ශී‍්‍ර ලංකාව: සරසවි අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව ශිෂ්‍යයෝ උද්ඝෝෂනය තියුනු කරති

By Paninie Wijesiriwardena, 2 December 2011

නොවැම්බර් 22 දා කොලඹ නගරයේ වීදි ඔස්සේ පෙලපාලි දක්වමින් වෛද්‍ය සිසුන් දහසකට අධික සංඛ්‍යාවක් "මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරනු”යි ඉල්ලා උද්ඝෝෂනයක නිරත වූහ. කොලඹ වෛද්‍ය පීඨයෙන් ආරම්භ කොට මාවත් ගනනාවක් ඔස්සේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය දක්වා ගමන් කල මෙම පෙලපාලිය කොලඹ, ජයවර්ධනපුර, කැලනිය, රුහුනු සහ රජරට විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සමන්විත විය. "නිදහස් අධ්‍යාපනයට අත නොතබනු”, "උපාධි කඩ අහෝසි කරනු” සහ "රජරට වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය වහා පිහිටවනු” ආදී වශයෙන් වෛද්‍ය ශිෂ්‍යයෝ සටන් පාඨ හඬ නැගූහ.

demonstrationවෛද්‍ය සිසුහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂනය කරති

උද්ඝෝෂනය සූදානම් කර තිබුනේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව සරසවි සිසුන් අතර පැන නැගී ඇති බලවත් විරෝධය යටපත් කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව විසින් කි‍්‍රයාවට නංවා ඇති විවිධ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මර්දන පියවරයන් ‍නොතකා ය. මෙම පා ගමනෙන් පෙන්නුම් කෙරෙන්නේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සඳහා අරගලය කිරීමට සිසුන්ට ඇති බලගතු උවමනාවයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට වෛද්‍ය උපාධිය (එම්බීබීඑස්) පිරිනැමීම සඳහා මේ වසරේ දී අවසර ලබා දුන් අතර කොලඹ මධ්‍යයේ තවත් පුද්ගලික සරසවියක් ඉදි කිරීම සඳහා ද ආන්ඩුවේ අනුමැතිය ලැබී ඇත. ඉදිරියේ දී පුද්ගලික සරසවියක් ආරම්භ කිරීමට සැරසෙන ඉන්දියාවේ ආර්.එස්.එම් සරසවිය සඳහා ඉඩම් පහසුකම් ආන්ඩුවෙන් සැපයීමට නියමිත ය.

පෞද්ගලික සරසවි ආරම්භ කිරීම රටේ උසස් අධ්‍යාපනය සඳහා අවස්ථාවන් පුලුල් කිරීමක් ලෙස ආන්ඩුව හා විශ්වවිද්‍යාල බලධාරීන් ප‍්‍රකාශ කල ද ඒවායේ අය කරන ඉහල මිල ගනන් පෙන්නුම් කරන්නේ පාඨමාලා සඳහා ධනපති අතලොස්සකගේ දූදරුවන්ට පමනක් සීමා වන බවයි.

මේ අතර අරගලයට ඇදෙන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මර්දනය කිරීම වඩාත් ඉහල මට්ටමකට නැංවීම සඳහා ආන්ඩුව සෑම පියවරක්ම ගනිමින් සිටී. මහාචාර්ය ඒකකයක් ඉල්ලා රජරට සරසවියේ වෛද්‍ය පීඨ සිසුන් නොවැම්බර් 28 වන දා දියත් කරන ලද උද්ඝෝෂනය හේතු කොට ගෙන පාලකයින් විසින් සිසුන් සය දෙනෙකුගේ පන්ති තහනම් කිරීම ආන්ඩුවේ මෑතම ප‍්‍රහාරය යි. සති දෙකකට පෙර පේරාදෙනිය සරසවියේ සිසුන් හතරදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් කර ඇත්තේ වසරකටත් පෙර උසස් අධ්‍යාපන ඇමති සරසවියට පැමිනි අවස්ථාවේ විරෝධතාවයන්ට සහභාගී වීම හේතුවෙනි.

