ඩිමොක‍්‍රටික් පක්ෂය හා මෙඩිකෙයා මත ප‍්‍රහාරය

The Democratic Party and the assault on Medicare

20 December 2011

පසුගිය සතියේ ඉදිරිපත් කරන ලද ද්වි-පාක්ෂික යෝජනාව හරහා ජ්‍යෙෂ්ට පුරවැසියන් හා ආබාධිතයන් සඳහා වන සාම්ප‍්‍රදායික මෙඩිකෙයා වැඩපිලිවෙල සෑම ප‍්‍රතිලාභියෙකුට ම මධ්‍යම ආන්ඩුවෙන් කෙරෙන ප‍්‍රතිපාදනයක් මගින් විස්ථාපනය කෙරෙනු ඇත. මෙම සැලැස්ම දෙවන ලෝක යුද්ධයෙන් පසු සමයේ එක්සත් ජනපදය තුල බලාත්මක කරන ලද වඩාත් ම අර්ථභාරී සමාජ සුභසාධන වැඩසටහන පුද්ගලීකරනයට හා විනාශ මුඛයට විවෘත කිරීමට දරන ලද නවතම උත්සාහය යි.

ඔරේගන් ඩිමොක‍්‍රටික සෙනට් සභික රොන් වයිඩන් හා විස්කොන්සින් රිපබ්ලිකන් සෙනට් සභික පෝල් රයන් විසින් ඉදිරිපත් කරන ලද සැලැස්ම යටතේ මධ්‍යම රජයෙන් පරිපාලිත මෙඩිකෙයා "හුවමාරුවක්” හරහා පෞද්ගලික සමාගම් වෙතින් රක්ෂනය මිල දී ගැනීමට භාවිතා කිරීම සඳහා "පාරිතෝෂික ආධාරයක” නිශ්චිත ප‍්‍රමානයක් මෙඩිකෙයා ප‍්‍රතිලාභීන්ට දෙනු ලැබීමට නියමිත අතර විකල්පයක් ලෙස සාම්ප‍්‍රදායික මෙඩිකෙයා ද පවතිනු ඇත. එම සැලැස්ම ආර්ථිකයේ වර්ධනය හා තවත් සියයට එකක ප‍්‍රමානයකින් වියදම් ඉහල යාම් සිිමා කල හෑකි අතර එම ප‍්‍රමානය ඉක්මවා ගියහොත් වියදම් කැපීමේ මාවත් සෙවීමට කොංග‍්‍රසයට සිදුවනු ඇත.

එලඹෙන 2012 මැතිවරනයේ දී ඡන්දදායකයින් පරත්වාරෝපනයෙන් හති වැටී සිටින ඔබාමා පරිපාලනය වයිඩන්-රයන් යෝජනාවෙන් දුරස්ථව සිට තිබේ. ඇමරිකානුවන් දස මිලියන ගනනක් මෙඩිකෙයා වැඩපිලිවෙල මත රඳී සිටින අතර එය පුද්ගලීකරනය කිරීමට ගන්නා පියවරයන් ගැඹුරින් ම මහජන විරෝධයට ලක් වේ. එහෙත් එම යෝජනාව පරිපාලනය ම සෞඛ්‍යාරක්ෂනය මත එල්ල කරන ප‍්‍රහාරය සමග මුලුමනින් ම ගැලපේ.

මෙඩිකෙයා වැඩසටහන මුලුමනින් ම අහෝසි කොට එහි තැනට පුද්ගලික රක්ෂනය මිල දී ගැනීම සඳහා වවුචර් පත් ලබාදීම යෝජනා කරමින් පසුගිය අපේ‍්‍රල් මාසයේ සෙනට් නියෝජිත රයන් ඉදිරිපත් කල යෝජනාවකට ඒ සමයේ කොංග‍්‍රස් ඩිමොක‍්‍රටිකයෝ විරෝධය දැක්වූහ. එහෙත් මෙඩිකෙයා වැඩසටහන බිඳ විසුරුවීම ඉලක්ක කරගෙන දැන් කෙරෙන "පාරිතෝෂික ආධාර” හා අනෙකුත් යෝජනා ඩිමොක‍්‍රටික් පක්ෂයේ සැලකිය යුතු කොටස්වල සහයෝගය දිනාගනිමින් සිටී.

