ලිබියානු කැරලි කරුවන්ට සීඅයිඒ අන දෙන්නෙක්

A CIA commander for the Libyan rebels

28 March 2011

ගඩාෆි තන්ත‍්‍රය සමඟ සටන් වැද සිටින කැරලි හමුදා වෙනුවෙන් කථාකරන බව පවසන, බෙංගාසි මූලස්ථානය කරගත් ලිබියානු ජාතික කවුන්සිලය නම් කන්ඩායමක්, තම මිලිටරි මෙහෙයුම්වල නායකයා ලෙස දිගු කාලීන සීඅයිඒ ඒජන්තයෙක් පත්කරගෙන තිබේ. ලිබියානු හමුදාවේ හිටපු කර්නල් වරයෙකු වන කලිෆා හිෆ්ටර් තෝරාගත් බව 24දා මැක්ක්ලැචි පුවත් සේවය වාර්තා කලේ ය. නව මිලිටරි නායකයා ඒබීසී ප‍්‍රවෘත්ති සේවයේ වාර්තාකරුවෙකු සමග 27දා රාති‍්‍රයේ සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ විය. බෙංගාසි වෙත හිෆ්ටර්ගේ පැමිනීම මුලින් අල් ජසීරා මාධ්‍ය විසින් වාර්තා කල අතර පසුව, මාර්තු 19දා ඩේලි මේල් නමැති යුදවාදී බි‍්‍රතාන්‍ය පුවත් පතක් එය බොහෝ ඉහලින් වාර්තා කලේ ය. ඩේලි මේල් හිෆ්ටර් ගැන සඳහන් කර තිබුනේ "විප්ලවයේ මිලිටරි තරු දෙකෙන් එකක්” ලෙස ය. ඔහු "ඇමරිකාවේ පිටුවහලෙහි සිට මෑතක දී කැරලිකාර හමුදාවන්ට යම් උපායාත්මක උපදෙස් ලබාදීම පිනිස ආපසු ලිබියාවට පැමින ඇතැයි” සඳහන් කල ද ඔහුගේ සීඅයිඒ සම්බන්ධකම් ගැන එහි කියා නොතිබුනි.

27දා මැක්ක්ලැචි පුවත්පත හිෆ්ටර්ගේ පුද්ගලික තොරතුරු ප‍්‍රසිද්ධ කර තිබුනි. "නව කැරලි නායකයා පසුගිය 20 වසරෙන් වැඩි කාලයක් ගතකොට ඇත්තේ වර්ජිනියාවේ උප නගරයක ය. 1980 ගනන් අග ව්‍යසනකාරී චැඩ් මදාවිය දක්වා” ඔහු ගඩාෆි තන්ත‍්‍රයේ ඉහල ආඥාපතියෙක් ලෙස කටයුතු කල බව ද පුවත්පත පෙන්වා දෙයි.

හිෆ්ටර් ඉන් පසුව ගඩාෆි විරෝධී කඳවුරට එක්වූ අතර අවසානයේ දී එක්සත් ජනපදයට සංක‍්‍රමනය විය. දෙසතියකට පෙර බෙංගාසි මිලිටරි ආඥාපති ලෙස වැඩ භාරගැනීමට ආපසු ලිබියාවට පැමිනෙන තෙක් ම ඔහු ජීවත්ව ඇත්තේ එහි ය.

මැක්ක්ලැචි විස්තරය අවසාන වන්නේ, "1990 ගනන් මුල එක්සත් ජනපදයට පැමිනි තැන් පටන් හිෆ්ටර්, වොෂින්ටන් ඩීසී අසබඩ වර්ජිනියා උප නගරයක ජීවත් විය” යනුවෙනි. හිෆ්ටර්ගේ මිතුරෙකු පැවසූ බවට පුවත්පත වාර්තා කර ඇත්තේ, "හිෆ්ටර්ට ආදායම් ලැබුනේ කෙසේ දැයි මට හරියට ම පැවසිය නොහැක. ඔහු ප‍්‍රධාන කොටම උනන්දු වූයේ තමන්ගේ විශාල පවුල නඩත්තු කිරීමට ය.”

මෙම පේලි අතර කියවන යමෙකුට මෙම විස්තරය සීඅයිඒ ඒජන්තයෙක් ලෙස හිෆ්ටර්ගේ ක‍්‍රියා පිලිවෙත සියුම් ලෙස සඟවා ඇඟවුම් කිරීමක් බව වටහාගත හැකිය. එක්සත් ජනපද බුද්ධි අංශයේ අවසරය හා ක‍්‍රියාශීලී ආධාර නැත්නම්, ලොකර්බී බෝම්බ සිද්ධියෙන් වසර කිහිපයකට පසුව හිටපු ලිබියානු මිලිටරි ආඥාපතියෙක් 1990 ගනන් මුල එක්සත් ජනපදයට ඇතුල්වී, එරට අගනුවර ආසන්නයේ පදිංචි වූයේ කෙසේ ද? හිෆ්ටර් වසර 20ක් සැබවින්ම ජීවත් වූයේ වර්ජිනියාවේ වියානාහි ය. එය පිහිටියේ ලැන්ග්ලී සීඅයිඒ මූලස්ථානයේ සිට සැතපුම් පහක් තරම් නුදුරෙනි.

ඒජන්සියට හිෆ්ටර්ගේ මිලිටරි හා දේශපාලන කටයුතු ඉතා හුරු පුරුදුය. 1996 මාර්තු 26දා වොෂින්ටන් පෝස්ට් පුවත්පත් වාර්තාවකට අනුව, ගඩාෆිට එරෙහි සන්නද්ධ කැරැල්ලක් විස්තර කෙරෙන අතර ඔහුගේ නම අකුරු මාරුකර යොදා තිබුන බව සඳහන් වෙයි. කැරැල්ලේ සාක්ෂ්‍යකරුවෙකුගේ විස්තර වලට අනුව "එහි නායකයා කලිෆා හැෆ්ටාර්ය. ලිබියානු ජාතික හමුදාව ලෙස හඳුන්වා ගන්නා එය එක්සත් ජනපදය මධ්‍යස්ථානය කරගත් කොන්ට‍්‍රා වර්ගයේ කන්ඩායමකි."

1980 ගනන්වල නිකරගුවාවේ සැන්ඩිනිස්ටා ආන්ඩුවට එරෙහිව එක්සත් ජනපද ආන්ඩුව විසින් මුදල් හා ආයුධ දුන් "කොන්ට‍්‍රා” ත‍්‍රස්තවාදීන්ට සමාන කිරීම වැදගත් ය. 1986-87 කාලයේ රේගන් පාලනය දෙදරුම් කැවූ ඉරාන-කොන්ට‍්‍රා සෝලියට, ඉරානයට කල එක්සත් ජනපදයේ නීති විරෝධී අවි වෙලඳාම හා එහි ආදායම කොන්ග‍්‍රසයේ තහනම නොතකා කොන්ට‍්‍රාවරුන්ට ලබාදීම සම්බන්ධවී තිබුනි. කොන්ග‍්‍රස් ඩිමොක‍්‍රටිකයින් සෝලිය වහංඟු කරමින් හිටපු බුද්ධි අංශ ඒජන්තයින් හා ධවල මන්දිර සහායකයින් කන්ඩායමකගේ නීති විරෝධී කටයුතු සඳහා අනුග‍්‍රහය දැක්වීමේ හේතුව මත රේගන්ට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒම ප‍්‍රතික්ෂේප කලේ ය. 2001 වසරේ දී අප‍්‍රිකානුවන් ගසාකෑම නමින් ලේ මොන්ඩේ ඩිප්ලොමැටික් විසින් පල කල පොතක සීඅයිඒ සම්බන්ධය තවත් එහා 1987 දක්වා ගෙන ගොස් තිබේ. ඒ වන විට ගඩාෆිගේ හමුදා කර්නල් වරයෙකු ලෙස කටයුතු කල හිෆ්ටර් එක්සත් ජනපදයේ පිටුබලය ලත් හිසෙනි හබ්රේගේ චැඩ් ආන්ඩුවට එරෙහිව ලිබියාවේ සහාය ලත් කැරැල්ලකට සම්බන්ධව සිටිය දී අල්ලාගෙන තිබේ. ඔහු ප‍්‍රධාන ගඩාෆි විරෝධී කන්ඩායම වන ලිබියානු ජාතික ගලවාගැනීමේ පෙරමුන වෙත පලාගිය අතර එම පෙරමුනට ඇමරිකානු සීඅයිඒ අනුබලය ලැබුනි. ඔහු තමාගේ ම සන්නද්ධ කන්ඩායමක් ගොඩනැඟූ අතර එය 1990 දී ප‍්‍රන්සයේ සහාය ලත් ඉඩ්රිස් ඩිබේ විසින් හබ්රේ පෙරලා දමන තෙක් ම චැඩ් දේශය තුල ක‍්‍රියාත්මක විය.

මෙම කෘතියට අනුව "චැඩ් දේශය තුල හැෆ්ටා හමුදා කල්ලිය ගොඩනඟා මුදල් සපයාදී ඇත්තේ සීඅයිඒ විසිනි. ඉඩ්රිස් ඩිබේ, ආන්ඩුව පෙරලා දැමීමෙන් පසුව කෙටි කලකින්ම ඔවුන්, සීඅයිඒ සහාය ද ඇතිව නිකම්ම අතුරු දහන් විය.” 1996 දෙසැම්බර් කොන්ග‍්‍රස් පරියේෂන සේවා වාර්තාවක් උපුටා දක්වමින් පොත තව දුරටත් කියා සිටින්නේ, එක්සත් ජනපද ආන්ඩුව ලිබියානු ජාතික ගලවා ගැනීමේ පෙරමුනට මුදල් හා මිලිටරි ආධාර ලබා දුන් බවත්, එහි සාමාජිකයින් ගනනාවක් ම එක්සත් ජනපදය තුල පැලපදියම් කල බවත් ය.

මෙම තොරතුරු අන්තර් ජාලය යාන්තමින් හෝ පිරික්සා බලන ඕනෑම කෙනෙකුට ලබාගත හැකි අතර ඒවා එක්සත් ජනපදයේ ව්‍යාපාර පාලනය යටතේ ඇති මාධ්‍ය විසින් වාර්තා කරනු නොලබයි. මැක්ක්ලැචි ඉදිරිපත්කල වාර්තාව පවා සීඅයිඒ ගැන සඳහන් නොකර මඟ හැරියේ ය. නැ‍ගෙනහිර ලිබියාවේ "විමුක්ති සටන්කාමීන්” ගැන හුවා දැක්වීමට යුහුසුලුවී සිටින රූපවාහිනී ජාලයන් එකක්වත් මෙම හමුදා මෙහෙය වන්නේ එක්සත් ජනපද බුද්ධි අංශයේ දිගු කාලීන ඒජන්තයෙකු විසින් බව වාර්තා කිරීමට කරදර වන්නේ නැත.

ලිබියාවට වහවැටී සිටින එක්සත් ජනපද-යුරෝපීය බලයන් ගැන උද්දාමයට පත්ව සිටින ලිබරල්ලු හා "වම්මු” ද එය සැලකිල්ලට නොගනිති. ඔවුහු, ඉරාකය තුල බුෂ් පාලනයේ ඒක පර්ශවික හා "ගොපලු” ප‍්‍රවිෂ්ටයට වඩා වෙනස් යයි කියනු ලබන ඔබාමා පරිපාලනයේ බහුපාර්ශවික හා "සාකච්ඡාමය” ප‍්‍රවිෂ්ටය ඔජවැඩීමට වහවැටී සිටිති. ප‍්‍රතිපලය එකමය. මරනය හා විනාශය ජනගහනය මත කඩා පාත් වෙයි. එය ද පැරනි යටත් විජිත රාජ්‍යයක ස්වෛරීභාවය හා නිදහස පාගා දැමීම ද, මෙම අධිරාජ්‍යවාදයේ පන්දම් කාරයින්ට නම් පයිසයක් තරම්වත් නොවටියි.

වසර 15කට පෙර හොඳින් ගැලපෙන ආකාරයකට "කොන්ට‍්‍රා වර්ගයේ නායකයෙක්” ලෙස විස්තර කල හිෆ්ටර්ගේ භූමිකාව පෙන්නුම් කරන්නේ, ලිබියානු ඛේදවාචකය තුල ක‍්‍රියාත්මක වන සැබෑ පන්ති බලවේගයන් කවරක් ද යන්නයි. දූෂිත ගඩාෆි ආඥාදායකත්වයට එරෙහි කැරැල්ලෙහි මුල් අවස්ථාවේ ප‍්‍රකාශයට පත්වූ අව්‍යාජ ජනතා විරෝධය කෙසේ වුවත්, කැරැල්ල අධිරාජ්‍යවාදය විසින් පැහැරගෙන තිබේ.

ලිබියාව තුල එක්සත් ජනපද හා යුරෝපීය මැදිහත්වීමේ අරමුන "ප‍්‍රජාතන්ත‍්‍රය” හා "නිදහස” ඇති කිරීම නොව, අධිරාජ්‍යවාදී බලවතුන්ට රටේ තෙල් සම්පත කොල්ල කෑමට හා මැද පෙරදිග හා උතුරු අප‍්‍රිකාව සිසාරා යන මහජන කැරලිවලට එරෙහි මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස ලිබියාව පාවිච්චි කිරීමට ඉඩ දෙන අතර ගඩාෆි මෙන්ම රුදුරු ලෙස පාලනය ගෙන යනු ඇති සීඅයිඒ බල රූකඩයින් එරට තුල පැලපදියම් කිරීම යි.

පැටි‍්‍රක් මාටින්