බ්‍රැඩ්ලි මෑනින්ග් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාරය

Bradley Manning and the attack on democratic rights

19 December 2011

රහස් තොරතුරු හෙලි කල බ්රැඩ්ලි මෑනින්ග්ගේ නඩුව සමස්ත කම්කරු පන්තියට ම දැඩි අනතුරු ඇඟවීමකි. උපරිම වශයෙන් මරනීය දන්ඩනය නියම කල හැකි චෝදනා මත පූර්ව හමුදා අධිකරන පෙරහුරුවකට මුහුන දෙන 24 වියෙහි පසුවන නිල නොලත් හමුදා භටයා, ආන්ඩුවේ හා හමුදාවේ ලියවිලි සියදහස් ගනනක් හෙලිකිරීමේ චූදිතයා ය. මෙම ධෛර්ය සම්පන්න තරුනයාගෙන් පලිගැනීමෙහි අරමුන ඇමරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධ සියල්ලන් බියවැද්දීමයි.

2010 පෙබරවාරියේ දී‚ රහස් තොරතුරු හෙලි කරන විකීලීක්ස්‚ ඒවා සැපයීම ගැන මෑනින්ග්ට චෝදනා කෙරෙන ලියවිලි ප්‍රසිද්ධ කිරිම ඇරඹුවේ ය. මෙම ලියවිලි ලෝකය පුරා වෙනත් ආන්ඩු සමග ඇමරිකානු ආන්ඩුවේ හා ඔබාමා පරිපාලනයේ සාපරාධී සම්බන්ධතා හෙලිකලේ ය. මැද පෙරදිග තන්ත්‍රයන්ගේ දූෂන හා ම්ලේච්ඡත්වය හෙලිකිරීම‚ වසරකට පෙර ටියුනීසියානු නැගීටීමෙන් ඇරඹී කලාපය පුරා පැතිරුනු විප්ලවවාදී නැගිටීම් ගිනි ඇවිලවීමට උදව් කලේ ය.

බොහෝ ලිපි ගොනු ඇෆ්ගනිස්තානය හා ඉරාකය තුල එක්සත් ජනපද යුද අපරාධ ලේඛන ගත කලේ ය. ඉතාමත් පුපුරනසුලු නිකුතුව‚ එක්සත් ජනපද ආයුද සන්නද්ධ හෙලිකොප්ටරයක් බැග්ඩෑඩ් නගරය ආසන්නයේ දී, ලමුන් හා රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද ඇතුලු සිවිල් වැසියන් මරා දමන ආකාරය පෙන්වන “එක ගොඩේ මිනීමැරීම” නම යටතේ ප්‍රසිද්ධ කල වීඩියෝ පටය යි. එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් දැඩිව වාරනය කල කාලයක, එවැනි ම්ලේච්ඡත්වයක් වෙතට ඇමරිකානු මහජනතාව යොමු කිරීම, ඉරාකයේ වාඩිලාගැනීමට එරෙහි මහජන විරෝධය තීව්‍ර වීම තුල දැඩි බලපෑමක් ඇති කලේ ය.

සත්‍යවශයෙන් ම‚ මෑනින්ග් මෙම තොරතුරු පිට කිරීමට වග කිව යුතු නම්‚ මානව වර්ගයාට ඔහු කර ඇත්තේ විශාල සේවයකි. ඔහු සිදුකර ඇති එක ම වරද නම් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සැබෑ අපරාධ හෙලිකිරීම යි. ඔහු හමුදා අධිකරනය ඉදිරියේ පෙනී සිටින අතරතුර‚ නීති විරෝධී යුද්ධ දියත් කිරීමට‚ වධ හිංසා පැමිනවීමට හා මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනයට වග කිව යුතු රජයේ හා හමුදා නිලධාරීහු බොහෝ කොටම නිදැල්ලේ සිටිති.

හමුදාව විසින් අවුරුදු එක හමාරක් තිස්සේ රඳවා‍ගෙන සිටින මෑනින්ග් හුදකලාව සිර කර තැබීමට, බ‍ලෙන් නිරුවත් කිරීමට, නින්ද අහිමි කිරීමට හා වෙනත් කෲරකම්වලට යටත් කර තැබුනි. නඩු පිලිබඳ නියමිත ක්‍රියාදාමය සහ ඔහුගේ නීති උපදේශක හා මානව හිමිකම් විමර්ශකයින් පෞද්ගලිකව හමුවීම් ඔහුට තහනම් කර ඇත.

ඔහුගේ දුර්දශාව ජාත්‍යන්තර හිමිකම් සංවිධානවල මෙන්ම, ලෝකය පුරා ජනතාවන්ගේ හෙලා දැකීමට ලක්ව ඇත. සමස්ත දේශපාලන සංස්ථාපිතය හා ව්‍යාපාරික මාධ්‍ය සමග ඔබාමා පරිපාලනය මෙම අභියාචනයන්ට සලකා ඇත්තේ පිලිකුලෙන් හා නොතැකීමෙනි.

එක්සත් ජනපද ආන්ඩුව විසින් ගොතන ලද චෝදනා පිලිබඳව පාපොච්චාරනය කිරිමට ගුවන්තනාමෝ කඳවුරේ රැඳවියන්ට බල කෙරී තිබුන ආකරයෙන් ම මෑනින්ග්ට රජය සලකන ආකාරය ද ඔහුගේ අධිෂ්ඨානය බිඳීම වෙත එල්ල කෙරී ඇත.

විකී ලීක්ස් හා ගොතන ලද ලිංගික චෝදනා මත ස්වීඩනයට පිටුවහල් කිරීමට එරෙහිව දැනට අභියාචනා ඉදිරිපත් කර තිබෙන එහි ආරම්භක ජූලියන් අසාන්ජ් අඩපන කිරී‍මේ උත්සාහයේ දී මෑනින්ග් ඉත්තෙකු ලෙස යොදා ගැනීම ඔබාමා පරිපාලන‍යේ අපේක්ෂාවයි. ඔහුගේ අභියාචනය පැරදුනහොත්‚ අධිකරන දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදී චෝදනාව යටතේ නඩු පැවරීම හෝ එක්සත් ජනපද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ජීවිතාන්තය දක්වා හිරකරනු ලැබීම සඳහා එක්සත් ජනපදයට පිටුවහල් කිරීමේ අනතුරට අසාන්ජ් මුහුන දෙ යි.

ඔහුට එරෙහිව 32වැනි ඡේදය යටතේ සිදුවන නඩු විභාගය එහි සිව්වන දවසට පිවිසෙත් ම‚ මෑනින්ග්ගේ විත්ති පක්ෂයේ කන්ඩායමට, තමන් ඉල්ලා සිටි සාක්ෂිකරුවන් 48න් 46 කගේ සාක්ෂි නොමැතිව තර්ක ඉදිරිපත් කිරීමට සිදුවේ. නඩුවේ විනිසකරු ලෙස විමර්ශන නිලධාරියා හා අධිකරන අමාත්‍යංශයේ පැමිනිලි කරු ද වන ලුතිනන් කර්නල් පෝල් අල්මන්සා පත්කර තිබීම තුලින්, අධිකරන අමාත්‍යංශයට නඩු විභාගය කෙරෙහි සෘජු බලපෑමක් කල හැකිව ඇත. අල්මන්සාගේ රැකියාව යුක්තිය පිලිබඳ ගැටුමක් ඇතිකරන බවට විත්තිය දැක් වූ විරෝධය නොපිලිගන්නා බව පවසමින් ඔහු හා හමුදාව, ඉල්ලීම ප්‍රතික්ෂේප කලහ.

ඔබාමා පරිපාලනයේ ක්‍රමවේදය‚ එනම් දින නියමයක් නැති රඳවා ගැනීම්‚ වධ දීම්‚ තොරතුරු යටපත් කිරීම හා හමුදා බලපෑම් සහිත නඩු විභාග, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙත එහි ආකල්පය ගැන වෙලුම් ගනනාවක් කතා කර යි. බුෂ් පරිපාලනයේ යුදවාදී ප්‍රතිපත්ති කෙරෙහි වූ වෛරය ගසා කමින් ජනාධිපති පදවියට පත්වූ ඔබාමා, මිලිටරි ඔත්තු සේවා මෙවලම් සැලකිය යුතු තරම් පුලුල් කලේ ය. නව යුද්ධ දියත් කලේ ය. එක්සත් ජනපද පුරවැසියන් ඝාතනය ඇතුලුව නීතිය අභිබවන රාජ්‍ය ඝාතන ප්‍රතිපත්තියක් ස්ථාපිත කලේය.

“ඉතිහාසයේ වඩාත් ම විනිවිද පෙනෙන පරිපාලනය ” නිර්මානය කිරීමට පොරෙන්දු වීමෙන් පසු වාර්තාගත ප්‍රමානයක් දත්ත රාජ්‍ය රහස් ලෙස නම් කල ජනාධිපති, ඊට පෙර සියලු ම පරිපාලනයන්ට වඩා රාජ්‍ය රහස් හෙලි කරන්නන් සංඛ්‍යාවකට “ඔත්තු බැලීමේ” චෝදනා මත නඩු පැවරී ය.

පොලිස් රාජ්‍යයක් සඳහා නෛතික රාමුවට අනුමැතිය දීමට ජනාධිපති නොපැකිලව ඉදිරිපත්ව සිටි යි. එක්සත් ජනපද භූමිය මත රඳවාගෙන සිටින පුරවැසියන් චෝදනාවක් හෝ නඩු විභාගයක් නොමැතිව‚ හමුදා බන්ධනාගාර තුල‚ දින නියමයක් නොමැතිව රඳවා ගැනීමට ඉඩ දෙන ප්‍රතිපාදන ජාතික ආරක්ෂක අධිකාරී පනතට අඩංගු ය. පනතෙන්, අයිතිවාසිකම් ප්‍රඥප්තිය ඉරා දැමෙන අතර, බුෂ් පරිපාලනය විසින් ස්ථාපිත කල ප්‍රතිපත්ති එක එල්ලේ නීත්‍යානුකූල කර, ඇමරිකානු භූමිය මත ඒවා යොදා ගැනීම පුලුල් කර යි.

මෑනින්ග්ගේ නඩු විභාගය‚ සමස්ත එක්සත් ජනපද ‍දේශපාලන සංස්ථාපිතයේ ම සහාය ඇතිව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව එල්ල කෙරෙන ප්‍රහාර‍‍යේ ‍කොටසකි. ලෝකය පුරා අපරාධ සිදු කිරීමට නිදහස තිබිය යුතුවා පමනක් නොව‚ මෙම අපරාධ හෙලි කිරීමට උත්සාහ ගන්නා ඕනෑම අයෙකු දරුනු ම දඬුවම්වලට මුහුන දෙනු ඇතැ යි ද ආන්ඩුව එක එල්ලේ කියා සිටී.

එක්සත් ජනපදය තුල ප්‍රජාතන්ත්‍රවාදයේ පරිහානිය අහඹුවක් නො වේ. එය ඇමරිකානු හා ලෝක ධනවාදයේ බිඳවැටීම තුල ගැඹුරින් මුල් බැස ඇත. ලක්ෂ සංඛ්‍යාත ජනයා සඳහා සමාජ විනාශයක් නිර්මානය කර ඇති අර්බුදයට පාලක පන්තිය ප්‍රතිචාර දක්වා ඇත්තේ වඩ වඩාත් දරුනු කප්පාදු පියවර සමගිනි. ජාතික ධනය කිසිදා නොවූ තරම් කුඩා හා වඩාත් පොහොසත් මූල්‍ය ධනවතුන් තන්ත්‍රයක් අත ඒකරාශී වී ඇත.

මෙහි ප්‍රතිඵලයක් වශ‍යෙන්‚‍ ජනතාව පන්ති අරගලයට තල්ලු වෙමින් සිටිති. අන් සියල්ලටත් වඩා මේ හේතුව නිසා වොෂින්ටනය, පොලිස් රාජ්‍යයකට පදනම් දමමින් සිටී.

මරනීය දන්ඩනය නොවේ නම් බ්‍රැඩ්ලි මෑනින්ග්ගේ හිසට ඉහලින් ලඹ දෙනු‍යේ හමුදා බන්ධනාගාරයක ජීවිතාන්ත සිරදඬුවමකි. ඔහුගේ ජීවිතය පිලිබඳව උනන්දුවක් දක්වන හා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ යුද ප්‍රතිපත්තියට විරුද්ධ වැඩකරන ජනතාව, මෑනින්ග්ට හා අනෙකුත් තොරතුරු සපයන්නන්ට එරෙහි වෛරය, සමස්තයක් වශයෙන් කම්කරු පන්තියේ අයිතීන්ට හා ජීවන තත්වයන්ට එරෙහි ධනේශ්වර පන්ති ප්‍රහාරයට ඓන්ද්‍රීයව ම බැඳී තිබෙන බව හඳුනා ගත යුතු ය.

යුද්ධයට හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයට එරෙහි මහජන ව්‍යාපාරය, ස්වාධීන විප්ලවවාදී සමාජවාදී මූලෝපායක පදනම මත වර්ධනය කල යුතු ය. නිල නොලත් සෙබල මෑනින්ග් ආරක්ෂා කල හැක්කේ ඔබාමා පරිපාලනයට‚ මහා ව්‍යාපාරිකයන්ගේ පක්ෂ දෙකට හා ඔවුන් සේවය කරන ධනේශ්වර ක්‍රමයට එරෙහි කම්කරු පන්ති අරගලයේ කොටසක් ලෙස පමනි.

නයෝමි ස්පෙන්සර්

Share this article: