චීනයෙහි වුකාන් ගම්මානය වට ලෑම

The siege of Wukan village in China

24 December 2011

සාමූහිකව අයිති ඉඩම දූෂිත ලෙස ඉඩම් සංවර්ධන වෙලඳායතනවලට විකුනා දැමීමට විරෝධය පාමින් ගුවාංග්ඩොංග් පලාතේ වුකාන් ගම්වාසීන් කල අධිෂ්ඨාන සහගත අරගලය, චීනයේ ගම්බද ජනතාව අතර පමනක් නො ව නාගරික කම්කරු පන්තිය අතර ද සිදු වන්නට යන දෙය පිලිබඳ සංඥාවකි.

චීනය තුල උග‍්‍ර වන සමාජ ආතතීන් ප‍්‍රකාශයට පත් වන්නේ, බොහෝ විට දහස් ගනන් ජනයා සම්බන්ධ වන, නොයෙක් විරෝධතා සහ වර්ජනවලිනි. ගනන් බලා ඇති පරිදි, 2010 දී "මහජන කැලඹීම්” 180,000ක් හට ගත්තේ ය. එහෙත් මාස ගනනක් තිස්සේ පැවතී ගෙන ගිය වුකාන්හි අරගලය තරම් දිග් ගැසුනේ ඉන් කිහිපයකි. අත් අඩංගුවට ගැනීම් ද 20,000කින් සමන්විත කුඩා ප‍්‍රජාව සන්නද්ධව වට ලෑම ද ඇතුලූ මර්දනකාරී පොලිස් රාජ්‍ය වැඩ පිලිවෙලවල් තිබිය දීත් එය පැවතින. සති දෙකකට කලින්, විරෝධතාවල නායකයෙකුව සිටි සුයී ජින්බෝ සැක සහිත ලෙස පොලිස් අත් අඩංගුවේ දී මිය ගියේ ය.

සැප්තැම්බරයේ දී ගම්වාසීහු ප‍්‍රාදේශීය කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් පන්නා දැමූහ. ඉතිරි වූයේ හිස් පොලිස් ස්ථානයක් සහ රජයේ නිලධාරීන් පමනකි. ගම්වාසීහු තමන්ගේ ම නියෝජිත කමිටුවක් තෝරා පත් කර ගත්හ. සුයීගේ පුතු පැහැදිලි කල පරිදි: "පරිපාලන කටයුතුවල දී අප වඩා හොඳ බව අපට පෙනී ගියා. පැරනි නිලධාරීන් පිටමං වුනේ කාර්යාලය තුල තිබුනු ගිනුම් විස්තර ඔක්කෝමත් අර ගෙන. ඒ කියන්නේ ඒ ගොල්ලෝ අපට වංචා කරමිනු යි ඉඳලා තියෙන්නේ.”

වුකාන් විරෝධතාව ආරම්භ වූයේ, දූෂිත ස්ටැලින්වාදී නිලධරය පෙරලා දමා කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන පිහිටුවා ගත යුතු බව පෙන්නුම් කිරීමට ය. ගම්වැසියන් ගත් ආස්ථානය, ග‍්‍රාමීය පෙදෙස්වල සහ අසල්වැසි නිපැයුම් මධ්‍යස්ථානවල කම්කරු පන්තික පුලුල් කොටස් අතර සහානුභූතික ප‍්‍රතිචාරයක් දැල්වූවේය.

වුකාන්හි හට ගත් අරගලයෙන් පිබිදුනු 50,000ක් පමන ජනයා, ගල් අඟුරු විදුලි බලාගාරයක් නිසා සිදු වන පරිසර දූෂනයටත් එයින් ප‍්‍රදේශයේ ධීවර බිම්වලට සිදු වන බලපෑමටත් එරෙහිව, අසල්වැසි ෂැන්ටෝ නගරයේ හායිමන්හි දී විරෝධතාවල යෙදුනහ. ඊලඟ දිනයේත් ඔවුහු පොලිස් කඩාපැනීම් ද නොතකා ප‍්‍රධාන අධිවේගී මාර්ගයක් අවහිර කිරීමට පෙරලා පැමිනියෝ ය.

වුකාන් ගම්වාසීන්ට සහයෝගය පල කරමින් පලාතේ අගනුවර වන ගුවාංග්ෂුහි දී කුඩා විරෝධතා හට ගෙන ඇත. වුකාන් අරගලයට මහජන සහාය ඉල්ලමින් අත් පත‍්‍රිකා බෙදා හරින අය අතර කුඩා කම්කරු කොටස් ද සිටිති.

ගැඹුරු වෙමින් පවතින ගෝලීය ආර්ථික අර්බුදයට ප‍්‍රතිචාරයක් වශයෙන් රැකියා, වැටුප් සහ සේවා කොන්දේසි කප්පාදු කිරීමට ගුවාංග්ඩොංග්හි අපනයන කම්හල් හිමියන් ගත් පියවර නිසා, මෑත සතිවල දී එම කම්හල් වර්ජන මාලාවකින් හෙල්ලුම් කා ඇත. දෙසැම්බර් 10 දා, ශෙන්ෂෙන් හායිලියෑංග් ස්ටොරේජ් ප්‍රොඩක්ට්ස් කම්හලෙහි හට ගෙන තිබුනු වාඩි ලා ගැනීම බිඳීමට යැවුනු කැරලි මර්දන පොලීසිය සමග කම්කරුවෝ දහස් ගනනක් ගැටුනහ. කම්හල හිටි අඩියේ වසා දමා වැටුප් නො ගෙවා කලමනාකරනය අතුරුදන් වීමෙන් පසුව, ඩොංග්ගුවාන් එසෙන්ෂල් පේපර් ප්‍රොඩක්ට්ස්හි කම්කරුවෝ, දෙසැම්බර් 17 දා සිට පැය විසිහතර පුරා කම්හල වාඩි ලා ගෙන සිටිති.

චීන කොමියුනිස්ට් පක්ෂ (සීසීපී) නිලධරය විශේෂයෙන් ම අවුලට පත් වූයේ, ඉහල ම නායකත්වය ද ඇතුලු තනතුරු සඳහා රට පුරා ඡන්ද පවත්වන ලෙස වුකාන් ගම්වාසීන් කල ඉල්ලීමෙනි. එය වූකලි, පාලන තන්ත‍්‍රයට එරෙහිව රට පුරා වඩා පුලුල් කම්කරු පන්තික මහජන ව්‍යාපාරයක් පැන නැගුන හොත්, ඊට දේශපාලනික එල්ලයක් සම්පාදනය විය හැකි ඉල්ලීමක් විය.

වුකාන් ගම්වාසීන් ලූෆෙංග්හි පලාත් ආන්ඩු මූලස්ථානය කරා පෙලපාලියකින් යන බව නිවේදනය කිරීමෙන් පසුව, ගුවාංග්ඩොංග් පලාත් බලාධිකාරීහු අඩු ගනනේ තාවකාලිකව වත් අඩිය පස්සට ගත්හ. රඳවා ගෙන සිටි ග‍්‍රාමීය නියෝජිතයන් හතර දෙනා නිදහස් කිරීමටත්, තෝරා පත් කර ගත් ග‍්‍රාමීය කමිටුව නීත්‍යනුකූල කරන බවටත්, විරෝධතාවල නායකයෙකුව සිටි කමිටු සාමාජික සුයී පොලිස් අත් අඩංගුවේ දී මරනයට පත් වීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂනයක් පැවැත්වීමටත් ඔවුහු එකඟ වූහ.

කෙසේ වුව ද, වුකාන් විරෝධතාවට උපත දුන් වඩා පුලුල් සමාජ ආතතීන් සැහැල්ලු වන්නේ නැත. බීජිං තන්ත‍්‍රය 2007-08 ගෝලීය මූල්‍ය අර්බුදයට ප‍්‍රතිචාර දැක්වූයේ, ලාභ නය ප‍්‍රවාහයක් මුදා හරින ලෙස රාජ්‍ය බැංකුවලට අන කිරීමෙනි. එම නයවලින් වැඩි කොටස ගලා ගියේ නිශ්චල දේපල ව්‍යාපාරයේ සමපේක්ෂනය කිරීම වෙතට ය. සාමූහිකව අයිති ඉඩම් අත්පත් කර ගැනීම සඳහා වංචනික සැලසුම් සකස් කිරීමේ දී ඉඩම් සංවර්ධන වෙලඳායතන සමග එක්ව ක‍්‍රියා කල පලාත් ආන්ඩු, වාසිදායක දේපල ව්‍යාපෘතිවලට ඉඩ සලසා ගැනීම සඳහා ගොවීන් සහ ගම්වාසීන් බලාත්කාරයෙන් නෙරපා හැරියේ ය.

යුරෝපය, එක්සත් ජනපදය සහ ජපානය යන රටවලට කරන අපනයන මත බෙහෙවින් වාරු වී සිටින චීන ආර්ථිකය දැන් මන්දගාමී වෙමින් පවතී. කම්හල් හිමියෝ, පිරිවැය අඩු කල පසුව තමන්ට ලැබෙන ලාභය තුනී වෙමින් පවතින තතු තුල, කම්කරු සංඛ්‍යාව සීමා කරමින් ද ලාභ ශ‍්‍රමය සොයා කලාපයෙන් කලාපයට මාරු වෙමින් ද නැත හොත් කම්හල් මුලුමනින් ම වසා දමමින් ද සිටිති. දේපල මිල ගනන්වල සිදු වුනු ඉහල යාමෙහි හදිසි පහල වැටීමක් සිදු වන්නට ආසන්න ය. එසේ වුව හොත්, ඉන් නිර්මානය වන මූල්‍ය සංහාරය නිසා, විශේෂයෙන් ම දැවැන්ත නයවලින් මිරිකී සිටින පලාත් ආන්ඩු වැනසී යනු ඇත.

කම්කරු පන්තිය සහ ගම්බද ජනතාව මුහුන දෙන්නේ පොදු සතුරෙකුට ය. එනම්, 1978 සිට ක‍්‍රියාත්මක කෙරුනු ධනවාදය පුනස්ථාපනය කිරීමේ ක‍්‍රියාවලිවල ප‍්‍රතිඵලයක් ලෙස නිර්මානය වුනු සංගත ප‍්‍රභූන්ගේ අවශ්‍යතා නියෝජනය කරන පරපෝෂිත නිලධරයකට ය. චීන ජනතාවගෙන් අඩ බිලියනයකට ආසන්න ප‍්‍රමානයක් දිනකට එ.ජ. ඩොලර් 2ක් හෝ ඊට අඩු මුදලක් උපයා ගැනීමට වෙහෙසෙන අතරවාරයේ, රට තුල සිටින ඩොලර් මිලියන 535,000 මිලියනපතියන් සතු ආයෝජනය කල හැකි මුදල් ප‍්‍රමානය පසු ගිය වසරෙහි ඩොලර් ටි‍්‍රලියන 2.66ට ලඟා විය. එක්සත් ජනපදය, ජපානය සහ ජර්මනිය යන රටවල ආයෝජකයන් පසුපසින්, ඔවුහු ලෝකයේ සිව් වන විශාලතම ආයෝජක කන්ඩායම බවට පත් වූහ.

ධනපති පන්තියේ නැගීම පදනම් වූයේ, කෘෂිකර්මයේ සාමූහීකරනය බිඳ දැමීම සහ කම්කරුවන් සහ ගොවීන් අගාධයෙහි හෙලමින් රාජ්‍යය සතුව තිබුනු කර්මාන්ත විකුනා දැමීම හෝ හොරකම් කිරීම මත ය. 1998 සහ 2002 අතරතුර දී, ගම්බද සුලු නගරවල සාමූහික අයිතිය යටතේ පැවති ව්‍යාපාරවල සේවය කල මිලියන 20කට ද ඇතුලුව කම්කරුවන් මිලියන 60කට රැකියා අහිමි විය. ග‍්‍රාමීය ජනගහනයෙන් සුලු කොටසක් දියුනුවට පත් වුනු අතරවාරයේ, අතිමහත් ලෙස පුලුල් වෙමින් පැවති අධි සූරා කෑමට ලක් වන කම්කරු පන්තියකට එක් වනු වස් නගර කරා සංක‍්‍රමනය වීමට බල කෙරුනු බහුතරය අධම දරිද්‍ර තත්ත්වයන්ට ඇද වැටුනහ.

වුකාන් ගම්වාසීන්ට මෙන් කම්කරුවන්ට ද, කලමනාකරනයට, රාජ්‍ය පාලිත වෘත්තීය සමිතිවලට සහ ආන්ඩුවට එරෙහිව කැරැල්ලක් ගසා මිස තම අවශ්‍යතාවන් ආරක්ෂා කර ගත නොහැකි ය. ඒ සඳහා නම්, ජනතා නියෝජිත කමිටු පිහිටුවා ගැනීමත්, වැඩ බිම් වාඩි ලා ගැනීමත්, අනෙක් කම්කරු සහ ග‍්‍රාමීය ජනතා කොටස් වෙත හැරී ගැනීමත් අවශ්‍ය වෙයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ පොලිස් රාජ්‍යය ප‍්‍රතිසංස්කරනය කිරීමට නො ව අව්‍යාජ සමාජවාදී ඉදිරි දර්ශනයක් මත එය අහෝසි කර ලීම සඳහා කරන මෙම සටනේ දී, ගොවි ජනතාවට දේශපාලන නායකත්වය දිය හැක්කේ නාගරික කම්කරු පන්තියට පමනකි.

එම අරගලය නො වැලැක්විය හැකි ලෙස ම ජාත්‍යන්තර ස්වභාවයක් ගනු ඇත. බීජිං තන්ත‍්‍රයට එරෙහිව පැන නැගෙන ඕනෑ ම කම්කරු පන්ති ව්‍යාපාරයකට එක්සත් ජනපදය, යුරෝපය සහ අනෙක් දියුනු ධනපති මධ්‍යස්ථානවල මූල්‍ය ප‍්‍රභූ පැලැන්ති විරුද්ධ වනු ඇත. සහාය පතා ආසියාව පුරා සහ ජාත්‍යන්තරව වෙසෙන තම පන්ති සහෝදර සහෝදරියන් වෙත හැරීමට චීන කම්කරුවන්ට අනිවාර්යයෙන් ම බල කෙරෙනු ඇත. මෙම දේශපාලන සටන සඳහා අත්‍යවශ්‍ය න්‍යායික මාර්ගෝපදේශකය නම් ලියොන් ට්‍රොට්ස්කි ඉදිරිපත් කල නොනවතින විප්ලව න්‍යාය යි. පසුගාමී රටවල කම්කරුවන් දියුනු ධනපති රටවල කම්කරුවන් සමග එකමුතු කල හැකි ඒකාග‍්‍ර මූලෝපාය සැපයෙන්නේ එයිනි.

එලඹෙන නැගිටීම්වලට සූදානම් වීම සඳහා, චීනයෙහි කම්කරුවන් සහ තරුනයන්, ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය 1925-27 සහ 1949 චීන විප්ලවවල දී ද ඇතුලුව ස්ටැලින්වාදයට සහ මා ඕවාදයට එරෙහිව කල අරගලයේ දී ජාත්‍යන්තර කම්කරු පන්තිය ලද ප‍්‍රමුඛ මූලෝපායාත්මක අත්දැකීම්වලින් මතු වන පාඩම් උකහා ගත යුතු ය. එනම්, හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ලෙස චීන කම්කරු පන්තිය තුල නව විප්ලවවාදී නායකත්වයක් ගොඩ නැගිය යුතු ය.

ජෝන් චෑන්

Share this article: