එක්සත් ජනපදය හා යුරෝපය ලිබියානු ආක‍්‍රමනය සඳහා සූදානම දැඩි කරයි

US and Europe step up preparations for intervention in Libya

By Patrick O’Connor , 26 February 2011

ඔබාමා පරිපාලනය විසින් 25 දා ලිබියාවේ මුවම්මර් ගඩාෆි තන්ත‍්‍රයට එරෙහිව, එක්සත් ජනපද මිලිටරි සහයෝගීතාවය අත්හිටුවීම හා මිලිටරි උපාංග අලෙවිය තහනම් කිරීම ඇතුලු ඒකපාර්ශවික සම්බාධක මාලාවක් නිවේදනය කලේය. වොෂින්ටනය ටි‍්‍රපොලි නුවර එක්සත් ජනපද තානාපති කාර්යාලය ද වසාදැමූ අතර ජ්‍යෙෂ්ඨ ලිබියානු නිලධාරීන් විසින් සිදු කරන කුමන හෝ මුදල් හුවමාරු කිරීම් නිරීක්ෂනය කරන ලෙස ජාත්‍යන්තර මූල්‍යායතන වලින් ඉල්ලා සිටියේය.

එලඹෙන දින කිහිපය තුල එක්සත් ජාතීන් හරහා පනවනු ඇතැයි අපේක්ෂිත බහුපාර්ශවික සම්බාධක වලට පූර්වයෙන් මෙම සම්බාධක නිවේදනය කරනු ලැබින. "මෙය පලමු පියවරයි. සත්තකින්ම අපගේ විකල්පයන් ඉදිරියට ගෙනයාම පිලිබඳව අපි විමසිල්ලෙන් සිටින්නෙමු” යයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් ‍ජෙයි කානි ප‍්‍රකාශ කලේය.

රොයිටර්ස් මාධ්‍යයට අනුව, බි‍්‍රතාන්‍ය හා ප‍්‍රන්සය විසින් සකස් කරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ කෙටුම්පත් යෝජනාව ගඩාෆි තන්ත‍්‍රයේ ප‍්‍රචන්ඩ ක‍්‍රියා "මානව වර්ගයාට එරෙහි අපරාධ ගනයේ ලා සැලකෙන බව” ප‍්‍රකාශ කරයි. එය හේග් නගරයේ ජාත්‍යන්තර අපරාධ අධිකරනය වෙත යොමු කිරීමට නියමිත ය. එහි ලිබියානු තානාපතිවරු ඉවත් වීමෙන් පසුව, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ද ලිබියාව පිලිබඳ යෝජනාවක් සලකා බලමින් සිටියි. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් 28 දා කවුන්සිලයේ රැස්වීමට සම්බන්ධ වීමට නියමිතය.

විවිධාකාර රාජ්‍යතාන්ත‍්‍රික උපාමාරු පිටුපසින් ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්, මිලිටරිමය වශයෙන් ලිබියාවට මැදිහත් වීම සඳහා සිය ඒකාබද්ධ සැලසුම් කඩිනම් කර ඇත. ඔබාමා පාලනාධිකාරය "සියලු විකල්ප විවෘතව ඇත” යන සිය අවධාරනය දිගටම පවත්වාගෙන යයි. 24 දා බහරේන්හි දී කථාකරමින් එක්සත් ජනපද එකාබද්ධ මාන්ඩලික ප‍්‍රධානීන්ගේ සභාපති අද්මිරාල් මයික් මුලන්, "අප නිතරම සිදු කරන පරිදි අපගේ ශක්‍යතා හා මෙහෙයුම් පරාසයන් සියල්ල දැන් විමසුමට ලක් කරමින් සිටින්නෙමු.” යයි කියා සිටි ඔහු, තමා ජනාධිපති ඔබාමා වෙත "අපට සිතාගැනීමට හැකිතාක් දුරට හා ශක්තිමත් මෙන්ම සවිස්තරාත්මක විකල්ප පිලිබඳව” වාර්තාවක් ඉදිරිපත් කරන බව පැවසී ය.

යුරෝපීය බලවතුන් ද සිය මිලිටරි බලය ගොනුකරමින් සිටියි. සිය ආන්ඩුව නිරිතදිග ලිබියාවේ කොටුවී සිටින ඉතාලියානුවන් ඉවත් කර ගැනීමේ "මිලිටරි මෙහෙයුමක්” සකසා තිබෙන බව එරට ආරක්ෂක ඇමති ඉග්නාසියෝ ලා රසියා 25දා ස්කයි ටීජී24 මාධ්‍ය නාලිකාව වෙත පවසා තිබුනි. එලෙස ම බි‍්‍රතාන්‍ය ද විශේෂ එස්ඒඑස් හමුදා බලඇනියක් ටි‍්‍රපොලි වෙරලේ සිට කිමී. 360ක් දුරින් පිහිටි මෝල්ටාහි රඳවා ඇති අතර ආරක්ෂක නාවික යාත‍්‍රා දෙකක් ද මධ්‍යධරනී මුහුද වෙත යවා තිබේ. බි‍්‍රතාන්‍ය මාධ්‍ය, "අනෙකුත් ආම්පන්න මාලාවක්” පිලිබඳව වාර්තා කර තිබේ. ඊට, චිනූක් හෙලිකොප්ටර්, හර්කියුලීස් හා සී17 ගුවන් යානා ද ඇතුලත් ය.

25 දා සවස බ‍්‍රසල්ස්හි දී හදිසි නේටෝ රැස්වීමක් පවත්වා ඇත. ඉන් පසුව පලවූ ප‍්‍රකාශයට අනුව, නේටෝව "ඕනෑම අවස්ථාවකට සූදානම් වීම සඳහා අදහස් හුවමාරු කර ගත්” බව සඳහන් වෙයි. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අන්ඩර්ස් ෆෝ රස්මුසෙන් ඊට පෙර කියා තිබුනේ තම සංවිධානයට "මෙවැනි තත්වයන්හි දී ප‍්‍රයෝජනයට ගත හැකි ආම්පන්න” තිබෙන බවය.

ඊස්රායල් මිලිටරි බුද්ධි අංශයට සම්බන්ධ ඩෙබ්කා ෆයිල් වෙබ් අඩවිය, "පෙබරවාරි 24 දා එක්සත් ජනපද, බි‍්‍රතාන්‍ය හා ප‍්‍රන්ස බුද්ධි අංශ නිලධාරීන් ද ඇතුලු මිලිටරි උපදේශකයින් සිය ගනනක් යුද නැව්වල හා මිසයිල් බෝට්ටුවල සිට බෙන්ගාසි හා ටොබ්රුක් යන වෙරලබඩ නගරවලට ගොඩබස්වා ඇති” බව කියා සිටියේ ය. කෙසේ වෙතත් මෙම වාර්ථාව සනාථ කරන වෙනත් සාක්ෂි ලබාගත නොහැකි ය.

ඕනෑම මිලිටරි මෙහෙයුමක් ප‍්‍රධාන කොටම යොමු වනු ඇත්තේ ආර්ථික හා මූලෝපායික වශයෙන් වැදගත්වන ලිබියාවේ තෙල්බිම් සුරක්ෂිත කර ගැනීමට ය. ඇමරිකානු, බි‍්‍රතාන්‍ය, ප‍්‍රන්ස, ඉතාලි හා ජර්මන් තෙල් සමාගම් වලට ලිබියාවේ උසස් වර්ගයේ තෙල් සංචිතවල ලාභදායක පංගු හිමිව තිබේ. ඉරාක හා ඇෆ්ගනිස්ථාන යුද්ධවලින් පසුව මැද පෙරදිග, උතුරු අප‍්‍රිකාවේ හා මධ්‍යම ආසියාවේ බලශක්ති සම්පත් මත පාලනය පවත්වාගෙන යාම පිනිස මිලිටරි බලය උපයෝගී කර ගැනීමේ වොෂින්ටනයේ ව්‍යායාමය මඟින් සලකුනු කරන්නේ මෙහෙයුම විජිතවාදී ස්වභාවයක් ගන්නා බවයි.

ලිබියාවේ තත්වය, ලෝක තෙල් මිල කම්පනයකට හා එක්සත් ජනපද ආර්ථිකයේ තියුනු පසුබෑමකට තර්ජනය කරයි. මෙම උත්සුකයන් 24 දා පැවති "රැකියා හා තරගකාරිත්වය සඳහා වන ජනාධිපති කවුන්සිල” රැස්වීමකට සහභාගී වූ ව්‍යාපාරික විධායකයින් අමතා ඔබාමා පැවැත් වූ කථාවෙන් එලිමහනට පැමිනියේ ය. තෙල් මිල ගැන කථා කරමින් ඔහු කියා සිටියේ "සැබවින්ම අප සිතන්නේ, ලිබියානු තත්වයෙන් නිදහස් වී ස්ථාවරත්වය ඇතිකල හැකි බවයි” යනුවෙනි. භාන්ඩාගාර ලේකම් තිමෝති ගේත්නර්, අනෙකුත් ඔපෙක් සාමාජික රටවල අතිරික්ත තෙල් නිපදවීමේ හැකියාව අවධාරනය කරමින් මෙම උත්සුකයන් සමනය කිරීමේ උත්සාහයක නිරත විය.

ලිබියාවේ එක්සත් ජනපද මිලිටරි ක‍්‍රියාන්විතයන්ට, ගඩාෆිගේ ප‍්‍රචන්ඩත්වයට එරෙහිව එරට ජනතාව ආරක්ෂා කිරීම හෝ "ප‍්‍රජාතන්ත‍්‍රවාදය” පිහිටුවීම සමඟ මොනම සම්බන්ධයක්වත් ඇත්තේ නැත. තන්ත‍්‍රය පලමුවෙන් විරුද්ධවාදීන්ට එරෙහිව භීෂනය මුදාහල අවස්ථවේ ඔබාමා ඊට දැක්වූයේ කිසිවක් නොපවසා ගඩාෆිගේ බලවේගයන්ට ඉක්මනින්ම යලි පාලනය යථා තත්වයට ගෙන ඒමට හැකිවේදැයි බලා සිටීම ය. මෑත වසර වලදී ආඥාදායකයා එක්සත් ජනපදය හා යුරෝපීය බලවතුන් සමඟ සමීප මිත‍්‍ර සම්බන්ධයක් පවත්වාගෙන ගියේය. ලිබියාවේ විදේශ තෙල් සමාගම්වල කටයුතු මත මුලින් පනවා තිබුනු බාධක ඉවත්කරවා ගනු වස් ඔහු ඊනියා ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය සඳහා සිය සම්පූර්න සහයෝගය පලකොට තිබුනි.

උතුරු අප‍්‍රිකාවේ කම්කරු හා තරුන නැගිටීම ලිබියාව තුලට කඩා වැදෙනු බටහිර බලවතුන් බලා සිටියේ සන්ත‍්‍රාසයෙනි. ගඩාෆි ආන්ඩුවේ මනුෂ්‍ය ඝාතන පිලිබඳ වාර්තා ප‍්‍රථම වරට පලවන්නට පටන්ගත් කල එය නොදැක්කා සේ නිහඬව සිටියේ ඔබාමා පමනක් නො වේ. ගාඩියන් පත‍්‍රයේ අද පලවූ වාර්තාවකට අනුව, බි‍්‍රතාන්‍ය ආන්ඩුව තම පුරවැසියන් එරටින් ඉවත් කර ගැනීමේ කටයුතු ප‍්‍රමාද කලේ ප‍්‍රධාන කොට ම වානිජ්‍ය කරුනු මුල් කර ගෙන ය. එනම් හෙලි නොකල නිලිධාරීන් පුවත්පතට ප‍්‍රකාශකොට ඇත්තේ අගමැති ඩේවිඩ් කැමරන්ගේ කොන්සවේටිව්-ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආන්ඩුව මේ පිලිබඳව "දෙගිඩියා සහගත වූයේ, තමන් තවමත් ඉතා ලාභදායක ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින හා අනාගතයේදී බෙහෙවින් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන එරටෙන්, කඩිමුඩියේම බි‍්‍රතාන්‍ය පුරවැසියන් ඉවත් කර ගැනීමට තීරනය කලහොත් ලිබියාව කුමන ප‍්‍රතිචාරයක් දක්වනු ඇත්දැයි සැලකිලිමත් වීම නිසාය.”

ගඩාෆිට ලිබියානු භූමි ප‍්‍රදේශයෙන් වැඩි කොටසක පාලනය අහිමිවීම හා විපක්ෂය තලාදැමීමට ඔහු අපොහොසත් බව හෙලිදරව් වීමෙන් පසුව පමනක් එක්සත් ජනපදය හා යුරෝපීය ආන්ඩු දැන් ඔහුට එරෙහිව යාමට පටන්ගෙන ඇත. ලිබියාව තුල බලයේ රික්තයක් හෝ දිග් ගැස්සුන සිවිල් යුද්ධයක් සිය ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා කෙරෙහි ඇති කල හැකි ප‍්‍රතිවිපාක කෙරෙහි ඔවුන් බියපත්ව සිටිති.

ආරම්භයේදී "පියාසර තහනම්” කලාපයක් ඇටවීම පිලිබඳ දැනට පැවැත්වෙන සාකච්ඡා අතරතුර මිලිටරි මැදිහත්වීමක් සිදුවන්නේ ද යන්න ඉදිරියේදී දැකගත හැකිවනු ඇත. හෙරිටේජ් පදනමේ මැද පෙරදිග කටයුතු පිලිබඳ විශේෂඥයෙකු වන ජේම්ස් ෆිලිප්ස් යූඑස්ඒ ටුඩේ වෙත පැවසුවේ "එය මිලිටරි ක‍්‍රියාවකට සමාන වන බවත්, එය අවසාන විකල්පය ලෙස යොදාගනු ඇති බවත්” ය. 1990 ගනන්වල ඉරාකයේ ඉලක්කවලට එල්ල කල එක්සත් ජනපදයේ ක‍්‍රමානුකූල බෝම්බ ප‍්‍රහාර "පියාසර තහනම්” කලාපවල ප‍්‍රචන්ඩ ස්වභාවය පෙන්නුම් කරයි. ලිබියාවට ඉහලින් එවැන්නක් ඇටවීමේ නිසැක ප‍්‍රතිපලය වනු ඇත්තේ බිහිසුනු ගුවන් ප‍්‍රහාරයි.

එක්සත් ජනපද හා ජාත්‍යන්තර මාධ්‍ය, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ මානවවාදී මවාපෑම්, එනම්, 1990 ගනන්වල බෝල්කන් කලාපයට එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් සිදුකල මැදිහත්වීම් ආවරනය කිරීම සඳහා දඩමීමා කරගත් හේතු ගෙතීමේ කර්තව්‍ය පිටුපස පෙලගැසී සිටිති. ගඩාෆි හෙලා දැකීමට එවක දී එක්සත් ජනපද ජනාධිපති රොනල්ඞ් රේගන් යොදාගත් ප‍්‍රකාශයක් සිහිගන්වන "ලිබියානු පිස්සු බල්ලාගේ හොම්බ බැඳීමට කාලය එලඹී ඇත” යන සිරස්තලය 22 දා ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රය විසින් යොදා ගත්තේය. ලන්ඩනයේ පලවන තවත් ප‍්‍රකාශනයක්, වහාම පියාසර තහනම් කලාපයක් හා ටියුනීසියව හා ඊජිප්තුව දෙසින් "මානවවාදී ප‍්‍රවිෂ්ටයන්” විවෘත කරන ලෙස ඉල්ලා සිටියේය.

"ගඩාෆි නතර කිරීම” යන සිරස්තලය සහිත කතුවැකියකින් නිව් යෝර්ක් ටයිම්ස්, පත‍්‍රය ද එවැනිම තානයකින් හඬ නැඟුවේ ය. මිලිටරි මැදිහත්වීමක් නොඉල්ලුවා පමනක් වුවත් පූවත්පත, "බොස්නියා, කොසෝවෝ හා රුවන්ඩාවෙන් පසුව එක්සත් ජනපදය හා එහි මිතුරෝ, මහා ජනසංහාර නතර කිරීම පිනිස තමන් දැඩි ලෙස ක‍්‍රියා කරන බවට දිව්රුම් දී සිටිති. එක දෙයක් නිසැක ය. එනම්, ලෝකය කල් මරනතාක් දුරට තව තවත් මිනිසුන් මිය යනු ඇති බවයි”.

මෙම ප‍්‍රකාශ අතිශයින්ම නරුම මෙන්ම කුහක ය. දශකයකටත් වැඩි කාලයක් ඉරාකය ආක‍්‍රමනය කිරීමේ එක්සත් ජනපද නිමිත්ත ලෙස යොදාගත් "ජනසංහාරක අවි” පිලිබඳ ව්‍යාජය තොරොම්බල් කිරීමේ ප‍්‍රමුඛ ක‍්‍රියා කලාපයක් ඉටු කිරීමෙන් පසුව නිව් යෝර්ක් ටයිම්ස්, තෙල් වලින් පොහොසත් තවත් රටක් වන ලිබියාවට මැදිහත් වීමේ තවත් යටත් විජිතවාදී ව්‍යාපෘතියක් සඳහා සහාය ගොනුකිරීමේ යෙදී සිටියි.