විස්කොන්සින් අරගලය සන්ධිස්ථානයක

Wisconsin struggle at the crossroads

8 March 2011

රජයේ සේවකයන්ගේ ජීවන මට්ටම්වලට හා වැඩපොල අයිතීන්ට එරෙහි විස්කොන්සින් ආන්ඩුකාර ස්කොට් වෝකර්ගේ ප‍්‍රහාරවලට ද අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා කප්පාදු කිරීමේ ඔහුගේ සැලසුම්වලට ද එරෙහි අරගලය සන්ධිස්ථානයක් කරා ලඟා වී ඇත. කප්පාදුවලට එරෙහිව සටන් කිරීමට කම්කරුවන්ට පවතින අධිෂ්ඨානය දැඩි වන විට, ප‍්‍රාන්තයේ ඩිමොක‍්‍රැටික්වරු රිපබ්ලිකන් ආන්ඩුකාර වරයාගේ ඉල්ලීම්වලට යටත් වීමේ විධික‍්‍රමයක් සොයමින් සිටිති.

"ඩිමොක‍්‍රැටිකයෝ සමිති ගැටුම අවසන් කිරීමට යයි” යන මැයෙන් සඳුදා පල වූ ලිපියක් තුල වෝල් ස්ටී‍්‍රට් ජර්නල් වාර්තා කලේ, "තමන් ඉක්මනින්ම පිටුවාහලේ සිට ආපසු පැමිනීමට සැලසුම් කරන බව” විස්කොන්සින් ප‍්‍රාන්තයෙන් පලා ගොස් සිටින ඩිමොක‍්‍රැටික් ප‍්‍රාන්ත සෙනෙට් සභිකයන් ඉරිදා පැවසූ බවයි. පුවත්පතට අනුව, ප‍්‍රාන්ත සෙනෙට් සභාවේ සුලුතර නායක මාක් මිලර් සහ ඔහුගේ සෙසු ඩිමොක‍්‍රැටික් සගයන් "රාජ්‍ය අංශයේ සමිතිවල සාමුහික-කේවල් කිරීමේ අයිතියට යෝජිත සීමාවන් ද ඇතුලු වන ආන්ඩුකාර වෝකර්ගේ අයවැය පිලිසකර පනත පිලිබඳ පූර්න සෙනෙට් ඡන්ද විමසීමකට ඉඩදීමට ඉටා ගෙන” ඇත.

"කේවල් කිරීමේ අයිතීන් මත පැනවෙන සීමාවන් අරබයා වෝකර් මහතා සමග ඡන්දදායකයන් අසතුටින් සිටින බව පෙන්වන මෑත මත විමසුම්, ආන්ඩුකාරවරයාටත් රිපබ්ලිකන්වරුන්ටත් ව්‍යසනකාරී වී ඇති අතර ම වෝකර් මහතා අඟහරුවාදා යෝජනා කල වඩා පුලුල් වසර දෙකක අයවැය පනතක වෙනස්කම් සිදු කිරීමේ ඩිමොක‍්‍රැටික්වරුන්ගේ උත්සාහයට වඩා වැඩි තල්ලුවක් ද සපයන” බව මිලර් සිතන්නේ යයි ලිපිය තව දුරටත් කියා සිටී.

සඳුදා නිකුත් කෙරුනු වෝකර් වෙත යොමු කල ලිපියක මිලර් මෙසේ ලිවීය: "අපගේ මතභේද සහ අප සිදු කර ඇති දැඩි විවාද තිබිය දී ම, ඩිමොක‍්‍රැටික් පාක්ෂික ප‍්‍රාන්ත සෙනෙට් සභිකයන් සාධාරන සම්මුතියක් ඇති කර ගැනීමට සූදානම්ව හා කැමැත්තෙන් සිටින බව මම ඔබට සහතික වෙමි.”

වෝකර්ට යටත් වීම මගින් රිපබ්ලිකන් ආන්ඩුකාරවරයාගේ සම්මුතියට ඇති කැමැත්ත වැඩි කරනු ඇතැයි කියාපෑම කම්කරුවන්ගේ බුද්ධියට කරන නිග‍්‍රහයකි. පනත සම්මත වීම සහ මොනයම් හෝ සාමුහික ප‍්‍රතිරෝධයක් තථ්‍යසම ලෙස නීතිවිරෝධී කිරීම, සිය පන්ති-යුද න්‍යාය පත‍්‍රය තීව‍්‍ර කරනු පිනිස වෝකර්ගේ හා ඔහුගේ ආධාරකරුවන්ගේ ධෛර්යය තව දුරටත් ඉහල දමනු ඇත.

වෝකර් හා ඩිමොක‍්‍රැටික්වරු විසින් ඇති කර ගනු ලබන මොන යම් හෝ "සාධාරන සම්මුතියක්” කම්කරු පන්තියට ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක ගෙන එනු ඇත. ආන්ඩුකාරවරයා පැහැදිලි කර ඇති පරිදි, අයවැය පිලිසකර පනත සම්මත වීම සහ සාමුහික කේවල් කිරීමේ අයිතිය අහෝසි කිරීම වනාහි දස දහස් ගනනින් රැකියා විනාශ කිරීම, වඩා ගැඹුරු ලෙස වැටුප් හා ප‍්‍රතිලාභ කපා දැමීම සහ ප‍්‍රාන්තයේ මිලියන 5.6ක් වන වැසියන් පාදක වන මූලික සේවාවන් ක‍්‍රමානුකූලව විනාශ කිරීම සඳහා පූර්විකාවක් පමනි.

අයවැය කප්පාදුවලට එරෙහි අරගලය ගැඹුරු හා පුලුල් කල යුතු ය. ඩිමොක‍්‍රැටික් පක්ෂයෙන් හා වෘත්තීය සමිති යාන්ත‍්‍රනයෙන් ස්වාධීන, නව අරගල මාවතක් සොයා ගත යුතු ය.

ආරම්භයේ පටන් ම, ඩිමොක‍්‍රැටික්වරු අවධාරනය කර ඇත්තේ, කම්කරු පන්තිය ප‍්‍රාන්තයේ අයවැය හිඟයට කරගැසිය යුතු බවයි. වෝකර්ගේ ඩිමොක‍්‍රැටික් පූර්වගාමියා වූ ජිම් ඩොයිල් ආන්ඩුකාරවරයා යටතේ ප‍්‍රාන්ත ඉතිහාසයේ පැවති ගැඹුරුතම කප්පාදු තමන් කි‍්‍රයාවට දමා ඇති බවට ඔවුන් පුරසාරම් දොඩා ඇත. ජාතිකව ගත් කල, කැලිෆෝනියාවේ, නිව් යෝර්ක්හි, ඉලිනොයිස්හි හා තවත් ප‍්‍රාන්තවල ඩිමොක‍්‍රැටික් ආන්ඩුකාරවරු - ෆෙඩරල් මට්ටමේ ජනාධිපති ඔබාමා සමග එක පෙලට - වෝකර්ගේ පිලිවෙත්වලට වඩා නොඅඩු මෘග භාවයකින් යුක්ත කප්පාදු පිලිවෙත් සහ රජයේ සේවකයන්ට එරෙහි ප‍්‍රහාර කි‍්‍රයාවට දමමින් සිටිති.

විස්කොන්සින් තුල සහ රට පුරා වෘත්තීය සමිති, කප්පාදු බලාත්මක කිරීමෙහි ලා ඩිමොක‍්‍රැටික්වරු සමග සහයෝගීව වැඩ කරති. කම්කරු පන්තියේ සංවිධිත ප‍්‍රතිරෝධය සඳහා පවත්නා මොන යම් හෝ නෛතික පදනමක් ද සහිතව වෘත්තීය සමිති විනාශ කර දැමීමට රිපබ්ලිකන්වරුන්ට අවශ්‍ය අතර ඩිමොක‍්‍රැටිකයන් දකින්නේ සමිති රජයේ සේවකයන්ට ද ඔවුන් සපයන සේවාවන්ට ද එරෙහි ව්‍යසනකාරී ප‍්‍රහාර ඉදිරියට තල්ලු කිරීමෙහි ලා වටිනා උපකරනයක් ලෙස ය.

විස්කොන්සින්හි අරගලය පැන නැංගේ වෘත්තීය සමිතිවල පාලනයට පිටතිනි. සමිති වෝකර්ගේ පනතට දැක්වූ ප‍්‍රතිචාරය, ලොබි කිරීමේ ව්‍යාපාරයකට සහ සාමාන්‍ය විරෝධතාවකට එහා නොගියේ ය. කෙසේවෙතත්, ඔවුන් මවිතයට පත් කරමින්, පෙබරවාරි 15 දා ප‍්‍රාන්ත අගනුවර වන මැඩිසන්හි 20,000ක් කම්කරුවන් පෙලපාලි දැක්වූ අතර ඉන් පසුව උසස් විද්‍යාලවල වර්ජන රැල්ලක් ද ගුරුවරුන්ගේ කාර්මික කි‍්‍රයාවන් ද රිපබ්ලිකන්වරුන්ගේ පාලනය පවතින ප‍්‍රාන්ත මන්ත‍්‍රන සභාවේ ඡන්ද විමසීම අබිමුව දී ප‍්‍රාන්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වාඩිලාගැනීම ද සිදු විය. පනත සම්මත වුව හොත් පිපිරීමක් ඇති වෙතැයි බියෙන් ඩිමොක‍්‍රැටික් ප‍්‍රාන්ත සෙනෙට් සභිකයෝ ඡන්ද විමසීම කල් දමනු පිනිස ප‍්‍රාන්තය හැර ගියහ.

වෘත්තීය හා තාක්ෂනික ඉංජිනේරුවන්ගේ ජාත්‍යන්තර සම්මේලයේ සභාපති සහ ඒඑෆ්එල්-සීඅයි ඕ විධායක මන්ඩලයේ සාමාජික ග්‍රෙග් ජුනෙමාන් පසුගිය සතියේ දී පැවසූ පරිදි, "මේ දේ පැන නැංගේ විස්කොන්සින්හි වීදිවලිනි. නායකයකු ලෙස ඔබට යම් මොලයක් තිබේ නම්, ඔබ දකින්නේ පෙරෙට්ටුවකි. ඔබ එහි පෙරමුනේ සිටී.” සමිති යන්ත‍්‍රයට නම්, ව්‍යාපාරයේ පෙරමුනේ සිටීමේ අරමුන එය පාලනය කොට අවසානයේ එහි ගෙල හිර කර දැමීමයි.

තමන්ගේ නෛතික තත්වයට ද සාමාජික මුදල් එකතු කර ගැනීමේ හැකියාවට ද ඔහු අත තබන්නේ නැති නම්, වෝකර්ගේ ආර්ථික ඉල්ලීම් සියල්ල පිලිගැනීමට තමන් සූදානම් බවට විස්කොන්සින් ගුරුවරුන්ගේ හා රජයේ සේවකයන්ගේ සමිතිවල නායකයන් කර ඇති ප‍්‍රකාශය, අරගලයක් ගෙන යන බවට ඔවුන් කරන මවාපෑම් විහිලුවක් බවට පත් කර තිබේ.

ඩිමොක‍්‍රැටික්වරු ආපසු පැමිනි වහාම, ජනතාව වීදිවලින් ඉවත් කිරීමටත් රිපබ්ලිකන් ප‍්‍රාන්ත සෙනෙට් සභිකයන් ඉවත් කොට ඒ වෙනුවට ඩිමොක‍්‍රැටික්වරු තෝරාගැනීම සඳහා උද්ඝෝෂනය කිරීමේ ව්‍යාපාරයක් තුලට මහජන විරුද්ධත්වය අපසරනය කිරීමටත් වෘත්තීය සමිති තමන්ට හැකි සෑම දෙයක්ම කරනු ඇත.

තමන් මුහුන දී සිටින්නේ සංගත ප‍්‍රභූව ද එහි දේශපාලන නියෝජිතයන් ද සිය මුලූ වැර යොදා ගෙන යන පූර්න පරිමාන යුද්ධයකට බව විස්කොන්සින්හි ද රට පුරා ද කම්කරුවෝ වඩ වඩා අවබෝධ කර ගනිමින් සිටිති. කම්කරු පන්තිය දරිද්‍රතාවට ඇද දැමීමටත් තමන්ව ආරක්ෂා කරගැනීමට ඔවුන්ට පවතින සියලු විධික‍්‍රම ඔවුන්ට අහිමි කිරීමටත් සතුරා අධිෂ්ඨානවත්ව සිටී.

පාලක ප‍්‍රභූව පැත්තෙන් ගෙන යන මෙම පන්ති යුද්ධයට කම්කරු පන්තිය වෙතින් ඊට සමාන අධිෂ්ඨානයකින් ප‍්‍රතිචාර දැක්විය යුතුය. මේ සඳහා කම්කරුවන්ට තමන්ගේ ම නව සංවිධාන හා නව නායකත්වයක් අවශ්‍යය.

වෝකර් පාලනාධිකාරය පෙරලා දැමීම සිය අරමුන කරගන්නා මහා වැඩ වර්ජනයක් දියත් කිරීම සූදානම් කරනු පිනිස සියලු වැඩපොලවල ගුරුවරුන්ගේ, හෙදහෙදියන්ගේ හා සෙසු කම්කරුවන්ගේ කි‍්‍රයාකාරී කමිටු තෝරාපත් කර ගත යුතුය. මෙම අරගලය සියලු කප්පාදුවලට විරුද්ධ විය යුතු අතර නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය සහ සෙසු සමාජ අවශ්‍යතා සඳහා වියදම් ඉහල දමන ලෙස ඉල්ලා සිටිය යුතුය.

මෙම සේවාවන් සඳහා මුදල් නැති බවට කරන කියාපෑම පිලිකුලෙන් යුක්තව ප‍්‍රතික්ෂේප කල යුතුය. මෙම පචයට පිටුපසින් ඇත්තේ, සමාජය මුදුනත තුනී ප‍්‍රභූ තට්ටුවක් මත අසීමිත ධනයක් ද වැඩ කරන ජනතාව සඳහා වැඩෙන දරිද්‍රතාව හා දුක් වේදනාවන් ද ගොඩගසමින්, ඇමරිකානු සමාජය මත ආධිපත්‍යය දරන දැවැන්ත සමාජ අසමානතාව අවිවේචනාත්මකව පිලිගැනීමයි. සියලු ප‍්‍රාන්ත රාජ්‍ය 50හි ඒකාබද්ධ අයවැය හිඟය එක්සත් ජනපදයේ ධනවත්ම පුද්ගලයන් 400 දෙනාගේ ධනයෙන් දහයෙන් පංගුවකට වඩා අඩුය.

විස්කොන්සින්හි කම්කරුවන් කාර්මික කි‍්‍රයාවන්ට බලමුලු ගැන්වීම, රට පුරා හා ලොව වටා කම්කරුවන්ගේ ක්ෂනික සහයෝගය දිනා ගනු ඇති අතර රැකියා, ජීවන මට්ටම් හා මූලික සමාජ අයිතීන් රැකගනු පිනිස කම්කරු පන්තියේ ප‍්‍රතිප‍්‍රහාරයක් දිරිගන්වනු ද ඇත.

මෙය වනාහි හුදෙක් එක රිපබ්ලිකන් ආන්ඩුකාරවරයකුට එරෙහිව පමනක් නොව, වැඩ කරන ජනතාවගේ මූලික උවමනාවන්ට හා අවශ්‍යතාවන්ට සතුරු සමස්ත ධනපති ක‍්‍රමයට ම එරෙහි අරගලයකි.

එය වනාහි කම්කරු ආන්ඩුවක් ගොඩනැගීම සිය ඉලක්කය කරගත යුතු දේශපාලන අරගලයකි. කම්කරු පන්තිය ඩිමොක‍්‍රැටික්වරුන්ගෙන් හා ද්වි-පක්ෂ ක‍්‍රමයෙන් බිඳී මහජන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුය.

කම්කරු පන්තියට එරෙහි ප‍්‍රහාරයන් අවසන් කල හැකි වනුයේ, ධනය රැඩිකල් ලෙස යලි බෙදාදීම ද පුද්ගලික ලාභය මත නොව මානව අවශ්‍යතා මත පදනම්ව ආර්ථික ජීවිතය ප‍්‍රතිසංවිධානය කිරීම ද ඇතුලුව, ඇමරිකානු හා ලෝක ආර්ථිකය විප්ලවවාදී ලෙස පරිවර්තනය කිරීම හරහා ම පමනි.

සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තියේ මහජන සමාජවාදී ව්‍යාපාරයක් සඳහා සටනට නායකත්වය දෙයි. විස්කොන්සින්හි සියලු කම්කරුවන්ගෙන් හා තරුන ජනයාගෙන් අප ඉල්ලා සිටින්නේ අපගේ පක්ෂයට බැඳීමේ තීන්දුව ගන්නා ලෙසයි.

ජෙරී වයිට්