මධ්‍යම බැංකුකරුවෝ ගෝලීය බිඳවැටීම වලක්වා ගැනීමේ මං සොයති

Central banks seek to avert global meltdown

By Nick Beams , 1 December 2011

ප්‍රධාන යුරෝපීය බැංකු හයක් ඊයේ දිනයෙහි යුරෝපීය බැංකු ද්‍රවශීලතාවය ඉහල නැංවීමට යාම පෙන්නුම් කරන්නේ, යුරෝ කලාපයේ අර්බුදය, සමස්ත ගෝලීය මූල්‍ය පද්ධතිය ම බිඳ හෙලීමේ තර්ජනය මතු කර ඇතැයි ප්‍රමුඛ මූල්‍ය කවයන් තුල යන වැඩී යන භීති‍ය යි.

එක්සත් ජනපද මහ බැංකුවේ මූලිකත්වයෙන් ගත් හදිසි ක්‍රියාමාර්ගය, යුරෝපීය බැංකුවලට සපයන නය පොලිය කපා හරිනු ඇත. තත්වය පාලනය කර ගැනීමට යුරෝපීය බලධාරීන් අසමත් වනු ඇතැයි යන බියෙන්, ඇමරිකානු හා අනෙකුත් බැංකු, යුරෝපීය බැංකුවල අරමුදල් ඉවත්කර ගැනීමත්, නය සැපයුම වියැකී යාමත් මගින් ප්‍රහාරයට ලක්ව තිබුනි.

අර්බුදය පැතිරයාම පිලිබඳ තවත් සලකුනක් නම්, 2008 වසරෙන් පසුව පලමු වතාවට චීන බලධාරීන් ජාතික බැංකු විසින් ඉතිරිකරගත යුතු සංචිත ප්‍රමානයන් පහත හෙලීම ය.

යුරෝපීය මහ බැංකුව සමග එක්ව ෆෙඩරල් මහ බැංකුවත්, ජපාන, බ්‍රිතාන්‍ය, කැනේඩියානු හා ස්විට්සර්ලන්ත මහ බැංකු විසිනුත් කල මැදිහත්වීම, ලෝකය පුරා කොටස් වෙලඳපොලවල් උත්තේජනය කලේ ය. 2009 මාර්තුවෙන් පසුව දිනක් තුල සිදු වූ වැඩිම වර්ධනය සටහන් කරමින්, වෝල් වීදියේ ඩව් ජෝන්ස් දර්ශකය ඒකක 500න් ඉහල ගියේ ය.

මෙම පියවරයන්ගෙන් කෙටිකාලීන ඉස්පාසුවක් සැලසුනේවී නමුත්, සලකුනු කෙරී ඇති අර්බුදය ද්‍රවශීලතාව නොව නුබුන්වත්කම වන බැවින් එය ජයගැනීමට ඉන් කිසිදු පිටිවහලක් නොලැබෙනු ඇත.

ජපාන මූල්‍ය ආයතනයේ යුරෝපීය බැංකු පරියේෂන අංශ ප්‍රධානී ජොන් පීස් ගාඩියන් පුවත්පතට මෙසේ පැවසීය. “ මෙය වනාහි, රාජ්‍යයන්, බැංකුවල අවදානම තමන් වෙත පවරාගත් තෙවසරකට පෙර ඇතිවූ අර්බුදයේ පුනර්ජීවනයකි. 2008 දී රටවල් බැංකු ඇප දී බේරාගැනීමේ දී අවසාන විසඳුම වශයෙන් නය දෙන්නෙක් එහි පැවතුනි. මෙවර එම රටවලට ම අවසාන විසඳුම වන නය දෙන්නෙක් අවශ්‍යව ඇතත්, අවසන් විසඳුම්කරු වන නය දෙන්නෙක් පෙනෙනතෙක් මානයේවත් නැත.”

තෙවසරකට පෙර ප්‍රමුඛ කනස්සල්ල බවට පත්ව තිබුනේ, වැඩි හරියක් එක්සත් ජනපද මූල්‍යායතන විසින් විකුනූ සැකකටයුතු වත්කම්වල පිටුබලය සහිත සුරැකුම් කඳුගසාගෙන, ඒවාට නිරාවරනයවී සිටි යුරෝපීය බැංකුවල ස්ථාවරත්වය පිලිබඳ කාරනය යි. අද දවසේ උත්සුකයෙහි මූලාශ්‍රය නම්, යුරෝ කලාපයේ ආන්ඩු විසින් නිකුත්කරන ලද බැඳුම්කර මත කඳු ගැසී ඇති රාජ්‍ය නයට බැංකු නිරාවරනයවී පැවතීම යි.

මහ බැංකුවේ මැදිහත්වීම පැසසුමට ලක් කරන ෆිනෑන්ෂල් ටයිම්ස් හෙවත් එෆ්ටී පුවත්පත, ඇමරිකානු බැංකු පද්ධතිය මුහුන දී සිටින අන්තරායන් පෙන්වා දෙයි. යුරෝපීය බැංකුවල ආයෝජන විශ්වාසනීයත්වය නොමැතිකම පිලිබඳව අනතුරු අඟවන එය, “යුරෝ කලාපයෙහි ඩොලරය මත පදනම් කර ඇති බැංකු ශේෂපත්‍රයන්හි පාර්ශවයන් මිරිකීමට ලක් කෙරෙයි. මෙය ඩොලර් වත්කම් හදිසියේ අලෙවි කිරීමක් අවුලුවාලුවහොත්, වසංගතය එක්සත් ජනපද බැංකු කරා ද පැතිර යනු ඇත.”

මෙහි බැරෑරුම්කම අවධාරනය කරමින් එෆ්ටී පත්‍රය, “සැබෑ කනස්සල්ල” නම්, යුරෝ කලාපය තුල අන්තර් බැංකු නය ගනුදෙනු හා අනාරක්ෂිත අරමුදල් සම්පාදනය සිඳී යාමත් සමග යුරෝ අරමුදල් කොන්දේසි දැඩි වීම බවට අනතුරු අඟවයි. වෙනත් වචන වලින් කිවහොත්, සරලව ම යුරෝපීය මූල්‍ය වෙලඳපොලවල් කැටි ගැසීම, ලඟ ලඟම ඇති අන්තරාය යි.

01දා යුරෝ කලාපීය මුදල් ඇමතිවරු, වැඩිවන උත්තෝලනය සමගින් යුරෝපීය මූල්‍ය ස්ථාවර පහසුකම් ඉහල නැංවීමේ සවිස්තරාත්මක සැලසුම් සඳහා එකඟත්වය පල කලහ. ඔවුන්ගේ පියවර, නැව ගිලෙමින් තිබිය දී නාවික ගමනාගමනය පිලිබඳව දේශනා පැවැත්වීමකට සමාන ය. එය වනාහි, ආන්ඩු, බැංකු හා මූල්‍යායතන යුරෝපය තුල මුදල් යෙදවීම කෙරෙහි දක්වන මැලිකම, අර්බුදය විසඳීම කෙසේ වෙතත් එය සමග පොර බැදීමට පටන් ගැනීම පිනිස වත් සැලකිය යුතු අරමුදල්, ස්ථාවර පහසුකම් අරමුදලට ලැබෙනු ඇති බවට කිසිදු බලාපොරොත්තුවක් නොමැතිවීම පිලිබඳ ප්‍රකාශනය යි. උත්තෝලන සැලැස්ම ප්‍රකාශයට පත්කොට යන්තම් මාසයක් ගතවන විට ස්ථාවර පහසුකම් අරමුදල විස්තර කෙරෙන්නේ “ඊයේ විසඳුම” ලෙස යි.

මහ බැංකුවල මැදිහත්වීම සමග අත්වැල් බැඳගෙන, යුරෝ කලාපයේ රාජ්‍ය නය අර්බුද‍ෙය් මූල්‍ය හා දේශපාලන ඇඟවීම් පිලිබඳ අනතුරු ඇඟවීම් මාලාවක්ම නිකුත්ව තිබේ.

සිංගප්පූරුවේ සමුලුවක් අමතමින් ප්‍රන්සයේ මහ බැංකු අධිපති ක්‍රිස්ටියන් නොයර්, “මූල්‍ය වෙලඳපොලවල පුලුල් පදනමක් සහිත කඩාකප්පල් වීමක් වන සැබෑ මූල්‍ය අර්බුදයක් දෙස අපි දැන් බලා සිටින්නෙමු” යයි පැවසී ය.

කලෙක දී සිතාගැනීමටවත් බැරි දෙයක් ලෙස සැලකූ යුරෝ කලාපයේ බිඳ වැටීම, ගැන බැරෑරුම් අවධානයක් යොමුවෙමින් තිබේ. තමන් බිඳ වැටීමක් පිලිබඳව අනාවැකි පල නොකරන බව අවධාරනය කරමින් බ්‍රිතාන්‍යයේ මූල්‍ය සේවා අධිකාරිය, මහා බ්‍රිතාන්‍ය බැංකුවලට පවසා ඇත්තේ, එවන් සිදුවීමකට මුහුනදීම පිනිස හදිසි සැලසුම් සකස්කරගන්නා ලෙස ය.

යුරෝපීය ආර්ථික හා මූල්‍ය කටයුතු කොමසාරිස් ඔල්ලි රේන්, 01දා යුරෝපීය පාර්ලිමේන්තුව හමුවේ පැවැත්වූ කථාවක දී යුරෝ කලාපයේ බිඳ වැටීමක දිගු කාලීන ඇඟවුම් පිලිබඳව සඳහන් කර ඇත. “යුරෝපීය ආර්ථික හා මූල්‍ය සංගමය එක්කෝ වඩාත් ගැඹුරු ඒකාග්‍රකරනයකින් පරිපූර්නත්වයට පත් විය යුතු ය, නැතහොත්, අඩ සියවසකටත් වඩා පැවති යුරෝපීය ඒකාග්‍රවීම අනුක්‍රමයෙන් බිඳී විසිරී යාම අප පිලිගත යුතු ය”.

සත්‍යය නම් යුරෝපීය බලවතුන්ට ඒකාග්‍රිත යුරෝපයක් ඇතිකිරීමේ කිසිදු හැකියාවක් නොමැති කම යි. 2008 ආරම්භ වූ ගෝලීය මූල්‍ය බිඳවැටීම හමුවේ ඔවුන් අතර මතභේද තව තවත් පැතිර යාම වත්මන් අර්බුදයේ මූලික හේතුවක් වී තිබේ.

දෙසැම්බර් 9 දාට යෙදී තිබෙන යුරෝපීය නායක සමුලුව පෙන්නුම් කරමින් රේන් කියා සිටියේ, කෙටි කාලයේදී යුරෝපා සංඟමය, “අර්බුදයට අවසාන හා පරිපූර්න ප්‍රතිචාරය දැක්වීමේ තීරනාත්මක දින 10ට” මුහුනපා සිටින බවයි.

කෙසේ වෙතත් මතභේද වෙන කවර කලෙකටත් වඩා පුලුල්වී තිබේ. ප්‍රන්සය හා ජර්මනිය යන යුරෝපීය කලාපයේ මූලික බලවතුන් දෙදෙන ගැඹුරින්ම භේද භින්නව සිටියි. ජනාධිපති නිකොලායි සාකෝසිගේ ආන්ඩුවට අවශ්‍යව ඇත්තේ, එකිනෙකා සමග කුලල් කා ගන්නා යුරෝපීය ආන්ඩු සඳහා අවසාන විසඳුම්කාර නය දෙන්නා ලෙස යුරෝපීය මහ බැංකුව ක්‍රියා කිරීම යි. මේ අතර චාන්සලර් ඇන්ජිලා මර්කෙල්ගේ ජර්මානු ආන්ඩුව, හුදෙක් මෙහි අර්ථය අනෙකුත් යුරෝපීය ආන්ඩුවලට ඇප දීමට ජර්මනියට සිදුවන්නේය යන්න හා, තමන් අර්බුදය තුලට ගැඹුරින්ම ඇදගනු ඇතැයි යන්න පිලිබඳව බියපත්ව සිටියි.

විසඳුමක් සොයා නොගතහොත් එහි දිගු කාලීන ඇඟවුම් පිලිබඳව ප්‍රන්ස විදේශ ඇමති ඇලේන් ජුප්පෙ පුවත්පත් සාකච්ඡාවක දී අනතුරු ඇඟවී ය. පෝලන්ත විදේශ ඇමති රඩොස්ලාව් සිකොස්කි අනුගමනය කරමින් 01දා ඔහු, යුරෝ කලාපය බිඳ වැටීම අනාගතය සඳහා නරක ප්‍රතිවිපාක ජනනය කල හැකි බවත්, යුරෝපය මුහුනපා ඇත්තේ “අනුභූතික අර්බුදයකට” බවත් පැවසී ය. යුරෝවේ බිඳ වැටීම “යුරෝපීය සංගමය ම පුපුරා යාමට” තුඩු දිය හැකි බව ඔහු පැවසී ය.

එම අනපේක්ෂිත සිදුවීමේ දී “ ඕනෑම නරක දෙයක් ද ඇතුලුව ඕනෑම දෙයක් සිදුවිය හැකිය. දශක ගනනාවක් තිස්සේ අපගේ මහාද්වීපයෙහි ගැටුම් හටගැනීමේ අන්තරාය අප ජයගෙන ඇතැයි අපව ම රවටාගෙන ඇත්තෙමු. එහෙත් ඕනෑවට වඩා අපි ඒ කෙරෙහි විශ්වාසය නොතබමු.” යුරෝපීය මහ බැංකුවේ පුලුල් ක්‍රියාකාරිත්වය වෙනුවෙන් කෙරෙන ප්‍රන්ස ඉල්ලීම් කෙරෙහි ජර්මනිය නම්මා ගැනීමට පීඩනය යෙදීම ජුප්පේගේ ප්‍රකාශයන්හි අරමුනව තිබෙන නමුත් අර්බුදය තුල, යුරෝපයෙහි ආර්ථික හා මිලිටරි ගැටුම් සඳහා ශක්‍යතාවය ගැබ්ව තිබීම පිලිබඳව කිසිදු ප්‍රශ්නයක් තිබිය නොහැකි ය.

තව ද, 01දා මහ බැංකු මැදිහත්වීම පැහැදිලි කර ඇත්තේ, යුරෝපයේ බිඳවැටීම එක් රැයකින්ම පාහේ අවශේෂ ගෝලීය මූල්‍ය පද්ධතියට ම පහරදෙනු ඇති බවට භීතියක් පැතිර පවතින බවයි.

Share this article: