ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මරලතෝනිය

The death agony of American democracy

9 May 2011

පසුගිය සතියේ ඔබාමා පාලනාධිකාරය හා මාධ්‍ය ඔසාමා බින් ලාඩ්න් මරාදැමීම පිලිබඳව ඇමරිකානු ජනතාව තුල උද්යෝගය දැල්වීමේ උත්සාහයක නිරතව සිටියේ ය. බින් ලාඩ්න්ගේ මරනය නිවේදනය කරමින් කල ඔබාමාගේ කථාව අවසන්වීමත් සමග ම මාධ්‍ය එම ප‍්‍රවෘතිය සැමරීමට ඉබේම වාගේ ධවල මන්දිරය අවට එක්රොක්වන සිසුන්ගේ වීඩියෝ දර්ශන විකාශනය කලේය. ඉතා පැහැදිලිව ම ඉන් අදහස් කලේ ඝාතනය කෙරෙහි ඉහවහා ගිය මහජන සහයෝගය ප‍්‍රදර්ශනය කිරීම වුවත් දර්ශනයේ ප‍්‍රතිරූපමය වටිනාකම දක්නට ලැබුනු බියර් බෝතල් හා ප‍්‍රසිද්ධියේ වෙරිවීමේ සලකුනුවලින් කෙලෙසී ගියේ ය.

සැබවින්ම බින් ලාඩ්න් මරාදැමීම මාධ්‍යයේ ප‍්‍රකාශයට පත්වූ ඉහවහා ගිය උද්යෝගය අහලකටවත් ලංවිය හැකි කිසිවක් පුලුල් ඇමරිකානු ජනතාව අතර පුබුදුවාලූ බවට මොනම සලකුනක් වත් නැත. මනාව පිලියෙල කල සිදුවීම් සුලු සංඛ්‍යාවක් හැරුනු කල පසුගිය සතිය තුල ද ඇමරිකානු ජනතාව ගත කලේ ඔවුන් සාමාන්‍යයෙන් ගතකරන ආකාරයේ එන්ට එන්ටම දුෂ්කර වන සුපුරුදු ජීවිතය ම ය. බින් ලාඩ්න්ගේ මරනය ගැන පසුතැවීමක් ඔවුන්ට නොතිබුනු නමුත් ඔහුගේ මරනය මුල්කොටගත් මාධ්‍ය සැමරුමට සහභාගී වීමට හේතුවක් ද ඔවුන්ට පෙනුනේ නැත. ජනතාව අතර ප‍්‍රජාතන්ත‍්‍ර සවිඥානකත්වය නිවා දැමීමට පසුගිය තිස් වසර පුරා දරන ලද සියලු උත්සාහයන් තිබිය දීත් එය තවමත් නොනැසී පවතියි. "ඉලක්ක කල ඝාතන” සංස්කෘතිය ජනප‍්‍රිය එකක් නොවේ.

ජනතාවගේ නොසංසුන්කම ඉවෙන් මෙන් දැනගත් මාධ්‍ය වඩවඩා යුදවාදී ප‍්‍රතිචාරයක් දැක්වීය. "දුෂ්ටකම මරාදැමීමෙන් අප දුෂ්ටයින් වන්නේ නැත” යයි මොරීන් ඩවුඩ් බින් ලාඩ්න් ඝාතනයේ නීත්‍යානුකූල භාවය පිලිබඳව පලවූ ජනතාවගේ සැක සාංකාවන්ට පහර දුන්නාය. මිනීමැරුමේ නීත්‍යානුකූල භාවය පිලිබඳ "වැදගැම්මකට නැති” විවාදය ඈ හෙලාදුටුවාය. "මට අවශ්‍ය වන්නේ මතකය හා යුක්තිය හා පලිගැනීමයි” ඇය කෑගැසුවාය. ප‍්‍රජාතන්ත‍්‍ර මූලධර්ම තුල අන්තර්ගත පරමාදර්ශයක් වන යුක්තිය හා අත්තනෝමතික මැර කල්ලි පාරට බැස්සවීම පිනිස අනුගමනය කර තිබෙන පලිගැනීම අතර පරස්පර විරෝධය ඩවුඩ් මෙනෙවිය හඳුනාගෙන නැති සේය.

"දෙවැනි අනුමානය පිටුපස ඇති සමහර සැබවින්ම උමතු අභ්‍යුපගමයට අනුව සියලු මිනීමැරීම් එක සමාන වන්නේ නම් කෙසේ හෝ ඔසාමා ඝාතනය කිරීම නිසා අප ද ඔසාමා වැන්නවුන් බවට පත්වෙයි”.

ඩවුඩ් ඇගේ ප‍්‍රකාශයෙහි උත්ප‍්‍රාසය අහිමි කර ගෙන තිබේ. සැබවින්ම ඝාතනය සුවිශේෂී හා නීති විරෝධී ස්වභායේ මැරීමකි. එය රාජ්‍යයක්, විශේෂයෙන්ම, එක්සත් ජනපදය විසින් ක‍්‍රියාවට නඟන කල දුරදිග යන දේශපාලන ඇඟවුම් ගැබ්කර ගනියි. ඒ ප‍්‍රජාතාන්ත‍්‍රික හා නීතිමය ප‍්‍රතිමානයන් පිලිබඳ වඩාත් ආන්තික උල්ලංඝනය ලෙස එම ක‍්‍රියාව හඳුනා ගන්නා නිසා ය. 1960 ගනන්වල දේශපාලන ඝාතනයන්ට එක්සත් ජනපදයේ සම්බන්ධය නික්සන් පරිපාලනයේ මුලූමහත් සාපරාධිත්වයටත් එක්සත් ජනපදය තුල ම එහි ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උල්ලංඝනය කිරීමටත් තුඩුදුන් නීතිවිරෝධී ක‍්‍රියාදාමයක කොටසක් විය.

ෆ‍්‍රෑන්ක් චොච්ටෙල්ගේ සභාපතිත්වයෙන් යුත් සෙනේට් කමිටුවේ 1976 ප‍්‍රකට වාර්තාව නිශ්චිත ලෙස ම ඝාතනයන් "ඇමරිකානු මූලධර්ම ජාත්‍යන්තර නියාමයන් හා සදාචාරයට පරස්පර විරෝධී වන්නේ” යයි හෙලාදකිනු ලැබිනි.

ඝාතනය මුල්කොටගත් පැටලිලි ගැන සාවධානවූ ඔබාමා පරිපාලනය බින් ලාඩ්න් මැරීමෙන් මතු කෙරුනු නීතිමය ගැටලු මගහැරීමේ වෑයමක නිරතවෙමින් ඔහු බිහිසුනු අවි ගැටුමක යෙදී සිටිය දී අවි අතැතිව ම මරාදමා තිබෙන බව කියා සිටියි. පසුගිය සතිය තුල මෙම මුල් අනුවාදය අතහැර දමා ඇත. අවි ගැටුමක් සිදු නොවූ අතර බින් ලාඩ්න් නිරායුධව සිටියේය.

2005 පලකරන ලද "ඔසාමා බින් ලාඩ්න් ඉලක්ක කිරීම: එක්සත් ජනපද විදෙස් පිලිවෙතේ මෙවලමක් ලෙස ඝාතනය පිලිබඳ නීත්‍යානුකූල භාවය විමසා බැලීම” යන ඩියුක් ලෝ රිවිව්හි (නීති විමර්ෂනය) ලිපියෙන් සපයා ඇති නීතිය පිලිබඳ වඩාත් ලිහිල් අර්ථකථනයකට අනුව පවා බින් ලාඩ්න්ගේ මරනය සම්බන්ධ සැබෑ කාරනා විසින් ඔබාමා පරිපාලනයේ ක‍්‍රියාව හෙලා දැකීමට ලක්වෙයි. යුද්ධයක තත්වයන් යටතේ ඝාතනයෙහි නීත්‍යානුකූල භාවය විමසා බලන ප‍්‍රකාශයක් තුල හොවාඩ් ඒ වොච්ටෙල් යන එම කතුවරයා මෙසේ පවසයි: ”නිදසුනක් ලෙස ඔසාමා බින් ලාඩ්න් යටත්වීමේ ක‍්‍රියාවලියක නිරතව සිටියේ නම් එක්සත් ජනපද සෙබලෙකු ඔහු මරාදැමීම නීති විරෝධී වනු ඇත”. එහෙත් හරියට ම සිදුව ඇතැයි පෙනෙන්නේ ද එය ම ය.

ඩවුඩ් කිසිදු ලෙසකින් හෝ මැරීම ආරක්ෂා කිරීම ඇගේ නීතිමය විචක්ෂන භාවයන් මත පදනම් නොකරයි. සරලව, මේ සියලු කලබල කුමක් පිලිබඳව ද යන්න ඇය දකින්නේ නැත. ඇය හා ඒ කාරනයට අදාලව නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රය නීති ප‍්‍රශ්න කිසිදු අදාලත්වයක් නැති ලෙස සලකා මැරීම පිලිබඳ විවාද හුදෙක් "වැදගැම්මකට” නැති බව ලියයි.

1988 අපේ‍්‍රල් මාසයේදී ටයිම්ස් පත‍්‍රය අබු ජිහාඩ් යනුවෙන් ද ප‍්‍රකටව සිටි කලීල් අල් වසීර් යන පලස්තීන විමුක්ති සංවිධානයේ මිලිටරි නායකයා ඊස්රායලය විසින් ඝාතනය කල අවස්ථාවේ දැක්වූ ප‍්‍රතිචාරය සිහිපත් කිරීම වටනේය. ඊස්රායලය නිල වශයෙන් මැරීමේ වගකීම භාර නොගත් නමුත් අබු ජිහාඩ්ගේ ඝාතනයට නියෝග දුන්නේ ෂමීර් ආන්ඩුව බව සැලකෙන අතර නිල නොවන ප‍්‍රකාශයන්හි දී එම සිද්ධිය ගාසා හා බටහිර ඉවුරේ වාඩි ලා ගත් ප‍්‍රදේශයන්හි පලස්තීන නැගිටීම සංවිධානය කර එය මෙහෙයවූ ත‍්‍රස්තවාදි නායකයෙකුට එරෙහිව ගත් ආරක්ෂක පියවරක් ලෙස යුක්තිසහගත කලේය.

එවක නිව් යෝර්ක් ටයිම්ස්හි ප‍්‍රධාන තීරු රචකයා වූ ටොම් විකර් කෝපාවිෂ්ට ප‍්‍රකාශයක් තුල ඝාතනය පිලිබඳව මෙසේ පැවසීය: "ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා නීතිගරුක අන්ඩුවක් වෙතින් ඉල්ලා සිටින යහපත් චර්යාව උල්ලංඝනය කෙරී ඇත. ඊස්රායලයේ ඉහල ම හා වඩාත්ම වග කිවයුතු නායකයින් සිතා මතාම දේශපාලන ඝාතනයක් අනුමත කිරීමේ අදහස” ගැන ඔහු විමතිය පල කලේය.

"ඊස්රායලය වෛරී සහගත සතුරන් විසින් වටලනු ලැබූ මුලුමනින්ම පාහේ යුද්ධයේ රාජ්‍යයක් ලෙස පවතින්නේය” යන ඝාතනය පිලිබඳ යුක්තිකරනය විකර්ස්ගේ තීරුවෙන් ප‍්‍රතික්ෂේප කෙරුනි. ඔහු මෙසේ කීවේය: "ගනන් බලා කරන මිනීමැරුම ත‍්‍රස්තවාදයේ මිස යහපත් සමාජයන්හි අවියක් නොවේ. එවැන්නක් සෑම විටම නීති විරෝධී අමානුෂික හා සදාචාර විරෝධී වනු ඇත”.

විකර්ස් පලකල මනෝභාවයන් අද දිනයේ මාධ්‍ය සංස්ථාපිතයන් තුලින් සොයාගත නොහැකි ය. පසුගිය විසිපස් වසර දැකගත හැක්කේ ඇමරිකානු පාලක ප‍්‍රභූවේ ප‍්‍රජාතන්ත‍්‍රය කෙරේ කැපවීමෙහි බිඳ වැටීමයි.

මෙයට හේතුව රැඳී ඇත්තේ එක්සත් ජනපදයට ත‍්‍රස්තවාදයෙන් එල්ල වනවා යයි කියන "තර්ජනය” තුල නොවේ. සැප්තැම්බර් 11 පෙර අවධිය වන විට පවා ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රය පැවතුනේ දිරාපත්වීමේ ඉහල තත්වයක ය. 1990 ගනන් අගභාගයේ තේරී පත්වූ ජනාධිපතිවරයෙකු බලයෙන් පහකිරීමේ කුමන්ත‍්‍රනයක්; එනම් ක්ලින්ටන්ට එරෙහි දෝෂාභියෝගය සාර්ථක වීමට ඔන්න මෙන්න කියා තිබුනි. 2000 වසරේ මැතිවරනය අවසන් වූයේ තමන්ගේ ඡන්දය ගනන් කිරීමට ලක් කිරීම සඳහා පුරවැසියන්ට ඇති ඉතාමත් ම මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතියක් ශ්‍රේෂ්ඨාධිකරනය විසින් මඩිනු ලැබීමෙනි.

ප‍්‍රජාතන්ත‍්‍රයේ දිරාපත්වීම 9/11 සිදුවීම් වලින් වේගවත් කරනු ලැබින. එම දිනය අබිරහස් ලෙස වැසී ගොසිනි. යුද්ධ දියත් කරනු ලැබුවේ දැවැන්ත මුසාවාදයන්ගේ පදනම මත හා නිමක් නැතිව ත‍්‍රස්තවාදී තර්ජනයේ රැවටිල්ල පසුගිය දශකය පුරා ව්‍යවස්ථාමය මූලධර්ම හා අයිතීන් ඉවතට ඇද දැමීම යුක්තිසහගත කිරීම පිනිස හුවාදක්වනු ලැබීම මතය.

මෙම ප‍්‍රතිගාමී ක‍්‍රියාවලියට හේතු කවරේ ද? කුඩා ප‍්‍රභූ ස්ථරයක් විසින් දැවැන්ත ධන සම්භාරයක් පොදිගසා ගැනීම හා ප‍්‍රජාතන්ත‍්‍රය කෙරෙහි එහි පෙර නොවූ විරූ නිර්ලජ්ජිත සතුරුකම අතර සම්බන්ධය නොදැකීමට නම් යමෙක් අන්ධ විය යුතුය.

මෙම සන්දර්භය තුල "දේශපාලනයේ ස්වසන්තානමාත‍්‍රවාදය” යන හිසින් තීරු රචක ඩේවිඩ් බෲක්ස් විසින් නිව් යෝර්ක් ටයිම්ස් හි පසුගිය සතියේ පලකල තවත් ලිපියක් සැලකිල්ලට ගැනීම කාලෝචිත වෙයි. ජනරජයෙහි මූලාරම්භකයින්ගේ දැක්ම පිලිබඳ අවවර්තනයක් (මුලාවක්) ලෙස ප‍්‍රජාතන්ත‍්‍රය එය හෙලා දකියි. ” (ජනරජයක් හා ප‍්‍රජාතන්ත‍්‍රයක් අතර) විලක්ෂනය පසුගිය දශක කිහිපය මුලුල්ලේ අහෝසි වී ගොස් ඇතත් එය වැදගත් දෙයකි.”

බෲක්ස් මෙසේ ද පවසයි: "වසර ගනනාවක් තිස්සේ ජනපදයේ මූලධර්ම ප‍්‍රජාතන්ත‍්‍රයේ මූලධර්ම විසින් ගිලදමා තිබේ. මහජන අභිමතයේ මාවත අවුරා සිටින ඕනෑම ආයතනයක් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හා අවජාතක යයි සලකමින් ඒ කෙරෙහි අපි දැන් නොඉවසිලිමත්ව සිටින්නෙමු”.

ඔහු වැලපෙන ප‍්‍රජාතන්ත‍්‍රකරනයේ ක‍්‍රියාවලිය පිලිබඳව බෲක්ස් අඩමාන ය. ඔහු කතා කරන්නේ ”පසුගිය දශක කිහිපය හා වසර ගනනක් මුලුල්ලේ” ගැන පමනි. සැබවින්ම ඔහු, "ජීවිතය නිදහස හා සතුට සොයා යාම” යන අන්සතු කල නොහැකි අයිතීන් ප‍්‍රකාශයට පත් කරන ජෙෆර්සන්ගේ නිදහසේ ලියවිල්ලෙන් අනුප‍්‍රානය ලබන්නා වූ සමස්ත ප‍්‍රජාතන්ත‍්‍ර සම්ප‍්‍රදායන්ම හෙලා දකියි.

ටයිම්ස්හි දේශපාලන දර්ශනවාදියා ලෙස කටයුතු කරන බෲක්ස් ඉතිහාසය පිලිබඳව වඩාත් නිශ්චිත වීම පිනිස සිය විවේචන ලින්කන් විසින් ගෙටිස්බර්ග්හි දී ප‍්‍රකාශ කල "නිදහසේ නව උපත” වෙත යොමු කරයි. ලින්කන් සිය පරමාදර්ශය මෙසේ අවධාරනය කලේය: "ජනතතාව සඳහා ජනතාව විසින් පත් කර ගන්නා ජනතාවගේ ආන්ඩුව” මෙම පුලුල් ප‍්‍රජාතන්ත‍්‍ර දැක්ම බෲක්ස්ට ඇතිකරන්නේ ගැඹුරු පිලිකුලක් පමනි. "ව්‍යාපාරිකයින් සිය ගනුදෙනු කරුවන්ට සේවය සලසන ආකාරයෙන් දේශපාලඥයින් ද ඡන්දදායකයින්ට සේවය කිරීම සිය රාජකාරිය ලෙසින් දැක ගනියි” ඔහු ලියයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි බෲක්ස්ගේ බැනවැදීමට ක්ෂනික හේතුව වන්නේ මූල්‍ය හා ව්‍යාපාරික පැලැන්තිය ඉල්ලා සිටින සමාජ වියදම්හි දැවැන්ත කප්පාදුව කෙරෙහි පලවන මහජන ප‍්‍රතිරෝධයයි. ඔහු මෙසේ කියයි: ”ඡන්දදායකයින් තමා සඳහා කරන සිය වියදම් සීමා කරන ආයතනික වැඩසටහන් මේ දැන්ම වැලඳගත යුතුය. ඡන්දදායකයින්ගේ ක්ෂනික අවශ්‍යතා තෘප්තිමත් කිරීමට තවදුරටත් දේශපාලනයට හැකියාවක් නැතැයි” ඔවුන් පිලිගැනීම අවශ්‍ය වන්නේය.

මෙහි දී අප පොරබදමින් සිටින්නේ හුදෙක් පෞද්ගලික ලේඛකයින්ගේ රචනාවන් සමග නොවේ. ටයිම්ස්හි තීරු රචකයින් ප‍්‍රකාශයට පත් කරන්නේ ඇමරිකානු පාලක පන්තිය තුල පවත්නා ගැඹුරෙන්ම ප‍්‍රතිගාමී වූ දේශපාලන මනෝභාවයන් හා ප‍්‍රවනතා ය. ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රය වෙනුවෙන් වූ කැපවීම අතුරුදහන් වෙමින් තිබේ. රට තුල සාපරාධී මූල්‍ය උපාමාරු හා විදේශයන්හි නොනවතින ප‍්‍රචන්ඩත්වයෙන් නෙලාගෙන තිබෙන සිය ධනයේ සුරක්ෂිතභාවය හා රාශිකරනය සමග ඔවුන් ඔට්ටු අල්ලා තිබේ.

පසුගිය දශකය තුල එක්සත් ජනපදයේ දේශසීමාවන්ගෙන් එපිට ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මිලිටරිවාදයෙහි ගොදුරු බවට පත්ව ඇත්තේ මිලියන ගනනක් නොවේ නම් ලක්ෂ ගනනකි. එක්සත් ජනපදය තුලම පාලක ප‍්‍රභූව වැඩකරන ජනතාවගේ විශාල කොටස් දුගී භාවයට ඇද දැමීමට තර්ජනය කරන සමාජ ප‍්‍රතිවිප්ලවයක් උත්සන්න කරමින් සිටියි.

අසීමිත ප‍්‍රචන්ඩත්වය, නීත්‍යානුකූල භාවය පිලිකෙව් කිරීම හා ප‍්‍රජාතන්ත‍්‍රය මැඬීම: මෙයයි, සමකාලීන ඇමරිකානු ධනවාදයේ ප‍්‍රතිගාමී ගමන් මාවත.

ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීම හා සමාජ ප‍්‍රතිගාමිත්වය පරාජය කිරීම රඳාපවත්නේ ජාත්‍යන්තර සමාජවාදී ක‍්‍රියාමාර්ගයක පදනම මත කම්කරු පන්තිය දේශපාලනිකව බලමුලු ගැන්වීම මතය. මෙයයි සමාජවාදී සමානතා පක්ෂය කැපවී සිටින කර්තව්‍යය වන්නේ.

ඩේවිඩ් නෝර්ත්