මැඩගස්කරයේ දී නව උනහපුලු විශේෂයක් සොයා ගැනේ

New species of lemur discovered in Madagascar

By Frances Gaertner , 24 December 2010

දෙබල් සලකුන සහිත උනහපුලුවන්ගේ නව විශේෂයක් යයි සැලකෙන ජීවියෙක් මැඩගස්කරයේ වනාන්තර තුලින් සොයා ගනු ලැබ ඇත. 1995 දී සංරක්ෂන ජාත්‍යන්තරයේ සභාපති රස් මිටර්මේයර් විසින් ප‍්‍රථම වරට හඳුනාගන්නා ලද මෙම සොයාගැනීම මේ වසරේ බීබීසීයේ අනාවරනයේ දශකය (ඩිකේඩ් ඔෆ් ඩිස්කවරි) නමැති වාර්තා වැඩසටහනක් මගින් අවසානයේ හෙලිදරවු කරන ලදී.

දෙබල් සලකුන සහිත උනහපුලුවා

දෙබල් සලකුන සහිත උනහපුලුවා සුවිශේෂී වසයෙන් සිය සලකුනු, ප‍්‍රමානය හා දිගු දිව හේතුවෙන් වෙන්කොට හඳුනාගත හැකි ෆේනර් නම් ගනයේ සාමාජිකයෙකි. සියලු උනහපුලු විශේෂයන් මෙන් ඔවුන් ද මැඩගස්කරයේ වනාන්තරවලට ආවේනික වේ.

පලමු නිරීක්ෂනය සිදුවූයේ ආචාර්ය මිටර්මේයර් වෙනත් උනහපුලු විශේෂයක් පිලිබඳව සොයමින් සිටිය දී ය. "මෙම සත්ත්වයා මෙම ප‍්‍රදේශයෙන් මීට කලින් වාර්තා වී නො තිබුනු නිසා මෙහි දී දෙබල් සලකුනු සහිත උනහපුලුවෙක් දැකීමෙන් මා පුදුමයට පත්වුනා” යයි ඔහු මතකය අවදි කලේ ය. එදින ඔහු දුටු ප‍්‍රිමාටයා නව විශේෂයක් විය හැකි යයි ඔහු පුරෝකථනය කල ද මේ දක්වා සොයාගැනීමට සමත් නො වීය.

ගවේෂන කන්ඩායමට ඔහාමා සත්වෝද්‍යානයේ ප‍්‍රවේනි විද්‍යාඥ එඩ් ලුවී, බීබීසී ස්වාභාවික ඉතිහාස ඒකකයේ චිත‍්‍රපට කන්ඩායමක් හා ආචාර්ය මිටර්මේයර් ඇතුලත් විය. ඔවුන්ගේ ආරම්භක ලක්ෂ්‍ය වූයේ පලමු නිරීක්ෂනය සිදුවූ ප‍්‍රදේශය යි.

මෙම කන්ඩායම උනහපුලුවාගේ හඬ අනුයමින් රාතී‍්‍රයේ ඌ සොයා ගමන් ඇරඹීය. උනහපුලුවන් නිශාචර කි‍්‍රයාකාරීත්වයට හොඳින් අනුගත වන අතර ඔවුන්ගේ චලනයන් හා හඬනැගීම් සිදුවන්නේ මේ සමයේ දී ය. ගසක් මත සිටි උනහපුලුවන් සොයාගත් ගවේෂක කන්ඩායම උන්ගෙන් එකෙක්ව සන්සුන් කොට පරීක්ෂා කිරීමට හා රුධිරය ලබාගැනීමට ගසෙන් පහලට ගෙන ආවේ ය.

නිරීක්ෂන තුලින් කන්ඩායමේ අවධානයට ලක්වූයේ මෙම උනහපුලුවා තරමක් වෙනස් වර්න සහිත බව හා අනෙකුත් උනහපුලුවන්ගෙන් දැකගැනීමට නො ලැබෙන අසාමාන්‍ය හිස සෙලවීමක් කරන බවයි. වඩාත් අවධානය ඩැහැගන්නා දෙය වූයේ උනහපුලුවාගේ දිව යටින් විද්‍යාඥයන් සොයාගත් සුදු පැහැ පිල් සහිත ව්‍යුහය යි. උපකල්පනය වන්නේ මෙම ව්‍යුහය මල්පැනි වඩා කාර්යක්ෂම ලෙස උරාගැනීමට භාවිතා කරනු ලබන බවයි.

මෙය නව උනහපුලු විශේෂයක් නියෝජනය කරයි ද නැද්ද යන්න තීරනය කරන සාධකය වන්නේ ජාන ව්‍යුහය යි. හරියට ම මෙම පි‍්‍රමාටේසයන් (අගේ‍්‍රශයෝ) වර්ගීකරනයට ගැලපෙන්නේ කොතැනින්දැයි සොයාගැනීමට ඩීඑන්ඒ ව්‍යුහයේ ජානමය සැකැස්ම පිලිබඳව පරීක්ෂන සිදුකරනු ලැබේ.

අවාසනාවකට දර කැපීම හා ගිනි තැබීම හේතුවෙන් වනාන්තර විනාශ වීම නිසා මෙම සත්වයා දැනට මත් වඳවී යාමේ අද්දර සිටී. බොහෝ සත්වයන්ගේ වාසභූමි අඩු වී යන අතර එක්තරා ලක්ෂ්‍යයක දී ඔවුන්ව තවදුරටත් රැකගෙන සිටීම කල නො හැකි වේ.

"මෙය වනාහි ලෝකයේ ඉහල ම ප‍්‍රමුඛත්වය සහිත ජෛව විවිධත්ව සක‍්‍රීයත්වය ස්ථානය හා අපගේ ග‍්‍රහලෝකයේ වඩාත් ම අසාමාන්‍ය ස්ථානවලින් එකක් වන මැඩගස්කර දිවයිනෙන් සොයාගත් තවත් එක් විශිෂ්ට සොයාගැනීමකි” යයි ආචාර්ය මිටර්මේයර් කීවේ ය.

"දැනට මත් සිය මූලික වෘක්ෂලතාදියෙන් සියයට 90ක් හෝ ඊටත් වැඩියෙන් අහිමි කරගෙන ඇති මෙම වඩාත් බලපෑමට ලක්වූ රටෙන් නව උනහපුලු විශේෂ හා තවත් බොහෝ ශාඛ හා සත්ත්වයන් දිගට ම සොයාගැනීම විශේෂයෙන් විශිෂ්ට යි.”

මැඩගස්කරය උනහපුලු විශේෂ 101කට නවාතැන් සපයයි. මෙයට මෑත දී කරන ලද නිරීක්ෂන ඇතුලත් නොවේ. ග‍්‍රහලෝකයේ වෙනත් ස්ථානවල දක්නට නො ලැබෙන උරගයන් 363කට, උභයජීවීන් 244කට හා කුරුල්ලන් 260කට මෙම දිවයින වාසභූමිය වේ. වාර්තා වැඩසටහනේ පෙන්වනු ලබන අනෙකුත් මෑතකාලීන සොයාගැනීම් අතරට නියපොතු තුනක් සහිත සෙන්ගි නමැති අඟුටු මිටි මන්දයා, ලෝකයේ දිග ම කෘමියා වන චෑන්ගේ මහා කූරා හා සිය වරල්පත් මගින් සාගර පත්ලේ ඇවිද යන උන මෝරා අයත් වෙති.

මෙම මෑතකාලීන සොයාගැනීම් පවතිද්දී තවමත් සොයාගැනීමට බොහෝ සත්ත්වයන් හා ශාඛ නිසැකව ම තිබුන ද දර කැපීම හා ගිනි තැබීම මගින් වනාන්තර ව්‍යසනයට පත්ව වාසභූමි අඩු වී යාමේ අර්ථය වන්නේ සමහර ජීවීන් වඳ වී යාමට පෙර සොයාගැනීම පවා කිසිකලෙක සිදු නො වනු ඇති බවයි. දර කැපීම ඉහල යාමත් සමග උනහපුලුවන් වැනි අන්තරායට පත් සත්ත්වයන් දඩයම් කිරීම ද ඉහල ගොස් ඇත.

ආන්ඩුව වාසභූමි විනාශ කිරීම වඩාත් නරක අතට හරවමින් සිටී. 2009 මාර්තුවේ ඇන්ඩි‍්‍ර රාජොයෙලිනා බලයට ගෙන ආ මිලිටරි කුමන්ත‍්‍රනයෙන් පසු වැසි වනාන්තර තැනුම් ඒකක වන රෝස්වුඞ් ගස්වැනි අරටු සහිත ගස් දර සඳහා කැපීමට නිදහස දෙන ලදී. මැඩගස්කරයට ආවේනික රෙඩ්වුඩ් විශේෂ 47ක් හා කලුවර විශේෂ 100කට වැඩියෙන් ඇති අතර ඒවා වඳ වී යාමේ අද්දර පවතී. දැනට පිටුවහලේ සිටින හිටපු ජනාධිපති මාක් රැවලොමනානා විසින් ස්ථාපනය කරන ලද, ඒවා තවමත් දැක ගත හැකි ජාතික උද්‍යාන ආරම්භක වනාන්තර සංඛ්‍යාවෙන් සියයට 10ටත් අඩු ය.

මැඩගස්කරයට සුවිශේෂී යෝධ ජෛව විවිධත්වය නිසා පාරිසරික සංචාරක ව්‍යාපාරය වසරකට ඩොලර් මිලියන 390ක් උපයා දුන්න ද දේශපාලන කැලඹිල්ල නිසා එය අඩු වී ඇත. සංරක්ෂනය සඳහා මෙම ප‍්‍රධාන ලාභ දිරිගන්වන ක්ෂේත‍්‍රය නොමැති තතු යටතේ වැසි වනාන්තර මත නව හා වඩා ප‍්‍රචන්ඩ ප‍්‍රහාර එල්ල කිරීමට ආන්ඩුව සැලසුම් කරයි.

උත්ප‍්‍රාසාත්මක ලෙස යුරෝපා සංගමය, ප‍්‍රන්සය, එක්සත් ජනපදය, ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) මැඩගස්කරයට මූල්‍ය ආධාර දීම යම් මට්ටමකින් අත්හිටුවා ඇතත් නීති විරෝධී ලෙස අරටුමය ගස් කඳන් කිරීම සඳහා අරමුදල් දීම නවත්වා නැත. මෙය ඍජුව නොව ප‍්‍රන්ස සංවර්ධන ඒජන්සියේ ආධාර ලබන මැඩගස්කර අපි‍්‍රකා බැංකුව මෙන් ම ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව, එෆ්එම් ඕ නමැති ඕලන්ද සංවර්ධන බැංකුව හා බාහිර වෙලඳාම සඳහා වන මැරෝකේන් බැංකුව වැනි බැංකුවල සහයෝගයෙන් සිදු කෙරේ. ප‍්‍රන්ස ආන්ඩුව කොටස් වසයෙන් හිමිකාරීත්වය දරන සොෂයිටි ජෙනරල් හා ක්‍රෙඩිට් ලියොන්නේයිස් යන ආයතන ද නීති විරෝධී ලී කැපීමට හා ගනුදෙනුවලට අරමුදල් සපයයි. ලී තොග සඳහා මූලික ගෙවීම දුර්ලභ ලෙස මුලු මුදලින් සියයට 50ක් වන්නේ අපනයනයට හා තම කි‍්‍රයාකාරකම් කරගෙන යාමට බැංකුවල මූල්‍ය ආධාර ලබාගැනීමට වෙලෙන්ඳන්ට බලකෙරෙමිනි.

ලී ප‍්‍රවාහනය කිරීමේ ප‍්‍රමුඛයා වන්නේ ප‍්‍රන්සයේ පදනම් වන නෞකා සමාගමක් වන ඩෙල්මාස් ය. ඓතිහාසිකව මැඩගස්කරයේ විජිත බලය වන ප‍්‍රන්සය තවමත් බලගතු ආර්ථික හා දේශපාලනික භූමිකාවක් ඉටු කරයි.

වනාන්තර විනාශ වුවද මැලගාසි ජනයා ජීවනෝපාය සඳහා සියල්ල පරදුවට තබති. කලින් ජනාධිපති රැවොලොමනානාගේ ඇදවැටීමට ප‍්‍රධාන හේතුවක් වන්නේ ආර්ථික අර්බුදය යි. කුමන්ත‍්‍රනයෙන් පසු සියලු විදේශ ආන්ඩු රාජොයෙලිනාගේ පරිපාලනය පිලිගැනීම ප‍්‍රතික්ෂේප කර ඇති අතර පර්යාය ප‍්‍රතිස්ථාපනය කිරීමේ නාමයෙන් මැඩගස්කර ජනයාට ලබා දෙන ආධාර අවහිර කොට ඇත. මෙම හුදකලාවෙන් මහජනයා විඳවද්දී පාලක ප‍්‍ර‍්‍රභූව සැපපහසු ලෙස ජීවත් වේ.

සිය දරුවන් පාසල් යැවීමට පවුල් අසමත් වන අතරේ බොහෝ දෙනාට ශිෂ්ට සම්පන්න නිවාස නඩත්තු කිරීමට හෝ සෞඛ්‍යය සඳහා වන ගෙවීම් කිරීමට නො හැක. වාර්තා පෙන්නුම් කරන්නේ වැඩිහිටියන් තවදුරටත් තම දරුවන් රැකබලා ගත නො හැකි නිසා ඔවුන්ව අතහැර දමන තරමට මංමුලා සහගත බවයි. බොහෝ දෙනා නීති විරෝධී ලී කපන සමාගම්වල වැඩට හා තමන්ගේ ම පැවැත්ම වෙනුවෙන් ලඳු කැලෑ විකිනීමට යති.

කුමන්ත‍්‍රනයට පෙර එක්සත් ජනපදය මැඩගස්කරය සමග අපි‍්‍රකානු වර්ධන හා අවස්ථා පනත (ඒජී ඕඒ) නමැති ගිවිසුමකට එලැඹ තිබුනේ ඒ හරහා මැඩගස්කර ආන්ඩුවට සිය ජනයා රෙදිපිලි නිපදවීමට ලාභ ශ‍්‍රමිකයන් ලෙස සේවයේ යොදවා එම රෙදිපිලි ඇමරිකාවට බදු රහිතව අපනයනය කලහැකි වන පරිදි ය. රෙදිපිලි කර්මාන්තය අපනයනයන්ගෙන් සියයට 60ක් හා වාර්ෂිකව ඩොලර් මිලියන 600ක් බවට පත්වූයේ මැඩගස්කර ආදායමෙන් බාගයකට වඩා වැඩි වෙමිනි. ඒජී ඕඒ පනත අත්හිටුවීමෙන් පසු බොහෝ රෙදිපිලි කර්මාන්තශාලා වසා දමා ඇත්තේ බොහෝ ජනයා වීදිවලට ඇද දමමිනි.

මෙම දරුනු පහරේ පාඩුව පිරිමසා ගැනීමට රාජොයෙලිනා නිකල් හා තඹ හෑරීමේ සංක‍්‍රමන වැඩපිලිවෙලක් යෝජනා කොට ඇත. එහි අපේක්ෂාව වන්නේ මැඩගස්කරය 2008 දී වාර්තා කල සියයට 7.1ක ආර්ථික වර්ධනය කරා යලි ලඟා වීමයි. ඇම්බටොවිහි කල හෑරීමෙන් 2010 දී නිස්සාරන කර්මාන්තය සියයට 121.3කින් ප‍්‍රසාරනය වීමෙන් පසු 2011 දී සියයට 228.2ක වර්ධනයක් අයවැය යෝජනා මගින් අපේක්ෂා කරයි. මෙම ව්‍යාපෘතිය කැනඩාවේ ෂෙරිට් ඉන්ටර්නැෂනල්, සුමිටෝමෝ කෝප්, කොරියා රිසෝසස් හා එස්එන්සී ලැවලින් යන සමාගම්වල හවුල් ව්‍යාපාරයකි.

අනෙකුත් සමාගම් රත්තරන්, ගල් අඟුරු, ක්‍රෝමියම්, ප්ලැටිනම් හා යුරේනියම් සඳහා ගවේෂනය කරමින් සිටී. ටෝටල් හා එක්සෝන් මොබිල් යන සමාගම් මැඩගස්කර මුහුදේ තෙල් සෙවීමට ආයෝජනය කොට ඇත. එක්සත් රාජධානියේ පදනම් වන රියෝ ටින්ටෝ පීඑල්සී නමැති බහුජාතික සංගතය දත් බෙහෙත් හා තීන්ත වල ධවලකාරකයක් ලෙසත් ටයිටේනියම් ඩයොක්සයිඩ් සෑදීමටත් භාවිතා කරනු ලබන ඉහල ගුනාත්මක ඉල්මනයිට් නිෂ්පාදනයේ හා අපනයනයේ ආයෝජනය කොට ඇත. මෙම ව්‍යාපෘතිය දිවයිනේ බොහෝ පෙදෙස් වඩ ඩවා ජීවත් විය නො හැකි බවට පත්කොට ජනයාව ඔවුන්ගේ නිවෙස්වලින් පලවා හරිනු ඇත.