ඔබාමාගේ ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීමේ තීරනයට පිටුපසින්

Behind Obama’s Afghan withdrawal decision

21 June 2011,

ජනාධිපති බැරැක් ඔබාමා, 2009 දෙසැම්බර් මාසයේ දී "ඇෆ්ගනිස්ථානයෙන් අපගේ හමුදා මාරු කිරීම” ගැන සඳහන් කල ආකාරයට ම එලැඹෙන ජූලි මාසයේ දී ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරගනු ලබන හමුදා සංඛ්‍යාව පිලිබඳ තමන් විසින් ම නියම කරගත් අවසාන කාල සීමාව මේ මස අවසානය වනවිට නිවේදනය කිරීමට ඔහු අපේක්ෂා කරනු ලබයි.

ඔබාමා 2009 දෙසැම්බර් මාසයේ දී එම පොරොන්දුව දුන්නේ, යුද්ධයෙන් ඉරිතැලී ගිය රට තුලට අතිරේක භටයන් 33,000ක් යැවීමේ ඔහුගේ "තීව‍්‍ර කිරීම” නිවේදනය කිරීමේ කතාවක දී ය. ඩිමොක‍්‍රටික් පරිපාලනය 2009 වර්ෂාරම්භයේ බලයට පත් තැන් පටන්, ඇෆ්ගනිස්ථානය තුල රඳවා ඇති භට සංඛ්‍යාව දැනට ආසන්න වසයෙන් 100,000 පමන මට්ටමකට නංවමින් එය තෙගුනයකින් ඉහල දමා ඇත.

ඔබාමා මෙම කතාව කල තැන් පටන් ගත වූ වසර එකහමාර තුල භටයන් ඉවත් කරගැනීම ඇෆ්ගනිස්ථානය තුල පවතින කොන්දේසි හා මිලිටරි අනදෙන්නන්ගේ උපදෙස්වල පදනම මත නීර්නය කෙරෙන කි‍්‍රයාදාමයක ආරම්භය පමනක් යයි අවධාරනය කරමින් 2011 ජූලි මාසයට නියම කර ගත් සීමාවේ වැදගත්කම ලඝු කිරීමට ඔබාමා ද අනෙකුත් එක්සත් ජනපද නිලධාරීහු ද උත්සාහ දරා ඇත.

රට තුල අඛන්ඩව සමාජ වියදම් කප්පාදු කරන තත්වය තුල සතියක යුද වියදම ඩොලර් බිලියන දෙකකට නැගීම මධ්‍යයේ ජන මත විචාරනයන් මගින් පෙන්නුම් කරනු ලැබ ඇත්තේ මුලුමනින්ම ඇමරිකානු ජනයාගෙන් තුනෙන් දෙකක් යුද්ධයට විරුද්ධ අතර හතරෙන් තුනකට "තථ්‍ය” හමුදා ඉවත් කර ගැනීමක් අවශ්‍ය බවය.

අවම වසයෙන් තලිබාන් හා එක්සත් ජනපද නීත වාඩි ලා ගැනීමට විරුද්ධ අනෙකුත් සන්නද්ධ කන්ඩායම් තම මිලිටරි ප‍්‍රතිප‍්‍රහාරය දියත් කරන මෙම වසරේ හා ලබන වසරේ ගිම්හාන "සටන් සමයන්”දක්වා වත් එක්සත් ජනපද සටන් හමුදාව ඇෆ්ගනිස්ථාන භූමිය මත රඳවමින් ඉවත් කරගැනීම සංකේතාත්මක ලෙස සහායක හමුදා භටයන් සංඛ්‍යාවකට සීමා කිරීම තම අපේක්ෂාව බව පෙන්ටගනය පැහැදිලි කර ඇත. මේ මාසය අවසානයේ ධුරයෙන් ඉවත්ව යන ආරක්ෂක ලේකම් රොබට් ගේට්ස් ඕනෑම ඉවත් කරගැනීමක් "මධ්‍යස්ථ” බවත් ඇෆ්ගනිස්ථානයෙන් "හැල්මේ ඉවත්වීමක්” එක්සත් ජනපදයට අනවශ්‍ය බවත් ප‍්‍රසිද්ධියේ අවධාරනය කර ඇත.

