ඕස්ටේ‍්‍රලියානු සරනාගත බෝට්ටු ව්‍යසනය සහ ලේබර් ආන්ඩුවේ "දේශ සීමා ආරක්ෂක” තන්ත‍්‍රය

The Australian refugee boat disaster and the Labor government’s “border protection” regime

23 December 2010

ඕස්ටේ‍්‍රලියානු වෙරල තීරයට නුදුරින් දෙසැම්බර් 15 දා සිදු වුනු සරනාගත බෝට්ටු ව්‍යසනයේ දී පිරිමින්, ගැහැනුන් සහ ලමයින් ඇතුලු 50කට ආසන්න ජනයා මරනයට පත් වීම ලේබර් ආන්ඩුවේ මිලිටරීකෘත "දේශ සීමා ආරක්ෂක” තන්ත‍්‍රය නිසා හට ගත් මෑත කාලීන ම විනාශකාරී ප‍්‍රතිවිපාකය යි. රැකවරන පතන්නන් පිලිබඳ අන්තර්ජාතික නීතිමය සම්මුතිවලට ද රට තුලට පිවිසීමට උත්සාහ දරන්නන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම්වලට ද එලිපිට ගර්හා කරමින් මුලු මහත් දේශපාලන සංස්ථාපිතය ම කරන්නේ තම දේශ සීමා මුර කිරීමට සහ සරනාගතයන් සහ සංක‍්‍රමනිකයන් පැමිනීම සීමා කිරීමට ඕස්ටේ‍්‍රලියානු රාජ්‍යයට පවතින "අයිතිය” ශක්තිමත් කිරීම යි.

යුරෝපය තුල ද උතුරු ඇමරිකාව තුල ද ජාත්‍යන්තරව ද රැකවරන පතන්නන්ගේ සහ සංක‍්‍රමනිකයන්ගේ අයිතිවාසිකම්වලට එරෙහිව එල්ල වන ප‍්‍රහාර ඉහල යමින් පවතී. ඉතාලිය සහ අනෙකුත් දකුනුදිග යුරෝපා රටවල් තුල බලපවත්වන සංක‍්‍රමනිකයන් නුරුස්සීමේ ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිඵලයක් ලෙස, සෑම වසරක ම අප‍්‍රිකාවෙන් පලා යාමට යත්න දරන සිය ගනනක් ජනයා මධ්‍යධරනී මුහුදෙහි ගිලී මිය යති. මේ වන විට මිනිසුන් රහිත ප‍්‍රහාරක ඔත්තු යානා සහ 20,000ක දේශ සීමා මුර සංචාරක චර පුරුෂයන් යොදා මුර කෙරෙන එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාව දිගේ ද මෙලෙස ම නිතිපතා මරන සිදු වේ. මේ අතරවාරයේ ම, ආන්ඩු තම දේශ සීමාවන් තුල දැනට මත් ජීවත් වන සංක‍්‍රමනිකයන් සහ සරනාගතයන් ද ඉලක්ක කර ගනිමින් සිටී. එක්සත් ජනපදයේ ඇරිසෝනා ජනපදය ලතින් ඇමරිකානු සම්භවයක් සහිත කම්කරුවන්ගේ මූලික ව්‍යවස්ථානුකූල අයිතිවාසිකම් සුනු විසුනු කර දැමීමට යත්න දරා ඇත; ප‍්‍රන්ස ආන්ඩුව රොමා ජනයා තොග පිටින් රටින් නෙරපා ඇත; යුරෝපය මුලුල්ලෙහි ම, මුස්ලිම් ජනයා සැලසුම්ගතව තාඩන පීඩනවලට ගොදුරු කර ඇත.

මෙම සෑම අවස්ථාවක දී ම, පිරිහෙන ජීවන තත්ත්වයන් සහ විරැකියාව වෙනුවෙන් සරනාගතයන් සහ සංක‍්‍රමනිකයන් දඩ මීමුන් කර ගන්නා ප‍්‍රතිගාමී උද්ඝෝෂන මෙම වැඩ පිලිවෙලවල් සමග අත්වැල් බැඳ ගෙන ඇත. අරමුන නම් සමාජ අර්බුදයේ සැබෑ මූලය කෙරෙහි, එනම් ධනවාදී ලාභ ක‍්‍රමය ම ද දැන් ලොව පුරා කම්කරු පන්තියේ සමාජ තත්ත්වය ස්ථිරසාරව බිඳ දැමීම ඉලක්ක කර ගෙන ක‍්‍රියාවට නැගෙන කුරිරු පටි තද කිරීමේ වැඩ පිලිවෙලවල් ද කෙරෙහි අවධානය යොමු වීම වැලැක්වීම යි.

