‍ටෙලිකොම් වෘත්තීය සමිති අරගලය පාවා දෙයි

By W.A. Sunil , 14 August 2011

දින පහක වැඩවර්ජනයක් ද ඇතුලුව මාස එක හමාරකට ආසන්න කාලයක් පැවති ටෙලිකොම් සේවක අරගලය එහි වෘත්තීය සමිති සහ පාලනාධිකාරය අතර කම්කරු කොමසාරිස් වරයා ඉදිරිපිටදී අගෝස්තු 10 දා අත්සන් කල "අවබෝධතා ගිවිසුමකින්” අනතුරුව අත්හිටුවනු ලැබීය. සමිති එකඟ වූ ගිවිසුමෙන් කම්රුවන්ගේ ඉල්ලීම් 10න් එකකටවත් අපේක්ෂිත විසඳුමක් ලැබී නැත.

ටෙලිකොම්, විදුලි හා සරසවි අනධ්‍යන සේවක අරගල තුල කම්කරුවන් මුහුන දෙන දේශපාලන ප‍්‍රශ්න අවධානයට යොමුකරමින් ඉල්ලීම් දිනාගැනීමේ කි‍්‍රයාමාර්ගයක් පෙන්නුම් කල සමාජවාදී සමානතා පක්ෂය (සසප), සමිති නායකයන් විසින් සුදානම් කෙරෙමින් පැවති පාවාදීම පිලිබඳව කල්තියාම අනතුරු ඇඟවීය. බලන්න:ටෙලිකොම්, විදුලිය හා විශ්ව විද්‍යාල සේවකයන්ගේ අරගලයට සමාජවාදී කි‍්‍රයා මාර්ගයක් මෙම අනතුරු ඇඟවීම දැන් මුලුමනින් ම සනාථ වී තිබේ.

විරෝධතා ව්‍යාපාරය කැඳවුම් කරනු ලැබුවේ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය හා සමස්ත ලංකා ටෙලිකොම් සේවා සංගමය ඇතුලු සමිති විසි එකක සන්ධානයක් විසින් ය.

ශ‍්‍රී ලංකා නිදහස් තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය, ශ‍්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගික සේවා හා සමාන්තර සේවා සංගමය ඇතුලු ආන්ඩුවට ගැති සමිති විරෝධතා ව්‍යාපාරයට විරුද්ධ වූහ. එහෙත් එම සමිතිවල සැලකිය යුතු සාමාජික සංඛ්‍යාවක් අරගලයට සම්බන්ධ වූහ.

කොම්පැනියට ගැතිකම පෙන්නුම් කරමින්, විදුලි සංදේශ ඉංජිනේරු සංගමය අගෝස්තු 5 දා ටෙලිකොම් සභාපතිට යැවූ ලිපියක් මගින් විරෝධතාවයේ යෙදෙන සමිතිවලට එරෙහිව "දැඩි පියවර” ගන්නා ලෙසත් විරෝධතාවයට සම්බන්ධවූ ටෙලිකොම් අනුබද්ධ මෑන් පවර් සොලූෂන් සමාගමෙන් (එම්පීඊඑස්) බඳවා ගත් කොන්ත‍්‍රාත් සේවකයන් දොට්ට දමන ලෙසත් ඉල්ලා සිටියේය.

කම්කරුවන්ගේ අරගලය බිඳීම සඳහා ආන්ඩුව සහ ටෙලිකොම් පාලනාධිකාරය මර්දනයක් මුදාහලේය. සමිති නායකයන් තුන් දෙනෙකුගේ සහ ක‍්‍රියාකාරීන් 10දෙනෙකුගේ සේවය අත්හිට වූ ටෙලිකොම් පාලකයෝ වැඩ වර්ජනය පටන් ගත් අගෝස්තු 5දා සිට සෙසු සේවාස්ථානවල සේවකයන්ට කොලඹ ප‍්‍රධාන කාර්යාලයට ඇතුලු වීම තහනම් කලහ. එදින ම ඔවුහු වර්ජනයට සම්බන්ධ සමිතිවල ක‍්‍රියාකාරීන් ටෙලිකොම් පරිශ‍්‍රයට ඇතුලුවීම වැලැක්වීමේ නියෝගයක් කොලඹ දිස්ති‍්‍රක් උසාවියෙන් ලබා ගත්හ.

වෘත්තීය සමිතිවල ද්‍රෝහිත්වය හා මර්දනය නොතකා අටදහසක් පමන වන ශ‍්‍රමබලකායෙන් 6,000 පමන අරගලයට සම්බන්ධවීම මගින් පෙන්නුම් කෙරුනේ සිය අයිතීන් සඳහා සටන් කිරීමට ටෙලිකොම් සේවකයන් අතර පවතින බරපතල අධිෂ්ඨානය ය.

අරගලයේ මූලික ඉල්ලීම් වූයේ ප‍්‍රවාහන හා ආහාර දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කිරීම, කොන්ත‍්‍රාත් පදනමේ කම්කරුවන් බඳවා ගන්නා එම්පීඊඑස් ආයතනය අහෝසිකොට එහි සේවකයන් ටෙලිකොම් සමාගමට අනුයුක්ත කිරීම, වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම, පුරප්පාඩු සඳහා සියයට 50ක් සේවකයන්ගේ දරුවන් අතරින් බඳවා ගැනීම හා විධායක නිලධාරීන්ගේ රහස්‍ය වැටුප් ක‍්‍රමය එලිදරව් කිරීම ය.

පාලනාධිකාරය ගිවිසුමෙන් එකඟ වී ඇත්තේ ප‍්‍රවාහන හා ආහාර දීමනාව රුපියල් 12,000 දක්වා වැඩි කිරීම, ඉදිරි පුරප්පාඩු පිරවීමේදී "සුදුසුකම් සහිත” සේවක දරුවන්ගෙන් සියයට 50ක් බඳවා ගැනීම හා ඉතිරි සියයට 50 තුල එම්පීඊඑස් සේවකයන්ට ප‍්‍රමුඛත්වය දීම, වැටුප් විෂමතා, උසස්වීම් හා බඳවා ගැනීම් සම්බන්ධ ව වෘත්තීය සමිති නියෝජිතයන් සහිත කමිටුවක් පත්කිරීමට පමනි. එවන් කමිටුවක් කි‍්‍රයාත්මක වනු ඇත්තේ සමාගමට උපදෙස් දෙන කෝපරේට්වාදී අන්ඩක් ලෙසයි. එම්පීඊඑස් සමාගම අහෝසි කිරීමේ හා එහි සේවකයන් ටෙලිකොම් ආයතනයට අනුයුක්ත කිරීමේ ඉල්ලීම මුලුමනින් ප‍්‍රතික්ෂේප කර ඇත.

අරගලයට සම්බන්ධ වූ ඉතාමත් පීඩිත කොටස වූයේ මෙම කොන්ත‍්‍රාත් කම්කරුවන්ය. මෙම සේවකයෙකුගේ සාමාන්‍ය මාසික වැටුප රුපියල් 15,000 පමන වේ. එය ටෙලිකොම් සේවකයෙකුගේ වැටුපෙන් අඩකටත් වඩා අඩුය. එම්පීඊඑස් කම්කරුවන්ගේ විරෝධය යටපත් කර දැමීම සඳහා එම සමාගම නිකුත් කල චක‍්‍රලේඛයකින් ඔවුන්ගේ වැටුප සියයට 10කින් වැඩිකිරීම්, ප‍්‍රසිද්ධ නිවාඩු දින සඳහා අතිකාල ගෙවීම දෙගුන කිරීම්, ඇතුලු ඉතා සීමිත පියවර නිවේදනය කර ඇත.

සමිති නායකයන්ගේ යටත් වීම එලිදරව් කරමින් සේවය අත්හිටවූ තොරතුරු හා විදුලිසංදේශ සියලු සේවක සංගමයේ සභාපති ජී.බී. ගුරුසිංහ හා විදුලිසංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති සහ ලේකම්, ඩී.පී. උපාලි දිසානායක සහ එල්.පී.ආර්.එල්. නිශ්ශංක යන තිදෙනා වර්ජනයට සම්බන්ධවන ලෙස සාමාජිකයන්ට කියා සිටීම වැනි කි‍්‍රයාවන් යෙදීම පිලිබඳව පාලනාධිකාරයෙන් ලිඛිතව සමාව අයැදීමට ද සේවය අත්හිටවූ දින වැටුප් රහිත නිවාඩු ලෙස පිලිගැනීමට ද එකඟ වී ඇත. පාලක දඩයමකට මග පාදමින් විරෝධතා ව්‍යාපාරය පැවති කාලය තුල වෙනත් සේවකයෙක් "විෂමාචාර” වල යෙදී ඇත්නම් ඔවුන්ට එරෙහිව විනයානුකූලව ක‍්‍රියා කිරීම ට ද එකඟ වී ඇත. විධායක නිලධාරීන්ගේ වැටුප් ක‍්‍රමය එලිදරව් කිරීම අත හැර දැමීමට ද සමිති නායකයන් එකඟ වී තිබේ.

අරගලය නතර කලත් දඩයම දිගටම යයි. වර්ජනයට සහභාගී වූ සේවකයන්ට එරෙහිව කටයුතු නොකරන බව එම්පීඊඑස් බලධාරින් කියා ඇතත් රාජකාරි අවශ්‍යතාවයන් මත යයි කියමින් දැනටමත් සේවකයන් ගනනාවක් විවිධ තැන්වලට මාරු කර ඇත. වැඩ අත්හිටවූ සේවකයන් තවමත් සේවයට ගෙන නැත.

කම්කරුවන්ගේ ඉල්ලීම් දීම ප‍්‍රතික්ෂේප කලත් ටෙලිකොම් සමාගම දැවැන්තව ලාබ ගරමින් සිටී. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් භාගය තුල ටෙලිකොම් සමාගමේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 2.44කි. එය පසුගිය වසරට වඩා සියයට 77ක වර්ධනයකි. කම්කරු ඉල්ලීම් දීම දැරිය නොහැකි බරක් බව අවධාරනය කලත් ටෙලිකොම් පාලකයෝ විධායක නිලධාරීන්ට විශාල වැටුප් හා දීමනා ගෙවති. ඔවුන්ගේ ප‍්‍රවාහන හා ආහාර දීමනාව පමනක් මසකට රුපියල් 110,000 සිට 200,000 කි.

ටෙලිකොම් අරගලය සෙසු කම්කරුවන්ගෙන් හුදකලා කොට පාවාදීම සුදානම් කලේ සමිති නායකයෝය. අරගලය වටා අවශේෂ කම්කරුවන්ගේ සහයෝගය බලමුලුගැන්වීමට සමිති නායකයෝ කිසිවක් ම නොකලහ. ඔවුන් එසේ කලේ මේ දිනවල පැන නැගී තිබූ විදුලිය හා විශ්වවිද්‍යාල සේවකයන්ගේ උද්ඝෝෂනයන් එබඳු එකමුතුවකට කොන්දේසි සකස් වී ඇති බව පෙන්නුම් කර තිබිය දී ය.

වෘත්තීය සමිති නායකයන් ටෙලිකොම් කම්කරුවන්ගේ අරගලය කැඳවූයේ ම ඉල්ලීම් සඳහා සටන් කිරීමට නොව කම්කරුවන් අතර පැන නැගි විරෝධතාව යට ගසා වාෂ්ප කර දැමීම සඳහා ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතාකල ටෙලිකොම් කම්කරුවන් ගනනාවක් සමිති නායකයන්ගේ පාවාදීම කෙරෙහි සිය කෝපය ප‍්‍රකාශ කලහ. එම්පීඊඑස් සමාගමේ තාක්ෂනික සේවකයෙක් මෙසේ පැවසීය: "අපේ ඉල්ලීම් වෙනුවෙන් දිගටම සමිති සටන් කරයි කියලා අපි බලාපොරොත්තු වුනා. නමුත් පාලකයන්ගේ මර්දනය ඉදිරියේ සමිති පසු බැස්ස. සටන මුලදී සමිති නායකයෝ කිව්වේ ඉල්ලීම් දිනාගෙන මිසක් සටන නතර කරන්නේ නැහැ කියල. මේ සමිතිත් එක්ක ඉදිරියේ දී මොනම අරගලයක් වත් කරන්න පුලුවන් වෙයි කියලා මටනම් දැන් කිසිම විස්වාසයක් නැහැ. බොහෝ දෙනෙකුගේ අදහසත් ඒකමයි.”

සමිති නායකයන්ගේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් තමන් කලකිරීමට පත්ව සිටින බව ටෙලිකොම් සේවිකාවක් කීවාය: "සේවකයන්ට විරුද්ධව විනය පරීක්ෂන පවත්වන්න සමිති එකඟ වීමෙන් සේවක දඩයමකට ඒ ගොල්ල ඉඩහැරල තියෙන බවයි පෙනෙන්නේ. සමහර සමිති සටනට සම්බන්ධ වීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා සේවකයන් අධෛර්යමත් වුනා, පාලකයන් ශක්තිමත් වුනා”

ටෙලිකොම් සමිති නායකයන් පාවාදීම සූදානම් කලේ තනිව ම නොවේ; ඒ සඳහා ඔව්හු කම්රුවන්ගේ අරගල දුර්මුඛ කර විසුරුවා හැරීමේ නිපුන එක් සමිති කඳවුරක් වන වෘත්තීය සමිති මහසම්මේලනයේ (ටීයූසී) නායකයන් සහයට කැඳවා ගත්හ. ලංකා බැංකු සේවක සංගමය, සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය, ලංකා ගුරු සංගමය ඇතුලු සමිති ගනනාවක් මෙම සන්ධානයට ඇතුලත් ය. හිටපු වම්මුන්ගේ නව සමසමාජ පක්ෂය ද එහි වෘත්තීය සමිති ද මෙම ටීයූසී එක සම්බන්ධව වෘත්තීය සමිති පාවාදීම්වලට වාම කවරය සපයයි.

ටීයූසී කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය 9 දා පිකට් උද්ඝෝෂනයේදී ප‍්‍රකාශ කලේ ටෙලිකොම් අරගලය වටා රාජ්‍ය සහ පුද්ගලික අංශයේ කම්කරුවෝ දසදහස් ගනනින් රැලි කිරීමට තමන් සුදානම් බවය. ලංකා බැංකු සේවක සංගමයේ සභාපති අමරපාල ගමගේ කියා සිටියේ ආන්ඩුව පුද්ගලික අංශය සඳහා ගෙනඒමට සුදානම් වූ විශ‍්‍රාම වැටුප් පනත "පරාජය කල අපි ටෙලිකොම් සටන දිනවන හැටි දන්නා බවය” ඔවුන්ගේ පම්පෝරියෙන් පැය 24ක් ඇතුලත ටෙලිකොම් අරගලය පාවාදුනි.

ටෙලිකොම් කම්කරුවන් ඉල්ලීම් ගැටෙන්නේ වෙලඳපලේ තීව‍්‍ර තරගයකට මුහුන දී සිටින ටෙලිකොම් සමාගමේ ලාභ අවශ්‍යතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියෝගකර රාජපක්ෂ ආන්ඩුව විසින් ක‍්‍රියාවට දමන කම්කරු විරෝධී ආර්ථික ප‍්‍රතිසංස්කරන පිලිවෙත් සමග ය. එමෙන්ම ටෙලිකොම් පාලකයන් හා රාජපක්ෂ ආන්ඩුව ක‍්‍රියාවට දමන පිලිවෙත් ලෝක ධනවාදයේ වර්තමාන අර්බුදය තුල සෑම රටක ම ආන්ඩු විසින් ක‍්‍රියාවට දමන අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමේ කප්පාදු පිලිවෙත්වල කොටසකි. ටෙලිකොම් හා අනෙකුත් තැන්වල වෘත්තීය සමිති මෙම කප්පාදුව කම්කරුවන් මත පටවන උපකරන බවට පත්ව ඇත.

ටෙලිකොම් පාලනාධිකාරයේ දුෂන වංචා නැතිකර සමාගම තුල "යහ පාලනයක්” ඇති කිරීම මගින් කම්කරුවන්ගේ අයිතීන් දිනාගැනීමට හැකියි වෘත්තීය සමිති නායකයන් ගෙනයන ප‍්‍රචාරය මෙම සමිති ධනපති ව්‍යාපාර සමග පෙල ගැසී සිටින සැටි පෙන්නුම් කරයි.

ආයතන පාලකයන්ට හෝ ආන්ඩුවට බලපෑම් දැමීමට කොටුවීමෙන් කම්කරුවන්ට කිසිදු අයිතියක් දිනා ගැනීම ද අරගල මගින් අතීතයේ දිනාගත් අයිතීන් රැක ගැනීම ද අද නොහැකිය.

කම්කරු පන්තියේ රැකියා, වැටුප්, ජීවන තත්වයන් හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් රැක ගැනීම කලහැක්කේ රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයක් මගින් පමනි.

එය සමාජයේ ධනවත් අතලොස්සකගේ හා ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ උවමනාවන් නොව කම්කරු පන්තියේ හා බහුතර මහජනතාවගේ ආර්ථික, සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රීය උවමනාවන් ඉටුකිරීම සඳහා සැලසුම් ගත සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක‍්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් බලයට ගෙන ඒම පාදක කරගත් ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයකින් මග පෙන්වන්නාවූ දේශපාලන අරගලයක් විය යුතුය.

තම අරගලයේ පාඩම් ටෙලිකොම් කම්කරුවෝ බැරෑරුම්ව උකහා ගත යුතුය. සිය අයිතීන් දිනාගැනීමේ සැබෑ අරගලයක් ගෙනයාමට ඇති ප‍්‍රධාන බාධකය වෘත්තීය සමිති ය. ඔව්හු වෘත්තීය සමිතිවලින් බිඳී සිය අරගලය වර්ධනය කිරීම සඳහා කි‍්‍රයාකාරී කමිටු පිහිටුවා ගත යුතු ය.

සමාජවාදී සමානතා පක්ෂය විසින් අගෝස්තු 22 දින සවස 4ට කොලඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේ දී පවත්වන "නැගෙන කම්කරු අරගල රැල්ල සඳහා සමාජවාදී කි‍්‍රයාමාර්ගයක්” යන තේමාවෙන් පවත්වන රැස්වීමේ දී මෙම ඉදිරිදර්ශනය සාකච්ඡා කෙරේ. ඊට සහභාගි වන ලෙස ටෙලිකොම් සහ අවශේෂ කම්කරුවන්ගෙන් අපි ඉල්ලමු.