සමහර රිපබ්ලිකානුවන් ද ඇතුලත් කොංග‍්‍රසයේ මුල්පෙලේ සාමාජිකයෝ වඩා කඩිනම් ඉවත් කරගැනීමක් සඳහා කැඳවුම් කර ඇත. සෙනෙට් සන්නද්ධ සේවා කමිටු සභාපති වන මිචිගන් ඩිමොක‍්‍රටික සෙනෙට් සභික කාල් ලෙවින් ලබන මාසයේ දී සටනේ නිරත භටයන් ද ඇතුලත්ව එක්සත් ජනපද මිලිටරි භටයන් 15,000ක් ඉවත් කරගැනීමට පක්ෂව කතාකර තිබේ.

ලෙවින්ගේ යෝජනාව කි‍්‍රයාත්මක වුව ද 2009 වසරේ මුල භාගයේ පටන් ඔබාමා ඇෆ්ගනිස්ථානයට යවන ලද අතිරේක භටයන් 65,000න් 50,000ක් හෙවත් එරට තුල සිටින එක්සත් ජනපද භටයන්ගෙන් සියයට 85ක් තවදුරටත් රැඳී සිටිනු ඇත.

වොෂින්ටනයේ සිදුවන මෙම ඉතා සීමිත ප‍්‍රසිද්ධ විවාදයට මාධ්‍ය තම අවධානය යොමු කොට තිබිය දී දශකයකට ආසන්න කාලයක් පවතින යුද්ධයේ සැබෑ අරමුන එලිදරව් කෙරෙන සාකච්ඡා වට දෙකක් එක්සත් ජනපද නිලධාරියෝ තිරයෙන් පිටුපස කරගෙන යමින් සිටිති.

ඉරිදා රූපවාහිනියේ විකාශය කරන ලද සම්මුඛ සාකච්ඡාවක පෙනීසිටි ආරක්ෂක ලේකම් ගේට්ස් 2001 ඔක්තෝබර් එක්සත් ජනපද ආක‍්‍රමනය විසින් පහකරන ලද තන්ත‍්‍රය හෙබවූ ඉස්ලාමීය ව්‍යාපාරය වන තලිබානයේ නියෝජිතයන් සමග එක්සත් ජනපද නියෝජිතයන් සාකච්ඡාවල නිරතව සිටින බව තහවුරු කලේ ය.

ඒ අතර ම තලිබානය මත පටවන ලද ජාත්‍යන්තර සම්බාධක අල්කයිඩාවට පනවන ලද ඒවායින් වෙන්කිරීමට එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයට තල්ලුව දී ඇත. මෙම පියවර "තමන්ට අනාගතයක් තිබෙන බවට තලිබානයට පැහැදිලි පනිවුඩයක්” යවනු ඇත්තා වූ "ප‍්‍රතිසන්ධානය දිරිමත් කරන වැදගත් ආම්පන්නයක්” ලෙස හඳුන්වමින් එක්සත් ජාතීන් සඳහා වන වොෂින්ටන තානාපති සුසෑන් රයිස් එය උත්කර්ෂයට නැංවීය.

විශාල වශයෙන් විපතට පත් සිවිල් ජනයා මරා දැමූ හෝ අල්ලාගත් අල්කයිඩා සාමාජිකයන් යයි නම් කොට එක්සත් ජනපද අනදෙන්නන් විසින් පසුගිය වසර කිහිපය තුල ම ගනන්හිලව් ඉදිරිපත් කිරීම නිසා "අනාගතයක්” පිලිබඳ මෙම පොරොන්දුව නො ගැලපේ යයි පෙනෙනු ඇත. දශකයකට ආසන්න කාලයක් පුරා දේශපාලකයන් හෝ ජෙනරාල්වරුන් එක හා සමානව තලිබානය අල්කයිඩාව සමග සමාන කරනු සහ සමස්ත යුද්ධය ම ත‍්‍රස්තවාදය පරාජය කිරීමට හා එක්සත් ජනපද භූමිය මත තවත් සැප්තැම්බර් 11ක් වැලැක්වීමට කර ගෙන යන්නක් බව අවධාරනය කරනු ඇමරිකානු ජනයා අසා ඇත.

සාකච්ඡා ඇරඹී තිබුනත්, එහි අර්ථය වන්නේ, එක්සත් ජනපද මිලිටරි කි‍්‍රයාන්විතවල කිසිදු අඩුවීමක් නො වන බව ගේට්ස් අවධාරනය කලේ ය. "තලිබාන්වරු මත් මිලිටරි පීඩනය යටතේ සිටින බව තේරුම් ගෙන බැරෑරුම් සාකච්ඡාවකට කැමති වීමට පෙර ඔවුන්ට ජයගත නො හැකි යයි විශ්වාස කිරීමට පටන් ගත යුතු බව මම හිතනවා” යයි ඔහු සීඑන්එන් වෙත කීවේ ය.

ඒ අනුව, එක්සත් ජනපද භටයෝ ඇෆ්ගනිස්ථානය තුල මිනීමැරීම හා මියයාම නො කඩවා සිදු කරනු ඇත. නමුත් ඒ කුමක් සඳහා ද? ඔවුන් කරමින් සිටින්නේ ප‍්‍රහාරයකින් ඇමරිකාව ආරක්ෂා කිරීම ය යන රැවටිල්ල මුලුමනින්ම එලිදරව් වී ඇත.

පෙන්ටගනයට හා නැටෝවට ඇෆ්ගන් භූමිය මත ස්ථීර මිලිටරි කඳවුරු පවත්වාගෙන යාම සහතික කරන මූලෝපායික එකඟතාවක් අරබයා එක්සත් ජනපද පිටුබලය ලබන ජනාධිපති හමීඩ් කර්සායිගේ තන්ත‍්‍රය සමග අර්ධ රහසිගත සාකච්ඡාවල දෙවන වටය කරගෙන යනු ලබයි. ඉවත් කරගැනීම් පිලිබඳ ප‍්‍රසිද්ධ කතා මධ්‍යයේ මෙම පුද්ගලික සාකච්ඡා එලැඹෙන දශක ගනනාවක් පුරා ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානය තුල තැබීම ඉලක්ක කරගනී.

මෙම මූලෝපායික එකඟතාව පිලිබඳව සාකච්ඡා කිරීමට යවන ලද එක්සත් ජනපද නියෝජිත කන්ඩායමක් කාබුල් නුවරට සෙනසුරාදා ලඟා වෙද්දී එක්සත් ජනපදයට හා එහි නැටෝ සහචරයන්ට බැනවදිමින් ජනාධිපති කර්සායි ජාතික රූපවාහිනියෙන් කල කතාවක් විකාශනය කලේ ය. ක්ෂය වූ යුරේනියම් අවි භාවිතා කිරීම ද ඇතුලුව ඇෆ්ගන් වැසියන් මැරීම හා රටෙහි පරිසරය අවමානයට ලක්කිරීම පිලිබඳව ආක‍්‍රමනික හමුදාවන් හෙලාදුටු කර්සායි "ඔවුන් මෙහි සිටින්නේ ඔවුන්ගේ ම අභිප‍්‍රායන්, ඔවුන්ගේ ම අරමුනු වෙනුවෙන්. ඒ සඳහා ඔවුන් අපේ භූමිය පාවිච්චි කරමින් සිටිනවා” යයි කීවේ ය.

කර්සායිගේ විරෝධය වනාහි රූකඩ ජනාධිපතිවරයා හා ඔහුගේ සහචරයන් තමන් ව විනාශ කරනු ඇතැයි සාධාරන ලෙස බියවන, එක්සත් ජනපද නීත ආක‍්‍රමනික හමුදාවන් කෙරෙහි ඇෆ්ගන් වැසියන් අතර පවත්නා ප‍්‍රබල මහජන වෛරයේ, අඳුරුපැහැ පිලිබිඹුවකි.

ඒ අතර ම තලිබානය සමග කරන ඒක-පාර්ශ්වික සාකච්ඡා ද ඇතුලත් ඇෆ්ගනිස්ථානය තුල එක්සත් ජනපද මිලිටරිය දීර්ඝ කාලීනව රැඳී සිටීම තහවුරු කිරීමට වොෂින්ටනය දරමින් සිටින උත්සාහයන් ඔවුන්ගේ සේවාව අනවශ්‍ය කරනු ඇතැයි කර්සායි හා ඔහුගේ කල්ලිය නිසැකව ම බිය වෙති.

ඇෆ්ගනිස්ථානයේ පෙර පැවති තන්ත‍්‍රයන් මෙන් ම කර්සායි ද තමන් බලයේ තබා ඇති භටයන් හා මුදල් සපයන වොෂින්ටනය ද කලාපය තුල එක්සත් ජනපදයේ මූලෝපායික ඉලක්කවලින් වඩ වඩා කනස්සල්ලට පත්වන ඇමරිකාවේ කලාපීය ප‍්‍රතිමල්ලවයන් ද අතර සමබරව යාමට වැඩි වැඩියෙන් උත්සාහ කරමින් සිටී.

ඒ අනුව කර්සායි පසුගිය සතියේ කසකස්තානයේ පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (එස්සීඕ) රැස්වීමට සහභාගි වූ අතර එහි දී ඇෆ්ගනිස්ථානය තුල එක්සත් ජනපද මිලිටරිය දිගට ම රැඳී සිටීම කෙරෙහි පැහැදිලි විරුද්ධත්වය ප‍්‍රකාශ කිරීමක් කරමින් චීනය හා රුසියාව යන එස්සීඕ වේ ප‍්‍රධාන සාමාජිකයෝ "ස්වාධීන, මධ්‍යස්ථ” ඇෆ්ගනිස්ථානයක් සඳහා ආයාචනා කරමින් යෝජනාවක් ඉදිරිපත් කලහ.

ඇෆ්ගනිස්ථානය තුල ඇමරිකානු භටයෝ සටන් කරන්නේ හා මියයන්නේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයග‍්‍රහනය කරවීමට නො වේ. මෙම යුද්ධයේ සැබෑ අරමුන වන්නේ බලශක්තියෙන් පොහොසත් මධ්‍යම ආසියානු කලාපය මත ආධිපත්‍යය ප‍්‍රක්ෂේපනය කිරීමට මෙහෙයුම් කඳවුරක් සුරක්ෂිත කර දීම හා එම ස්වාභාවික ධනය බටහිරට පොම්ප කිරීමට අවශ්‍ය නල මාර්ග මත පාලනය පවත්වාගැනීම සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට අවකාශ සලසා දීම යි.

යුද්ධයේ හා වාඩි ලා ගැනීමේ වසර 10ක් තුල මෙම අරමුන කරා ලඟාවීමට අසමත්ව ඇති වොෂින්ටනය අන් සියල්ලටත් වඩා චීනය හා රුසියාව ඇතුලු කලාපයේ මූලෝපායික ප‍්‍රතිමල්ලවයන්ගේ වැඩෙන විරුද්ධත්වයට මුහුන දෙමින් සිටී. ඇෆ්ගනිස්ථානය තුල විජිත පන්නයේ පිලිකුල් කටයුතු යුද්ධය විසින් නිමවන ලද යෝධ වේදනාව හා අස්ථාවරත්වය, ග‍්‍රහලෝකය හරහා වැඩකරන ජනයාට ගිනිය නො හැකි අන්තරායන් සහිතව පුලුල් ප‍්‍රාදේශීය හා ගෝලීය මුනගැටුමක් බවට පුපුරා යාමට වඩ වඩා තර්ජනය කරයි.

බිල් වෑන් ඕකන්