චීනය තුල "නයිල් (ඊජිප්තු) උන" පිලිබඳ භීතිකාව

The fear of “Nile fever” in China

By John Chan ,5 February 2011

ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් හා යහපත් ජීවන තත්වයක් ඉල්ලමින් කයිරෝ නුවර දී ඊජිප්තු කම්කරුවන්, තරුනයින් දැවැන්ත විරෝධතා දක්වන දර්ශන පැහැදිලි ලෙසම චීන තන්ත‍්‍රයට, මීට ප‍්‍රථම ටියනාන්මෙන් චතුරස‍්‍රයේ ඇතිවූ සිද්ධීන් පිලිබඳ බියජනක සිහිගැන්වීමක් වී තිබේ. මෙම විප්ලවකාරී වසංගතය ඊජිප්තුවෙන් පිටතට පැතිරයාම පිලිබඳව බියට පත් බීජිනය, චීනයේ මිලියන ගනනක් අන්තර්ජාල ග‍්‍රාහකයින් අතර මේ පිලිබඳව සාකච්ඡාවීම වලක්වනු වස් මයික්‍රොබ්ලොගින් අඩවි වලින් ඊජිප්තුව යන වචනය ඉවත් කරන ලෙස සිය අන්තර්ජාල පොලිසියට නියෝග කලේය.

චීනය තුල 1989 වසරේ හටගත් සිද්ධීන් හා වර්තමාන ඊජිප්තු නැගිටීම අතර සමානකම "නොසලකා නොහැරිය හැකි” තරම්ම පැහැදිලි යයි හොංකොංහි සවුත් චයිනා මෝනිං පෝස්ට් පත‍්‍රය ප‍්‍රකාශ කර තිබේ. චීන පාලක කවයන් තුල පවත්නා දෘෂ්ටිය පැහැදිලි කරමින් දේශපාලන විශේෂඥයෙකු වන ලියු ජූනිං එම පුවත්පතට කියා සිටියේ, "දේශපාලන පතාක යෝධයින් පාලනය කරන ආඥාදායකත්වයන් ලෙහෙසියෙන්ම දෙදරා ගොස් එක් රැයකින්ම පාහේ බලයෙන් පහකල හැකියයි සිතීම පවා ඇදහිය නොහැක්කකි.” යනුවෙනි.

බැලූ බැල්මට ම චීනය හා ඊජිප්තුව අතර භූගෝලීය, සංස්කෘතික හා ආර්ථික පරතරය දැවැන්ත ය. එහෙත්, ෆිනෑන්ෂල් ටයිම්ස් තීරු රචක ගිඩියෝන් රැච්මන් සටහන් කල පරිදි, "ඊජිප්තු ජනතා නැගිටීම තුල බීජිනයට අනතුරු ඇඟවෙන සමහර අංග ඇත. එනම්, දූෂනය, ඉහල නගින ආහාර මිල ගනන්වල අහිතකර බලපෑම, තරුන විරැකියාව, ජනතා නොසංසුන්කම රැලි කිරීමට අන්තර් ජාලයට ඇති හැකියාව, පාලක පැලැන්තිය හා ඔවුන් පාලනය කිරීමට උත්සාහ දරන ජනතාව අතර පවත්නා පරතරය ආදියයි.”

"ටියුනීසියාවේ සිට ඊජිප්තුව දක්වා පැතිර ගිය දේශපාලන කලබැගෑනිය, මහාද්වීප හරහා ආසියාව දක්වා පැනීමට ඇති ඉඩකඩ අල්ප” යයි සිය පාඨකයින්ට යලි සහතික වීමට රැච්මාන් උත්සුක විය. එහෙත් චීනය ද ඇතුලු ලෝකය පුරා රටක් රටක් පාසා පවතින තත්වය අංගලක්ෂිත වන්නේ, ගැඹුරු සමාජ විභේදනය, පන්ති එදිරිවාදිකම් හා දේශපාලන සංස්ථාපිතයෙන් පොදු ජනතාව දුරස්ත වීම මගින් යයි රැච්මාන් හඳුනාගෙන තිබේ. මිලියන 400ක් සහිත අතිශයින්ම සංකේන්ද්‍රිත කම්කරු පන්තියක් ඇති චීනයේ, ඊජිප්තු වර්ගයේ නැගිටීමක ප‍්‍රතිවිපාක චීන පාලක පැලැන්තියේ පමනක් නොව, එරට ලාභ ශ‍්‍රමය මත බෙහෙවින් ඔට්ටු අල්ලා ඇති ලෝකයේ ම මූල්‍ය ප‍්‍රභූ පැලැන්තියේ හදවත් තුල ද භීතිය දනවයි.

"නයිල් උන” වසංගතයෙන් චීනය "මිදී” නොමැති බව වෝල් ස්ටී‍්‍රට් ජර්නලය මනාව වටහාගෙන තිබුනි. හාවුන් සේ නිරූපනය කෙරෙන සාමාන්‍ය ජනතාව, දූෂනයට එරෙහිව කෝපාවිෂ්ඨව නැඟී සිටිමින් කොමියුනිස්ට් පක්ෂ නිලධරයින් මරා දමනු පෙන්නුම් කරන චීනයේ මෑතක නිපදවන ලද සජීවිකරන වීඩියෝ පටයක් උපුටා දක්වමින්, තමන් අදහස් කලේ කුමක් ද යන්න ජර්නලය පැහැදිලි කලේය. උද්ධමනය තවදුරටත් නරක අතට හැරුනොත්, "චීනයේ ස්ථාවර භාවය මිරිඟුවක් බවට පත්විය හැකි බවට ඉතිහාසය ඉඟි කරන්නේ” යයි වෝල් වීදියේ හොරනෑවක් වන ජර්නලය සඳහන් කරයි.

බොහෝ පැතිවලින් චීනයේ පන්ති ආතතීන් ද ඊජිප්තුවේ පන්ති ආතතීන් තරමට ම තීව්ර ය. එක්සත් ජනපදයට පසුව ලොකුම ප‍්‍රකෝටිපතියන් සංඛ්‍යාවක් සිටින්නේ චීනයේ ය. එම සංඛ්‍යාව 2010 වසරේදී 189 දක්වා 69න් ඉහල ගොස් තිබුන ද චීනයේ ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය ඊජිප්තුවේ ප‍්‍රමානයෙන් තුනෙන් දෙකක් පමනි. ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය භාන්ඩ මිලගනන් තියුනු ලෙස ඉහල නැගීම මගින් පොහොසතුන් හා දුප්පතුන් අතර පරතරය උග‍්‍ර වී ඇත. විශ්ව විද්‍යාල උපාධිධාරීන් ද ඇතුලු තරුනයින්ට රැකියා සොයා ගැනීම එන්ට එන්ටම දුෂ්කර වී තිබේ. ඊජිප්තුවේ තරුනයින් මෙන්ම, චීනයේ ද මිලියන 384ක් වන අන්තර්ජාල ග‍්‍රාහකයින්ගෙන් අති මහත් බහුතරය වන තරුනයින්ට එමගින් ගෝලීය දැක්මක් හා පූර්ව පරම්පරාවන්ට වඩා පුලුල් සමාජ අභිලාෂයන් ද සපයා දී තිබේ.

සෑම කල්හිම ජාත්‍යන්තර පන්තියක් වන කම්කරු පන්තිය මුහුන දෙන්නේ එකම ආකාරයේ පන්ති පීඩාවන්ට ය. එසේද වුවත්, පසු ගිය දශක තුන පුරා සිදුවූ නිෂ්පාදන ක‍්‍රියාවලීන්ගේ ඒකාග‍්‍රකරනය, පෙර නො වූ විරූ ආකාරයකින් ලෝකය පුරා කම්කරුවන් එකට එක්කර ඇත. බොහෝවිට ඊජිප්තු හා චීන කම්කරුවන් සූරාකනු ලබන්නේ එකම ගෝලීය ව්‍යාපාර සංස්ථා හා එම ව්‍යාපාරික ප‍්‍රභූවට සේවය කරන එක හා සමාන පීඩාකාරී තන්ත‍්‍රයන් විසින් ය. ඊජිප්තුවේ විප්ලවකාරී නැගිටීම්, චීන කම්කරුවන් හා තරුනයින් අතර මතකයන් අවධි කරන්නේත්, පාලක සංස්ථාපිතයන් තුල භීතිය ජනනය කරන්නේත් එබැවින් ය.

"නයිල් උන” පැතිරයාම සම්බන්ධයෙන් වෝල් ස්ටී‍්‍රට් ජර්නලය කරන සඳහන සිහිගන්වන්නේ, ලෙනින් හා ට්‍රොට්ස්කිගේ බොල්ශෙවික් නායකත්වය යටතේ 1917 ඔක්තෝබරයේ රුසියානු කම්කරු පන්තිය විසින් බලය අත්පත්කර ගැනීමෙන් අනතුරුව ලෝකය පුරා ධනපති පන්තීන් අතර ජනිත කල "බොල්ශෙවික් වසංගතය” පිලිබඳ සංත‍්‍රාසය මුසු භීතියයි. අද දින කම්කරුවන් ඊජිප්තුවෙන් උද්වේගය ලබාගැනීමට පටන් ගන්නවාක් මෙන්ම, චීනය ද ඇතුලු ලොව වටා කම්කරුවන් අතර ද රුසියානු විප්ලවයට උද්යෝගිමත් ප‍්‍රතිචාරයක් ගෙන ආවේය.

1925-27 චීන විප්ලවය මුහුන දුන් ඛේදජනක පරාජය ඊජිප්තුවේ මෙන්ම ජාත්‍යන්තරව ද කම්කරුවන්ට බලගතු පාඩම් උගන්වයි. බොල්ශෙවිකයන් රුසියානු කම්කරු පන්තිය බලය කරා මෙහෙයවූයේ, ද්‍රෝහි ජාතික ධනේශ්වරයේ සියලු කොටස් වෙතින් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය අවධාරනය කල ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත පිහිටා ය. ස්ටැලින් චීන කම්කරු පන්තිය ධනේශ්වර ක්වෝමින්ටෑනයට යටත් කලේ ය. ඔහු එහි දී කියා සිටියේ එම පක්ෂය චීන විප්ලවයට නායකත්වය දෙන බවයි. එහි ප‍්‍රතිපලය වූයේ ක්වෝමින්ටෑනය චීන කම්කරුවන් හා ගොවීන් සමූලඝාතනය කිරීම යි.

1989 ජූනියේ චීන සිදුවීම් ඒහා සමාන ම පාඩම් උගන්වයි. ජනතා නැගිටීමේ උච්ඡ අවස්ථාවේදී ටියනාන්මෙන් චතුරස‍්‍රයේ මෙන්ම අනෙකුත් නගරවල ද කම්කරුවන් විරෝධතාවයේ යෙදුන සිසුන් හා එකතුවූ කල චීන නායක ඩෙං සියා ඕපෙන්, පඹයෙක් සේ පෙනී ගියේය. හමුදාව බිඳී ගොස්, ඔහු නිවාස අඩස්සියේ තබනු ඇතැයි ද තන්ත‍්‍රය බිඳ වැටෙනු ඇතැයි ද ඔහු භීතියට පත්විය. එහෙත් විරෝධතා ව්‍යාපාරයට විප්ලවවාදී නායකත්වයක් නොමැති විය. දේශපාලන ආරම්භකත්වය ගන්නවා වෙනුවට බීජිං කම්කරුවන්ගේ ස්වාධීන සම්මේලනය කලේ, කොමියුනිස්ට් පක්ෂ නායකත්වය විසින් සහන පිරිනමනු ඇතැයි යන මාරාන්තික මිත්‍යාව තොරොම්බල් කල ශිෂ්‍ය ව්‍යාපාරයේ සුලු ධනේශ්වර "ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්” පිටුපස බඩගෑම ය. දුර බැහැර ප‍්‍රදේශවලින් යුද ටැංකි හා හමුදා භට පිරිස් කැඳවා ගනිමින් විරෝධතාව ලේ විලක ගිල්වා දැමීමට ඩෙන් මෙම විරාමය උපයෝගී කර ගත්තේ ය.

චීන කම්කරුවන් මුහුන පෑ මෙම දරුනු පරාජයෙන් ඊජිප්තු කම්කරුවන් හා තරුනයින් අවශ්‍ය පාඩම් උකහාගත යුතුය. මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සඳහා සටන ධනවාදයට එරෙහි අරගලය සමඟ නොවෙන්කල හැකිසේ එකට බැඳී ඇත. මුස්ලිම් බ‍්‍රදර්හුඞ් හා මුබාරක් ආඥාදායකත්වය තරමට ම වත්මන් සමාජ ක‍්‍රමය ආරක්ෂා කිරීමට කැපවූ මෙහොමඩ් එල්බරාඩෙයි වැනි ධනපති විරුද්ධ පක්ෂ හා නායකයින් කෙරේ කිසිදු විශ්වාසයක් නොතැබිය යුතු ය. කම්කරු පන්තිය තම ස්වාධීන ශක්තිය මත විශ්වාසය තබමින් තමන්ගේ ම සංවිධාන පිහිටුවීම ආරම්භ කල යුතු අතර, සියල්ලටත් වඩා කම්කරු ආන්ඩුවක් හා සමාජවාදී ප‍්‍රතිපත්ති සඳහා සටන් වදින දේශපාලන පක්ෂයක් මත පදනම් විය යුතු ය.

පසු ගිය අපේ‍්‍රල් හා මැයි මාසවල වැඩ වර්ජන රැල්ලෙන් ප‍්‍රථම පියවර තැබූ චීන කම්කරුවන්ට හා තරුනයින්ට, ඊජිප්තුවේ සිය සහකරුවන්ගේ අධිෂ්ඨානයෙන් හා එඩිතර කමෙන් අනුප‍්‍රානය ලැබිය හැකිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ඊජිප්තු හා චීන අරගල ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනෙන් වෙන්කල නොහැකිය. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ශාඛා ගොඩනැඟීම, ඊජිප්තුවේ, චීනයේ හා ලොව වටා අවශේෂ කම්කරුවන්ගේ හදිසි අවශ්‍යතාවක් වෙයි. පසුගිය සියවසේ කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම් අන්තර්ගත කරගෙන ඇත්තේ එය පමනකි. කම්කරු පන්තියට බලය අත්කරගෙන, අව්‍යාජ සමාජ සමානතාවය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය මත පදනම් වූ සමාජ පර්යායක් ගොඩනැගිය හැකි මෙම ග‍්‍රහ ලෝකයේ ඇති එකම විප්ලවවාදී ප‍්‍රවනතාව එයයි.