසුව ලියනගේ හා ඔහුගේ සාකච්ඡා කන්ඩායම ආන්ඩුවේ ආස්ථානයට එකඟ වෙමින් රු: 17,000න් දීමනා වැඩි කිරීමේ එහි යෝජනාව ආචාර්යවරුන් මත පැටවීය. එහි ප‍්‍රතිපලය වශයෙන් එෆ්යූටීඒ ඉල්ලීමට රු. 50,000ටත් වඩා අඩු මුලු වේතන ප‍්‍රමානයක් වූ රු: 115,000ක් දක්වා ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ වැටුප් වැඩි කෙරිනි. තව ද මූලික වැටුප වෙනුවට දීමනා වැඩි කිරීම මගින් ආන්ඩුව විවිධ විශ‍්‍රාමික සහන ද මඟහැරියේය. අනෙකුත් ගුරු ශ්‍රේනි ද එවැනිම තත්වයක් අත්විඳින අතර සහකාර කථිකාචාර්යවරු කිසිදු වැඩිවීමක් නොලබති.

කෙසේ වෙතත් එය ලියනගේගේ දෙපිටකාට්ටුකමෙහි ආරම්භය පමනි. ඔහුද පිලිගන්නා පරිදි උද්ඝෝෂනය හුදෙක් වැටුප් වැඩිවීමකට පමනක් සීමා නොවීය. එෆ්යූටීඒ ඉල්ලීම් අතරට මේවා ද ඇතුලත් වේ; මෙරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප දකුනු ආසියාවේ අනෙකුත් රටවලට සම කිරීම, විශ්වවිද්‍යාල ආචාර්යවරු විශේෂිත වෘත්තීය ශ්‍රේනියක් ලෙස පිලිගැනීම, වසර පහකට පෙර ආචාර්යවරුන්ගෙන් උදුරාගත් පහසුකම් යලි ලබාදීම හා අධ්‍යාපනය සඳහා දරන වියදම දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 දක්වා වැඩි කිරීම.

කෙසේ වුව ද ලියනගේ සිය තීරුව තුල පවසන පරිදි, එෆ්යූටීඒ කිසිවිටෙකත් මෙම ඉල්ලීම් සඳහා සටනක් ගෙනයාමට බැරෑරුම්ව සූදානම් වී සිටියේ නැත. "මෙම ඉල්ලීම් සියල්ල එක් දිනක් තුල දිනාගත නොහැකිය යන කාරනාව සැලකිල්ලට ගත් එෆ්යූටීඒ වහාම විසඳුම් බලාපොරොත්තු වන අවම ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කලේය” ඔහු පවසයි. වෙනත් වචනවලින් කිවහොත් සටන ඇරඹීමටත් පෙර එෆ්යූටීඒ සිය සාමාජිකයින්ට හෙලිදරව් නොකල තමන්ගේ ම "අවම ඉල්ලීම් මාලාවක්” ඊට ආදේශ කරන ලදී.

ආරම්භයේ පටන් ම සමාජවාදී සමානතා පක්ෂය (සසප) විශ්වවිද්‍යාල ආචාර්යවරු මුහුන දෙන්නේ රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකට බව අවධාරනය කලේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලිකරනය දෙසට ගන්නා පියවර ද ඇතුලුව පොදු වියදම් කපාහැරීම හා වෙලඳපොල ගැති ප‍්‍රතිව්‍යුහකරන සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යෙදෙන බලපෑමට යටතේ ආන්ඩුව කි‍්‍රයා කරන බව අපි අනතුරු ඇඟවූයෙමු. 2012 අයවැය හිඟය දදේනි සියයට 5ක මට්ටමට එනම්, 2009 වසරේ එහි හිඟයෙන් හරි අඩක් දක්වා අඩුකිරීමට රාජපක්ෂට සිදුව තිබීමේ හේතුව නිසාම රාජ්‍ය අංශයේ කිසිදු වැටුප් වැඩිවීමකට ඉඩ දීම ඔහු ප‍්‍රතික්ෂේප කලේය.

කෙසේ වෙතත් ලියනගේ පැහැදිලිව ම කියා ඇත්තේ වෘත්තීය සමිතියට ආන්ඩුවට අභියෝග කිරීමේ මඳ හෝ බලාපොරොත්තුවක් නොතිබුනු බවයි. සමිතියට "සැඟවුනු න්‍යායපත‍්‍රයක්” ඇතැයි ද එෆ්යූටීඒ "පාලනතන්ත‍්‍ර වෙනසක්” සඳහා සැලසුම් කරන්නේ යයි ද නඟා තිබූ චෝදනා ප‍්‍රතික්ෂේප කල ඔහු මෙසේ ලියයි: "අප කටයුතු කරන්නේ වත්මන් ආන්ඩුව සමග මිස ඈත අනාගතයේ බලයට පත්වන ආන්ඩුවක් සමග නොවේය යන වැටහීම ආරම්භයේ පටන්ම අපට තිබුනි”

තවදුරටත් ලියනගේ වෘත්තීය සමිතියට ආන්ඩුව සමඟ සැබෑ නොඑකඟතාවක් නොපැවති බව ද පිලිගනියි. "සාකච්ඡාවන්ට පැමිනි ආන්ඩුවේ නියෝජිතයින් සතුරන් ලෙස අපි නොසැලකුවෙමු. මතුවී ඇති ප‍්‍රශ්න විසඳීමේදී ඔවුන් මුහුනදුන් ගැටලු අප තේරුම් ගන්නා බව අපි ඔවුන්ගේ සැලකිල්ලට බඳුන් කලෙමු” ඔහු එසේ පැවසීය. වඩාත් ප‍්‍රගාඪ ලෙස සිය පාවාදීම සැඟවීමට උත්සාහ දරමින් මහාචාර්යවරයා සාකච්ඡා පැවැත්වීමේ නව මූලධර්මයක් සොයාගෙන ඇතැයි පැවසීය. "තර්කාන්විත සන්නිවේදනයේ හාබර්මේයියන් මූලධර්මය මත පදනම්වූ සන්නිවේදන සාකච්ඡා අනෙකුත් සමාජ ව්‍යාපාරයන්ටත් පාඩම් ගෙනඑනු ඇතැයි” ද ඔහු පැවසීය. ඔහු මෙම මාතෘකාව පිලිබඳව දිගු ශාස්ත‍්‍රීය ලේඛනයක් සැකසීමට ද සැලසුම් කරයි.

යථාර්තය නම් වෘත්තීය සමිතිය රාජපක්ෂ ආන්ඩුවට දේශපාලනිකව යටත්වීමේ තුච්ඡ ස්වභාවය ලියනගේ විසින් වසං කිරීමට හුදෙක්ම උත්සාහ කරන්නේය යන්නයි. එෆ්යූටීඒ ප‍්‍රසිද්ධියේ කියා සිටි සීමිත ඉල්ලීම් සඳහා සටනක් වුවත් ඔවුන් ආන්ඩුව හා මූල්‍ය අරමුදල සමග ගැටුමකට ඇද දමනු ඇත. ලියනගේ සිය ලිපියෙහි කෝපයෙන් හඬතලන්නේ, අපට කල හැකිව තිබුනේ වෙන කුමක් ද? යි අසයි. පිලිතුර සසප ඉදිරිපත් කල වැඩපිලිවෙලයි. එනම් ඒ හා සමාන ගැටලු වලට මුහුනපා සිටින කම්කරු පන්තියේ අවශේෂ කොටස් වෙත හැරෙන්න. ඔවුන් සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් යටතේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයට ස්වාධීනව මෙහෙයවීමට සටන් කරන්න යන්නයි.

ලියනගේ හා එෆ්යූටීඒ නායකත්වය එවන් ඉදිරිදර්ශනයකට සටන් කල නොහැකි යයි එකහෙලා ප‍්‍රතික්ෂේප කලහ. එෆ්යූටීඒ දැන් අරගලයට පිවිස සිටින රාජ්‍ය අංශයේ කම්කරුවන් ද ඇතුලු අවශේෂ කම්කරු කොටස් වෙත හැරුනේ නැත. ඒ වෙනුවට සංගමය හැරුනේ බලපෑම් කිරීමෙන් සහන පිරිනැමීම සඳහා ආන්ඩුව නමාගත හැකියයි විශ්වාස කිරීමට සිය සාමාජිකයින් දක්කා ගැනීමේ අටියෙන් සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය හා සිංහල වර්ගවාදී මහජන එක්සත් පෙරමුන ආදී පාලක සභාගයේ ඊනියා "වාමාංශික” පක්ෂ ඇතුලු කොලඹ දේශපාලන සංස්ථාපිතයේ කොටස් වෙතය.

ආචාර්යවරුන්ගේ සංගමයෙහි පාවාදීම හුදෙක් ජරාජීර්න වූ පුද්ගලයින්ගේ නිර්මානයක් නොවීය. මේ දිවයිනේ මෙන්ම ජාත්‍යන්තරව ද වෘත්තීය සමිති, නිෂ්පාදනයේ ගෝලීය කරනයෙහි බලපෑම යටතේ අතිමූලික පරිවර්තනයකට හසුව තිබේ. පූර්වයෙන් ජාතිකව නියාමනය කරන ලද ආර්ථිකයන් තුල ක‍්‍රියාකාරීවූ සමිති කම්කරුවන්ගේ ඕනෑම ව්‍යාපාරයක් රඳවා තබාගැනීම පිනිස සීමිත ප‍්‍රතිසංස්කරන සඳහා හාම්පුතුන් හා ආන්ඩු සමග කේවෙල් කලහ. අද ඔවුන් ක‍්‍රියා කරන්නේ උසස් අධ්‍යාපනය ද ඇතුලුව ආර්ථිකයේ සෑම අංශයකම "ජාත්‍යන්තර තරඟකාරිත්වය” නඟා සිටුවීමේ ධනේශ්වරයේ අවශ්‍යතා වෙනුවෙන් වැඩකරන කාර්මික පොලිස්කාරයා ලෙසය.

එම ඉදිරිදර්ශනය යටතේම මෙහෙයවුන වඩා සටන්කාමී අරගලයක් වුවත් වෙනත් ප‍්‍රතිපල ගෙන එනු නැත. මෑත සිදුවීම් වලින් නාටකාකාර ලෙස පෙන්නුම් කලේ, 2008 පුපුරා ගිය ගෝලීය ධනවාදයේ අර්බුදය ගැඹුරු වෙමින් ඇති බවයි. ශ‍්‍රී ලංකාව ද ඇතුලු සෑම රටකම න්‍යාය පත‍්‍රයෙහි ඇත්තේ කම්කරු පන්තිය අතීතයේ දිනාගෙන ඇති සියලු සහන යලි සූරා ගැනීමය. එකම ශක්‍ය ඉදිරිදර්ශනය වන්නේ ධනවාදය අහෝසි කිරීමේ විප්ලවවාදී අරගලයක් මත පදනම් වූවක් පමනි.

ලියනගේ වැනි හිටපු රැඩිකල්වාදීන් අතිශය විසකුරු ක‍්‍රියාකලාපයක් ඉටුකරන්නේ මෙහිදී ය. මහාචාර්යවරයා සමසමාජ පක්ෂය සමග තමන්ට තිබුනු සම්බන්ධය ගැන කථා කරයි. එය 1950 ගනන් මුල් භාගයේ ට්‍රොට්ස්කිවාදී පක්ෂයක්ව පැවතියත් 1964දී ධනපති සිරිමා බන්ඩාරනායක ආන්ඩුවට ඇතුල් වෙමින් ජාත්‍යන්තර සමාජවාදයේ මූලධර්ම විවෘතව පාවා දුන්නේ එහි දේශපාලන පරිහානියේ උච්ඡස්ථානය සලකුනු කරමිනි. ලසසප මහා පාවාදීමෙන් පසුවත් ලියනගේ එහි රැඳී සිටියා පමනක් නොව, එම පක්ෂය 1970 පිහිටවූ දෙවන බන්ඩාරනායක ආන්ඩුවට ඇතුල්වී කම්කරු පන්ති විරෝධී වාර්ගික ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැඟීමට ද දායක විය.

ලියනගේ සමසමාජයෙන් කැඩුනේ සමස්ත වැඩකරන ජනතාවගේම දැඩි විරෝධයට එම පක්ෂය මුහුන දුන් විට පමනි. තම අවස්ථාවාදී ගමන් මග වෙනස්කිරීම කෙසේ වෙතත් ලියනගේ 1978 දී, සමසමාජයේ පන්ති සහයෝගිතා දේශපාලනයම ගෙනයන බව සිය නමෙන්ම කියාපාන නව සමසමාජ පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියෙකු විය. 1991 සෝවියට් සංඟමය බිඳ වැටීමෙන් පසුව තවත් දකුනට පල්ලම් බැස්ස ලියනගේ "මාක්ස්ගේ සම්ප‍්‍රදායික සමාජවාදය යල්පැනගොස් ඇති බව” කියා සිටිමින් "සාධාරන” ධනවාදයක් දෙසට ගමන් කරන නව "ලිබරල් සමාජවාදයකින්” එය විස්ථාපනය කල යුතුව ඇතැයි කියා සිටියේය. නව සමසමාජයෙන් එලියට ගියත් ඔහු එහි නායකයින් සමග සුහදශීලීව කටයුතු කලේය.

"ඔව් එෆ්යූටීඒ අරගලය තුල කොමියුනිස්ට්වාදීන් විරල වීය” යි කියා සිටිමින් ඔහු තමා තවමත් කොමියුනිස්ට්වාදියෙකු යයි ලිපිය තුල සඳහන් කරයි. "මම මේ විරල ශ්‍රේනියේ නම දමා ගැනීමට කැමැත්තෙමි.” එසේම ඔහු සිය ද්‍රෝහිත්වය ආවරනය කර ගැනීම පිනිස ලෙනින්ගේ නම පිටුපස සැඟවෙයි. ඔහු "කන්දක් නැගීම” යන හිසින් 1922 පලවූ ලිපියක් ගැන සඳහන් කරන අතර ලෙනින් එහි විස්තර කරන්නේ සිය අවසන් ඉලක්කය එනම් ශීර්ෂ කූඨය වෙත ලඟාවීමට පෙරාතුව කොමියුනිස්ට්වාදීන්ට පසුබැසීමට ද බලකෙරෙන අවස්ථා උදාවන බවයි. එහෙත් ඔවුන් සිය උත්සාහය අත් නොහරිනු ඇත. අතිශය දුෂ්කර කර්තව්‍යයක් වන ඒ කරා ලඟාවීමට ඔවුන් යලි යලිත් උත්සාහ දරනු ඇත.

මෙම සමානකරනය විකාරයකි. සිවිල් යුද්ධයෙන් පසුව යාන්තමින් හිස ඔසවමින් සිටි හා යුරෝපීය විප්ලවයන්ගේ විශේෂයෙන්ම ජර්මන් විප්ලවයේ පරාජයෙන් හුදෙකලාවූ ප‍්‍රථම කම්කරු රාජ්‍යය පොරබදමින් සිටි ඉමහත් ආර්ථික හා දේශපාලන දුෂ්කරතාවන් පිලිබඳ විප්ලවවාදී මාක්ස්වාදියෙකුගේ දෘෂ්ටි ආස්ථානයක සිට ලෙනින් එසේ ලියන ලදී. අනෙක් අතට ලියනගේ ලියන්නේ වැදගත්, නමුත් සීමිත වෘත්තීය සමිති අරගලයක් මේ දැන් පාවාදුන් වෘත්තීය සමිති නිලදරුවෙක් ලෙසය. තව ද එම සන්දර්භය තුල ඔහු හා එෆ්යූටීඒ නායකත්වය සමාජවාදී ප‍්‍රතිපත්තීන් මත පදනම්ව රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව දේශපාලන අරගලයක් ගෙනයාමට මුලුමනින්ම සතුරු වූහ.

අන් ඕනෑම වෘත්තීය සමිති නිලධරයෙක් මෙන්ම ලියනගේ ද තමන්ගේම ද්‍රෝහිත්වය පිලිබඳව දොස් පවරන්නේ එෆ්යූටීඒ සාමාජිකයින් වෙතය. එෆ්යූටීඒ අරගලය තුල සිටියේ කොමියුනිස්ට්වාදීන් අතලොස්සක් පමනි යන්නෙහි අර්ථය එයයි. අරගලය සඳහා සූදානම්ව සිටි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුහුනදුන් ප‍්‍රධාන ගැටලුව වූයේ අධිෂ්ඨානශීලී දේශපාලන අරගලයක් සියල්ලටත් වඩා ලියනගේ හා එෆ්යූටීඒ ප්‍රෝඩාවට එරෙහිව අරගලයක් ගෙනයාමේ හැකියාව ඇති අව්‍යාජ සමාජවාදීන් එහි නොසිටීමයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා සිසුන් අවශ්‍ය පාඩම් උකහාගත යුතුය. ඔවුන් සසප ක‍්‍රියාමාර්ගය ප‍්‍රවේශමෙන් හදාරමින් සමාජවාදය සඳහා සටන්වැදීමට අවශ්‍ය කම්කරු පන්තියේ ජනතා විප්ලවවාදී පක්ෂය ලෙස සසප ගොඩනැඟීමට සම්බන්ධ විය යුතුය.