ඉරාකයෙන් හමුදා ඉවත් කර ගැනීම හා එක්සත් ජනපද මිලිටරිවාදයේ අනවරත පුපුරා යාම

The Iraq withdrawal and the continuing eruption of US militarism

14 December 2011

සියල්ලෝ ම නො ව අතලොස්සක් එක්සත් ජනපද මිලිටරි භටයින් ඉරාකයෙන් වහා ම ඉවත් කර ගැනීම ධවල මන්දිරය යොදා ගෙන ඇත්තේ බැරැක් ඔබාමා යලි පදවි ප‍්‍රාප්තියට වැඩම්මවීම සඳහා ගෙන යමින් තිබෙන උද්ඝෝෂනය සඳහා ගසා කෑමට ය. ඔබාමා මිලිටරිය සමග අනන්‍ය කිරීමත් හමුදා ඉවත් කර ගැනීම ඔහුගේ 2008 මැතිවරන උද්ඝෝෂනයේ දී දුන් පොරොන්දු ඉෂ්ට සිද්ධ කිරීමක් ය යන කියා පෑමට උඩගෙඩි දීමත් යන දෙක ම කර ගැනීමේ ඉලක්කයෙන් යුක්තව ජනාධිපතිවරයාගේ මූලෝපායිකයින් නරුම ප‍්‍රචාරක මෙහෙයුමක් ගෙන යමින් තිබේ.

"වසර නවයකට ආසන්න කාලයකින් අනතුරුව ඉරාකය තුල අපගේ යුදධය මෙම මාසයේ දී අවසන් වේ” යැයි නිවේදනය කිරීම සඳහා ජනාධිපතිවරයා සඳුදා දින ඉරාක අගමැති නූරි අල්-මලිකිගේ ධවල මන්දිර සංචාරය යොදා ගත්තේ ය. තෝරා ගනු ලැබූ ඇමරිකානු සොල්දාදුවන්ගෙන් සමන්විත පේ‍්‍රක්ෂක සභාවක් ඇමතීමට 14 වෙනි දින ඔහු හා ඔහුගේ බිරිඳ මිචෙල් උතුරු කැරොලිනාවේ ෆෝර්ට් බ‍්‍රැග් වෙත ගුවනින් ගියෝ ය.

මෑත මත විමසීම් පෙන්නුම් කරන්නේ ඉරාකයෙන් සියලු ම ඇමරිකානු මිලිටරි භටයන් මුලුමනින් ම ඉවත් කර ගැනීමට සෑම ඇමරිකානුවන් හතර දෙනෙකුගෙන් තිදෙනෙක් සහාය දෙන බව යි. එසේ ම, යුද්ධය සඳහා වැය කල සලිත කරවන පිරිවැය අතින් ගත් කල එය කල යුතු දෙයක් නොවූ බව ජනගහනයෙන් තුනෙන් දෙකක් විශ්වාස කරන බව ද එය පෙන්වා දේ.

වසර නවයකට ආසන්න යුද්ධය තුල දී 4,500කට ආසන්න ඇමරිකානු සොල්දාදුවන් හා මැරීන් භටයින් ප‍්‍රමානයක් මරු වැලඳ ගෙන තිබේ. මේ අතර දරුනු ලෙස තුවල ලැබූ දසදහස් ගනනක් වන සෙබලුන් නැවත සිය ගම්බිම්වලට පැමින සිටින අතර තවත් බොහෝ ගනනක් ජීවිතාන්ත කාලයක් දක්වා නොනැසී පවතිනු ඇති මානසික හා චිත්තවේගී ප‍්‍රකම්පනයට බඳුන්ව සිටිති.

මධ්‍යස්ථ ගනන් බැලීම්වලට අනුව, යුද්ධයේ පිරිවැය ඩොලර් ටි‍්‍රලියන 3.5 ඉක්මවනු ඇත. මෙම යෝධ බරපැන දරන ලද්දේ මිලියන ගනනක් ජනයා යැපෙන සමාජ වියදම්වලට හා රාජ්‍ය සේවයේ රැකියාවලට කෙලවරක් නැතිව කෙටීමෙන් උදුරා ගත් මුදල්වලිනි.

ඉරාකයේ ජනතාව සම්බන්ධයෙන් ගත් කල පිරිවැය අසාමාන්‍ය ලෙස ඉහල ගොස් ඇත. මිලියනයක් ඉරාක ජන ජීවිත අහිමි වී ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර තවත් මිලියන ගනනක් ජනයා තුවාල ලබා හෝ ඔවුන්ගේ ගෙවල්වලින් එලවනු ලැබ සරනාගතයින්ගේ තත්වයට පත් කර තිබේ. "ප‍්‍රකම්පනය හා භය ගැන්වීමේ" ක‍්‍රමයක් වසයෙන් බැග්ඩෑඩය මත බෝම්බ හෙලීම, ෆලූජා නගරය වට ලෑම හා අබු ග්‍රෙයිබ් වධ කඳවුරේ රැඳවියන් සාමූහික වධබන්ධනයන්ට ලක් කිරීම වැනි එක්සත් ජනපදයේ ද ඇතුලු සමස්ත ලෝකය පුරා මහජනතාව ත‍්‍රස්ත කල හා සලිත කල ලේ සීත කරවන සාපරාධී මෙහෙයුම් සමග යුද්ධය දිගු කාලීනව ජීවිත සමග බද්ධව තිබෙනු ඇත.

තමන්ගේ මැතිවරන උද්ඝෝෂනයේ දී දුන් පොරොන්දු ඉෂ්ට කිරීමක් හා යුද්ධයට තිත තැබීමක් වසයෙන් මෙම මස අග භාගයේ දී සම්පූර්න කරන්නේ යැයි කියනු ලබන ඉරාකයෙන් හමුදාවන් ඉවත් කර ගැනීම සූදානම් කිරීමේ දී ඔබාමා හුදෙක් 2008 වසරේ දී ඔහු විසින් තොරොම්බල් කරන ලද මිත්‍යාවන් ම යලි වටේ කර කවනවා පමනි. එකල ඔහු ප‍්‍රතිඥා දුන්නේ, සිය පාලනය බුෂ් පාලානාධිකාරයේ මිනීමරු පිලිවෙත්වලින් පැහැදිලි බෙදුම් කඩනයක් සලකුනු කරන ඇති බව යි. ඉන් වසර 4කට ආසන්න කාලයකට පසුත් එක්සත් ජනපද හමුදා බුෂ් පාලන තන්ත‍්‍රය යටතේ පැවතියාටත් වැඩි රටවල් ගනනක යුද්ධවල නිරතව සිටියි. ගුවන්තනමෝ වධ කඳවුර හා එහි මිලිටරි නඩු ඇසීම් ද ඒ හා බැඳුනු වධබන්ධන ද එක දිගට කෙරී ගෙන යයි. එමෙන් ම 2001 සැප්තැම්බර් 11 වෙනි දායින් ආරම්භකත්වය ගත් පොලිස්-රාජ්‍ය පිලිවෙත් බෙහෙවින් ප‍්‍රසාරනය කර තිබේ.

ඉරාකයෙන් හමුදා ඉවත් කර ගැනීමට ඔබාමාගේ අභිප‍්‍රායක් නොතිබින. සිදුව ඇත්තේ, එක්සත් ජනපද මිලිටරි භටයින් 20,000ක ප‍්‍රමානයක් රට තුල තව දුරටත් බින්නබස්සා තැබීම සඳහා අනුමැතිය ලබා ගැනීමට මලිකි ආන්ඩුව සමග ගිවිසුමකට යාම පිනිස කල සාකච්ඡා අසාර්ථක වීමේ ප‍්‍රතිඵලයක් ලෙස හමුදා ඉවත් කර ගැනීමට සිදු වීම යි. සිත් කා වදින කාරනය වූයේ ඉරාක නඩු විභාගවලින් ඇමරිකානු භටකායන් මුලුමනින් ම මුක්ත කරන ලෙස වොෂින්ටනය කල ඉල්ලීම යි. පසු ගිය වසර නවය මුලුල්ලේ සිදු කෙරුනු ඝාතන හා ම්ලේච්ඡත්වයන් සියල්ලට අනතුරුව එවැනි සහතිකයක් දීම ඉරාක මහජනයා විසින් එක හෙලා ම ප‍්‍රතික්ෂේප කර දමනු ලැබුනේ ය.

වත්මන් හමුදා ඉවත් කර ගැනීම වූකලි සමස්ත කලාපය පුරා ම යුද්ධය ව්‍යාප්ත කිරීම හා නොනවත්වා පවත්වා ගැනීම සඳහා එක්සත් ජනපද මිලිටරි බලකායන් ප‍්‍රති-ස්ථානගත කිරීමක් ලෙස හැඳින්වීම වඩා යෝග්‍ය වනු ඇත.

ඉරාකය තුල ම තත්වය වී ඇත්තේ, නිල ඇඳුම් පැලඳි භටයින් සිවිල් ඇඳුමෙන් සැරසුන නව හමුදාවක් මගින් විස්ථාපනය වීම යි. බැග්ඩෑගය තුල පිහිටි, වතිකානුවට වඩා ප‍්‍රමානයෙන් විශාල, යෝධ, බලකොටුවකට සමාන ඇමරිකානු තානාපති කාර්යාලය ඉදි කර තිබෙන්නේ, තාප්පවලින් වටවූ අක්කර 104ක වපසරියකින් යුතු ගෙඋයනක ය. මෙයට සමාන තවත් ගොඩනැගිලි දෙකක් දක්ෂින තෙල් කේන්ද්‍රය වන බස්රාහි හා උතුරෙහි පිහිටි කුර්දිස් අගනගරය වන ආර්බිල්හි කොන්සල් කාර්යාල වසයෙන් විවෘත කර තිබේ.

මෙකී ඇමරිකානු බලකොටු පවත්වා ගෙන යාම සඳහා 17,000ක් දක්වා වන කාර්ය මාන්ඩලිකයන් ප‍්‍රමානයක් යොදා ගනු ඇත. මෙම පිරිසට 5,500ක සන්නද්ධ මිලිටරි කොන්ත‍්‍රාත්කරුවන් ප‍්‍රමානයක් ද ඇතුලත් වනු ඇත. සීඅයිඒ ආයතනය ලෝකයේ කොතැනක හෝ එය සතු විශාලතම මධ්‍යස්ථානය මෙහි පවත්වා ගනු ඇති අතර වාර්තාවලට අනුව, පෙන්ටගනයේ ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් බලඇනියේ කොමාන්ඩෝ භටයින් සිය නිල ඇඳුමෙන් නොසැරසී රහසිගතව අඛන්ඩව රැඳී සිටිනු ඇත. මෙම සැලසුම්, එක්සත් ජනපදය කරමින් සිටින්නේ "මිලිටරියේ පෙනී සිටීම පෞද්ගලික කුලී හේවා ඛන්ඩයක පෙනී සිටීමෙන් විස්ථාපනය කිරීමක්" දැයි ප‍්‍රශ්න කිරීමට මැසචුසෙට්ස් ප‍්‍රාන්තයේ ඩිමොක‍්‍රැටික් සභිකයෙකු මෙන් ම ඔබාමාගේ අතිජාත සගයෙකු වන සෙනෙට් විදෙස් සබඳතා කමිටුවේ සභාපති ජෝන් කෙරී මෙහෙයවී ය.

ඉරාකයෙන් හමුදා ඉවත් කර ගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස යාබද කලාපයේ, සියල්ලට මත් ඉහලින් කුවේට් දේශ සීමාව හරහා හමුදා විහිදුවීමේ කටයුතු ශක්තිමත් වෙමින් ඇත. මේ වන විට මෙම දේශ සීමාවේ එක්සත් ජනපද මිලිටරි භටයින් 25,000ක් පමන ස්ථානගත කොට තිබෙන අතර එම සංඛ්‍යාව වැඩි කිරීමට සාකච්ඡා පැවතී ගෙන යයි.

තවත් දස දහස් ගනනක් සොල්දාදුවන්, නාවික භටයින් හා මැරීන් භටයෝ පර්සියානු ගල්ෆ් කලාපය හා අනෙකුත් රාජාන්ඩුවාදී ගල්ෆ් රාජ්‍යයන් වන බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන් හා සවුදි අරාබිය - ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය (ජීසීසී) නමින් හඳුන්වන මැද පෙරදිග ප‍්‍රතික‍්‍රියා මධ්‍යස්ථානය සැදුම් ලැබ තිබෙන්නේ මේවායිනි - විහිදුවා හරිනු ලබති. එක්සත් ජනපදය හා එහි බටහිර මිතුරන් විසින් ඉරානයට එරෙහි මිලිටරි තර්ජනය කිරීම් අඛන්ඩව උත්සන්න කරමින් සිටින අවදියක ජීසීසීය නේටෝවේ දිගුවක් බවට පරිවර්තනය කිරීමට වොෂින්ටනය වෑයම් කරමින් සිටී.

එක්සත් ජනපද අවශ්‍යතාවන් තර්ජනයට ලක් වන්නේ නම් ඉරාකය තුල මැදිහත් වීමට කලාපය තුල පවතින එක්සත් ජනපද මිලිටරි බලකායන් සූදානම් ද යන වග පසු ගිය 12 වෙනි දින එන්බීසී පුවත් සේවය විසින් ප‍්‍රශ්න කල විට, "ඔවුන් එසේ කරන බව මම දන්නවා" යැයි සෙන්ට්කොම් අන දෙන නිලධාරී ලුතිනන් ජනරාල් රොබට් කැස්ලෙන් පිලිවදන් දුනි.

ඇමරිකානු මිලිටරිවාදයේ දැන් සිදු වෙමින් පවත්නා ගෝලීය පුපුරා යාම ආරක්ෂක ලේකම් ලියොන් පැනෙට්ටා විසින් සිදු කරනු ලබන සංචාරයක දී සෑහෙන ප‍්‍රකාශනයක් ලබා ගෙන තිබේ. එම සංචාරයේ දී, නිවේදනය නොකල ගොඩ බැසීම් සැබවින් ම දෛනිකව සිදු කරමින් තිබේ.

15 වෙනි දින පැනෙට්ටා ඇෆ්ගනිස්ථානයේ කාබුල්වලට ගොඩ බැස්සේ ය. එක්සත් ජනපද මිලිටරිය කාබුල්වල තවත් ප‍්‍රචන්ඩ "කඩා පැනීමකට" සූදානම් වෙමින් සිටින අතර එක්සත් ජනපද මිලටරි මධ්‍යස්ථාන අඛන්ඩව පවත්වා ගැනීම සහ මිලිටරිය ආපසු කැඳවීම සම්පූර්න කිරීමේ අන්තිම වසර ලෙස ඔබාමා පාලනාධිකාරිය විසින් නම් කර ඇති 2014 වර්ෂයෙන් පසුවත් දීර්ඝ කාලයක් තිස්සේ දස දහස් ගනනක් ඇමරිකානු භටයින් රඳවා තැබීම එල්ල කර ගත් සාකච්ඡා එහි පැවැත්වෙමින් තිබේ.

කාබුල්වලට පැමිනීමට පෙර අප‍්‍රිකාවේ අර්ධද්වීප ප‍්‍රදේශයේ කුඩා රාජ්‍යයක් වන ජිබුටිවලට ද පැනෙට්ටා ගොඩ බැස්සේ ය. මෙම රාජ්‍යයේ මේ වන විට එක්සත් ජනපදය 3,500ක මිලිටරි බලකායක් විහිදුවා හැර ඇති අතර ඔවුහු මෙහි සිට සෝමාලියාව, යේමනය හා කලාපයේ අනෙකුත් රාජ්‍යයන්ට එරෙහිව වැඩි හැලහොල්මනකින් තොර ප‍්‍රහාර එල්ල කරමින් ද විශේෂ කාර්ය බලකායන් යොදා ගෙන මෙහෙයුම් දියත් කරමින් ද සිටිති. "ත‍්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයේ" කේන්ද්‍රය අප‍්‍රිකානු මහාද්වීපයට මාරු කොට තිබේ යැයි පැනෙට්ටා ඇඟවුම් කලේ ය.

මෙම සංචාරය අතරතුර තමන් ලිබියාවට ද ගොඩ වදින බව පැනෙට්ටා නිවේදනය කලේ ය. අප‍්‍රිකානු මහාද්වීපයේ යෝධතම තෙල් සංචිත මත සිය පාලනය සුරක්ෂිත කර ගැනීමටත් ටි‍්‍රපොලිවල වඩාත් කීකරු රූකඩ ආන්ඩුවක් ඇටවීමට "පාලන-මාරුවක්" කිරීමේ අරමුනිනුත් එක්සත් ජනපදය හා නේටෝව විසින් සයමස් යුද්ධයක් දියත් කරනු ලැබ තිබුනේ මෙහි ය.

අපි‍්‍රකාව දෙසට වන මෙම හැරී ගැනීම එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් චීන බලපෑම අභියෝගයට ලක් කරනු ලැබීමේ පලල් වෑයමක් සමග බැඳී පවතී. මෙය එහි අපිකේන්ද්‍රය සොයා ගන්නේ ආසියාව කරා ප‍්‍රදර්ශනාත්මකව එක්සත් ජනපදය "පෙරලා පැමිනීමෙහි" ය. මෙහි දී කලාපයේ ප‍්‍රධාන ආර්ථික බලවතා හා වෙලඳ හවුල්කරුවා වසයෙන් ඇමරිකානු ධනවාදය චීනය විසින් විස්ථාපනය කරනු ලැබීම මට්ටු කිරීමට මිලිටරිය යොදා ගනු ඇත.

ඉරාකයෙන් එක්සත් ජනපද හමුදා ඉවත් කර ගැනීම මිලිටරිවාදයෙන් ඉවත හැරීමක් නියෝජනය නො කරයි. ඒ වෙනුවට, එය ඉදිරියේ දී එලඹීමට නියමිත වඩාත් ව්‍යසනකාරී යුද්ධ සඳහා උපායාත්මක සූදානම් වීම්වල කොටසකි. ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ යුද්ධ උත්සන්න කල එක්සත් ජනපද මිලිටරිවාදයේ පුපුරනසුලු වර්ධනය පේ‍්‍රරනය වන්නේ පසු ගිය දශකයේ දැවැන්ත ලෙස ගැඹුරු වූ ඇමරිකානු ධනවාදයේ පරිහානිය හා ලෝක ධනවාදී පද්ධතියේ අර්බුදය විසිනි.

1930 ගනන්වල මහා අවපාතයේ සිට හට ගත් ගැඹුරු ම ආර්ථික අර්බුදයෙන් ශතවර්ෂයක් තුල තුන් වෙනි වතාවටත් ලෝක යුද්ධයේ තර්ජනය අන්කවරාදාටත් වඩා සුප‍්‍රකාශිතව ඉස්මත්තට එමින් තිබේ. මෙම තර්ජනයට එරෙහිව අරගලය දියත් කල හැකි වන්නේ, මිලිටරිවාදයේ හා යුද්ධයේ ප‍්‍රභවය වන ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහිව ස්වාධීන දේශපාලනික බලමුලු ගැන්වීමේ විධියකින් හා කම්කරු පන්තියේ ජාත්‍යන්තර ඒකාබද්ධතාව මගින් ම පමනි.

බිල් වෑන් ඕකන්

Share this article: