ඉරානය හා ඊජිප්තු විප්ලවය

Iran and the Egyptian revolution

16 February 2010

කලින් ජනාධිපති අපේක්ෂක මිර් හුසේන් මවුසාවි සහ ඔහුට හිතවත් විරුද්ධ පක්ෂ නායක මෙහ්ඩි කරොව්බිගේ කැඳවුමට ප‍්‍රතිචාර දක්වමින් සඳුදා දිනයේ දහස් ගනන් විරෝධතා කරුවෝ ටෙහෙරානයේ සහ ඉරානයේ අනෙකුත් නගරවල වීදිවලට එක්රැස් වූහ. මතුපිටින් දක්නට තිබුනේ මෙම විරෝධතා ටියුනීසියානු ජනාධිපති සයින් එල් අබිඞීන් බෙන් අලි හා ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් තන්ත‍්‍රයන් බලයෙන් පහකල මහජන නැඟිටීම් කෙරෙහි සහෝදරත්වය පලකරන බවකි.

ඉරාන ආන්ඩුවට සහ විශේෂයෙන්ම පාලන තන්ත‍්‍රයේ වඩාත් බලගතු ආගමික පුද්ගලයා වන අයතොල්ලා අලි කමේනිට එරෙහි විරෝධතා තහනම් කර තිබින. විරෝධතාකරුවෝ ක්ෂනිකව ම පොලිසියේ සහ බසිජ් භටකන්ඩායම් සාමාජිකයින්ගේ මර්දනයට ලක් වූහ. ටෙහෙරානයේ නිල වාර්තාවන් සඳහන් කලේ විරෝධතාවල දී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගිය බවයි. දුසිම් ගනනක් මිනිසුන් තුවාල වී ඇති බව වාර්තා වන අතර අත් අඩංගුවට ගැනීම් පිලිබඳ වාර්තා සිය ගනනේ සිට 1,500 දක්වා විවිධාකාරය.

මෙම විරෝධතාවන් 2009 ජනාධිපතිවරනයෙන් මවුසාවි පරාජය වීමට ප‍්‍රතිචාර වසයෙන් එක්සත් ජනපදයේ ආශිර්වාදය ඇතුව පැනනැඟි දක්ෂිනාංශික විරෝධතාවන්ගේ හුදු දිගහැරීමක් ද නොඑසේනම් දැන් මැදපෙරදිග අලලා පැතිරෙන සමාජ අසංතුෂ්ටිය වැනි කිසියම් පුලුල් වර්ධනයක් ද යන්න තවමත් පැහැදිලි නැත. ආන්ඩුව විරෝධතා වාර්තා කිරීමෙන් විදෙස් මාධ්‍යකරුවන් වලක්වනු ලැබීය. බොහෝ බටහිර මාධ්‍ය තම වාර්තාවන්ට පදනම් කරගෙන තිබුනේ මවුසාවි සහ කරොව්බි විසින් නායකත්වය දෙන ඊනියා හරිත ව්‍යාපාරය විසින් සපයන ලද තොරතුරු වන අතර ඒවා ඉරාන පාලනාධිකාරය කෙරෙහි වොෂිංටනයේ පසමිතුරුතාව විසින් පැහැ ගන්වා තිබින.

කෙසේ වෙතත් පැහැදිලිව දක්නට ඇත්තේ, මෙම විරෝධතා ඊජිප්තුව සහ ටියුනීසියාවේදී මෙන් ඉහල යන බඩු මිල, විරැකියාව සහ සමාජ අසමානතාව මඟින් නිර්මානය කර ඇති මහජන කෝපයක් බවට පත්වීමේ විභවය පිලිබඳ ඉරාන ආන්ඩුවේ භීතිය ඉරාන ආන්ඩුව දියත් කල දැඩි මර්දනයෙන් පිලිබිඹු කරන බවයි.

ඊජිප්තු විප්ලවය තමන්ගේ මූලෝපායික සහ දේශපාලනික අවශ්‍යතාවන් ඉහල නංවා ගැනීම වෙනුවෙන් යොදා ගැනීමේ තම ප‍්‍රයත්නයන්ට වල කපන බව සඳහන් කරමින් ඉරාන ආන්ඩුව විරෝධතා හෙලා දුටුවේය. "වසර තිස් දෙකකින් අනතුරුව ඉස්ලාම් විප්ලවයේ උත්කෘෂ්ට පනිඩිඩය දැන් ගෝලීය අධිකාරියේ බලකනු බිඳ දමමින් ඊජිප්තුවේ සහ ටියුනීසියාවේ මහජනයා ප‍්‍රබෝධමත් කරමින් තිබෙන අතරේ මවුසාවි සහ කරොව්බි ඊජිප්තුවේ මහජනයාට සහය පල කිරීම සඳහා යයි පවසමින් මහජනයා වීථිවලට කැඳවුම් කර තිබේ. එහෙත් ඇත්ත වසයෙන්ම නම් ඔවුන් සහය පල කර ඇත්තේ එක්සත් ජනපදයේ සහ සියොන් පාලන තන්ත‍්‍රවල න්‍යාය පත‍්‍රවලටය” යැයි ආන්ඩු හිතැති පාර්ලිමේන්තු සාමාජිකයෝ 233 ක් අඟහරුවාදා නිකුත් කල ප‍්‍රකාශනයකින් කියා සිටියහ.

ෂාගේ වෛරයට පත් ආඥාදායකත්වය පෙරලා දැමුනු 1979 ඉරාන විප්ලවයේ යථාර්ථය වූයේ, ඊජිප්තුව තුල මුබාරක්ගේ එක්සත් ජනපද ගැති පාලනාධිකාරිය බලයෙන් පහකල විප්ලවය මෙන්ම එය ද ඉරාන කම්කරුවන් සහ පීඩිතයන් විසින් නායකත්වය දරනු ලැබූ දැවැන්තම අනාගමික මහජන නැගීමක්ය යන්නයි. එය කම්කරු ව්‍යාපාරයේ එවකට පැවැති නායකත්වය විශේෂයෙන් ස්ටැලින්වාදී තුඩේ පක්ෂය විසින් පාවාදෙනු ලැබීය. අයතුල්ලා කොමේනි සහ සියා පූජක තන්ත‍්‍රයට එහි පාලනය අතට ගැනීමටත් වඩාත් සටන්කාමී කොටස් මර්දනය කිරීමට හා ඉරානයේ ධනේශ්වරයේ අවශ්‍යතාවන්ට විප්ලවය යටපත් කිරීමටත් එමඟින් අවකාශ සැලසුනි.

ඊජිප්තුවේ සිය සහකරුවන් මෙන් එරටෙහි ද විරෝධතා, කම්කරුවන්ගේ මහජන ව්‍යාපාරයකට පරිවර්තනය වේ යයි දැන් ඉරාන පාලන තන්ත‍්‍රය භීතියට පත් වන්නේ නම් ඒ, 1979 සිට ම ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කල "නිදහස් වෙලඳපොල ප‍්‍රතිසංස්කරන” ජනාධිපති මොහොමඩ් අහමෙඩිනිජාඩ්ගේ ආන්ඩුව විසින් වඩාත් පුලුල් පරිමානයෙන් ක‍්‍රියාත්තමක කිරීමට උත්සහා දරමින් සිටීමේ හේතුව නිසාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ඉරාන පාලක පැලැන්තියේ පිටුබලය සහිතව "ප‍්‍රතිසංස්කරන” පසුගිය දෙසැම්බරයේදී ආරම්භ කරන ලදී. ඒ ඩොලර් බිලියන 100ක් වන රටේ මිල සහන වැඩසටහනට කෙටීමේ අරමුන ඇතිවය. මෙහි ක්ෂනික ප‍්‍රතිපලය වූයේ ගෑස් මිල සිව් ගුනයකින් ඉහල යාමත්, ආහාර මිල ගනන් තියුනු ලෙස වැඩි වීමත් ජලය, විදුලි ගාස්තු හා අනෙකුත් මූලික අවශ්‍යතාවන්හි මිල ද දැවැන්ත ලෙස ඉහල නැගීමත් ය.

හරිත ව්‍යාපාරය මෙම පියවරවලට විරුද්ධ ව්‍යාපාරයක් නොවේ. එහි විවේචන එල්ල වන්නේ, කල් තියාම හා වඩාත් දැඩි ලෙස එම පියවර ගැනීමට ආන්ඩුව අසමත් වීම පිලිබඳවය. ඉරාන සමාජයේ වඩාත් වරප‍්‍රසාදිත තට්ටුවල අවශ්‍යතා පිලිබිඹු කරමින් එය, ජනගහනයේ දුප්පත්ම කොටස් වෙනුවෙන් සුභසාධන වැඩපිලිවෙලවල්වලට සම්පත් "නාස්ති කරන” ජනතාවාදියෙක් යයි අහමෙඩිනෙජාඩ්ට චෝදනා එල්ල කරයි.

හරිත ව්‍යාපාරය 2009 වසරේදී ප‍්‍රථමවරට විරෝධතා දියත් කරනු ලැබුවේ, මැතිවරනය දූෂිත වී යැයි ද අහමෙඩිනෙජාඩ් හා ඔහුගේ ආධාරකරුවන් ප‍්‍රථිපල වංචා කරනු ලැබීයැයි ද යන මවුසාවි සහ ඔහුගේ සහකරුවන් විසින් එල්ල කල චෝදනා පදනම් කර ගනිමිනි. මෙකී ප‍්‍රකාශ වලට පිටුබලය සපයන එකදු විස්වාසනීය සාක්ෂියක්වත් ඉදිරිපත් නොකෙරුනු අතර ඉරාන සහ බටහිර රටවල ඡන්ද නිරීක්ෂකයෝ ඡන්දය සාධාරන යයි සහතික කලෝය. මවුසාවිගේ ජයග‍්‍රහනය පිලිබඳ හරිතයන්ගේ විස්වාසය දැඩි ලෙසම අවුලනු ලැබුවේ ඊනියා "හරිත විප්ලවය” පැන නැගුනු ටෙහෙරානයේ වඩාත් පොහොසත් ප‍්‍රදේශවල ඔහු ඉදිරියෙන් සිටීමේ කරුනෙනි.

ඉරාන කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ මහජන විප්ලවවාදී ව්‍යාපාරයක වර්ධනය එකවරම ගැටුමකට පමුනුවනු ඇත්තේ ආන්ඩුව සමග පමනක් නොවේ. මහජනතාවගේ අවශ්‍යතාවලට මුලුමනින්ම එරෙහි සමාජ අවශ්‍යතා දරන මෙකී දක්ෂිනාංශික ධනේශ්වර විරුද්ධ පක්ෂය සමඟ ද එය ගැටෙනු ඇත.

බොහෝ තරුන ඉරාන වැසියන් ඊජිප්තුවේ, ටියුනීසියාවේ හා කලාපයේ අනෙකුත් තැන්වල විප්ලවවාදී සිදුවීම් මගින් නිසැකව ම අවේශ ගැන්වෙනු ඇත. කෙසේ වෙතත්, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් හා සමාජ සමානතාව සඳහා සැබෑ විප්ලවවාදී ව්‍යාපාරයක් වර්ධනය කිරීමෙහි ලා තීරනාත්මක කාරනාව වන්නේ, ආන්ඩුවට දකුනෙන් විරුද්ධ වන අතර, නිදහස් වෙලඳපොල වැඩසටහන කඩිනම් කිරීමට සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග සුමිතුරු සබඳතා ගෙනයාමේ දැඩි අධිටනින් සිටින පාලක පන්තියේ ම කොටස්වලින් සැදුම් ලත් ව්‍යාපාරවලින් දේශපාලනිකව වෙන් වී ගැනීමයි. ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්, සමාජ සමානතාව හා අධිරාජ්‍යවාදයෙන් සැබෑ ලෙසම විමුක්ත වී ගැනීම, මවුසාවි වැනි දක්ෂිනාංශික දේශපාලඥයින් සහ පාලවි රාජවංශයේ රොඩු බොඩු සමග වන පොදු පෙරමුනක කොටසක් ලෙස අත් කර ගත නොහැක.

එවැනි බලවේගයන්ගෙන් දේශපාලනිකව ස්වාධීන විය හැක්කේ, සමාජවාදී සහ ජාත්‍යන්තර ඉදිරි දර්ශනයක පදනම මත කම්කරු පන්තිය හා පීඩිත මහජනයා ස්වාධීනව බලමුලු ගැන්වීම කරා හැරීගැනීමේ පදනමක පමනි. එවැනි ඉදිරි දර්ශනයක් වර්ධනය කර ගැනීමට ඉරාන කම්කරුවන් ගොඩනැගිය යුතු මෙවලම වන්නේ, හරිත ව්‍යාපාරයේ දක්ෂිනාංශික, ධනේශ්වර ගැති ක‍්‍රියාමාර්ගයට එරෙහි වෙමින්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සමග දේශපාලනික එකමුතුව සහිත පක්ෂයකි.

කෙසේ වෙතත් හරිත ව්‍යාපාරය විසින් විරෝධතා දේශපාලනිකව හසුරුවන තාක් දුරට ඒවා, ඉරානයේ සමාජ ප‍්‍රතිගාමීත්වයට පමනක් නොව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප‍්‍රචාරක මෝල සඳහා ඇඹරෙන ජාත්‍යන්තර ප‍්‍රතිගාමිත්වය වෙනුවෙන් ද සේවය කරයි.

වොෂිංටනය ඉරානයේ විරෝධතා අල්ලා ගැනීමට උත්සාහ කරන්නේ, ඉරානය තුල "පාලන තන්ත‍්‍ර වෙනසක්” සඳහා වන තම මූලෝපාය ශක්තිමත් කර ගැනීමටත්, ඊජිප්තුවේදී හා ටියුනීසියාවේදී ඇඹරී ගිය එක්සත් ජනපද ප‍්‍රතිපත්තිය වෙතින්, සියල්ලටත් වඩා බෙන් අලිගේ හා මුබාරක්ගේ ආඥාදායක තන්ත‍්‍රයන් නඟා සිටුවීමේ එහි සාපරාධී වගකීමෙන්, මහජන මතය වෙනතකට හැරවීමේ අරමුන ඇතිව ය.

"ඊජිප්තුවේ සිද්ධීන් සැමරීමට ඉරාන පාලන තන්ත‍්‍රය සූදානම්වීම උත්ප‍්‍රාසයක්” යයි 15දා ජනාධිපති ඔබාමා පැවසීය. ඉරානයේ අධිකාරීන් විරෝධතා කරුවන්ට එරෙහිව මර්දනය දියත් කරමින් "ඊජිප්තුවේ සිදුවූ දෙයට හාත්පසින් විරුද්ධව ක‍්‍රියා කලේය. මුබාරක්ට එරෙහි නැඟී සිටීමේදී ඊජිප්තු වැසියන් සිය ගනනක් මරාදමා, දහස් ගනනක් තුවාල ලබා හා සිරගතකොට සිටින බවත් වධ බන්ධනයට ලක් කොට ඇති බවත් ඊජිප්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරයෙන් ලබා ගත් එක්සත් ජනපද නිල වාර්තාවල දැක්වෙයි.” යනුවෙන් හෙතෙම ප‍්‍රකාශ කලේය.

එම සඳහන අතරතුර ම ඔබාමා, අඛන්ඩව පැවත්වෙන වැඩවර්ජන සහ විරෝධතාවන් තලා දැමීමට උත්සාහ දරමින් සිටින හා දැන් රාජ්‍ය බලය අතැතිව සිටින එක්සත් ජනපදයේ මුදලින් නඩත්තු කරන ඊජිප්තු හමුදාවට ප‍්‍රසංශා කලේය.

විරෝධතා මර්දනය කිරීම පිලිබඳව 14 දින කල කතාවක දී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඉරානය විවේචනය කල අතර, ඊජිප්තුවේ විරෝධතාවන්ට පිටුබලය සපයන අතර රට තුල ඒවා මර්දන කිරීමේ "කුහක පිලිවෙත” ගැන ටෙහෙරානයට දෝෂාරෝපනය කලාය. "ඉරාන ජනතාවගේ සාර්වත‍්‍රික මානව හිමිකම්” වෙනුවෙන් වොෂින්ටනය පෙනී සිටින්නේ යයි ද ඇය පැවසුවාය.

යේමනය, බහරේනය, ජෝර්දානය හා සවුදි අරාබිය වැනි දැනට ඉතිරිව ඇති එක්සත් ජනපද පිටුබලය ලබන මැදපෙරදිග ආඥාදායක පාලනයන් සහ රාජාන්ඩුවලට එරෙහිව නැගී සිටීමේදී වොෂිංටනය විස්වාස කරන පරිදි මහජනයාට පැවරිය යුත්තේ කුමන අයිතිය දැයි ඇගේ ප‍්‍රකාශ වලදී සඳහන් නොවීම කැපී පෙනෙයි.

ඉරාන ආන්ඩුව පෙරලා දමා සිය අවශ්‍යතාවන්ට සෘජුව ම බැල මෙහෙවරකම් කරන පාලන තන්ත‍්‍රයක් එහි අටවා ගැනීම එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ මූලෝපායික එල්ලය වී ඇත. දකුනෙන් නොව වමෙන් එල්ල වන අභියෝගයක් ලෙස ඉරාන කම්කරු පන්තියේ සැබෑ විප්ලවවාදී ව්‍යාපාරයක හිස එසවීම දෙස වොෂින්ටනය බලනු ඇත්තේ, ටියුනීසියාවේ, ඊජිප්තුවේ හා කලාපයේ අනෙකුත් රටවල කම්කරුවන්ගේ ස්වාධීන අරගල කෙරෙහි එක්සත් ජනපදය දක්වන සතුරු භාවයෙන්ම ය.

බිල් වෑන් ඕකන්