ඕස්ටේ‍්‍රලියාවේ දී, පිහිටුවුනු දා පටන් ම ජාතික රාජ්‍යය තුල වර්ගවාදය සහ විදේශික විරෝධය කා වැදී තිබින. කම්කරු පන්තියේ ජීවන තත්ත්වයන් ආරක්ෂා කල හැක්කේ "සුදු ඕස්ටේ‍්‍රලියාව” පිලිබඳ සංක‍්‍රමනික ප‍්‍රතිපත්තිය හරහා ආසියානු "කහ උවදුර” බැහැර කිරීමෙන් ය යන සංකල්පය හුවා දක්වමින් කම්කරු පන්තිය ධනපති රාජ්‍යයට යටත් කිරීමේ දී ප‍්‍රමුඛ කාර්ය භාරය ඉටු කලේ ලේබර් පක්ෂය යි. දශක කිහිපයකට ඉහත දී මෙම තන්ත‍්‍රය නිල වශයෙන් අත් හැර දමනු ලැබුන ද මෑත ම සරනාගත ව්‍යසනයට දැක්වුනු නිල ප‍්‍රතික‍්‍රියාවෙන් අවධාරනය වන්නේ එහි ගැබ්ව තිබුනු කේන්ද්‍රීය දෘෂ්ටිවාදාත්මක මතවාදයන් තව මත් නො නැසී පවතින බව යි.

නත්තල් දිවයින් වෙරල දඹයෙහි හැපී සුන්බුන්ව ගිය බෝට්ටුවෙහි සිටි ඉරාක, ඉරාන සහ කුර්දිෂ් සරනාගතයන්ට අත් වුනු අවාසනාවන්ත තත්ත්වය කෙරෙහි සාමාන්‍ය ජනයා ප‍්‍රතිචාර දක්වා ඇත්තේ අපරිමිත සානුකම්පික හැඟීමකින් යුතුව ය. දිවි ගලවා ගත් 42 දෙනාගෙන් හද කම්පා කරවන තොරතුරු අඛන්ඩව හෙලිදරව් වෙමින් පවතී. පසුව වෙනත් බෝට්ටුවකින් සිය නැන්දාවරුන් දෙදෙනෙකු සේන්දු වන තෙක් ඕස්ටේ‍්‍රලියාව තුල පවුලේ කිසි ම සාමාජිකයෙකු නොමැතිව සිටි වයස අවුරුදු 8ක පමන ඉරාන පිරිමි දරුවා ද ඇතුලු දරුවෝ තිදෙනෙක් තම දෙමාපියන් දියේ ගිලී මිය යාමෙන් පසුව අනාථ භාවයට පත් වූහ. දරුවන් තිදෙනාගේ නීතිමය භාරකරුවා බවට පත්ව ඇත්තේ ලේබර් ආන්ඩුවේ ආගමන විගමන ඇමතිවරයා ය. මේ අනුව, පෞද්ගලික මට්ටමින් ක‍්‍රියාත්මක වන රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා ගෙන සිටින භාරකරුවන් නොමැති රැකවරන පතන දරුවන්ගේ මුලු ගනන 448ක් බවට පත් වේ.

සරනාගතයන්ගේ දුක් වේදනාවන් කෙරෙහි දේශපාලන සංස්ථාපිතය ප‍්‍රතිචාර දක්වා ඇත්තේ මුලුමනින් ම උදාසීන ආකාරයකිනි. ඕස්ටේ‍්‍රලියානු බලධාරීන් බෝට්ටුව සුනු විසුනු වන්නට පෙර එය අල්ලා ගැනීමට අසමත් වූයේ ඇයි ද යන්න පිලිබඳව-සහ කියනු ලබන ආකාරයට ඉන්දුනීසියාවෙන් පිටත් වුනු පසුව නාවික හමුදාවේ, රේගුවේ හෝ ෆෙඩරල් පොලීසියේ කිසිවෙකුට යාත‍්‍රාව නිරීක්ෂනය නොවූයේ කෙසේ ද යන්න පිලිබඳව-මතු වුනු බැරෑරුම් ප‍්‍රශ්න යට ගසා හෝ නො තකා හැර ඇත. එමෙන් ම, රැකවරන පතන්නන්ට එරෙහිව වඩා දුෂ්ට තන්ත‍්‍රයක් තනා ගැනීම සඳහා ව්‍යසනය ගසා කෑමට "මර්ඩොක්” පුවත්පතේ නායකත්වය යටතේ දැන් ඒකාබද්ධ උද්ඝෝෂනයක් ආරම්භ වී ඇත.

සිය දේශපාලන නැගීමේ කේන්ද්‍රයෙහි ම පවතින්නේ සරනාගත විරෝධී කියා පෑම් බැවින් ලේබර් පක්ෂ අගමැති ජූලියා ගිලාඩ් මෙම උද්ඝෝෂනයේ පෙරමුනෙහි ම සිටීම පුදුමයට කරුනක් නො වේ. ගිලාඩ් පලමු වතාවට ජාතික තලයෙහි කැපී පෙනෙන්නට පටන් ගත්තේ, ජනගහනය සහ සංක‍්‍රමනය පිලිබඳ විරුද්ධ පාක්ෂික ප‍්‍රකාශිකාව ලෙස ඇය රැකවරන පතන්නන්ට එරෙහිව හොවාඩ් ආන්ඩුව දියත් කල විදේශික විරෝධී ප‍්‍රහාර සහ මඩ ගැසීම් සමග පෙල ගැසුනු 2001 දී සහ 2002 දී ය. පසු ගිය ජූනි මාසයේ කෙවින් රඩ්ට එරෙහිව එක්සත් ජනපදයේ සහායෙන් සිදු වුනු කුමන්ත‍්‍රනයෙන් පසුව අගමැති තනතුරට පත් වහා ම සරනාගතයන් සම්බන්ධ

"දේශපාලනික නිරවද්‍යතාව” අවසන් කල යුතු යැයි ඉල්ලා සිටි ඈ රැකවරන පතන්නන් "විශේෂ සැලකිල්ලක්” ලබන බව අවධාරනය කලවුන් සමග සිය එකඟතාව ප‍්‍රකාශ කලා ය. පසු ගිය අගෝස්තුවේ දී පැවැත්වුනු ෆෙඩරල් මැතිවරනයේ දී රජයේ ප‍්‍රවාහනය, රෝහල් සහ වෙනත් සමාජ සේවාවන් පිරිහෙමින් පවතින්නේ අධිජනගහනය නිසා බව අඟවමින් ඈ සංක‍්‍රමනික මට්ටම්වලට නිසැකව ම ප‍්‍රහාරයක් එල්ල කලා ය.

හරිතයන් සහ ඊනියා පාර්ලිමේන්තු ස්වාධීනයන් ඇතුලු සෑම පාර්ලිමේන්තු ප‍්‍රවනතාවක් ම මෙම අධම උද්ඝෝෂනයට සහාය දෙයි. ප‍්‍රධාන පක්ෂවල ප‍්‍රවිෂ්ටය පිලිබඳව තමන් ඉදිරිපත් කරන සියලු විවේචන තිබිය දී ම, ඒ තුල ගැබ් වන සැබෑ පූර්වාවයවය සමග-එනම් සීමිත ප‍්‍රවේශයකින් සහ බැහැර කිරීම්වලින් සමන්විත

"දේශ සීමා ආරක්ෂාවක්” සම්බන්ධයෙන් පවතින අවශ්‍යතාව සමග-ඔවුන් මුලුමනින් ම එකඟ ය.

මෙම පූර්වායවයේ තර්කය වන්නේ රටේ "දේශ සීමා” "ආරක්ෂා කිරීම” සඳහා බලාත්කාරය පරම අවශ්‍යතාවක් ය යන්න යි. ඕස්ටේ‍්‍රලියාව බලා පිටත් වීම වැලැක්වීම සඳහා සරනාගත බෝට්ටුවලට බාධා කිරීමට සහ ඒවා විනාශ කිරීමට ඉන්දුනීසියාව තුල සිදු කරන ඕස්ටේ‍්‍රලියානු පොලිස් සහ රහස් ඔත්තු ක‍්‍රියාකාරකම් ඉහල නැංවීම ඉල්ලා සිටින ගමන් අනෙක් අතින් "අඳුරු හැඟීම්වලට” උල්පන්දම් දීම පිලිබඳව ස්වාධීන මන්ත‍්‍රී ඇන්ඩෲ විල්කී ලේබර් පක්ෂයට චෝදනා කරන්නේ එබැවිනි. මේ ආකාරයෙන් ම හරිතයන්ගේ සරනාගතයන් පිලිබඳ ප‍්‍රකාශිකා සාරා හැන්සන්-යන්ග් ද අනෙක් සියල්ලන්ගේ ප‍්‍රතික්ෂේප කිරීම්වලට සිය එකඟතාව පල කරමින් රට තුලට පිවිසීමට ඉඩ ලැබෙන සරනාගතයන් සංඛ්‍යාව වැඩි කල යුත්තේ සුලු වශයෙන් යැයි ඉල්ලා ඇත. සරනාගත තත්ත්වය සම්බන්ධ පටු නිල නිර්නායකය සැපිරීමට අසමත් වන සරනාගතයන් රටින් නෙරපීම සම්බන්ධයෙන් හරිතයෝ තම සහාය නිරතුරුව එලිපිට ප‍්‍රකාශ කරති.

පෘථිවි ගෝලයේ තමන් කැමති කුමන හෝ කොටසක ජීවත් වීමට හෝ රැකියාවක යෙදීමට සෑම පුද්ගලයෙකුට ම තිබෙන අහිමි කල නොහැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය පිලිගැනීම මත පදනම්ව ඕස්ටේ‍්‍රලියාවේ කම්කරු පන්තිය සිය ස්වාධීන ආස්ථානය ගත යුතු ය. ආරෝපනය කෙරෙන බලතල යනු ගෝලීයකෘත "නිදහස් වෙලඳ පොලෙන්” විවෘත වන ලාභදායී අවස්ථා හඹා යාමේ දී ග‍්‍රහ ලෝකය තුල නිදැල්ලේ කරක් ගැසීමට ප‍්‍රාග්ධනයට පවතින

"අයිතිය” වනු ඇති බවට කිසි ම සැකයක් නැත. කිසි ම රටක-හෝ මොන යම් ම හෝ රටවල්වල-වාසය කරන අසීමිත ධනවත්තු තම තෝරා ගැනීම පිලිබඳව කිසිදු ගැටලුවකට මුහුන නො දෙති. එහෙත් ලෝකයේ වැඩ කරන ජනතාවට සහ පීඩිත ජනතාවට මෙම අයිතිය ලබා දීම සැලසුම්ගතව ප‍්‍රතික්ෂේප කරනු ලැබේ.

ඕස්ටේ‍්‍රලියානු කම්කරුවන්ගේ පන්ති අවශ්‍යතා, වධහිංසාවලින්, ප‍්‍රචන්ඩත්වයෙන් සහ දරිද්‍රතාවෙන් බේරී පලා යාමට උත්සාහ දරන්නන් ඇතුලු ලොව සෑම තැනක ම සිටින කම්කරුවන්ගේ පන්ති අවශ්‍යතාවලට සමාන ය. මෙම අවශ්‍යතාවන් නම්, නිසි රැකියාවක්, ජීවිකාවක් සහ සේවා තත්ත්වයන් උදෙසා; ඊලඟ පරම්පරාව සඳහා නිසි අනාගතයක් උදෙසා; උසස් මට්ටමේ අධ්‍යාපන, වෛද්‍ය සහ වෙනත් සේවාවන් වෙත නිදහසේ ප‍්‍රවේශ වීම උදෙසා; සහ පූර්න ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් උදෙසා පවතින අයිතිය යි. "දේශ සීමා ආරක්ෂාව” පිලිබඳ මෙම මුලු මහත් ප‍්‍රතිගාමී ව්‍යුහය ම ප‍්‍රතික්ෂේප කිරීම වූකලි මෙම අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ආසියාව පුරා සහ ජාත්‍යන්තර පරිමානව විසිරී සිටින සිය සමසගයන් සමග ඕස්ටේ‍්‍රලියානු කම්කරු පන්තියේ ඒකාබද්ධ විප්ලවවාදී අරගලයකට පදනම සැකසීම උදෙසා තීරනාත්මක වන කොන්දේසියක් වේ. මෙම අරගලය පෙරට ගෙන යා හැක්කේ අර්බුදයෙන් ඇලලී ගිය ලාභ ක‍්‍රමය පෙරලා දමා සමාජවාදී ක‍්‍රියා මාර්ගයක් ඔස්සේ ආර්ථික ජීවිතය ප‍්‍රතිසංවිධානය කර සියලු වැඩ කරන ජනයා අතර සමාජ සමානතාව සහතික කල හැකි සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයක පදනම මත පමනකි.

පැටි‍්‍රක් ඕ’කොනර්