ප‍්‍රවීන කලාකරු ප‍්‍රසන්න විතානගේ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ සසප උද්ඝෝෂනයට සහාය පලකරයි

By Panini Wijesiriwardana, 6 December 2011

ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් සිරගත කොට සිටින සියලු ම දේශපාලන සිරකරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන මෙන් ඉල්ලා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) ගෙන යන උද්ඝෝෂනයට තම පූර්න සහයෝගය ලබා දෙන බැව් ජාත්‍යන්තර සම්භාවනාවට පාත‍්‍ර වූ ප‍්‍රවීන කලාකරු ප‍්‍රසන්න විතානගේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග කල සම්මුඛ සාකච්ඡාවක දී පැවසී ය.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි වර්ගවාදී යුද්ධය 2009 මැයි මස අවසන් කිරීමෙන් අනතුරුව රාජපක්ෂ ආන්ඩුව විසින් 11,000 ක් දෙමල ජනයා "ත‍්‍රස්තවාදී සැකකරුවන්” ලෙස සලකා සිරගත කරනු ලැබීය. මේ වසර මුලදී රටේ හදිසි නීති තත්ත්වය අහෝසි කල නමුත් චෝදනා ඉදිරිපත් කිරීමෙන් හා නඩු විමසීමකින් තොරව 6,000ක් දෙනා මෙතෙකුදු රඳවා ගෙන සිටී.

ආන්ඩුවේ ප‍්‍රහාරවලින් කම්කරු හා පීඩිත ජනයාගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් ආරක්ෂා කිරීම සඳහා වූ පුලුල් අරගලයේ ආබද්ධ කොටසක් ලෙස දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමට ගෙනයන මෙම උද්ඝෝෂනයට කම්කරුවන්, ශිෂ්‍යයන්, අවශේෂ පීඩිතයන්, බුද්ධිමතුන් සහ කලාකරුවන්ගේ සහයෝගය දිනෙන් දින වැඩි වෙමින් පවත්නා අතර විතානගේ විසින් කරන ලද ප‍්‍රකාශය ඒ පිලිබඳ බලගතු සාක්ෂියකි.

දැනට 49 හැවිරිදි වියේ පසුවන විතානගේ 1986 දී බර්නාඩ් ෂෝ ගේ අවි සහ මිනිසා නාට්‍යයයේ සිංහල පරිවර්තනය නිෂ්පාදනය කරමින් කලා ක්ෂේත‍්‍රයට පිවිසි අතර 1992 දී සිසිල ගිනි ගනී චිත‍්‍රපටය අධ්‍යක්ෂනය කරමින් සිනමා ක්ෂේත‍්‍රයට ද අවතීර්න විය. ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ චිත‍්‍රපට උලෙලක් වන ඕසීඅයිසී චිත‍්‍රපට උලෙලේ දී තම ප‍්‍රථම චිත‍්‍රපටයට හොඳම අධ්‍යක්ෂන සම්මානය දිනා ගනිමින් විතානගේ තම නිර්මාන කුසලතා ප‍්‍රකට කලේ ය. විවිධ ජාත්‍යන්තර චිත‍්‍රපට සම්මානවලට හිමිකම් කී විතානගේ 1997 දී නිර්මානය කල පවුරු වලලු චිත‍්‍රපටයට සිංගප්පූරු ජාත්‍යන්තර චිත‍්‍රපට උලෙලේ දී හොඳම නිලිය සම්මානය ද එම වසරේ දී ම නිර්මානය කල පුරහඳ කලුවර චිත‍්‍රපටයට අමියාන් (Amiens) චිත‍්‍රපට උලෙලේ දී ග්රෝන් පී‍්‍ර (Grand Prix) සම්මානය ද හිමිකර ගැනීමට සමත් විය. ජාත්‍යන්තර සම්මාන හිමි කර ගත් ඉර මැදියම හා ආකාස කුසුම් ඇතුලු තවත් චිත‍්‍රපට ගනනාවක් ඉන් අනතුරුව නිර්මානය කල විතානගේ හොරු සමග හෙලුවෙන් සහ දෙබිඩ්ඩෝ වැනි වේදිකා නාට්‍යයන් නිර්මානය කරමින් සිනමා හා නාට්‍ය යන ක්ෂේත‍්‍රයන් දෙකේම නොකඩවා නියැලී සිටී.

මෙහි පහත පලවන්නේ ලෝසවෙඅ හි පානිනී විජේසිරිවර්දන ප‍්‍රසන්න විතානගේ සමග පසුගිය 30 වන දා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ පෙල යි.

පානිනී : දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා සසප හා සසජාශි ගෙන යන උද්ඝෝෂනය ඔබ දකින්නේ කෙසේද?

විතානගේ : ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයෙකු ලෙස මෙම උද්ඝෝෂනය ආරම්භයේ දී සසප විසින් පල කල ප‍්‍රකාශය මම කියෙව්වා. එහි සඳහන් කොට ඇති පරිදි ම මෙය කම්කරු පීඩිත ජනයාගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එල්ල කරන සමස්ත ප‍්‍රහාරයට එරෙහිව ගෙන යන අරගලයේ කොටසක්.

දැන් මේ වන විට අලුත්ම අයවැය නිකුත් වී තිබෙනවා. ජීවන වියදම උසුලා ගැනීමට නොහැකිව සිටි මහජනතාවට මෙයින් එල්ල කොට ඇත්තේ තවත් දරුනු පහරක්. ඒත් කම්කරුවන්ට හා අනෙකුත් මහජනයාට එයට එරෙහිව සටන් කිරීම සඳහා පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාධ්‍යයන් සියල්ලම අවහිර කරලා. කොටින්ම කියනවානම් මුලු රටම වේගයෙන් මිලිටරීකරනයට භාජනය කරමින් පවතිනවා. යුද්ධය අවසන් වුව ද අප ජීවත් වන්නේ යුදමය කොන්දේසි යටතේ.

බොහෝවිට දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ප‍්‍රශ්නය දකුනේ මහජනතාවට එල්ල වෙන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරයන්ගෙන් වෙන් කර ගැනීමේ ලක්ෂන දකුනේ දී අපි දකිනවා. නමුත් යුද්ධය මැදදී වර්ධනය කර ගත් මිලිටරි යන්ත‍්‍රය සහ මර්දන නීති සමස්තයක් ලෙස රටේම මහජනතාවට විරුද්ධව යොදා ගනු ලබනවා.

කොලඹ විදුලි බල කම්කරුවන්ගේ අරගලයට විරුද්ධව ආන්ඩුව විසින් හදිසි සේවා අවශ්‍යතා නීති යොදා ගනිමින් ඔවුනගේ සමාජ අයිතීන් දිනා ගැනීමට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවත් වන වර්ජන හා පෙලපාලි තහනම් කිරීමත් උතුරේ තරුනයන් චෝදනා විරහිතව සිරගතකොට තබා ගැනීමත් එකම ප‍්‍රහාරයේ කොටස් ලෙස අපි හඳුනා ගත යුතුයි.

මෙම දෙකඩ කිරීම ධනේශ්වර දේශපාලන පක්ෂ හා මාධ්‍ය විසින් දැනුවත්ව කර ගෙන යනු ලබන අතර පැරැනි වමේ පක්ෂ හා වෘත්තීය සමිති එයට අනුග‍්‍රහය ලබා දෙනවා. මේ තත්ත්වය මැද සසප පමනක් ම මෙම දෙකඩ කිරීමට විරුද්ධව, ආන්ඩුව ගෙන යන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරයන් පරාජය කිරීම සඳහා සිංහල, දෙමල කම්කරුවන් හා පීඩිතයන් එකමුතු කිරීමට ගෙන යන වැඩපිලිවෙලට මම මගේ පූර්න සහයෝගය ලබා දෙනවා.

පානිනී : කලාව ක්ෂේත‍්‍රයට මෙම ප‍්‍රහාර බලපාන්නේ කෙසේද?

විතානගේ : කලා කෘතියක් කියන්නේ කලා කරුවාගේ ආත්ම ප‍්‍රකාශනය යි. මෙම ආත්ම ප‍්‍රකාශනය සඳහා අන් සියල්ලටමත් වඩා කලාකරුවාට පූර්න නිදහස අවශ්‍ය යි. මිලිටරීකරනය වූ සමාජයක එවන් නිදහසක් කොයින්ද?

කලාව ක්ෂේත‍්‍රයේ මෙම මිලිටරීකරනය වේගවත් වන ආකාරය පිලිබඳ නවතම උදාහරනය හෝටන් පෙදෙසේ ලඟදී විවෘත වීමට නියමිත ජාතික රංග ශාලාවේ පරිපාලනය නාවික හමුදාවට බාර කිරීම යි.

ඔබ දන්නවා මගේ චිත‍්‍රපට අතරින් පුරහඳ කලුවර සහ ඉර මැදියම යන නිර්මාන වාර්ගික යුද්ධය මිනිසුන්ගේ ජීවිතවලට බලපා ඇති නිෂේධනීය ආකාරය සෞන්දර්යාත්මකව ප‍්‍රකාශ කිරීමට දැරූ ප‍්‍රයත්නයන් බව. සැබවින්ම ඒ චිත‍්‍රපටවලින් මම පේ‍්‍රක්ෂකයාට ගෙන ඒමට උත්සාහ කලේ යුද්ධයේ විනාශය උතුරේ දෙමල ජනතාවට පමනක් නොව දකුනේ සිංහල ජනතාවට මෙන්ම උතුරු නැගෙනහිර මුස්ලිම් ජනයාට ද කරන ලද විනාශය යි.

පුරහඳ කලුවර චිත‍්‍රපටය එවකට බලයේ සිටි ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුව විසින් වාරනයට ලක් කලා. එම වාරනය ඉවත් කෙරුනේ දුෂ්කර දීර්ඝ අරගලයකට පස්සේ. මෙම අරගලයේ දී සසප සහ එහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ ද, ලොසවෙ අඩවියෙන් ද ලැබුනු සහය මම ඉතා අගය කරනවා.

ඉන් අනතුරුව අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර වැනි යුද විරෝධී සිනමා කරුවන් විවිධ මර්දනයන්ට ලක් කරනු ලැබුවා. එක්තරා අවස්ථාවක මිලිිටරිය කෙලින් ම මැදිහත් වී ඔවුනට යුද විරෝධී චිත‍්‍රපට නොතනන ලෙස තර්ජනය කලා. මේ තත්ත්වය මැද කලාකරුවා සිටින්නේ තම ආත්ම ප‍්‍රකාශනය ස්වාධීනව හා නිදහස්ව ඉදිරිපත් කිරීමට ඉතා දුෂ්කර පසුබිමක බව ඔබට වැටහෙනවා ඇති.

මීට අමතරව යුද්ධය ඇතුලුව මහජනතාව මුහුන දෙන දුෂ්කරතාවන් නැතහොත් සැබෑ ජීවිතය පිලිබිඹු කෙරෙන කලා කෘති නිර්මානය කිරීම සඳහා අවශ්‍ය වියදම් සොයා ගැනීම විශාල ප‍්‍රශ්නයක්. ජාතික චිත‍්‍රපට සංස්ථාව මගින් නය පහසුකම් ලබා දීමේ ක‍්‍රමයක් කලින් කි‍්‍රයාත්මක වුනා. ඒත් දැන් සංස්ථාව මගින් නය පහසුකම් ලබා දීමේ දී යුද්ධය උත්කර්ෂයට නංවන එහි ජයග‍්‍රහනය හුවා දක්වන නිර්මානවලට ප‍්‍රමුඛත්වය ලැබෙනවා.

මේ තත්ත්වයේත්, යුද්ධය මධ්‍යයේ කලාකරුවන් තුල ඇති කෙරුනු සිංහල වර්ගවාදී මනෝගතියේත් බලපෑම මත බොහෝ කලාකරුවන් එවන් යුදවාදී චිත‍්‍රපට නිර්මානය කිරීමට පෙලඹී සිටිනවා. පසුගිය දිනවල එක දිගට ප‍්‍රදර්ශනය වූ චිත‍්‍රපට මාලාවේ තේමාව වූයේ එය යි. එහෙයින් කලාකරුවාගේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමේ සටන ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට විරුද්ධ සටන සමග අනිවාර්යයෙන්ම බැඳී පවතිනවා.

පානිනී : කලාව හැර අනෙකුත් ප‍්‍රකාශන මාධ්‍යයන්ට මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වාතාවරන බලපා ඇති අයුරු ඔබ දකින්නේ කෙසේද?

විතානගේ : මෙහිදී මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් කතා කරනවානම් නිල වාරනයක් නොමැති වුව ද අන් කවර කලෙකටත් වඩා මාධ්‍ය නිදහස උදුරා ගෙන ඇති පසුබිමකයි අපි ජීවත් වෙන්නේ. පවත්නා පාලනයට විරුද්ධව කවර හෝ විවේචනයක් ආන්ඩුව විසින් උසුලන්නේ නැති තත්ත්වයක්. එවන් විවේචන ඉදිරිපත් කල ධනේශ්වර මාධ්‍යවේදීන්මත් ඝාතනය කෙරුනා. නැත්නම් අතුරුදහන් කෙරුනා. එහෙමත් නැත්නම් කායිකව පහර දී හෝ බියවද්දා රටෙන් පිටවන තත්ත්වයකට පත් කරනු ලැබුවා. සත්‍යය දැන ගැනීමේ සහ ප‍්‍රකාශ කිරීමේ මූලික අයිතිය මුලුමනින්ම පාහේ උදුරාගෙන.

පානිනී : කලාවේත් සමස්තයක් ලෙස සංස්කෘතියේත් සිදුව ඇති පරිහානිය ඔබ වටහා ගන්නේ කෙසේද?

විතානගේ : සැබවින්ම මෙය වටහා ගැනීම සඳහා මට මූලික අත්වැල සැපයූවේ ලෝසවෙඅ යි. එහි කලා විචාරක ඩේවිඩ් වොල්ෂ්ගේ අගනා විශ්ලේශන මේ සඳහා මහෝපකාරී වුනා. මම එම ලේඛන මගේ සහෘද ජාතික හා ජාත්‍යන්තර කලාකරුවන්ට නිතර හඳුන්වා දෙමින් ඒ ගැන සාකච්ඡා කරනවා. මෑතක දී වොල්ෂ් විසින් ලියන ලදුව පියසීලී විජේගුනසිංහ සහෝදරියගේ අනුස්මරන සම්මන්ත‍්‍රනයේ දී විජේ ඩයස් විසින් ඉදිරිපත් කරන ලද පියසීලී විජේගුනසිංහ සහෝදරිය පිලිබඳ මතකය වෙනුවෙන් නම් වූ ලේඛනය මෙම ප‍්‍රශ්නයට සැපයූ ඉතා හොඳ පිලිතුරක් ලෙස මා දකිනවා.

සංස්කෘතියේ පරිහානිය ජාත්‍යන්තර ප‍්‍රපංචයක්. විශේෂයෙන් ම සමාජවාදී සංස්කෘතියේ ඇතිවී තිබෙන ඛාදනය කලාවේ පරිහානියට හේතුවන මූලික ම කරුන යි. ස්ටැලින්වාදීන්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් හා පැබ්ලෝවාදීන් කම්කරු පන්ති ව්‍යාපාරය තුල සිදුකරන ලද මහා පාවාදීම් මෙම සමාජවාදී සංස්කෘතිය බිඳ වැටීමට මූලික ම හේතුව යි. මීට අමතරව දශක තුනක සිවිල් යුද්ධය ලංකාවේ සංස්කෘතික පරිහානියට මූලික වශයෙන් බලපෑවා.

කලාකරුවකුට තම නිර්මාන කාර්යය සඳහා ආවේශය ගැනීමට කිසියම් ශුභවාදී අදහසක් එනම් පවත්නා සමාජය මිනිසාට වඩාත් යහපත් වූ සමාජයක් බවට පරිවර්තනය කල හැකිය යන අදහස තිබිය යුතුය. සෝවියට් සංගමය ද නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත‍්‍රයන් ද බිඳ වැටුනු පසු පොදුවේ එම ශුභවාදී අදහස පහව ගියා. එමෙන්ම කම්කරුවන්ගේ අරගල ද ක‍්‍රමයෙන් අඩුවීමක් දක්නට ලැබුනා.

20 වන සියවසේ ඉතිහාසයට අනුව හැම විටම කම්කරු පන්තියේ රැඩිකලීකරනය, සමාජවාදී ව්‍යාපාරය සමග අන්තර් ඡේදනය වීමෙන් තමයි සංස්කෘතියේ සුවිසල් වර්ධනයක් පෙන්නුම් කරලා තියෙන්නේ. අනෙක් අතට කම්කරු අරගල අඩුවීමත්, සමාජවාදී ව්‍යාපාරයේ පසුබෑමත් සමග ම සංස්කෘතියේ පරිහානිය ඇතිවී තිබෙනවා.

නමුත් දැන් තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා. ගී‍්‍රසියෙන් පටන් ගෙන යුරෝපය පුරා ඇවිලී ටියුනීසියාව හා ඊජිප්තුව හරහා ගමන් කොට දැන් ඇමරිකාවේ වෝල් වීදිය වාඩිලාගනු ව්‍යාපාරය ලෙස වර්ධනය වෙමින් පවත්නා මහජන සටන්කාමිත්වය නව බලාපොරොත්තු දල්වනවා. එහෙත් එම අරගල ලෝසවෙඅ පෙන්වා දෙන පරිදි ඉදිරි දර්ශනය සහ නායකත්වයේ අර්බුදයට මුහුන දෙනවා. නිසැකව ම ඔබ නියෝජනය කරන ජාත්‍යන්තර ව්‍යාපාරය එම ඉදිරි දර්ශනය සහ නායකත්වය සම්පාදනය කරන බවට සාරදර්ශී හැඟීමක් මට තියනවා.

පානිනී : මේ තත්ත්වය මැද ජනතා විමුක්ති පෙරමුනේ වත්මන් අර්බුදය ඔබ දකින්නේ කෙසේද?

විතානගේ : මෙම අර්බුදයේ මුල පවතින්නේ එහි ආරම්භක පන්ති ස්වභාවයෙන් සහ දේශපාලනයෙන් බව මට ඉතා පැහැදිලියි. එය ආරම්භයේ සිට ම නිර්ධන පන්තික ජාත්‍යන්තරවාදයට විරුද්ධ ජාතිකවාදී සුලු ධනේශ්වර ව්‍යාපාරයක්. දෙකට බෙදී තිබෙන කන්ඩායම් දෙක අතරේම අතිමූලික දේශපාලනික න්‍යායික මතභේදයක් මා දකින්නේ නැහැ.

පානිනී : ඔබ වර්තමානයේ නියැලී සිටින කලා කටයුතු සහ නව නිර්මාන පිලිබඳව යමක් දැන ගැනීමට කැමතියි.

විතානගේ : මම මේ දිනවල නව සිනමා කෘතියක් නිර්මානය කිරීම සඳහා එහි තිර රචනය කරමින් සිටිනවා. මෙම නිර්මානය 1940 ගනන්වල අග භාගයේ ශී‍්‍ර ලංකාවේ සමාජය පසුබිම් කර ගත් චිත‍්‍රපටයක්. මේ සඳහා අවශ්‍ය ඓතිහාසික කරුනු අධ්‍යයනය කිරීමේ දී සසප විසින් මෑතක දී ඉදිරිපත් කරන ලද ඓතිහාසික විශ්ලේශන මට ඉතා වැදගත් වුනා. මා මුලින් සිතා සිටියේ ලංකා සම සමාජ පක්ෂය (ලසසප) ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් හැටියට යි.

එහෙත් මා දැන් දන්නවා ඉන්දියානු උප මහද්වීපික කලාපයේ පලමු ට්‍රොට්ස්කිවාදී පක්ෂය ආරම්භ වුනේ 1942 දී ඉන්දියාවේ බොල්ශෙවික් ලෙනිනිස්ට් පක්ෂය (බීඑල්පීඅයි) හැටියට බව. එම පක්ෂය පිහිටුවීම මෙම කලාපයේ සමාජ ඓතිහාසික සන්ධිස්ථානයක්. විශේෂයෙන්ම කම්කරු පන්තික ජාත්‍යන්තරවාදය සම්බන්ධයෙන් එය ඉතා වැදගත්. එහෙත් එම පක්ෂය 1940 දශකය අග වසරවල දී තම ජාත්‍යන්තරවාදී මූලධර්මවලින් ක‍්‍රමයෙන් පල්ලම් බැසීමට පටන් ගෙන 1950 දී ලසසප තුල දියවී ජාත්‍යන්තර සමාජවාදී වැඩ පිලිවෙල පාවාදෙනු ලැබුවා. මේ පාවාදීම ලසසප 1964 දී අගමැති සිරිමා බන්ඩාරනායකගේ සභාග ආන්ඩුවට ඇතුලු වීමත් සමග ම කුලු ගැන්වුනා. සැබවින්ම යුද්ධයට සහ අද අපි අත් විඳින සියලුම ප‍්‍රහාරයන්ට මුල එම පාවාදීම යි. මගේ නිර්මානය තුල මෙම ඓතිහාසික කරුනු සෞන්දර්යාත්මකව ගෙන ඒමට මම උත්සාහ කරනවා.

Share this article: