ශ්‍රී ලංකා රජය ජනතාව මතට කප්පාදු අයවැයක් පටවයි

Sri Lankan government imposes austerity budget

By Saman Gunadasa, 30 November 2011

ගෝලීය අර්බුදය වඩා නරක අතට හැරීම මධ්‍යයේ ව්‍යාපාරිකයන් සඳහා බදු සහන දෙන අතර අයවැය වැඩ කරන ජනතාව මත නව බර පටවා ඇත.

රටෙහි මුදල් ඇමති ද වන ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊලඟ වසර සඳහා වන අයවැය නොවැම්බර් 21 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අන පිලිපදිමින්, මහා ව්‍යාපාරවලට තවදුරටත් බදු සහන ලබා දෙන අතරේ දී, ඔහු වර්තමාන වැටුප් කැටිකිරීම පවත්වා ගනිමින් කම්කරුවන් සහ ගම්බද දුගීන් මතට නව බදු බර පැනවීය.

ඉහල උද්ධමනයකට මං පාදන අත්‍යාවශ්‍ය භාන්ඩ මත නව බදු පැනවීම් ගනනාවක් හරහා ආන්ඩුව ලබන වසර තුලදී සියයට 20 කින් එනම් රුපියල් ට්‍රිලියන 1.1 (එජ ඩො. බිලියන 10) කට තම ආදායම වැඩි කර ගැනීමට සැලසුම් කරයි. එහෙත් තවත් රුපියල් මිලියන 469 ක අයවැය හිඟය, විදේශ සහ දේශීය බැංකුවලින් ලබාගන්නා නය වැඩිකිරීම් මගින් පියවා ගත යුතුව ඇත.

දේශීය කර්මාන්ත රැකගැනීමේ නාමයෙන්, කරවල, තිරිඟු පිටි, කොත්තමල්ලි, ලූනු සහ කහ ඇතුලත්ව ආනයනයන් පරාසයකට නව බදු පැනවීම් කර තිබේ. පෙට්‍රල්, ඩීසල්, සහ ආහාර පිසින ගෑස් සඳහා පැන වූ සියයට 10 කට ආසන්න අයවැයට පෙර සිදුකල මිල වැඩිකිරීම්වලට ඉහලින් මෙම පැනවීම් සිදු කර ඇත.

දේශීය සහ විදේශීය දුරකතන ගාස්තු සියයට 25 හා යතුරු පැදි සහ ත්‍රී රෝද රථ ඇතුලුව වාහනවල ලියාපදිංචි කිරීමේ ගාස්තු සියයට 25 සිට 50 දක්වා ඉහල දැමීමට රාජපක්ෂ යෝජනා කලේය.

භාන්ඩ සහ සේවා ගනනාවක මිල ගනන් ඉතා ඉහල යෑමකට තුඩු දෙන, ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියලෙහි අගය සියයට 3 කින් අවප්‍රමාන කිරීම ද අයවැයෙන් නිවේදනය කෙරින.

ආන්ඩුව 2006 පටන් ක්‍රියාවට දමන ප්‍රබල වැටුප් කැටිකිරීම දිගටම පවත්වා ගෙන යයි. ලබන වසරේදී රාජ්‍ය අංශ සේවකයන් සඳහා රුපියල් 1,000 සිට 1,500 අතර සියයට 10ක මාසික දීමනාවක් රාජපක්ෂ නිවේදනය කලේය. විශ්‍රාමිකයන් සඳහා ලැබෙන මුදල ඊට වඩා අඩුවන අතර පුද්ගලික අංශය ගැන සඳහනක්වත් නැත. වැඩිවන දීමනා ප්‍රක්ෂේපිත මිල ඉහලයෑම් සඳහා හිලව් කල නොහේ.

රාජපක්ෂ, දුගී පවුල් සඳහා දෙනු ලබන රුපියල් 250 සිට 750 දක්වා වන සොච්චම් සහනාධාර ගෙවීම් කපා නොහැරි අතර ගොවීන් සඳහා වන සීමිත පොහොර සහනාධාරය ද අඩු කලේ නැත. එවන් වූ ක්‍රියාමාර්ග ගම්බද පලාත්වල මහා මුලාවෙන් මිදී විරෝධතාවයන් අවුලවනු ඇති බව ඔහු හොඳින් දනී.

අයවැය ව්‍යාපාරික ප්‍රභූවට ත්‍යාගශීලී බදු කපාහැරීම් පුද කර තිබේ. බැංකු සහ මූල්‍ය අංශවලට සියයට 7 හෝ 8 කින්ද අපනයන කර්මාන්ත සහ සංචාරක ව්‍යාපාරවලට සියයට 12 සහ 15 අතර සංඛ්‍යාවකින්ද ලාභ මත අයකරන බදු අඩු කර ඇත. රුපියල් මිලියන 50 සහ 2,500 අතර ආයෝජන සඳහා වසර 4 සිට 12 දක්වා වූ බදු සමා කාලසීමාවක් දේශීය සහ විදේශීය ආයෝජකයන් හට ලබා දී තිබේ.

බ්ලූම්බර්ග් වෙබ් අඩවියට කතා කරමින්, ජාමූඅ නේවාසික නියෝජිත කොෂි මතායි පරිස්සමින් අයවැය ගැන මෙසේ ප්‍රශංසා කලේය. “විනිමය අනුපාතය සකස් කිරීම හරි දිශාවට තැබූ පියවරක්." අයවැය සම්බන්ධව ජාමූඅ හි ආරම්භක අදහස වූයේ එය බලධාරීන් මුලින් ප්‍රකාශයට පත්කල සැලසුම් සමග පුලුල්ව ගැලපෙන" බවත් එනයින් "එය ජාමූඅ ඉල්ලීම් සමග සමපාත වන බවත්" යයි ඔහු පැවසීය.

ආර්ථික තත්වය සමාලෝචනයක් කිරීමට ජාමූඅ කන්ඩායමක් ජනවාරියේදී කොලඹට පැමිනේ. ගෝලීය මූල්‍ය කඩාවැටීම හේතුවෙන් පැනනැගුන ගෙවුම් ශේෂ අර්බුදය වැලැක්වීමට සහ දෙමල ඊලම් විමුක්ති කොටින්ට (එල්ටීටීඊ) එරෙහි යුද්ධය වෙනුවෙන් වැයවුන දැවැන්ත මිලිටරි වියදම සඳහා 2009 ජූලි හිදී රජය ජාමූඅ‍ ඩො. බිලියන 2.6 ක නයක් ලබාගත්තේය.

රුපියල බාල්දු කරන්නට තිබෙන රජයේ නොකැමැත්ත සහ මූල්‍ය හිඟ ඉලක්ක සපුරාගන්නට නොහැකිවීම පෙන්වා දෙමින් අවසන් නය වාරික දෙක ජාමූඅ විසින් නවත්වා දැමින. රාජපක්ෂගේ අයවැය කතාවට අනුව, හිඟය මේ වසර සඳහා දදේනි යෙන් සියයට 7 ක් සහ ලබන වසරේදී සියයට 6.2 ක්ද වේ. එය ජාමූඅ ඉලක්කවලට වඩා ඉහල ප්‍රතිශතයකි.

රුපියලෙහි අගය පවත්වාගෙන යාමට මෑත මාසවලදී විදේශ විනිමය වෙලඳපොලෙහි අවම වශයෙන් ඩොලර් බිලියන 1 ක් වියදම් කල මහ බැංකුව රුපියල අවප්‍රමාන කිරීමේ රජයේ තීරනය විවේචනය කලේය. මහ බැංකුව රුපියල්වලින් නම්කරන ලද රාජ්‍ය බැඳුම්කර අලෙවි කරමින් සිටි අතර රුපියල වැටීම තුලින් ආයෝජකයින් තම මුදල් ආපසු ගන්නට උත්සාහ දරනු ඇතැයි සැලකිලිමත් වෙයි.

කෙසේ වුවද, අයවැය සකස්කල භාන්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර මාධ්‍යයට ප්‍රකාශ කලේ, ව්‍යසනයක දී හැරුනු විට වෙලඳපොල බලවේගයන් රුපියලෙහි අගය තීරනය කල යුතු බවයි. ඔහුගේ ප්‍රකාශය, රුපියල සියයට 20 කින් පමන අධිප්‍රමාන කර ඇති බවත් අපනයන ඉහල නැංවීමට රුපියල අවප්‍රමාන කල යුතු බව, කියන මහා ව්‍යාපාරිකයන් කොටසකගේ අදහසේම පරාවර්තනයක් විය.

රජයේ වියදමෙන් වැඩි කොටසක් වැය වනුයේ රටෙහි මිලිටරි යාන්ත්‍රනය නඩත්තු කිරීමට සහ නය ආපසු ගෙවීමට ය. රුපියල් බිලියන 230 ක් වන ආරක්ෂක වියදම් සහ රුපියල් බිලියන 914 ක් වන නය ආපසු ගෙවීම් එකතුව අයවැය වියදමෙන් සියයට 50 කට වඩා වැඩිය.

අයවැයට පසුව ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී කතාකරමින්, ජනාධිපති රාජපක්ෂ මිලිටරි වියදම සාධාරනීකරනය කලේ “වසර දෙකකට පෙර එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමුවත් ශ්‍රී ලංකාව මුහුන දෙන අභියෝගවල අවසානයක් නොමැති බව" පවසමිනි.

රටෙහි සුලුතර දෙමල ජනතාවගෙන් එන කිසියම් විරෝධතාවක් මර්දනය කිරීමට දිවයිනෙහි උතුරු සහ නැගෙනහිර ස්ථිරව වාඩිලාගෙන සිටින අතරේ තම ජීවන තත්වයන් මතට එල්ල වන ප්‍රහාර තුලින් වැඩකරන ජනතාවගෙන් පැන නගින කිසියම් ප්‍රතිවිරෝධයක් තලා පොඩි කර දමන්නට මිලිටරිය සූදානම් කරමින් සිටී. ආරක්ෂක අමාත්‍යාංශය නාගරික සංවර්ධනය වැනි කලින් සිවිල් අධිකාරියක් ලෙස පැවති ආයතන පවරා ගෙන ඇති අතර කොලඹ මුඩුක්කු පෙදෙස්වල පවුල් 75,000 ක් ඉවත් කිරීම ද භාරව සිටී.

මහා ව්‍යාපාරිකය අයවැය සඳහා තම අනුමැතිය පෙන්නුම්කර තිබේ. ලංකා වානිජ මංඩලය (ලංවාම) මෙසේ ප්‍රකාශ කලේය. “ආයෝජන ප්‍රවර්ධනයට අමතර දිරිමත්කිරීම් සමග පසුගිය අයවැයෙන් නිවේදනය කල බදු ප්‍රතිසංස්කරන මෙම අයවැයෙන් සහතික කර තිබෙන අතර බදු ව්‍යුහයට තවදුරටත් සරලකිරීම් එකතුකර තිබීම සතුට දනවන කාරනා බව සඳහන් කරමු."

ඒ සමග ම, “ආයෝජන වැඩි දියුනු කරන නව ක්‍රියාමාර්ග" සඳහා ලංවාම ආයාචනා කලාය. රජයේ ඉලක්කය වුන ඩොලර් බිලියන 1 කට වඩා බොහෝ අඩු ඩොලර් මිලියන 500 ක් වූ ගිය වසරේ සෘජු විදේශීය ආයෝජන ඇදවැටීම ගැන තම සැලකිල්ල යොමු කලාය. මෙම අඩුව, වඩා නරක්වන ගෝලීය ආර්ථික අර්බුදයේ, විශේෂයෙන්ම යුරෝපයේ නය අර්බුදයේ, බලපෑමෙහි තවත් දර්ශකයකි.

“ගෝලීය අස්ථිරතාවයන් තිබිය දී වුවත් සියයට 8 ක වර්ධන වේගයක් පවත්වා ගන්නට රටට හැකිවී ඇතැයි" රාජපක්ෂ පාරම් බෑවේය. මුලින් පලකල අනාවැකිය වූ සියයට 9 කට වඩා අඩු වූ අගය, ප්‍රධාන වශයෙන්ම වැඩි යටිතල පහසුකම් වියදම් සහ විදුලිසංදේශ, බැංකු හා සිල්ලර වෙලඳාම වැනි සේවා සඳහා නය සැපයීම්වල නිෂ්පාදනයක් විය. යුරෝපයේ සහ එක්සත් ජනපදයේ වෙලඳපොල හැකිලීම සහ යුරෝපා සංගමයේ නය අර්බුදය වඩා නරක අතට හැරෙන තතු යටතේ, ආර්ථිකය මෙම අනුපාතයෙන් වැඩි දියුනුකර පවත්වාගෙන යාමක් විය නොහැක.

2011 මුල් අට මාසය තුල, රටෙහි වෙලඳ හිඟය පසුගිය වසරට සාපේක්ෂව සියයට 88 කට වඩා එනම් එජ ඩො. බිලියන 6 කට ඉහල ගිය අතර වාර්ෂික වැඩිවීම එය එජ ඩො බිලියන 9කට ආසන්න වනු ඇත. විදේශ රැකියා නියුක්තයන්ගේ ඉතිරිකිරීම්වලින් එම හිඟය පියවාගන්නට රජය බලාපොරොත්තු වන නමුත්. නව ගෙවුම් ශේෂ අර්බුදයක් ගැන ජාමූඅ අනතුරු අඟවයි.

වැඩිවන මිල ගනන් සහ ජීවන තත්වයන් කඩාවැටීම් පිලිබඳව වැඩකරන ජනතාව අතරේ පුලූල්ව පැතිරෙන කෝපය ගසා කන්නට විරැද්ධ පක්ෂ උත්සාහ දරා තිබේ. එක්සත් ජාතික පක්ෂ (එජාප) නායක රනිල් වික‍්‍රමසිංහ ”ජාමූඅ අයවැයක්” ගෙන ආ බවට රජය විවේචනය කල නමුත් ඔහුගේ අදහස සම්පූර්නයෙන්ම කුහකත්වයෙන් යුතුය. කප්පාදු නූල ඊට ගැට ගැසී ඇති බව දැනගෙනම, රජය ජාමූඅ සහාය ලබාගත යුතු බව තත්වාරක්ෂක එජාපය 2009 දී අවධාරනය කලේය.

”අහස උසට නැග ඇති ජීවන වියදම ලිහිල් කිරීමට මේ අයවැය තුලින් රජය කිසියම් හෝ සහනයක් සලසනු ඇතැයි රටේ ජනතාව බලාපොරොත්තු වූ බව”, ජනතා විමුක්ති පෙරමුනු (ජවිපෙ) පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් ප‍්‍රකාශ කලේය. මහා වැඩ වර්ජනයකට යන බවට ජවිපෙ වෘත්තීය සමිති නායක කේ.ඞී. ලාල් කාන්ත තර්ජනය කලේය.

ආන්ඩුවේ වෙලඳපොල-ගැති වැඩසටහනට ජවිපෙට මූලික විරුද්ධත්වයක් නැති අතර එය කප්පාදු වැඩපිලිවෙලවල් පැන වූ 2004 රාජපක්ෂගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ හවුල් ආන්ඩුවේ කොටස්කාරයෙකි. තම රැකියා සහ ජීවන තත්වයන් ආරක්ෂා කර ගැනීමේ කම්කරුවන්ගේ කවර හෝ අරගලයක් කඩාකප්පල් කිරීමට තම වෘත්තීය සමිති උපයෝගී කරගෙන තිබේ.

අයවැය, ශ‍්‍රී ලංකාවේ සමස්ථ දේශපාලන සංස්ථාපිතය ගැඹුරුවන ගෝලීය ආර්ථිකයේ බර වැඩකරන ජනතාව මතට පටවන බවට තියුනු අනතුරු ඇඟවීමකි. කම්කරු පන්තියට සිය පන්ති අවශ්‍යතාවයන් රැක ගත හැකි වන්නේ ධනපති පන්තියේ සියලු කොටස්වලින් ස්වාධීනව සමාජවාදී හා ජාත්‍යාන්තරවාදී කි‍්‍රයාමාර්ගයක් මත බලමුලු ගැන්වී ගැනීම මගින් පමනි.

Share this article: