යෝජිත ලිබියානු පියාසර තහනම් කලාපයට සහාය දීමට ජී8 කන්ඩායම අපොහොසත් වේ

G8 fails to back proposed Libyan no-fly zone

By Bill Van Auken , 16 March 2011

ලිබියාවට සෘජු මිලිටරි මැදිහත්වීමක් සඳහා බි‍්‍රතාන්‍ය හා ප‍්‍රන්සයේ මූලිකත්වයෙන් ඉදිරිපත්කල යෝජනා, ප‍්‍රධාන අධිරාජ්‍යවාදී රටවල් අතර බෙදීම් මගින් අපහසුතාවයට පත්කර තිබේ. එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍ය, ප‍්‍රන්සය, ජර්මනිය, ජපානය, ඉතාලිය, කැනඩාව හා රුසියාව යන ජී8 කන්ඩායමේ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමෙන් පසු නිකුත්කල නිවේදනය, මාසයක් තිස්සේ පවත්නා කැරැල්ල මැඩීමෙහි ලා ඔවුන්ගේ උත්සාහයේ දී ලිබියානු ආඥාදායක කර්නල් මුවම්මර් ගඩාෆිට පක්ෂපාතී හමුදාවන්ට පිටුබලය සපයන යුද ගුවන් යානා බිම හෙලීම සඳහා මිලිටරි බලය යොදාගැනීම පිලිබඳ යෝජනාව ගැන සඳහන් කිරීමට පවා අසමත් විය.

ජී8 ඇමතිවරුන්ගේ රැස්වීමට අනුග‍්‍රාහකත්වය දැක්වූ ප‍්‍රන්ස විදේශ ඇමති ඇලන් ජුපේ, නිවේදනය කියවන ලදී. එහෙත් ඉන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී ලිබියානු සිදුවීම් මුල්කරගෙන බටහිර බලවතුන් අතර මතු වූ විසංවාදය සැඟවීමට කිසිදු උත්සාහයක් දරනු නොලැබී ය.

සාකච්ඡා අවසානයේ ජුපේ විසින් කියවන ලද ප‍්‍රකාශය අනුව ජී8 ඇමතිවරු "මුවම්මර් ගඩාෆිට ඉවත්වන ලෙස බලකිරීම පිනිස ආර්ථික වශයෙන් ද ගන්නා පියවර මගින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය පීඩනය දැඩි කල යුතු බවට එකඟත්වයකට පැමිනියහ. මූලික අයිතීන් පිලිබඳ ලිබියානු ජනතාවගේ නීත්‍යානුකූල ඉල්ලීම් වලට ගරුකල යුතු බව” ගඩාෆිට කියා සිටිනු ඇත.

මිලිටරි පියවර පිලිබඳව සිය සගයන් ඒත්තු ගැන්වීමට අසමත් වූ බවත්, ලිබියානු ජන ජීවිතය ආරක්ෂා කිරීමේ මුවාවෙන් අධිරාජ්‍යවාදී ආක‍්‍රමනයක් දියත් කිරීමේ අවස්ථාව සමහරවිට ගිලිහී ගිය බවත් ජුපේට පිලිගැනීමට සිදු විය. "සමහර ගුවන් යානා ධාවන පථ හා ඒවා පාවිච්චියට ගන්නා දුසිම් ගනනක් ගුවන් යානා නිෂ්ක‍්‍රීය කිරීම සඳහා අප පසුගිය සතියේ මිලිටරි බලය යොදාගත්තේ නම් සමහරවිට, විරුද්ධත්වය නිසා හානියක් සිදුකර නොගෙන තත්වය වෙනස් කර ගත හැකිව තිබුනි.” ප‍්‍රන්ස විදේශ ඇමති යුරොප්-1 ගුවන් විදුලියට පැවසීය. "එහෙත් ඒ සියල්ල අතීතයයි. අද සිදුවෙමින් තිබෙන දෙයින් අපට පෙන්නුම් කරන්නේ අවස්ථාව ගිලිහී යාමට ඉඩ හැරීමට සිදු වූ බවයි.”

15 වන දින පැවති ප‍්‍රන්ස පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටුව හමුවේ ඔහු කල ප‍්‍රකාශ ඊටත් වඩා සෘජු ඒවා විය. "අද දිනයේ අප සිරවී සිටින්නේ නම් ඒ, යුරෝපය බෙලහීන නිසා පමනක් නොවේ. ඒ දැනට ආරක්ෂක මන්ඩලයේ දී චීනයට, එරට (ලිබියාව) කටයුතුවල දී ජත්‍යන්තර ප‍්‍රජාවගේ මැදිහත් වීමකට තුඩුදෙන යෝජනාවක් පිලිබඳව කිසිදු සඳහනක් කිරීමට අනවශ්‍ය වීම නිසා ද වේ.” ඔහු පැවසීය.

"යුරෝපීය බෙලහීනත්වය පසෙකින් තබන්න. ඇමරිකානු බලය පිලිබඳව කෙසේ ද? රුසියානු බලය පිලිබඳව කෙසේ ද? ලිබියාව කෙරෙහි චීනයේ බලපෑම කුමක් ද?” ජුපේ පාර්ලිමේන්තු කන්ඩායමට එසේ පැවසීය. රුසියාවේ ආකල්පය "හැඩගැසෙමින්” ඇති බව කියාසිටින අතර "ඇමරිකානුවන් ලිබියාව කෙරෙහි තම ආස්ථානය තවමත් නීර්නය කරගෙන නැතැයි” ඔහු පැවසීය.

ජර්මනියේ දී ජුපේ විනිවිද පෙනෙන අවඥාවකින් යුක්තව, "අපගේ සැලැස්ම පිලි නොගත්තේ, අපගේ සමහර හවුල්කරුවන් මිලිටරි බලය යොදාගැනීම පිලිබඳව කිසිදු සඳහනක් කිරීමට විරුද්ධ වීම නිසා පමනක් නොවේ.”

පියාසර තහනම් කලාපයක් ඇටවීම පිලිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය සලකා බැලිය යුතු යයි ඉල්ලීමක් පවා ප‍්‍රකාශයට ඇතුලත් නොවීම පෙන්නුම් කරන්නේ, ජර්මනියේ පාර්ශවයෙන් ප‍්‍රන්ස-බි‍්‍රතාන්‍ය යෝජනාව කෙරෙහි පලවන විවෘත සතුරු කමත්, මිලිටරි පියවරකට සක‍්‍රීයව නිෂේධ බලය යොදා නොගත්ත ද මොස්කෝව පෙන්නුම් කල නොඑකඟතාවයත් බොහෝ කොටම වොෂින්ටනයේ නිහඬතාවයත් ය. ජර්මන් විදේශ ඇමති ගයිඩෝ වෙස්ටර්වේල් "මිලිටරි මැදිහත්වීම විසඳුම නොවේ. අපගේ දෘෂ්ටි ආස්ථානයට අනුව එය ඉතා දුෂ්කර හා භයානක ය.” යනුවෙන් රැස්වීමෙන් පසුව ප‍්‍රකාශ කලේ ය. "උතුරු අප‍්‍රිකාව තුල කිසිදු යුද්ධයකට පැටලීමට” ජර්මනියට අවශ්‍ය නොවන්නේය යන ඔහු කලින් කර තිබූ ප‍්‍රකාශය ඔහු යලි පුනරුච්ඡාරනය කලේ ය.

යුරෝපීය බලවතුන් අතර කර්කෂ ගැටුම් පිලිබඳව පෙර සතියේ ලිබියාව මුල්කරගෙන පැවති යුරෝපීය සංගමයේ සමුලුව වාර්තා කල ඩර් ස්පීගල් ඔන්ලයින් මාධ්‍ය ජාලය විසින් ඇඟවුම් කර තිබුනි.

නැගෙනහිර බෙන්ගාසි නගරයේ පිහිටුවා තිබෙන විපාර්ශවයේ ලිබියානු ජාතික අන්තර්වාර කවුන්සිලය එරට නීත්‍යානුකූල ආන්ඩුව ලෙස පිලිගත යුතුය යන ප‍්‍රන්ස ජනාධිපති සාකෝසිගේ ඒක පාර්ශවික තීරනය පිලිබඳව ජර්මනිය "කෝපයට පත්වූ” බව එය පෙන්වා දී තිබුනි.

බ‍්‍රසීලයෙහි යුරෝපීය සංඟම් සමුලුවේ දී කථා කරමින් ජර්මන් චාන්සලර් ඇන්ජිලා මර්කෙල් ප‍්‍රන්ස කි‍්‍රයාව පතුරු ගැසුවා ය. "අන්තර්වාර කවුන්සිලිය අපට පිලිගත නොහැක.” ඇය රැස්ව සිටි යුරෝපීය රාජ්‍ය නායකයින් හමුවේ කියා සිටියා ය. "හිටපු අධිකරන ඇමති මෙම රැලේ ම සාමාජිකයෙකි. බලන්න, බල්ගේරියානු හෙදියන් පිලිබඳ සිද්ධියේ දී ඔහු ක‍්‍රියාකල ආකාරය” එච්අයිවී වයිරසය ලිබියානු ලමයින්ට හිතාමතාම ආසාධනය කලේ ය යන බොරු චෝදනා මත පලස්තීන වෛද්‍යවරයෙක් හා බල්ගේරියානු හෙදියන් පස්දෙනෙකුට එරෙහිව නඩුවක් ගෙතීම පිලිබඳව සඳහන් කරමින් ඇය පැවසුවා ය.

ඇය යෝජිත පියාසර තහනම් කලාපය ද එලෙස ම ප‍්‍රතික්ෂේප කලා ය. "අප පියාසර තහනම් කලාපයක් අටවා එය ක‍්‍රියාත්මක නොවන්නේ නම් කරන්නේ කුමක් ද? එවිට අපි පාබල සේනාංක යවන්නෙමු ද? අපි තවදුරටත් මේ ගැන සිතාබැලිය යුත්තෙමු. අපි වෙනත් තැනක මැදිහත් නොවෙද්දී ලිබියාව තුලට මැදිහත්විය යුත්තේ මක් නිසා ද?” ඇය විමසුවා ය.

සාකෝසි මිලිටරි මෙහෙයුමක් වෙනුවෙන් හඬ නගන්නේ, මහජන නැඟිටීම්වල ප‍්‍රතිපලයක් වශයෙන් ප‍්‍රන්සයේ සමීප මිතුරෙකු හා ගනුදෙනු කාරයෙකු වූ ටියුනීසියාවේ සීන් එල් අබිඩීන් බෙන් අලි පෙරලා දැමීමත්, නැඟිටීම් කලාපය පුරා පැතිර යාමත් හේතුකොට ගෙන ප‍්‍රන්ස පාලක පන්තිය තුල මුල් බැස තිබෙන අප‍්‍රිකාව තුල "එහි සම්ප‍්‍රදායික නායකත්වයේ භූමිකාව අහිමිවිය හැකිය” යන උත්සුකය නිසා බව යුරෝපීය නායකයෝ වටහාගෙන සිටි බව ඩර් ස්පීගල් ලිපියෙන් කියා සිටියි.

"මෑතක් වනතෙක් ම ප‍්‍රන්සය හා ජර්මනිය, සිය වගකීමේ වෙන් වෙන් කලාප සතුව සිටියේ ය. පැරිසිය මධ්‍යධරනී කලාපය පිලිබඳව වග කිවූ අතර බර්ලිනය නැගෙනහිර යුරෝපය දෙසට වැඩිපුර නැඹුරු විය. එහෙත් අභ්‍යන්තර සාකච්ඡාවල දී වෙස්ටර්වේල් දැනටමත් කියා ඇත්තේ, තවදුරටත් තත්වය එය නොවන බවයි. දැන් බර්ලිනයට ද මධ්‍යධරනී කලාපයේ වැඩි තැනක් අවශ්‍යව තිබීම ප‍්‍රන්සයන්ගේ දැඩි නොසතුටට හේතුවක් වී තිබේ.” ලිපිය එසේ පවසයි.

ඇගේ පාර්ශවයෙන් රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ජී-8 රැස්වීමෙන් පසුව ප‍්‍රකාශයක් කලේ නැත. ඇය සඳුදා රාත‍්‍රියේ පැරිසියේ සුඛෝපභෝගී හෝටලයක් තුල ජාතික අන්තර්වාර කවුන්සිලයේ නියෝජිතයෙකු වූ මොහමඩ් ජිබ්රිල් සමඟ විනාඩි 45ක සාකච්ඡාවක් පවත්වා තිබුනි. වාර්තා වූ පරිදි ජිබ්රිල්, ගඩාෆි තන්ත‍්‍රය පෙරලා දැමීම සඳහා එක්සත් ජනපදයේ මිලිටරි ආධාර ඉල්ලා සිටියේ ය. එක්සත් ජනපදයේ ආර්ථික හා දේශපාලන ආධාර ලබාදීමේ හැකියාව ඉස්මතු කරමින් ක්ලින්ටන් ඊට ප‍්‍රතිචාර දැක්වූ බව වාර්තා විය.

පසුගිය සතියේ දී සාකෝසි ද එම විපාර්ශවයේ නියෝජිතයා හමුවූ අතර, ඔහු සමඟ මාධ්‍ය හමුවේ ද පෙනී සිටියේ ය. මේ අනුව ක්ලින්ටන්ගේ හමුව පැවැත්වුනේ හොර රහසේ ය. සිදුවීම අවසන්වන තෙක් එය පැවැත්වෙන ස්ථානය හා සහභාගී වන අයගේ අනන්‍යතාව රහසක්ව තබා ගැනුනි. එසේ ම ඇය ජිබ්රිල් සමඟ ප‍්‍රසිද්ධියේ පෙනී නොසිටි අතර ඔවුන් අතර සිදු වූ සාකච්ඡාවට අන්තර්ගත වූ දේ පිලිබඳව ප‍්‍රකාශයක් කලේ ද නැත.

වොෂින්ටනයේ ආකල්පය බොහෝ දුරට ම හැඩ ගැස්වූයේ, ගඩාෆි තන්ත‍්‍රයේ හිටපු නිලධාරීන් හා රට හැරගිය අය විසින් ආධිපත්‍ය දරන ලිබියානු විපාර්ශවයට තන්ත‍්‍රය පෙරලා දැමීමට හැකිවේ ද යන දෙගිඩියාව හා සාර්ථක කැරැල්ලක් මඟින් ඇමරිකානු අධිරාජ්‍යවාදය හා කලාපය තුල ඇමරිකානු තෙල් සංගතයන් සඳහා වඩාත් යෝග්‍ය වාතාවරනයක් ඇතිකරන්නේ ද යන්න පිලිබඳ සැක සාංකා වලිනි. වොෂින්ටන් සංස්ථාපිතය තුල ක්ලින්ටන් හා අනෙකුත් අය, කැරැල්ලෙන් රැඩිකල් ඉස්ලාම්වාදීන් වාසි අත් කර ගැනීමේ හැකියාව පිලිබඳව කනස්සල්ල පලකොට තිබේ. ඒ අතර එක්සත් ජනපද ජාතික රහස් තොරතුරු අංශයේ අධ්‍යක්ෂ ජේම්ස් ක්ලැපර් පසුගිය සතියේ සෙනේට් හමුදා කටයුතු පිලිබඳ කමිටුවට පැවසුවේ, තමාගේ අදහසට අනුව ගඩාෆි "තන්ත‍්‍රය පෙරලා නොදැමෙනු” ඇති බවයි.

පසුගිය සතිය පුරා ගඩාෆිට පක්ෂපාතී හමුදා එල්ල කල ප‍්‍රති ප‍්‍රහාර අඛන්ඩව පෙරට ගෙන ගොස් තිබේ. 15 දා බෙන්ගාසි නගරයට බටහිරින් පිහිටි අවසන් ප‍්‍රධාන ජනාවාසය වූ මූලෝපායිකව වැදගත් අඩාබියා නගරයේ පාලනය කරලිකරුවන් අතින් ගිලිහුනි. නගරය වැදගත් මහාමාර්ග මංසන්ධියකි. බෙංගාසි නගරය වෙත වැටී තිබෙන වෙරලබඩ මාර්ගය මෙන්ම ඊජිප්තු දේශසීමාව මත වැටී ඇති ටොබ්රුක් වෙත කාන්තාරය හරහා දිවෙන මාර්ගයේ පාලනය ද එය සතුව තිබුනි. එහි වැටීම මඟින් කැරැල්ලේ අවසාන ප‍්‍රධාන මධ්‍යස්ථානය වන බෙන්ගාසි ඉක්මනින් ම වට ලනු ලැබීමේ තර්ජනය මතු කරයි.

වොෂින්ටනයේ ගනන් බැලීම් වලට අඩංගුවන තවත් අංශයක් වන්නේ, එක්සත් ජනපදයේ මූලික අරමුන වශයෙන් පවතින මැද පෙරදිග නැගිටීම් තලා දැමීමත්, ඒවා පර්ෂියානු ගල්ෆ්හි එක්සත් ජනපදයේ පිටුබලය ලබන ආඥාදායක එමීර් හා රාජාන්ඩු සිසාරා, සියල්ලටත් වඩා සවුදි අරාබිය කරා, පැතිරයාම වැලැක්වීමත් ය. ලිබියානු ජනතාවට එරෙහිව ගඩාෆි තන්ත‍්‍රය විසින් මුදා හැර ඇති ප‍්‍රචන්ඩත්වය වාචිකව හෙලාදකින වොෂින්ටන්හි කුහකත්වය, බහරේන්හි නිරායුධ විරෝධතා කරුවන්ට එරෙහිව ගෙනයන ප‍්‍රචන්ඩත්වයට එය දක්වන සහයෝගය තුලින් මනාව හෙලිදරව් කෙරෙයි.

ක්ලින්ටන් ජී-8 රැස්වීමෙන් පිටත්ව ගියේ ඊජිප්තුවේ හා ටියුනීසියාවේ දූත මෙහෙවරකට ය. 15 දා කයිරෝව බලා ගමන් ගත් ඇය, පසුගිය මාසයේ බලයෙන් පහකල කලාපය තුල වොෂින්ටනයේ දිගු කාලීන මිතුරා වූ ආඥාදායක හොස්නි මුබාරක් ගෙන් පසුව එක්සත් ජනපදයේ අවශ්‍යතාවන් නඟා සිටුවීමට අදාලව ඊජිප්තුවේ සිවිල් නිලධාරීන් මෙන්ම මිලිටරි නායකත්වය ද සමඟ රැස්වීම් මාලාවක් පවත්වනු ඇත.

ඊජිප්තුව හා ටියුනීසියාව කරා වූ ඇයගේ සැලසුම්ගත සංචාරයන් නිවේදනය කරමින් පසුගිය සතියේ වොෂින්ටනයේ දී ක්ලින්ටන් එක්සත් ජනපද ව්‍යවස්ථා සම්පාදකයින් අමතා කියා සිටියේ "ඊජිප්තුව හා ටියුනීසියාව සම්පාදනය කර ඇත්තේ අප දැකීමට කැමැතිවන ආකාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ ආදර්ශයන් ය. ඒ තත්වය සුරක්ෂිත කර ගැනීමේ ඉමහත් වගකීමක් අපට ඇත. බලය අල්ලා ගැනීමට හෝ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී න්‍යායපත‍්‍රයක් ක‍්‍රියාත්මක කිරීම සඳහා ප‍්‍රචන්ඩත්වය හෝ සට කපටකම් යොදාගන්නා දෘෂ්ටිවාදීන් ” පිලිබඳව ඇය අනතුරු ඇඟවීමක් ද කලාය.

වොෂින්ටනයට අවශ්‍යව ඇත්තේ, කලාපය තුල එක්සත් ජනපදයේ හා ඊස්රායලයේ අවශ්‍යතා දිගටම ආරක්ෂා කරන, එක්සත් ජනපදයේ මුල්බැසගත් අන්තර්ජාතික බැංකු හා සංගතයන්ගේ ලාභ පිපාසාව වෙනුවෙන් තම ආර්ථිකයන් යටත් කරන හා සමාජ විප්ලවයේ කුමන හෝ තර්ජනයක් ක‍්‍රමානුකූලව මඩින පාලන තන්ත‍්‍රයන් ය.

මුබාරක් බලයෙන් තල්ලු කල ජනවාරි 25දා විප්ලවයේ මහජන පෙලපාලි වලට සහභාගී වූ තරුන කන්ඩායම් හයකින් සමන්විත තරුන හවුල, ක්ලින්ටන් හමුවීම ප‍්‍රතික්ෂේප කර ඇති අතර ඊජිප්තුවට ඇගේ පැමිනීම සාදරයෙන් පිලි නොගැනෙන බව කියා ඇත.

නිවේදනයක් මඟින් එම හවුල, "එක්සත් ජනපද පාලනාධිකාරය ඊජිප්තු විප්ලවය සැහැල්ලුවෙන් සලකමින් ඊජිප්තුවේ ලේ ගලා යද්දී පැරනි තන්ත‍්‍රයට සහාය දුන්නේය” යි චෝදනා නැඟීය. දශක ගනනාවක් තිස්සේ මුබාරක්ගේ ආඥාදායකත්වයට එය දුන් සහයෝගය වෙනුවෙන් වොෂින්ටනය නිල වශයෙන් සමාව ගතයුතු බව එය කියා සිටියි. එහි තවදුරටත් මෙසේ සඳහන් විය. "ඊජිප්තු ජනතාව සිය භූමියේ හා ඉරනමේ හිමිකරුවන් වන අතර ඔවුන් පිලිගන්නවා ඇත්තේ ඊජිප්තු හා ඇමරිකානු ජනතාව අතර සමාන සම්බන්ධතා හා මිත‍්‍රත්වය පමනි.”