ඉරාක යුද්ධයේ යථාර්ථය

The reality of the Iraq War

21 December 2011

යුද මෙහෙයුම්වල නිරත සියලු ම හමුදාවන් ඉරාකයෙන් නිල වසයෙන් ඉවත් කර ගැනීම එරට තුල එක්සත් ජනපද මිලිටරි මැදිහත් වීමේ අවසානයක් සලකුනු නොකරන අතර, වත්මන් කාල පරිච්ඡේදයේ සාහසික ම අපරාධවලින් එකක් පිලිබඳව තක්සේරුවක් කර ගැනීමට එය අවස්ථාවක් සලසා දෙයි.

ඉරාක යුද්ධයට නිමාවක් සනිටුහන් කිරීමත් ඉරාකය තුල එක්සත් ජනපදයේ ඉහල ම අන දෙන නිලධාරී ජනරාල් ලොයිඩ් ඔස්ටින්ගේ පෙරලා පැමිනීමත් සටහන් කිරීම අරමුනු කර ගනිමින්, එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා දෙසැම්බර් 20 වෙනි දින හිමිදිරියේ මේරිලෑන්ඩ්හි ඇන්ඩෲස් ගුවන් හමුදා කඳවුරේ උත්සවයක් සංවිධානය කලේ ය. ජනධිපති ඔහුගේ අනුමැතිය පල කිරීමත් සමග ම ඔස්ටින් සඳහන් කලේ, "වසර නවයකට ආසන්න කාලයක ගමන් මග පුරා අපගේ හමුදාවන් විසින් ඉරාකය තුල දී අත් කර ගෙන ඇති ජයග‍්‍රහනයන් සත්‍ය වසයෙන් ම විස්මයජනක යි. ඔවුහු අපගේ සභාග හවුල්කරුවන් හා කාර්යයට කැප වූ සිවිල් බලඇනිය සමග එකමුතු වී, ම්ලේච්ඡ ආඥාදායකයෙකු බලයෙන් පහ කර ඉරාක ජනතාවට ඔවුන්ගේ නිදහස උදා කර දුන්නෝ ය” යනුවෙනි.

පෝලන්තය "නිදහස් කර ගැනීම” පිලිබඳව කතා කිරීමේ දී සේනාධිපති ගෝරිංට මේ සා හොඳින් එය ඉදිරිපත් කිරීමට නොහැකි වූවා විය යුතු ය.

"සටනේ නියුතු”අවසන් සෙබල කන්ඩායමත් ඉරාකයෙන් ඉවත්ව යාම කිසි සේත් ම රට තුල එක්සත් ජනපද මැදිහත් වීමේ නිමාවක් සලකුනු කරන්නේ නැත. කෙසේ වෙතත්, නූතන යුගයේ සාහසික ම අපරාධවලින් එකක් පිලිබඳ තක්සේරුවක් කර ගැනීමට එය අවස්ථාවක් සලසා දෙයි. "සාර්ථකත්වය” හා "නිදහස” පිලිබඳ පිලිකුල් උපදවන හා කෛරාටික දිවුරුම් දීම් කවරක් වුව, යුද්ධය හා මිලිටරි වාඩි ලා ගැනීම ඉරාකයේ මහජනතාව සඳහා ව්‍යසනයක්ව තිබෙන අතර, එක්සත් ජනපදයේ මහජනතාවට ඛේදවාචකයක් වී තිබේ.

ඇමරිකානු මිලිටරිය විසින් සිදු කරන ලද විලෝපනයේ පරිමාව පිලිබඳ යම් අදහසක් පහත සංඛ්‍යා ලේඛන විසින් ගෙන හැර පානු ලබයි:

* 2007 වසරේ සිදු කරන ලද විද්‍යාත්මක ඇස්තමේන්තුවලට අනුව, ඉරාක ආක‍්‍රමනයේ හා මිලිටරි වාඩි ලා ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස මිලියනයකට අධික ඉරාක වැසියන් පිරිසක් ඝාතනයට ලක්ව තිබේ. මිලියන 4.7ක මිනිසුන් ප‍්‍රමානයක් හෙවත් ජනගහනයෙන් සියයට 16ක් සරනාගතයින්ගේ තත්වයට පත් කර ඇති බව 2008 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කලේ ය.

* විදුලිබල පද්ධතිය ඇතුලු රටේ යටිතල පහසුකම් වනසා දමා ඇත. එක්සත් ජාතීන්ගේ ලෝකයේ නගරවල තත්වය, 2010-2011 නමැති වාර්තාවට අනුව, පැල්පත්වල වාසය කරන ඉරාක නාගරික ජනගහනයේ - එනම් සනීපාරක්ෂාව හා ජලය වැනි මූලික අවශ්‍යතාවන් පරිශීලනය කිරීමට නොහැකි යැයි නිර්වචනය කර ඇති පිරිසේ - ප‍්‍රතිශතය, 2003 වසරේ සියයට 20ට අඩු ප‍්‍රතිශතයක සිය 2010 වසරේ දී සියයට 53 මට්ටම දක්වා ඉහල නැග තිබේ.

* තථ්‍ය විරැකියාව සියයට 50ක් වන අතර උද්ධමනය සියයට 50ට වැඩි ය. වෛද්‍යවරුන් හා අනෙකුත් වෘත්තිකයන් සාමූහික වසයෙන් රට අත හැර ගොස් තිබෙන අතර - මෙම ප‍්‍රමානය යුද්ධයට පෙරාතුව රට තුල සිටි වෘත්තිකයන්ගෙන් සියයට 40 වසයෙන් ඇස්තමේන්තු කර තිබේ - අධ්‍යාපන පද්ධතිය මුලුමනින් ම පරිහානියට පත්ව තිබේ.

* ලදරු හා ලමා මරනවල ඇදහිය නොහැකි වර්ධනයක් ඉරාකය අත්දැක තිබේ. ලමුන්ගෙන් සියයට 28ක් උග‍්‍ර මන්දපෝෂනයෙන් පෙලෙන බව 2007 වසරේ වාර්තාවක් මගින් ඇස්තමේන්තු කර තිබේ. ඉරාක ආන්ඩුවේ ආයතනයක් වාර්තා කලේ, 2007 වසරේ දී ඉරාක ලමුන්ගෙන් සියයට 35ක් (එනම් මිලියන 5ක පමන ලමුන් ප‍්‍රමානයක්) අනාථ දරුවන් බව යි. සමස්ත පරම්පරාවක් ම තමුන්ගේ දෙමාපියන් මරා දමනු හෝ අතුරුදන් වෙනවා අත්දැක තිබේ.

* යුද්ධය හා මිලිටරි වාඩි ලා ගැනීමේ කාලය අතරතුර 4,500කට අධික එක්සත් ජනපද සොල්දාදුවන් සංඛ්‍යාවක් මරු වැලඳ ගෙන ද 30,000කට අධික සෙබල පිරිසක් තුවාල ලබා ද සිටිති. බරපතල මානසික කම්පනය සමග ඉරාකයෙන් පිටමංව ගිය දසදහස් ගනනක් සෙබලූන් මෙම සංඛ්‍යාවලට අඩංගු නැත.

* සම්පත් සම්බන්ධයෙන් ගත් කල, ඉරාකය, ඇෆ්ගනිස්ථානය හා පකිස්ථානය යන රටවල යුද්ධවල පිරිවැය, සෘජු විදයම් සහ සෞඛ්‍යය හා ආර්ථික වර්ධනය කෙරෙහි වන දීර්ඝ කාලීන බලපෑම ද ඇතුලත්ව ඩොලර් ටි‍්‍රලියන 4ක් පමන වන බවට ඇස්තමේන්තු කර තිබේ. බිලියන සිය ගනනක් ආරක්ෂක කොන්ත‍්‍රාත්කරුවන්ටත් ජාවාරම්කරුවන් අතටත් ගලා යාමට සලස්වා තිබේ. අවම වසයෙන් ඩොලර් බිලියන 16ක් පමන නොදැනීම නැති වී හෝ සොරකම් කර ඇත.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම, ඉරාකයේ යුද්ධය සාපරාධී ව්‍යවසායක් විය. එය විකුනනු ලැබුවේ, "සමූල ඝාතක අවි” පිලිබඳව ජාත්‍යන්තර පේ‍්‍රක්ෂකත්වයක් වෙත හිරිකිතයක් නැතිව පා කර හැරි මුසාවාදවල පදනම මත ය. එය සුලු හෝ ප‍්‍රකෝපකරනයකින් තොරව එක්සත් ජනපදයේත් ලෝකය පුරා මත් මහජන විරුද්ධත්වය හමුවේ දියත් කල ආක‍්‍රමනකාරී යුද්ධයක් විය. එය එක්සත් ජනපද තෙල් සමාගම්වල වරප‍්‍රසාදය සඳහා ලෝකයේ තෙල්වලින් වඩාත් පොහොසත් රටවල්වලින් එකක් යටත් කර ගැනීමේ අරමුනින් කල ජාත්‍යන්තර කොල්ලකාරී අභ්‍යාසයක් විය. ඒ අතර ම, මැද පෙරදිග තුල එක්සත් ජනපදයේ තත්වය පුම්බා ගැනීමටත් එහි මහා පසමිතුරු බලයන්ට එරෙහිව එක්සත් ජනපදයේ උත්තෝලනය වැඩි කර ගැනීමටත් එයින් බලාපොරොත්තු විය.

යුද්ධයේ අධිරාජ්‍යවාදී ස්වභාවයෙන් ගලා එන ඒවා ලෙස, ඉරාක යුද්ධය මගින් පහත සඳහන් සියලු ම දුෂ්ටත්වයන් සිහිපත් කරනු ඇත: එනම්, සාමූහික සිරගත කිරීම් හා අබු ග්‍රෙයිබ් හා අනෙකුත් සිර කඳවුරුවල දී ඉරාකීන් වධබන්ධනයට ලක් කිරීම; ෆලූජා නගරය සමතලා කිරීම; හදිතාවල දී සිවිල් වැසියන් 24 දෙනෙකු සමූල ඝාතනය කිරීම; මහමුදියාවල දී වයස 14ක ගැහැනු දරුවෙකු දූෂනය කොට මරා දැමීම හා අනතුරුව ඇගේ පවුල ම සමූල ඝාතනය කිරීම; රාත‍්‍රී වැටලීම් අතරතුර හා හමුදා මුරපලවල දී මෙන් ම ගුවන් යානා අවි හා ජෙට් යානාවලින් එල්ල කල මිසයිල හා බෝම්බවලින් නිතිපතා සිදු කල ඝාතන යනාදිය යි.

ඇමරිකානු අධිරාජ්‍යවාදය සමග ඉරාකයේ මාරක පොර බැදීම නිමා වී නැත. ලෝකයේ විශාලතම තානාපති කාර්යාලය වන ඉරාකය තුල එක්සත් ජනපද තානාපති කාර්යාලයේ 15,000ක කාර්ය මන්ඩලයක් සේවය කරයි. මිලිටරි වාඩි ලා ගැනීමේ දී ප‍්‍රමුඛ භූමිකාවක් ඉෂ්ට කල සීඅයිඒ නිලධාරීන් හා කුලී හේවායන් තව දුරටත් රට තුල රැඳී සිටිනු ඇත. දසදහස් ගනනක් මිලිටරි භටයෝ කලාපයේ තව මත් ලැග සිටින අතර, අවශ්‍ය වුවහොත් මෙහෙයුම්වලට විහිදුවා හැරීමට සීරුවෙන් තබා සිටිති.

ආරම්භක ආක‍්‍රමනයෙන් වසර නවයකට ආසන්න කාලයක දී ඉරාකය අස්ථාවර හා වේගයෙන් අධිකාරවත් වෙමින් සිටින පාලන තන්ත‍්‍රයක් මගින් පාලනය කෙරෙන අතර, බහුල කන්ඩායමික ගැටුම් විවෘත යුද්ධයක් වසයෙන් පුපුරා යාමට තර්ජනය කරයි.

යුද්ධය ඇමරිකානු සමාජය මත ද එහි මුද්‍රාව තබා ඇත. එක්සත් ජනපදයේ දසදහස් ගනනක් මිය ගොස් හා තුවාල ලබා සිටිනවා පමනක් නො ව ඩොලර් ටි‍්‍රලියන ගනනක් නාස්ති කර තිබේ. ගෘහස්ත දේශපාලනික ජීවිතය මත සහ ඇමරිකානු මහජනතාවගේ ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතීන් වෙත මාරක අනතුරක් ලෙස ඉස්මත්තට පැමිනෙන මිලිටරි-පොලිස් යන්ත‍්‍රනයක් වර්ධනය කිරීමෙහි ලා මිලිටරියේ වැඩෙන බලය සම්බන්ධයෙන් ගත් කල යුද්ධය ඉටු කර ඇත්තේ සුලු පටු කාර්යයක් නො වේ.

යුද්ධය දියත් කිරීමත් එය පවත්වා ගෙන යාමත් බුෂ් පාලනාධිකාරයේ කර්තව්‍යයක් වන අතර යුද්ධය කෙරේ මහජනතාව තුල පැවති විරුද්ධත්වය අන් අතකට හැරවීමේ හා බෙලහීන කිරීමේ කේන්ද්‍රීය භූමිකාව රඟ දැක්වුවේ ඩිමොක‍්‍රැටික් පක්ෂය හා එහි "වාම” ආධාරකරුවන් ය. යුද්ධය අරම්භයේ දී, වහා සිදු කිරීමට යන දාමරිකකමට විරුද්ධව ලෝකය පුරා මිලියන ගනනක් ජනයා සමග ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවන් එක් වීමත් සමග, වියට්නාම් යුද්ධයෙන් මෙපිට පැවති යෝධතම යුද විරෝධී උද්ඝෝෂන ඇමරිකාව අත්දුටුවේ ය.

යුද්ධයට තිතක් තැබීමට ඇමරිකානු ජනතාව දැරූ අනවරත උත්සාහයන්ට ඩිමොක‍්‍රැටියන් විසින් බාධා කරනු ලැබූ අතර, එහි කූට ප‍්‍රාප්තිය 2008 වසරේ ඔබාමා ජනාධිපති පුටුවේ ඉන්දවීමෙන් සනිටුහන් කෙරිනි. ඔබාමා නරුම ලෙස ගසාකනු ලැබූ දැවැන්ත යුද විරෝධී මනෝගතීන් ඔහුගේ ජයග‍්‍රහනය උදෙසා ඉටු කලේ සුලු පටු කාර්යයක් නො වේ.

නිල "යුද විරෝධී” කන්ඩායම්, යුද්ධයට පැවති සංවිධානාත්මක විරුද්ධත්වය 2004 සහ 2006 වසරවල ඩිමොක‍්‍රැටිකයන්ගේ මැතිවරන මෙහෙයුම් පිටුපසින් ගැට ගැසීම මගින් යටින් බිඳ දමා, එම විරෝධතාවන් අකුලා දැමීමට ඔබාමාගේ ජයග‍්‍රනය ඩැහ ගත්තේ ය. කෙසේ වෙතත්, ඔබාමා පාලන තන්ත‍්‍රය බුෂ්ගේ පිලිවෙතින් කැඩීමක් නියෝජනය කිරීමෙන් බෙහෙවින් දුරස්තව එහි සියලු මූලික ප‍්‍රතිපත්තීන් අඛන්ඩව ඉදිරියට ගෙන ගොස් තිබේ. ඔබාමා ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ මිලිටරි වාඩි ලා ගැනීම් එලෙස ම පවත්වා ගත්තා පමනක් නො ව, ඔහු ඇෆ්ගන් යුද්ධය පකිස්ථානයට ව්‍යාප්ත කලේ ය, එමෙන් ම තෙල්වලින් පොහොසත් තවත් රටක් වූ ලිබියාව තුල නව යුද්ධයක් දියත් කලේ ය.

ඉරාක යුද්ධයට තමන්ගේ විරුද්ධත්වය පල කල සංවිධාන ම අනෙක් පැත්තට ලිබියාවේ ආක‍්‍රමනයට උඩගෙඩි දුන්නේ ය. නේෂන් සඟරාව වැනි ප‍්‍රකාශන හා මධ්‍යම පාන්තික සංවිධාන, අධිරාජ්‍යවාදය සමග තමන්ගේ සහජීවනය ඇති කර ගැනීමට ඔබාමා තේරී පත් වීම ඩැහැ ගත්තේ ය.

ඉරාකයෙන් ආක‍්‍රමනකාරී හමුදා ඉවත් කර ගැනීම, නව හා පෙරටත් වඩා ලේ වැකි යුද්ධයක් සඳහා පවතින කෙටි විරාමයකි. ප‍්‍රධාන බලවතුන් අතර වඩා වර්ධනය වන ආතතීන් ඉස්මත්තට පමුනුවමින් ධනවාදී අර්බුදය නව අවධියකට සම්ප‍්‍රාප්ත වෙමින් තිබේ. සම්පත්වලින් හා වඩාත් ප‍්‍රමුඛ තර්ජනයන්ගෙන් - ඉරානය වැනි කලාපීය බලවතුන් හා චීනය වැනි වැඩෙන ලෝක බලවතුන් වෙතින් - අවධානය වෙනතකට හැරවූ තකතිරු වික‍්‍රමයක් ලෙස, එක්සත් ජනපද පාලක පන්තියේ ඇතැම් කොටස් මිලිටරි වාඩි ලා ගැනීම දුටුවෝ ය.

ඇමරිකානු පාලක පන්තිය සිය ජාත්‍යන්තර අවශ්‍යතාවන් සහතික කර ගැනීමේ දී නිර්දය ආකාරයෙන් ක‍්‍රියා කරන්නේ යම් සේ ද එලෙස ම සිය රට තුල දී කම්කරුවන්ගේ රැකියා හා සමාජ වැඩපිලිවෙලවලට ප‍්‍රහාර එල්ල කිරීමේ දී ක‍්‍රියාත්මක වෙනු ඇත.

ධනවාදී පද්ධතියට එරෙහි කම්කරු පන්තියේ සමාජ හා දේශපාලන ව්‍යාපාරයක කොටසක් ලෙස, එක්සත් ජනපදයේ යුද විරෝධී මනෝගතියේ යෝධ ධාරිතාව සිය ප‍්‍රකාශනය යලි සොයා ගත යුතු ය.

ජෝසප් කිෂෝර්

Share this article: