ජපාන ව්‍යසනයේ ඇඟවුම්

The implications of the Japanese catastrophe

14 March 2011

පන බේරාගත්තවුන් තම ජීවිතවල සුන්බුන් අතරින් අප‍්‍රානික ලෙස නැඟී සිට සිය නෑදෑයින් සෙවීමේ යෙදී සිටිය දී, ජපානයට කඩාපාත් වූ ව්‍යසනයේ සමස්ත පරිමානය ක‍්‍රමයෙන් එලිමහනට පැමිනෙමින් තිබේ. ලෝක සමාජවාදී වෙබ් අඩවිය මියගිය අයගේ පවුල් හා තුවාල ලැබූවන් වෙත ද මෙම දෙදරීම තුල සිය ජීවනෝපායන් සෝදාපාලු වූ හා තම නිවාස අහිමි වූ අය වෙත ද සිය සාතිශය සංවේගය පලකර සිටියි.

අවම වශයෙන් පුද්ගලයින් 10,000කගේ ජීවිත අහිමි විය. ජපානයේ ඊසාන දිග වෙරල ගිලගත් අඩි 30ක් උසට නැගුනු සුනාමි රල මගින් විනාශ කරන ලද නගර, ගලවා ගැනීමේ කන්ඩායම්වල පිරික්සුමට බඳුන්ව තිබිය දී, එලඹෙන දිනවල මෙම සංඛ්‍යා තවදුරටත් ඉහල යා හැකි ය. මෝටර් රථ, ට‍්‍රක් රථ, දුම්රිය මැදිරි, අත්තිවාරම් වලින් උගුල්ලා ගත් නිවාස සුන්බුන් ගොඩවල් තුලට ගසාගෙන යද්දී, රල පහරින් කන්ටේනර් නැව් හා බෝට්ටු ඒ දෙසට ඇදගෙන යන ආකාරය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප පෙන්වන ලදී. ගෑස් නල පලුදුවීමෙන් ගොඩනැගිලි ගිනිගත් අතර පිටාර ගලන ජලය මත තවමත් එම අග්නි ජාලා ඇවිලෙමින් තිබේ.

ගංඟා නිම්නයක ගැඹුරු අන්තයේ පිහිටි මිනමිසන්රිකු නමැති කුඩා වෙරලබඩ නගරයක මහල් හතරකින් යුත් ගොඩනැගිලි රල පහරින් පෙරලී ගියේ ය. නගරයේ විසූ 17,000ක් අතරින් 10,000ක් දෙනා දකින්නට නැත. ජල ප‍්‍රවාහය පැමිනෙන බව නිවැසියන්ට දැනගැනීමට ලැබුනේ විනාඩි 30කට පෙර ය. එහෙත් නගරයෙන් පිටතට දිවෙන එක් මාර්ගයක් ඉක්මනින් ම රථවාහන වලින් පිරීගිය බැවින් බොහෝ දෙනෙකුට පැන යාමට කාලයක් නොමැති විය. පන බේරාගත් අය උස් බිමක ඉතිරිව ඇති ගොඩනැගිලිවලින් එකක පිහිටි පාසැලක රඳවා සිටියි. රෝහල පවා වැනසී ගොසින් ය. තුවාල කරුවන් අසල පිහිටි නගර වෙත හෙලිකොප්ටර් මගින් ගෙන යමින් තිබේ.

දැඩි ලෙස ම හානියට පත් නගරවලින් එකක් වන සෙන්ඩායිහි මරන සංඛ්‍යාව පිලිබඳව නිවැරදි සංඛ්‍යා ලබාගත නොහැකි ය. ගලවා ගැනීමේ කන්ඩායම් තවමත් සුන්බුන් පීරමින් සිටිති. එහෙත් මල සිරුරු සිය ගනනක් දැනටමත් වෙරලට ගසාගෙනවිත් ඇත. දිවි ගලවාගත් අය ආහාර හා ජලය ලබාගැනීමට පෝලිම් ගැසී සිටිති. විදුලි බලය කපාහැර තිබෙන බැවින් ශීත සෘතුව අවසන් වී නැතත් උනුසුම් කිරීමේ පද්ධතිය ක‍්‍රියාත්මක නො වේ. රියදුරෝ සලාක කර ඇති ඉන්ධන ලබාගැනීමට නොසංසුන්ව සිටින අතර පසු කම්පන නිසා තවත් සුනාමියක් ඇතිවීමට පෙර ටැංකි පුරවා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙති.

භූ චලනය ද සුනාමිය ද නිසා චෙර්නොබිල් හෝ ඊටත් වඩා විශාල පරිමානයෙන් න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාකාරක උනුව දියවීයාමේ අන්තරාය මතු වී තිබේ. භූ චලනය නිමාවීමත් සමග ම මියාගි දිස්ත‍්‍රික්කයේ ෆුකුෂිමා ඩායිඉචි න්‍යෂ්ටික බලාගාරය අවට ප‍්‍රදේශයේ හදිසි නීතිය ප‍්‍රකාශ කලේ ය. අවට ප‍්‍රදේශවලින් 200,000ක් පමන දෙනා ඉවත්කර තිබේ.

සෙනසුරාදා සවස් යාමයේ ඇති වූ දැවැන්ත පිපිරුමෙන් අංක එක අංශයේ ප‍්‍රතික‍්‍රියාකාරකය වටා පිහිටි කොන්ක‍්‍රීට් ගොඩනැඟිල්ල විනාශ වී ඇති බව පෙනෙන්නට තිබේ. ප‍්‍රතික‍්‍රියාකාරකය ආවරනය කර තිබෙන වානේ කුටිය හොඳ තත්වයෙන් ඇති බව පවසා තිබුන ද බලාගාරයේ ඇති ප‍්‍රතික‍්‍රියාකාරක තුනම කොටස් වශයෙන් උනුවෙමින් තිබේ. ජපානයේ න්‍යෂ්ඨික හා කාර්මික ආරක්ෂිත ඒජන්සිය (එන්අයිඑස්ඒ), උනුවීමේ අතුරු පලයක් වන සීසියම්-137 හා අයඩින්-131 යන විකිරනශීලී මූලද්‍රව්‍ය අංක 1 ප‍්‍රතික‍්‍රියාකාරකය අවට ක‍්‍රියාශීලීව ඇති බව සනාථ කලේ ය.

ෆුකුෂීමා ප‍්‍රතික‍්‍රියාකාරක තුන තවදුරටත් රත්වීම වැලැක්වීම සඳහා බලධාරීන්, ඒවාට මුහුදු ජලය පොම්ප කිරීමේ හදිසි පියවර ගනිමින් සිටින අතර තවත් පිපිරීම් සිදුවිය හැකි බවට අනතුරු අඟවයි.

ප‍්‍රතික‍්‍රියාකාරක වානිජ්‍ය කටයුතු සඳහා තවදුරටත් යොදා ගැනීම වැලකී ඇති තත්වය තුල මුහුදු ජලය යොදාගැනීමෙන් පෙන්වන්නේ තත්වය කෙතරම් බරපතල ද යන්නයි. මීටත් වඩා විශාල ව්‍යසනයන් වැලැක්වීමේ අවසාන උත්සාහය මේ මඟින් අවලංඟු වී යයි.

ජපානයේ වේලාවෙන් සඳුදා උදෑසන වන විට එරට ඊසාන දිග පැසිෆික් වෙරල දිගේ ස්ථානගතකර ඇති ප‍්‍රතික‍්‍රියාකාරක හයේ ම සිසිල් කරන පද්ධතීන් බිඳ වැටීමට මුහුන පා ඇති බව වාර්තා විය. හදිසි තත්වයක් හෝ හදිසි ආධාරක භාවිතා කරන බව ප‍්‍රකාශ කිරීමට කාර්මික ශිල්පීන්ට සිදුවිය. පෙර සූදානමක් ලෙස, භූ චලනයෙන් සිදුව ඇති හානි පිලිබඳව පරීක්ෂා කරන තෙක් තවත් ප‍්‍රතික‍්‍රියාකාරක හයක් වසාදමා ඇත.

රුසියානු කර්ස්ක් න්‍යෂ්ටික සබ්මැරිනය ගොඩගැනීමේ අන්තරායන් තක්සේරු කල කන්ඩායමේ ප‍්‍රධානියා වූ ඉංජිනේරු ජෝන් ලාර්ජ් බි‍්‍රතාන්‍ය චැනල් 4 ප‍්‍රවෘත්ති සේවයට පැවසුවේ, අනතුරේ සම්පූර්න තත්වය දැනගැනීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි. ප‍්‍රතික‍්‍රියාකාරකය, ඉන්ධන සඳහා ප්ලූටෝනියම් අඩංඟු "සම්මිශ‍්‍රිත ඔක්සයිඩ්” (අම්ලකර අඩංඟු සංයෝගයක්) යොදාගන්නා "එම් ඕඑක්ස්” වර්ගයක් වන බැවින් ෆුකුෂීමා ප‍්‍රතික‍්‍රියාකාරකයේ දෙවන පිපිරුම විශාල අවදානමක් දරා සිටින බව ඔහු පැවසී ය. චර්නෝබිල් වර්ගයේ සිදුවීමකින් විකිරනශීලී නිකුතුවක් වර්ධනය වීමට දින ගනනාවක් ගතවන බවත්, ඒ වන විට සුලඟ දකුනු දිශාවට බරව තිබිය හැකි බවට හා විමෝචනය ගැබ් කරගත් කුමන හෝ වලාකුලක් මිලියන 20ක ජනගහනයෙන් යුත් ටෝකියෝ නගරය දෙසට පාවිය හැකි බවටත් ඔහු අනතුරු ඇඟවීය.

ඉන්දියානු සාගර සුනාමිය, කැට්රිනා සුලි කුනාටුව, නාර්ගිස් කුනාටුව, පකිස්තානු ගංවතුර, හයිටි, කාෂ්මීර හා චීනයේ වෙන්චුආන් භූමිකම්පා වැනි පසුගිය දශකයේ සිදු වූ අනෙකුත් ප‍්‍රධාන ස්වාභාවික විපත් මෙන්ම ජපාන ව්‍යසනය ද ලෝක සිද්ධියකි. එය, විනාශයට පත් හා දිවි ගලවාගත් අය වෙනුවෙන් ලෝකය පුරා උතුරා යන අනුකම්පාවක් හටගන්වා තිබේ. බිහිසුනු ස්වාභාවික නස්පැත්තියක ප‍්‍රිස්මය තුලින් ව්‍යසනය ජනිත කල ධනේශ්වර සමාජ පර්යායේ ප‍්‍රතිවිරෝධතාවන් ද එමඟින් එලිමහනට ගෙනැවිත් තිබේ.

විශේෂයෙන් ම ව්‍යසන තත්වයක දී කර්මාන්තය මූල්‍ය වගකීමෙන් නිදහස් කරන ආන්ඩුවේ විශේෂ බදු සහන සැලසීමේ තැන් පටන්, ලෝකය පුරාවට මෙන්ම ජපානයේ ද න්‍යෂ්ටික බලශක්ති කර්මාන්තය එහි ව්‍යාපාර අයිතිකරුවන්ට, සැපයුම් කරුවන්ට හා මෙහෙයුම්කරුවන්ට, තමන්ගේ යටිමඩි තරකරගැනීමට ආරක්ෂිත රැකවරන කපාහැරීම සඳහා දිගටම දිරිගැන්වීම් හිමිකර දුන් පුද්ගලික ලාභයේ පදනම මත පවත්වාගෙන යයි.

ෆුකුෂීමා ප‍්‍රතික‍්‍රියාකාරකය ගොඩනඟා ඇත්තේ දැනට ශිල්පීය වශයෙන් පහත් තත්වයක තිබෙන වසර 40ක් තරම් පැරනි ජෙනරල් ඉලෙක්ටි‍්‍රක් සමාගම විසින් නිර්මානය කල මෝස්තරයක් මත ය. මෙම යල්පැනගිය මෝස්තරය, ජපානයේ දුසිම් භාගයක් පමන වන තවත් න්‍යෂ්ටික බලාගාරයන්හි මෙන්ම ටොම්ස් රිවර් හා ෆිලඩෙල්ෆියාවට සැතපුම් 55ක් නැගෙනහිරෙන් හා මෑන්හැටන් වලට සැතපුම් 90ක් දකුනින් පිහිටි නිව් ජර්සි බලාගාර ප‍්‍රතික‍්‍රියාකාරකය ද ඇතුලු එක්සත් ජනපදය තුල අඩුම තරමින් තවත් බලාගාර 21ක ද අනුකරනය කර තිබේ.

ආරක්ෂක ක‍්‍රියාවලියට අනුකූලව කටයුතු කිරීම පිලිබඳව ෆුකුෂීමා සංකීර්නයේ මෙහෙයුම් කරු වන ටෙප්කෝ නමැති ටෝකියෝ ඉලෙක්ටි‍්‍රක් සමාගමට ඇත්තේ සැකකටයුතු වාර්තාවකි. 2003 වසරේ දී සාවද්‍යකරනය කල පරීක්ෂන වාර්තා මුල්කරගෙන පැන නැඟුනු සෝලියක් හේතුවෙන් එහි න්‍යෂ්ටික බලාගාර 17ම තාවකාලිකව වසා දැමුනි. 2006 වසරේ දී සාවද්‍යකරනය කල දත්ත මුල්කරගෙන තවත් සෝලියක් හටගත්තේ ය.

ලොස් ඇන්ජලීස් ටයිම්ස් වාර්තාවකට අනුව, "සමහරක් 1970 ගනන් හා 1980 ගනන් තරම් පැරනි ජපානයේ බොහෝ න්‍යෂ්ටික බලාගාරවල ආරක්ෂාව පිලිබඳව කාලයක් තිස්සේ ම විවේචකයින් බරපතල කනස්සල්ල පලකොට තිබුනි. ෆුකුෂීමා කාලයක් තිස්සේ ම විවේචකයින්ගේ මීටරයට වැටී තිබුනි. එසේ ම, ටෝකියෝවට සැතපුම් 100ක් තරම් නුදුරින් පිහිටි හමාඕකා බලාගාරය ද ක‍්‍රියාත්මකව වැරදි දිශාවක ස්ථානගතකර තිබීම මත අවධානයට ලක්ව තිබුනි.”

කොබේ විශ්ව විද්‍යාලයේ භූ චලන විද්‍යාඥ කට්සුහිකෝ ඉෂිබාෂි න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාකාරක සඳහා ආරක්ෂක මාර්ගොපදේශකත්ව සම්පාදන කමිටුවෙන් 2005 වසරේ දී ඉල්ලා අස්විය. මක්නිසා ද යත් භූ චලන ඇතිවියහැකි රේඛාව ඔස්සේ ප‍්‍රතික‍්‍රියාකාරක ගොඩනැඟීම පිලිබඳව ඔහු පලකල විරෝධතා සැලකිල්ලට නොගැනීම නිසා ය. ඔහු ටයිම්ස් වෙත මෙසේ පැවසීය. "ජපානය භූ චලන කරා නැඹුරුවක් දක්වන දූපත් පෙලකි. එහි සාගර මුහුනත දිගේ න්‍යෂ්ටික බලාගර 54කි. එය හරියට ම සියදිවි නසාගන්නා බෝම්බ කරුවෙක් ඔහුගේ බඳපටිය වටේ අත් බෝම්බ පැලඳ සිටිනවා වැනි ය.”

බලාගාර 54ක් ජපානයේ වත්මන් බලශක්ති අවශ්‍යතාවෙන් සියයට 30ක් සම්පාදනය කරන අතර, නව බලාගාර ඉදිකරන විට වසර 2030 දී එය සියයට 50ක් දක්වා වැඩිවනු ඇති බවට ගනන් බලා ඇත. ජපානය දැඩි ලෙස න්‍යෂ්ටික බලය මත රඳාපැවැත්ම වනාහි පසුගිය සිව් දශකය පුරා ජපාන පාලක පන්තිය ගෙන ඇති තීරනයන්ගේ අතුරු පලයකි. ලෝක ආර්ථිකය, විශේෂයෙන් ම ජපාන ආර්ථිකය කොරගසන තත්වයට පත්කරමින්, 1973 අරාබි ඊස්රායල් යුද්ධය ඔපෙක් රටවල තෙල් තහනමකට තුඩුදුන් අවස්ථාව වන විට ජපානයේ බලශක්ති සැපයුමෙන් න්‍යෂ්ටික බලය දැරුවේ කුඩා පංගුවකි.

ලෝක න්‍යෂ්ටික සන්ධානය සිය වෙබ් අඩවියේ පෙන්වා දී ඇති ආකාරයට "ජපානය පාෂානිභූත ඉන්ධන අපනයනය, විශේෂයෙන් ම මැද පෙරදිගින් කෙරෙන තෙල්, (1974 දී විදුලි බල නිෂ්පාදනයෙන් සියයට 66කට ම දායක වූයේ තෙල්ය.) මත පදනම් වෙයි. මෙම භූගෝල විද්‍යාත්මක හා වෙලඳභාන්ඩ වශයෙන් වූ රඳාපැවැත්ම 1973 තෙල් කම්පනය නිසා තීරනාත්මක විය. දේශීය බලශක්ති ප‍්‍රතිපත්තිය යලි අගැයීමේ ප‍්‍රතිපල වශයෙන් විවිධාංඟකරනය හා විශේෂයෙන් ම ප‍්‍රධාන න්‍යෂ්ටික සංවර්ධන ක‍්‍රියාමාර්ගයක ආරම්භය සිදු විය. ඉහල ම ප‍්‍රමුඛත්වය හිමිවූයේ තෙල් අපනයන මත එරටේ රඳාපැවැත්ම අවම කිරීමට යි.”

තර්කාන්විතව සැලසුම් කල ගෝලීය ආර්ථිකයක් තුල ග‍්‍රහලෝකයේ අතිශයින් ම ක‍්‍රියාශීලී භූ විද්‍යාත්මක විභේදන කලාපයක මෙන්ම දැඩි ජනගහන ඝනත්වයකින් යුක්ත කලාපයක න්‍යෂ්ටික බලාගාර දුසිම් ගනනක් ස්ථානගත කිරීම උන්මත්තක ක‍්‍රියාවක් නොවේ නම් අමු නොතැකීමක් ලෙස සැලකීමට සිදුවෙයි. එහෙත් ප‍්‍රතිවාදී ජාතික රාජ්‍යයන්ගෙන් සැදුම්ලත් ධනේශ්වර ආර්ථිකය තුල ජපාන ධනේශ්වරයට, තෙල්, ගෑස් හා ගල් අඟුරු දුලබ රට තුල ප‍්‍රමානවත් දේශීය බලශක්ති සැපයුමක් සහතික කිරීම මඟහැරිය නොහැකි විය.

තව ද ජපාන පාලක පන්තියට 1973ට බොහෝ කාලයකට පෙර සිට ම බලශක්ති අර්බුදයන් පිලිබඳ අත්දැකීම් පැවතුනි. දෙවන ලෝක සංග‍්‍රාමය තරම් දුර අතීතය සැලකිල්ලට ගන්නා කල, එක්සත් ජනපදයට එරෙහිව පූර්ව භංග යුද්ධයක් දියත් කිරීමට තීරනය කිරීම සඳහා ජපාන අධිරාජ්‍යවාදය පොලඹවනු ලැබූ ප‍්‍රධාන ගාමක බලය වූයේ චීනය තුලට ජපානයේ කඩාවැදීමට එරෙහිව එක්සත් ජනපදයෙන් එරටට ආනයනය කරන ඉන්ධන හා අබලි යකඩ මත රූස්වෙල්ට් පාලනාධිකාරය පැනවූ තහංචිය යි.

ජපානයේ ප‍්‍රකාශිත තාක්ෂනික බල පරාක‍්‍රමය තිබිය දී ද එහි ගොඩනැඟිලි සඳහා භූ චලන වලට ඔරොත්තු දෙන ඉදිකිරීමේ ක‍්‍රමවේදයන් අනුගමනය කල ලෝකයේ ප‍්‍රමුඛයාව සිටිය දී මෙන්ම ජනගහනයේ ඉහල ම සූදානම තිබිය දී ද මෙම ස්වාභාවික විපත නිරාවරනය කර ඇත්තේ භූ චලන විභේදන රේඛා පමනක් නොව සමාජ රේඛාවන් ද ය.

ලාභ පද්ධතිය මෙන්ම ධනේශ්වර ජාතික රාජ්‍ය ද ලෝක ජනගහනයේ ආරක්ෂාව, සෞඛ්‍ය හා මනා ජීවන ක‍්‍රමයක් සුරක්ෂිත කිරීමට, ජපානය මෙන් දියුනු රටක් පවා, අසමත්ව සිටියි. ලෝක පරිමානව ධනවාදය හා ජාතික රාජ්‍ය තුරන් කොට තර්කාන්විත සැලසුම් කරනය හා සමාජීය අයිතිය පිහිටුවීම මත පදනම් වූ, අව්‍යාජ විද්‍යාත්මක හා ගෝලීය ඉදිරිදර්ශනයකට පමනක් මානව වර්ගයාට ඉදිරි මාවතක් සලසා දිය හැකි ය.

ක‍්‍රිස් ටැල්බට් හා පැටි‍්‍රක් මාටින්