එක්සත් ජනපද කේබල් පනිවිඩ ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව හා පැරාමිලිටරි ඝාතක කල්ලි අතර දුස්සන්ධානය තහවුරු කරයි

US cable demonstrates Sri Lankan government’s collusion with paramilitary death squads

By Sarath Kumara, 29 December 2010

විකිලීක්ස් විසින් පසුගිය සතියේ දී ප‍්‍රසිද්ධ කරන ලද එක්සත් ජනපද රාජ්‍යතාන්ති‍්‍රක කේබල් පනිවිඩයක්, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි ශී‍්‍ර ලංකා ආන්ඩුවේ යුද්ධය තුල දී ඊලම් ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (ඊපීඞීපී) සහ තමිල් මක්කල් විඩුතලෙයි පුලිහල් (ටීඑම්වීපී) ඇතුලු විවිධ පැරාමිලිටරි සංවිධානවලට සාපරාධී කි‍්‍රයාකාරකම් සමග ආන්ඩුවේ පැවති දුස්සන්ධානය තහවුරු කරයි.

එවකට ශී‍්‍ර ලංකාවේ සිටි එක්සත් ජනපද තානාපති රොබට් ඕ. බ්ලේක් විසින් ලියන ලද, 2007 මැයි 19 දාතමින් යුත් කේබල් පනිවිඩය, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ද ඔහුගේ පෙරප‍්‍රාප්තික ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ද ආන්ඩු මෙම ඝාතක කල්ලිවලට ආධාර හා අනුබල දුන් බව වාර්තා කරයි. බ්ලේක්, ආන්ඩුවේ ප‍්‍රතික්ෂේප කිරීම් හා පරීක්ෂන නොතකා හැරියේ මෙසේ ප‍්‍රකාශ කරමිනි: "අගනුවරින් පිටත, අධිකරන කි‍්‍රයාදාමයෙන් බාහිරිව කෙරෙන මරාදැමීම්, පැහැර ගැනීම්, නීති විරෝධී ලමා ප‍්‍රවාහනය, කප්පම් ගැනීම් සහ ගනිකා වෘත්තියේ යෙදවීම ඇතුලු මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳ සිද්ධීන් දිගටම පැවත තිබේ.” මානව හිමිකම් සංවිධාන විසින් ප‍්‍රසිද්ධියේ කරන ලද චෝදනා මෙන් ම, "තානාපති කාර්යාලයේ විශ්වාසනීය සබඳතා ගනනාවක් ම, බොහෝ සෙයින් පුද්ගලික අවදානමක් දරාගෙන, පැරාමිලිටරි කන්ඩායම් සමග ශී‍්‍ර ලංකා ආන්ඩුවට ඇති සම්බන්ධතාවන්ගේ පරිමාව සවිස්තරව විස්තර කර තිබේ” යයි ඔහු ප‍්‍රකාශ කලේය.

එල්ටීටීඊයට එරෙහි මෙහෙයුම් සඳහා පමනක් නොව, "එල්ටීටීඊය සමග වැඩ කරන බවට සැක කෙරෙන අය පැහැර ගෙන යාම හා සමහර විට මරා දැමීම මගින් කොලඹ ආරක්ෂාව වැඩි දියු කිරීම” පිනිස ද "පැරාමිලිටරි කන්ඩායම්වලට ඉඩ දීමෙන් ලැබ වාසි ගනනාවක්” කොලඹ ආන්ඩුව දකින බව, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවන ලද බ්ලේක්ගේ කේබල් පනිවිඩය, සටහන් කර ගත්තේය. "පැරාමිලිටරි කන්ඩායම් විසින් නිරන්තරයෙන් කරන ලද පැහැරගෙනයාම් ශී‍්‍ර ලංකා ආන්ඩුවේ විවේචකයන් භීතියට හා නිහඬතාවට පත් කරයි. ” පැරාමිලිටරි කන්ඩායම් "යම් ආකාරයක ප‍්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් ” ද කොලඹ ආන්ඩුවට ලබා දෙන බව එම පනිවිඩය සඳහන් කලේය.

"ඔවුන් කරන්නේ ජාත්‍යන්තර සුපරීක්ෂාකාරිත්වය නිසා මිලිටරියට කල නොහැකි ‘වැඩ’ ය යන පදනම මත පැරාමිලිටරි කන්ඩායම්වල වැඩවලට ඇඟිලි නොගසන” ලෙස, ජනාධිපතිගේ සොහොයුරා වන, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, යාපන හමුදා ආඥාපතිට අන කල බව කේබල් පනිවිඩය වාර්තා කලේය. වෙනත් වචනවලින් කියතොත්, මෙහි ‘වැඩ’ යනු අධිකරන කි‍්‍රයාදාමයට බාහිරව කෙරෙන මරාදැමීම් සහ සෙසු නීති විරෝධී කි‍්‍රයාකාරකම්ය. පැරාමිලිටරි කන්ඩායම් සමග සමීපව වැඩ කරන "හමුදා බුද්ධි අංශයේ මෙහෙයුම්වලට ඇඟිලි නොගසන” ලෙස ද ආරක්ෂක අමාත්‍යංශය ඉහල නිලධාරින්ට උපදෙස් දුනි.

බ්ලේක්ගේ කේබල් පනිවිඩ මගින් තහවුරු කෙරෙන්නේ, එකල ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය ද විවිධ මානව හිමිකම් සංවිධාන ද වාර්තා කල හා හෙලා දැකි කරුනුය. බ්ලේක් සහ බුෂ් පාලනාධිකාරය සිදු කෙරෙන අපරාධ ගැන හොදින් දැන සිටිය ද වොෂිංටනය රාජ්‍යතාන්ති‍්‍රක නිශ්ශබ්දතාවක් පවත්වා ගෙන ගිය අතර එල්ටීටීඊයට එරෙහිව රාජපක්ෂ යලි ඇරඹු යුද්ධයට මුලූමනින්ම පිටුබලය සැපයීය.

"කරුනා ඊපීඞීපී නායක දේවානන්දගේ සහයෝගය ඇතිව 2005 නත්තල් දා දෙමල මන්තී‍්‍ර ජෝශප් පරරාජසිංහම් ඝාතනය සැලසුම් කලේ යයි තමන් විශ්වාස කරන” බවට තොරතුරු සපයන්නෙකු සඳහන් කල බව කේබල් පනිවිඩය වාර්තා කලේය. එම තැනැත්තා ම "2006 නොවැම්බර් 10 දා කොලඹ දී ජනපි‍්‍රය දෙමල මන්තී‍්‍ර නඩරාජා රවිරාජ් ඝාතනය කිරීමෙහි ලා කරුනාගේ (ටීඑම්වීපී) කේඩර්වරු යෙදවූ යේ ය යන තොරතුර නිවැරදි” බව සඳහන් කර ඇත.

එල්ටීටීඊයට හිතැති පරරාජසිංහම් ඝාතනය කිරීම, 2005 නොවැම්බරයේ ජනාධිපති මැතිවරනයෙන් රාජපක්ෂ තුනී බහුතරයකින් ජය ගැනීමෙන් යන්තම් සති කිහිපයකට පසුව සිදු වූ, විශේෂයෙන් ප‍්‍රකෝපකාරී කි‍්‍රයාවක් විය. රාජපක්ෂ ජාත්‍යන්තර අනුග‍්‍රහය ලැබූ සාම සාකච්ඡා ද 2002 සටන් විරාමය ද කඩාකප්පල් කිරීම සඳහා අධිෂ්ඨානවත් විය. ඉහල මට්ටමේ අවධානයක් යොමු වූ තවත් ඝාතන ගනනාවකට පෙර සිදු වූ මෙම ඝාතනය සැලසුම් කෙරුනේ එයට ප‍්‍රතිචාර දක්වනු වස් එල්ටීටීඊය පොලඹවා එනයින් යුද්ධය යලි ඇරඹීම පිනිස කඩතුරාවක් සම්පාදනය කිරීම සඳහා ය.

රාජපක්ෂ 2006 ජුලි මස යුද්ධය යලි ඇරඹීමත් සමග ම, ඔහුගේ ආන්ඩුව "මුදල් හිඟයට මුහුන දෙනු ලැබ, හිටපු ජනාධිපති කුමාරතුංග විසින් ආරම්භ කර තිබූ පැරාමිලිටරි කන්ඩායම්වලට කල සෘජු ගෙවීම් කපා හැර ඇති අතර ඒ වෙනුවට ඊපීඞීපී හා කරුනා කප්පම් වෙනුවෙන් බලාත්කාරයෙන් මුදල් එකතු කිරීම හා පැහැරගෙන යාම් සිදු කිරීම නුදුටුවාක් මෙන් සිටී.”

කේබල් පනිවිඩයට අනුව, ගෝඨාභය රාජපක්ෂ, අරමුදල් රැස් කිරීමේ විධි ක‍්‍රමයක් ලෙස දෙමල ව්‍යාපාරිකයන් බිය ගන්වා මුදල් ගැනීම සඳහා ඊපීඞීපීයට හා කරුනාට අවසර දුන්නේය. පැරාමිලිටරි කන්ඩායම් දෙකම යුද වින්නඹුවන්ට හා තරුන ගැහැනු ලමුන්ට ගනිකා වෘත්තියෙහි යෙදීමට බල කල බවත් වයස අවුරුදු 14 තරම් බාල ලමා සොල්දාදුවන් බඳවාගැනීමට කටයුතු කල බවත් තොරතුරු දුන් පුද්ගලයන් විසින් ලබා ගැනුනු විස්තර මගින් එලිදරව් කෙරුනි.

පැරාමිලිටරි කන්ඩායම් සහ ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක හමුදා අතර පවතින දුස්සන්ධානය මුල සිටම පැහැදිලිව පැවතුනි. ඝාතනයට හෝ "අතුරුදහන්වීමට” ලක් කෙරී ඇති සිය ගනනක් අතරින්, ඉහල ම අවධානයට යොමු වූ සිද්ධීන් ගනනාවක් ම මිලිටරියේ සමීප නිරීක්ෂනයට ලක්ව පවතින ප‍්‍රදේශවල සිදු වී ඇත. එහෙත් ඝාතකයෝ නිරන්තරයෙන් ම පැහැදිලිවම පලා යාමට සමත්ව තිබේ.

ආන්ඩුවේ විවේචකයකු වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය එවන් ඉතා ප‍්‍රකට සිද්ධියකි. 2009 ජනවාරි 8 දා මහ දවාලේ ඔහු මරා දැමුනේ කොලඹ උප නගර ප‍්‍රදේශයක සේවය පිනිස ගමන් කරමින් සිටිය දී ය. ඝාතනය අධි ආරක්ෂක කලාපයක් අසල සිදු වුවත් කොලඹ සෑම සන්ධියක ම සෝදිසි මුරපොලවල් පිහිටුවා තිබුනු නමුත් ඝාතකයෝ කිසිදු හෝඩුවාවක් නොතබා පලා ගියහ.

තොරතුරු සපයන්නෙක් එක්සත් ජනපද තානාපති කාර්යාලයට අදාල කි‍්‍රයා පිලිවෙල පැහැදිලි කලේය: "ඊපීඞීපීය ඉලක්ක කර ගත් තැනැත්තෙකු මරා දැමීමට අභිප‍්‍රා කල විට, ඔවුහු පලමුව මිලිටරියට ඒ බව දැනුම් දෙති. . . . එකඟ වූ වේලාවක දී, තෝරාගත් ප‍්‍රදේශයේ සියලූ සොල්දාදුවෝ එක විට විනාඩි පහක දහයක පමන ‘විවේකයක්‘ ගනිති. . . . ඒ අවස්ථාවේ දී, සන්නද්ධ හා මුහුනු ආවරනය කරගත් තුවක්කුකරුවෝ, සාමාන්‍යයෙන් යතුරු පැදිවල නැගී, වීදියට කඩා වැදී ඉලක්ක කරගත් ගොදුර ඝාතනය කරති. ඝාතනයෙන් පසු වහාම සොල්දාදුවන්ගේ විවේකය අවසන් වන අතර, ඉන් අනතුරු තත්වය සම්බන්ධයෙන් කටයුතු කරනු පිනිස ඔවුහු සිය මුර පොලවල් කරා ආපසු පැමිනෙති.” පොලිස් පරීක්ෂන පොදු වන නමුදු ඒවා "අත් අඩංගුවට ගැනීම්වලට කිසිදාක පාහේ තුඩු නොදෙන” බව කේබල් පනිවිඩය සටහන් කලේය.

වර්ගවාදී යුද්ධයට එරෙහි එහි සප‍්‍රතිපත්තික විරුද්ධත්වය නිසා සසප පැරාමිලිටරි කන්ඩායම්වල ඉලක්කයක් විය. පක්ෂය දෙමල හා සිංහල කම්කරුවන්ගේ ඒකාබද්ධතාව ද උතුරෙන් හා නැගෙනහිරෙන් ශී‍්‍ර ලංකා හමුදාව වහාම හා කොන්දේසි විරහිතව ඉවත් කිරීම ද උදෙසා සටන් වැදුනි.

රාජපක්ෂ එල්ටීටීඊයට එරෙහි කොලඹ ආන්ඩුවේ යුද්ධය යලි අරඹා යන්තම් සති දෙකකට පසුව, 2006 අගෝස්තු 7 දා, සසප ආධාරකරුවකු වූ සිවප‍්‍රකාසම් මරියදාස්, නැගෙනහිර වරාය නගරයක් වන ති‍්‍රකුනාමලය අසල මුල්ලිපොතනෙහි පිහිටි ඔහුගේ නිවසේ දී වෙඩා තබා මරා දැමුනි. නගරයේ පැවති දැඩි මිලිටරි මුරකාවල් තිබිය දී ම ඝාතකයා පලා ගියේය. ශී‍්‍ර ලංකා බලධාරිහු ඝාතනය පිලිබඳ විධිමත් පරීක්ෂනයක් පැවැත්වීමට අපොහොසත් වූ අතර මරියදාස් එල්ටීටීඊ ආධාරකරුවකු බවට සාවද්‍ය ලෙස අඟවන ප‍්‍රචාරයන්හි යෙදුනහ.

2007 මාර්තු 22 දා, සසප සාමාජික නඩරාජා විමලේස්වරන් හා ඔහුගේ මිතුරු සිවනාදන් මදිවදනන්, යාපන අර්ධද්වීපය අසල කයිට්ස් දූපතේ වේලනෙයි අසල දී අතුරුදහන් විය. ඔවුන් අවසන් වරට දකින ලද්දේ, පුංකුඩුතිව් දූපත හා කයිට්ස් දූපත අතර දිග මුහුදු පාලම ඔස්සේ යතුරු පැදියක් පැද යද්දීය. මුහුදු පාලමේ දෙපසම නාවික හමුදා මුරපොලවල් පිහිටා ඇත. නිල පරීක්ෂන නාවික හමුදාපතිගෙන් හෝ වේලනෙයි නාවික හමුදා කඳවුරේ නිලධාරින්ගෙන් ප‍්‍රශ්න කිරීමට අපොහොසත් විය. සියලු සාක්ෂ්‍ය මගින් පෙන්නුම් කෙරුනේ, සසප සාමාජිකයන්ට එරෙහි මීට පෙර ප‍්‍රචන්ඩ තර්ජනයන්ට වගකිව යුතු වූ ඊපීඩීපී සමග සෘජු හෝ වක‍්‍ර සහයෝගයකින් යුක්තව නාවික හමුදාව මෙම අතුරුදහන් වීමට සම්බන්ධ බවයි.

ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජනපදය දරන ආස්ථානයේ මුලුමනින් ම කුහක ස්වභාවය 2007 කේබල් පනිවිඩ මගින් එලිදරව් කෙරේ. ශී‍්‍ර ලංකාවේ මිලිටරිය යුද්ධය ඇවිලවීම පිනිස පැරාමිලිටරි කන්ඩායම් යොදා ගත් බව හොදින් දැන සිටියත්, එක්සත් ජනපදය, එල්ටීටීඊය 2002 සටන් විරාමය බිඳ දැමූ බවට ආන්ඩුව කල කියාපෑම ප‍්‍රතිරාවය කලේය. 2006 ජනවාරියේ දී, ශී‍්‍ර ලංකාවේ සිටි එක්සත් ජනපද තානාපති ජෙෆ්රි ලන්ස්ටඩ් මෙසේ ප‍්‍රකාශ කලේය: "එල්ටීටීඊය සාමය අතහැර දැමීම තෝරා ගත හොත්, කෙසේ වෙතත්, අපට පැහැදිලි කිරීමට අවශ්‍ය වූයේ, එවිට ඔවුන් මුහුන දෙනු ඇත්තේ, වඩා ශක්තිමත්, වඩා හැකියාවන්ගෙන් යුක්ත, වඩා අධිෂ්ඨානවත් ශී‍්‍ර ලංකා මිලිටරියකට බවයි. යුද්ධයට යලි යාමේ වියදම ඉහල එකක් වීම අපට අවශ්‍යය.”

වසර දෙකහමාරක් තිස්සේ, එක්සත් ජනපදය ශී‍්‍ර ලංකා මිලිටරියේ අපරාධ සම්බන්ධයෙන් නිහඬව සිටියේය. වොෂිංටනය මිලිටරියේ ගුවන් හා කාලතුවක්කු ප‍්‍රහාර මගින් ඝාතනය කෙරෙන දෙමල සිවිල් වැසියන් පිලිබඳව උත්සුකතා පල කිරීම ආරම්භ කලේ, එල්ටීටීඊයේ පරාජය අනිවාර්ය බව පෙනෙන්ට ගත් විට පමනි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තත්වාරක්ෂක සංඛ්‍යා ලේඛනවලට අනුව, 2009 මැයි මස එල්ටීටීඊයේ පරාජයට පෙරාතු මාස කිහිපය තුල අඩු ගනනේ සිවිල් වැසියන් 7,000ක් ඝාතනය කෙරුනි.

ඔබාමා පාලනාධිකාරයේ ප‍්‍රසිද්ධ විවේචනවලට, දෙමල සිවිල් වැසියන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම සමග මොනම සම්බන්ධයක් වත් නැත. ඒ වෙනුවට, එහි එල්ලය වූයේ, සිය ප‍්‍රතිවාදියා වන චීනය දෙසට උවමනාවට වඩා සමීප වන බව එක්සත් ජනපදය දුටු ශී‍්‍ර ලංකා ආන්ඩුව මත බලපෑම් දැමීමයි. යුද්ධය තුල දී, රාජපක්ෂ, හම්බන්තොට ප‍්‍රධාන මූලෝපායික වරායක් ඇතුලු, ආයෝජන අවස්ථා බෙයිජිං පාලනයට සම්පාදනය කරමින්, චීන ආයුධ හා ආධාර මත වඩවඩා පාදක වී තිබුනි.

කෙසේ වෙතත්, පසුගිය දෙසැම්බරයේ දී, ශී‍්‍ර ලංකාව: යුද්ධයෙන් පසුව එක්සත් ජනපද මූලෝපාය යලි ප‍්‍රස්ථාරගත කිරීම යන මැයෙන්, එක්සත් ජනපද සෙනෙට් විදේශ සබඳතා කමිටුව විසින් නිකුත් කෙරුනු වාර්තාවක් නිගමනය කලේ, "මානව හිමිකම්” මත එක්සත් ජනපදය යොදන අවධානය අපේක්ෂිත ප‍්‍රතිඵලයට ප‍්‍රතිවිරුද්ධව යන බවයි. ඉන්දියානු සාගරයේ ප‍්‍රධාන නැව් මාර්ග මැදින් වූ එහි මූලෝපායික පිහිටීම හමුවේ, ශී‍්‍ර ලංකාව "අහිමි වීමක්” එක්සත් ජනපදය දරා ගත නොහැකි බව ප‍්‍රකාශ කල වාර්තාව, කාරනා ගනනාවක් සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුව සමග වඩා සමීප සහයෝගිතාවක් යෝජනා කලේය. කොලඹ ආන්ඩුවේ සාපරාධී වාර්තාව පිලිබඳව පෙර පැවති සීමිත විවේචන මුලුමනින්ම පාහේ අතහැර දැමුනි. බ්ලේක් දැන් ඔබාමා පාලනාධිකාරයේ දකුනු හා මධ්‍යම ආසියානු කටයුතු පිලිබඳ සහකාර රාජ්‍ය ලේකම් ය.

ඊපීඞීපී හා ටීඑම්වීපී සම්බන්ධයෙන් ගත හොත්, මෙම පැරාමිලිටරි සංවිධානවල දේශපාලන අංශ රාජපක්ෂ ආන්ඩුව සමග සමීපව වැඩ කිරීමේ අඛන්ඩව යෙදී සිටී. ඊපීඞීපී පාලක සභාගයේ කොටස්කරුවකු වන අතර එහි නායක ඩග්ලස් දේවානන්ද වත්මන් සම්ප‍්‍රදායික කර්මාන්ත ඇමතිවරයාය. 2004 නැගෙනහිර පලාතේ දී කරුනාගේ නායකත්වය යටතේ එල්ටීටීඊයෙන් භේද වීමක් මගින් තනන ලද ටීඑම්වීපී, යලිත් භේද වී තිබේ. කරුනා රාජපක්ෂගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට (ශී‍්‍රලනිප) බැඳුනු අතර ඔහු දැන් යලි පදිංචි කිරීම පිලිබඳ නියෝජ්‍ය ඇමතිවරයාය. ටීඑම්වීපී නැගෙනහිර පලාත් සභාව පාලනය කරන ආන්ඩුවට හිතැති සභාගයේ ප‍්‍රධාන පක්ෂයයි.

විකිලීක්ස් මීට කලින් පල කල 2010 ජනවාරි 15 දාතමින් යුක්ත, කොලඹ වත්මන් එක්සත් ජනපද තානාපතිනි පැටි‍්‍රෂියා බුටෙනිස් විසින් ලියන ලද කේබල් පනිවිඩයක් ද ශී‍්‍ර ලංකා ආන්ඩුවේ ඉහල ම මට්ටමේ සිටින පුද්ගලයන් යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු බව වොෂිංටනය දැන සිටියේ ය යන්න තහවුරු කලේය. රාජපක්ෂ ආන්ඩුව, කොලඹ මාධ්‍යවල සහයෝගය ද ඇතිව, මිලිටරිය හෝ පැරාමිලිටරි කන්ඩායම් එම අපරාධ සම්බන්ධයෙන් මොන යම් හෝ වගකීමක් දරන බව ප‍්‍රතික්ෂේප කිරීමේ දිගටම යෙදී සිටී. ඔමාබා පාලනාධිකාරය පරෙස්සම් සහගත නිශ්ශබ්දතාවක් පවත්වා ගෙන යයි.

the WSWS | Contact Us | Privacy Statement |