ඊජිප්තුවේ ප‍්‍රචන්ඩ ක‍්‍රියා පිලිබඳව ඔබාමා කිඹුල් කඳුලු හෙලයි

Obama’s crocodile tears over Egypt’s violence

4 February 2011

"ජනාධිපති බැරැක් ඔබාමා ඊජිප්තුවේ ප‍්‍රචන්ඩත්වය අවසන් වනු ඇතැයි ද ඊජිප්තු ජනතාවගේ අයිතිවාසිකම් සහ අපේක්ෂාවන් ඉටු වනු ඇතැයි ද ඊජිප්තුවට වඩා හොඳ දවසක් උදා වනු ඇතැයි ද අපි යාඥා කරමු.” පසුගිය බ‍්‍රහස්පතින්දා උදේ නැෂනල් පේ‍්‍රයර් බ්‍රෙක්ෆස්ට් (ජාතික යාඥා පාතරාසය) උලෙල අමතා කල කතාවේ දී ගරු ගාම්භීරව මැතුරුවේ ය.

බලධාරීන්ගේ ගුනධර්ම උත්කර්ෂයට නංවන ඉහත නම් කල වාර්ෂික උත්සවය, උචිත වසයෙන් ම කැඳවනු ලබන්නේ ෆෙලෝෂිප් ෆවුන්ඩේෂන් නමැති සැකකටයුතු දේශපාලනික සම්බන්ධතාවයන්ගෙන් යුතු සංවිධානයක් විසිනි. එය, විදේශීය ඒකාධිපතියන්, ඇමරිකානු දේශපාලකයන් සහ යුද කොන්ත‍්‍රාත්කරුවන් එකතු කරන "යාඥා කවයන්” සංවිධානය කිරීමේ දීර්ඝ ඉතිහාසයක් දරයි.

කන්ඩායමේ සංවිධායකයා මෙම භාවිතාව යුක්ති සහගත කරමින් මෙසේ සඳහන් කලේ ය: "බයිබලය මහා මිනීමරුවන්ගෙන් පිරී පවතී”.

ඔබාමාගේ මෙම යාඥාව ආවේ ඊජිප්තුවේ ප‍්‍රචන්ඩත්වය හෙලා දකිමින් ද ජනාධිපති හොස්නි මුබාරක්ගේ පාලන තන්ත‍්‍රය විසින් සාමකාමී විරෝධතාකරුවන් සහ මාධ්‍යයන්ට පහර දීම පිලිබඳව සාදාචාරාත්මක විරෝධය දක්වමින් ද කරන ලද ප‍්‍රකාශයන් ගනනාවකට ඉක්බිත්තේ ය.

මොවුන්ට රැවටිය හැක්කේ කවුරුන්ද? ඇමරිකා එක්සත් ජනපදයේ ඔබාමා ද ඇතුලු ඩිමොක‍්‍රටික් සහ රිපබ්ලිකන් ජනාධිපතිවරුන් ද ඔවුන්ගේ පාලනාධිකාරයන් ද ගත වූ අවුරුදු තිහ තිස්සේ මුබාරක්ට ආධාර දී ඇත්තේ, වොෂින්ටනය විසින් නියමිත පිලිවෙත් ඊජිප්තියානු ජනතාවගේ අතිමහත් විරෝධය නො තකා බලයෙන් පැටවීමට ඔහු සමත්වීම නිසා ය. මෙය කිරීම සඳහා ක‍්‍රමානුකූල සහ නිර්දය ප‍්‍රචන්ඩත්වය අත්‍යවශ්‍ය බව ඔවුහු මැනවින් වටහා ගෙන සිටියහ.

ඔබාමා, කෛරෝ, ඇලෙක්සැන්ඩි‍්‍රයා සහ සූවස් පමනක් නො ව මුලු ඊජිප්තුව හරහා වීදිවල සිය ගනන් මරමින් දහස් ගනන් තුවාල කල ප‍්‍රචන්ඩ කි‍්‍රයා පිලිබඳව කිඹුල් කඳුලු සලතොත් ඒ එසේ වන්නේ මෙම ප‍්‍රචන්ඩත්වය සාර්ථකව නැති නිසා ද ඊජිප්තු ජනයා දිගින් දිගට ම විරෝධත්වය සහ අරගල දිගින් දිගටම පවත්වා ගෙන යන නිසා ද පමනි.

2009 ජූනි මාසයේ දී කෛරෝ නුවර තම කතාව කිරීමේ දී ඔහු කඳුලූ හෙලුවේ නැත. ඔහුගේ එම කතාවට මුබාරක් පාලන තන්ත‍්‍රය පිලිබඳ එකම විවේචනාත්මක වචනයක් හෝ ඇතුලත් වූයේ ද නැත. ඒ වෙනුවට ඔහු ඊජිප්තු ඒකාධිපතියා "තිරසාර මිත‍්‍රයෙක්” සහ "මුලු ප‍්‍රදේශය පුරා ස්ථාවරත්වය සහ යහපත සඳහා වූ බලවේගයක්” යයි වර්නනා කලේ ය.

ධවල මන්දිරයේ ඔහුගේ පූර්ව ප‍්‍රාප්තිකයන්ගෙන් මෙන් ම ඔබාමා ද වසරකට ඩොලර් බිලියන දෙකක් පමන මුබාරක් පාලන තන්ත‍්‍රයට මුක්කු ගැසීම සඳහා වියදම් කර තිබේ. මෙය අඩු වන්නේ, එක්සත් ජනපදය, ඊස්රායලයට දෙන ආධාර ප‍්‍රමානයට පමනි. මෙම මුදල් වලින් අතිමහත් වැඩි සම්භාරය හමුදාව සහ පොලිස් භටකාය අතට පත්ව ඇති අතර ඒවා යොදා ගෙන ඇත්තේ ඊජිප්තුවේ ජනතාව ද මුලු මහත් ප‍්‍රදේශය ද පාගා මර්දනය කර තබා ගැනීමට ය.

ජනාධිපතිවරයා සහ අනෙකුත් ඉහල එක්සත් ජනපද නිලධාරීන් ඊජිප්තු පාලනය විසින් දිනපතා කර ගෙන යන ලද ප‍්‍රචන්ඩ මර්දනය ගැන හොඳටම දැන සිටි බව විකිලීක්ස් විසින් එලිදරව් කර ඇති එක්සත් ජනපද කෛරෝ තානාපති කාර්යාලයෙන් පිට වූ රහසිගත රාජ්‍ය තාන්ත‍්‍රික විදුලි පනිවිඩවලින් නිශ්චිතව ඔප්පු වෙයි. ඔබාමාගේ කතාවට මාස කිිහිපයකට පෙර කෛරෝවේ එක්සත් ජනපද තානාපතිවරයා වොෂින්ටනයට යැවූ කේබල් පනිවිඩයක් ඊජිප්තුවේ පොලිස් මර්දනය "නිත්‍ය රටාවක් ලෙස සෑම තැනම පැතිර ඇති බව” සාමාන්‍ය කාරනයක් සේ සඳහන් කලේ ය. "කෛරෝ නගරයේ පොලිස් ස්ථානවල පමනක් සෑම දිනයකම වධක ක‍්‍රියා සිය ගනනක් සත්‍ය වසයෙන් ම සිදු වන බව” එය සඳහන් කලේ ය.

මෙය කිසිසේත් ම අමුතු තොරතුරක් වූයේ නැත. මුබාරක්ගේ ජනාධිපතිත්වයේ සම්පූර්න කාලපරිච්ඡේදය පුරාම ඊජිප්තියානු ආන්ඩුව පාලනය කර ඇත්තේ තත්‍ය වසයෙන් ම දිගින් දිගටම පවත්වාගෙන ගිය හදිසි නීති තත්වයක් තුලිනි. මෙම හදිසි නීති තත්වය තුල නඩු විභාගවලින් තොරව පරිපාලනය විසින් අත් අඩංගුවට ගැනීම ද වැඩවර්ජන අපරාධයන් ලෙස හංවඩු ගැසීම ද පස්දෙනෙකුට වැඩි අනවසරයෙන් රැස් වූ පිරිසක් නීති කැඩූවන් යයි තීන්දු කිරීම ද මෙයින් සිදු කෙරිනි. ඇත්ත භාවිතයේ දී මෙහි තේරුම වූයේ, වැඩවර්ජනය කිරීමට තරම් නිර්භීත වූ කම්කරුවන්ට කැරලි මර්දන පොලීසිය සහ හමුදාව විසින් පහර දී මහා පරිමාන අත්අඩංගුවට ගෙන මුගුරු සහ රයිෆල් බට් ප‍්‍රහාරයන් ද එල්ල කරන ලද බවය. කම්කරු විරෝධතාවන්ගේ නායකයන් දඩයම් කොට සිරගත කොට වධයට පත් කරන ලදි. කිසියම් කෙනෙක් උසාවියට ගෙන ඒමට ආන්ඩුව කරදර වී නම් ඔවුන් බොහෝ විට සන්නද්ධ ත‍්‍රස්තවාදය පිලිබඳ නඩු ඇසීමට යයි පිහිටුවා තිබුනු විශේෂ රාජ්‍ය ආරක්ෂක උසාවි වලට ඇදගෙන යනු ලැබූහ.

ඔබාමා වේවා වෙනයම් කිසි එක්සත් ජනපද පාලනාධිකාරයක් වේවා මෙවන් මර්දන ක‍්‍රියා කරදරයක් ලෙස සැලකුවේ නැත. එම ක‍්‍රියා ඊජිප්තියානු ධනපති පන්තියට ද අන්තර් ජාතික බැංකු සහ සංගතවලට ද වඩාත් ම ලාභ සහගත කොන්දේසි ඊජිප්තුව තුල පිහිටුවීම සඳහා ආධාර වී තිබේ. සහතිකෙන් ම මොන ම එක්සත් ජනපද නිලධාරියෙක් වත් ඊජිප්තුවේ කම්කරුවන් මුර්ග ලෙස මර්දනය කිරීම නිසා ඇමරිකානු ආධාරවලින් එක සතයක් වත් කැපිය යුතු යයි යෝජනා කර නැත. ඊජිප්තු සහ අනෙකුත් විදේශීය පුවත් පත් කලාවේදීන් ඊජිප්තුවේ සිදු වෙන්නා වූ සිද්ධීන් වාර්තා කිරීම වැලැක්වීම සඳහා අත් අඩංගුවට ගැනීම සහ තර්ජනයට ලක් කිරීම පිලිබඳව වොෂින්ටනය දැන් තම සද්කෝපය පල කර සිටින අතර තම ගෝලයා වූ මුබාරක්ගේ පාලනය අවුරුදු ගනනක් තිස්සේ පුවත් පත් කලාවේදීන් අත් අඩංගුවට ගනිමින් ඔවුන්ට වද දෙමින් සහ "අතුරුදහන් කරමින්” ගෙන ගිය මර්දනකාරී වැඩපිලිවෙල ගැන වොෂින්ටනය කිසිදු පියවරක් ගත්තේ නැත. පුවත් පත් කලාවේදීන්ට එරෙහිව මෙවැනි මර්දනකාරී පියවරයන් ගන්නා ලද්දේ, මුබාරක්ගේ ඇමතිවරුන් "සාවද්‍යව උපුටා දැක්වීම” මුබාරක්ගේ ම සෞඛ්‍ය පිලිබඳ ප‍්‍රශ්න මතු කිරීම සහ මුබාරක්ගේ පුත‍්‍රයා සහ නිල වසයෙන් තීන්දු කර ඇති අනුප‍්‍රාප්තිකයා වූ ජමාල් පිලිබඳව හෙලා දකින වාර්තා ඉදිරිපත් කිරීම පිලිබඳව (ඔවුන්ට දඬුවම් පමුනුවන ලදි.) සත්තකින් ම කිසිම එක්සත් ජනපද නිලධාරියකු ඊජිප්තියානු කම්කරුවන් මුර්ග ලෙස මර්දනය කිරීමට එරෙහිව එක්සත් ජනපද ආධාර සත පහක් කැපීමට යෝජනා කලේ නැත.

දැන් වොෂින්ටනය එක්සත් පනපද සහ වෙනත් විදේශ පුවත් පත් කලාවේදීන් අත් අඩංගුවට ගැනීම සහ තර්ජනයට ලක් කිරීම පිලිබඳව, තම කෝපය පල කර සිටින නමුත් සිය ගෝලයා වූ මුබාරක් ගේ පාලන තන්ත‍්‍රය අවුරුදු ගනනාවක් තිස්සේ, ඇමතියන්ගේ වචන "වැරදි ලෙස ඉදිරිපත් කිරීම” වැනි වැරදි සහ ඔහුගේ ම සෞඛ්‍ය පිලිබඳ ප‍්‍රශ්න මතු කිරීම හෝ ඔහුගේම පුතාට හා තෝරාගත් අනුප‍්‍රාප්තිකයා වූ ගමාල් හෙලා දකින වාර්තා පල කිරීම වැනි සුලු වැරදි පවා පිලිබඳව පුවත් පත් වාර්තාකරුවන් අත් අඩංගුවට ගෙන වධ දී අතුරුදහන් කරද්දී පවා එයට එරෙහිව කිසිදු පියවරක් ගත්තේ නැත.

මුස්ලිම් සහෝදරත්වය සහ වෙනත් ඉස්ලාමීය කන්ඩායම්වල සාමාජිකයන් දහස් ගනනක් චෝදනාවලින් තොරව අත් අඩංගුවට ගෙන සිරභාරයට ගනිද්දී එක්සත් ජනපදය එයට අනුමතිය දුන්නේ ය.

වොෂින්ටනය එසේ ම, දේශපාලන සිරකරුවන් දහස් සංඛ්‍යාතව විවිධාකාර මුර්ග මර්දනයන්ට ලක්කිරීම කිසිසේත්ම ගැටලුවක් සේ සැලකුවේ නැත. මෙම වධබන්ධනවලට මිනිසුන්ගේ පපුව සහ කකුල් පිලිස්සීම දිවට, තනපුඩුවලට සහ ලිංගේන්ද්‍රියන් විදුලිසැර වලට භාජනය කිරීම, කකුල් දෙකෙන් එල්ලා තැබීම සහ පහර දීම් ද දූෂනයට පාත‍්‍ර කිරීම් ද ඇතුලත් වූ බව කිව යුතු ය.

මෙසේ කරනවා වෙනුවට එක්සත් ජනපදය සහ එහි රහස් ඔත්තු සේවාවන් කලේ, මුබරාක්ගේ වධකයන් සම්පතක් ලෙස ගැනීම යි. පසුගිය දිනවල තහ්රීර් චතුරශ‍්‍රයේ දී විරෝධතාකරුවන්ට පහර දුන් මැරවර කන්ඩායම් ටෙලිවිෂන් මගින් දැකගත් සීඅයිඒ නිලධාරීන්ට මෙම මැරයින්ගෙන් සමහරක් දෙනා හඳුනා ගැනීමට හැකි වූ බව සහතික ය. මන් ද යත්, කෛරෝවේ ලැසෝග්ලි වීදියේ වධකාගාර තුල දී සහ මහුල් සහ අල් බස්රා හිර ගෙයි රහස් පොලිස් මධ්‍යස්ථානවල දී සීඅයිඒ නිලධාරීන් මෙම මැරවරයින් සමීපව ආශ‍්‍රය කල බව නිසැක හෙයිනි.

1990 ගනන්වල දී ක්ලින්ටන් පාලනාධිකාරය යටතේ ආරම්භ කරන ලද අතිඅසාමාන්‍ය භාරදීමේ :(extra ordinary rendition program) යටතේ ලෝකයේ වෙනත් රටවල දී සීඅයිඒ සංවිධානය විසින් අත් අඩංගුවට ගනු ලැබූ ත‍්‍රස්ත සැකකරුවන් හිස් ආවරනය කොට විලංගු දමා විශේෂයෙන් ම වධ දී ප‍්‍රශ්න කිරීම සඳහා ඊජිප්තුවට එවනු ලැබූහ. මෙම භයංකර වැඩපිලිවෙල ඊජිප්තු මර්දන තන්ත‍්‍රය සහ මැදපෙරදිග මැදිහත් වන්නා එක්සත් ජනපද අධිරාජ්‍ය අතර මායිම් රහිත එකමුතුවක් තහවුරු කිරීම සඳහා එක්සත් ජනපද රහස් ඔත්තු සේවාව සහ මුබාරක්ගේ රහස් පොලීසියේ ලොක්කා වූ ඕමාර් සුලෙයිමාන් අතර ඇති කරන ලද්දකි. පසුගිය දිනවල ඊජිප්තුවේ උප ජනාධිපතියා ලෙස සුලෙයිමාන් පත් කරන ලද අතර ඔහු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද උප ජනාධිපති ජෝ බිඩෙන් ද වෙනත් එක්සත් ජනපද නිලධාරීන් ද සමග නිරන්තර දුරකතන සාකච්ඡාවක යෙදී සිටී.

එපමනක් නො ව එක්සත් ජනපදයේ සහ ඊස්රායලයේ "ස්ථිරසාර මිත‍්‍රයා” ලෙස ඊජිප්තු පාලන තන්ත‍්‍රය ඉටු කල භූමිකාව දැවැන්ත ප‍්‍රචන්ඩත්වයන්ට ආධාරක වී තිබේ. මේවාට එක්සත් ජනපදය විසින් ඉරාකය ආක‍්‍රමනය කිරීම ද ඊස්රායලය විසින් ලෙබනනය සහ ගාසා තීරය තුල කරන ලද යුද්ධ ද ආධාරක වී ඇත. ඊජිප්තු මර්දනය අවසන් කිරීමට ඔබාමා කල යාඥාව සහ ප‍්‍රචන්ඩත්වයට එරෙහි ඔහුගේ කිඹුල් කඳුලුවල වෛෂයික සහ ඓතිහාසික සන්දර්භය සලකා බැලිය යුත්තේ මෙම තතු තුල ය.

එක්සත් ජනපද පාලනාධිකාරයේ ව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉරියව් පෑමට පිටුපසින් එය උත්සාහ කරමින් සිටින්නේ කාලය ලබාගැනීමට ය. නිසැකයෙන් ම එක්සත් ජනපද පාලක කවයන් තුල සහ මිලිටරි චරපුරුෂ තන්ත‍්‍රය තුල මුබාරක් මහජනතාව මර්දනය කිරීමට සමත් වේ ද නැතහොත් ඔහු වහාම ඉවත් කිරීමට පියවර නො ගෙන පාලන තන්ත‍්‍රය යලි තහවුරු කිරීමට නො හැකි ය යන මේවා පිලිබඳව මතභේද සහ එකිනෙකට ගැටෙන තක්සේරු පවතින බවට සැකයක් නැත.

කෙසේ වෙතත්, එක්සත් ජනපද පාලක ප‍්‍රභූවේ සෑම කොටසකටම අදාල වන දෙය නම් මෑත දී සෙනෙට් මන්ත‍්‍රී ජෝන් මැකේන් "ලෙනින් විකල්පය” යයි නම් කල දෙයයි. එනම්, මුබාරක්ට එරෙහි මහා පෙලපාලි ඊජිප්තුවේ අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට ද ධනේශ්වර පාලනයට ද එරෙහි විප්ලවවාදී අභියෝගයක් බවට වර්ධනය වේවි ද යන්න යි. "ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන තන්ත‍්‍රයක් කරා සංක‍්‍රමනය” පිලිබඳව වොෂින්ටනය කරන්නා වූ සකල කතාවල අරමුන වන්නේ එවන් තර්ජනයක් කල්තබා ම වලක්වාලීම ය. එක්සත් ජනපදයේ සහාය ලත් "මෙවන් සංක‍්‍රමනයක්” කිසිදු විශ්වසනීයත්වයක් දරන්නේ නැත. එවැන්නක තනි අරමුන වන්නේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට සහ පටු දූෂිත ඊජිප්තියානු මූල්‍ය ප‍්‍රභූවට වාසි සලසන්නා වූ පිලිවෙත් දිගින් දිගට ම කි‍්‍රයාත්මක කරමින් පලල් කම්කරුවන් සහ වැඩ කරන ජනයා විරැකියාවට, දිලිඳුකමට සහ මර්දනයට යටත් කිරීම ක‍්‍රියාත්මක කල හැකි වන පරිදි මිලිටරි ඒකාධිපතිත්වය යලිත් ශක්තිමත් කිරීම ය.

ඊජිප්තියානු කම්කරුවන් හා තරුනයන් ඔබාමාගේ වංචනික අනුකම්පා ප‍්‍රකාශනයන් සහ "ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංක‍්‍රමනය” පිලිබඳ එක්සත් ජනපද පොරොන්දු උචිත පිලිකුලෙන් ප‍්‍රතික්ෂේප කලයුතු ය. අද දැවෙන අවශ්‍යතාව ව පවතින්්නේ කම්කරුවන් සහ පීඩිතයන් අතට බලය පවරා ගෙන ඊජිප්තියානු සමාජය සමාජවාදී ලෙස සංවිධානය කිරීම සඳහා ස්වාධීන කම්කරු පන්ති විප්ලවවාදී ව්‍යාපාරයක් වර්ධනය කිරීම ය. ඊජිප්තුව තුල සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනයක් ද පීඩනය සහ අසමානතාවය අවසන් කිරීම ද ඉටු කර ගත හැක්කේ සමාජවාදී විප්ලවය මගින් පමනි.

බිල් වෑන් ඕකන්