එක්සත් ජනපදය පසුගිය වසරේ අවසන් කාර්තුවෙහි දදේනි පහතට ගෙන එයි

US downwardly revises fourth quarter GDP

By Barry Grey , 26 February 2011

එක්සත් ජනපදයේ ආර්ථික දුබලතාවය පිලිබඳ තවත් සලකුනක් ඇඟවුම් කරමින් පෙබරවාරි 25දා වෙලඳ දෙපාර්තමේන්තුව, 2010 අවසන් කාර්තුවට අදාල තම ආර්ථික වර්ධන අනුපාතය පහත හෙලීය. හතරවන කාර්තුව සඳහා වන එරට දල දේශීය නිෂ්පාදිතය කලින් ඇස්තමේන්තු කල සියයට 3.2 ක සිට වාර්ෂික පදනමකින් ගත් කල දැන් සියයට 2.8 දක්වා සැලකිය යුතු මට්ටමකින් පහත දමා තිබේ.

පූර්වයෙන් අර්ථශාස්ත‍්‍රඥයින් අනාවැකි පලකර තිබුනේ දදේනි අනුපාතිකය සියයට 3.3 දක්වා ඉහල නඟිනු ඇති බවට ය. එහෙත් මෙම සියලු වර්ධන අනුපාතිකයන් වර්තමාන නිල විරැකියා අනුපාතිකය සියයට 9 සිට සැලකිය යුතු පරිදි අඩු කිරීමට අවශ්‍ය මට්ටමට වඩා බෙහෙවින් අඩු ය. 2001 අනුපාතය සියයට 3.4 සිට සියයට 3.9 දක්වා ඉහල නඟිනු ඇති බවට පසුගිය සතියේ ෆෙඩරල් මහ බැංකුව නිකුත් කල පුරෝකථනයන්ට ද එම ඉරනම ම අත්වනු ඇත.

25 දා සිව්වන කාර්තුව සඳහා පල වූ අඳුරු වාර්තාව සමඟ ආර්ථික පසුබෑම කෙරෙහි අහස උසට නඟින තෙල් මිලෙහි බලපෑම ද සැලකිල්ලට ගන්නා විට එම අනාවැකිය පිලිගත නොහැකි තරම් ශුභවාදී ය.

වෙලඳ දෙපාර්තමේන්තුවේ ආර්ථික විශ්ලේෂන කාර්යාංශය ගෙනහැර දැක් වූ පරිදි කලින් බලාපොරොත්තු වූවාට වඩා ප‍්‍රාන්තයන්හි වියදම් කප්පාදුව තියුනු ලෙස ඉහල යාම මෙම මන්දගාමී වර්ධනයට හේතු විය. ප‍්‍රාන්ත හා පලාත් ආන්ඩු, අයවැය හිඟයේ බර කම්කරු පන්තිය මත පැටවීමට පියවර ගන්නා අතර සමාජ වියදම් කප්පාදුවේ බලපෑම ඉන් පිලිබිඹු විය. වෙලඳ දෙපාර්තමේන්තුව පූර්වයෙන් ගනන් බලා තිබුනේ වැටීම සියයට 0.9ක් පමනක් වනු ඇති බවට ය. එහෙත් පසුව වැටීම සියයට 2.4ක් ලෙස සංශෝධනය කලේ ය.

අනෙක් හේතුව ලෙස සඳහන් වූයේ පාරිභෝගික වියදම්වල වර්ධනය කලින් අපේක්ෂා කලාට වඩා අඩුවීම ය. එය සියයට 4.4 සිට සියයට 4.1 දක්වා පහතට සංශෝධනය කරනු ලැබින.

ප‍්‍රධාන යුරෝපීය ආර්ථිකයන්හි වාර්තා එක්සත් ජනපදයේ වර්ධන අනුපාතිකයන්ටත් වඩා අඳුරු පැහැයක් ගත්තේ ය. 25දා ම බි‍්‍රතාන්‍ය සිය ආර්ථිකයේ වැටීම සියයට 0.5ක සිට සියයට 0.6ක සෘන අගයකට සංශෝධනය කල අතර ජර්මනියේ වර්ධනය සියයට 0.4 ද ප‍්‍රන්සයේ සියයට 0.3 ද වශයෙන් වාර්තා විය.

ලිබියාවේ සැපයුම කඩාකප්පල් වීම ද උතුරු අප‍්‍රිකාවේ හා මැද පෙරදිග දිගින් දිගටම පවත්නා සමාජ කලබැගෑනි ද හමුවේ ඛනිජ තෙල් මිල සන්ත‍්‍රාසයක කොන්දේසි යටතේ මෙම පසුගාමී සංඛ්‍යා අනිටු පෙර නිමිති ගෙන එයි. පසුගිය සතියේ බොරතෙල් මිල බැරලයක් ඩොලර් 100 කඩ ඉම පසු කරමින් සියයට 10න් ඉහල නැඟුනි. පෙබරවාරි 15න් පසුව බොරතෙල් මිල සියයට 18න් වැඩි වී තිබේ.

එලඹෙන සති කිහිපය තුල එක්සත් ජනපදයේ භූමිතෙල් මිල බැරලයකට තවත් ශත 25-50 අතර ප‍්‍රමානයකින් ඉහල යනු ඇතැයි විශ්ලේෂකයෝ අනතුරු අඟවති. එලඹෙන ග‍්‍රීෂ්මය වාහන ධාවනය ඉහලට ම නගින සමය වන බැවින් පිරවුම්හල් වල තෙල් බැරලයක් ඩොලර් 5ක් දක්වා වැඩි වනු ඇතැයි සමහර විශ්ලේෂකයෝ අනතුරු අඟවති. පුලුල් විරැකියා තත්වයක් ද වැටුප් හා අනෙකුත් සහන මත එල්ල කෙරෙන නිර්ධය ප‍්‍රහාරයන් ද හමුවේ සිය බිල්පත් ගෙවාගැනීමේ අරගලයක යෙදී සිටින කෝටි ගනන් ජනතාව කෙරෙහි මෙවන් තෙල් මිල කම්පනයකින් ඇති කෙරෙන බලපෑම අතිශය විනාශකාරී වනු ඇත.

තව ද, තෙල් මිල වේගයෙන් ඉහල යාම නිසා දැනටමත් පිම්මේ ඉහල නඟින ආහාර මිල මත ද විනාශකාරී බලපෑමක් ඇති කරනු නිසැක ය. මෙහි අනිවාර්ය ප‍්‍රතිපලය වනු ඇත්තේ පාරිභෝගික වියදම් තවදුරටත් හැකිලී යාම, වැඩි වැඩියෙන් බංකොලොත්වීම්, නිවාස පෙරවරනයන් වැඩිවීම මෙන්ම බලගතු සමාජ ප‍්‍රතිරෝධයන් ය.

වර්ධනය වන සමාජ ව්‍යසනය වෙනුවෙන් සහන සැලසීමට හෝ රැකියා ඉල්ලා උද්ඝෝෂනය කරන මිලියන ගනන් ජනතාව වෙනුවෙන් රැකියා උත්පාදනය කිරීමට හෝ ඔබාමා පාලන තන්ත‍්‍රය සතුව කිසිදු වැඩපිලිවෙලක් නැත. එයට පටහැනි ලෙස ෆෙඩරල්, ප‍්‍රාන්ත හා පලාත් මට්ටමේ සමාජ වැඩසටහන්, සහන හා වැටුප් මත එල්ල කෙරෙන ප‍්‍රහාර තවත් දැඩි කිරීම සඳහා එම පාලන තන්ත‍්‍රය කැපවී සිටියි.

ඊලඟ දශකය තුල සමාජ වියදම් ඩොලර් බිලියන 700න් කපා හැරීම මේ මාසය මුල ඔබාමා විසින් නිවේදනය කරන ලද අයවැය ලේඛනයෙන් යෝජනා කෙරී ඇති අතර කප්පාදුව වඩාත් පුලුල් කිරීමේ සාකච්ඡා රිපබ්ලිකානුවන් සමඟ ඔහු දැනටමත් ආරම්භ කර තිබේ. මෙහි අර්ථය වන්නේ සෞඛ්‍ය සේවා හා සමාජ රැකවරන වැනි මූලික අයිතීන් සහතික කරන වැඩසටහන් මත ප‍්‍රහාර එල්ල කිරීම සඳහා මෙය ආරම්භයක් කොට ගන්නා බවයි.

ඒ සමග ම තම ජාත්‍යන්තර ප‍්‍රතිවාදීන්ට එරෙහිව වෙලඳ හා මූල්‍ය යුද්ධයක හා සිය ව්‍යාපාරික සංස්ථාවන්ට හා මූල්‍ය සමපේක්ෂකයින්ට නොමිලයේ ම පාහේ නය සැපයීමේ මාධ්‍යයක් ලෙස ද ගනු ලබන පියවර වශයෙන්, බිලියන සිය ගනනින් මුදල් නෝට්ටු අච්චු ගැසීමේ එක්සත් ජනපද ප‍්‍රතිපත්තිය, වෙලඳ භාන්ඩ මිල බුබුලට තවත් ගිනි අවුලුවයි.

ඛනිජ තෙල් මිල වේගයෙන් ඉහල නැඟීමේ ගම්‍යයන් පිලිබඳව කම්බලන්ඞ් උපදේශක සමාගමේ සභාපති හා ප‍්‍රධාන ආයෝජන නිලිධාරී ඩේවිඩ් කොටොක්, සිය සේවාදායකයින් වෙත පසුගිය 24දා යවන ලද සටහනක මෙසේ ලිවීය. "එක්සත් ජනපද හා යුරෝපීය ආර්ථිකයන් තුල ආර්ථික පසුබෑම පිලිබඳ අවදානම දිනෙන් දින ඉහල නගියි.”

දැනටමත් ලෝක ආහාර මිල ගනන්, 2008 වසරේ එහි උච්චතම ලක්ෂ්‍යය ඉක්මවා ඇත. 2011 අස්වනු වර්ෂය ආරම්භ වීමත් සමග බඩඉරිඟු, තිරිඟු හා සෝයා බෝංචි සඳහා ගොවිපල මිල ගනන් වාර්තාගත මට්ටම් වලට නඟිනු ඇතැයි එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 24දා අනාවැකි පල කලේ ය. එය තවදුරටත් කියා සිටියේ තොග මිල ගනන්, සැපයුම් ක‍්‍රියාදාමය තුලින් පෙරී එමින් සිල්ලර මිල කෙරෙහි බලපෑමට පටන් ගැනීමත් සමඟ මෙම වසරේ දෙවන භාගය තුල අහාර මිල උද්ධමනය වැඩිවනු ඇති බවයි.

එකසත් ජපද ආර්ථිකයේ මූලික අංශයන්හි කිසිදු සැබෑ ප‍්‍රතිප‍්‍රාප්තියක් නොමැතිකම සම්බන්ධයෙන් මේ සතියේ නිකුත් කරන ලද තවත් වාර්තා කිහිපයකින් ම අවධානය යොමුකර තිබුනි. දෙසැම්බර්-ජනවාරි කාලයේ නව නිවාස අලෙවිය සියයට 12.6න් පහත වැටී ඇති බව 24දා වෙලඳ දෙපාර්තමේන්තුව වාර්තා කලේ ය. මෙම තියුනු පහත වැටීම හේතු කොට ගෙන කාල වකවානු අනුව ගලපන ලද අනුපාතිකය පසුගිය වසරේ වාර්තාගත පහල ම මට්ටම වූ නිවාස ඒකක 274,000 ට වඩා දුර නොවන 284,000 අනුපාතිකයක් බවට පත්විය.

මෙම සතිය මුල එස්ඇන්ඩ්පී කේස් ෂිලර් නිවාස මිල දර්ශකය, කලින් මාසය හා සසඳන කල දෙසැම්බරයේ නිවාස මිල සියයට 1.0න් පහත ගිය බව පෙන්නුම් කලේ ය. තව ද, ජාතික වශයෙන් නිවාස මිල ගනන් 2009 වසර මුල කඩා වැටීමෙන් අනතුරුව ඇති වූ පහතම අගයට ආසන්න මට්මටමට වැටුනු බව ද කේස් ෂිලර් සඳහන් කලේය.

මෙම දර්ශකයේ සම කතෘත්වය දරන යේල් විශ්ව විද්‍යාලයේ අර්ථ ශාස්ත‍්‍රඥ රොබට් ෂිලර් සමුලුවක දී පැවසුවේ නිවාස මිල තවත් සියයට 10 සිට 25 දක්වා වැටීමේ "සැලකිය යුතු අවදානමක්” පවතින බවයි.

තව ද, ගුවන් යානා හැරුනු විට, ජනවාරි මාසය සඳහා ඇනවුම් කරන ලද කල් පවත්නා භාන්ඩ පරිමාව සියයට 3.6න් පහත වැටුනු බව 24දා වෙලඳ දෙපාර්තමේන්තුව වාර්තා කලේ ය. මක්නිසාද යත්, අඩමාන ගුවන් යානා ක්ෂේත‍්‍රයේ ඇති වූ තියුනු නැඟීම නිසා සමස්ත සංඛ්‍යාව සියයට 2.7න් ඉහල නැඟීමයි. එහෙත් නව උපකරන සඳහා ව්‍යාපාර වියදම් තක්සේරු කිරීමට යොදාගන්නා මුඛ්‍ය මිම්මක් වන ගුවන් යානා හැරුනු කල ආරක්ෂක නොවන ප‍්‍රාග්ධන භාන්ඩ සම්බන්ධ වියදම් සියයට 6.9න් පහත වැටුනි.