ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව ඇඟලුම් කම්කරුවන්ගේ වැඩ වර්ජනය බිඳීමට පොලිස් දඩයමක් දියත් කරයි

Sri Lankan government launches police witch-hunt to break garment workers’ strike

By Nihal Geekiyanage and Ivan Fernando, 7 March 2011

කොලඹ ආසන්නයේ පිහිටි ආන්ඩුවේ නිදහස් වෙලඳ කලාපවලින් එකක කම්කරුවන්-ප‍්‍රධාන වශයෙන් ම ස්ත‍්‍රී කම්කරුවන්-කර ගෙන ගිය ධෛර්යමත් වැඩ වර්ජනයක් බිඳීම සඳහා සන්නද්ධ පොලිස් භටයන් සිය ගනනක් බලමුලු ගන්වා ඇත. මෙය වූකලි මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව කර ගෙන යන පොලිස්-රාජ්‍ය මර්දනයේ තවත් ක‍්‍රියාවකි. වර්ජක කම්කරුවන් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත, 40කට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් පහ කර ඇත. කටුනායක නිදහස් වෙලඳ කලාපයෙහි පිහිටි වර්ජනය පැන නැගි බ‍්‍රාටෙක්ස් සමාගම හොංකොං දේශය සිය මූලස්ථානය කර ගත් යට ඇඳුම් නිෂ්පාදන ආයතනයකි.

ආන්ඩුවට සහ සමාගමට මෙම ප‍්‍රහාරය එල්ල කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සමිතිය (නිවෙක සහ පොසේසේස) බ‍්‍රාටෙක්ස් වර්ජකයන් ආරක්ෂා කිරීමට අනෙක් කම්කරුවන් බලමුලු නො ගන්වා අරගලයට වල කැපීමට මැදිහත් වීම නිසා ම පමනකි.

රුපියල් 3,000ක මාසික වැටුප් වැඩි කිරීමක් ද සාමාජිකයන් 300කින් පමන සමන්විත නිවෙක සහ පොසේසේස ශාඛාව පිලිගන්නා ලෙස ද ඉල්ලමින් 1,700කට ආසන්න බ‍්‍රාටෙක්ස් කම්කරුවෝ පෙබරවාරි 11 දා දින නියමයක් නැති වැඩ වර්ජනයක් කැඳවූහ. නිවෙක සහ පොසේසේසය වැඩ වර්ජනය කැඳවූයේ නැත, එහෙත් බ‍්‍රාටෙක්ස් කම්කරුවෝ ස්වයංසිද්ධව වැඩ නතර කලහ.

වැඩ වර්ජනය මූලික වශයෙන් ම පුපුරා ගියේ ලාභ ශ‍්‍රමය පදනම් කර ගෙන ආයෝජන ආකර්ෂනය කර ගනු පිනිස නිවෙක කම්කරුවන්ගේ වැටුප් පහල මට්ටමක පවත්වා ගැනීමේ දී සියලු වෘත්තීය සමිති ආන්ඩුව සමග සහයෝගී වී සිටින බැවිනි. බ‍්‍රාටෙක්ස් සමාගමෙහි සාමාන්‍ය මාසික වැටුප අතිකාලීන දීමනා ඇතුලුව වුවත් රුපියල් 15,000ට (එ.ජ.ඩො. 135ට) වඩා අඩු ය.

නිවෙක කම්කරුවන්ට වෘත්තීය සමිති අයිතිවාසිකම් කිසිවක් නැත. එම අයිතිවාසිකම් දිනා ගැනීමට සටන් වදිනු වෙනුවට, වෘත්තීය සමිති උත්සාහ දරා ඇත්තේ කම්කරුවන්ගේ දුක් ගැනවිලි කලමනාකරනය වෙත දැනුම් දීමේ නාමයෙන් කම්හල් තුල පිහිටුවා තිබෙන උපදේශක මන්ඩලවලට ඇතුලත් වීම හරහා සමාගම්වල පිලිගැනීම දිනා ගැනීමට ය.

නිවෙක සහ පොසේසේසය සාකච්ඡාවක් සඳහා කල ඉල්ලීම ප‍්‍රතික්ෂේප කල බ‍්‍රාටෙක්ස් සමාගම පෙබරවාරි 14 දා පොලීසිය කැඳවී ය. එදින සන්ධ්‍යාවේ කම්හල වැටලූ පොලීසිය ආයතනයෙන් පිට වී යමින් සිටි වර්ජකයන් දෙදෙනෙකු-අමල් ශාන්ත සහ යූ.ඩබ්ලිව්. ගයාන් ප‍්‍රදීප්-අත් අඩංගුවට ගත්තේ ය. කම්කරුවන් සිය ගනනක් පොලීසිය වෙත ගොස් ඔවුන් දෙදෙනා නිදහස් කරන ලෙස ඉල්ලා සිටි විට ඔවුන්ට සාහසික ලෙස පහර දුන් පොලීසිය තවත් කම්කරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගත්තේ ය.

කම්හල වසා දැමූ බ‍්‍රාටෙක්ස් සමාගම පෙබරවාරි 21 දා තෙක් කම්කරුවන් වැඩ පොලට ඒම වලක්වා ගෙන සිටියේ ය. අනතුරුව පෙබරවාරි 14 දා සහ 21 දා සිදුවීම්වලට සහභාගි වූයේ ය යන චෝදනාව මත අනතුරුව කම්කරුවන් 38කට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් පහ කලේ ය.

"සොයා ගත යුතු කම්කරුවන්” 20 දෙනෙකුගේ ලැයිස්තුවක් පොලීසිය වෙත ලබා දීමට සහ ඔවුන් සෙවීම සඳහා පොලීසිය වෙත වාහන සැපයීමට ද සමාගම කටයුතු කර ඇති බව කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට කියා සිටියහ. යටත් නොවුන හොත් පොලීසියෙන් සිදු වන අඩන්තේට්ටම් වැඩි විය හැකි යැයි පවසමින්, නිවෙක සහ පොසේසේස ලේකම් ඇන්ටන් මාකස් මෙම කම්කරුවන්ගෙන් ඇතැමෙකුට පොලීසියට යටත් වන ලෙස උපදෙස් දුන්නේ ය.

අත් අඩංගුවට ගැනීම් සිදු කර තිබෙන්නේ නිලධාරීන් කිහිප දෙනෙකුට කායිකව පහර දුන්නේ ය යන අනියම් චෝදනා මත ය. එහෙත් කම්කරුවන් එම චෝදනා ප‍්‍රතික්ෂේප කර ඇත. මැයි 20 දා නඩුව විභාගයට ගැනීමට නියම කර තිබෙන්නේ නිශ්චිත චෝදනා මොනවා ද යන්න පවා කම්කරුවන්ට දැනුම් නො දී ය.

අත් අඩංගුවට ගත් කම්කරුවන් බැලීම සඳහා පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේ නිවෙක සහ පොසේසේස නිලධාරියෙකු වන අසේල ධර්මප‍්‍රිය දිසානායක රඳවා ගෙන ඔහුට පහර දෙනු ලැබින. පොලීසිය තමන්ට තර්ජනය කල බව දිසානායක ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසී ය.

මෙම පොලිස් දඩයම, රාජපක්ෂ ආන්ඩුව බ‍්‍රාටෙක්ස් සමාගමට දෙන සහයෝගය ප‍්‍රදර්ශනය වුනු මෑත ම අවස්ථාව යි. 2010 ජනවාරියේ දී සමාගම කම්කරුවන්ට ලබා දීමට නියමිත ප‍්‍රසාද දීමනා ගෙවීම ප‍්‍රතික්ෂේප කල අවස්ථාවේ දී ද එය දිස් විය.

2010 පෙබරවාරියේ දී වැටුප් වැඩි කිරීමක් සහ වෘත්තීය සමිති අයිතිවාසිකම් ඉල්ලමින් බ‍්‍රාටෙක්ස් කම්කරුවන් විරෝධතාවක යෙදුනු පසුව ජනාධිපති සහකාර සිරිපාල අමරසිංහ සන්නද්ධ පුද්ගලයින් සමග කම්හල වෙත පැමිනියේ ය. කම්කරු ආරාවුල් 23ක් මර්දනය කිරීම සම්බන්ධ සිය ඉතිහාසය ගැන කම්කරුවන් හමුවේ පම්පෝරි ගැසූ ඔහු, කිසිදු වෘත්තීය සමිති මැදිහත් වීමක් සිදු නො විය යුතු බවට ඔවුන්ට අනතුරු ඇඟවී ය. අනතුරුව කම්කරුවන්ට රුපියල් 1,300ක සුලු වැටුප් වැඩි වීමක් ප‍්‍රදානය කෙරුන ද වෘත්තීය සමිති අයිතිවාසිකම් ලබා දීම ප‍්‍රතික්ෂේප කරනු ලැබින.

මෑත ම පොලිස් ප‍්‍රහාරය සම්බන්ධයෙන් තම සමිතිය දැක්වූ බියගුලු ප‍්‍රතිචාරය යුක්ති සහගත කිරීමට ප‍්‍රයත්න දරමින් මාකස් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කියා සිටියේ, තම සමිතිය නීතිමය වශයෙන් පොලීසියට අභියෝග කිරීමට යන බව යි, ජාතික කම්කරු උපදේශක සභාවේ (එන්එල්ඒසීයේ) දී ප‍්‍රශ්නය මතු කොට "ජාතික සහ ජාත්‍යන්තර උද්ඝෝෂනයක්” දියත් කිරීමට උත්සාහ කරන බව යි.

වර්ජනය එන්එල්ඒසීය අතට හරවා යැවීමට මාකස් දරන වෑයම වනාහි සමාගමේ සහ ආන්ඩුවේ අවශ්‍යතා බලාත්මක කිරීමට ඔහු තුල පවතින සූදානම පෙන්නුම් කරන අනතුරු ඇඟවීමකි. 2008 දී ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ශ‍්‍රී ලාංකික අපනයනවලට, විශේෂයෙන් ම ඇඟලුම්වලට පහර වැදුනු විට ආන්ඩුව යලි කැඳවූ එන්එල්ඒසීය යනු ආන්ඩුව, සේවා යෝජකයා සහ සමිති නියෝජිතයන් යන පාර්ශ්ව තුනෙන් සමන්විත සංගතවාදී මන්ඩලයකි.

කම්කරුවන් දසදහස් ගනනකින් සේවක සංඛ්‍යාව අඩු කිරීමට සහ දුෂ්කරතාවට පත් සමාගම්වලට ඇප දී බේරා ගනු පිනිස කම්කරුවන්ගේ සේවා කොන්දේසිවලට පහර දීමට, මාකස් සහ අනෙක් සමිති නායකයෝ 2009 දී එන්එල්ඒසීයේ දී එකඟ වූහ. එම වසරේ දී කම්කරුවන් 60,000කට පමන සිය රැකියා අහිමි විය.

මාකස්ගේ "ජාත්‍යන්තර උද්ඝෝෂනය” තුල ප‍්‍රධාන වශයෙන් අඩංගු වන දෙය නම්, නිදහස් වෙලඳ කලාප තුල පවතින කොන්දේසි "පරීක්ෂා කිරීම” සඳහා පසු ගිය වසරේ ශ‍්‍රී ලංකාවෙහි චාරිකා කල ඇමරිකානු ඒඑෆ්එල්-සීඅයි ඕව බඳු සමිති නිලධරයන් සමග ඇති කර ගන්නා සහයෝගිතාව යි. ඒඑෆ්එල්-සීඅයි ඕව එක්සත් ජනපදය තුල දී උත්සාහ දරමින් සිටින්නේ ආරක්ෂනවාදී වැඩ පිලිවෙලවල් සකසා ගැනීම සඳහා ය. එමෙන් ම, මූලෝපායාත්මකව වැදගත් ශ‍්‍රී ලංකා දිවයින සම්බන්ධ එක්සත් ජනපද අවශ්‍යතා ආරක්ෂා කරනු පිනිස සහ වර්ධනය වන චීන ආනුභාවයට එරෙහිව සටන් කරනු පිනිස කොලඹ ආන්ඩුවට ආර්ථික සහ රාජ්‍ය තාන්ත‍්‍රික පීඩනය යොදා ඇති ඔබාමා පාලනාධිකාරය සමග ද එය සමීපව වැඩ කරයි.

බ‍්‍රාටෙක්ස් නිෂ්පාදන මිල දී ගන්නා බහුජාතික සමාගම්වල සහාය ලබා ගැනීමට තමන් උත්සාහ දරන බව මාකස් පසු ගිය වසරේ ප‍්‍රකාශ කලේ ය. එහෙත්, ශ‍්‍රී ලංකාවේ නිදහස් වෙලඳ කලාප බඳු ලාභ ශ‍්‍රම වේදිකාවලින් සුපිරි ලාභ මිරිකා ගැනීමෙහි නියැලී සිටින්නේ එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් වැනිටි ෆෙයාර්, වියානියා, රෙඩ්කැට්ස් යූඑස්ඒ සහ ෆ‍්‍රැට් ඔෆ් ද ලූම් වැනි මෙම සමාගම් ම ය. මෙම නිදහස් වෙලඳ කලාප තුල, පහල වැටුප් ලබන කම්කරුවෝ 250,000කට වැඩි සංඛ්‍යාවක්-ඔවුන්ගෙන් සියයට 80ක් ස්ත‍්‍රී කම්කරුවන් ය-සේවයෙහි යොදවා සිටිති.

2006 සිට නිසි වැටුප් වැඩි වීමක් ලැබී නැති ශ‍්‍රී ලාංකික ඇඟලුම් කම්කරුවෝ දැන් අහස උසට නැගෙන ජීවන වියදම්වලින් පහර කමින් සිටිති. පසු ගිය ජනවාරි මාසයේ දී-ජනවාරි මාසයේ පැවති සියයට 6.8 සිට-නිල වාර්ෂික උද්ධමනය මාස 25ක් තුල ඉහල ම මට්ටමට, එනම් සියයට 7.8ට නැග්ගේ ය. ආහාර මිල ගනන් ඉතා වේගයෙන් ඉහල යමින් පවතින බව මහ බැංකුව පවා පිලිගෙන ඇත.

මුලු අපනයනවලින් සියයට 45ක වගකීම දරන්නේ ඇඟලූම් කර්මාන්තය නිසා, සමිතිවල ආධාරය ලබන රාජපක්ෂ ආන්ඩුව ඇඟලුම් කම්කරුවන්ගේ අරගල කුඩු කර දැමීමට අධිෂ්ඨාන සහගතව සිටී. පසු ගිය වසරේ කර්මාන්තය ලද මුලු අපනයන ආදායම එ.ජ.ඩො. බිලියන 3.3ක් විය-එනම්, ගෝලීය මූල්‍ය අර්බුදයේ සහ එක්සත් ජනපද සහ යුරෝපා සංගම් බදු සහන අහිමි වීමේ ප‍්‍රතිඵලයක් ලෙස 2009 දී ඇති වුනු සියයට 22ක පහත වැටීමෙන් සුලු වශයෙන් ගොඩ ඒමක් විය.

පසු ගිය වසරේ දී-අපේක්ෂිත ඉලක්කයව පැවති ඩොලර් බිලියන 1ට වඩා බොහෝ අඩුවෙන්-ඩොලර් මිලියන 375ක් පමනක් ලඟා කර ගත් ආන්ඩුව විදේශීය ආයෝජන ආකර්ෂනය කර ගැනීම සඳහා හැකි මුලු වැර යොදමින් සිටී. "කුලියට ගැනීමට සහ දොට්ට දැමීමට තිබෙන නිදහස අඩු වීමක් ලෙස ආයෝජකයන් දකින කම්කරු නීති” පිලිබඳව දෝෂාරෝපනය කල සන්ඩේ ටයිම්ස් ආර්ථික විශ්ලේෂක නිමල් සඳරත්න, "ශ‍්‍රී ලංකාව තව දුරටත් ලාභ ශ‍්‍රමය සහිත රටක් නො වේ. වඩා ලාභ ශ‍්‍රමය සහිත වියට්නාමය සහ බංග්ලාදේශය වැනි වෙනත් රටවල් පවතින බව පෙනේ” යැයි ද සඳහන් කලේ ය.

ශ‍්‍රී ලාංකික කම්කරු පන්තිය තුල වර්ධනය වන නොසන්සුන්කම පිලිබඳව තදින් කලබලයට පත්ව සිටින රාජපක්ෂ පාලන තන්ත‍්‍රය තමන් කම්කරු අරගල නොඉවසන බව පෙන්නුම් කරමින් සිටී. අත්‍යවශ්‍ය භාන්ඩවල මිල ඉහල දැමීම, නව බදු පැනවීම, සහනාධාර කැපීම සහ අධ්‍යාපන සහ සෞඛ්‍ය කප්පාදු ඇතුලු ජත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නියම කෙරුනු පටි තද කිරීමේ වැඩ පිලිවෙලවල් ක‍්‍රියාවට දැමීමට එය අදහස් කර ගෙන සිටී.

දරුනු පොලිස් මැදිහත් වීම වූකලි ලොව වටා ආන්ඩු සහ සේවා යෝජකයන් කර ගෙන යන වඩ වඩා ප‍්‍රචන්ඩකාරී වන මර්දනයේ කොටසකි. බංග්ලාදේශයේ සහ කාම්බෝජයේ ඇඟලුම් කම්කරුවන් ද ස්පාඤ්ඤයේ ගුවන් ගමන් පාලකයන් ද පසු ගිය මාස කිහිපය තුල දී මීට සමාන වර්ජන බිඳීමේ මෙහෙයුම් අත්දැක ඇත.

බ‍්‍රාටෙක්ස් කම්කරුවෝ කිහිප දෙනෙක් දරුනු සේවා කොන්දේසි සහ අප‍්‍රමානවත් වැටුප් පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියසමග කතා කලහ. චන්ද්‍රාවතී අදහස් දක්වමින් කියා සිටියේ, වැටුප් වැඩි වීමක් ලබා දෙනු වෙනුවට කලමනාකරනය පොලීසිය මුදා හැර ඇති බව යි. ඈ මෙසේ ද පැවසුවා ය:

"කලාපෙ හරියට වහල් කඳවුරක් වගේ. ඒ හින්දා, අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සඳහා සටන් කිරීමට කම්කරුවො එකමුතු වෙන්න ඕන.”

බොහෝ කම්කරුවන් සමිතියට එක් වීමට පසුබට කරවමින් කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා නො කර සිටීම පිලිබඳව චන්ද්‍රාවතී නිවෙක සහ පොසේසේස සමිතිය විවේචනයට ලක් කලේ ය.

"කම්කරුවන් සාමාජික මුදල් ගෙවනව උනාට අත් අඩංගුවට ගත්තු කම්කරුවන්ට ඇප දෙන්න සමිතිය උදව් කෙරුවෙ නැහැ, කම්කරුවන්ට සිද්ධ වුනා අරමුදල් එකතු කරන්න. වෙන කිසිම සමිතියක් අපේ උදව්වට ආවෙ නැහැ, අපි තනි වුනා. කලමනාකරනයටයි පොලීසියටයි අපේ අරගලය මර්දනය කරන්න පුලුවන් උනේ ඒක යි” ඈ පැවසුවා ය.

තවත් ස්ත‍්‍රී කම්කරුවෙකු වන මල්ලිකා මෙසේ විස්තර කලා ය: "අපි අතිකාල පැය දෙකකුත් එක්ක උදේ 7.30 ඉඳන් සවස 5.30 වෙනකල් වැඩ කරනවා. සමහර දවස්වල, පාන්දර 2 වෙනකල් අතිකාල කරන්න කියලා ඒ ගොල්ල අපට බල කරනවා.” බ‍්‍රාටෙක්ස් සමාගමෙහි වසර 20කට වැඩි කාලයක් සේවය කර තිබෙන කම්කරුවන්ට මසකට ලැබෙන්නේ රුපියල් 20,000කට ආසන්න වැටුපක් බවත් නමුත් සාමාන්‍ය මාසික වැටුප රුපියල් 13,000-15,000 බවත් ඇය පැවසුවා ය. ”ඒකෙනුත් රුපියල් 3,000ක් බෝඩිමටයි 7,000ක් විතර කෑමටයි ගෙවන්න අපට සිද්ධ වෙනව. ලෙඩට දුකට වියදම් කෙරුවට පස්සෙ අපේ අතේ ඉතිරි වෙන දෙයක් නැහැ. සමහර කම්කරුවො බෙහෙත් ගන්න තමන්ගෙ රත්තරන් බඩු උගස් කරල තියෙනව.”

දෙමල බෙදුම්වාදී එල්ටීටීඊ ව්‍යාපාරයට එරෙහි යුද්ධය අවසන් වුනු පසුව ජීවන තත්ත්වයන් වැඩි දියුනු වනු ඇති බවට ආන්ඩුව කල ප‍්‍රකාශ හෙලා දුටු මල්ලිකා මෙසේ කියා සිටියා ය: "යුද්ධයෙන් පස්සෙ මහජනයාට සහනයක් සලසනව ය, වැටුප් වැඩි කරනව ය කියලා ආන්ඩුව පොරොන්දු උනා. ඒත් අපට ලැබිච්ච දෙයක් නැහැ. ඒ උනාට ජීවන වියදම අහස උසට නගිනවා.”

බ‍්‍රාටෙක්ස් කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා පෙරට එන ලෙසත් සියලු පොලිස් චෝදනා ඉවත දමා සේවයෙන් ඉවත් කල සියලු කම්කරුවන් යලි සේවයේ පිහිටුවිය යුතු යැයි බල කරන ලෙසත් සමාජවාදී සමානතා පක්ෂය සියලු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී. මූලික අයිතිවාසිකම්, හොඳ පඩි සහිත රැකියා සහ යහපත් ජීවන තත්ත්වයන් සඳහා කරන සටන, ශ‍්‍රී ලාංකික ප‍්‍රභූ පැලැන්තියේ ලාභ අවශ්‍යතා සමග වෙලී පැටලී තිබෙන නිවෙක සහ පොසේසේස හෝ වෙනත් සමිති හරහා පෙරට ගෙන යා නොහැකි බව සක් සුදක් සේ පැහැදිලි ය. කම්කරුවන් තමන්ගේ ම ක‍්‍රියාකාරී කමිටු ගොඩ නගා ගෙන, සමාජවාදී ප‍්‍රතිපත්ති සඳහා සහ කම්කරු පන්තියේ අවශ්‍යතා අනුව සමාජය ප‍්‍රතිසංවිධානය කරන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කරන සටනේ කොටසක් ලෙස, ශ‍්‍රී ලංකාව තුල සහ ජාත්‍යන්තරව සිටින අනෙක් කම්කරු කොටස් වෙත හැරී ගත යුතු ය.