ගේට්ස් යුරෝපයට කැරලි මර්දන පනත හඳුන්වා දෙයි

Gates reads the riot act to Europe

13 June 2011

ඉවත්ව යන එක්සත් ජනපද ආරක්ෂක ලේකම් රොබට් ගේට්ස්, 10 දින බ‍්‍රසල්ස්හි පැවති නේටෝ සමුලුවක දී කල කතාව, යුරෝපයේ යුදවාදී හා වඩාත් දුබල සහකරුවන් වෙත ඇමරිකානු අධිරාජ්‍යවාදය නිකුත් කල දේශපාලන අවසන් නිවේදනයකට සමාන වන්නේය. එක්සත් ජනපදය මෙහෙයවන හා ඔවුන් කැපවී සිටින මිලිටරි ක‍්‍රියාන්විතයන්ට මෙම රටවල් මුදල් හා මිනිස් බලය සැපයීමෙන් දක්වන දායකත්වය නාටකාකාර ලෙස ඉහල නැංවීමට අසමත් වුවහොත් එක්සත් ජනපදය තම අභිමතය පරිදි කටයුතු කරනවිට නේටෝව "අඳුරු එසේත් නැත්නම් කාලකන්නි අනාගතයකට මුහුන දෙනු” ඇත.

ගේට්ස් සිය කතාව කරන ලද්දේ ජනාධිපති ඔබාමා මැද පෙරදිග පිලිබඳ ඔහුගේ කතාවේ දී තමන්ගේ නව මිලිටරි ධර්මතාව ගෙනහැර දැක්වීමෙන් මසකටත් අඩු කාලයක් තුලය. එහිදී ඔහු මිලිටරි බලය යෙදවීමේ අතීත සීමාසහිතකම් පසෙකට දමමින් ධවල මන්දිරය විසින් නිර්වචනය කල එක්සත් ජනපදයේ අවශ්‍යතාවන් පරදුවට තැබී ඇතැයි හැඟීයන විටෙක දී ඕනෑම රටක් එක්සත් ජනපදයේ ඉලක්කය බවට පත්විය හැකි බව ප‍්‍රකාශ කලේය. එය වනාහි මැද පෙරදිග, උතුරු අප‍්‍රිකාවේ හෝ ඉන් එපිට නව යටත් විජිත තන්ත‍්‍රයන් පිහිටුවීමේ අසීමිත යුදවාදයේ ඉදිරිදර්ශනයකි.

දැන් ආරක්ෂක ලේකම් යුරෝපීය බලවතුන්ට කියා සිටින්නේ මිලිටරිවාදයේ දැවැන්ත ප‍්‍රසාරනයකට අවශ්‍ය සම්පත් සම්පාදනය කිරීම සඳහා තමන්ගේ සමාජ ප‍්‍රතිසංවිධානය කරන ලෙසයි. එසේ නොවුවහොත් ඔවුන් කොල්ලයෙන් එනම්, ලිබියාවෙන් කොල්ලකන තෙල් හා පොදුවේ අමුද්‍රව්‍ය හා මුලෝපායික ප‍්‍රදේශයන්ගෙන් ඉවත තැබීමට මුහුන දෙනු ඇත.

අෆ්ගනිස්ථානයේ ත‍්‍රස්ත විරෝධී යුද්ධයට හමුදා සැපයීමෙන් දායක වන නේටෝ රටවලට ප‍්‍රශංසා කරන අතර ගේට්ස් ඇෆ්ගන් යුද්ධය "නේටෝවේ සැලකිය යුතු දුබලතා එනම්, මිලිටරි ශක්‍යතා හා දේශපාලන අධිෂ්ඨානය පිලිබඳ අඩුපාඩුකම් හෙලිදරව් කර තිබෙන බව” කියා සිටියේය. හුදෙක් හමුදාවන් පමනක් නොව, "හෙලිකොප්ටර් ප‍්‍රවාහන ගුවන් යානා නඩත්තු කටයුතු, බුද්ධි අංශ තොරතුරු අවේක්සන සේවා හා පෙර පිරික්සුම හා තවත් බොහෝ දේ’’ සඳහා අදාල සැලකිය යුතු තරම් සම්පත් සැපයීමේ දුෂ්කරතාවන්ට නේටෝව මුහුනපා ඇත.

"හමුදා සම්පාදනය කර ඇති සමහර රටවල් තමන්ගේ කාල සටහනකට අනුව සිය හමුදා ඉවත්කර ගැනීම අපට දැරිය නොහැකිය”යි කියා සිටිමින් ඔහු ඇෆ්ගනිස්ථානය තුල සිය හමුදා ශක්තිය අඩුකරන නේටෝ රටවලට එරෙහිව තියුනු ඇනතුරු ඇඟවීමක් කලේය.

ලිබියාව තුල සන්ධානයේ ක‍්‍රියාකාරකම් ඊටත් වඩා නරක යයි ගේට්ස් පැවසීය. මාර්තු මැද හරියේ ඇරඹූ යුද්ධයට ප‍්‍රමානවත් පරිදි හමුදාව සැපයීමට අපොහොසත්ව ඇති හෝ කිසිදු හමුදා යෙදවීමක් නොකල බහුතරයක් වන නේටෝ රටවලට ඔහු තරවටු කලේය. යුද්ධය ගුවන් ප‍්‍රහාරවලට සීමාවී තිබිය දී, පාබල හමුදා මෙහෙයුම් සිදු නොවන තත්වයක දී, යුරෝපයට ආසන්නව හා යුරෝපයේ ආරක්ෂාව සඳහා ඉතා වැදගත් කලාපයක සිදුකෙරෙද්දී, මෙම මඟහැරීම සිදුව ඇතැයි ඔහු පැවසීය.

ඇනුම්පද ස්වරයෙන් පෙන්ටගන් ප‍්‍රධානියා එක්සත් ජනපදයේ බොහෝ නාමික "මිතුරන්ගේ” මිලිටරි ශක්තියට අවමන් කලේය. "අවංකව ම එම බොහොමයක් මිතුරන් පසෙකට වී හිඳින්නේ යුද්ධයට සහභාගී වීමට ඔවුන්ට අවශ්‍ය නොවන නිසා නොව, හුදෙක්ම ඔවුන්ගේ නොහැකියාව නිසාය. හුදෙක්ම මිලිටරි ශක්‍යතාවන් ඒවාට ඇත්තේ නැත’’ යයි ඔහු කියා සිටියේය.

බෝම්බ හෙලන ඉලක්ක හඳුනාගැනීම සඳහා විශේෂඥයින් හා බෝම්බ පවා සැපයීමට එක්සත් ජනපදයට සිදුව ඇත. "ඉතිහාසයේ විශාලතම මිලිටරි සන්ධානය, ජනගහනය හීන දුබල ලෙස සන්නද්ධව සිටින තන්ත‍්‍රයකට එරෙහිව යන්තම් සති 11ක් පමනක් ගතව ඇති මෙහෙයුමක දී බොහෝ මිතුරන් දැනටමත් මිලිටරි ආම්පන්න හිඟයකින් පෙලෙන බැවින් යලි වතාවක් එම වෙනස පියවීම සඳහා එක්සත් ජනපදයේ මැදිහත් වීම බලා සිටිති” යනුවෙන් ඔහු කෝපයෙන් කෑගැසීය.

නියම පිලිවෙල ගැන වැඩවසම් රදලයෙක් සිය දාසයින්ට අමතන උද්ධච්ඡ ස්වරූපයෙන් කතා කරමින් ගේට්ස් සමහර රටවල් සිය ශක්තිය යුද්ධයට මෙහෙයවා තිබිය දී බොහොමයක් එසේ නොකර සිටීමේ "මට්ටම් දෙකක සන්ධානය” පිලිබඳ අනතුර ගැන සඳහන් කලේය. බි‍්‍රතාන්‍ය, නෝර්වේ හා ඩෙන්මාර්කයට ඔහු වෙන වෙනම ප‍්‍රශංසා කල අතර සියල්ලටත් වඩා ජර්මනිය ද එසේම පෝලන්තය, ඉතාලිය හා ස්පාඤ්ඤය යන රටවල් නම් වශයෙන් සඳහන් නොකර "නොපිලිගත හැකිය” යි හෙලා දුටුවේය.

"කප්පාදුවේ යුගයක සම්පත්වල හිඟයකින් ඇතිව තිබෙන දිරිසුන්කමට” ඔහු චෝදනා කලේය. එහෙත් අයවැය සීමාවන් මිලිටරිය සඳහා ප‍්‍රමානවත් අරමුදල් නොයෙදවීමට නිදහසට කාරනයක් නොවිය යුතු බව ඔහු පැහැදිලිව සඳහන් කලේය. "අද, ආරක්ෂාව සඳහා දල දේශීය නිෂ්පාදිතයෙන් වෙන්කිරීමට එකඟවූ සියයට 2 ඉක්මවා වියදම් කර ඇත්තේ මිතුරන් 28 දෙනා අතරින් පහක් එනම්, එක්සත් ජනපදය, මහා බි‍්‍රතාන්‍ය, ප‍්‍රන්සය, ග‍්‍රීසිය සමඟ ඇල්බේනියාව පමනි” ඔහු පැවසීය.

යුරෝපීය නේටෝ සාමාජිකයින් "සාමුහික මිලිටරි අනදාලත්වය” පිලිබඳ අනතුරට මුහුනපා ඇති අතර "යුරෝපීය ආරක්ෂක ශක්‍යතා පිරිහී යාමේ වර්තමාන ප‍්‍රවනතා නතර නොකලහොත් හා ආපසු නොහැරවුවහොත් අනාගත එක්සත් ජනපද දේශපාලන නායකයින් නේටෝවේ ඇමරිකානු ආයෝජන සඳහා ප‍්‍රතිලාභ වියදමට නොසරිලනු ඇතැයි සැලකීමේ ඉඩකඩ” ගැන ඔහු අවසාන වශයෙන් අනතුරු ඇඟවීය.

ගේට්ස් පැවැත්වූ කතාව මෙන්ම යුරෝපීය ආන්ඩු හා මිලිටරි නිලධරයන්ගෙන් සැදුම්ලත් ඔහුගේ පේ‍්‍රක්ෂාගාරයේ ප‍්‍රතිචාරය ද වැදගත්ය. අධිරාජ්‍යවාදී යුද්ධ මාලාවක හෙලි තුඩ බවට නේටෝ සන්ධානය පත්විය යුතුය යන තර්කයට කිසිවෙකුත් අභියෝග කලේ නැත. කිසිවෙකුත් එක්සත් ජනපද පෙන්ටගනයේ ලොක්කාගෙන් "අපට දේශනා කිරීමට ඔබ කවරු ද? ඔබගේ රට එක විට යුද්ධ පහකට පැටලී සිටින අතර ලෝකයාගේ වෛරයට පාත‍්‍රව සිටියි” යනුවෙන් ප‍්‍රශ්න කලේ නැත.

ඒ වෙනුවට යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන්ගේ රැස්ව සිටි නියෝජිතයින් ගේට්ස්ගේ දෝෂාරෝපනය අසා සිටියේ බිය අගය කිරීම හා ඊර්ශ්‍යාව මුසුව ය. ඔවුන්ට ද කොල්ලකෑමේ හා ආධිපත්‍යයේ එම පිපාසාව ම ඇති අතර වැඩකරන ජනතාවගේ මූලික අයිතීන් සිඳ දමද්දී මිලිටරිය සඳහා බිලියන සියගනන් වැය කිරීමේ ඇමරිකානු නිදසුන අනුගමනය කිරීමේ අභිලාෂය ඔවුන්ට ද ඇත සමාජ සේවාවන්ට තව තවත් පහර දීමට ද මිලිටරිය සඳහා තව තවත් වියදම් කිරීමට ද හේතුව වශයෙන් "ඇමරිකානු පීඩනය” හා නේටෝ සන්ධානයේ ගැටලු ගැන දැන් සඳහන් කරන යුරෝපීය සමාජයේ අතිශයින්ම ප‍්‍රතිගාමී කොටස් වල අරමුනු සඳහා ගේට්ස්ගේ කතාව සේවය කරයි.

විවිධ යුරෝපීය රාජ්‍යයන් තුල එවන් ප‍්‍රතිපත්ති වෙනස්කම්වල දේශපාලන ප‍්‍රතිවිපාක ගැන ගේට්ස්ට තැකීමක් නොවීය. එහෙත් පසුදින එක්සත් ජනපදයේ ප‍්‍රමුඛ ලිබරල් හා දක්ෂිනාංශික දිනපතා පුවත්පත් කතුවැකි ඒවා ගෙනහැර දැක්වීය.

නිව් යෝර්ක් ටයිම්ස් "නේටෝවට සත්‍ය පැවසීම” යන කතුවැකි සිරස්තලයක ගේට්ස්ගේ ප‍්‍රකාශ හුවාදැක්වූයේ ඒවා යුරෝපීය බලවතුන්ට කල වැඩදායක අනතුරු ඇඟවීමක් ලෙස දක්වමිනි. "ඔහු පැහැදිලි කල පරිදි යුරෝපය තම අරක්ෂක වැය කපාහරිමින් නොමිලයේ සාමුහික ආරක්ෂක වාසි දරන අතර නේටෝවේ සටන්වල දී අසමානුපාතික පංගුවක් දැරීම හා එහි පිරිවැයේ අසමානුපාතික පංගුවක් දැරීම තවදුරටත් මේ රටට ඔරොත්තු නොදෙයි.” යනුවෙන් ටයිම්ස් පැවසීය.

"ලිබියාව පිලිබඳව නේටෝවේ කම්පාකාරී කොරගැසීමේ වැඩ කටයුතු” ටයිම්ස් පත‍්‍රය හෙලා දුටුවේය. එනම්, ලිබරල් කන්ඩායම්වල උද්යෝගිමත් පිටුබලය සහිතව ගෙනයන ආක‍්‍රමනික යුද්ධයට හවුල් වීම බොහෝ නේටෝ රටවල් ප‍්‍රතික්ෂේප කිරීම හෝ එසේ හවුල් වීමට ඔවුන් අපොහොසත් වීමය.

ඉන් පසුව පුවත්පත මෙසේ විමසයි: "කර්නල් මුවම්මර් ගඩාෆිගේ බිඳී ගිය ආඥාදායකත්වයට වඩා බිහිසුනු සතුරෙකුට එරෙහිව සටන් කිරීමට සිදුවුනා නම් කුමක් වනු ඇත් ද?” නේටෝව පිහිටුවන ලද්දේ තවදුරටත් නොපවතින සෝවියට් සංගමයට එරෙහි සන්ධානයක් ලෙස ය යන කාරනය සලකන කල ටයිම්ස්හි සිතේ බලපවත්වන්නේ කුමන සතුරා ද යන්න පැහැදිලි නැත. එහිදී නොයෙකුත් අපේක්ෂකයින් සිහියට නැගෙන අතර වඩාත්ම ප‍්‍රධාන ඉරානය හා සිරියාව සේම රුසියාව හා චීනය ද වෙයි.

"න්‍යෂ්ටික ඉරානය හා නැඟී එන චීනය” වඩාත් දැඩි ලෙස සන්නද්ධව ඇති නේටෝ සන්ධානයේ විභවාත්මක එදිරිවාදීන් ලෙස නම් කරමින් ගේට්ස්ගේ විවේචන තවදුරටත් විස්තාරනය කරන වෝල් ස්ටී‍්‍රට් ජර්නලය එක්සත් ජනපදයේ මෙන්ම යුරෝපයේ ද දේශීය සමාජ ප‍්‍රතිපත්තියේ ඇඟවීම් වඩාත් නිශ්චිතව ගෙනහැර දක්වයි. "යුරෝපයේ ආරක්ෂක පිරිහීම එක්සත් ජනපදය සම්බන්ධයෙන් ගත් කල වඩාත් දුස්සාධ්‍ය හිමිකම් සන්සිඳුවීමට උත්සාහ දරන ලද ජාතීන්ට සිදුවූයේ කුමක් ද යන්න පිලිබඳ පෙර නිමිත්තකි. අවසානයේදී ඔවුන්ට සොයාගත හැකිවූයේ තමන්ව ම ආරක්ෂා කර ගැනීමේ වියදම් දැරීමට නොහැකිකම හෝ අකැමැත්තය.”

ඇමරිකාවේ නව ආරක්ෂාව සඳහා වන මධ්‍යස්ථානය නම් බුද්ධි මන්ඩලයේ ඇන්ඩෲ එක්සුම් උපුටා දැක්වූ ටයිම්ස් පත‍්‍රයේ පිටු තුල ද ඒ හා සමාන කාරනයක් ගෙනහැර දැක්වේ. "එක්සත් ජනපදය ඔවුන්ගේ ආරක්ෂක වියදම්වල පාර්ශවයකට සහන සලසන බැවින් යුරෝපියානුවන් අතදිගහැර වියදම් කරන සමාජ ශුභසාධන සේවා භුක්ති විඳීමේ වරම ලබයි.”

අට වසරකට පෙරාතුව එක්සත් ජනපදය ඉරාකය ආක‍්‍රමනය කල අවධියේ ගේට්ස්ගේ පෙන්ටගන් පූර්වගාමියා වූ ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් ප‍්‍රන්සයෙන් හා ජර්මනියෙන් යුද්ධයට පලවූ විරුද්ධත්වය පරිහාසයට ලක් කරමින් බි‍්‍රතාන්‍ය සමඟ යුද්ධයට සහයෝගය දැක්වූ කුඩා නැගෙනහිර යුරෝපීය රටවල් හුවා දැක්වීය. වත්මන් පෙන්ටගන් ලොක්කා පසුගිය 10දා "පරන යුරෝපය” හා අලුත් යුරෝපය එකිනෙකට එරෙහිව පිහිටුවනවා වෙනුවට යුරෝපයේ වැඩි කොටසක් පින්බත් කන කම්මැලියන් යයි අවශ්‍යයෙන්ම හෙලා දුටුවේය.

ගේට්ස්ගේ කතාව හා එක්සත් ජනපදය පුරා ඔහුගේ නිල දේශපාලන පේ‍්‍රක්ෂාගාරය බි‍්‍රතාන්‍ය හා ප‍්‍රන්සය සම නායකයින්ගේ තැනට පත්වෙමින් ලිබියාවට එරෙහිව ආක‍්‍රමනකාරී යුද්ධය දියත් කිරීම මත නව එලියක් විහිදුවා ඇත. මෙම යුද්ධය දැකගෙන ඇත්තේ යුරෝපීය රටවල් මත වඩාත් වැඩි මිලිටරි වියදම් පැටවීමේ හා සමහර මිලිටරි වැය ලිහිල්කර ගැනීමේ උත්සාහයක් වන වැඩිවන යුරෝපීය මැදිහත්වීම හා සම්පත් සඳහා දායකත්වය පිලිබඳ නව ආකෘතියක් ලෙසය.

මෙය වනාහි "මානව අයිතීන්” හා "ප‍්‍රජාතන්ත‍්‍රය” සඳහා ගෙන යන යුද්ධයක්ය යන වඩ වඩාත් හමගිය හා අපකීර්තිමත් වාචාලකම් වලට යටින් සියවසකට පෙර ලෙනින් හා ට්‍රොට්ස්කි හඳුනාගත් යථාර්තය සනාථ කෙරී ඇත. ලෝක ක‍්‍රමයක් ලෙස අධිරාජ්‍යවාදයේ අර්ථය වන්නේ සිය එදිරිවාදීන්ට විරුද්ධව ආර්ථික, රාජ්‍යතාන්ත‍්‍රික, දේශපාලනික හා අවසාන වශයෙන් මිලිටරි මැදිහත්වීම් හරහා පෙරමුන ගැනීමට පොරකන පීඩක රටවල් අතලොස්සක් විසින් මානව වර්ගයාගේ ආධිපත්‍යය දැරීම ය.

අධිරාජවාදී මිලිටරිවාදයේ තර්කය වන්නේ මානව ශිෂ්ඨාචාරය වනසා දැමීමට තර්ජනය කරන ගෝලීය ගිනිමැලයක් තුල කුලුගැන්වෙන නව හා වඩාත් ප‍්‍රචන්ඩ යුද්ධ පුපුරා යාම ය. එකම විකල්පය වන්නේ ලෝක සමාජවාදී විප්ලවයේ පදනම මත ජාතික දේශසීමාවන් හරහා ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමයි.

පැටි‍්‍රක් මාටින්