ශ‍්‍රී ලංකා ආන්ඩුව කොලඹ දුගී නිවැසියන් ඉවත් කිරීම තීව‍්‍ර කරයි

Sri Lankan government intensifies Colombo evictions

By Vilani Peiris ,27 January 2011

දේපල සංවර්ධන සමාගම් සහ විදේශ ආයෝජකයන්ට ඉඩම් නිදහස් කර දීම සඳහා දුගී නිවහන් ප‍්‍රදේශවල පදිංචි පවුල් 66,000ක් ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කිරීමේ ශී‍්‍ර ලංකා ආන්ඩුවේ සැලසුම් කි‍්‍රයාවට දැමීම වසරේ මුල සිට තීව‍්‍ර කර ඇත.

නිවාසවලින් ඉවත් කිරීමට එරෙහි විරුද්ධත්වය මැඩීම සඳහා සොල්දාදුවන් යෙදවීම සහිතව හමුදාව ඉතා සමීපව මෙම කි‍්‍රයාවලියට සම්බන්ධ වී සිටී. මහින්ද රාජපක්ෂ ආන්ඩුව පසුගිය වසරේ නාගරික සංවර්ධන අධිකාරිය (නාසංඅ) සහ ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මන්ඩලය (ඉගොසංම) ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කලේය.

කොම්පඤ්ඤවීදියේ පදිංචිකරුවන්ට ඔවුන්ගේ නිවාසවලින් ඉවත් වීමට සූදානම් වන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු ජනවාරි 5 දා දැනුම් දුන්හ. එහි පදිංචිකරුවෝ ප‍්‍රධාන වසයෙන් සිය නිවාසවලට නීත්‍යානුකූල ඔප්පු සහිත සුලු ව්‍යාපාරිකයෝය. සමහර නිවාසවල කාමර තුනක් හෝ හතරක් තිබෙන අතර ඒවා නල ජලය සහ විදුලිය පහසුකම්වලින් සමන්විතය. එහෙත් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ජානක කුරුකුලසූරිය සන්ඩේ ටයිම්ස් පත‍්‍රයට ප‍්‍රකාශ කලේ තම නිවාස වලට ඔප්පු සහිත පවුල් පවා ඉවත් කරනු ලබන බවය.

ජනවාරි 20 දා නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීහු දැඩි ලෙස සන්නද්ධවූ පොලිස් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සිය ගනනක් සමග නිවාස 60ක් පමන ඩෝසර් කිරීම සඳහා කොලඹ වනාතමුල්ල ප‍්‍රදේශයට ගියහ. නිලධාරින් සමග ගැටුනු පදිංචිකරුවෝ නිවාස කැඩීමට විරුද්ධ වූහ. එක් පුද්ගලයෙකු සිය සිරුරට භූමිතෙල් වත්කරගෙන ගිනි තබා ගැනීමට උත්සාහ කල නමුත් සෙසු විරෝධතාකරුවෝ ඔහුව වැලැක්වූහ. පොලීසියට තාවකාලිකව හෝ පසුබැසීමට සිදුවිය.

ජනවාරි 24 වෙනි දා කොලඹ කොටුවේ සාප්පු 13ක් කඩා දැමීම සඳහා හමුදා සොල්දාදුවන් යෙදවීය. මෙම කඩසාප්පු ශතවර්ෂයකට වඩා පැරනි වන අතර පදිංචිකරුවන්ට ඔවුන්ගේ හිමිකම් පෙන්වීම සඳහා නීත්‍යානුකූල ඔප්පු තිබේ. "හමුදාව තමයි හැම දෙයක්ම කරන්නේ. ගොඩනැගිලි කඩාදැමීම සඳහා ඔවුන්ට ඉහලින් නියෝග ලැබුන බව නිලධාරියෙක් කිව්ව” කුඩා සාප්පු හිමියෙකු ලෝක සමාජවාදී වෙබ්අඩවියේ වාර්තාකරුවනට පැවසුවේය.

නිවාසවලින් ඉවත් කිරීමට මුහුන දෙන බහුතරය දුගීහුය. ඔවුන්ට හොඳ රැකියා හෝ පහසුකම් සහිත නිවාස නැත. ඔවුහු සහ ඔවුන්ගේ පවුල්, පදික වෙලඳුන්, ඉවත ලන කඩදාසි බෝතල් පරන යකඩ අදිය එකතු කරන්නන් සහ අනියම් කම්කරුවන් ලෙස අමාරුවෙන් යමක් උපයා ගනිමින් කොලඹ නගරයේ දුගී නිවහන් ප‍්‍රදේශවල දශක ගනනාවක් ජීවත් වෙති. දැන් ආන්ඩුව සංචාරක ව්‍යාපාරය දියුනු කිරීමට සහ නගරයේ ප‍්‍රධාන ප‍්‍රදේශ ආසියානු කලාපයේ ව්‍යාපාරික මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම සඳහා අගනුවර සුවිසල් ඉඩම් ප‍්‍රමානයක් නිදහස් කර ගැනීමේ උත්සාහයක යෙදී සිටී.

B.A. Jayantha outside his Wanathamulla homeබී. ඒ.ජයන්ත වනාතමුල්ලේ සිය නිවස අසලදී

ගිනි තබා ගැනීමට උත්සාහ කල විශ‍්‍රාමික කම්කරුවකු වූ වනාතමුල්ලේ ජයන්ත ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ ප‍්‍රකාශ කලේය: "නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අඟහරුවාදා (19) ඇවිල්ල අපට කිව්ව පහුවදාට නිවාස වලින් ඉවත්වෙන්න කියල. බොහොමයක් පවුල් අවුරුදු 50ට වැඩි කාලයක් මෙතන පදිංචිවෙලා ඉන්නවා. සමහරුන්ට ඔප්පු තියෙනවා. නිසි විකල්පයක් නැතිව මිනිස්සුන්ට පැය 24ක් ඇතුලත ගෙවල්වලින් අයින් වෙන්ඩ පුලූවන්ද?”

S.A. Swarna (left)එස්.ඒ ස්වර්නා (වම්පස)

තම දෙමව්පියන් 1943 සිට ප‍්‍රදේශයේ පදිංචිව සිටින බව එස්.ඒ ස්වර්නා පැවසුවාය. "අපි පොහොසත් මිනිස්සු නෙමෙයි. එදිනෙදා උපයගන්න ආදායමකින් ජීවත් වෙන්නේ. මගේ සැමියා රියැදුරෙක්. මම පොඩි රෙදි සාප්පුවක් කරනවා. මෙහෙන් ඉවත් වෙන්න වුනොත් අපි විනාශ වෙනවා.”යැයි ඇය කීවාය.

රාජපක්ෂගේ පාලක සභාගයේ සාමාජිකයෙකු වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල වනාතමුල්ලේ පදිංචිකරුවන් අස්වැසීමට ඉදිරිපත් විය. නිවාස වලින් ඉවත් කිරීම මඳකට ප‍්‍රමාද කිරීමට හා නව නිවසක් ලැබෙන තුරු නිවසක් කුලියට ගැනීම සඳහා ආන්ඩුවෙන් උපකාරයක් ලබා දීම ට උත්සාහ කරන බවට ඔහු පොරොන්දු වී ඇත. මේ බොරු පොරොන්දු කෙරෙහි ප‍්‍රදේශයේ ජනතාවට ඇත්තේ අල්ප විශ්වාසයකි.

කලින් මෙම ප‍්‍රදේශයේ පවුල් 400ක් පමන ජීවත් වූ නමුත් ඔවුන්ගෙන් බොහෝමයක් 2001 දී සහ 2007 දී ඉවත්කර සහස‍්‍රපුර සහ සිංහපුර මහල් නිවාසවල පදිංචි කලහ. එහෙත් පවුල් 60ක් පමන මහල් නිවාසවලට යාම ප‍්‍රතික්ෂේප කලහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු එසේ කලේ පදිංචියට පෙර ගෙවියයුතු මුදල් සහ විදුලිය සැපයුම සඳහා ගෙවිය යුතු මුදල් ගෙවීමට පැවැති නොහැකියාව හේතුවෙනි. මෙම නිවැසියන්ට තොටලඟ වැලිගොඩවත්තේ තාවකාලික කුඩා ලෑලි මඩුවලට යන ලෙස බලධාරින් කියා ඇති නමුත් මෙම තාවකාලික ලෑලි මඩුවලට වැසිකිලි හා ජලය ඇතුලූ මූලික පහසුකම් ප‍්‍රමානවත් තරම් නොමැත.

කොම්පඤ්ඤවීදියේ, මැලේවීදිය, ජස්ටින් අක්බාර්වීදිය, මස්ජිමුල් වීදිය, සහ ජාවා පටුමගේ පදිංචි පවුල් සිය ගනනකට නිවාසවලින් ඉවත් වීමට සූදානම් වන ලෙස නියෝග කර තිබේ. මොවුන්ගෙන් බොහොමයක් මුස්ලිම් සහ දෙමල ජනයාය. නාගරික සංවර්ධන අධිකාරියයේ නිලධාරින් ජනවාරි 5 දා මෙම අනතුරු ඇඟවීම කර ඇත.

ඔවුන්ට ඉදිරි මාස 18ක් සඳහා නිවසක් කුලියට ගැනීමට මාසයකට රුපියල් 8,000 බැගින් දෙන බව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් මෙම පදිංචිකරුවන්ට කියා තිබේ. ඔවුන්ට නව නිවාස ලබාදෙන බවට පොරොන්දු වී ඇතත් පදිංචි ස්ථානවලින් ඔවුන් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

M.H.M. Saalem (far right)එම්.එච්.එම්. සලීම් (වඩාත් දකුනුපස)

හැටඑක් හැවිරිදි එම්.එච්.එම්. සලීම් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ කීවේය: "නිවාස සපයන බවට ආන්ඩුව අපට ලිඛිත සහතිකයක් දෙනවද කියලා මම ඔවුන්ගෙන් ඇසුවා. නමුත් උත්තරයක් ලැබුනෙ නැහැ. තමන්ගෙ නිවස රැකගන්න මෙතන ඉන්න හැම කෙනෙක්ම සූදානම්.”

සලීම් තවදුරටත් ප‍්‍රකාශකලේ: ”ආන්ඩුවට ඡන්දෙ දුන්න සමහර අය කියනවා ගෙවල් දෙන්න ආන්ඩුව එකඟ වෙලා තියෙනවා කියලා. නමුත් කොහෙද ගෙවල් හදලා තියෙන්නේ? අන්ඩුව සූදානම් වෙන්නේ විදේශ ව්‍යාපාරිකයන්ට ඉඩම් දෙන්න” පසුගිය මැයි මාසෙදි ම්‍යුස් වීදියේ පවුල් 45ක් ඉවත් කරන්න පොලීසිය සහ හමුදාව 2000ක් පමන යෙදවූ බව ඔහු මතක්කලේය. "කලින් කොම්පඤ්ඤවීදියෙන් ඉවත් කල බොහෝ දෙනෙකු තවමත් ජීවත්වෙන්නේ වීදිවල” බව ඔහු කීවේය.

ඉවත් කරනු ලබන පවුල් 66,000ට නිවාස හැදීමේ සැලසුම් බලධාරින්ට නැති බව නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජයතුංග පිලිගත්තේ ය. "දැනට සාලමුල්ලෙ නිවාස 1,600ක් සහ දෙමටගොඩ 500ක් හදන්න පටන් අරගෙන තියෙන” බව ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසූ ඔහු මෙම නිවාස වසර දෙකකින් තනා අවසන් වෙන බවත් තවත් 25,000ක් ඉදිරි වසර තුන තුල හදන බවත් ප‍්‍රකාශ කලේය. අවශ්‍ය අරමුදල් සපයා ගන්නා ආකාරය ඔහු විස්තර නොකලේය.

ජනයා නිවාස වලින් ඉවත්කිරීම තීව‍්‍ර කරන ගමන් ආන්ඩුව දේශීය සහ විදේශීය අයෝජකයන් සමග ගිවිසුම් අත්සන් කිරීම කඩිනම් කර තිබේ. ජනවාරි 12දා අමාත්‍ය මන්ඩලය එකක් ඩොලර් මිලියන 500 බැගින් වූ ව්‍යාපාර දෙකක් අනුමත කලේ ය. චීනයේ නැෂනල් එරෝ ටෙක්නොලොජි කොපරේෂන් විසින් ගොඩනගන සාප්පු සංකීර්නයක් සහ ෂැන්ග්රී ලා හොටෙල් ගෲප් විසින් පවත්වාගෙන යනු ලබන හෝටලයක් මෙම ව්‍යාපෘති දෙකට ඇතුලත් වේ.

Small children in their homeකුඩා ලමුන් සිය නිවස තුල

සන්ඩේ ටයිම්ස් පත‍්‍රයට අනුව ශී‍්‍ර ලාංකික බ්ලූ චිප් සමාගමක් එය ගොඩනැගීමට සැලසුම් කර තිබෙන හෝටල් සහ වෙලඳ සංකීර්න සඳහා හෙක්ටයාර් 5ක් මිල දී ගැනීමට බලාපොරොත්තු වේ. "එය කරනු ලබන්නේ කොලඹ ජාත්‍යන්තර මට්ටමේ නගරයක්, ගෝලීයව පිලිගත් හා සමෘද්ධිමත්, ගතික හා ආකර්ශනීය කලාපීය මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ ආන්ඩුවේ අභිමථාර්ථය යටතේ” බව ටයිම්ස්පත‍්‍රය විස්තර කලේය.

සමස්තයක් ලෙස හෙක්ටයාර් 390ක්, එනම් ප‍්‍රධාන වශයෙන් දුගී පවුල් ජීවත්වන ඉඩම් නිදහස් කර ගැනීමට ආන්ඩුව බලාපොරොත්තු වෙයි. දේශපාලන විරුද්ධත්වයන් යටපත් කිරීම සඳහා හමුදාව යෙදවීම පමනක් නොව පත්කල පරිපාලකයෙකු මගින් කොලඹ මහ නගර සභාව ද විස්ථාපනය කරනු ලැබ ඇත. අගනුවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය පැවැත්වෙන ස්ථානයක්ය යන තුනී කඩතුරාව යටතේ ආන්ඩුව එලඹෙන පලාත් පාලන මැතිවරනවලින් ද කොලඹ ඉවත්කර තිබේ.

ප‍්‍රධාන විරුද්ධ පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) නිවාස වලින් ඉවත් කිරීමට නාමිකව විරුද්ධ නමුත් ආන්ඩුවට බලපෑම් දැමීම මගින් එහි සැලසුම් නතර කල හැකි යයි මිථ්‍යාවන් වපුරති. බලයේ ඉඳිද්දී නිවාසවලින් ජනයා ඉවත් කල එජාපය සහ ජවිපෙ යන දෙකම ආන්ඩුව මෙන්ම වෙලඳපොල ගැති පිලිවෙත් මත පදනම්ව සිටිති.

ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරනු ලබන පිලිවෙත් කි‍්‍රයාවට දමනු ලබන ආන්ඩුව ට බලපෑම් දැමීම මගින් නිවාසවලින් ඉවත්කිරීමේ සැලසුම් පරාජය කල නොහැකිය. ජීවත්වීමට සුදුසු වාසස්ථානයක් සම්බන්ධ මූලික අයිතිය ආරක්ෂා කිරීමේ අරගලය කම්කරු-ගොවි ආන්ඩුවක් ගොඩනැගීම මගින් සමස්තයක් ලෙස කම්කරු පන්තියේ ජීවන කොන්දේසි හා මූලිකක ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය සමග බැඳී ඇත.

මෙම දුගී නිවැසියන්ට ජීවත්වීමට සුදුසු පහසුකම් සහිත නිවාස සහ හොඳ රැකියාවන් දිය යුතු බව සමාජවාදී සමානතා පක්ෂය (සසප) අවධාරනය කරයි. එවන් වැඩ පිලිවෙලක් කි‍්‍රයාවට දැමිය හැක්කේ බහුතර වැඩ කරන ජනයාගේ උවමනාවන් සැපිරීම සඳහා සමාජවාදී පදනමක් මත ආර්ථිකය යලි ප‍්‍රතිසංවිධානය කිරීම මගින් පමනි.

නිවාස වලින් පලවා හැරීමේ ආන්ඩුවේ සැලසුම්වලට එරෙහිව නාගරික දුගී ජනයාට සහයෝගය දීමට ඉදිරිපත් වන ලෙස සසප වැඩ කරන ජනයාගෙන් ඉල්ලා සිටී. සසප නිවාස අයිතිය ආරක්ෂා කිරීමේ කි‍්‍රයාකාරී කමිටුවක් ගොඩනැගීමට ආරම්භකත්වය ගෙන ඇති අතර එයට සම්බන්ධ වී එය ගොඩනගන ලෙස දුගී නිවැසියන්ට, කම්කරුවන්ට සහ තරුනයන්ට කැඳවුම් කරයි.