පකිස්තානුවන් මරා දැමූ එක්සත් ජනපද ඒජන්තයා පිලිබඳ රාජ්‍යතාන්ත‍්‍රික අර්බුදය උග‍්‍ර අතට හැරෙයි

Diplomatic crisis intensifies over US operative who gunned down Pakistanis

By Keith Jones, 18 February 2011

ජනවාරි 26දා ජනාකීර්න ලාහෝර් වෙලඳපොල්දී තරුනයින් දෙදෙනෙකුට වෙඩිතබා ඝාතනය කල එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරියෙකුට එරෙහිව නඟා ඇති සියලූම අපරාධ චෝදනා ඉවත්කරගන්නා ලෙසට වොෂින්ටනය පකිස්ථානයට කෙරෙන බලපෑම දැඩිකර ඇත.

මේ සතිය අවසන් වන විට රේමන්ඩ් ඩේවිස් නිදහස් නොකලහොත් පකිස්ථානයට දරුනු ප‍්‍රති විපාකවලට මුහුනපෑමට සිදුවනු ඇතැයි ඔබාමා පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා කොන්ග‍්‍රස් සභාවේ ප‍්‍රමුඛයින් තර්ජනය කර ඇති බව වාර්තා විය. ඒබීසී ප‍්‍රවෘත්ති වලට අනුව, එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ටොම් ඩොනිලන් පකිස්ථාන තානාපති හුසේන් හකානි වෙත පසුගිය 14දා පවසා ඇත්තේ, ඔබාමා පරිපාලනය "ඔහු එක්සත් ජනපදයෙන් නෙරපා හරින බව” හා ලබන මාසයට යෙදී ඇති පකිස්ථාන ජනාධිපති අසිෆ් අලි සර්දාරිගේ වොෂින්ටන් සංචාරය අවලංඟු කරන බවත්ය. එසේම, පකිස්ථානයට සැපයෙන ආර්ථික හා මිලිටරි ආධාර සැලකිය යුතු ප‍්‍රමානයකින් කපාහරින බවටත් ඔහු තර්ජනය කලේය.

ලබන සතියේදී එක්සත් ජනපද, පකිස්ථාන හා ඇෆ්ගනිස්ථාන නිලධාරීන් අතර ඇෆ්ගන් යුද්ධය මුල්කරගෙන පැවැත්වීමට නියමිතව තිබුනු රැස්වීම වොෂින්ටනය විසින් දැනටමත් කල්දමා ඇත.

15දා පැවති මාධ්‍ය හමුවේ දී එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා, "අපගේ තානාපති නිලධාරියා” වහාම හා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස දැනුම් දුන්නේය. ඩේවිස්ට එක්සත් ජනපදයට පැමින තමා ක‍්‍රියාකලේ ආත්මාරක්ෂාව සඳහා බවට ඔහු කරන ප‍්‍රකාශය, එරට අධිකරනය හමුවේ විභාග කිරීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් ඉස්ලමාබාදය, රාජ්‍යතාන්ත‍්‍රික නිර්මුක්තිය (immunity) හා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරනු ඇතැයි ද ජීවිත හානි පිලිබඳව වොෂින්ටනය "නොබැරෑරුම් හෝ නිරනුකම්පික නොවන්නේ” යයි ද ඔබාමා අවධාරනය කල අතර, "බරපතල මූලධර්මයක් පරදුවට තැබී ඇතැයි” කියා සිටියේය.

මිනීමරු ඩේවිස් නිදහස් කරන ලෙස ජාත්‍යන්තර නීතියේ එල්ලෙමින් ඔබාමා කරන ප‍්‍රකාශය අභූතයක් වන්නේ හුදෙක් ඔහුගේ කටයුතු හා රහසිගත වාර්තාව නිසා පමනක් නොව, එක්සත් ජනපද විශේෂ බලකායේ සාමාජිකයෙකු ලෙස දස වසරක් තිස්සේ ඔහුගේ සැඟවුනු කාලය ද ඊට ඇතුලත්ව තිබීම නිසාය. ඒ අනුව ඔහුට රාජ්‍ය තාන්ත‍්‍රික වරප‍්‍රසාද හිමි නොවේ.

එක්සත් ජනපදය නිතිපතා පකිස්ථානයේ ස්වෛරී භාවය උල්ලංඝනය කරයි. සිවිල් ජනතාවට සිදුවන හානි පිලිබඳව කිසිදු තැකීමකින් තොරව එක්සත් ජනපදය තලේබාන් හිතවාදීන් ලෙස හඳුනාගත් අය සමූහ වශයෙන් ඝාතනය කිරීමේ ඩ්‍රෝන් (නියමුවෙකු රහිත ගුවන් යානා) ප‍්‍රහාර එල්ල කරයි. එපමනක් නොව, පකිස්ථාන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පාගා දැමීමේ දී නිලධරය හා මිලිටරිය සමග කුමන්ත‍්‍රනය කිරීමේ දශක ගනනාවක් දිගු ඉතිහාසයක් ද එය සතුව තිබේ.

ඩේවිස්ගේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ගත් කල්හි ඔබාමා පාලනාධිකාරය, එක්සත් ජනපද ආන්ඩුව සමග ඔහුට පැවති සම්බන්ධය හා පකිස්ථානයේදී ඔහුට පැවරී තිබුනු රාජකාරි පිලිබඳ කිසිදු ප‍්‍රශ්නයකට පිලිතුරු සැපයීම ප‍්‍රතික්ෂේප කරයි. එනම්, ලාහෝරයේ දුගී පෙදෙසක ගමන් කරමින් සිටිය දී යතුරු පැදියකින් පැමිනි දෙදෙනෙකුට ඔහු හදිසියේම වෙඩි තබන අවස්ථාවේදී ඔහු නිමග්නව සිටියේ කුමන කටයුත්තක ද පකිස්ථාන නීතියට පටහැනිව ඔහු තුවක්කුවක් රැගෙන ගියේ මන්ද යනාදී දේවල්ය.

එපමනක් නොව එක්සත් ජනපද ආන්ඩුව, ඩේවිස් යතුරුපැදි කරුවන්ට වෙඩිතැබූ ස්ථානය අසල දී ඊට මිනිත්තු කිහිපයකට පසුව වීදියේ වැරදි පැත්තේ ගමන් ගනිමින් හා, පදිකයෙක් මරා දමමින් සිය තානාපති අංශයේ වාහනයක් එලවූ රියැදුරු හා එහි ගමන්ගත් මගීන් පිලිබඳව කිසිවක් නොකීමට ද සිතා මතාම වග බලාගෙන ඇත.

පකිස්ථානයේ භෞමික අඛන්ඩතාවය උල්ලංඝනය කරමින් ද එරට වැසියන් තිදෙනෙකුගේ මරන පිලිබඳව නොතැකීමෙන් ද එක්සත් ජනපදය දක්වන යටත් විජිතවාදී ආකල්පය වොෂින්ටනයට එරෙහි මහජන මතය තවදුරටත් ගිනි අවුලුවා තිබේ. පකිස්ථාන ජනගහනයෙන් බහුතරයක්, ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද ආක‍්‍රමනකාරී යුද්ධවලටත්, 2008 අවසන්වූ දශකයකට ආසන්න ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ගේ පාලනය ද ඇතුලු පකිස්ථානයේ මිලිටරි ආඥාදායකයින්ට එය දැක්වූ අනුග‍්‍රහය පිලිබඳවත්, දක්වන්නේ දැඩි සතුරුකමකි.

ඩේවිස් නිදහස් කිරීමට පකිස්ථාන ආන්ඩුවට වංචනික ලෙස අයුතු බලපෑම් කිරීමේ උත්සාහයක නිරතවීම සඳහා, 2004 ඩිමොක‍්‍රටික් ජනාධිපති අපේක්ෂක හා සෙනේට් සභාවේ විදේශ සම්බන්ධතා කමිටුවෙහි ප‍්‍රධානී ජෝන් කෙරී මේ සතියේදී පකිස්ථානයේ තෙදින සංචාරයක යෙදුනේය.

16දා ජනාධිපති සර්දාරි සමග ද විපාර්ශවයේ ප‍්‍රධාන පක්ෂයෙහි නායක නවාස් ෂරීෆ් සමග ද සාකච්ඡා පැවැත්වූ ඔහුගේ සංචාරය අවසානයේ කෙරී කියා සිටියේ, "එලඹෙන දින කිහිපයේදී” ඩේවිස් පිලිබඳ ගැටුම එක්සත් ජනපදයට පිලිගතහැකි ආකාරයෙන් නිමාවනු ඇති බව තමා විශ්වාස කරන බවයි.

කෙසේ වෙතත් 17දා පකිස්ථාන ප‍්‍රාදේශීය අධිකරනයක්, මිනීමැරීමේ හා නීති විරෝධී ලෙස ආයුධයක් ලඟ තබාගැනීමේ චෝදනා යටතේ ඩේවිස්ගේ නඩුව විභාගකල යුතු ද යන්න තීරනය කිරීම පිනිස නඩු විමසීම කල් තැබීය.

පකිස්ථාන ආන්ඩුවේ නියෝජිතයින් ඇඟවුම්කර ඇත්තේ, ජාත්‍යන්තර හා පකිස්ථාන නීතිය යටතේ ඩේවිස් රාජ්‍යතාන්ත‍්‍රික නිර්මුක්තියට හිමිකම් පාන බව පෙන්නුම් කරන සාක්ෂි තමන් අධිකරනයට ඉදිරිපත් කිරීමට සූදානම් බවය. ඒ අතර නියෝජ්‍ය නීතිපති කියා සිටියේ, ආන්ඩුවට නඩුව සඳහා සූදානම් වීමට කාලය අවශ්‍යව ඇති බවත්, ඒ නිසා නඩු විභාගය මාර්තු 14දා තෙක් කල් තබන බවත්ය.

සර්දාරිගේ පකිස්ථාන මහජන පක්ෂය හෙවත් පීපීපී නායකත්වය යටතේ ඇති එරට ජාතික හවුල් ආන්ඩුව නැවත නැවතත් ඇඟවුම්කර ඇත්තේ, තමන්ට අවශ්‍ය වන්නේ ඩේවිස්ගේ නඩුව පිලිබඳව එක්සත් ජනපදය වෙනුවෙන් ලංසුව තැබීමට බවය. ඒ සමග ම ඔවුන් ඩේවිස් නිදහස් කිරීම කෙරෙහි පලවන සතුරු මහජන ප‍්‍රතිචාරය ගැන ද සාවධාන වෙයි. ඩේවිස්ට දඬුවම් පමුනුවන ලෙස ඉල්ලා ලාහෝරයේ මෙන්ම අනෙකුත් නගරවල ද යලි යලිත් පෙලපාලි පවත්වා තිබේ.

පරිනත පීපීපී නායකයෙකු වන ෂා මොහමඩ් කියුරේෂි, පසුගිය සතියේ පැවති කැබිනට් මන්ඬල සංශෝධනයේදී විදේශ ඇමති තනතුරෙන් ඉවත් කර තිබේ. පෙනීයන ආකාරයට ඔහු, ඩේවිස් ප‍්‍රශ්නය පිලිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත එක්සත් ජනපද ආන්ඩුව විසින් ගොනුකර තිබෙන ලියවිලි වලින්, එම පුද්ගලයා පූර්න රාජ්‍යතාන්ත‍්‍රික නිර්මුක්තිය සඳහා සුදුස්සෙකු නොවන්නේ යයි තර්ක කර තිබීම ඊට හේතුවයි. කියුරේෂි ප‍්‍රසිද්ධියේම මෙම ප‍්‍රකාශය කල අවස්ථාවේදී පීපීපී ප‍්‍රකාශිකාවක් ඔහු හෙලා දුටු අතර, ඩේවිස් ලඟදීම ඇමරිකානුන් වෙත භාරදෙනු ඇති බව අවධාරනය කලාය.

එක්සත් ජනපද ඒජන්තයා විසින් මරාදමන ලද පකිස්ථානුවන් තිදෙනාගේ පවුල් වලට වන්දි ගෙවන ලෙස පකිස්ථාන අගමැති යූසෆ් රාසා ගිලානි එරටින් ඉල්ලා සිටිමින් කියා සිටියේ, එමඟින් මහජන කෝපය සංසිඳුවා ඩේවිස් නිදහස් කිරීමට තත්වය සකස්කරනු ඇති බවයි. එහෙත් එම පවුල්, තමන් "ලේ තැවරුනු මුදලින්” මිලට ගත නොහැකි බව කියා සිටිමින් මෙම යෝජනාව ප‍්‍රතික්ෂේප කලහ.

17දා දුන් අධිකරන නියෝගයෙන් පසුව, "මෙය සරල ප‍්‍රශ්නයක් නොවේ.” යයි මාධ්‍ය ඇමති ෆර්ඩුස් අෂික් අවාන් කියා සිටියේය. "එහි නීතිමය, දේශපාලනික සමාජ හා ජාත්‍යන්තර ඇඟවුම් පවතින අතර, පොදු එකඟත්වයකින් විසඳුමක් සොයා ගැනීමට ආන්ඩුවට අවශ්‍යව තිබේ.”

එක්සත් ජනපදයේ ප‍්‍රමුඛ දිනපතා පූවත්පත් දෙකක්, පකිස්ථානය තුල පවත්නා මහජන කෝපයේ ගැඹුර මෙන්ම පීපීපී ප‍්‍රමුඛ ආන්ඩුව හුදෙකලාවී ඇති තරම පිලිබඳව සිය සන්ත‍්‍රාසය පලකලේය. ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩ සටහන් ක‍්‍රියාවට නඟන අතර, මහජනතාව කෙරෙහි දක්වන භීතිය නිසාවෙන් අඩුම තරමින් මුෂාරෆ් කලාක් මෙන්, දැඩි ලෙස එක්සත් ජනපදය වැලඳගෙන සිටියි.

වොෂින්ටන් පෝස්ට් මෙසේ සඳහන් කරයි. "දෙරටෙහිම නිලධාරීන් හා දේශපාලඥයින් මෙම ආරෝව විස්තර කරන්නේ, දිගු කාලීන හවුලක් ගොඩනඟා ගැනීමේ දෙවසරක උත්සාහයට ඇතිකල කටුක පසුබැසීමක් ලෙසය.” නිව් යෝර්ක් ටයිම්ස් ඩේවිස් ආරවුල නිරීක්ෂනය කර ඇත්තේ මෙලෙසින්ය. "දෙරට අතර සම්බන්ධතා දැඩිලෙස පලුදු වී ඇති අතර, ජනාධිපති අසිෆ් අලි සර්දාරි විසින් නායකත්වය දෙන ඇමරිකානු හිතවාදී ආන්ඩුවේ දුබලකම හෙලිදරව් කර තිබේ.”

ඩේවිස් හා එක්සත් ජනපද බලධාරීන් ජනවාරි 26දා ලේ වැකි සිදුවීම් පිලිබඳව හා ඔහු ද එරට ආන්ඩුව ද අතර සම්බන්ධකම් පිලිබඳව කියා ඇති ටික වුවත්, බොරුවෙන්, අර්ධ සත්‍යයන්ගෙන් හෝ විකෘති කිරීම් වලින් ගහන බව තහවුරුවී තිබේ.

ආරම්භයේ දී එක්සත් ජනපද නිලධාරියෙක් කියා සිටියේ ඩේවිස් ලාහෝර්හි එරට කොන්සියුලේට් කාර්යාලයට අනුයුක්තව සිටි බවයි. එහෙත් පසුව ඔහු විස්තර කරන ලද්දේ, ඉස්ලමාබාදයේ තානාපති කාර්යාලයට අනුබද්ධව සිටි අයෙකු ලෙසයි. ජාත්‍යන්තර නීතිය යටතේ කොන්සියුලර් සේවකයින්ට ඇත්තේ පහල මට්ටමේ නිර්මුක්තියක් පමනක් වීමේ තතු හමුවේ ඉහත විලක්ෂනය වැදගත්ය.

ඩේවිස් 2003 දී විශේෂ කාර්ය බලකායෙන් විශ‍්‍රාම ගෙන, තාක්ෂනික හා පරිපාලන සහාය ලබාදෙන කොන්ත‍්‍රාත් සේවකයෙක් ලෙස කටයුතු කල බව එක්සත් ජනපද බලධාරීහු ප‍්‍රකාශ කරති. කොන්ත‍්‍රාත් පදනමකින් වේවා, සීඅයිඒහි හෝ වෙනත් එක්සත් ජනපද ආයතනයක ඒජන්තයෙකු ලෙස වේවා, පැහැදිලිව ම ඔහු කටයුතු කර ඇත්තේ ආරක්ෂක-ඔත්තුසේවා ඒජන්තයෙකු ලෙසය. ඩේවිස්ට සම අයිතිය තිබුනු හයිපරියන් එල්එල්සී යන එක්සත් ජනපද ආරක්ෂක සමාගම කෝම්බයක් බව හෙලිවී තිබේ. ෆ්ලොරිඩාහි ඔලන්ඩෝ නගරයේ පිහිටි බව එය කියා සිටින කාර්යාල, බොහෝ කලක් තිස්සේම පාලුවට ගොස් තිබේ.

ඩේවිස් හා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඔහු ක‍්‍රියාකලේ ආත්මාරක්ෂාවට බව කියා තිබුනත්, පොලිස් හා අධිකරන වෛද්‍ය වාර්තාවලට අනුව ඔහු මරාදැමූ මිනිසුන් දෙදෙනාටම වෙඩිතබා ඇත්තේ පිටුපසටය.

ඩේවිස් කියා ඇත්තේ මේ මිනිසුන් තමා කොල්ලකෑමට උත්සාහ කල බවයි. එහෙත් ඒ කිසිවෙකුත් එවැනි සාපරාධී කටයුතු වලට සම්බන්ධ බවට වාර්තාවී නැත.

ඔවුන් ලඟ තිබී ඇත්තේ බලපත‍්‍ර සහිත තුවක්කුය. එහෙත් ඔවුන්, වෙඩි තැබීමේ උත්සාහයක යෙදුන බව ඇඟවුම් කරන සාක්ෂි නොතිබුනි. පතරොම් තිබුනේ කොපුවල මිස චේම්බර්ස්වල නොවේ. තමන්ට ගොදුරුවූ එක් අයෙකු හෝ දෙදෙනාම තමන්ගේ තුවක්කු ඔහු වෙත එල්ල කල බවට කරන ඩේවිස්ගේ ප‍්‍රකාශ නිෂ්ප‍්‍රභා කරමින් තුවක්කු ටි‍්‍රගරයන් (කොකා) මත ඇඟිලි සලකුනු තිබුනේ ද නැත.

තුන්වන පකිස්ථානුවා හැප්පූ එක්සත් ජනපද කොන්සියුලර් රථය පැමිනියේ ඩේවිස්ගේ උදව්වට බව කියන වාර්තා දක්නට තිබුනි. එහෙත් රථය ඒ වන විටත් ඒ අසලක නොතිබුනේ නම් එම ස්ථානයට එතරම් ඉක්මනින් පැමිනීමට එයට හැකිවන්නේ නැත.

පුලුල් වශයෙන් පිලිගනු ලබන්නේ ඩේවිස් මරාදැමූ මිනිසුන් දෙදෙනා නිසැකව ම, පකිස්ථානයේ ප‍්‍රධාන ඔත්තු සේවා ආයතනය වන අයිඑස්අයි විසින් ඩේවිස් පිටුපස යමින් ඔත්තු බැලීමට යොදවා තිබුනු පහල මට්ටමේ ඒජන්තයින් දෙදෙනෙකු ලෙසිනි.

එක්සත් ජනපද හෝ පකිස්ථාන ආන්ඩු එකක් වත් යම් හෙලිදරව්වක් කිරීමට උන්න්දු නොවන මේ පලහිලව්වේ සත්‍යය කුමක් වුවත්, ඩේවිස් ආරවුල ප‍්‍රධාන කරුනු දෙකක් එලිමහනට ගෙනැවිත් තිබේ.

ප‍්‍රථමයෙන් එක්සත් ජනපදය, ජාත්‍යන්තර නීතිය තමන්ගේ වාසියට යලි අර්ථකතනය කරමින් ලෝකය මුලුල්ලේම ඇති රටවල හඳුනාගත් සිය විරුද්ධවාදීන් මරාදැමීමේ අයිතිය නොපැකිලව ක‍්‍රියාවට නැංවීම පිනිස නීතිය තම අතට ගෙන කටයුතු කිරීමයි.

දෙවැනුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා පකිස්ථාන පාලක පැලැන්තිය අතර, පකිස්ථාන හා ඇෆ්ගන් ජනතාව එහි ප‍්‍රධාන ම ගොදුරු බවට පත්කර තිබෙන ලේවැකි හවුලක් පැවතුනු බවත්, එම සම්බන්ධකම් ඛන්ඩනය වී පුපුරන සුලූ තැනක තිබෙන බවත්ය.

එක්සත් ජනපදය විසින් රාජ්‍යයේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීම මෙන්ම එයට ඇඟිලිගැසීම කෙරෙහි පකිස්ථාන පාලක පන්තියේ නොසතුටක් පවත්නා අතර, වොෂින්ටනයේ ප‍්‍රාන්තයක් ලෙස තමන් ඉටු කරන ක‍්‍රියා කලාපය කෙරෙහි වැඩෙන මහජන කෝපය පිලිබඳව ද ඔවුන් බියපත්ව සිටියි.

තව ද එක්සත් ජනපදය, ඇෆ්ගනිස්ථානය යටත්කර ගැනීමට දරන උත්සාහයත් ආක‍්‍රමනශීලී ලෙස ඉන්දියාවට පිටුබලය දීමත් හරහා දකුනු ආසියාව තුලට කරන අතපෙවීම්, පකිස්ථාන පාලක පන්තිය වඩාත් නිරාවරනය වී ඇතැයි හැඟී යන පරිදි පකිස්ථානයට අවාසිසහගත ලෙස කලාපයේ ආතති සහගත බල තුලනය කඩාකප්පල් කර ඇත.