පසුගිය මාසයේ දී, මිලිටරි පාලනයකට සමාන හමුදා වාඩිලා ගැනීමක් පවතින උතුරේ යාපනයේ හා පරන්තන්හි හමුදා මුර පොලවල්වලට ආසන්නයේ දී, යාපනය සරසවියේ ශිෂ්‍ය නායකයන් මැර ප‍්‍රහාරයකට ලක් වූ අතර පොලීසිය හා ආන්ඩුව කිසිදු පරීක්ෂනක් සිදු කිරීම මඟ හැර සිටී. ආරක්ෂක අංශ හෝ ඒ හා වැඩ කරන අර්ධ මිලිටරි කන්ඩායම් මෙම මැර ප‍්‍රහාර සඳහා සම්බන්ධ බව බහුතරයකගේ පිලිගැනීම යි.

මේ ප‍්‍රහාරය ඉදිරියට ගෙන යමින් සෑම සරසවි භූමියක් තුලම පොලිස් ඒකකයක් පිහිටුවීමට තීන්දු කොට ඇතිබැව් උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක නොවැම්බර් 13 දා ද අයිලන්ඩ් පුවත්පතට ප‍්‍රකාශ කොට ඇත. කැලනිය සරසවියේ සිසුන් දෙපිරිසක් අතර මෑතක දී ඇතිවූ ගැටුමක් දඩමීමා කර ගනිමින් දිසානායක පවසා ඇත්තේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් අතර ගැටුම් නිරන්තරව සිදුවන තත්වයන් යටතේ මෙම තත්වයන් පාලනය කිරීමට විශ්ව විද්‍යාල තුල පොලීසි පිහිටුවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. එවන් ගැටුම් වැලැක්වීම සඳහා පොලිස් කාන්තාවන් ද සහිත පොලිස් මුරපොලවල් සරසවි තුල පිහිටුවීම පිලිබඳ සාකච්ඡා දැනටමත් සිදු වෙමින් පවතින බවද ඔහු තවදුරටත් පවසා ඇත.

මේ පියවරයන්ට අමතරව රට තුල වර්ධනය කෙරෙන පොලිස් මිලිටරි රාජ්‍ය සැලසුම්වලට සමගාමීව විශ්වවිද්‍යාල මිලිටරීකරනය කිරීම ද වේගවත් කර තිබේ. පසුගිය මාසයේ මුල සිට දිවයිනේ සියලුම සරසවිවල ආරක්ෂක අංශ ආරක්ෂක අමාත්‍යාංශය හා සම්බන්ධ ආරක්ෂක සමාගම් යටතට පත් කල අතර මේ වසරේ සිට සරසවිවලට ඇතුලුවන සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සති තුනක මිලිටරි පුහුනුවක් අනිවාර්ය කෙරුනි.

මෙම රාජ්‍ය මර්දනයන්ට හා පොලිස් මිලිටරි සැලසුම්වලට එරෙහිව ශිෂ්‍ය අරගල තවදුරටත් වර්ධනය වෙමින් පවතී. පේරාදෙනියේ අත්අඩංගවට ගැනීමට එරෙහිව සිසුන් 3,000 ගේ පමන සහභාගීත්වයෙන් පසුගිය 16 වන දා සරසවිය ඉදිරියේ විරෝධතාවයක් පැවැත්වින. මේ මස මුල දී රුහුනු විශ්වවිද්‍යාලයේ දී පලමු වසර සිසුන් හමුදාව සමග ශ‍්‍රමදාන ව්‍යාපාරයකට යොදා ගැනීමේ උත්සාහයක් ව්‍යර්ථ වූයේ ආචාර්යවරුන්ගේ සරසවි සේවකයන්ගේ හා ශිෂ්‍යයන්ගේ ඒකාබද්ධතාවයෙන් ගෙනගිය විරෝධතාවකිනි. ඉන් නො නැවතී රුහුනු සරසවියේ ශිෂ්‍ය නේවාසිකාගාරය තුලට රක්නා ලංකා ආරක්ෂක අංශ ඇතුලත් කිරීමට එරෙහිව ද ශිෂ්‍යයන් විරුද්ධ වූ අතර එම සිද්ධියෙන් පසුව ශිෂ්‍යයන් 6 දෙනෙකුගේ පන්ති තහනම් කොට තවත් තිදෙනෙකුට නවක වදය පැමිනවීමේ චෝදනා එල්ල කර තිබේ.

ශිෂ්‍ය අරගල වර්ධනයවත්ම පොලිස් ඒකක පිහිටුවීම යුක්තියුක්ත කරමින් එම වැඩ පිලිවෙල වේගවත් කිරීම සඳහා ආන්ඩුව නව උපායන් යොදමින් සිටී. මෙහි කොටසක් ලෙස පසුගිය 12 දා පේරාදෙනි සරසවි සිසු නේවාසිකාගාරයක ටී-56 ගිනි අවියක් හා ජීව උන්ඩ හමු වූ බවට මාධ්‍ය වාර්තා පල කෙරින. ඒ සමග ම ශී‍්‍ර ජයවර්ධනපුර සරසවියේ කලාගාරයක අලුත් වැඩියා කටයුතුවල නියුතු කම්කරුවන්ට අත්බෝම්බ 4 ක් හමු වූ බවද වාර්තා විය. මෙම සිද්ධියෙන් පසු ජයවර්ධනපුර විශ්වවිද්‍යාල බලධාරීන් සරසවි ශිෂ්‍ය සංගමය සීල් තබා වසා දමා ඇති අතර එහි දේපලවලට අලාභහානි කර ඇති බවටත් සිසුන් චෝදනා එල්ල කරති.

අධ්‍යාපනයේ පුද්ගලීකරනය, මහජන අධ්‍යාපනය සඳහා වියදම් කප්පාදුව හා ශිෂ්‍යයන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි ප‍්‍රහාරයන් අවශේෂ කම්රුවන්ට හා පීඩිතයන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන් සමග එකට ගමන් කරයි. කම්කරු පන්තිය හා තරුනයන් මත එල්ල කර ඇති මෙම ප‍්‍රහාරයේ මූලය ඇත්තේ යල් පැන ගිය ධනවාදී ලාභ පද්ධතිය තුලයි. මහජනතාවගේ සියලු අයිතීන් විනාශ කරමින් මූල්‍ය ප‍්‍රභූ ස්ථරයයන්ගේ ලාභ පොදි තර කර දීම සඳහා ලොවපුරා සියලු ආන්ඩු කම්කරුවන්, තරුනයන් හා ශිෂ්‍යයන් මත ප‍්‍රහාර එල්ල කිරීම වේගවත් කර ඇත.

ඇමරිකා එක්සත් ජනපදයේ හා බි‍්‍රතාන්‍යයේ සරසවි ශිෂ්‍යයන් අධ්‍යාපන කප්පාදුවලට සහ සරසවි පාඨමාලා ගාස්තු ඉහල නැංවීමට එරෙහිව ගෙනගිය සාමකාමී උද්ඝෝෂනවලට දෙරටේ ම පාලක පන්තීන් විසින් එල්ල කරන ලද ලේ වැකි මර්දනය‍ට මෙම ජාත්‍යන්තර ප‍්‍රහාරයේ බලගතුම ප‍්‍රකාශනයකි. "වෝල් වීදිය වාඩිලා ගැනීමේ ව්‍යාපාරයෙන්” ඇරැඹී ජාත්‍යන්තරව වර්ධනයවූ අසමානතාවයට එරෙහි විරෝධතාවලට ද රටක් රටක් පාසා පාලක පන්තීන් දැක්වූයේ එවැනිම ප‍්‍රතිචාරයකි. කැලිෆෝනියාවේ ඩේවිස් සරසවි පොලීසිය පසුගියදා සරසවි සිසුන්ට එල්ල කල මෘග ප‍්‍රහාරයේදී ඇමරිකා එක්සත් ජනපදය තුල 1941 න් පසු පලමු වතාවට රසායනික විදිනයන් සිසුන්ට එරෙහිව භාවිතා කරන ලදී.

රාජපක්ෂ ආන්ඩුව ගෙනයන කප්පාදු පිලිවෙත්වලට හා මර්දනයට එරෙහිව සටන් වැදීමේදී ප‍්‍රධාන ප‍්‍රශ්නය ලෙස මතුව ඇත්තේ දේශපාලන ඉදිරිදර්ශනය පිලිබඳ ප‍්‍රශ්නය යි. ගුනාත්මක උසස් අධ්‍යාපනයක් සැමට ලැබිය හැකි වන පරිදි අධ්‍යාපන පද්ධතිය පරිවර්තනය කිරීමට නම් ඒ සඳහා රුපියල් බිලියන ගනනින් යෙදවිය යුතු ය. එය කලහැකි වන්නේ අතලොස්සකගේ ලාභ අවශ්‍යතා සඳහා නිෂ්පාදනය කරන ධනේශ්වර ක‍්‍රමය තුල නොව මානුෂ අවශ්‍යතා කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර සමාජවාදී දේපල ක‍්‍රමයක් යටතේ පමනි. රාජපක්ෂ ආන්ඩුව පෙරලා දමා කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒම සඳහා සටන් කිරීමට ශිෂ්‍යයන් කම්කරු පන්තිය වෙත හැරී ගත යුතු බව සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ(සසජාශි ) හා සමාජවාදී සමානතා පක්ෂය (සසප)සිටිති.

මේ දේශපාලන වැඩ පිලිවෙලින් සන්නද්ධ වීමේදී ශිෂ්‍යයන් මුහුන දෙන ප‍්‍රධානතම බාධකය වන්නේ තම සම්ප‍්‍රදායික ශිෂ්‍ය සංවිධාන හා එහි නායකත්වයන් ය. සරසවි ශිෂ්‍ය සංවිධානයන්හි නායකත්වයන් විසින් ශිෂ්‍යයන්ගේ සටන්කාමිත්වය යොමු කරනු ලබන්නේ ප‍්‍රහාරයන්ගේ මූලය වන ධනේශ්වර පද්ධතියට හා එය ආරක්ෂා කරන ආන්ඩුවට එරෙහිව නොව, උසස් අධ්‍යාපන ඇමතිවරයාට, එම නිලධාරීන්ට හෝ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට එරෙහිව යි.

රාජපක්ෂ ආන්ඩුව බලයට ගෙන ඒමටත් දෙමල ජනතාවට එරෙහි යුද්ධයටත් සහයෝගය ලබා දුන් ජනතා විමුක්ති පෙරමුනු (ජවිපෙ) නායකත්වය යටතේ ක‍්‍රියාත්මකවූ දැන් ජවිපෙන් බිඳි ගිය විසංමතික කන්ඩායම යටතේ පවතින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) ශිෂ්‍යයන් ඉහත ඉදිරි දර්ශනයෙන් වලකා ඊනියා ශිෂ්‍ය දේශපාලනය යටතේ ආන්ඩුවේ ප‍්‍රහාරයන්ට ගොදුරු කිරීම සඳහා මූලිකව නියැලී සිටී.

පසුගියදා ඔවුන් විසින් පවත්වන ලද "ඉල් මහ විරු සමරුවේදී” එහි ප‍්‍රධාන කථික චමීර කොස්වත්ත කියා සිටියේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සමයේ නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට ගෙන ආ "අධ්‍යාපන ධවල පති‍්‍රකාවට" එරෙහිව ජවිපෙ ශිෂ්‍ය ව්‍යාපාරය ගෙනගිය අරගලය ජවිපෙ විසින් කරන ලද නිරවද්‍ය සහ සාර්ථකම අරගලයන්ගෙන් එකක් වන බවයි. "එම අරගලය මගින් ධවල පත‍්‍රිකාව පරාජය කිරීමට හැකිවුනා” යනුවෙන් එහිදී ඔහු ප‍්‍රකාශ කලේ ය. ධවල පත්‍රිකාව පසෙක තැබුවත් එහි අඩංගුව තිබුනු පියවරයන්ගෙන් බොහොමයක් දැනටමත් කි‍්‍රයාත්මක වෙමින් පවතී.

ශිෂ්‍යන්ට හා කම්කරුවන්ට එරෙහිව කි‍්‍රයාත්මක වන පොලිස් මිලිටරි යන්ත‍්‍රය වර්ධනය කිරීමට හා අධ්‍යාපනය සෞඛ්‍යය ඇතුලු සමාජ සුබ සාධන සඳහා වූ වියදම් කපා දැමීමට මූලිකව ම ඉවහල් වූ වර්ගවාදී යුද්ධයට මෙම විසංමතික කන්ඩායම ඇතුලු ජවිපෙ තම පූර්න සහයෝගය ලබා දුනි.

කොලඹ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව සිසුන් දේශපාලනිකව දඬු ගසන එවන් සංවිධානයකි. පසුගිය 22 දා වෛද්‍ය ශිෂ්‍යයන් පැවැත්වූ පෙලපාලියේදී සසප සිසුන් වෙත සමාජවාදී ඉදිරි දර්ශනය ඉදිරිපත් කිරීමට දැරූ ප‍්‍රයත්නයට මෙම ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව මුලුමනින්ම විරුද්ධ විය.

මෙම ඉදිරි දර්ශනය ඉදිරිපත් කරමින් සසප හා සසජාශි විසින් විසින් බෙදාහල "රාජපක්ෂ ආන්ඩුව මාලබේ වෛද්‍ය විද්‍යාලයට උපාධි අවසරය දෙයි” යන හිසින් යුත් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියේ පිටපත් ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටු නායකයින් විසින් ඉරා දැමූ අතර ලිපිය ලබා ගැනීමෙන් ශිෂ්‍යයන් වලකා සසප සාමාජිකයන් පොලීසියට කොටු කර දීමට ද උත්සාහ ගත්හ. එනමුදු සෑහෙන ශිෂ්‍ය සංඛ්‍යාවක් මෙම බාධාවන් මධ්‍යයේ ම එය කියවීමට පටන් ගත් අතර තවත් සමහරු මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවට තමන් විරුද්ධ බව සසප සාමාජිකයනට පැවසූහ.

ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ ප‍්‍රමුඛ තර්කය වූයේ තම අරගලයට "දේශපාලනය එපා” යන්නයි. එනමුදු ඔවුන්ගේ සටන් පාඨ වලින් කියැවුනේ නිශ්චිත දේශපාලනයක් ඇති බවයි: "අපි යන්නේ කොයි පාරේ, වෙනුර ත‍්‍රිමා ගිය පාරේ”. ත‍්‍රිමා විතාන යනු ජවිපෙ ශිෂ්‍ය දේශපාලන ව්‍යාපාරයේ යෙදී සිටිය දී 1988 ඔක්තෝබර් මාසයේ දී යූඇන්පී ආන්ඩුව යටතේ ඝාතනය කෙරුනු වෛද්‍ය ශිෂ්‍යයෙකි.

ජවිපෙ හා එහි ශිෂ්‍ය සංවිධානය එම කාලයේ කි‍්‍රයා කලේ සිසුන් අතර නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට පැවති බරපතල උවමනාවන් හුදු ශිෂ්‍ය දේශපාලනයකට හිර කිරීමට සහ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි වර්ගවාදී උද්ඝෝෂනයකට කොටු කිරීමට ය. සිසුන් කම්කරුවන් වෙත හැරී ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව සමාජවාදී පිලිවෙත් මත සටනකට යොමු කිරීමට විරුද්ධ වෙමින් ගෙනගිය එම දේශපාලන වැඩකටයුතු ෆැසිස්ට් කැරැල්ලක් ලෙසට වර්ධනය විය. එය, සිසුන් ද ඇතුලු ගම්බද තරුනයන් 60,000ක් පමන ලේවිලක ගිල්වීමට ද නායකයන් ද ඇතුලුව ජවිපෙ තලා දැමීමට ද යූඇන්පී ආන්ඩුවට ඉඩ පාදා දුන්නේ ය.

පා ගමන අවසානයේදී මෙම නායකයින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් හමුවූ විට ඔවුන් පැවසුවේ පුද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම ආන්ඩුවේ පිලිවෙතක් බැවින් තමනට කල හැකි කිසිවක් නොමැති බවයි. යලිත් වරක් ඔවුන්ගේ මූනට ම එල්ල වූයේ මෙම ප‍්‍රහාර ආන්ඩුවේ දේශපාලන පිලිවෙතින් නිර්නය කෙරී ඇති බැව් සහ එය පරාජය කිරීමට ධනේශ්වර පද්ධතියට එරෙහි ස්වාධීන දේශපාලනික කි‍්‍රයා මාර්ගයක් අත්‍යවශ්‍ය බවයි.

සිසුන්ගේ අයිතීන් රැක ගැනීමේ අව්‍යාජ අරගලයකට සතුරුව පිහිටා ඇති වෛද්‍ය සිසු කමිටුවේ ද අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩයේ ද දේශපාලනය මුලුමනින්ම ප‍්‍රතික්ෂේප කරන ලෙසත් සිය අරගලය දේශපාලනිකව වර්ධනය කිරීමට සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ සංවිධානයේ ශාඛා සියලූ ම විශ්වවිද්‍යාලවලත් අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලත් පිහිටුවන ලෙසත් අපි සිසුන්ගෙන් ඉල්ලමු.

Share this article: