ඩිට්‍රොයිට් සංධ්වනි වාදක කන්ඩායමේ වර්ජනය එහි ඉතිහාසයේ දීර්ඝතම එකයි

Detroit Symphony strike now longest in orchestra’s history

By Shannon Jones, 31 December 2010

ඩිට්‍රොයිට්හි සංධ්වනි වාදක කන්ඩායමේ (ඩීඑස් ඕ) සංගීතඥයන්ගේ වැඩ වර්ජනය එහි 13 වන සතිය දක්වා ඇදී ගොස්, 1987 සති 12 වර්ජනයේ කාල සීමාවද ඉක්මවා යමින් එම සංවිධානයේ ඉතිහාසයේ දීර්ඝතම වර්ජනය බවට පත්ව තිබේ.

මෑත වර්ධනයන් සනාථ කොට සිටින්නේ පරදුවට තැබී ඇත්තේ ඉහල මට්ටමේ වාද්‍ය වෘන්දයක් ලෙස පැවැත්ම හෝ සමහරවිට වාද්‍ය වෘන්දයක් ම ලෙස ඩීඑස් ඕහි පැවැත්ම බවයි. කලමනාකරනය හුදෙක් වාදකයන්ගෙන් කෲර වාසි උකහාගැනීමට පමනක් නොව මර්දනීය හා නිර්ලජ්ජිත පරාජයක් ඔවුන් මත පැටවීමට ද ඉලක්ක කරගනී.

කලාවේ හා සංස්කෘතියේ ආරක්ෂාව සඳහා පෙනීසිටීමට යොමුවිය හැකි එක්සත් ජනපදය පුරා සිටින කලාකරුවන්, සංගීතඥයන් හා අනෙකුත් අය බියවැද්දීම සඳහා පූර්වාදර්ශයක් ස්ථාපනය කිරීමට, ඩිට්‍රොයිට් තුල හා ජාතික පරිමානව කි‍්‍රයාත්මක වන බලගතු සංගතයන්ගේ අවශ්‍යතාවන්හි පිටුබලය ලබන ඩීඑස් ඕ කලමනාකාරීත්වයට අවශ්‍ය වේ.

ධූරයෙන් ඉවත්ව යන මිචිගන්හි ඩිමොක‍්‍රටික් ආන්ඩුකාර ජෙනිෆර් ග‍්‍රෑන්හෝම් හා එක්සත් ජනපද සෙනෙට් සභික කාල් ලෙවින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් ඩීඑස් ඕ නිලධාරීහු මෙම මස මුල දී නිගරු ලෙස ඉවත දමන ලදහ. පෙරපැවති තුන් අවුරුදු කොන්ත‍්‍රාත්තුවට සංසන්දනාත්මකව සංගීතඥයින් සඳහා වෙන් කරන ප‍්‍රමානය ඩොලර් මිලියන 12කින් අඩුකරන එම යෝජනාව කලමනාකාරීත්වයේ ඉල්ලීම් බොහෝ කොටසක් ප‍්‍රදානය කලේ ය. ප‍්‍රති-යෝජනාවක් ඉදිරිපත් නො කල කලමනාකාරීත්වය 2010-11 වාරයේ සමස්තය නො වේනම් එයින් බොහෝ දෑ කැපකිරීමට සූදානම් බව පෙනේ.

ප‍්‍රවේශපත‍්‍ර අලෙවිය පහල වැටීමටත්, පරිත්‍යාග ඛාදනය වීමටත් හා සංගතයන්ගේ සහ පෞද්ගලික අනුග‍්‍රා‍්‍රහකයන්ගේ ආධාර සුවිසල් ලෙස අඩු වීමටත් මුහුන දී සිටින ඩීඑස් ඕව තම මූල්‍ය ගැටලු විසඳාගැනීමට උත්සාහ දරන්නේ එක්සත් ජනපදයේ වඩාත්ම ගෞරවයට පාත‍්‍ර වාද්‍ය වෘන්දයන්ගෙන් එකක් වන මෙහි වාදක සංඛ්‍යාව උග‍්‍ර ලෙස කපමිනි. සංගීතඥයන්ගේ මූලික වැටුප සියයට 30කින් ද අලුතෙන් බඳවා ගන්නන්ගේ වැටුප සියයට 42 කින් ද කප්පාදු කිරීමටත් සෞඛ්‍ය හා විශ‍්‍රාම වැටුප් දීමනා අඩුකිරීමටත් කලමනාකාරීත්වය යෝජනා කරයි.

ඊට අමතරව මෙම වාද්‍ය වෘන්දය පූර්න කාලීන වෘත්තීය සංවිධානයක සිට සංගීතමය නො වන සියලු ආකාර කාර්යයන් පැටවුනු අර්ධ කාලීන සංගීතඥයන්ගෙන් සැදුම්ලත් එකක් බවට පරිවර්තනය කරමින් එහි ස්වභාවය මූලිකව වෙනස් කරන වැඩ නීති පැනවීමට කලමනාකාරීත්වය ගනන් බලමින් සිටී.

"සංගීත ප‍්‍රජාවක්” නිර්මානය කිරීම පිලිබඳ කතා හරහා මෙය වසන් කිරීමට ඩීඑස් ඕ කලමනාකාරීත්වය උත්සාහ දරා ඇතත් යථාර්ථය වන්නේ දැනටමත් ඩීඑස් ඕ වාදකයන් තමන්ගේ ම ඉගැන්වීමේ හා කුඩා කන්ඩායමික කටයුතු කරන බවයි. සෑම සංගීතඥයෙකුම වැටුප් වැඩි වීමකින් තොරව සාමාන්‍ය වැඩ කටයුතුවලට අමතරව මෙම කාර්යයන් කල යුතු යයි කලමනාකාරීත්වය අවධාරනය කරමින් සිටී.

තව ද අත්තනෝමතික විනය රෙගුලාසි වලට හා තනතුරු වලින් නෙරපීමට එරෙහිව සංගීතඥයන් සතුව පවතින ආරක්ෂාව ඔවුන්ට අහිමි කරමින් දුක්ගැනවිලි හා ආරාවුල් විසඳීමේ ක‍්‍රම කපාහැරීමට කලමනාකාරීත්වය මං සොයමින් සිටී.

සංගත මාධ්‍යවල හා දේශපාලන සංස්ථාපිතයේ සතුරුකම නො තකා ඩීඑස් ඕ සංගීතඥයෝ 86 දෙනා නිර්භීත ලෙස තමන්ගේ පැත්තෙන් විරුද්ධත්වය දක්වා ඇත. ඔවුහු සැලකිය යුතු මහජන සහයෝගය මෙන් ම ත්‍යාගශීලී මූල්‍ය ආධාර ලබා දී ඇති එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තර සංගීතඥයන්ගේ සහයෝගය ද දිනාගෙන සිටිති.

තම කොන්දේසි හා වෛෂයික සමාජ පැවැත්ම මත එල්ල කෙරෙන ප‍්‍රහාරවලට ප‍්‍රතිචාර දක්වමින් ඩීඑස් ඕ සංගීතඥයෝ ඩිට්‍රොයිට්හි නිවාස නොමැති නිවහන් ප‍්‍රදේශවල ප‍්‍රසංග මාලාවක් පවත්වමින් සහයෝගය පතා වඩා පුලුල් ලෙස හැරීමට පටන් ගනිමින් සිටිති. තත් වාදක කන්ඩායමක් ජනවාරි 8 දා ඩිට්‍රොයිට් තරුන කාන්තා කි‍්‍රස්තියානි සංගම් (වයිඑම්සීඒ) ශාලාවේ දී නිදහස් ප‍්‍රසංගයක් පැවැත්වීමට නියමිත ය. සම්පූර්න වාද්‍ය වෘන්දය සහභාගි වන තවත් සහයෝගය දැක්වීමේ ප‍්‍රසංගයක් ජනවාරි 15 දා ඩිට්‍රොයිට්හි සාන්ත පැට්රික් කතෝලික පල්ලියේ දී පැවැත්වීමට සූදානම් කොට ඇත.

බටහිර මිචිගන්හි මොනා ෂෝර්ස් රාජ්‍ය විද්‍යාල වාද්‍ය වෘන්දයමය කටයුතු පිලිබඳ හිටපු අධ්‍යක්ෂ රොබින් බ්ලූම්බර්ග්, ඩීඑස් ඕ සංගීතඥයන්ගේ වෙබ් අඩවියේ ද පලකල මිචිගන් සංගීත අධ්‍යාපනිකයන් වෙත විවෘත ලිපියක් මගින් "අපි ද ඩීඑස් ඕහි සංගීතඥයන් සමග පෙලගැසිය යුත්තෙමු. දැන් හඬ නැගීමට කාලය යි, දැන් එලැඹ ඇත්තේ සහයෝගය දියයුතු කාලය යි. මෙම ශ්‍රේෂ්ට කලායතනය අන්තරායට පත් කරන්නේ නම් අප සියලු දෙනාගේ ජීවිත එමගින් බලපෑමට ලක්වෙනු ඇත” යයි ගුරුවරුන්ට කැඳවුම් කර සිටී.

වැඩ වර්ජනය වර්ධනය වෙද්දී සංගීතඥයන්ට හා ඔවුන්ට සහයෝගය දෙන්නන්ට පැහැදිලි වන්නේ ඔවුන්ගේ අරගලය කලාව හා සංස්කෘතිය ආරක්ෂා කරගැනීමේ පුලුල් අරගලයක කොටසක් බවයි. මෑත කාලීන ලූවීවිල් (කෙන්ටකි) වාද්‍ය වෘන්දයේ 11 වන වගන්ති බංකොලොත් ලිපි ගොනුව හා වසර 110ක් තිස්සේ පැවත අවුත් සිය කි‍්‍රයාකාරකම් අත්හිටුවමින් සිටින හොනලූලූ සංධ්වනියේ 7 වන වගන්ති දියකරහැරීම මගින් මෙය අවධාරනය කරමින් තිබේ.

කලමනාකාරීත්වය තමන්ට තව දුරටත් ගෙවීම් කල නො හැකි යයි බංකොලොත් භාවය ප‍්‍රකාශ කිරීමේ විනිසුරුවෙකුට කීමෙන් පසු ලූවීවිල්හි සංගීතඥයන්ට අවසන් පඩිපත ලැබුනේ දෙසැම්බරයේ මැද භාගයේ ය. තමන් යලි සංවිධානය වනතුරු සංගීතඥයන්ගේ වෘත්තීය සමිතිය සමග තමන්ගේ ගිවිසුම අවලංගු කිරීමට අවසර දෙන ලෙස වාද්‍ය කලමනාකාරීත්වය කල ඉල්ලීම උසාවියෙන් ප‍්‍රතික්ෂේප කලේ ය. කලමනාකාරීත්වයට අවශ්‍යව ඇත්තේ පූර්න කාලීන වාද්‍ය වෘන්දයමය තනතුරු සංඛ්‍යාව 71 සිට 55 දක්වා අඩුකොට ඉතිරි 16 අර්ධ කාලීව වාදකයන්ගෙන් පුරවා සංගීතඥයන් පවසන ආකාරයට ප‍්‍රතිස්ථාපනය කල නො හැකි හානියක් කරමින් ඩොලර් මිලියනයක් පමන වාර්ෂිකව ඉතිරි කරගැනීම ය.

හතරදෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා නිල දරිද්‍රතා රේඛාවෙන් එතරම් ඉහල නො වන ඩොලර් 29,000ක වාර්ෂික ආදායමකට සංගීතඥයන්ගේ මූලික වැටුප ලඝු කරමින් වැටුප් සියයට 20කින් කැපීමට ද ලූවීවිල් කලමනාකාරීත්වය ඉල්ලා සිටී. වාද්‍ය වෘන්දයේ සංගීතඥයෝ මහජන සහයෝගය වර්ධනය කිරීම සඳහා නිදහස් ප‍්‍රසංග මාලාවක් පවත්වමින් අර්බුදයට ප‍්‍රතිචාර දක්වා ඇත.

ටෙක්සාස්හි ෆෝර්ට් වර්ත් සංධ්වනි වාද්‍ය වෘන්දයේ සංගීතඥයෝ මෑත දී තමන්ට වාර්ෂිකව ගෙවනු ලබන සති ගනන අඩුකිරීමට එකඟ වූයේ ඉපයීම්වල තියුනු වැටීමක් ජනනය කරමිනි. ඇද වැටෙන ප‍්‍රවේශපත් අලෙවිය හා රාජ්‍ය අරමුදල් පිරිහීම නිසා කප්පාදු කිරීම් අවශ්‍ය බව කලමනාකාරීත්වය කීවේ ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) කම්කරු පන්තිය වෙත වඩා පුලුල් ලෙස ලඟාවීම සඳහා ඞීඑස් ඕ සංගීතඥයන් ගෙන ඇති ආරම්භකත්වය සාදරයෙන් පිලිගනී. එහෙත්, එවැනි පියවරක්, සාකච්ඡා සඳහා අවධාරනය කිරීමට යත්න දරා ඇති ඩිමොක‍්‍රටික් පක්ෂ දේශපාලනඥයින් හා වෘත්තීය සමිති නිලධාරීන් කෙරෙහි කිසිදු මිථ්‍යාවක් තිබීම අවසන් කිරීම අවශ්‍ය කරයි.

ග‍්‍රෑන්හෝම් පරිපාලනය සිය පාලන කාලය තුල පොහොසතුන් සඳහා බදු කප්පාදු පවත්වාගෙන යමින් මිචිගන්හි කලාවට හා අධ්‍යාපනයට වෙන් කරන අරමුදල් කපා හැරී ය. ප‍්‍රාදේශීය, ප‍්‍රාන්ත හෝ ජාතික මට්ටමේ කිසිදු ඩිමොක‍්‍රටික දේශපාලනඥයෙක්, විවෘත වර්ජන කඩාකප්පල් කිරීමකට නො අඩු දෙයක් වන ඩීඑස් ඕ කලමනාකාරීත්වයේ ආස්ථානය විවේචනය කොට නැත.

එලෙස ම ඩීඑස් ඕ වර්ජනය පිලිබඳව කැපී පෙනෙන නිශ්ශබ්දතාවක් පවත්වාගෙන යන ඩිට්‍රොයිට්හි නිල කම්කරු ව්‍යාපාරය සංගීතඥයින් විසින් දියත් කරමින් සිටින අරගලයට සතුරු ය. මෙට්‍රෝ-ඩිට්‍රොයිට් ඒඑෆ්එල්-සීඅයි ඕ මෙන් ම ඩිට්‍රොයිට්හි පදනම් වන එක්සත් මෝටර් කම්කරු සමිතිය ද තම වෙබ් අඩිවයේ එකදු ලිපියක්වත් පලකොට නැත. මේ ගැන පුදුම විය යුතු නැත. මෙම සංවිධාන සමිති-කලමනාකරන ඒකාබද්ධතාව වෙනුවෙන් කම්කරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මොන ම හෝ අරගලයක් කිරීම බොහෝ කලකට පෙර අතහැර දැමූහ. යූඒඩබ්ලිව් සමිතිය, ඩීඑස් ඕ කලමනාකාරීත්වය අනවා සිටින කප්පාදුවලට වඩා වැඩි කප්පාදුවක් මෝටර් රථ කර්මාන්තයට අලුතෙන් බඳවාගන්නන් මත පැටවීමට උදවු වී තිබේ.

අද්‍යතන කලාව හා සංස්කෘතිය වෙනුවෙන් කරන අරගලය දැනට ප‍්‍රහාරයට යටත්ව පවතින කම්කරු පන්තියේ සමස්ත සමාජ ජයග‍්‍රහන ආරක්ෂා කරගැනීම සමග බැඳී පවතී. අඩු වීමේ සේයාවකින් හෝ තොරව නිල විරැකියාව ජාතික පරිමානව සියයට 10 ආසන්නයේ පවතී. සැබෑ විරැකියාව සියයට 50ට ආසන්නව පවතින ඩිට්‍රොයිට්හි කෝටිපති ව්‍යාපාරික විධායක නගරාධිපති ඩේවිඩ් බිංගේ ඩිමොක‍්‍රටික් පරිපාලනය, මූලික සේවා කපාහරිමින් හා නිවැසියන්ට ඉවත්ව යාමට බලකරමින් නගරයේ සමස්ත ප‍්‍රදේශ වසා දැමීමට මං සොයමින් සිටී.

ඩීඑස් ඕ වර්ජනය තීරනාත්මක කාරනා ඉස්මතු කරයි. එය පෙන්නුම් කරන්නේ සෑම තීන්දුවක් ම සංගත ලාභ ධාවනයට යටත් කරන අර්බුද ග‍්‍රස්ත ධනේශ්වර සමාජ පර්යායේ නො නැසී පැවැත්ම සමග ගැඹුරු සංස්කෘතිකමය ජීවිතයක් පැවතීම අසංගත බවයි.

වාද්‍ය වෘන්දයන්, කලා කෞතුකාගාර හා පාසැල් තුල කලා අධ්‍යාපනය පුද්ගලික ප‍්‍රදානයන් හා ධනවතුන්ගේ ත්‍යාගශීලීත්වය මත රඳා පැවතිය නො හැක. ඇමරිකානු සංගතයන් මුදල්වලින් උතුරා යන කොන්දේසි යටතේ කලාවට අරමුදල් සම්පාදනය කිරීමට සම්පත් නැතැයි කියන කියාපෑම අමූලික බොරුවකි.

කලාව හා සංස්කෘතියට ප‍්‍රවේශ වීමේ පහසුකම් ද සහිතව සියලු මූලික අවශ්‍යතාවලට ඇති තරම් අරමුදල් සම්පාදනය කිරීමට සමාජමය සම්පත් යලි වෙන් කරනු ලැබිය යුතු ය. මේ සඳහා සමාජවාදය සඳහා අරගලයට කම්කරු පන්තිය දේශපාලනිකව ස්වාධීනව බලමුලුගැන්වීම අවශ්‍ය කරයි.