ඩිමොක‍්‍රටික් පක්ෂ ලිබරල් සංස්ථාපිතයේ හොරනෑව වන නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ පසුගිය මාසයේ පල වූ ලිපියක් අවධානයට ලක්කල පරිදි "ඉහල යන අයවැය හිඟය හා මෙඩිකෙයා වැඩසටහනේ දීර්ඝ-කාලීන පැවැත්ම පිලිබඳ කාංසාවන් නිසා බොහෝ ඩිමොක‍්‍රටිකයන් එය පුද්ගලීකරනයට ගැඹුරින් ම විරුද්ධ වෙද්දී සමහර මධ්‍යස්ථ ඩිමොක‍්‍රටිකයෝ පාරිතෝෂික ආධාර පිලිබඳ අදහසට පිටුබලය දෙමින් සිටිති.”

සෞඛ්‍යාරක්ෂන කප්පාදු සහ වෛද්‍ය පරීක්ෂන හා කි‍්‍රයාපිලිවෙලවල් සලාක මත තැබීම සාධාරනීකරනය කිරීම සඳහා කතුවැකි හා ලිපි පලකරමින් ටයිම්ස් පුවත්පත තමන්ගේ ම උද්ඝෝෂනය ගෙනගොස් ඇත. "පාරිතෝෂික ආධාර” මත පදනම් වන සැලැස්මක් වෙනුවෙන් ආන්ඩුවේ පොදු වැඩපිලිවෙලක් ලෙස මෙඩිකෙයා වැඩසටහනේ පැවැත්ම අවසන් කිරීමට මූලධර්මයක් වසයෙන් සහයෝගය දෙමින් එය මේ මාසයේ කතුවැකි දෙකක් පලකොට තිබේ.

වයිඩන්-රයන් යෝජනාව මෙඩිකෙයා වැඩසටහන දුබල කෙරෙන නිර්දේශ ඉදිරිපත් කරයි. එම යෝජනාවලට "ධනවත් ජ්‍යෙෂ්ටයන්ට අඩුවෙන් උපකාර ලැබෙන” පරිදි මෙඩිකෙයා වැඩසටහන සුභසාධන පන්නයේ වැඩපිලිවෙලක් බවට පරිවර්තනය කරනු ඇත්තා වූ මූලික ලෙස වෙනස් කරන පරීක්ෂන ද අයත් වේ.

මෙම යෝජනා රක්ෂන සමාගම්වලට තවත් වරප‍්‍රසාදයක් අඩංගු කරගනී. "පාරිතෝෂික ආධාර” යාන්ත‍්‍රනය යටතේ මෙඩිකෙයා වෙතින් අරමුදල් ලබාගෙන පුද්ගලික රක්ෂනකරුවන්ට ලබා දෙනු ඇත. නො වැලැක්විය හැකි ප‍්‍රතිඵලය වනු ඇත්තේ සලාක මත තැබීම, සේවා ප‍්‍රතික්ෂේප කිරීම, ඉහල යන රෝග, පීඩා හා මරනය ප‍්‍රතිඵල කරමින් ඇමරිකාවේ වැඩිහිටි හා ආබාධිත ජනයාට ප‍්‍රමිතියෙන් පහත් සෞඛ්‍යාරක්ෂනයක් පමනක් හිමිවීම යි.

දේශපාලන සංස්ථාපිතයේ සියලුම කන්ඩායම්වල සහයෝගය ලැබෙන ආස්ථානය වන මෙඩිකෙයා හා අනෙකුත් තීරනාත්මක වැඩපිලිවෙලවලට ගෙවීමට "මුදල් නැත” යන්න වංචාවකි. එවැනි කියාපෑම් කරනු ලබන්නේ බැංකුවලට ඇප තැබීමට නිශ්චිතව නො කියන මුදල් ටි‍්‍රලියන ගනනක් වියදම් කරනු ලැබ එක්සත් ජනපයේ මිලිටරි කි‍්‍රයාන්විතයන්ට මුදල් සැපයීමට වසරින් වසර බිලියන සිය ගනනක් මුදල් ප්‍රයෝජනයට ගැනෙන තතු තුල හා ඇමරිකාවේ පොහොසත් ම 400 දෙනා ඩොලර් ටි‍්‍රලියන 1.3ක ධනය පාලනය කරද්දී ය.

දැන් ඔබාමා කවර ලෙසකින් පෙනී සිටියත් මෙඩිකෙයා පුද්ගලීකරනය කිරීම සෞඛ්‍යාරක්ෂන පද්ධතිය "ප‍්‍රතිසංස්කරනය” කිරීම සඳහා වන ඔහුගේ ආයාසයන්වල තර්කානුකූල ඉදිරියට ගෙන යාම යි. ඔබාමාගේ සෞඛ්‍යාරක්ෂන ප‍්‍රතිසංස්කරනයට ආරක්ෂනය දියුනු කිරීම, රක්ෂනය වී නොමැත්තන් රක්ෂනය කිරීම හෝ රක්ෂන සමාගම්වලට චෝදනා නැගීම සමග මොන ම සම්බන්ධයක්වත් නැත. සිය ජනාධිපතිවරන ලංසු තැබීමේ කාලය තුල පොදු සෞඛ්‍යාරක්ෂනය සඳහා ඔබාමා විසින් ඉදිරිපත් කරන ලද මාවත ඔහු බලයට පත්තැන් පටන් වියදම් කැපීමට දරන ලද නිර්දය ධාවනයට කවරයක් බව හෙලිදරවු වී තිබේ.

පරිපාලනයේ සෞඛ්‍යාරක්ෂන පනතට දකුනින් විරුද්ධ වන රිපබ්ලිකන් පක්ෂයට හා සෞඛ්‍ය සංගතයන්ට ඔබාමා සහනයෙන් පසු සහනය දී ඇති තතු තුල එම පනත "ප‍්‍රතිසංස්කරනයේ” මායාවක් සම්පාදනය කරනු ඇතැ’යි පැවති අවම ප‍්‍රතිපාදනයන් පවා පතුරු ගොස් තිබේ. දැන් අත්හැර දමා ඇති පනතේ සංරචකයන්ට අනෙක් ඒවාට අමතරව රක්ෂන හුවමාරු පිලිබඳ "පොදු විකල්පයක්”, දීර්ඝ-කාලීන ආවරනය, ආවරනය ප‍්‍රතික්ෂේප කරන ලද කම්කරුවන්ට ස්වාධීන මැදිහත්කරුවෙකුට ආයාචනා කිරීමේ හැකියාව ආදිය අයත් වේ.

සපයන ලද රක්ෂන ක‍්‍රම යටතේ ප‍්‍රතිලාභීන්ට සම්පාදනය කරනු ලැබීමට නියමිත ඒකරූපී "අත්‍යාවශ්‍ය සෞඛ්‍ය ප‍්‍රතිලාභ” කට්ටලයක් ලබා දීමට ප‍්‍රාන්ත කටයුතු කිරීම අවශ්‍ය නැතැ’යි පසුගිය සතියේ පරිපාලනය පැවසීය.

ඩොලර් බිලියන සිය ගනනක් කප්පාදු කිරීම වර්ධිත සෞඛ්‍ය සේවයක් නිෂ්පන්න කරනු ඇතැයි යන කියාපෑම මත පදනම් වන ඔබාමාගේ සෞඛ්‍යාරක්ෂන ප‍්‍රතිසංස්කරනයේ රාමුව දැන් මෙඩිකෙයා මත එල්ල කරන ප‍්‍රහාරයේ ආදර්ශයක් ලෙස සේවය කරයි. "පාරිතෝෂික ආධාර” යාන්ත‍්‍රනය පවා ඔබාමාගේ සැලැස්මෙන් සිය සංඥාව ලබාගනී. එනම්, අවස්ථා දෙකේ දී ම පෞද්ගලික රක්ෂනකරුවන්ගෙන් ආරක්ෂනය මිල දී ගැනීමට ආන්ඩුවේ සහනාධාර සම්පාදනය කරනු ලැබේ.

එක්සත් ජනපද පාලක ප‍්‍රභූවට හා එහි දේශපාලන නියෝජිතයන්ට මෙඩිකෙයා සේවය පුද්ගලීකරනය කිරීම නැවැත්වීමේ අභිලාෂයක් නැත. සමාජ ආරක්ෂනය ද ඇතුලුව පසුගිය වසර 75 පුරා බලාත්මක කරන ලද සමාජ ප‍්‍ර‍්‍රතිසංස්කරනයේ සෑම අංශූ මාත‍්‍රයක් ම බිඳදැමීම සාධාරනීකරනය කිරීමට ඔවුහු එම තර්ක ම භාවිතා කරනු ඇත. ඒ අතර ම දිලින්දන් සඳහා වන මධ්‍යම-ප‍්‍රාන්ත ඒකාබද්ධ සෞඛ්‍යාරක්ෂනය වන මෙඩිකේඩ් වැඩපිලිවෙල රටපුරා කෙරෙන අනුකම්පා විරහිත අයවැය කප්පාදුවෙන් පීඩා විඳිමින් සිටී.

සෞඛ්‍යාරක්ෂනය හා ආරක්ෂිත විශ‍්‍රාම යාමක්, හොඳ වැටුප් සහිත රැකියා, අධ්‍යාපනය හා නිවාස යන අති මූලික සමාජීය අවශ්‍යතාවන් මත එල්ල කෙරෙන මෙම ප‍්‍රහාරයට එරෙහිව සටන් කල හැක්කේ කම්කරු පන්තියේ මහා ස්වාධීන බලමුලු ගැන්වීම හරහා පමනි. මේ සඳහා සමාජවාදී කි‍්‍රයාමාර්ගයක පදනම මත ඔබාමා පරිපාලනයට හා මහා ව්‍යාපාරික පක්ෂ දෙකට ම එරෙහි දේශපාලන අරගලයක් අවශ්‍ය ය.

අතිශයින් දියුනු ම වෛද්‍ය සත්කාර ක‍්‍රම, ඖෂධ හා කි‍්‍රයාපිලිවෙලවල් එක්සත් ජනපදය තුල වර්ධනය කරන ලද තතු තුල මිලියන ගනන් ඇමරිකානුවන්ට යහපත් සෞඛ්‍යාරක්ෂනයට ප‍්‍රවේශය නොමැති වීම හා පුද්ගලික බංකොලොත් භාවයෙන් බොහොමයකට වෛද්‍ය බිල් වගකිව යුතු වීම ඇමරිකාව තුල නූතන කාලපරිච්ඡේදයේ ජීවිතය පිලිබඳ චෝදනා පත‍්‍රයකි. ජනගහනයෙන් අතිමහත් බහුතරයේ සෞඛ්‍යය හා ජීවිත පුද්ගලික ලාභයට යටපත් කරන ධනේශ්වර පද්ධතියට ශිෂ්ට සම්පන්න හා පොදු සෞඛ්‍යාරක්ෂනය නො පෑහේ.

සමාජවාදී සමානතා පක්ෂය ලාභය සඳහා වෙදකම අවසන් කිරීමටත් සියල්ලන්ට නොමිලයේ දෙන, ගුනාත්මක බවින් ඉහල, රජය හසුරුවන පද්ධතියක් ස්ථාපිත කිරීමට කැඳවුම් කර සිටී. මේ සඳහා දැවැන්ත රක්ෂන සමාගම්, ඖෂධ ව්‍යාපාර සමූහ හා සෞඛ්‍යාරක්ෂන සංගත ජනසතු කොට ඒවා මහජන අයිතිය හා කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ තැබීම අවශ්‍ය කරයි.

කේට් රැන්ඩල්

Share this article: