ඊජිප්තුවේ "දෙවන විප්ලවය"

Egypt’s “second revolution”

31 May 2011

කම්කරුවන්ගේ හා තරුනයන්ගේ විප්ලවීය ව්‍යාපාරය පෙබරවාරි 11දා දිගු කලක් බලයේ සිටි ආඥාදායක හොස්නි මුබාරක් පලවා හැරීමෙන් පසුව මෙතෙක් පැවති විශාලතම විරෝධතාවන්ගෙන් එකක් 28දා ඊජිප්තුවේ පැවතුනි. මුබාරක් ඇදවැටීමෙන් පසු ස්ථාපනය කරන ලද මිලිටරි ආන්ඩුවේ පිලිවෙත් හෙලා දැකීමට ලක්ෂ ගනනින් ජනතාව කයිරෝ අගනුවරට හා අනෙකුත් නගරවලට රැස්වූහ.

විරෝධතාකරුවන් මතුකල සටන් පාඨ අතර "දෙවන විප්ලවයක්” සඳහා වන ඉල්ලීම ද විය. මෙම වැකිය තුල අඩංගු වන්නේ ජනතා විරෝධතාවන්හි මතුවූ මූලික ප‍්‍රජාතන්ත‍්‍ර හා සමාජ අභිලාෂයන් මාස තුනහමාරකට පෙර මුබාරක් ඇදවැටීම මගින් විසඳී නොමැතිය යන තීරනාත්මක අවබෝධය යි.

ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සම්බන්ධයෙන් ගත්කල මිලිටරි තන්ත‍්‍රය හදිසි නීතිය දිගටම පවත්වාගෙන ගොස් තිබේ. විප්ලවයේ එක් කේන්ද්‍රීය ඉල්ලීමක් වූයේ හදිසි නීතිය ඉවත් කිරීමයි. මාර්තු මාසයේ දී මිලිටරිය ආර්ථිකයට බලපාන වැඩවර්ජන හා විරෝධතා තහනම් කිරීමේ නව නීතියක් කි‍්‍රයාවට නැගීය. ව්‍යවස්ථාමය වෙනස්කම් පිලිබඳ සාකච්ඡා මත ග‍්‍රහනය පවත්වාගෙන යන මිලිටරිය කවදා හෝ මැතිවරන පැවැත් වුවත් ඒවා සමීපව පාලනය කරනු ඇත.

මිලිටරිය දැනට මත් තාරීර් චතුරස‍්‍රයේ තරුනයන්ගේ විරෝධතාවලට කෲර ලෙස පහර දී තිබේ. එහි මර්දනකාරී විධික‍්‍රම ඊජිප්තු විප්ලවයේ ගාමක සමාජ බලවේගය වූ කම්කරු පන්තියේ සියලු කොටස් වෙත ඉලක්ක කෙරී පවතී. පුලුල් සමානත්වය, ඉහල වැටුප්, පුද්ගලීකරනය අවසන් කිරීම හා සංගතවල ආඥාවන්වලට එරෙහිව ප‍්‍රජාතාන්ති‍්‍රක හිමිකම් යන තම ඉල්ලීම් දිනාගැනීමට කම්කරුවන් අදිටන් කරගත් තතු යටතේ පෙබරවාරි 11 දක්වා වූ කාලයේ පුපුරා ගිය වැඩ වර්ජන එයින් පසුව ද දිග්ගැසෙමින් ව්‍යාප්ත විය. මෑත සතිවල කර්මාන්තශාලා කම්කරුවන්ගේ හා වෛද්‍යවරුන්ගේ අරගල ද ඇතුලු විරෝධතා ප‍්‍රසාරනය වීම දක්නට ලැබුනි.

රාජ්‍ය මර්දනයට අමතරව ඊජිප්තු කම්කරු පන්තිය දැන් ගැඹුරුවන ආර්ථික අර්බුදයකට මුහුන දෙයි. විරැකියාව සියයට 12කට ආසන්න මට්ටමකට නැගී තිබේ. ඊජිප්තු පාලක පන්තිය වැඩි වැටුප් හා මනා ජීවන තත්වයන් සඳහා වන ඉල්ලීම් ආපසු හැරවීමට මහජන විරැකියාව පාවිච්චි කරනු ඇත.

විදෙස් පිලිවෙත් සම්බන්ධයෙන් ගත්කල නව ආන්ඩුව දශක ගනනක් තිස්සේ ඊජිප්තු රාජ්‍යයේ මුරගලක්ව පැවති එක්සත් ජනපදය සමග සන්ධානය පවත්වාගෙන ගොස් ඇත. අසල්වැසි ලිබියාව තුල අධිරාජ්‍යවාදී මැදිහත් වීමට ආධාර කිරීමේ දී ආන්ඩුව තීරනාත්මක කි‍්‍රයාකලාපයක් ඉටුකොට තිබේ. ඊස්රායලය සම්බන්ධයෙන් ගත්විට ගාසා තීරයට යාබද රෆා දේශසීමාව අර්ධ වසයෙන් විවෘත කිරීම වැනි සීමිත පියවර රටතුල විරුද්ධත්වය සීමා කිරීම හා ඊස්රායලය සමග ඊජිප්තුවේ මූලෝපායික සන්ධානය ආරක්ෂා කරගැනීම ඉලක්ක කර ගනී.

මිලිටරි තන්ත‍්‍රයට මුක්කුව දීමේ දී එක්සත් ජනපදය තීරනාත්මක කි‍්‍රයාකලාපයක් ඉටුකරමින් සිටී. සෑම වසරක ම මිලිටරි පොලිස් යාන්ත‍්‍රනයට මුදල් සැපයීමට ඩොලර් බිලියන ගනන් සම්පාදනය කරමින් ඇමරිකානු ආන්ඩුව දශක ගනනාවක් මුබාරක් ආඥාදායකත්වයට පිටුබලය සැපයී ය. මේ වසරේ පූර්ව භාගයේ විරෝධතා වර්ධනය වූ විට පලමුව මුබාරක්ට විවෘතව පිටුබලය දුන් ඔබාමා පරිපාලනය ඉන්පසු තවත් කාලයක් මුබාරක් බලයේ රඳවන "ක‍්‍රමානුකූල සංක‍්‍රාන්තියක්” සංවිධානය කිරීමට තිරයෙන් පිටුපස සිට කටයුතු කලේ ය. අවසානයේ තම සහකාරයා අතහැර දැමීමට බලකෙරුනු තතු යටතේ එක්සත් ජනපදය දැන් සිය අවශ්‍යතා ආරක්ෂා කරගැනීමට මිලිටරිය සමග වැඩකරමින් සිටී.

එරට ආර්ථිකය වැඩිදුර විදේශීය විනිවිදීමට විවෘත කිරීම සඳහා ඊජිප්තුවේ තත්වය ගසාකෑමට එක්සත් ජනපදය හා යුරෝපීය බලවත්තු උත්සාහ දරති. විප්ලවය හටගැනීමට ප‍්‍රමුඛ වශයෙන්ම හේතු කාරක වූ සමාජ අසමානතාවේ ගින්නට තෙල් දමන ලද්දේ මෙම වෙලඳපොල විවෘත කිරීමේ පිලිවෙත යි.

මේ මාසයේ මුල, මැද පෙරදිග පිලිබඳ කතාවේ දී ඔබාමා අවධාරනය කලේ "ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ඇමරිකාවේ සහයෝගය මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම, ප‍්‍රතිසංස්කරන ප‍්‍රවර්ධනය හා එකිනෙකා සමගත් ගෝලීය ආර්ථිකය සමගත් තරඟකාරී ලෙස වෙලඳපොල ඒකාග‍්‍රකරනය” මත තීන්දු වනු ඇති බවටය. මේවා ජනසතු කර්මාන්ත බිඳ දැමීම හා අන්තර්ජාතික සංගතවල සූරාකෑම සඳහා ඊජිප්තු කම්කරු පන්තිය බිලි දීම පිලිබඳ සංකේත වචන වන්නේ ය. ජී-8 සමුලුව පසුගිය සතියේ මෙම කරුන යලි අවධාරනය කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) හා අනෙකුත් ආයතන මගින් දෙනු ලබන සොච්චම් ආධාර "වෙලඳපොල ප‍්‍රතිසංස්කරන” සමග සම්බන්ධ කරමිනි.

මුබාරක් බලයෙන් පහවීමේ මුවවිටදී පෙබරවාරි 10 දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු ඇඟවූ පරිදි: "වයස්ගත ආඥාදායකයෙකුගේ හස්තයෙන් බලය පැහැරගැනීමට අත්‍යවශ්‍ය සමාජ බලවේගය සම්පාදනය කිරීමෙන් පසු ඊජිප්තු කම්කරුවන් මුහුන පාන විශාලතම අනතුර වන්නේ නායක පුද්ගලයන්ගේ නම් හා මුහුනු හැර වෙනත් වැදගත් කිසිවක් වෙනස් නො වීම යි. වෙනත් වචනවලින් කිවහොත් ධනේශ්වර රාජ්‍යය එලෙසම පවතිනු ඇත යන්නයි.”

නව හා පුපුරනසුලු පන්ති ගැටුම් කරලියේ පවතී. මෙම අරගල සාර්ථක වීමට ඊජිප්තු විප්ලවයේ පලමු අදියරේ පාඩම් උකහාගැනීම අවශ්‍ය ය. ඊජිප්තුව වැනි පරිපීඩිත පැරනි යටත් විජිත රටක මහජනයාගේ ප‍්‍රජාතාන්ති‍්‍රක අභිලාෂයන් හා අධිරාජ්‍යවාදී ආධිපත්‍යයෙන් ඔවුන්ගේ විමුක්තිය සාක්ෂාත් කරනු ලැබිය හැක්කේ ජාත්‍යන්තරවාදී හා සමාජවාදී කි‍්‍රයාමාර්ගයක පදනම මත කම්කරු පන්තිය දේශපාලන බලය අල්ලා ගැනීම තුලින් පමනකි යන ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය පිලිබඳ බලගතු සනාථනයක් ඊජිප්තු විප්ලවයේ දිගහැරීම තුල දැකගත හැකිය.

කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන කි‍්‍රයාමාර්ගයක් හා පක්ෂයක් නොමැති තතු තුල ඊජිප්තු විප්ලවයේ මුල් අදියරයන්හි දේශපාලන ආධිපත්‍යය දරන ලද්දේ ධනේශ්වර "විපාර්ශවයේ” පක්ෂ විසිනි. ජනවාරි හා පෙබරවාරි සිදුවීම්වල ආරම්භක අදියරේ දී මුස්ලිම් සහෝදරත්වයේ හා මොහොමඩ් එල්බරාඩේ වටා සිටි කොටස්වල සාරාත්මක භූමිකාව වූයේ ඔවුන්ගේ පාලනයෙන් පිටස්තරව වර්ධනය වූ ව්‍යාපාරයේ මහජන විප්ලවීය අභිලාෂයන් හිර කිරීමේ තිරිංගයක් ලෙස කි‍්‍රයාත්මක වීම යි. මිලිටරිය "මහජනයාගේ හමුදාවක්” යයි මිථ්‍යාවන් ගොඩනැඟූ ඔවුහු ඒ හරහා කම්කරුවන් නිරායුද කිරීමට හා පාලන තන්ත‍්‍රයට එරෙහි තීරනාත්මක ගැටුමක් වැලැක්වීමට කි‍්‍රයා කලහ.

මුබාරක් ඇදවැටීමෙන් පසුව ද මෙම භූමිකාව දිගටම පවත්වාගෙන ගොස් තිබේ. පසුගිය සිකුරාදා පැවති විරෝධතා හෙලා දකිමින් හා ඒවා සංවිධානය කිරීම පිලිබඳව "අනාගමිකයන්ට හා කොමියුනිස්ට්වාදීන්ට” පහර දෙමින් මුස්ලිම් සහෝදරත්වය විවෘතව මිලිටරියට පිටුබලය දුන්නේ ය. එල්බරාඩේ සම්බන්ධයෙන් ගතහොත් ඔහු විප්ලව-පූර්ව සමයේ "ඊජිප්තුව පිපිරීමට ආසන්න” යයි හා "රට රැකගැනීමට හමුදාව මැදිහත් විය යුතු” යයි අනතුරු ඇඟවීය. දැන් ඔහු "තවත් විප්ලවයක් එනම් දිලින්ඳන්ගේ කැරැුල්ලක්” පිලිබඳ අනතුරු අඟවමින් සිටී. ඔහුගේ ඉලක්කය වන්නේ එවැනි නැගිටීමක් වැලැක්වීමේ හොඳම ක‍්‍රමය සම්බන්ධව එක්සත් ජනපදයට හා මිලිටරි ආන්ඩුවට උපදෙස් දීම යි.

නිල විපාර්ශ බලවේගයන්ගේ කක්ෂයේ විවිධාකාර ව්‍යාජ-වාම කන්ඩායම් හා ”ස්වාධීන වෘත්තීය සමිති” සිටිති. මුබාරක් ඉවත් වීමට පෙර ඊජිප්තුවේ විප්ලවවාදී සමාජවාදීහු හා සමාජවාදී පක්ෂය, බි‍්‍රතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂය හා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය ඇතුලු තම ජාත්‍යන්තර සහකරුවන් සමගින් එල්බරාඩේ හා මුස්ලිම් සහෝදරත්වය වෙනසක් සඳහා ප‍්‍රගතිශීලී නියෝජිතයන් ලෙස හුවා දැක්වූහ.

කම්කරු පන්තියේ ස්වාධීන සමාජවාදී ව්‍යාපාරයක් වැලැක්වීම තම සාරාත්මක අභිප‍්‍රාය කරගත් පොදු වේදිකාවක පදනම මත දැන් මෙම කන්ඩායම් එකපෙලට පැමින සිටිති. මේ මස මුල දී ඊජිප්තුවේ විවිධාකාර "වාම” කන්ඩායම් තම ඉලක්කය "පොදු ජාතික අරමුනු කරා ලඟා වීමට සියලු ප‍්‍රගතිශීලී හා ප‍්‍රජාතාන්ති‍්‍රක බලවේග සමග සහයෝගී වීම” යයි ප‍්‍රකාශ කරන ඊනියා සමාජවාදී පෙරමුනක් අටවා ගැනීමට එක්වූහ. වෙනත් වචනවලින් කිවහොත් කම්කරු පන්තිය ධනේශ්වර විපාර්ශවයට යටත් කිරීම සඳහා ඔවුහු දිගටම කි‍්‍රයාකාරී වෙති.

ඊජිප්තු කම්කරුවන් මුහුන දෙන මූලික කර්තව්‍යය වන්නේ බලය ගැනීම හා ධනේශ්වර පාලනය අවසන් කිරීමට කරන අරගලය තුල කම්කරු පන්තිය බලමුලු ගැන්වීම ඉලක්ක කරගත් නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම යි. කෙසේ වෙතත් ඊජිප්තුවේ පාඩම් එරටේ කම්කරුවන්ට පමනක් සීමා නොවන අතර ඊජිප්තුව තුල දිගහැරෙන අරගල හුදෙක් එරට තුල පමනක් සාර්ථක කරගනු ලැබිය නො හැකිය.

2008 අවසන් භාගයේ ඇරඹුනු මූල්‍ය අර්බුදයෙන් වසර දෙකහමාරක් ගෙවෙන තැන කම්කරු පන්තිය විශාල පරිමානයෙන් පෙරලා සටන් කිරීම අරඹා තිබේ. ලෝකය පුරා පාලක පන්තිය හා එහි දේශපාලන නියෝජිතයෝ පරම්පරා ගනනක් තිස්සේ කම්කරුවන් සටන් කොට දිනාගත් කොන්දේසි ආපසු හැරවීමේ නිරතව සිටිති. ලිබියානු යුද්ධය හා ඊජිප්තුවේ මිලිටරි තන්ත‍්‍රයට මුක්කුව දීමට එක්සත් ජනපදය දරන ආයාසයන් යුරෝපයේ හා එක්සත් ජනපදයේ සමාජ වැඩපිලිවෙලවල්හි ඓතිහාසික මට්ටමේ කප්පාදුවෙහි ගෝලීය කි‍්‍රයාදාමයක කොටසකි.

ඊජිප්තුවේ පෙබරවාරි සිදුවීම් හා මැද පෙරදිග හා උතුරු අපි‍්‍රකාවේ නැගිටීම් කම්කරු පන්තියේ ප‍්‍රතිප‍්‍රහාරයක ආරම්භය විය. ඒවා ලෝකය පුරා බලගතු ලෙස අනුනාද වෙයි. ඇමරිකානු කම්කරුවන් විවෘතව අරගලයට යලි පිවිසීමේ ආරම්භය පමනක් වූ එක්සත් ජනපදයේ විස්කොන්සින් ප‍්‍රාන්ත කම්කරුවන්ගේ අරගලයන්ට ඒවා ආවේශය සැපයීය. දැන් යුරෝපය තුල කම්කරුවන් හා තරුනයින්, 20වන ශතවර්ෂයේ ගමන් මාවත තුල දී දිනාගත් සෑම සහනයක් මත ම එල්ල වන ඓතිහාසික ප‍්‍රහාරයට එරෙහිව ලක්ෂ ගනනින් විරෝධය පාමින් සිටියි. සමස්තයක් ලෙස ලෝක ආර්ථිකයේ නව පසුබෑමක පැහැදිලි සංඥා සමග සම්පාත වෙමින් යුරෝපා මහාද්වීපය නව ආර්ථික අර්බුදයක අද්දර වැනෙමින් තිබේ.

සෑම රටක ම හා සෑම අරගලයක දී ම එකම මූලික කර්තව්‍යය ඉස්මතු වේ. එනම් නව විප්ලවවාදී නායකත්වයක් ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීම යි.

ජෝසෆ් කිෂෝර්