ජපාන ව්‍යසනය හමුවේ කොටස් වෙලඳපොලවල් ලුහුටා යයි

Share markets slide in response to Japan disaster

By Nick Beams, 16 March 2011

ජපාන ව්‍යාපාරවස්තු වෙලඳපොලවල්, පසුගිය සිකුරාදා හටගත් භූ චලනය, සුනාමිය හා න්‍යෂ්ටික විපත හමුවේ, 1987 ඔක්තෝබරයේ ගෝලීය කොටස් වෙලඳපොල බිඳ වැටීමෙන් පසුව ඇතිවූ නරක ම දුර්භාග්‍යයට මුහුන පා ඇත. 15 දා ටෝකියෝ නිකේ දර්ශකය සියයට 10.5න්, එක් අවස්ථාවක දී සියයට 14ක් තරම් ප‍්‍රමානයකින්, කඩා වැටුනි. ඒ අනුව දින තුනේ සමස්ත වැටීම සියයට 18 කටත් වඩා වැඩි විය. 16දා වෙලඳ කටයුතු ආරම්භ කල විට දර්ශකය සියයට 6කටත් වැඩියෙන් වර්ධනය වූයේ පසු ගමනක් වැනි දෙයක් සලකුනු කරමිනි.

15 දා වැටීම සිදුවූයේ, දිනක ව්‍යාපාරික කටයුතු පිලිබඳව වාර්තාවක් තබමින් 14 දා ජපාන මහ බැංකුව, ඩොලර් බිලියන 183ක් මූල්‍ය වෙලඳපොලට මුදාහැරීමෙන් ද පසුව ය.

බැංකු බහුල වශයෙන් කාර්මික කොටස්වල ආයෝජනය කර තිබීමේ හේතුව මත, විකුනා දැමීමෙන් වැඩියෙන් ම පීඩාවට පත් විය. වෙලඳපොල වටිනාකම අනුව රටේ ලොකුම නය දෙන්නා වන මිට්සුබිෂි එම්යූඑෆ්ජේ හා මිසුහෝ ෆිනෑන්ෂල් ගෲප් එදින සියයට විස්සකින් තරම පසුබෑවේ ය. දෙවන විශාලම බැංකුව වන සුමිටෝමෝ මිට්සුයි ෆිනෑන්ෂල් ගෲප් එහි ව්‍යාපාරික කටයුතු ඇරඹූ 2002 වසරෙන් පසුව ලොකුම පිරිහීම සටහන් කරමින් සියයට 17න් වැටුනි. ජපාන අර්බුදයේ ආර්ථික හා මූල්‍ය ප‍්‍රතිවිපාක පිලිබඳ බිය පැතිරයාමත් සමඟ ලෝකය පුරාම විකුනා දැමීමේ රැල්ලක් ඇතිවිය. ඔස්ටේ‍්‍රලියානු වෙලඳපොල සියයට දෙකකින් වැටුන අතර ආසියා පැසිෆික් කලාපය දැඩි ලෙස ම ප‍්‍රහාරයට ලක් විය. ඒ අතර ජර්මන් දර්ශකය සියයට 3කට වැඩියෙන් ද එක්සත් ජනපදයේ ඩව් ජෝන්ස් සියයට 1.37න් ද වැටීමත් සමඟ යුරෝපය සැලකිය යුතු පසුබෑමකට මුහුන පෑවේ ය.

වැටීමට බලපෑ ප‍්‍රබල සාධක දෙකක් විය. සියලු නිල සහතිකවීම් මධ්‍යයේ විකීරනශීලිත්වය, දැනට ප‍්‍රකාශයට පත්කොට තිබෙන ඉවත්වීමේ කලාපයට වඩා බොහෝ ඈතට පැතිර යාමේ තර්ජනය හමුවේ තත්වය එන්ට එන්ටම නරක අතට හැරීමත් සමග ෆුකුෂීමා බලාගාරවල අර්බුදය ගැඹුරු වීම පලමු වැන්නයි. ජපාන ආන්ඩුවේ මූල්‍ය තත්වය කෙරේ ප‍්‍රතිනිර්මානයේ වියදම් හා එහි ඇඟවීම් පිලිබඳ වැඩෙන කනස්සල්ල දෙවැන්නයි.

න්‍යෂ්ටික අර්බුදය පාලනය කර නොගතහොත් හා වැඩිවන න්‍යෂ්ටික විකිරනශීලිත්වය ටෝකියෝ හා තදාසන්න කාර්මික කලාපය දක්වා ගමන් කලහොත් ප‍්‍රතිවිපාක අතිශයින් දරුනු වනු ඇත. 15 දා ඩොයිෂෙ බැංකු අරමුදල් කලමනාකරුවන් සිය දායකයින්ට පැවසුවේ "අපට සිතාගත හැකි ඉතාමත්ම නරක තත්වයක් යටතේ ජපානයේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 40කට වැඩි පංගුවක් නියෝජනය කරන කලාපයක් එයට ගොදුරුවනු ඇත” යනුවෙනි.

රට පුරා විදුලිබලය විසන්ධි කිරීම් සිදුවන තත්වය හමුවේ දැනටමත් නිෂ්පාදනයේ සැලකිය යුතු කප්පාදු සිදුව තිබේ. සෝනි, ටොයොටා, හොන්ඩා හා මැස්ඩා ද ඇතුලු ප‍්‍රමුඛ නිෂ්පාදකයින් එවන් කප්පාදු නිවේදනය කර ඇත. එහි කම්හල් බොහොමයක් ඇත්තේ රටේ බටහිර කොටසේ වුවත් මැස්ඩා සමාගම සිය නිෂ්පාදන කටයුතු මාර්තු 20 දින දක්වා අත්හිටුවන බව නිවේදනය කලේ ය.

බිඳවැටී තිබෙන න්‍යෂ්ටික බලාගාර පිලිබඳව කටයුතු කරන හා ජපානයේ ලොකුම විදුලිබල නිෂ්පාදකයා වන ටෙප්කෝ නමින් හැඳින්වෙන ටොකියෝ බලශක්ති හා විදුලිබල සමාගම, අඩුම තරමින් අපේ‍්‍රල් අවසානය දක්වා විදුලිබලය ඇනහිටීම් අඛන්ඩව සිදුවනු ඇති බව පැවසී ය. එහෙත් සමාගමේ වසං කිරීම් ද අමු සාවද්‍යකරනයන් ද සැලකිල්ලට ගන්නා විට මෙය සැලකිය යුතු අව තක්සේරුවක් බවටත්, විදුලි බලය ඇනහිටීම් වසරාවසානය තෙක් ම පැවතිය හැකි බවටත් අනතුරු ඇඟවීම් පලව තිබේ.

නිෂ්පාදන අර්බුදයේ ක්ෂනික බලපෑම් වලට අමතරව, ප‍්‍රතිනිර්මානයේ වියදම් ජපාන මූල්‍ය පද්ධතියට "හෙලීම් ලක්ෂ්‍යයක්” විය හැකිය යන කනස්සල්ල ද පවතියි.

විනාශය කඩාපාත්වීමට පෙර පවා ආන්ඩුවේ නයගැතිකම ඩොලර් ටි‍්‍රලියන 12.2ක් විය. එය ජපානයේ දදේනි න් සියයට 220කට හා ඩොලර් බිලියන 587ක් වන ආන්ඩුවේ වාර්ෂික ආදායම මෙන් 20 ගුනයකට පමන සමාන වේ.

ආන්ඩුවට එහි වර්ධනය වන මූල්‍ය ගැටලු සමඟ පොරබැදීමේ පැහැදිලි මූලෝපායක් නොමැති බව පවසමින් පසුගිය ජනවාරියේ දී ස්ටෑන්ඩර්ඩ් ඇන් පුවර්ස් යන නය වර්ගීකරන ආයතනය, ජපානයේ නය අගය පහත දැමී ය. එයම කරන බවට මූඩීස් ද අනතුරු අඟවයි.

ජපාන බැංකු, රක්ෂන සමාගම් හා විශ‍්‍රාම අරමුදල් එකතු කරන තැන්පතු, සියයට 1.5ක පමන පොලියක් ලැබෙන ආන්ඩුවේ බැඳුම්කරවල ආයෝජනය කිරීමේ අභ්‍යන්තර නය ගැනීම් ක‍්‍රියාවලියක් හරහා මේ දක්වා ජපාන ආන්ඩුවට සිය කඳු ගැසෙන නය වෙනුවෙන් ගෙවීමට හැකිවී තිබේ. එහෙත් ජනගහනය වයස්ගතවීම පමනක් නොව පිරිහෙමින් පවා තිබිය දී වයස්ගත ජපාන ජාතිකයින් සිය විශ‍්‍රාම වැටුප් ආයෝජනය කරනවා වෙනුවට ආපසු ගැනීමේ කොන්දේසි යටතේ නය ප‍්‍රසාරනය කෙලවරක් නැතිව පවත්වාගෙන යා නොහැකි ය.

මෙම සන්දර්භය තුල, මෙම අදියරේ දී දදේනින් සියයට 2-10 අතර පරාසයක වනු ඇතැයි ගනන් බලා තිබෙන ප‍්‍රතිනිර්මානය සඳහා අරමුදල් සපයා ගැනීම, ආන්ඩුවට පොලී අනුපාතික ඉහල දැමීමට හෝ ආන්ඩුවේ බැඳුම්කර මිලට ගැනීම සඳහා මහ බැංකුවට මුදල් අච්චු ගැසීමට බල කෙරෙමින් මූල්‍ය අර්බුදයක් ලිහා හැරිය හැකිය.

ප‍්‍රතිනිර්මානය සඳහා මුදල් යෙදවීම සඳහා එක්සත් ජනපද භාන්ඩාගාරයේ නය සම්භාරය විකුනා දැමීමට ජපාන ආන්ඩුවට සිදුවනු ඇති බවට ද මූල්‍ය කවයන් තුල බියක් පලව තිබේ. එවන් පියවරක් එක්සත් ජනපද බැඳුම්කරයන්ගේ අගය පහත වැටීමට හා වෙලඳපොලේ පොලී අනුපාතික ඉහල නැඟීමට තුඩුදෙනු ඇත. චීනයේ ඩොලර් ටි‍්‍රලියන 1.16 සමඟ සසඳන කල ඩොලර් බිලියන 882ක එක්සත් ජනපද බැඳුම්කර තොගයක් සතු ජපානය, එක්සත් ජනපදය තුල දෙවන විශාලතම ආයෝජකයා බවට පත්ව සිටියි.

එක්සත් ජනපද භාන්ඩාගාර ලේකම් තිමෝති ගේත්නර් එක්සත් ජනපද භාන්ඩාගාර නය විකුනා දැමීම පිලිබඳ මොනම සංකාවක් හෝ දුරුකර දැමීමට තදියම් විය. "ජපානය බෙහෙවින් ධනවත් රටකි. එසේ ම ඉහල ඉතුරුම් අනුපාතයක් ද දරයි. මානව අභියෝගයට පමනක් නොව ඉදිරියේ දී එන ප‍්‍රතිනිර්මානයේ අභියෝගයට ද මුහුන දීම සඳහා අවශ්‍ය වපසරිය ඔවුන් සතු ය.” යනුවෙන් හෙතෙම පැවසී ය.

ගේත්නර්ගේ සහතිකවීම් තිබියේ වුව ද රටේ රක්ෂන සමාගම්, වන්දි ඉල්ලීම් ගෙවීම සඳහා අරමුදල් ආපසු ගැනීමත් සමග, ජපාන මූල්‍ය සම්පත් ඇමරිකානු වෙලඳපොලෙන් ඉවතට ගැලීම දැනටමත් සිදුවෙමින් තිබේ. භූ චලන අර්බුදයේ පරිමාව නොතකා, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව, මූල්‍ය වෙලඳපොලවල් තුල දැනටමත් කිසියම් ආකරයක අධි අගයකින් යුක්ත බව සලකන ජපාන යෙන් මුදල, වැටීම වෙනුවට නැඟීම සලකුනු කරමින්, පෙනී යන දුෂ්ට තත්වයක් කරා යොමු වී ඇත.