එක්සත් ජනපද-චීන සමුලුව

The US-China summit

20 January 2011

සැරසිල්ල හා රාජ්‍යතාන්ත‍්‍රික ආටෝපය පිටුපසින් චීන ජනාධිපති හූ ජින්ටාවෝ වොෂින්ටනය වෙත කල රාජ්‍ය සංචාරය අධිකාරවත් කලේ, ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර වැඩෙමින් තිබෙන ආතතියයි.

බීජිනය ආක‍්‍රමනිකයා ලෙස පින්තාරු කරන ඔබාමා පාලනාධිකාරයේ හඬ දෝංකාර නංවමින් එක්සත් ජනපද මාධ්‍ය පොදුවේ ඉදිරිපත් කල මතයට සපුරා වෙනස් ලෙස, නැගෙනහිර ආසියාවේ ආතතීන් උත්සන්න කිරීමේ මූලික වගකීම පැටවෙන්නේ එක්සත් ජනපදය මතය. දහඅට මාසයකට පෙර එරට රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් එක්සත් ජනපදය "ආපසු නැගෙනහිර ආසියාවට පැමිනෙයි” යන ප‍්‍රකාශය නිකුත්කිරීමේ තැන් පටන් වොෂින්ටනය, චීනය හුදෙකලා කිරීමටත්, ආසියාව තුලත් ජාත්‍යන්තරවත් එහි වැඩෙන බලපෑම කොටුකිරීමටත් නොකඩවා කටයුතු කර තිබේ.

ආර්ථික, රාජ්‍යතාන්ත‍්‍රික හා මිලිටරි යන ක්ෂේත‍්‍රයන් තුනේදීම මේ ප‍්‍රහාරය දියත්කොට තිබේ. යාන්තමින් මාසයකට පෙර ලෝකය, කොරියානු අර්ධද්වීපයේ යුද්ධයක් හටගැනීමේ බියෙන් තැතිගත්තේය. එක්සත් ජනපදයේ සහයෝගය හා සහභාගිත්වය ඇතිව දකුනු කොරියාව, ජීව උන්ඩ යොදාගනිමින් මිලිටරි අභ්‍යාස පැවැත්වූයේ ඊට පෙර මාසයේ දකුනු කොරියානු නාවිකයින් දෙදෙනෙකුට හා සිවිල් වැසියන් දෙදෙනෙකුට මරු කැඳවමින් ප‍්‍රහාර එල්ල කිරීමට උතුරු කොරියාව උසිගැන්වූ, දකුනු කොරියාව අයත්කරගෙන සිටින මත්භේදයට තුඩුදී ඇති එම දිවයින් ආශ‍්‍රිත මුහුදු කලාපයේමය.

එවන් ප‍්‍රකෝපකරනයන්ට එරෙහිව යලිත් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමෙන් උතුරු කොරියාව මෙවර වැලකී සිටියේ චීනයේ බලපෑම මතය. කෙසේ වෙතත්, චීනයේ වියදමෙන් සිය අධිකාරය පවත්වා ගැනීම සඳහා ආසියාව තුල ගැටුම් ඇවිලවීමේ එක්සත් ජනපද ප‍්‍රතිපත්තිය මේ නිසා වෙනස්වූයේ නැත.

උතුරු හා දකුනු කොරියාව යන දෙරට මුහුනට මුහුන ගැටෙන තත්වය, උතුරු කොරියාව හා එහි ප‍්‍රධාන සගයා වන චීනය යක්ෂාවේෂ කිරීම අරමුනු කර ගෙන එක්සත් ජනපදයේ මගපෙන්වීම යටතේ නැගෙනහිර ආසියාව තුල සිදුකරන ලද සැක කටයුතු නාවික ගැටුම් ද ඇතුලු අර්බුද මාලාවක ඉතා මෑත සිදුවීමයි.

දකුනු චීන මුහුදේ "නිදහස් නාවික ගමනාගමනය” එක්සත් ජනපදයේ වැදගත් අවශ්‍යතාවක් යයි ප‍්‍රකාශ කරමින් රාජ්‍ය ලේකම් ක්ලින්ටන්, පසුගිය ජූලි මාසයේදී චීනයට එරෙහිව පෙලගැසෙමින්, දකුනු චීන මුහුදේ දිවයින් මුල්කරගෙන චීනය හා අසල්වැසි රටවල් අතර දිගුකලක් තිස්සේ පවත්නා ගැටුම්වලට හොට දැමුවාය. මෙය චීනයේ වෙලඳාම හා ආරක්ෂාවට වැදගත් වන මුහුදු මාර්ග මත චීනයේ පාලනයට සෘජු තර්ජනයක් විය.

න්‍යෂ්ටික බලයෙන් ක‍්‍රියාකරන ගුවන්යානා හාරක කාල් වින්සන් නෞකාව කහ මුහුදට ඇතුල් කරමින් එක්සත් ජනපදය, දකුනු කොරියාව සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාස පවත්වනු ලැබුවේ පසුගිය සතියේය.

එවන් ප‍්‍රකෝපකරනයන් මධ්‍යයේම 19දා ජනාධිපති හූ සමඟ පැවති එකාබද්ධ මාධ්‍ය හමුවකදී ඔබාමා අවධාරනය කලේ, එක්සත් ජනපදය චීනයේ නැඟීම සතුටින් බාරගන්නා බවය. ඒ සමග ම ඔහු, ඇමරිකානු සමාගම්වලට "සමාන තත්වයක්” හිමිවන පරිදි චීන කර්මාන්ත වලට දෙන සහනාධාර ඉවත් කිරීම හා එහි මුදලේ හුවමාරු අනුපාතිකය තියුනු ලෙස ඉහල නැංවීම යන එක්සත් ජනපදයේ ඉල්ලීම් යලි ඉදිරිපත් කලේය. ඔහු චීනයේ මානව අයිතීන් පිලිබඳ වාර්තාව ද විවේචනය කලේය.

ප‍්‍රවේශමෙන් පිලියෙලකොට තිබුන මාධ්‍ය හමුවේදී ඇමරිකානු හා චීන වාර්තාකරුවන්ට ලබාදී තිබුනේ ප‍්‍රශ්න දෙකක් බැගින් ඇසීමේ අවස්ථාව පමනි. හූට හා චීනයට විවෘතව සතුරුකම් පෑමේ අවස්ථාව ඔබාමා විසින් එක්සත් ජනපද වාර්තාකරුවන් වෙත පවරා තිබුනි.

ඇසෝසියේටඩ් ප්‍රෙස් මාධ්‍ය ජාලයේ වාර්තාකාර බෙන් ෆෙලර්, "මාධ්‍ය වාරනය හා තම ජනතාව බලහත්කාරයෙන් මැඩලීම සඳහා එරට ජනතාවට එතරම් පහත් අයුරින් සලකන බවට ප‍්‍රසිද්ධ” රටක් සමඟ සන්ධානයක් ඔබාමා විසින් යුක්තිසහගත කරන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කලේය.

ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් කෙරෙහි ඇමරිකානු මාධ්‍යයේ තෝරාගත් හා කුහක අප‍්‍රසාදය මෙම ප‍්‍රශ්නයෙන් පිලිබිඹු වෙයි. චීන තන්ත‍්‍රයේ පීඩාකාරී භාවිතාවන් හෝ මානව අයිතීන් පිලිබඳව වෙනත් ඕනෑම අයෙකුට එල්ල වන චෝදනා එසේ තිබියදීත්, පරම වශයෙන්ම චීනයට දේශනා කිරීමේ තැනක නොසිටින ඔබාමාගෙන් නම් එවන් ප‍්‍රශ්න නඟනු නොලැබේ.

සියල්ලටත් වඩා ඔබාමා, ගුවන්තනාමෝ වධකාගාරය පවත්වාගෙන යන අතර ඇමරිකානු පුරවැසියෙක් ද ඇතුලු චෝදනා ලත් ත‍්‍රස්තවාදීන් ඝාතනය කිරීමට නියෝග කරයි. නඩු විභාගයකින් තොරව මිනිසුන් සිරගත කිරීමට ජනාධිපති සතු "අයිතිය” පාවිච්චි කරයි. වධ බන්ධන ක‍්‍රියාවට නගන රටවලට මිනිසුන් "පටවා යැවීමේ” පිලිවෙත දිගටම ගෙනයනු ලබයි. බුෂ් අවධියේ අලූගෝසුවන් ලෙස කටයුතු කල මිනිසුන්ට දඬුවම් පැමිනවීම ප‍්‍රතික්ෂේප කරයි. රටතුල ඔත්තුබැලීම් පුලුල්කර ඇති අතර දැනට එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ බොරු හා අපරාධ එලිකිරීම මත විකිලීක්ස් හා ජූලියන් අසාන්ජ් විනාශ කිරීමට වෑයම් කරමින් සිටියි.

එක්සත් ජනපදයේ දෙවන වාර්තාකරුවා වූ බ්ලූම්බර්ග්හි හෑන්ස් නිකෝල්ස් මෙසේ විමසීය. චීනය "ආර්ථික තර්ජනයක්” ලෙස දකින කොන්ග‍්‍රස් සභිකයින්ගේ බිය පහකිරීමට ඔබාමා කටයුතු කරන්නේ කෙසේද? එසේම, එක්සත් ජනපදයේ විරැකියාව පහත හෙලමින් රැකියා නිර්මානය කිරීමට දරන ධවල මන්දිරයේ උත්සාහයට චීනයේ "මුදල අවභාවිතා කිරීම” කෙතරම් හානිකර වී තිබේ ද?

අසාධාරන වෙලඳ වාසි ලබාගැනීමට හා තම අපනයන මිල මට්ටම් පහත අගයකින් පවත්වා ගැනීම සඳහා චීනය තම මුදල අවභාවිතාකරන බවටත්, අගය පහතින් තබාගැනීමටත් කටයුතු කරන බවට එක්සත් ජනපදය අඛන්ඩව චෝදනා නඟයි. සත්‍ය වශයෙන්ම මේ දක්වා මුදල අවභාවිතා කරන්නා අන් කිසිවෙකු නොව එක්සත් ජනපදයයි. පොලී අනුපාත බිංදුවට ආසන්නව තබාගැනීම හා ඩොලර් නෝට්ටු බිලියන සිය ගනනක් මුද්‍රනය කිරීම මඟින් එක්සත් ජනපදය ඩොලරයේ අගය බෙහෙවින් අවප‍්‍රමානය කර, චීනය, ජපානය, දකුනු කොරියාව, ජර්මනිය හා බ‍්‍රසීලය වැනි සිය ප‍්‍රතිවාදීන්ට සාපේක්ෂව තම නිර්යාත ලාභ කිරීමේ උත්සාහයක නිරත වෙයි.

උද්ධමනය අවුලුවමින් ද වත්කම් බුබුලු හටගන්වමින් ද රටවල් රැසක හුවමාරු අනුපාතික ඉහල නැංවීමට හේතුවන පරිදි ඇමරිකාව, ලෝකය උනුසුම් මුදල් වලින් පුරවාලයි. එහි ප‍්‍රතිපල වශයෙන් චීනයට පසුගිය මාස කිහිපය තුල දෙවරක්ම සිය පොලී අනුපාත වැඩි කිරීමට බල කල උද්ධමනකාරී පීඩනයකට මුහුනපෑමට සිදුව තිබේ.

සමුලුවට පෙර පසුගිය සතියේ කල කථාවකදී එක්සත් ජනපද භාන්ඩාගාර ලේකම් තිමෝති ගේත්නර්, වොෂින්ටනයේ ඉල්ලීම් තවත් පුලුල් කලේය. චීනයට එක්සත් ජනපදයේ වෙලඳපොලට හා තාක්ෂනයට පුලුල් ප‍්‍රවිෂ්ටයක් අත්කරගත හැක්කේ, එරට හුවමාරු අනුපාතිකය තියුනු ලෙස ඉහල දැමීමට අමතරව, සිය ආර්ථිකය තුල රාජ්‍යයේ භූමිකාව අඩු කිරීමත්, "එක්සත් ජනපද සමාගම්වලට එරෙහිව යොදන අසාධාරන” පිලිවෙත් අවසන්කර, ස්වදේශික සමාගම්වලට මුල්තැන දීම නතර කිරීමටත් පියවර ගන්නේ නම් පමනක් යයි ඔහු කියා සිටියේය.

වෙනත් ලෙසකින් කිවහොත් චීනය, ඇමරිකානු ධනවාදයේ නිර්බාධිත සූරාකෑමට සිය ආර්ථිකය විවෘතකර ආර්ථික විජිතයක තත්වය පිලිගත යුතු බවයි.

14දා ජපානයේදී කථාකරමින් ආරක්ෂක ලේකම් රොබට් ගේට්ස්, ටෝකියෝව තම හමුදා නිරිතදිග දිවයින් වෙත එනම් චීන භූමියට මුහුන ලා ඇති දිවයින් වෙත යොමු කිරීමට ගත් තීරනය විශේෂ ප‍්‍රශංසාවකට ලක් කරමින්, තම මිලිටරිය ශක්තිමත් කරන ලෙසත්, එක්සත් ජනපදය සමඟ ඇති මිලිටරි සහයෝගිතාවය වැඩිදියුනු කරන ලෙසටත් කැඳවුම් කලේය. ජපානය හා චීනය අතර මිලිටරි ගැටුමක අවස්ථාවකදී එක්සත් ජනපදයට ජපානයේ ආරක්ෂාව සඳහා පැමිනීමේ හැකියාව ලබාදෙන 1960 ජපාන-එක්සත් ජනපද ආරක්ෂක ගිවිසුම ද ඔහු සිහිපත් කලේය.

හූගේ නිල සංචාරය අතරතුර විවෘත චීන විරෝධී උන්මාදය පැතිරවීමේ රාජකාරිය දෙපක්ෂයේම කොන්ග‍්‍රස් හා සෙනේට් සභිකයන් වෙත පැවරී තිබේ. ඩිමොක‍්‍රටික් පක්ෂයේ සෙනේට් බහුතරයේ නායක හැරී රීඩ්, හූ "ආඥාදායකයෙක්” ලෙස හඳුන්වමින් හූට ගෞරවයක් ලෙස 19දා රාත‍්‍රියේ ධවල මන්දිරයේ පැවැත්වූ රාජ්‍ය භෝජන සංග‍්‍රහයට සහභාගී වීම ප‍්‍රතික්ෂේප කලේය. කොන්ග‍්‍රසයේ රිපබ්ලිකානු කථානායක ජෝන් බෝනර් ද එම අවස්ථාව මඟහැරියේය.

නිව් යෝර්ක් ඩිමොක‍්‍රටිකයෙකු වන සෙනේට් සභික චාල්ස් ෂුමර්, "මුදල අවභාවිතා කරන්නන්” මත දඩ බදු පැනවීම හා එවන් රටවල සමාගම් එක්සත් ජනපද ආන්ඩුවේ කොන්ත‍්‍රාත් ලබාගැනීම තහනම් කරන පනතක් ඉදිරිපත් කල අතර එහි ඉලක්කය වන්නේ චීනයයි. "මුදල අවභාවිතාව මුල්කරගෙන ඔබගේ ආන්ඩුවේ මුරන්ඬු පිලිවෙත අපට හිසරදයක් වී ඇතැයි කියාසිටින චීනයට, මෙම නීතිය මඟින් පනිවිඩයක් නිකුත් කරයි. ඔබ නියාමයන්ට අනුකූලව ක‍්‍රියා නොකරන්නේ නම් අප එසේ කරන ලෙස ඔබට බල කරන්නෙමු.’’ ඔහු පැවසීය.

නිව් යෝර්ක් ටයිම්ස් කතුවැකිය මෙසේ පවසයි. "ඔබාමා මහතාට මුහුනපෑමට සිදුවන ප‍්‍රධාන කරුනු අතර, චීනයේ මුදල අවභාවිතාව, උතුරු කොරියාව හා ඉරානය මෙල්ල කර ගැනීමට නොහැකිවීම, එරට මානව අයීතීන් උල්ලංඝනය කිරීම, බටහිර පැසිෆික් කලාපයේ ඇමරිකානු නාවික අධිකාරයට මෑතදී එල්ල කල තර්ජන ආදිය වෙයි. චීනය තම අසල්වැසියන්ට අඩන්තේට්ටම් කිරීමට උත්සාහ කරද්දී තමන් නිකම් බලා නොසිටින බව ඔබාමා පැහැදිලි කර තිබේ."

වෝල් ස්ට‍්‍රීට් ජර්නලය සිය කතුවැකියෙන් චීනය සමඟ යුද්ධයක් හා තුන්වන ලෝක යුද්ධයක් පිලිබඳ ශක්‍යතාව මතුකරයි. "එහෙත් චීනයේ නව කලහකාරිත්වය, බීජිනය තම කලාපයේ ආධිපත්‍යය පිහිටුවීමට අදිටන් කරමින්, කයිසර්ගේ ජර්මනිය සියවසකට පෙර සිදුකලාක් මෙන් ලෝක පර්යාය අස්ථාවර කිරීම පිලිබඳව යලි වතාවක් කනස්සල්ල දල්වයි.”

ප‍්‍රසිද්ධියට පත්වූ විකිලීක්ස් කේබල් මඟින් පෙන්නුම් කර තිබෙන ආකාරයට රාජ්‍ය ලේකම් ක්ලින්ටන් හා එවකට ඕස්ටේ‍්‍රලියාවේ අගමැතිව සිටි දැන් විදේශ ඇමති කෙවින් රඩ්, චීනය සමඟ යුද්ධයක වාතාවරනය සඳහා සූදානම්වීමේ අවශ්‍යතාවය සාකච්ඡා කර තිබේ.

මෙම වසරේ එක්සත් ජනපද ඒකාබද්ධ හමුදා ආඥාපතිගේ ඒකාබද්ධ මෙහෙයුම් වාර්තාවට -පවත්නා තර්ජනයන්ට මුහුන දීම පිලිබඳ මූලෝපායික මගපෙන්වීමේ හා අනාගත එක්සත් ජනපද මිලිටරි කටයුතු-, පහත දැක්වෙන ලොමුඩැහැගන්වන අනතුරු ඇඟවීම අන්තර්ගතය. "21වන ශතවර්ෂයේ ස්වභාවය හා අංගලක්ෂනය පිලිබඳ බොහෝදේ තීරනය වන්නේ චීනය ගන්නා ගමන් මඟ අනුවය, - ‘තවත් ලේ වැකි සියවසක්ද’ නැතිනම් සාමකාමී සහජීවනයේ සියවසක් ද යන්න-”

නිශ්චිතව ම ගෝලීය යුද්ධයක් කරා පැතිරයා හැකි, එක්සත් ජනපදය හා චීනය අතර මෝදුවන යුද අන්තරාය, මුල්බැස ඇත්තේ ලෝක ආර්ථිකයේ ගැඹුරට විහිදෙන මාරුවීම් හා ගෝලීය බල තුලනය තුලය. එනම්, ලෝකයේ දෙවන ලොකුම ආර්ථිකය කරා චීනයේ නැගීම හා එක්සත් ජනපදයේ ගෝලීය ආර්ථික තත්වයේ පරිහානියයි.

සිය ආර්ථික පරිහානිය මකාගැනීම පිනිස, මිලිටරි බලය යොදාගැනීම දෙසට ඇමරිකානු ධනවාදය එන්ට එන්ටම ප‍්‍රචන්ඩ ලෙස නැඹුරුවන අතර ආසියාවේ හෝ වෙනත් කලාපයක ආධිපත්‍යය සාමකාමී ලෙස චීනයට අතහැර දැමීමට එහි කිසිදු අදහසක් නැත.

මිලිටරිවාදයෙහි පොදු වර්ධනයට හා සුවිශේෂව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප‍්‍රචන්ඩ ක‍්‍රියාකලාපයට ඇති එකම පිලිතුර, සමාජවාදය සඳහා සටනට කම්කරු පන්තිය ජාත්‍යන්තරව එකමුතු කිරීමේ අරගලයයි.

බැරී ගේ‍්‍ර