න්‍යෂ්ටික බල ශක්තිය, පුද්ගලික අයිතිය සහ ලාභ ගරන පද්ධතිය

Nuclear power, private ownership and the profit system

24 March 2011

දැවැන්ත භූමිකම්පාවකින් හා සුනාමියකින් ජපානයේ ඊසාන දිග වෙරල ප‍්‍රදේශය විනාශයට පත්ව සති දෙකකට ආසන්න කාලයක් ගතව ඇති තතු යටතේ, එරට සහ පුලුල් කලාපය ෆුකුෂිමාහි න්‍යෂ්ටික ව්‍යසනයේ තර්ජනය යටතේ තවමත් පවතී. අඩු ගනනේ එක ප‍්‍රතිකාරක කෝවකින් විකිරනශීලී අපද්‍රව්‍ය පරිසරයට කාන්දු වන අතර ජල තටාක තුල ගබඩා කර ඇති අතිශයින්ම විෂ සහිත පාවිච්චි කල න්‍යෂ්ටික ඉන්ධන දඬුවල තත්වය තවමත් පැහැදිලි නැත. ප‍්‍රවිකීර්න ජල සැපයුම්වලින් ජලය පානය කිරීමට සිය දරුවන්ට ඉඩ නොදෙන ලෙස බලධාරිහු දැන් ටෝකියෝ නගරයේ මිලියන 13ක් වන ජනතාවට අනතුරු අඟවා ඇත.

ෆුකුෂිමා බලාගාරයේ ප‍්‍රමිතියෙන් බාල සැලසුම්කරනය හා මෙහෙයුම් ද එහි සංගත මෙහෙයුම්කරුවා වන ටෝකියෝ විදුලි බල සමාගමේ (ටෙප්කො) බියජනක ආරක්ෂක වාර්තාව ද ජපාන ආන්ඩුවේ කිසිදු තැකීමක් නැති හදිසි අවස්ථා ප‍්‍රතිචාරය ද පිලිබඳ දෝෂාභියෝගී තොරතුරු අඛන්ඩව ගලා එයි.

සෑම මට්ටමක දී ම එලිමහනට පැමිනෙන්නේ, ලාභ ගරන පද්ධතියේ ව්‍යසනකාරී ප‍්‍රතිවිපාකයන් ය. ජපානය තුල, ජාත්‍යන්තරව මෙන්ම, ආරක්ෂාකාරී හා පාරිසරිකව තිරසාර බල ශක්ති පද්ධතියක අවශ්‍යතාව ඇතුලු, ජනගහනයේ සමාජ අවශ්‍යතා, මහා සංගතවල මූල්‍ය අවශ්‍යතාවන්ට යටත් කෙරෙයි.

ෆුකුෂිමාහි අර්බුදයේ මුල්ම අවස්ථාවේ සිටම, එනම්, සුනාමිය ප‍්‍රමානවත් නොවන වෙරල ආරක්ෂක පවුරු මතින් ගලා ගොස් න්‍යෂ්ටික බලාගාරයේ උපස්ථ බල ශක්ති උත්පාදක යන්ත‍්‍ර විනාශ කල විට, සංගත ලාභ පිලිබඳ සැලකිල්ල මහජන ආරක්ෂාව පිලිබඳ අවශ්‍යතාවන්ට ඉහලින් කි‍්‍රයා කලේය.

ලෝකයේ සිවු වන විශාලතම බල ශක්ති සමාගම වන ටෙප්කෝ, භූමිකම්පාව හටගෙන පැය 24ක් ඉක්ම යාමට පෙර, එනම්. මාර්තු 12 දා උදෑසන තරම් කලින්, සාගර ජලය යොදා බලාගාරයේ ප‍්‍රතිකාරක තෙත් කිරීම ගැන සලකා බැලූ බවත්, එහෙත් එම කි‍්‍රයාමාර්ගය ගැනීමට පැය ගනනාවක් පමා කල බවත් සෙසු ප‍්‍රතිකාරකවලට සාගර ජලය පොම්ප කිරීම ආරම්භ කලේ මාර්තු 13 දා වන විට බවත් දැන් ප‍්‍රසිද්ධ කරුනකි. මොන යම් හෝ විකිරනශීලිත්වයක් කාන්දු වීම වලකාලිය හැකිව තිබූ මෙම මූලික පුර්වාරක්ෂක පිලිවෙත කි‍්‍රයාවට දැමීමට සංගත විධායකයන් මැලි වූයේ, සාගර ජලය එහි ප‍්‍රතිකාරක ඛාදනයට ලක් කරන බැවිනි. සිය ඩොලර් බිලියන ගනනක වත්කම් අහෝසි වී යාමේ භීතිය හේතු කොට ගෙන ටෙප්කෝ කල් ගත්තේය.

මෙම සාපරාධී නොතැකීම තිබිය දී ම, අගමැති න ඕටෝ කාන්ගේ ජපාන ආන්ඩුව, න්‍යෂ්ටික හදිසි අවස්ථා ප‍්‍රතිචාරය ටෙප්කෝ සමාගම භාරයේ ම තබා ගැනීමට දිගටම ඉඩ දී ඇත. එම සංගතවලට යටත් දාසයන් ලෙස අද විවෘතව සේවය කරන ආන්ඩු මත්තෙහි මහා සංගත දරන අත්‍යසමාන බලය පිලිබඳ පැහැදිලි දර්ශකයක් මෙම තීන්දුව මගින් සැපයෙයි.

මෙය ජපානයට පමනක් විශේෂිත තත්වයක් නොවේ. නිදසුනක් ලෙස, එක්සත් ජනපදය තුල, ඔබාමා පාලනාධිකාරය පසුගිය වසරේ මෙක්සිකෝ බොක්කේ දැවැන්ත තෙල් කාන්දුවෙන් පසුව දැවැන්ත බීපී තෙල් සංගතය ඉදිරියේ බඩ ගෑවේය. එම ව්‍යසනයේ දී, ෆුකුෂිමාහි මෙන් ම, පාරිසරික ව්‍යසනය සම්බන්ධයෙන් වගකිව යුතු සංගත අපරාධකරුවන්ට හදිසි අවස්ථා ප‍්‍රතිචාරය මෙහෙයවීමේ බලය පවරන ලදි.

ටෙප්කෝ සමාගම ඉදිරියේ ජපාන ආන්ඩුවේ යටත් වීම තවත් තීරනාත්මක ප‍්‍රමාදයන් ගනනාවකට හේතු විය. මාර්තු 16 වන තෙක්, එනම් උනු වීයාමේ හැකියාව පිලිබඳ ප‍්‍රථම සලකුනු මතුවීමෙන් දින ගනනාවක් ගත වීමෙන් පසුවත්, සිසිලන මෙහෙයුම් සඳහා ගිනි නිවන හා මිලිටරි සම්පත් මුලුමනින්ම යොදා ගැනුනේ නැත. ටෙප්කෝ සමාගම විසින් ඉල්ලා නොසිටි බැවින් හමුදාවන් එහි නොගිය බව මිලිටරි ප‍්‍රකාශකයෙක් පැවසීය.

1971 දී බලපත‍්‍රය ලද ෆුකුෂිමා බලාගාරය එය ඉදි කල ආකාරයට හා ඉදි කල ස්ථානයේ කිසිසේත්ම ඉදි නොකල යුතුව තිබුනු බව පෙන්නුම් කරන සැලකිය යුතු සාක්ෂ්‍ය පවතී. ජපානයේ නැගෙනහිර වෙරලේ පිහිටි එම බලාගාරය සැලසුම් කර තිබුනේ මීටර් 5.7ක උසකින් යුක්ත සුනාමියකට ඔරොත්තු දීමට පමනි. ෆුකුෂිමා වෙරල තීරයට වැදුනු මාර්තු 11 සුනාමිය ආසන්න වසයෙන් මීටර් 15ක උසකින් යුක්ත වූ බවට තක්සේරු කෙරෙයි. බලාගාරයේ උපස්ථ විදුලි උත්පාදක යන්ත‍්‍ර ජලගැල්මකට ඔරොත්තු දෙන පරිදි සැලසුම් කර නොතිබු අතර ඒවා ක්ෂනිකව කි‍්‍රයාවිරහිත වූයේ, ප‍්‍රතිකාරක කෝව හා පාවිච්චි කල න්‍යෂ්ටික ඉන්ධන දඬු පමන ඉක්මවා උනුසුම් වීමකට තුඩු දෙමිනි.

සිසිලන පද්ධතිය කි‍්‍රයාවිරහිත වන අවස්ථාවක වායුගෝලයට විකිරනශීලී ද්‍රව්‍ය බැහැරවීම වලකාලීමේ අරමුනින් පිහිටුවන ලදැයි කියනු ලබන ෆුකුෂිමා බලාගාරයේ "මාර්ක් 1” ප‍්‍රතිකාරක පාලන බහලු, පුමුඛ න්‍යෂ්ටික විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් විසින් දශක ගනනාවක් තිස්සේ අනාරක්ෂික ලෙස හෙලාදකිනු ලැබ ඇත. උනුවීමක් සිදු වන අවස්ථාවක මාර්ක් 1 පාලන බහලු කි‍්‍රයාවිරහිත වීමට සියයට 90ක ඉඩකඩක් ඇතැයි, 1980 ගනන්වල දී, එක්සත් ජනපද න්‍යෂ්ටික නියාමන කොමිෂමේ එක් නිලධාරියෙක් නිගමනය කලේය. මෙය නොතකා, එම බහලු ජපානය තුලත් එක්සත් ජනපදය ඇතුලු ජාත්‍යන්තරවත් දිගටම යොදා ගැනෙන අතර, එක්සත් ජනපදයේ දී ඒවා අඩු ගනනේ තවත් දශක දෙකක් තිස්සේ දිගටම යොදා ගැනීමට අවසර දී තිබේ.

ජාත්‍යන්තරව න්‍යෂ්ටික කර්මාන්තය, ධනවාදය විසින් ලෝකය ප‍්‍රතිවාදී ජාතික රාජ්‍ය බවට බෙදීමේ ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක පිලිබඳ වෛෂයික පාඩමක් සම්පාදනය කරයි. පශ්චාත් දෙවන ලෝක යුද්ධ ජපානය තුල, පාලක ප‍්‍රභූව, 1930 ගනන්වල වොෂිංටනය විසින් පනවන ලද ව්‍යසනකාරී සම්බාධකවලින් පසුව, තෙල් ආනයනය මත පවත්නා සිය රඳාපැවැත්ම අඩු කර ගැනීමට ප‍්‍රයත්න දැරීය.

ජපානය වනාහි මෙම ග‍්‍රහ ලෝකය මත පිහිටි වඩාත්ම භූකම්පන කි‍්‍රයාකාරී කලාපයකි. එබැවින් එය න්‍යෂ්ටික බලාගාර සඳහා අඩුවෙන්ම ආරක්ෂික කලාපයකි. කෙසේවෙතත්, රටේ ධනේශ්වරය න්‍යෂ්ටික බල ශක්තිය හරහා බල ශක්ති ස්වයං-පෝෂී භාවය වර්ධනය කරගැනීමට ප‍්‍රයත්න දැරූ හෙයින් මහජන ආරක්ෂාව පිලිබඳ මූලික සැලකිලි පසෙකට තල්ලු කෙරුනි. එමෙන්ම, ජපානයේ න්‍යෂ්ටික අවි ගබඩාව සූදානම්ව තබා ගැනීම පිලිබඳ දෘෂ්ටියකින් යුක්තව, දක්ෂිනාංශික ජාතිකවාදී කොටස් න්‍යෂ්ටික කර්මාන්තය දිරිගැන්වූහ.

තර්කාන්විතව සැලසුම් කල ලෝක සමාජවාදී ආර්ථිකයක් තුල, න්‍යෂ්ටික බල ශක්තියේ විභවීය භාවිතය ලෝක ජනගහනයේ දිගු කාලීන අවශ්‍යතාවන් ද ග‍්‍රහ ලෝකයේ පරිසර පද්ධතිය ද මත පදනම් වනු ඇත. ප‍්‍රමුඛ න්‍යෂ්ටික විද්‍යාඥයන් හා බල ශක්ති විශේෂඥයන් විසින් කරනු ලබන සාංගෘහිත හා වෛෂයික තක්සේරු මත පදනම්ව, සාමාන්‍ය ජනයා අතර හැකි තරම් පුලුල්ම ආකාරයේ විවාදයන්ට එම කාරනාව පාත‍්‍ර කෙරෙනු ඇත. හරිතාගාර වායු විමෝචනය නොකරන්නා වූ ද බොහෝ පිලිසකර කල හැකි විකල්ප බල ශක්තිවලට වඩා සැලකිය යුතු තරම් අඩු පිරිවැයක් සහිත වූ ද, බලගතු හා ස්ථාවර විදුලි බල ශක්ති ප‍්‍රභවයක් ලෙස, න්‍යෂ්ටික බල ශක්තියට, දැවැන්ත විභවයක් පවතිනවා විය හැකිය. එහෙත් එය සංකීර්න හා ව්‍යසනකාරී විභවයකින් යුක්ත ආරක්ෂක ගැටලු සමග බැඳී පවතී.

ගැටලුව, ඒ හැටියට ගත් විට න්‍යෂ්ටික බල ශක්තිය පිලිබඳව නොව, එය වර්ධනය කෙරෙන්නේ කුමන සමාජ හා ආර්ථික පර්යායක් යටතේ ද යන්න ය. න්‍යෂ්ටික බල ශක්තිය පුද්ගලික සංගතවල හා වෙලඳ පොලේ පාලනය යටතේ පවතින තාක් කල්, පරිසරයේ යහපැවැත්ම සහ මනුෂ්‍ය වර්ගයාගේ ආරක්ෂාව, සංගත විධායකයන්ගේ හා දැවැන්ත කොටස්කරුවන්ගේ ලාභ ගැරීමේ හා ධනවත් වීමේ තල්ලුවට යටත් කෙරෙනු ඇත. පොදු අයිතිය සහ වැඩ කරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ, එනම්, සමාජවාදය යටතේ, පමනක් ම, න්‍යෂ්ටික බල ශක්තිය ආරක්ෂිතව භාවිතා කිරීම හා වර්ධනය කිරීම සාක්ෂාත් කර ගත හැකි වනු ඇත.

එපමනක් නොව, න්‍යෂ්ටික කර්මාන්තයේ අනාගතය පිලිබඳ සාධාරන විවාදයක් පවත්නා සමාජ-ආර්ථික පද්ධතිය යටතේ කල නොහැකි දෙයකි. ජාත්‍යන්තරව කි‍්‍රයාත්මක වන ප‍්‍රධාන න්‍යෂ්ටික සංගතවලට මාධ්‍ය, විද්‍යාත්මක ආයතන හා විශ්වවිද්‍යාල සහ ආන්ඩු තුල මුදලට ගත් නියෝජිතයන්ගෙන් සමන්විත ජාලයක් ඇත. ලාභ පිලිබඳ උත්සුකතා සහ ප‍්‍රතිවාදී ජාතිකවාදී අවශ්‍යතා සෑම පියවරක දී ම ආධිපත්‍යය දරයි.

1986 චර්නොබිල් න්‍යෂ්ටික ව්‍යසනයෙන් පසුව, ඇමරිකානු මාධ්‍ය විසින් එලඹුනු විශ්වීය නිගමනය වූයේ, එම ව්‍යසනය සෝවියට් සංගමයේ සමාජ හා දේශපාලන ක‍්‍රමයේ අසාර්ථකත්වය පෙන්නුම් කල බවයි. ෆුකුෂිමා ව්‍යසනයෙන් එවන් පාඩම් උකහා ගැනීමක් නොකෙරයි. එය විශ්මයට කාරනාවක් ද නොවේ. එහෙත් ජපානයේ භූමිකම්පාවෙන් හා සුනාමියෙන් අනතුරුව මතු වී ඇති තත්වය ධනවාදයට එරෙහි තවත් දරුනු දෝෂාභියෝගයකි. ලාභ ගරන පද්ධතිය එක් ව්‍යසනයකින් පසුව තවත් ව්‍යසනයකට -- ආර්ථික, සමාජ හා පාරිසරික වසයෙන් -- වගකිව යුතුව ඇත. ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් එය පෙරලාදැමීම අද පෙර නොවූ විරූ හදිසි භාවයක් අත්පත් කරගෙන ඇත.

පැටි‍්‍රක් ඕ කොනර්