ඉන්දියාව සිය ආසක්තයන් කියාපෑමට ශ‍්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව යොදා ගනියි

India uses UN report on Sri Lanka to assert its interests

By Sarath Kumara , 18 June 2011

ඉහල පෙලේ ඉන්දියානු නියෝජිත පිරිසක් පසුගිය සතියේ ශ‍්‍රී ලංකාවට පැමිනීමෙන් සලකුනු කෙරෙන්නේ අසල්වැසි දෙරට අතර සම්බන්ධතාවන් පිලිබඳව පැනනැඟී ඇති ආතති සහගත තත්වයයි. ඉන්දියාව සිය එදිරිවාදියා වන චීනය සමඟ මෙම රට පවත්වාගෙන යන දැඩි සම්බන්ධතා විශේෂයෙන්ම නව දිල්ලියේ නොසතුටට හේතු වී ඇති අතර ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව කොලඹට පීඩනය යෙදීම සඳහා ගසාකමින් සිටියි.

ජාතික ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනන්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසට විදේශ ලේකම් නිරූපමා රාවෝ හා ආරක්ෂක ලේකම් ප‍්‍රදීප් කුමාර් ද ඇතුලත් විය. ජූනි 10 දිනෙන් ආරම්භ වූ දෙදින සංචාරයේ දී ඔවුහු ජනාධිපති මහින්ද රාජපක්ෂ විදේශ ඇමති ජී.එල්. පීරිස් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා තවත් ඉහල නිලධාරීන් හමුවූහ.

2009 මැයි මාසයේදී මිලිටරිය දෙමල බෙදුම්වාදී එල්ටීටීඊ පරාජය කිරීමෙන් පසුව ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර පැවතියේ නොසංසුන් සබඳතාවකි. එල්ටීටීඊ පරාජය කිරීමේ රාජපක්ෂ තන්ත‍්‍රයේ යුද ව්‍යායාමයට නිහඬව සහයෝගය දුන් නව දිල්ලිය, එමඟින්, කොලඹ මත සිය බලපෑම ශක්තිමත්කර ගැනීමට බලාපොරොත්තු විය. ඒ වෙනුවට නව දිල්ලියේ ප‍්‍රධාන එදිරිවාදියා වන චීනය බීජිනය විසින් මෙරටට ලබාදුන් සෘජු දේශපාලන හා ආර්ථික ආධාර තුලින් ප‍්‍රමුඛ ප‍්‍රතිලාභියා ලෙස මතුව ආවේය.

පසුගිය මාස දෙක තිස්සේ ඉන්දියාව ශ‍්‍රී ලංකාවේ මානව අයිතීන් කඩකිරීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂඥ කන්ඩායමේ වාර්තාව රාජපක්ෂ ආන්ඩුවට පීඩනය යෙදීම පිනිස ගසාකෑමට උත්සාහ කර තිබේ. අපේ‍්‍රල් මාසයේදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් විසින් නිකුත්කල වාර්තාවෙන් 40,000ක් පමන දෙමල සිවිල් වැසියන් හමුදාවේ බෝම්බ ප‍්‍රහාර වලින් මියගිය බවට විශ්වාසදායක සාක්ෂි ගෙන ඒම මගින් යුද අපරාධ සඳහා ප‍්‍රමුඛ දේශපාලඥයින් ආන්ඩුවේ නිලධාරීන් හා මිලිටරි නායකයින් වෙත චෝදනා එල්ල කෙරිනි.

ආන්ඩුව විසින් පවත්වන පරීක්ෂනයක් ඉල්ලා සිටීම වැනි වාර්තාවේ සීමිත නිර්දේශ හමුවේ වුවත් ප‍්‍රධාන බටහිර බලවතුන් හා ඔවුන්ගේ මිතුරන්ගේ ප‍්‍රතික‍්‍රියා පිලිබඳව කොලඹ නොසංසුන්තාවක් පැහැදිලිව පෙනෙන්නට තිබුනි. මූලෝපායිකව වැදගත් දිවයින තුල සිය අනසක යලි පිහිටුවා ගැනීමේ මාධ්‍යයක් ලෙස එක්සත් ජනපදය යුරෝපීය සංගමය හා ජපානය එක්සත් ජාතීන්ගේ වාර්තාවට සහාය දුන්නේය.

වාර්තාව පිලිබඳව අදහස් පලකිරීමෙන් ඉන්දියාව වැලකී සිටියේය. අපේ‍්‍රල් 27 දින ප‍්‍රකාශයක් මගින් විදේශ කටයුතු අමාත්‍යාංශය "වාර්තාව තුල මතුකර ඇති ප‍්‍රශ්න ප‍්‍රවේශමෙන් අධ්‍යයනය කිරීම අවශ්‍යය” බවත් ඉන්දියාව ලංකාවේ ආන්ඩුව සමඟ එහි අන්තර්ගත දෑ පිලිබඳව "සාකච්ඡා කිරීමට අදහස් කරන” බවත් පැවසීය.

පසුගිය මාසයේ දී විදේශ ඇමති ජී.එල්. පීරිස් එක්සත් ජාතීන්ගේ වර්තාව ප‍්‍රතික්ෂේප කිරීමේ දී ශ‍්‍රී ලංකාවට සහාය ලබාගැනීම පිනිස නව දිල්ලියට ගියේය. වඩ වඩාත් චීනය මත රැඳී සිටින නමුත් තමන්ට නිකම්ම ඉන්දියාව නොතකා නොහැරිය හැකි බව ජනාධිපති රාජපක්ෂ හොඳින් දැන සිටියි

ඉන්දියාව ඉලාපොරොත්තු වූ සහාය ලබා නොදුන්නේය. ඒ වෙනුවට විදේශ කටයුතු ඇමති එස්.එම්. ක‍්‍රිෂ්නා හා පීරිස් මැයි 17දා ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කලහ. උතුරේ යුද සරනාගතයින් ඉක්මනින්ම යලි පදිංචි කිරීම, හදිසි නීති ඉවත් කිරීම, "මානව අයිතීන් උල්ලංඟනය කිරීම පිලිබඳ පරීක්ෂන” හා "13වන ව්‍යවස්ථා සංශෝධනය පදනම් කරගෙන සකස් කරන බලය බෙදාහැරීමේ පැකේජයක් ව්‍යවස්ථාවට ඇතුල් කිරීම” පිලිබඳ කැඳවුමක් ඊට ඇතුලත් විය.

13වන සංශෝධනය 1987 දී එවකට ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි හා ලංකාවේ ජනාධිපති ජේ ආර් ජයවර්ධන විසින් අත්සන් තැබූ ඉන්දු ලංකා ගිවිසුමේ යෝජනාවකි. ගිවිසුම යටතේ ජයවර්ධන "දෙමල නිජභූමියක්” පිලිබඳ ඉල්ලීමට සහනයක් ලෙස දිවයිනේ උතුරු හා නැගෙනහිර පලාත් ඒකාබද්ධ කිරීමට හා ඉඩම් හා පොලිස් බලතල ද ඇතුලු සීමිත බලතල පලාත් සභාවට පැවරීමට ද එකඟ විය.

ගිවිසුම එල්ටීටීඊය නිරායුධ කිරීම පිනිස ඉන්දීය හමුදා යෙදවීම සඳහා යොදාගත් නමුත් ඉඩම් හා පොලිස් බලතල කිසි විටෙකත් පලාත් සභාවට පවරා නොදුන්නේය. කොලඹ පාලන සංස්ථාපිතය දෙමල ප‍්‍රභූ පැලැන්තියට සීමිත බලතල හෝ පවරා දීමට විරුද්ධ වූහ ජනතා විමුක්ති පෙරමුන ද ඇතුලු සිංහල වර්ගවාදී කන්ඩායම් ගිවිසුම ජාතිය පාවාදීමක්යයි හෙලා දුටහ. රාජපක්ෂ ද එයට සහාය දුන්නේය. මුල්බැසගෙන තිබෙන මෙම අවශ්‍යතා පිලිඹිඹු කරමින් 2007දී ශ්‍රේෂ්ඨාධිකරනය උතුරු නැගෙනහිර යලි වෙන්කිරීමට නියෝගයක් ලබාදුන්නේය.

පසුගිය සතියේ ඉන්දියානු සංචාරයේ ප‍්‍රකාශිත අරමුන ක‍්‍රිෂ්නා හා පීරිස් අතර ඇතිවූ ඒකාබද්ධ ප‍්‍රකාශය ක‍්‍රියාවට නැඟීමේ "පසු විපරම්’’ පියවර සාකචඡා කිරීමයි. කෙසේ වෙතත් සන්ඩේ ටයිම්ස් පත‍්‍රයට අනුව රාජපක්ෂ ඉඩම් හා පොලිස් බලතල පලාත් සභාවලට පැවරීමට විරුද්ධ විය ඔහු ඉන්දීය නිලධාරීන් වෙත පැවසුවේ සිය පාලක එක්සත් ජනතා සන්ධානයේ ව්‍යවස්ථාපිත පක්ෂ ඊට "දැඩි විරෝධය’’ පලකර ඇති බවය. මෙම ආස්ථානය "කොලඹ හා නව දිල්ලිය අතර රාජ්‍ය තාන්ත‍්‍රික ගැටුමකට තුඩුදෙනු ඇතැයි බලාපොරොත්තු වන’’ බව ටයිම්ස් ප‍්‍රකාශ කලේය

ඉන්දියාව බලය බෙදාහැරීමට බලපෑම් කලේ දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පිලිබඳ උත්සුකයකින් නොවේ. ඒ වෙනුවට ඉන්දියාවට අවශ්‍ය වන්නේ මෙරට තුල ඉන්දියාවේ දේශපාලන හා ආර්ථික ආසක්තයන් පුලුල් කිරීම සඳහා දෙමල ප‍්‍රභූව වෙත සීමිත බලතල පවරනවා දැකීමටය. ඒ සමග ම ඉන්දීය ආන්ඩුව ලංකාවේ දෙමල ජනතාව පිලිබඳව ව්‍යාජ උත්සුකයන් පලකරන දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ දේශපාලන පක්ෂ සංසිඳුවීමට ද උත්සාහ කරයි.

ඉන්දියාවේ පිටුබලය සහිතව එල්ටීටීඊයේ හිටපු පාර්ලිමේන්තු හොරනෑව වූ දෙමල ජාතික සන්ධානය හෙවත් ටීඑන්ඒ උතුරු හා නැගෙනහිරට ඉඩම් හා පොලිස් බලතල ලබාගැනීම සඳහා රාජපක්ෂ සමග සාකච්ඡා ආරම්භ කර තිබේ. මේ අතර ටීඑන්ඒ රාජපක්ෂ කිසිදු සහනයක් පිරිනැමීම ප‍්‍රතික්ෂේප කිරීමේ ප‍්‍රතිපලයක් ලෙස මෙම සාකච්ඡා දිගට ඇදී යන බවට මැසිවිලි නඟයි.

පසුගිය සතියේ සංචාරය අවසානයේ ඉන්දීය නියෝජිත පිරිසේ නායක මෙනන් රාජපක්ෂගේ නොසතුට පිලිබඳව වක්‍රොත්තියෙන් සිය අප‍්‍රසාදය පලකලේය. ඔහු ඉන්දීය මාධ්‍ය වෙත මෙසේ පැවසීය: "13වන සංශෝධනයට වැඩිමනත් දෙයක් කිරීමට ඔවුන්ට අවශ්‍ය යයි ඔවුන් සිතන්නේ නම් එය ඔවුන්ට බාරය. එහෙත් ඒ සඳහා ඔවුන් සියල්ලන්ම සතුටට පත්විය යුතුය.’’

සංචාරයට මඳකට පෙරාතුව මෑතකදී තමිල්නාඩුවේ මහ ඇමතිනිය ලෙස පත්වූ ජේ. ජයලලිතා ශ‍්‍රී ලංකාවේ සිවිල් වැසියන්ගේ මරන පිලිබඳව වගකිවයුතු අය "යුද අපරාධකරුවන්” ලෙස ප‍්‍රකාශ කරන මෙන් නව දිල්ලිය එක්සත් ජාතීන්ගෙන් ඉල්ලිය යුතු බවට යෝජනාවක් ජූනි 08 දින එහි ප‍්‍රාන්ත සභාවට ඉදිරිපත් කලාය. ඒකමතිකව සම්මතවූ යෝජනාව දෙමල ප‍්‍රශ්නය පිලිබඳව ශ‍්‍රී ලංකාව "ගෝලීය මතයට ඇහුන්කන් නොදුන්” බැවින් එරටට ආර්ථික සම්බාධක පනවන ලෙස ද ඉල්ලා සිටියේය.

තමිල්නාඩු ආන්ඩුවේ වාචාලකම් දෙමල ජනතාවගේ ඉරනම පිලිබඳ අනුකම්පාවක් සමඟ ගෑවිලාවත් නැත. එල්ටීටීඊය තලාදැමිය යුතු බව කියා සිටිමින් ජයලලිතා රාජපක්ෂගේ යුද්ධයට සහාය දුන්නාය. තමිල්නාඩුවේ අනෙකුත් සියලු පක්ෂ ද සමග ඇගේ පක්ෂය ද සිය රට තුල පිරිහෙන ජීවන තත්වයන් පිලිබඳව සාමාන්‍ය ජනතාව තුල ඇති පුපුරන සුලු නොසංසුන්තාවය නොමඟ යැවීම සඳහා මෙරට දෙමල ජනතාවගේ පීඩා කම්කොටලු ගැන පොදුවේ පැතිර පවත්නා අනුකම්පාව ගසාකෑමට උත්සාහ කරයි.

නව දිල්ලි ආන්ඩුව රාජපක්ෂට පීඩනය යොදන්නේ වී නමුත් එය අඩිය තබන්නේ ප‍්‍රවේශමෙනි. තමිල්නාඩු යෝජනාවෙන් පසුව මෙනන් හා රාවෝ ජයලලිතා හමුවීමට තකහනියේ ම චෙන්නායි වෙත පැමින රාජපක්ෂ කොන්කිරීම, ඉන්දියාවේ වාසිය පිනිස නොවන බවට ඇය ඒත්තු ගැන්වීමට උත්සාහ කල බව ඩැකාන් ක්‍රොනිකල් පත‍්‍රය වාර්තා කලේය. ”චීනයේ ගැත්තෙකු විය හැකි තරම් තදින් ජනාධිපති රාජපක්ෂ තල්ලු නොකිරීමේ ශ‍්‍රී ලංකාව පිලිබඳ නව දිල්ලියේ ප‍්‍රතිපත්තිය සමග” පෙලගැසෙන ලෙස ඇයගෙන් ඉල්ලූ බව ක්‍රොනිකල් තවදුරටත් වාර්තා කලේය.

නව දිල්ලිය වසාගෙන තිබෙන උත්සුකය වන්නේ තම පිලිකන්නෙහි සතුරෙකු ඇතිකර නොගැනීමයි. නැඟී එන බලවතෙකු ලෙස ඉන්දියාව ඉන්දීය සාගරය හරහා සිය නාවික මාර්ග සුරක්ෂිත කර ගැනීමට උත්සාහ දරයි. එසේම චීනය ද සිය බලශක්ති සැපයුම් වැඩි පංඟුවක් සඳහා මැද පෙරදිග හා අප‍්‍රිකාව මත යැපෙයි. චීනය ඉන්දීය සාගරයේ සිය ප‍්‍රසාරනය වන නාවික කටයුතුවල කොටසක් ලෙස දකුනේ හම්බන්තොට විශාල වරායක් ඉදිකර තිබේ.

බීජිනය පිලිබඳ ඉන්දියාවේ කනස්සල්ල වොෂින්ටනයේ උත්සුකයන් සමග සම්පාත වෙයි. චීනයට ප‍්‍රති තෝලනයක් ලෙස නව දිල්ලිය වගාකර ගැනීමට අදිටන්කර සිටින එක්සත් ජනපදය පසුගිය වසර පුරා ආසියා පැසිෆික් හා ඉන්දියානු සාගර කලාපයේ තමන්ගේ ආසක්තයන් ඉතා ආක‍්‍රමනකාරී ලෙස පෙරට ගෙනගොස් තිබේ.

පසුගිය වසරේ නව දිල්ලියට කල සිය සංචාරය අවසානයේ පීරිස් අසල්වැසියන් අතර පලූදු වී ඇති සම්බන්ධතා පිටුපස ඇති සාධක පිලිබඳව ඉඟි කලේය. ඉන්දියාව හා චීනය යන දෙරටම ශ‍්‍රී ලංකාව සමඟ වෙලඳ සබඳතා පවත්වන අතර හම්බන්තොට වරාය ඉදිකරමින් චීනය "ඉන්දියාව වටකර තිබීම ගැන කිසිදු ප‍්‍රශ්නයක් නැතැයි” ඔහු පැවසීය. ”එක් රටක් වෙනත් කුමන රටකට හෝ එරෙහිව සතුරු ක‍්‍රියාවන් සඳහා ශ‍්‍රී ලංකාව පිනුම් පිත්තක් කර ගැනීමට සත්තකින්ම අපි ඉඩ නොදෙන්නෙමු. එය සාර්වත‍්‍රික මූලධර්මයක් වන අතර අපි එය පිලිගනිමු” යයි හෙතෙම පැවසීය.

ඉන්දියාව හා චීනය අතර තුලනය වීමේ මෙම ව්‍යායාමය තිබිය දී ම රාජපක්ෂ ආන්ඩුව ප‍්‍රධාන බලවතුන් අතර වර්ධනය වෙමින් තිබෙන භූ දේශපාලනික එදිරිවාදිකම් තුලට දිවයින ඇදගෙන යමින් තිබේ.