ඝාතනය කරන ලද ශී‍්‍ර ලංකාවේ නිවෙක කම්කරුවාගේ අවමඟුලට දහස් ගනනක් සහභාගි වෙති

Thousands attend funeral of slain Sri Lankan FTZ worker

By our correspondents , 6 June 2011

පොලීසිය විරෝධතාවේ යෙදුන කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (නිවෙක) කම්කරුවන්ට එල්ල කරන ලද ප‍්‍රහාරයේ දී ලත් තුවාල හේතුවෙන් මියගිය රොෂේන් චානක රත්නසේකරගේ අවමඟුල ඔහුගේ ගමේ දී සෙනසුරාදා පැවැත්වුනි.

A section of the funeralඅවමඟුලට සහභාගි වූවන්ගෙන් කොටසක්

විශාල ගනනක් සොල්දාදුවන් යෙදවීම නො තකා මරාදැමුනු කම්කරුවාට අවසන් ගෞරව දැක්වීමට මෙන් ම ආන්ඩුවට ඇති විරුද්ධත්වය පලකිරීමට ද බොහෝ නිවෙක සේවකයන් ඇතුලුව 20,000කට ආසන්න ජනකායක් දවස පුරා පැමිනුනි. අවමඟුල පැවැත්වුනේ කොලඹින් කිලෝමීටර 50ක් පමන දුරින් පිහිටි ගල්ඔලුවේ සාන්ත අගොස්තීනු දේවස්ථානයේ දී ය.

Roshen Chanaka Ratnasekeraරොෂේන් චානක රත්නසේකර

යන්තම් 21 හැවිරිදි වූ රත්නසේකර ආන්ඩුව විසින් සැලසුම් කරන ලද පුද්ගලික අංශ සේවක විශ‍්‍රාම වැටුප් පනතට එරෙහිව නිවෙක කම්කරුවන් පැවැත්වූ විරෝධතාවක් මර්දනය කිරීමට පොලීසිය දැරූ උත්සාහයෙන් දින දෙකකට පසුව ජුනි 1දා මරනයට පත්විය. විශ‍්‍රාම වැටුප් අරමුදලකට ගෙවීම් කිරීමට බලකෙරුනත් බොහෝ සෙයින් ඊට හිලවු වසයෙන් කිසිවක් නො ලැබෙන තතු යටතේ කම්කරුවන් අතර පනතට එරෙහිව පුලුල්ව පැතිරුනු විරුද්ධත්වයක් පවතී.

පසුගිය සඳුදා කටුනායක නිවෙක සංකීර්නයේ එක් ප‍්‍රදේශයක විරෝධතාවේ යෙදෙමින් සිටි කම්කරුවන්ට පොලීසිය පහර දීමෙන් පසුව සේවකයන් 40,000ක් පමන සිටින සමස්ත නිවෙකයේ ම වැඩ නැවතුනි. ජල ප‍්‍රහාරක, කඳුලු ගෑස්, ලී හා යකඩ පොලුවලින් කම්කරුවන්ට පහරදුන් පොලීසිය එක් අවස්ථාවක දී ජීව උන්ඩවලින් වෙඩි තැබූහ. දරුනු ලෙස තුවාල වූ කිහිප දෙනෙකු ද ඇතුලත්ව 200කට අධික දෙනෙකුට තුවාල සිදුවිය.

රත්නසේකර ඔහුගේ කකුලට වැදුනු උන්ඩයකින් පීඩා වින්දේ ය. රාගම ශික්ෂන රෝහලට ඇතුලත් කිරීමට පෙර තුවාල සිදුවුනු අනෙකුත් දුසිම් ගනනක කම්කරුවන් සමග ඔහු ප‍්‍රතිකාර නො ලබා ලේ ගලමින් පැය දෙකක් පමන පොලිස් අත්අඩංගුවේ පසුවූයේ ය.

නිවෙක විරෝධතාවලින් පැහැදිලිව ම හෙල්ලුම් කැවුනු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව රත්නසේකරගේ මරනය වැඩිදුර විරෝධතා අවුලුවනු ඇතැයි භීතියට පත්විය. විරුද්ධ පක්ෂ හා වෘත්තීය සමිති සමග සාකච්ඡා අපේක්ෂාවෙන් එය විශ‍්‍රාම වැටුප් පනත අත්හිටුවීය.

රත්නසේකරගේ මෘත ශරීරය ඔහුගේ පවුලේ අය වෙත භාරදුන් ජුනි 2දා පටන් ඔහුගේ නිවස තුල හා ඒ වටා සොල්දාදුවන් සිය ගනනක් යොදවන ලදී. අවමඟුලට පෙර දින පල්ලිය හැර වෙනත් ස්ථානයකට මෘත ශරීරය ගෙනයාම වලක්වමින් මහේස්ත‍්‍රාත් වරයෙක් නියෝගයක් නිකුත් කලේ ය. අවමඟුලේ දී ආගමික චාරිත‍්‍ර හා රත්නසේකරගේ සහෝදරයෙකුගේ කතාවක් හැර වෙනත් කිසිදු කතාවක් පැවැත්වීම ද ඔහු තහනම් කලේ ය.

අවමඟුල දා මුලු ගම්මානය ම මිලිටරි යටත් කරගැනීමකට සමාන විය. රත්නසේකරගේ නිවසේ සිට ගල්ඔලුව රෝමානු කතෝලික පල්ලිය දක්වා වැටෙන මීටර 500ක පමන පාර දිගේ සෑම මීටර 10කට ම අතිශයින් සන්නද්ධ භටයන් හා විශේෂ කොමාන්ඩෝවරුන් යොදවා තිිබුනි. පල්ලිය ද ආරක්ෂක භටයන් විසින් වටකරනු ලැබ තිබුනි. මෝටර් බයිසිකල් මත නැගුනු සොල්දාදුවෝ ප‍්‍රදේශය පුරා මුර සංචාරයේ යෙදුනාහ. ඉහල හමුදා නිලධාරීහු කි‍්‍රයාන්විතය අධීක්ෂනය කලහ. ආන්ඩුවට හිතැති මැරයන් මෙන් ම සිවිල් ඇඳුමින් සැරසුනු මිලිටරි හා පොලිස් රහස් තොරතුරු නිලධාරීහු ද එහි සැරිසැරුහ.

උදෑසන 9.45ට පමන රත්නසේකරගේ නිවසට ක්ෂනිකව කඩාවැදුනු හමුදාව ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ කැමැත්තකින් ද තොරව මෘත ශරීරය පල්ලියට ගෙන ගියහ. ඔහුගේ සහෝදර මධුෂාන් රත්නසේකර මෙසේ විස්තර කලේ ය: "මම උදේට කෑම කමින් සිටියා. මගේ මල්ලිගේ මිනිය ගෙනියන්න හදනවා කිවුවහම මොනවද කරන්නේ කියල මට හිතාගන්න බැරිවුනා.” ඔහුගේ සහෝදරිය ලෝසවෙඅ වෙත කීවේ: "මේ තරම් ඉක්මනට මිනිය ගෙනිච්චෙ ඇයි කියල මං දන්නෑ.”

සිද්ධිය ගම්වැසියන්ව කෝප ගැන්වීය. "(උතුරේ) මිනිස්සු ත‍්‍රස්තවාදීන් වුන එක පුදුමයක් නො වෙන්නෙ මේ වගේ දේවල්වලට ඒ මිනිස්සුත් අනිවාර්යයෙන් ම මුහුන දෙන්න ඇති හින්දයි” යයි එක් තරුනයෙක් පැවසීය. ඔහු සඳහන් කලේ රටෙහි දිග්ගැස්සුනු සිවිල් යුද්ධයේ දී මිලිටරිය දෙමල වැසියන්ට සැලකූ ආකාරය පිලිබඳව යි.

තවත් පුද්ගලයෙක් මෙසේ පැවසීය: "මේ මරනෙන් පස්සෙ බස්නාහිර පලාත් ඇමති ප‍්‍රසන්න රනතුංග එයාගෙ ගෝලබාලයොත් එක්ක මෙහේ කැරකුනා. මොකක් හරි මගඩියක් වෙන්න යනවා කියල අපිට දැනුන. චානකට අවසන් ගෞරව දක්වන්න අපිට අවස්ථාවක් නැහැ. මේක ආන්ඩුවයි මිලිටරියයි පල්ලියයි එකතු වෙලා කරපු වැඩක්.”

තම සහෝදරයාගේ නිවෙක මිතුරු මිතුරියන්ට බියකින් තොරව අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව තිබිය යුතු නිසා පල්ලිය තුල මෘත ශරීරය අසල සන්නද්ධ සොල්දාදුවන් රැඳවිය නො යුතු යයි මධුෂාන් රත්නසේකර ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීම ඉටු නො කලහොත් තමන් අවමඟුලට සහභාගි නො වන බව ඔහු කියා සිටියේ ය. පැය දෙකකට පසු සොල්දාදුවන් එහා මෙහා කරන ලදී.

පල්ලියට පැමිනි නිවෙක කම්කරුවන්ට සන්නද්ධ සොල්දාදුවන් පසුකරමින් යාමට සිදුවිය. අවසන් ගෞරව දැක්වීමෙන් පසු ඔවුන් රැලි වීම වැලැක්වීමට ආපසු පාරට යොමු කරන ලදී.

අවමඟුල් කටයුතුවලට 5,000ක පමන ජනකායක් සහභාගි වූහ. තම අදහස් දැක්වීමේ දී සුපරීක්ෂාකාරී වූ ප‍්‍රධාන පූජකවරයා තත්වය සුවිශේෂ අවස්ථාවක් බව පැහැදිලි කලේ ය. "උසාවි නියෝගය නිසා පවුලේ සාමාජිකයෙකුගේ ස්තුති කතාවක් හැරෙන්නට වෙනත් කතාවලට ඉඩදෙන්න මට පුලූවන් කමක් නැහැ. චානකගේ ගමේ යාලූවන්ට ඔහුගේ දේහය වලගාවට ගෙනියන්න ඉඩදෙන්න විතරයි මට පුලුවන්” යයි ඔහු කීවේ ය.

අවමඟුල පැවැත්වීමේ දී තම පවුලට උදවු වූවන්ට ස්තුති කරමින් මධුෂාන් රත්නසේකර අතිශය ලූහුඬු කතාවක් කලේ ය. වාතාවත්වලින් පසුව රත්නසේකරගේ දේහය පල්ලියේ සුසාන භූමියේ මිහිදන් කරන ලදී.

Commandos outside the churchපල්ලියෙන් පිටත කොමාන්ඩෝ භටයෝ

අවමඟුලේ දී විශාල වසයෙන් මිලිටරිය යෙදවීම කම්කරුවන්ගේ ඉදිරි විරෝධතාවන්ට එරෙහිව යොදාගනු ඇත්තා වූ විධික‍්‍රම පිලිබඳ තියුනු අනතුරු ඇඟවීමකි. විශ‍්‍රාම පනත තාවකාලිකව අත්හිටුවීම "ජයග‍්‍රහනයක්” යයි වෘත්තීය සමිති ප‍්‍රකාශ කර තිබුනත් ආන්ඩුව පැහැදිලිව ම කම්කරු පන්තියට එරෙහි ප‍්‍රහාරයක් සූදානම් කරමින් සිටී.

ජාතික රහස් තොරතුරු කාර්යාංශය, පසුගිය සතියේ නිවෙක කම්කරුවන් හා පොලීසිය අතර ඇති වූ ගැටුම්වල දී කි‍්‍රයාකාරී වූ "සංවිධිත කල්ලි හඳුනාගැනීමට” වීඩියෝ පට, දුරකථන ඇමතුම් හා කෙටි පනිවුඩවලින් තොරතුරු එක්රැස් කරමින් සිටින බව සෙනසුරාදා පැවති මාධ්‍ය හමුවක දී ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් හුලුගල්ල පැවසීය.

රත්නසේකරගේ මරනය හා කටුනායක මෘග පොලිස් ප‍්‍රහාරය අනෙකුත් නිවෙකවල කම්කරුවන්ගේ විරෝධතා ජනනය කොට ඇත.

Workers protesting at Biyagama Free Trade Zoneබියගම නිවෙකයේ විරෝධතාවේ යෙදෙන කම්කරුවන්

කොලඹට තදාසන්න බියගම නිවෙකයේ දී සිකුරාදා පැවති පිකට් උද්ඝෝෂනයකට කම්කරුවන් 1,000ක් පමන සහභාගි වූහ. ඇන්සල් ලංකා, ඇගියෝ ටොබැකෝ හා ටෙලාබෝ වීල් යන ආයතනවල කම්කරුවෝ එයට එක්වූහ. රත්නසේකර මරා දැමීම හා කටුනායක නිවෙක කම්කරුවන්ට පොලීසිය පහරදීම හෙලාදකිමින් අතින් තනාගත් පුවරු ප‍්‍රදර්ශනය කල ඔවුහු සටන් පාඨ හඬ නැගූහ.

ඇන්සල් ලංකා කම්කරුවෙක් ලෝසවෙඅ වෙත මෙසේ පැවසීය: "මේක ම්ලේච්ඡ ප‍්‍රහාරයක්. පොලීසියට පමනක් වරද පටවලා ආන්ඩුවට ගැලවෙන්න බැහැ. මේ ප‍්‍රහාරය මගින් ආන්ඩුව පෙන්නල තියෙන්නෙ තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් කම්කරුවන් පවත්වන සාමකාමී විරෝධතාවකටවත් ඉඩ දෙන්නෙ නැහැ කියන එකයි.”

1994 දී ඇන්සල් ලංකා විරෝධතාවකට පොලීසිය ප‍්‍රහාර එල්ල කොට තිබුනු බව ඔහු මතකයට නැංවීය. පොලිස් උන්ඩ මගින් ඇති කරන ලද තුවාල හේතුවෙන් පේ‍්‍රමරත්න නමැති කම්කරුවෙක් එහි දී මැරුනි.

"විශ‍්‍රාම වැටුප් පනත අකුල ගත්ත කියල ආන්ඩුව කියන කතාව අපි විශ්වාස කරන්නේ නැහැ” ඔහු කීවේ ය. "ඔවුන් ඒක පස්සෙ ආයෙත් ගෙනෙයි. ආන්ඩුව වැඩ කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඕන විදිහට. මේ පනත පරාද කරනකම් අපි සටන් කරනවා.” කම්කරුවන් බෙදීම පිලිබඳව ඔහු වෘත්තීය සමිති විවේචනය කලේ ය: "ආන්ඩුවේ ප‍්‍රහාරවලට විරුද්ධව අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න ඔක්කොම කම්කරුවො එකතු වෙන්න ඕන.”

සිකුරාදා විරෝධතාව සංවිධානය කලේ නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමය (නිවෙකපොසේස) විසිනි. සමිති නායක ඇන්ටන් මාකස් මෙසේ ප‍්‍රකාශ කලේ ය: ”මේ පනත පරාද කරනකම් අපි සටන් කරනවා. සාමාන්‍ය තත්වය යලි ඇති කරන්න නම් විරෝධතාවල යෙදුනු කම්කරුවන්ට දඬුවම් නො කොට, වර්ජනය කරපු දවස්වලට සම්පූර්න වැටුප් ගෙවා, කම්කරුවන්ට ගහපු අයට දඬූවම් කරල, තුවාල වුන අයටත් රත්නසේකරගෙ පවුලටත් වන්දි ගෙවීමට ආන්ඩුව එකඟ වෙන්න ඕන.”

විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය පරාජය කරනවා වෙනුවට එයට එරෙහි විරෝධතා අවලංගු කොට තිබුනු වෘත්තීය සමිති ඒවායේ උපදෙස්වලින් බැහැරව පුපුරා ගිය කම්කරු ව්‍යාපාරය යලි තම පාලනය යටතට ගැනීමට දැන් හැල්මේ පොරවදිමින් සිටිති. මාකස් හා ඔහුගේ සමිතිය සුලුපහේ වෙනස්කම් කිහිපයක් සමගින් පනත යලි ගෙනඒම සඳහා අරගල කඩාකප්පල් කර දැමීමට මගපාදනු ඇත්තාවූ සාකච්ඡා සඳහා ආන්ඩුවට ආයාචනා කරමින් සිටිති.

Workers marching in Ja-Elaජා-ඇල දී පෙලපාලිවල යෙදෙන කම්කරුවන්

පසුගිය සිකුරාදා ම පොලිස් ප‍්‍රචන්ඩත්වයට හා රත්නසේකර මරා දැමීමට එරෙහිව ජා-ඇල ඒකල කර්මාන්ත පුරයේ කම්කරුවෝ 5,000ක් පමන විරෝධතා දැක්වූහ. බොහෝ කොට කාන්තාවන් වූ එම කම්කරුවන් අතරට පොලිටෙක්ස්, පොලිමේට්, ජෝන් කීල්ස්, සිංගර්, එල්ෆිෂ් හා ලෝඩ්ස්ටාර් ටයර් යන සමාගම්වල තරුන කම්කරුවෝ අයත් වූහ. හමුදා නිලධාරීන්ගේ අනතුරු ඇඟවීම් නො තකා කර්මාන්ත පුරයේ සිට පෙලපාලියකින් ජා-ඇල නගරයට පැමිනි ඔවුහු ප‍්‍රදේශයේ පොලිස් ස්ථානය ඉදිරිපිට සටන් පාඨ හඬනැගූහ.